බ්‍රැන්ඩි
දොර ඇරෙයි. සැර විලවුන් සුවඳක් පැතිරෙයි.
දොරින් ඇතුළු වෙන සරා, නිකමට මෙන් කාර්යාලය දෙස බලා, නාන කාමරයට යන පටු කොරිඩෝවට හැරෙයි. දෙපස පැලුම් සහිත, දිය සෙවෙල් පැහැ සාය, ඇගේ ඇත් ගමනට උචිත පරිදි යන්තමින් සැලෙයි.
"කස කාරයා ආවා." එකෙක් කියයි. කසුකුසු සිනාවක් නැගෙයි. කාර්යාලය වැඩට සූදානම් වෙයි.
එක්වනම සිරුර කෙළින්කොට සීරුවෙන් සිටගන්නා රණසිංහ, කඩිනමින් දොර හැර, රිදී කෙසින් යුත් හිස මඳක් ඇල කොට, පක්ෂපාතීව සිනාපායි.
"ගුඩ් මෝනිං."
විශ්වාසයෙන් කියන ලක්මාල් දිගු අඩි තබමින් කාර්යාලයට ඇතුළු වෙයි.
"මෝනිං සර්." රණසිංහ ඔහුගේ සෙවණැල්ලට සෙමින් කියයි.
ඇතැම්හු හුනස්නෙන් නැගිටිති; ඇතැම්හු නැගිටින්නට මෙන් සැරසෙති. සියල්ලෝ මන්දස්මිතයකින් සැරසී අරුත් නොසිතාම ආසිරි පතති.
"ගුඩ් මෝනිං සර්."
කැමැත්තෙන් කූඩු වෙන සතෙකු බලෙන් නතර කර ගත්තාක් මෙන් ලක්මාල් මොහොතකට නවතියි.
"ගුඩ් මෝනිං."
"අන්තිම දවස නේ?" කවුදෝ කියයි.
ලක්මාල් "හ්ක්." කියා නිහඬ සිනාවක් දක්වයි.
"සර් ආවෙ නෑනෙ ඊයෙ වැඩ සටහනට. අපි බලං හිටියා නෝනත් එක්කම එයි කියලා."
ලක්මාල්ගේ සිනහව අඳුරු වෙයි.
"ඊයෙ වැඩ වගයක් තිබුණා සමිත. අදින් පස්සෙ මෙහෙ නැති හින්දා සේරම ඉවරයක් කර ගන්ඩ ඕනෙනෙ. කොහොමද, අපේ වැඩේ හොඳට කෙරුණද?"
"හොඳට කෙරුණා සර්." කීප දෙනෙක්ම ඉදිරිපත් වී ළමා නිවාසයෙහි සිල් ඇත්තන්ට පෙරදින දුන් දානය පිළිබඳව විස්තර කියති. ලක්මාල් අතරින් පතර ප්‍රශ්නයක් නගා උනන්දුව පෙන්වයි.
"හොඳයි හොඳයි. වැඩේ හොඳට කෙරිලා තියෙනවා. අපේ කට්ටිය එකතු වුණොත් ඉතින්, ආ?" කිට්ටුවෙන්ම සිටින්නාගේ උරහිසට තට්ටුවක් දමන ලක්මාල් සිය කූඩුව තුළට රිංගාගනී. බෙල්ල යට කසන ලද බළලුන් සමූහයක් මෙන් පිරිස පුරු පුරු ගාති.
"නිහතමානි මනුස්සයා..... අපරාදෙ."
සරා නාන කාමරයෙන් එළියට එන්නේ මේ නාඩගමේ අවසානයටය. ඇගේ විසිර තිබුණු හිස කේ යළි පීරා සකසා ඇත; වත්සුණු යළි තවරා වියැකී යන සම ආයිත්තම් කර ඇත; මේ දැන් දැවටූ පුසුඹ ඉස්මොළ හාරාගෙන යන තරමි. මුහුණ සිනහවකින් ආලෝකමත්ව ඇත.
"මේ, ඔයා සර්ජිකල් ස්ප්‍රීට්ද දාන්නෙ?"
"නෑ, වයින් ස්ප්‍රීට්."
"බලාගෙන ගිනි ගනී."
"ගිනි, නේද?"
අවලම් සිනහවක් නැගෙයි. සරා දෙකේ පන්තියේ කොල්ලන් දෙස හෙළන බැල්මෙන් බලා අසුන් ගනී.
චමිලා මුහුණ පුරා සිනාවේගෙන අවුත් සරාගේ මේසයෙහි තැවරෙයි; එහි දාර අත්ලෙන් පිරිමදින ඈ ආදරයෙන් අමතයි.
"සරා මිසී."
"ගුඩ් මෝනිං." සරා නළවමින් කියයි.
