සංගිලි පාලම  

Posted by උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා in , ,



ගල්තලාවට උඩින් යාන්තමට ඉර එළිය වැටිලා.
ලොකු හාමුදුරුවෝ හෙමින් ඇස් ඇරියා.. භාවනාව හිතට සතුටක් උනත් නිවන තව කොයි තරම් දුරද?  උන්නාන්සෙට එහෙම හිතුණා. 

හෙමින් හෙමින් ගල් තලාව පහළට බැහැපු ලොකු හාමුදුරුවෝ කවදත් පුරුදු පාත්තරේ අතට අරන් ආවාස ගේ පැත්තට ආවා... 

"නුවන් කොලුවෝ....."

පන්සලෙන් එළියට බහින්න කලියෙන් නුවන් කොලුවට කියල යන්න ඕන.
මේක මේ උදේ පාන්දර කොහේ ගියාද....


ඈත වෙල් යාය දිගේ නුවන් කොලුවා හති දාගෙන දුවගෙන එනවා යාන්තමට වැටිල තියන එළියෙන් පේනවා.
බුලත් හෙප්පුව අතට ගත්තු හාමුදුරුවෝ බුලත් විටකට කළමනා එකතු කොරන්ඩ පටන් ගත්තා.
"අපේ හාමුදුරුවනේ... පිණ්ඩපාතේ වඩින්නද?"
නුවන් කොලුවගේ ඉහේ ඉඳලා පාදාන්තෙට බලපු ලොකු හාමුදුරුවෝ හිස සැලුවා.
"කොහෙද  කොලුවෝ උදේ පාන්දර ගියෙ?"
"ලතා අක්කලගේ ගෙදර ගියා හාමුදුරුවනේ."
"මේ උදේ පාන්දර?"
"පෙරේදා දානේ ගෙනාව භාජන ටික  ගෙහින් දුන්නා."
"හ්ම්..."
"මිනිස්සුන්ටත් දැන් හරි අමාරුයි.. දානේ දෙනවා තියා උන්ට කන්ට බොන්ටවත් නෑ."

"මන් ගොහින් එන්නම් පොඩ්ඩක් පන්සලට වෙලා හිටහන්.."

"එහෙමයි හාමුදුරුවනේ"
පන්සලේ ගේට්ටුව පහු කරනකම් ඒ දිහා බලන් උන්නු නුවන් කොලුවා කටින් සද්දෙකුත් දාගෙන ආවාස ගේ පැත්තට වැදුණා..
කඳු ගැටේ නැගගෙන ආව ලොකු හාමුදුරුවෝ ඈතින් පේන සංගිලි පාලම  දැකලා නතර උණා... ජීවිතේ පළවෙනි පාර බලන්න වගේ 
හාමුදුරුවෝ ඒ දිහා බලන් උන්නා ..

ගමට එන්න පාලමක් නොතිබුණ හැටි....
ජන්ද කාලෙට තුරුම්පුවක් උනු පාලම් හීනේ...
අන්තිමට ගමේ උන් කෑ ගහල බෝඩ් උස්සන් ඉඳලා මුල් ගල් පැලකරලා
අවුරුදු ගානකට පස්සේ මේ මහා පාලම් රාජයා හැදුණු හැටි....
කාලාන්තරයක් පාරුවෙන් මිනිස්සු එගොඩ කරපු සූටියා ගමෙන් ගියපු හැටි...
එක පොදියට හාමුදුරුවන්ගෙ හිතේ මැවිලා පේන්න ගත්තා.

