05
Dec
අවුරුදු..
ඉර හැරෙන්නට තව බොහෝ වේලාවක් නැත. වැස්සක පෙරනිමිති පෙනෙන්නට ඇති නිසාදෝ පය ඉක්මන් කර දිව යන්නන්ගෙන් නගරය පිරී ඇත. වීදිය කෙලවරක නැවතුනු සැප රියේ තොරතෝංචියක් නොමැතිව දොඩමලු වෙන පොඩි එකෙකි. පොඩි එකාගේ මව ඔහු අසනා සෑම ප්‍රශ්නයකට කුමක් හෝ කියා ඔහු සනසවන්නට වෙරදරයි.
" අම්මේ ඇයි අම්මේ අර මාමා බෑග් එකක් අරන් දුවන්නේ " ඇස් දෙකද කටද එකසේ ඇරගත් පොඩිත්තා අම්මාගෙන් විමසයි.
" ඒ මාමා ගෙදරට කෑම ගෙනියනවනේ පුතේ "
" ඉතින් අම්මේ ඒ මාමට බැරිද සේනට කියලා බඩු ගෙන්වගන්න "
" සේන ඉන්නෙ පුතේ අපේ ගෙදර වැඩටනේ , ඒ මාමලගේ ගෙදර වැඩට සේන කෙනෙක් නැතුව ඇති"
පොඩිත්තාගේ ප්‍රශ්න වල කෙලවරක් නැත
" ඇයි අම්මේ ඒ මාමලට ගෙදර වැඩට සේන කෙනෙක් නැත්තේ "
" හා හා දැන් ඒ කතා ඇති දැන් තාත්ති ඔයාට චොකෝ අරන් එයි එතකන් හොද පුතා වගේ මේ ටෙඩියා එක්ක සෙල්ලම් කරන්න "
පොඩිත්තාගේ කෙලවරක් නැති ප්‍රශ්න වැලෙන් හෙම්බත් වී සිටි පොඩිත්තාගේ මව දුරකථනය සුරතට ගත්තේ සැමියාගේ පමාව ගැන විමසීමටය.
පහත් වූ රිය කවුලුවේ එල්ලී ගත් පොඩිත්තා ඔහේ කියවමින් සිනාසෙමින් දෑතට සිරවූ පුලුන් ටෙඩියාට වද දීම අරඹා තිබිනි.
පොඩිත්තා හා මව ඇරෙන්නට මේ කතන්දරය දෙස බලා සිටින තවත් අමුත්තෙකි.. වීදිය කෙලවර වැටෙහි එල්ලී ගත් අමුත්තා ආයාගත් මුවින් . රියෙහි පොඩිත්තා දෙස බලා සිටී
වයසින් පමනක් රියෙහි පොඩිත්තාට සමාන වූ අමුත්තා.. කාශ්ටක නගරයේ තවත් සමාජ ඉස්තරයක් නිරූපනය වෙන කොටසක පුරුකකි. නාටාමිවරයෙකුට හා එදා වේල වෙනුවෙන් මන්දිර වල බැලමෙහෙවර කරන්නියකට දාව ලෝකයට පය ගැසූ මේ අමුත්තා.. තමා ඉදිරිපිට වූ වැටෙහි එල්ලී බලා සිටින්නේ.. තමා තරම්ම වූ රියෙහි ලැග ඉන්නා ගේ අතේ පොඩිවෙන පුලුන් සුරතලා දෙසය
පුළුන් සුරතලාට වද දෙමින් සිටි පොඩිත්තාගේ දෙනෙත් හදිසියේ තමන් දෙස බලා සිටින පොඩිත්තා දෙසට යොමු විය
" අම්මේ ආං.... "
පොඩිත්තා සිය දෑත් දිගු කර සිය මවට තමන් දෙස බලා සිටින අමුත්තා පෙන්වයි
" කවුද අම්මේ ඒ "
" ඒ පොඩි ලමයෙක් නේ පුතේ "
" ඇයි අම්මේ එයා කමිසයක් ඇදලා නැතුව ඉන්නේ "
" එයාට අමතක වෙන්න ඇති පුතේ "
" එයාගේ අම්මා කෝ එයා තනියමනේ ඉන්නේ "
" අම්මා ලග ඇති පුතේ "
තමා දෙස බලා සිටින අමුත්තා දෙස තව වරක් බැලු පොඩිත්තා සිය දෑත උස්සා සහෝදර ආචාරයක් කලේ අමුත්තාට තමුන් දෙසට එන ලෙස ඉල්ලීමක් කරමිනි
පලමු දෙවන වර මදක් පැකීලීමක් පෙන්වුවද ඊලඟ වාරයේදී වැටෙන් බැසගත් අමුත්තා සෙමින් සෙමින් නවතා තිබෙන රිය දෙසට කිට්ටු විය.
