සිල්  

Posted by නලිනි චන්දිමා in , ,


සිල් ගන්ඩ පන්සල්ම යන්ඩ ඕනයැ? අර දවසක් මහමෙවුනාවෙ හාමුදුරුකෙනෙකුත් කිව්වෙ කඩයක් කරන ගමන් හැමදාම අටසිල් ගත්ත කියල. ඉතිං මට මොකද බැරි ගෙදර ඉඳං සිල් ගන්ඩ? අද පොසොන් නිසා පන්සල්වල සෙනගත් ඇති. මේ වැස්සෙ ඕවගෙ ගිහිං තෙරපෙන්ඩ වුණහම නිකං හිත නරක් වෙනව.

අද සිල් ගන්නෙ ගෙදර ඉඳං.


ඇඳෙන් නැගිටින්නෙත් නැතුවම මං තනියම සිල් ගත්තා. එළියෙ හෝ ගාල වැස්ස. සිල් අරගෙන අනික් පැත්ත හැරිල ආයෙත් බුදිය ගත්තා.
ඊළඟට ඇහැරෙනකොට වැස්ස පායලා. ඇහැරුණා නෙවෙයි ඇහැරෙව්වා, කවුද යකෙක් සීනුව ගහලා.
මොන කරච්චලයක්ද? නිවාඩු දවස්වලට ගෙවල්වලට එන්නෙ මුංට පිස්සුද? මං බැන බැන නැගිටල යනකොට සීවලී හාමුදුරුවො පාත්තරේට අත දාගෙන හොරැහින් මං දිහා බලනව. මට පටාස් ගාල සිල් මතක් වුණා.

සමා වෙන්ඩ ඕන.

සීවලී හාමුදුරුවන්ව අපේ සාලෙ බෝඩිං කරවල ගියෙ ගෙවල් අයිතිකාරය. උන්නාන්සෙගෙ තනියට යන්තර රාජයො රැළකුත් එල්ලිල ඉන්නව හතර වටේ.
මං බය වෙයි!
බය නොවෙයි!! ඇවිත් ඉන්නෙ ගෙවල් අයිතිකාරය!
මං ආයිත් සැරයක් සීවලී හාමුදුරුවො දිහා බැලුව. උන්වහන්සෙ කට කොණකින් හිනා වුණාද මන්ද.
"මිස් අද එළියට යනවද?" ගෙවල් අයිතිකාරය කිරල මැනල කතාව.
"ඔව්, දැන්මමනම් නෙවෙයි." මට පස්සෙ යන්ඩ හිතුණොත් එහෙම?
"යනවනම් ගේට්ටුව ලොක් කරගෙන යන්ඩ. අද එහා පැත්තෙ කට්ටියත් නෑ."
ඉතිං මට පාන්ද?
අද පාන් නෑනෙ; ඒ එක්කම මට මතක් වුණා; අද පෝයනෙ.
මට වෙලාව බැලුනෙ ඉබේටමයි. එකොළහයි. පානුත් නැති හින්ද විකාල භෝජනා නොවෙන්ඩනම් ඉක්මණට උයන්ඩ වෙනවා. මට හිතුණ කිරිබත් උයන්ඩ- ලේසි වැඩේනෙ. කිරිබත ලිපේ තියල මං ඉඳගත්ත චිත්‍රයක් අඳින්ඩ.
චිත්‍ර අඳින එක අහුවෙනවද නච්ච ගීත වාදිතවලට?
මං වචනෙන් වචනෙ කියල බැලුව; නෑ; අහුවෙන පාටක් නෑ. අර හාමුදුරුවරුත් ඉන්නෙ චිත්‍ර අඳින. මේව කැපයි. මං හිත හදාගත්තා.
චිත්‍ර ඇඳ ඇඳ ඉන්න අස්සෙ කිරිබත බාගයක් අඩිය අල්ලල. ඕක ගානක් නෑ මොකක් හරි බල බල කෑවනම්. ඒත් අලුත් පොත් නෑ ගෙදර. චිත්‍රපටි බැලුවට කමක් නැද්ද? නච්ච ගීත වාදිත විසූක දස්සන... ඒ කාලෙ ඉතිං චිත්‍රපටි තිබුණෙ නෑනෙ. ඕකෙන් අදහස් කරන්ඩ ඇත්තෙ විනෝදය ගෙන දෙන දේවල් කියන එක. වාර්තා චිත්‍රපටි අයිති වෙන්නෙ නෑ ඕකට. ඒව පවතින්නෙ අවබෝධය පිණිසනෙ. අවබෝධෙ මග නවතින්ඩ හොඳ නැති හින්ද මුලු චිත්‍රපටියම බැලුවා.
ඉතිරි කිරිබත් කුරුල්ලොන්ට දාල ආයෙත් චිත්‍රෙ අඳින්ඩ පටං ගත්තා. ඒක ඉවර කරල, බිත්තියෙ එල්ලල, හැඩ බලල ඉවර වෙනකොට හවස පහයි. මට හිතුණා පන්සල් යන්ඩ. මේ වෙලාවට වැඩිය සෙනග නැතුව ඇති.
එහෙම හිතුවට පන්සලට යනකොට එකම ගෝසාවයි. ශබ්ද විකාශන යන්ත්‍රයකින් කවි බණ කියනවා. හඳුන් කූරු පත්තු කරල, පහන්වලට තෙල් දාල, බුදු ගෙට ගියා භාවනා කරන්ඩ. එතන කීප දෙනෙක් මහ හය්යෙන් බුදුන් වඳිනවා. ඕක තමා පෝය දවස්වලට පන්සලක් පැත්ත පළාතෙ යන්ඩ හොඳ නැත්තෙ. ගෙදර තියෙනව මීට වඩා නිස්කලංකයක්.