-ජපනත් හරි පුදුම මිනිහා! විශ්වකර්මයෝ තමයි.
පාලම හැදුන මුල් කාලේ ගමේ උන් පාලම හදපු ජපන් ඉන්ජිනේරු මහත්තයා දැක්කම කියපු කතාවක් හාමුදුරුවන්ට මතක් උණා.
"විශ්වකර්මයෝ..."
එහෙම කියපු හාමුදුරුවෝ ආයෙම ගමන පටන් ගත්තා.
පාලමට කිට්ටු වෙනකොටම පාලම් ගැට්ටට හේත්තු වෙලා මාළු බාන ගුණපාල හාමුදුරුවන්ගේ ඇහැ ගැහුණා,,, 
ගුණපාල ළඟදී ගමට ආව කා එක්කවත් වැඩි ආස්සරයක් නැති මනුස්සයෙක් ..
කී පාරක් නම් මේ මනුස්සයට තමුන් අවවාද කරල තියනවද කියලා හාමුදුරුවන්ට හිතුණා.
"ගුණපාල පව් කරපු මාළු හොයනවා වගෙ!"
නහින මාළුවෙක් තමන්ගේ ඇමට කට තියනකම් බලන් හිටපු ගුණපාල එකපාරට ඇහුණු කටහඬට හැරිලා බැලුවා.
"අපෙ හාමුදුරුවනේ.."
කාත් කවුරුත් නැති තැනක පොලීසියට අහු වුණු වැරදි කාරයෙක් වගේ ගුණපාල බිම බලාගත්තා.
"අපි කවුරුත් ජීවත් වෙන්ඩ ආසයි නේද ගුණපාල... "
කාගෙ උනත් පණක් නසන එක පව්කාර වැඩක්. ඕනම සතෙක් බලන්නේ තව විනාඩියක් හරි තමුන්ගේ ජීවිතේ ගෙනියන්න.
උන්ගේ උණත් පැටවුන්ට හවුහරනක් නැතිවෙලා යනවා. උන්ට කන්ට බොන්ට හොයල දෙන්ට එකෙක් නැති උණාම.
දැන් ගුණපාල ඔය මාලුවා උණා නම්?
ගුණපාල ඔය කොක්කේ ඇමිනුණාම  ගුණපාලගේ ළමයින්ට කන්ට බොන්ට දෙන්ට එකෙක් නැති වෙනවා නේද..?"
ගුණපාල අසරණ විදියට  ලොකු හාමුදුරුවෝ දිහා බලන් උන්නා...
"අපේ වැරැද්ද ඕක තමයි ගුණපාල. අපි හිතන් ඉන්නේ ළමයි දරුවෝ ඉන්නේ, ජීවත් වෙන්ට අයිතියක් තියෙන්නේ අපිට විතරයි කියලා.
ලෝකෙ හැම සතාටම ඔය අයිතිය තියනවා කියලා අපි හිතනවනම් , අපි ඒක රකිනවනම් අපිට නිවනට දුර නෑ."
හිස පහත් කරගෙන අහන් ඉන්න ගුණපාල දිහා බලාගෙන ලොකු හාමුදුරුවෝ එහෙම කිව්වා..
"දැන් ගුණපාල මහන්සි වෙලා, වෙන දෙයක් කරලා ගොඩ යන්ට බැලුවනම් හොඳයි නේද?  මොනා හරි දෙයක් තියේ නම් පන්සලට ඇවිත් මාව හම්බවෙන්ට. මම ග්‍රාම සේවක මහත්තයටත් කියල බලන්නම්කො."
"හොඳමයි හාමුදුරුවනේ."
තමුන්ගේ කකුල් දෙක ළඟ දණ ගහල වැන්ද ගුණපාල දිහා බලල "බුදුසරණයි" කියපු ලොකු හාමුදුරුවෝහෙමින් හෙමින් පාලම පහු කළා..
ජීවිතේ තේරුම් ගන්න බැරි මිනිස්සු  නිකන් පව් පුරවගන්නවා..
ලොකු හාමුදුරුවෝ තමුන්ටම කියාගත්තා.
හන්දියේ කඩේට ගොඩ උණු ලොකු හාමුදුරුවෝ දැකපු  මාටින් මුදලාලි කඩි මුඩියේ නැගිටලා හාමුදුරුවෝ ළඟ බොහොම අමරුවෙන් දණ ගහලා වැන්දා.
"අපේ හාමුදුරුවනේ පොඩ්ඩක් ඉඳින්න, සුදු රෙද්දක් ගේනකම්."
"ඕනේ නෑ මුදලාලි මම යන්ට ඕන."
"මැණිකේ විගහින් ආවනම්.... හාමුදුරුවෝ වැඩලා"
ගෙයි ඉඳලා පාර්සලේකුත් අරන් ආව මුදලාලි හාමිනේ පාත්තරේට ඒක දමලා හාමුදුරුවන්ට වැන්දා..
"සුවපත් වේවා....."
"මුදාලාලි මේ ගුණපාලගේ ගෙදර කොහෙද?"
"මේ අපේ මාළු ගුණපාලයද හාමුදුරුවනේ?"
"ඔව්.."
"මොකද  හාමුදුරුවනේ, ඌ හාමුදුරුවන්ට මොනා හරි කිව්වද?"
"නෑ මුදලාලි, මම නිකන් ඇහුවේ. මම එද්දි ගුණපාල මාළු බබා හිටියා."
"ආ... ඒක මිසක්. මහ පව් කාරයා හාමුදුරුවනේ... ඔය දෙවැටේ කෙළවර ගෙදරනේ."
"හ්ම්ම්... එහෙනම් මුදලාලි මන් ගොහින් එන්නම්...."
හාමුදුරුවෝ දෙවැට දිගේ ඇතුළට යනකම් මුදලාලි බලන් උන්නා...
පොල් අතු වහලා හතර කොණ දිරපු ගෙයි පිළිකන්නේ පොඩි එකෙක්  මඩ තලනවා...
ගෙයි ඉස්සරහා බුදු පහනක්... 