"සරා මිසී ආවෙ නෑනෙ ඊයෙ."
"ඊයෙ සරා මිසීට හුඟාක් වැඩලු." එකෙක් හොට දමයි. "සිල් ගත්තලු, කොහොමද..."
"සිල් ගත්තා තමා." සරා බොරු කෝපයක් මවාගෙන කියයි.
"ෂුවර්ද? ඇත්ත කියන්න, හාමුදුරුවො දුන්නු සිල් සේරම ඔයා ගත්තෙ නෑ නේද?"
"අරන් බෑනෙ. නේද සරා?"
"එන්න එපා." සරා නළවමින් කියයි.
"ඕක මචං ඔය බුදු හාමුදුරුවො සිල් දේසනා කරපු පිළිවෙලේ තියෙන වැරැද්ද." එකෙක් කියයි. "මුසාවාදා කියන්ඩ තියෙන්නෙ හතරවෙනියටනෙ. මුල් තුනම කියන්නෙ බොරුවට."
සරා සිනාසෙයි.
ඇගේ සිනාවෙන් සතුටු වෙන චමිලා නැවතත් කියවයි. "අපි ඊයෙ සරා මිසීගෙ කෝපි බෙදුවා උදේ තේවලට."
"තේවලට කොහොමද චමිලා කෝපි බෙදන්නෙ?" එකෙක් අසයි. කණිටු සේවිකාවක නිසාවෙන් චමිලා ඔවුන් හා එකටෙක නොකියයි.
"උදේට උණු කෝපි එකක් තිබ්බනම් හොඳයි අයිස් කෝපිවලට වඩා." කිසිම දෙයක හොඳක් නොදකින හේරත් කියයි.
"අයිස් කෝපි හොඳයි." හේරත් සමග ජන්මාන්තර වෛර ප්‍රියන්ති පිළිතුරු දෙයි. "උණු කෝපි බීලා අර ඌස්නෙ ඉන්නෙ කොහොමද?"
"හැබැයි සරාගෙ කෝපි එකනම් නියමයි, ආ." හර්ෂ තෘප්තිමත් හඬින් කියන්නේ ප්‍රියන්ති හා හේරත් අතර වාග් සංග්‍රාමයක් ඇති වීම වළක්වනු පිණිසය.
සරා ආඩම්බරකාර සිනහවක් පායි.
"බ්‍රැන්ඩි හින්දා ඒ රහ."
"මොකක්?" හේරත්ගේ ඇස් දොට්ට පැනීමට ආසන්නය. "පෝය දවසෙ, සිල් සමාදන් වෙලා ඉන්න, පොඩි ළමයින්ට දුන්නු කෝපි එක බ්‍රැන්ඩි දාලද හැදුවෙ?"
"එහෙම තමයි අයිස් කෝපි හදන්නෙ." සරා ටිකක් සැරෙන් කියයි.
"වෙන දවසකට කමක් නෑ. පෝය දවසෙ..."
"ඇයි, පෝය දවසට රහට බොන්න තහනම්ද?"
"බ්‍රැන්ඩි..." හේරත් අත වනා පසෙකට හැරෙන්නේ කතා කිරීමෙන් පලක් නැති වග හඟවනු පිණිසය. "හරි වැරැද්ද දන්න කෙනෙක් එක්ක එපායැ කතා කරන්ඩ. රහ!"
"ඒකෙං මේකෙං ආයෙනං ඉතින් හර්ෂයට කසාද හොයලා හමාරයි." ප්‍රියන්ති සිනාසෙයි. "දැන් කොහොමද උඹලගෙ අම්මා කටක් ඇරලා කියන්නෙ මත්පැන් පොදක් කටේ තියලා නැති දරුවා කියලා?"
"සමහරවිට දැන් එකක් හරියයි. නොබොන එකද දන්නෑනෙ පරහට හිටියෙ." සමිත සිනාවට එක් වෙයි.
"එකක් කියන්නම් හර්ෂ." හේරත්, බණක් දෙසීම පිණිස, ශ්‍රාවකයකු හමු වීමේ ප්‍රීතියෙන් එදෙසට හැරේ; හර්ෂ සාමාන්‍යයෙන් වැඩිහිටියන්ගේ සිත් නොරිදවයි.
"එකයි." සමිත අහක සිට ගණන් කරයි.
හේරත් ඔහු දෙස නොබලා කතාව කරගෙන යයි.
"ඔය අම්මට ඕනෙ විදිහටයි පුංචි අම්මට ඕනෙ විදිහටයි ඔක්කොම බල බල හිටියොත්නම් පුතා, උඹට මේ ආත්මෙ කසාදයක් බඳින්ඩ වෙන්නෙ නෑ."