දැං ටිකක් බඩගිනියි. ඊයෙ දවාලට මොනවදෝ කෑවට පස්සෙ, හවස තේ බිව්වා; ඊළඟට අද දවල් කිරිබත් දංකුඩේ. හෙටත් උදෙන්ම වැඩට යන්ඩ තියෙන නිසා ආපහු කන්ඩ ලැබෙන්නෙ හෙට දවල් දෙක තුන වෙලා.

මොකද කරන්නෙ?
මොකද කරන්නෙ?
මොකද කරන්නෙ?
ඔන්නොහෙ මොනව හරි කනව.
විකාල භෝජනා වුණාට කමක් නෑ; මං මේ කන්නෙ ආහාර නැති වීමෙන් යම් අපහසුවක් ඇත්ද, යම් අපහසුවක් ඇති වීමට ඉඩ ඇත්ද, ඒවා වළකා ගැනීමටයි; රසය පිණිස නොවේ; මදය පිණිස නොවේ; ක්‍රීඩා පිණිස නොවේ....

බුද්ධාගමේ තැනක් වෙලත් මෙතන හැමදාම ඇරල. මං කෑම කඩේ ඉස්සරහ නැවතිල කල්පනා කළා.
ආප්පද ගන්නෙ; ඉඳි ආප්පද ගන්නෙ?
මං කලින්ම හිතං හිටියෙ ඉඳි ආප්ප ගන්ඩ. ඒත් දැං ආප්ප දැක්කහම ඒවත් හොඳයි හිතෙනව. ඇරත් ආප්ප හදන මනුස්සයා මාව දැක්කහම මුකුත් කියන්ඩ කළින්ම මගෙ ඕඩරේ දාන්ඩ තරමට මං මෙතනින් ආප්ප අරං තියෙනවා. මනුස්සයගෙ හිත නරක් වෙන්ඩ පුලුවන් මං ආප්ප ගත්තෙ නැත්තං. අහිංසක මනුස්සය.
හෙට උදේට කන්ඩ රොටී අරං යන්ඩත් හිතෙනවා.
බත් කන්ඩත් හිතෙනවා.
පරිප්පු වඩෙත් තියෙනවා.
ජීවිතේ මේ තරම් අමාරු ඇයි? මොන තරම් දේවල් මැදින්ද අපිට එකක් තෝර ගන්ඩ වෙලා තියෙන්නෙ? මට දුක්ඛ සත්‍යය අවබෝධ වේගෙන ආවා.
මට ඉස්සරහිං කෙට්ටු ගෑණු ළමයෙක්. "රොටී කීයද?"
"රො...ටී....." කඩේ තරුණයා එහාට මෙහාට නැවෙමින් මොනවද හොයනවා. ගෑණු ළමයගෙ ප්‍රශ්නෙ ඇහුණට ඊට උත්තර දෙන්න තරමට ඉස්පාසුවක් නැති ගානයි.
"රොටී තුනක්" ගෑණු ළමය කිව්වා. "රොටී කීයද?"
"රොටී.." යන්තම් තරුණයා හොය හොය හිටිය දේ ඔහුට හමු වෙලා."රොටියක් රුපියල් පහළවයි."
හප්පේ.. මටත් හිතුණා. අපේ කැන්ටිමේ රොටියක් රුපියල් පහයි.
"එහෙනං රොටී දෙකක් දෙන්ඩ." ගෑණු ළමයා කිව්වා.
මං මොනව ගන්ඩද කියල හිත හිත ඉන්න අතරෙ තව ජෝඩුවක් ඉස්සරහට පැන්නා. සුදු රෙදි ඇඳගෙන...පන්සල් ගිහින් වගෙයි. නිවන් මගේ යද්දිත් ඔහොම පෝළිම පනිනව ඇති.

