මිනීමරුවා..  

Posted by උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා in , ,



                                               සුපුරුදු කලබල මැද්දේම රිය පෙලේ සීරුවට ඇදෙන ඉන්ද්‍රනාථ  විටින් විට කමිස අත උස්සා ඔරලෝසුව දෙසත් යාබද අසුනේ සිටින සිගිත්තා දෙසත් බලයි.

" කෙහෙම්මල "

වාහන තදබදය කෙරෙහි වූ කෝපයෙන්  ඉන්ද්‍රනාථ සෙමින් මුමුනයි.

" කෙහෙම්.....මල " යාබද අසුනේ සිගිත්තා තාලයකට එවදනම මුමුනයි.

ඉන්ද්‍රනාථගේ මුහුනට සිනාවක් නැගේ..

" මගෙ පැටියා බය නැතුව ඉන්නකෝ මං වෙලාවට ඉස්කෝලෙට එක්ක යන්නම්. "

තදබදය අතරේ හෙමින් ඉදිරියට ඇදුනු රථය අසල වූ විදුහල් මාවතට හැරවුමෙන් පසුව රථ ගාල කරා වේගයෙන් ඇදී යනු දක්නට ලැබිනි. රියෙන් බැසගත් ඉන්ද්‍රනාථ  සිගිත්තාගේ අතින් අල්ලාගෙන  පාසල් ගෙට්ටුව කරා ඇදෙන්නට විය.

" එහෙනම් පුතේ පරිස්සමෙන්... හවස පුතාව ගන්න අම්මා එයි.. එහෙනම් ඉක්මනට දුවලා යන්න"

පියාගෙන් මිදුන සිගිත්තා පියාට අතවනමින් පාසල තුලට දිව යද්දී  ඉන්ද්‍රනාථ නැවතත් රථය දෙසට ඇදෙන්නට විය.

නමුත් ඔහුට තබන්නට හැකිවූයේ පියවර කිහිපයක් පමනි. රථගාල අද්දර යම් කලබලයක සේයාවකි දරුවකු බදාගත් කාන්තාවක් හා ඇය වටකරගත් කිහිපදෙනෙක් යම් අරගලයක යෙදී සිටී . ඒ අතරේ  පාසලේ ප්‍රධාන ආරක්ෂකයාද වෙයි.   ඉන්ද්‍රනාථ ඉක්මන් අඩි තබමින් එදෙසට  ඇදෙයි.


" මේ දරුවා මගේ "

පිරිස අතරේ උන් කාන්තාවක් දරුවා බදාගනිමින්  පවසයි  

" මේකනම් පුදුම වදයක් හැමදාම මෙ සෙල්ලම කරන්න බෑ මේක හරි වදයක් උනා නේ "

පිරිස අතරේ උන් තවත් කාන්තාවක් මුමුනයි

" හරි හරි නෝනා මේත් අම්මා කෙනෙක්නේ දරුවට කරදරයක් වෙන් නෑ නේ "

පාසලෙ ප්‍රධාන ආරක්ශකයා නෝක්කාඩු මුහුනින් සිටින ගැහිනිය දෙසට හැරී පිලිතුරු බදියි

" මේ අම්මේ දැන් ලමයට ඉස්කෝලෙට යන්න පරක්කු වෙනවනේ අපි ලමයව ඉස්කෝලෙට යවමු "

දරුවා බදාගෙන සිටින ගැහෙනිය අමතා ආරක්ශකයා ඉල්ලීමක් කරයි..   පිරිස දෙසත් දරුවා දෙසත් බලනා ගැහෙනිය දරුවාගේ මුහුන අතගාමින් යමක් පවසයි

" මගේ පුතේ පරිස්සමින් ගිහින් එන්න මං හවසට එන්නම් "

" හා හා දැන් යමු පුතාට පරක්කු වෙනවා"

 ලද ඇසිල්ලෙන් දරුවා වඩාගන්නා ආරක්ශකයා  පාසල් ගෙට්ටුව දෙසට පියනගයි.  පොදී ගැසී උන් පිරිසද    යම් යම් දේ පවසමින් විසිර යයි

මේ සියල්ල දෙස බලා සිටි ඉන්ද්‍රනාථ  ආපසු හැරී  පාසල් ගේට්ටුව දෙසට පියනගයි.