"මම අවුරුදු හතළිස් පහක් වෙනකං බලනවා. එතකනුත් කවුරුවත් හම්බුණේ නැත්නම් සරාව බඳිනවා!" හර්ෂ කියන්නේ අවධානය වෙනතකට හැරවීම පිණිසය.
සරා නැවතත් දෙකේ පන්තියේ කොල්ලන් වෙත හෙළන බැල්ම හෙළයි.
"සරා එක්ක යන්ඩ එහෙම ලේසි නෑ බං..."
කතාව නවතින්නේ රණසිංහ නැවතත් සීරුවෙන් සිට දොර විවෘත කිරීමට සූදානම් වන හෙයිනි.
ලාච්චු ඇරේ; ලියකියවිලි මේස මතට එයි; පරිගණක බුම්ම් ගාති.
"ගුඩ් මෝනිං." සිය බ්‍රීෆ් කේසය අතට ගත් රණසිංහට ගොරවන විජේනායක කාර්යාලයට ඇතුළු වෙයි. ඇතැම්හු නැගිටිති; ඇතැම්හු නැගිටින්නට මෙන් හදති; ඇතැම්හු 'වැඩ නිසා ළඟට එනකං දැක්කෙ නෑ' මෙන් බලා කලබලයෙන් නැගිට සිනාපාති.
'තොපි සේරටම හෙණ වැදිය' වැනි හඬින් "ගුඩ් මෝනිං" කියාගෙන විජේනායක කූඩුවට රිංගා ගනී. රණසිංහ බ්‍රීෆ් කේසය රැගෙන ඔහු පසුපසින් ඇදෙයි.
"ගුඩ් මෝනිං සර්." හේරත් සද්දෙන් කියයි. සමිත ඔහු දෙස අවඥාවෙන් බලයි.
එවර පිරිස ඇත්තටම ලියකියවිලි අදිති.
හරියටම නවයයි දහයට, නව පත්වීමෙහි වැඩ භාරගනු පිණිස රතු පැහැ ටයි පටියක් හා ඉදිරිපස උල් වූ සපත්තු ජෝඩුවක් පැමිණෙයි. විජේනායකගේ කූඩුවෙන් ලක්මාල්ගේ කූඩුවට මාරුවන ටයි පටිය හා සපත්තු ජෝඩුව එහි කාර්ය බහුල වෙයි.
"සරාත් ගියොත් හොඳ නැද්ද ඇතුළට?"
"මොකටද?" සරා ඇද පැද අසන්නේ නොතේරෙන නියායෙනි.
"නෑ ඉතිං, ලක්මාල් සර්ගෙ වැඩ සේරම බාර දෙන්ඩ එපැයි."
"එන්න එපා." සරා ගයයි.
තත්පර කටුව හැල්මේ දුවයි; විනාඩි කටුව පනියි; හෝරා ගෙවෙයි.
ෆයිල් කවර මේස මතට එයි; ඇරෙයි; තවත් කොළ කිහිපයක් ගිලගෙන නැවත කොහේදෝ යයි.
ඉලක්කම් හුවමාරු වෙයි; අකුරු වචන වෙයි; වාක්‍ය වෙයි; මැකෙයි; නැවත ලියැවෙයි.
චමිලා එහෙ දුවයි; මෙහෙ දුවයි. ඉස්පාසුවක් ඇතත් නැතත් සරා අසල මඳක් නවතින ඈ සිහින් හඬින් යමක් කියයි. සරාගේ පිළිතුරු අසා සතුටු වෙයි.
රණසිංහ දොර අරියි; වසයි.
ෆයිල් කවරයක් ඕනෑවට එපාවට පෙරළන හර්ෂ, එය පසෙක තබා පුටුවෙහි දිග ඇදී ඇඟමැළි කඩයි.
"අදනං කිසිම වැඩ කරන මානසිකත්වයක් නෑ."
"උඹට වෙනදට එහෙම එකක් තියෙනවද?"
"නෑ බං, අඩු ගානෙ වැඩක් නොකරන මානසිකත්වයක්වත් තියෙනවනෙ."
"ලක්මාල් සර්ට කියමුද පාටිය ටිකක් කලින් ගන්ඩ කියලා?"
ප්‍රියන්ති ඇසෙන් සරාව දක්වයි.
"සරා" සමිත අමතයි. සරා හොර සිනාවක් පාමින් එදෙසට හැරෙයි.
"පාටිය කලින් ගමුකො."
"කලින් ගන්නෙ කොහොමද?" සරා දැනමුතු හඬකින් පිළිතුරු දෙයි. "වැඩ බාර දීලා ඉවර වෙන්ඩ ඕනෙනෙ."
"වැඩනම් ඉතින් පස්සෙ සරාට වුණත් හෙමීට බාර දෙන්ඩ බැරියැ."
"සරා සේරම වැඩ දන්නෑනෙ, නේද සරා?"