මේ ගේ නෙවේ... හාමුදුරුවන්ගේ හිතට  එහෙම දැනුණා.

හාමුදුරුවෝ දැකපු පොඩි එකා කෑ ගහන්ට පටන් ගත්තා...
"අම්මේ... සාදූ.....  අම්මේ..... සාදූ....."
 කිලිටි චීත්තයක් ඇඳගෙන දිරාපත් උණු ගෑණු රූපයක්  ඒ එක්කම දොරින් මතු උණා..
හාමුදුරුවෝ දැකපු ගමන් ගුණපාලගේ බිරිඳ බය උණු බව හාමුදුරුවන්ට වැටහුණා...
"මේ...  ගුණපාලගේ ගෙදරද?"

"ඔව් අපේ හාමුදුරුවනේ."
හාමුදුරුවො ළඟට ආව පියවතී හාමුදුරුවන්ට දණ ගහලා වැන්දා...
"තෙරුවන් සරණයි.."
"මේ ගුණපාලගේ නෝනා වෙන්ඩ ඕන."
" එහෙයි හාමුදුරුවනේ."
"මේ දරුවා විතරද?"
"නෑ හාමුදුරුවනේ, කෙල්ලෝ දෙන්නයි .. කොල්ලයි."
"හ්ම්..."
"අනේ හාමුදුරුවනේ, හාමුදුරුවන්ට ඉඳගන්ඩ දෙන්ඩවත් පුටුවක් නෑ, අපේ හාමුදුරුවනේ."
පියවතී එහෙම කිව්වට වඩා පියවතීගේ ඇස් දෙකෙන් ඒ හැඟීම හොඳින්ම තිබ්බ කියලා හාමුදුරුවන්ට දැනුණා..
"නෑ මෙහෙම හොඳයි.."
"මන් මේ යන ගමන් නිකමට ගොඩ උණේ. මොකද මේ ගුණපාල රස්සාවක් කොරන්ට එහෙම කැමැත්තක් නැද්ද? ඔහොම මාළු අල්ලගෙන හැමදාමත් පවුල් රකින්ට පුලුවනෑ... අනික පර පණ නසලා හම්බ කරන එක පව් නේද?