ඒ අතරේ දරුවා පාසල තුලට ඇරලූ ආරක්ෂක නිළධාරියා  නැවතත් සුපුරුදු රාජකාරියට සැරසෙයි . ඉන්ද්‍රනාථ  ඔහු වෙතට සෙමින් ලංවෙයි.

" ඒ අර ස්කූල් වැන් එක හැප්පිලා නැති උන දරුවාගේ අම්මද....? "
" ඔව් මහත්තයෝ ඒ දරුවගේ අම්මා තමයි පව්. සංසාරේ.. හැටි තමයි " 

" දැන් දවස් දෙක තුනක් ඔහොම උනාලු නේද.. ලමයින්ට කරදරයක් වෙයිද දන් නෑ "

ඉන්ද්‍රනාථ නැවත නිළධාරියාගෙන් ප්‍ර්ශ්න නගයි...  නිළධාරියාගේ මුහුනේ සිහින් සිනාවක් ඇදේ

" අනේ නෑ මහත්තයෝ දරු දුකටනේ ..  අඩු ගානේ එහෙමවත් ඒ මනුස්සයා සතුටු වෙනවනේ මෙතන ගොඩක් අය ඕක දන්න නිසා  වැඩිය ප්‍ර්ශ්නයක් වෙන් නෑ"

" ඒ උනාට කියන්න බෑ නේ කරදරයක් කලොත් එහෙම මොනවා කරන්නද "

ඉන්ද්‍රනාථ තමාගේ මතයෙන් බැහැරව යන්නට අකමැත්තෙන් මෙන් පවසයි..

" මමනම් හිතන් නෑ මහත්තයෝ ඉස්කෝලෙ ලොකු මහත්ත්යා  ඉන්න වෙලාවෙත් ඔය සිද්දිය උනා . ඒ මනුස්සයා තමුන්ගේ දරුවා වගේ පෙනුම තියන අය ලගට ඇවිත් ඒ දරුවා වඩාගෙන ඉස්කෝලෙට ඇරලවනවා. පව් මහත්තයෝ අම්මා කෙනෙක් නේ හිටපු එකම ලමයා කියනවනේ.."

" ඉතිං ඒ මනුස්සයට බේත් හෙත් කරන් නැතිලුද "

" කරනවා කියලා තමයි ආරංචි මහත්තයෝ එහෙමට කියලා ලොකු අමාරුවක් නෑ ඔය උදේට ස්කෝලෙ ලගට එන එක තමයි ප්‍ර්ශ්නෙකට තියෙන්නෙ "

ඉන්ද්‍රනාථගේ හිතට ඒ කිසිවකින් සැනසිල්ලක් නැත ඔහුගේ සිත කියන්නේම ඇයගෙන් කොයි වෙලාවක හෝ යම් අනතුරක් විය හැකි බවය.

" ඔය මනුස්සයට ටිකක තදින් කිව්වනම් හරිනේ එහෙම කරන්න එපා කියලා එතකොට මෙතෙන්ට ආයෙත් එන එකක් නෑ අනික ටිකක්  තේරෙන්න කිව්වනම් හරි ..."

නිළධාරියාගෙ මුහුන සෙමින් අදුරු වේ.

" දරුවා නැතිවෙලා මාසයක් නොගිය අම්මා කෙනෙක්ට කොහොම කියන්නද මහත්තයෝ තමුන්ගේ දරුවා මලා මෙතන දරුවන්ට කරදර කරන්න එපා කියලා .. අපි බලමුකෝ මොනවා හරි කරන්න "

" නෑ ඉතිං ඕනම දෙයක් තෙරුම් කරන විදි තියනවනේ...... මං මේ කිව්වෙ කරදරයක් වෙන්න කලිං "

ඉන්ද්‍රනාථ අහක බලාගෙනම පවසයි

" අපි බලමුකෝ මහත්තයා..  මම ඇතුලට ගිහින් එන්නම්..  "

ඉන්ද්‍රනාථගෙන් සමුගත් නිළධාරියා පාසලට තුලට ඇදෙයි

රථගාල දෙසට ආ ඉන්ද්‍රනාථ නැවතත් පාසල් ගේට්ටුව දෙස බලා රිය තුලට නැග රිය පනගන්වාගයි

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++


ට්‍රිං...ට්‍රිං ..... 
   