" අපි සෙල්ලම් කරමු "
අමුත්තා රිය වෙත ලංවූ සැනින් පොඩිත්තාගෙන් ඇරයුමකි
" දැන් බෑ පුතේ දැන් තාත්තා එයි.. අපි දැන් සීයලාගේ ගෙදර යන්න ඕන නේ සෙල්ලම් කරන්න ගියොත් වෙලා මදි වෙයි ඔන්න "
" ඔයා ඇයි කමිසයක් ඇදලා නැත්තේ "
" කමිසේ හේදුවා තාම වේලිලා නෑ "
" ඉතින් වෙන එකක් අදින්නකෝ "
" මට වෙනින් කමිස නෑ එකයි තියෙන්නෙ "
පොඩිත්තා අයාගත් දෑසින් මව දෙස බලයි
" ඇයි අම්මේ එයාට වෙන කමිස නැත්තේ "
පොඩිත්තාගේ ප්‍රශ්න හමුවේ හෙම්බත් වී සිටි පොඩිත්තාගේ මව වහා පොඩිත්තාගේ කතාව වෙනතකට හරවයි
" අපි අවුරුද්දට සීයලා බලන්න ගමේ ගියාම ඔයාට පුලුවන් ඕන තරම් සෙල්ලම් කරන්න "
පොඩිත්තාගේ මුහුන හදිසියේ අමුතු ආලෝකයකින් පිරේ
වහා අලුත් මිතුරා දෙසට හැරුනු පොඩිත්තා හඬ අවදි කරයි
" ඔයා යන් නැද්ද සීයලගේ ගෙදර අපිනම් යනවා තාත්තට ගොඩක් නිවාඩු හම්බ උනා නේ අපි එහෙ ගිහින් ගගෙත් නානවා "
උඩ බිම බලමින් රියෙහි අසිරි විදිමින් සිටි අමුත්තා අදුරු මුහුනෙන් යුතුව පොඩිත්තාට පිලිතුරු බදී
"අපේ ගම ඉතින් මෙහෙනේ. අපිට සීයා කෙනෙක් නෑ . අනික තාත්තට අවුරුද්දට නිවාඩු නිසා සල්ලිත් නෑ අවුරුදුත් නෑ."
පොඩිත්තා වහා මව දෙස බලයි
" ඇයි අම්මෙ එයාගෙ තාත්තට නිවාඩු නිසා සල්ලි නැත්තේ අපේ තාත්තට නිවාඩු උනාට සල්ලි තියනවනේ මෙයා බොරු කියනව නේද අම්මේ "
"ඔයා බොරු කියන්නෙ "
" බොරු නෙවෙ අවුරුද්දට කඩ වැහුවම ලොරි එන් නෑ නෙ ඉතින් තාත්තට වැඩ නෑ ඉතිං සල්ලි නැ නේ එතකොට "
පොඩිත්තාට මේවා මහා ප්‍රෙහේලිකාවකි , පිලිතුරක් බලාපොරොත්තුවෙන් පොඩිත්තා විටෙක ම්වත් විටෙක් අමුත්තා දෙසත් බලයි
" පුතේ ඔය වීදුරුව වහන්න දූවිල්ල එනවා "
වැසී යන වීදුරුව අතරින් බොද වෙන පොඩිත්තාගේ රුව දෙස යාන්තමින් බැලු අමුත්තා තමන්ට පුරුදු මාවත ඔස්සෙ වීදි කෙලවරට පිය නගන්නට විය
රිය තුලට වූ පොඩිත්තා දෑතේ වූ පුලුන් සුරතලා ගුලි කරමින් තම සිතේ වූ අන්තිම ප්‍රශ්නයත් මවගෙන් විමසිය
" අම්මේ එයා බොරු නේද කිව්වෙ එයාලටත් අවුරුදු නේද"
පිරී ඉතුරුන වීදි තුල සැමියාගේ රුව සොයමින් සිටි පොඩිත්තාගේ මවගෙන් දෙවරක් නොසිතාම පොඩිත්තාගේ ප්‍රශ්නයට පිලිතුරක් ලැබුනි
" ඔව් පුතේ එයාලටත් අවුරුදු "
This entry was posted
on Wednesday, December 05, 2012
at Wednesday, December 05, 2012
and is filed under
අවුරුදු,
උපේන්ද්‍ර හර්ෂණගෙන්,
කෙටිකතා
. You can follow any responses to this entry through the
comments feed
.