පියවතී අසරණ විදියට බලන් ඉන්නව දැකපු හාමුදුරුවෝ කතාව නවත්තලා බුලත් කෙළ පාරක් බිමට ගැහුවා.

"ගුණපාලට පුලුවන් නේ වෙන රස්සාවක් කරන්න. මන් කීප විටක්ම කිව්වා පන්සල පැත්තේ එන්ට කියලා කෝ කිසි උනන්දුවක් නෑ නේ.
තමුන් වත් කියන්නේ නැද්ද ගුණපාලට රස්සාවක් කරන්ට කියලා?"

කතා බහක් නැති පියවති දිහා බලපුවාම පියවතිගේ ඇස් දෙකෙන් ගලන කඳුළු පාන්දර ඉර එළියට දිලිසෙනවා හාමුදුරුවො දැක්කා...

"කොහොම කියන්නද හාමුදුරුවනේ? අපි හින්දම නැහිලා ලෙඩා උණ මනුස්සයා නේ."

"ඒ කිව්වෙ.... "
 "අපෙ මනුස්සයා ඉස්සර වැඩ කළේ පාලම් පොළවල් වල හාමුදුරුවනේ. කලුතර පාලමක් හදන්න ගිහින් ගඟට වැටුණු කෙනෙක් බේරගන්න ගිහින් කොන්ක්‍රීට් කණුවක් ඔලුවට වැටිලා, ගුණපාලට දැන් මහන්සි වෙන්ට බෑ හාමුදුරුවනේ..එදා ඒ මැරෙන්ට ගිය මනුස්සයා බේරගන්ට නොගියනම් අද අපි හොදින් ජීවත් වෙනවා හාමුදුරුවනේ ...
ගුණපාල අපිට ඉස්සර කිසිම අඩුවක් කරලා නෑ.. 
ලෙඩා දුකා වෙලත් දැන් ඔය මාළු ටික හරි විකුණලා.. අපිට කන්න දෙනවා.."

තමා ඉදිරිපිට  ජීවිතේ තවත් කතාවක් දිග හරින ගැහැණිය දෙස  බලා සිටි හාමුදුරුවෝ කිසිවක් සිතා ගැනීමට නොහැකිව හිස් අහස දෙස බලා සුසුමක් හෙළුවේ කල්පයක් හිතේ තබා සිටි බරක් පිට කළ සේය.

"ඉතින් කොහොමද හාමුදුරුවනේ මන් ඒ මනුස්සයට කියන්නේ රස්සාවක් කරලා අපිට කන්න දෙන්න කියලා?"

"හ්ම්ම්.."

"ගුණපාලට කියමු නිකන් ඉන්න වෙලාවක පන්සල පැත්තේ එන්න කියලා අපි පුලුවන් දෙයක්  කරන්න බලමුකො."
"එහෙමයි හාමුදුරුවනේ."
"එහෙනම් මම ගොහින් එන්නම්."

කඳුළු පිස දමා තමුන්ට වැඳ වැටුණු ගැහැණියට ආශීර්වාද කළ හාමුදුරුවෝ නැවතත් පන්සල වෙත පිය මැන්නා.
කිසිවක් සිතා ගන්නට නොහැකිව තමාගේ සිතත් අසරණ වී ඇති බව හාමුදුරුවන්ට වැටහුණා.
ගමේ මිනිස්සු ගුණපාල ගැන දන් නෑ... හාමුදුරුවෝ තමාගේ හිත සාධාරන කර ගත හැකි එකම කාරණය හිතින් මිමිණුවා.

සංගිලි පාලම පේන මානයට ආ හාමුදුරුවන්ට නැවත තමා ගුණපාලට කී කතාවත් , පියවතී තමුන්ට කී කතාවත් මතක් උණා.....