යම් වැඩක නිරතව උන් ඉන්ද්‍රනාථ මේසය මත වූ දුරකථනය දෙස නොමනාපයෙන් මෙන් බලා එදෙසට දෑත දිගු කරයි

" හෙලෝ ගුඩ් ආෆ්ටනූන් "  ඉන්ද්‍රනාථ සිය ගාම්භිර ස්වරයෙන් අමතයි

" මොනවා.....! දරුවට කරදරයක් නෑ නේ "  ඇස් නලලේ රදවාගත් ඉන්ද්‍රනාථ ගේ හඩට කලබල වූ අවට වූවන්ගේ නෙත්ද  ඔහු දෙසට හැරෙයි

" මං අද උදෙත් අර ඉස්කෝලෙ මුරට ඉන්න බූරුවට ඕක කිව්වා මිනිහා මට බණ කියන්න ආවනේ.. ඔයා ඉන්න මම දැන්ම එනවා "

කලබලයෙන් දුරකතනය තැබූ ඉන්ද්‍රනාථ වහා අසුනෙන් නැගි සිටියි

" මොකද මිස්ටර් ඉන්ද්‍රනාථ මොකක් හරි ප්‍ර්ශ්නයක් ද ?"

යාබද මේසයේ පෙරේරා ඉන්ද්‍රනාථ දෙසට එමින් විමසයි

" නෑ පෙරේරා අපේ බබාගේ ඉස්කොලෙ ලග පිස්සු ගෑනියෙක් ඉන්නවා ඒ ගෑනිගේ දරුවා මැරිලා.. ඒ මනුස්සයා එතෙන්ට එන ලමයි ඒ ගෑනිගෙ ලමයා කියලා  අරගන්නවා..."

"නෑ.. " 

" එකනේ පෙරේරා අපේ බබාවත් ඒ ගෑනි අද වයිෆ්ගෙන් උදුරගෙන බබාගේ අතකුත් සීරිලා ලු..."

" මයි ගෝඩ්  .. ඉතින් ස්කොලෙ ගාඩ්ලා නැද්ද "

" එක හරකෙක් ඉන්නවා මන් උදේ ඕක කිව්වමත් ඌ මට බණ කියන්න ආවා ඉන්නවකෝ මන් දැන් ගිහින් කියලා දීලා එන්න "

" කලබල කරගන්ඩ ඕන නෑ මිස්ටර් ඉන්ද්‍රනාථ ඉක්මනට එහෙනම් යන්න "

" පෙරේරා පොඩ්ඩක් මෙතන බලාගන්න මන් ඉක්මනට එන්නම් "

වහා කාර්යාලයෙන් පිටවූ  ඉන්ද්‍රනාථ රිය පනගන්වාගෙන වේගයෙන් පාසල දෙසට ඇදෙයි. පාසල අසලට ලංවෙත්ම  පාසල් ගෙට්ටුව අද්දර ඉන්දීවරීත් සිගිත්තාත් ඔවුන්ට යමක් පවසමින් ඒ අසල ඉන්නා මුරකරුවාත් ඉන්ද්‍රනාථගේ බැල්මට හසුවේ. වහා රිය නවතා රියෙන් බැසගත් ඉන්ද්‍රනාථ  එදෙසට වේගයෙන් ඇදෙයි


" මං කිව්වා නේද උදෙත් මෙහෙම වෙයි කියලා "

 මුරකරු අමතමින් ඉන්ද්‍රනාථ  කෝපයෙන් විමසයි

" නෑ මහත්තයෝ නෝනා කලබල උනා නේ ඒකයි උනේ "

" අනේ මේ තමුසේ මෙතන විකාර නටන් නැතුව ඉන්නවද. මෙතන ලමයින්ට මොකක් හරි උනොත් තමුසෙද වග කියන්නේ "

කෝපයෙන් පුපුරන ඉන්ද්‍රනාථ  ගේ වදන් හමුවේ මුරකරු නිහඩව බිමට දෑස යොමයි

" සමාවෙන්ඩ මහත්තයා "

" සමාවෙන්ඩ නෙවෙ මන් හෙටම ප්‍රින්සිපල්ට මේක කම්ප්ලේන් කරනවා .. "

" හරි .. හරි  අපි දැන් යමු දැන් ඇති ... දරුවට කරදරයක් නෑ නේ.."