ආප්ප දෙකක් ගන්ඩනම් මෙච්චර වෙලා පෝළිමේ ඉන්ඩ ඕනයැ. මං ඉඳි ආප්ප පහළවක් ගන්ඩ තීරණය කළා. බත් කනව පස්සෙ දවසක දවාලට. මං තීරණයක් අරගෙන පියවි සිහියට එළඹුණා.
"බිත්තර ආප්ප එකයි ප්ලේන් ආප්ප දෙකයි." පෝලිමේ ඉස්සරහට පැන්න තවත් පින්වතෙක් ඉල්ලනවා.
බිත්තර ආප්ප?
ඔන්නොහෙ බිත්තර ආප්පෙකුත් කනව.
"ඉඳි ආප්ප පහළවයි, අල හොදි එකයි, බිත්තර ආප්ප එකයි." මං ඉල්ලුවා.
"ඉඳි ආප්ප පහළවයි, අල හොදි එකයි, බිත්තර ආප්ප දෙකයි?" කඩේ තරුණයා විමසුවෙ හරියට මං වැරැද්දක් කරල වගෙයි. මිනිස්සු එක ආප්පයක් කාල ඉන්නෙ නැද්ද? එකක් ඉල්ලන එක අසාමාන්‍යද? ව්‍යාපාරිකයන්ට මෙසේ අපව පාලනය කිරීමට ඉඩ හළ යුතුද?

"ඔව්" මං කිව්වා.

මං කඩෙන් එළියට එනකොට රොටී තුනක් ගන්ඩ ඇවිත් දෙකක් විතරක් අරං යන ගෑණු ළමයා පාරෙ ඈත යනව දැක්කා. මගේ කෑම මළු දෙකක!
මට අජාන් ජයසාරොගෙ කතාවක් මතක් වුණා. දවසට එක වේලක් විතරක් වළඳන්න හිතාගෙන වනයට වැදුණු උන්වහන්සෙ එක දවසක් උදේ දානෙන් පස්සෙ ගමකට වඩිනවා ලුණු හොයන්ඩ. එදා මගදි හකුරු දැකල, හකුරු රාත්තලක් පිටිං අරං කනවා; තව කවුදෝ දානයක් දෙන්ඩ කතා කරල, ඒකත් කාල, අන්තිමට ගංජත් ගහලා තමයි නවතින්නෙ.
මං ඊට ඩිංගක් හොඳයි.


මෙච්චරත් වෙච්ච එකේ තව මොන වාර්තා චිත්‍රපටිද? මං ඉඳි ආප්ප කකා "කරුමක්කාරයො" බැලුවා.




This entry was posted on Friday, January 14, 2011 at Friday, January 14, 2011 and is filed under , , . You can follow any responses to this entry through the comments feed .

4 දෙනෙක් ගේ අදහස්

ඇත්තම තමයි අපි ගොඩක් දෙනෙකුට මෙ වගෙ වෙනවා, මුලින් හිතාගත්තු දේ නෙවෙයි අන්තිමට නොහිතපු දෙයක් කරල හරි වෙලා හරි නවතින්නෙ, හරිම ලස්සනට ලියල තියෙනවා,

January 14, 2011 at 11:33 PM

Superb.

January 16, 2011 at 6:54 AM

බොහොම ස්තුතියි රවි. හිතන් ඉන්න විදිහට වැඩ කෙරෙනවනම් මොනවා බැරිද නේද?

January 21, 2011 at 9:03 PM

බොහොම ස්තුතියි .::පිස්සා::. දිරි ගැන්වීමට.

January 21, 2011 at 9:04 PM

Post a Comment

ඔබේ අදහස් අපිට ශක්තියක්