"දැන් ගුණපාල ඔය මාළුවා උණා නම්?
ගුණපාල ඔය කොක්කේ ඇමිනුණාම  ගුණපාලගේ ළමයින්ට කන්ට බොන්ට දෙන්ට එකෙක් නැති වෙනවා නේද?
අපේ වැරැද්ද ඕක තමයි ගුණපාල අපි හිතන් ඉන්නේ ළමයි දරුවෝ ඉන්නේ , ජීවත් වෙන්ට අයිතියක් තියෙන්නේ අපිට විතරයි කියලා.
ලෝකෙ හැම සතාටම ඔය අයිතිය තියනවා කියලා අපි හිතනවනම්, අපි ඒක රකිනවනම් අපිට නිවනට දුර නෑ."

" අපෙ මනුස්සයා ඉස්සර වැඩ කළේ පාලම් පොළවල් වල හාමුදුරුවනේ. කලුතර පාලමක් හදන්න ගිහින් ගඟට වැටුණු කෙනෙක් බේරගන්න ගිහින් කොන්ක්‍රීට් කණුවක් ඔලුවට වැටිලා, ගුණපාලට දැන් මහන්සි වෙන්ට බෑ හාමුදුරුවනේ..
එදා ඒ මැරෙන්ට ගිය මනුස්සයා බේරගන්ට නොගියනම් අද අපි හොඳින් ජීවත් වෙනවා හාමුදුරුවනේ ...
ගුණපාල අපිට ඉස්සර කිසිම අඩුවක් කරලා නෑ.. 
ලෙඩා දුකා වෙලත් දැන් ඔය මාළු ටික හරි විකුණලා.. අපිට කන්න දෙනවා.."

තමා දැන් පාලම පහු කරන්නේ නම් ගුණපාල තවමත් මාළු අල්ලමින් සිටිනවා විය හැක.

ඈතින් පේන සංගිලි පාලම දෙස බලා සිටි හාමුදුරුවෝ පියවරක් ආපස්සට තැබූහ.

"දැන් බස් එක එනවනේ. බස් එකේම යනවා..."




This entry was posted on Thursday, January 27, 2011 at Thursday, January 27, 2011 and is filed under , , . You can follow any responses to this entry through the comments feed .

6 දෙනෙක් ගේ අදහස්

බොහෝවිට මතුපිටින් දකින දේ අනුව යම් යම් නිගමන වලට එන්නේ. ඒත් ඇතුලාන්තයට එඹී බැලූ විටයි ගැඹුර දකින්නේ. මේ කතාව තුලින් කල ඒ විමසුමේ අන්ත දෙකත්, ඒ අතර ගැටීමත් පිලිතුරු සෙවීමේ දී ඇතිවන සංකීර්ණතාවයත් මොනවට ගොනහැර දක්වයිද?

ඔබේ ඉදිරිපත් කිරීම සර්ථකයි මල්ලී.

January 27, 2011 at 8:59 AM
Anonymous  

නැහැ මෙහි අවසානයට මම එකඟ නැහැ..ගැටළු මඟහැරීම බුදු දහමට එකඟ නැහැ..

ඇත්තටම හොඳ නිර්මානයක් සහෝදරයා..

සුලා..

January 27, 2011 at 11:40 AM

we must help each other if we can help some one more than that just help

January 27, 2011 at 3:26 PM

කොතරම් සිල්වත් උනත්, කොතරම් උගත් උනත්, පෘතග්ජන හාමුදුරුවෝ කොහොමද පෘතග්ජනයෙක්ගෙ ගැටළුවක් විසඳන්නෙ ?

හරිම රසවත්ව ලියවිලා තියෙනවා...!

January 27, 2011 at 5:20 PM

ජීවිතයක අපි නොදකින පැත්ත හරිම ලස්සනට මතු කරලා ලියල...
නියමයි..!

January 27, 2011 at 5:59 PM

ඩීන් අයියා ,චේජනා,දුමී,chiku ,සුලා.. ,ගොඩක් සිතූති හැමෝටම අදහස් ප්‍රකාශ කළාට

January 27, 2011 at 7:52 PM

Post a Comment

ඔබේ අදහස් අපිට ශක්තියක්