කෝපයෙන් පුපුරන සිය සැමියාගේ අතින් අදිමින් ඉන්දීවරී රථය දෙසට ඇදෙයි..

" මං මේක ලේසියෙන් අත අරින් නෑ ආපුදෙන්කෝ හෙට ප්‍රින්සිපල්." කෝපයෙන් දොඩවමින් ඉන්ද්‍රනාථද රථය ඇති දෙසට ඇදෙයි

ගෙට්ටු පලුවක් අල්ලාගෙන බිම බලා හුන් මුරකරුද  සුසුමක් හෙලා පාසල තුලට පියවර නගයි.

දරුවා හා බිරිය රිය තුලට නංවාගත් ඉන්ද්‍රනාථ කෝපයෙන් පුපුරමින් රිය පනගන්වාගෙන පාසලෙන් මාර්ගය දෙසට ඇදෙයි.

" මං ඔය බූරුවට උදෙත් කිව්වා ..."

තවමත් කෝපය පහ නොවූ ඉන්ද්‍රනාථ  ගුගුරයි

" නෑ ඉන්දරේ  .. මමත් ටිකක් කලබල උනා ඒ මනුස්සයා කරදරයක් කලෙ නෑ "

" ඔයාටත් පිස්සුද මොන මගුල උනත් දැන් ඒ ගෑනිට පිස්සූ . මං හෙටම මේ මගුල ප්‍රින්සිපල්ට කියනවා කියලා අර බූරුවත් ගෙදර අරිනවා"

" අනේ ඉන්දරේ ඕවා නිසා කරදර පටලවගන්න එපා දැන් ඕක ඇති "

මේ කිසිවකට ඉන්ද්‍රනාථ සවන් නොදෙයි ඔහුගේ හිත කෝපයෙන් පිරී ඇත.

බ්‍රරා..............ස්...........!!!

වේගයෙන් ආ රථය එක්වරම මහ හඩින් තිරිංග ගසා නැවතුනි

" ඇයි ඉන්දරේ.."

කිසිවක් සිතාගත නොහැකි වූ ඉන්ද්‍රනාථගේ බිරිය  විමතියෙන් සිය සැමියාගේ මුහුන දෙස බලයි..

පාසල් මාර්ගය අද්දර වූ කිසිවෙකු දෙස ඉන්ද්‍රනාථ කෝපයෙන් බලා සිටිනු පෙනේ.

" අනේ ඉන්දරේ අර පිස්සු ගෑනි නේද අපි යමු අනේ.. පිස්සො එක්ක මොනවා කරන්නද "

" ඔයා කටවහගෙන ඉන්නවද අද මේක ඉවරයක් කරන්න ඕන "

ඉන්ද්‍රනාථ කෝපයෙන්ම රියෙහි දොර ඇරගෙන  කාන්තාව සිටින දෙසට ඇදෙයි.  ඉන්ද්‍රනාථගේ බිරියද කලබලයෙන් සිය සැමියා පිටුපසින් ඇදෙයි.

වෙල් යාය දෙස බලාගත් කාන්තාව මොනවදෝ මුමුනමින් සිටී

" මේ ඇහුනද  මීට පස්සෙ ඉස්කෝලෙ ලගට යන්න බෑ තේරුනාද "

ඉන්ද්‍රනාථගේ හඩට ගැස්සුනු කාන්තාව ඉන්ද්‍රනාථ දෙස බලයි

" මගේ පුතා ඉස්කෝලෙ "

" තමුන්ගේ දරුවා දැන් මැරිලා ඒක තේරුම්ගන්නවා. ඔහේ හින්දා අපේ දරුවන්ටත් කරදරයක් වෙනවා"

"තමුසෙ  බොරු කියන්නේ මගේ දරුවා ඉස්කෝලෙ"

ගැහැනිය ඉන්ද්‍රනාථ දෙස බලමින් කෑ ගසයි

"තමුසෙ  බොරු කියන්නේ මගේ දරුවා ඉස්කෝලෙ.. මගෙ දරුවා මැරුනේ නෑ"

" මං ආයෙත් කියන් නෑ මීට පස්සෙ ඉස්කෝලෙ ලගට ගියොත් පොලිසියට අල්ලලා දෙනවා..   "

" මගෙ දරුවා ඉස්කෝලෙ "
 හැඩුම් හඩින් ගැහැනිය මුමුනයි


" තමුන්ගේ දරුවා මැරුනා ඒ ලමයා වලදාලත් ඉවරයි .. ස්කෝලෙ ඔහේගෙ දරුවා දැන් නෑ  ආයෙ ඒ පැත්ත පලාතේ යන්න බෑ තෙරුනාද.. "

" අනේ මේ ඉන්දරේ ඔයාටත් පිස්සුද අනේ අපි දැන් යං "

ඉන්ද්‍රනාථගේ බිරිය සැමියාගේ අතිං ඇදෙගෙන රථය දෙසට ඇදේ

" තමුන්ගේ දරුවා බලාගන්න ඕන නම් යනවා කනත්තට .. අපේ දරුවන්ට කරදර නොකර "

කෝපයෙන් වියරුවූ ඉන්ද්‍රනාථද  ගුගුරමින් රථය කරා ඇදෙයි..

වේගයෙන් ඇදී යන රිය දෙස ගැහැනිය හිස් බැල්මෙන් බලා හිදී. 

" මගේ දරුවා මැරිලා.. "  ගැහැනිය මුමුනයි....   

මිමිනුම ක්‍රම ක්‍රමයෙන් විලාපයක් වෙයි

"මගේ දරුවා මැරිලා.................."


"  මුරකුටියේ සිට මේ සියල්ල දෙස බලා උන් ආරක්ශක නිලදරියා විලාප නගමින් හඩන ගැහෙනිය දෙසට ඇවිද යනු පෙනේ"

  
  +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

වෙනදාටත් වඩා උදෑසනින් පාසල කරා ගිය ඉන්ද්‍රනාථ මුර කුටිය පසු කරමින් විදුහල්පති කාර්‍යලය කරා ඇදෙන්නට විය.. ඒ වන විටත් විදුහල්පති පැමිනි නොසිටි හෙයින් . අසල වූ පුටුවකට බර වූ ඉන්ද්‍රනාථ පත්තරයක පිටු පෙරලන්නට විය


" ආ මිස්ටර් ඉන්ද්‍රනාථ මොකො උදේම මෙ පැත්තේ "

විදුහල්පතිගේ හඩට කලබල ව නැගිට ගත් ඉන්ද්‍රනාථ  සිහින් සිනාවක් නගයි

" ආ සර්  මම දැක්කේ නෑ මං සර්ව හම්බවෙන්නමයි ආවේ "

" ආ.. එ මොකෝ මිස්ටර් ඉන්ද්‍රනාථ මොකක් හරි ප්‍රශ්නයක් ද "

" ඔව් සර් සරුත් දන්නවනේ අර ලමය නැති වෙච්ච ගෑනූ කෙනා නිසා තියන ප්‍ර්ශ්නේ . ඊයෙ මගෙ ලමයටත් කරදර කරලා බබාගේ අතත් සීරිලා.  මං ඉස්සරහ සිකියුරිටි ගාඩ්ට කිව්වම මිනිහ සත පහකට එක ගනන් ගත්තෙ නෑ "


"හ්ම්ම්ම්...."

විදුහල්පති නිහඩව හිස සලයි

" මිස්ටර් ඉන්ද්‍රනාථගේ ප්‍ර්ශ්නේ ඒකනම් මීට පස්සෙ ඒ ගැන බය වෙන්න දෙයක් නෑ . ඒ ප්‍ර්ශ්නේ විසදිලා ඉවරයි දැන් "

ඉන්ද්‍රනාථ පුදුමයෙන් විදුහල්පතිගේ මුහුන දෙස බලයි

" ඔව් මිස්ටර් ඉන්ද්‍රනාථ ඒ ගෑනු කෙනා ඊයෙ හවස මැරිලා. මැරිලා නෙවෙ ගගට පැනල සියදිවි නසාගෙන "

" මොනවා........... "

තමා වටා වූ සියලු දේ කැරකෙන බවක් ඉන්ද්‍රනාථට දැනෙයි..  විදුහල් පති තව මොන මොනවදෝ කීවද ඒ කිසිවක් තමාට නොඇසෙන්නාක් මෙන් ඔහුට හැගෙයි..

" මං ගිහින් එන්නම් සර් "

විදුහල්පති කාර්‍යලයෙන් එලියට බට ඉන්ද්‍රනාථ සිතුව්ලි හිස් වූවකු සේ ගෙට්ටුව කරා පියනගයි. ගේට්ටු කනුව ආසන්න‍යෙදී .. යමෙකුගේ හඩකින් ඉන්ද්‍රනාථ පියවි ලොවට පැමිනෙයි

" මහත්තයා ..."

හඩ ආ දෙසට මුහුන හැරවූ ඔහුට තමා දෙස බලා සිටින ආරක්ශක නිළදාරියා දිස්වෙයි..

" දැන් ප්‍ර්ශනේ විසදුනාද මහත්තයෝ "

ඉන්ද්‍රනාථ කිසිවක් නොදොඩා බිම බලාගයි.

" ඕනම මිනිහෙක් ජීවත් වෙන්නේ බලාපොරොත්තුවක් උඩ මහත්තයා...  ඒ ගෑනිට තිබ්බ එකම බලාපොරොත්තුව ඒ ගෑනිගේ දරුවා මෙතන ඉන්නවා කියන එක.. ඒක නැති උනාට පස්සෙ ඒ ගෑනිට ජීවිතෙන් වැඩක් නෑ  "

කිසිවක් නොදොඩා ඉන්ද්‍රනාථ බිම බලාගත් වනම ගේට්ටුව දෙසට පියවර තබන්නට වෙයි..

තමා පසු කර යන ඉන්ද්‍රනාථ දෙස බලා සිටි ආරක්ශකයා සිතේ තදකරගෙන තිබූ අවසන් වචන කිහිපයත්  ඉන්ද්‍රනාථ දෙසට දමා ගසයි

" මිනීමරුවා..."




This entry was posted on Thursday, March 21, 2013 at Thursday, March 21, 2013 and is filed under , , . You can follow any responses to this entry through the comments feed .

3 දෙනෙක් ගේ අදහස්

Anonymous  

meka meeta kalin dekala tiyenawa,
copy karagatta thena demmanam neda honda

March 22, 2013 at 6:40 AM

අම්මා කෙනෙක් ජීවත් වෙන්නේ ඒ බලාපොරොත්තු මත තමා. හැබැයි උඩ කියලා තියෙන කථාව ඇත්තක්නම්, උපුටාගත්ත තැනත් දාමු නේද සහෝදරයා.

March 22, 2013 at 3:45 PM

ලහිරු සහ ඇනෝ සහෝදරයා . මුරගල කියන්නේ මම සහ තවත් බ්ලොග් කරුවන් කිහිපදෙනෙක් විසින් කරගෙන යන බ්ලොග් අඩවියක් , මීට අමතරව අප විසින් පුද්ගලිකවද බ්ලොග් අඩවියක් පවත්වාගෙන යනවා. මෙහි පලකරන බොහෝ නිර්මාණ එම පුද්ගලික වෙබ් අඩවියේද පල කරනවා. ඔබ විසින් දකින්නට ඇත්තේ ඒ පලකෙරුනු නිර්මාණයක් විය හැක. මෙම නිර්මාණය මාගේ නිර්මානයක් බව තහවුරු කරමි.

March 23, 2013 at 10:02 PM

Post a Comment

ඔබේ අදහස් අපිට ශක්තියක්