"දවල්ට කාලා පැයක් ගියෙ නෑ." සරා බොරු කෝපයක් මවා ගනී.
"දවල්ට හරියට කෑවෙත් නෑ."
"ඕක කලින් ඉවර කරගත්තහම අනික් වැඩේටත් ටිකක් කලින්ම සෙට් වුණහැකි." සමිත සිහි කරන්නේ කාර්යාලයීය සාදයෙන් ඉක්බිති වෙරළ අසබඩ වාඩියෙහි සූදානම් කර ඇති මත්පැන් සාදය පිළිබඳවය.
අඳුර යන්තමින් පැතිරෙයි. වාහන, නළා හඬ පතුරමින් කෝපයෙන් දිවෙති. මග දෙපස පහන් කණුවලින් එළියක් වැනි යමක් ගලයි. සරා වීදි කොණෙහි සුපුරුදු ස්ථානයේ රැඳී සිටී.
සාදයෙන් ඉක්බිති යළි ගැල්වූ විලවුන් සුවඳ අවට පැතිරෙයි. මග යන්නෝ අමුතු විදිහකට ඈ දෙස බලති. ඒ බැලුම් ගණන් ගන්නේ සරා නොවේ.
ඈතින් කාර්යාලයෙහි දොරකඩ දිස්වෙයි. උදෑසන වීදුරු දොරටුව අසල රාජකාරි කළ රණසිංහ, දැන් අඳුරු කාර්යාලයීය ගරාජයේ සිට මහමගට බසින වාහන සඳහා ආවතේවකම් කරයි. මත්පැන් සාදය සඳහා යනු වස්, වාහන ඇතියවුන් දෙතුන්දෙනා කැමැත්තෙන්ම සෙස්සන් නංවා ගනිති. නොබොන්නවුන් සමුගෙන නිවෙස් බලා පිටත් වෙති.
ලක්මාල්ගේ රත් පැහැ කාරය රණසිංහගේ සංඥාව අනුව මගට බසී. සරා සූදානම් වන්නීය. වීදියේ වාහන හා මුසුවන කාරය අකමැත්තෙන් මෙන් ඈ අසලදී වේගය බාල කරයි. සරා පදික වේදිකාවෙන් මහමගට බසින්නේ දොර විවර කරනු වස් අතද දිගු කරගෙනය. එහෙත් ඉදිරිපස වීදුරුව පහත් වනු දැක ඇය මොහොතකට නවතින්නීය. අසුන මත විසිතුරු ආවරණයෙන් යුත් තෑගි පෙට්ටියක් වෙයි.
ලක්මාල් රියැදුරු අසුනේ සිට දිග ඇදී ඈ අමතන්නේ හදිසිය හැඟවෙන කටහඬිනි.
"අදනම් බෑ සරා. හිතුවට වඩා වෙලා ගියා. දැන් කෙළින්ම යන්න ඕන වාඩියට, කට්ටියත් එක්කම. නැත්නම් හරි නෑ."
ඇගේ පිළිතුර බලාපොරොත්තු නොවෙන ලක්මාල් රැගත් රිය, වීදුරුව නොඔසොවාම ඉදිරියට ඇදෙයි.
කුමක් කළ යුතුදැයි නොහඟින සරා ඈත දිවෙන කාරය දෙස හිස් සිතින් බලා සිටී. අඩ අඳුරේ අනෙක් වාහන හා මුසු වන රත් පැහැ කාරය වෙන් කොට හඳුනාගැනීම අපහසුය; බොඳ නෙත් තුළින් ඒ හඳුනාගැනීම වඩාත් අපහසුය.
ඈ නැවත පදික වේදිකාවට නගින්නීය. බස් නැවතුම්පොළට යා යුතුය. මේ වේලාවට බස් තිබෙනු විය යුතුය. පැයක්, එකහමාරක් වැනි කාලයක් තුළ ඇයට නිවෙසට යාමට හැකි වනු ඇත. ලක්මාල් කියනුයේ සත්‍යයකි. සාදයට ඔහු ප්‍රමාද වීම නුසුදුසුය. ඈ ඒ පිළිබඳව කලින් කල්පනා කළ යුතුව තිබුණි. සමහරවිට පෙර දිනම ඒ පිළිබඳව කතා කරගෙන තිබුණානම් අද මේ සිදුවීම වළකා ගත හැකිව තිබුණි. මාරු වීම පිළිබඳව සාකච්ඡා කිරීම ලක්මාල් හිතාමතාම මග හැරියේ හේතුවක් ඇතිව විය යුතුය. ඉඩ ලද විටෙක ඔහු නැවත පැමිණෙනු ඇත.
සමු ගැනීමක් අවශ්‍ය නොවේ.
සමු ගැනීමක්....?
සරාට ඉකි ගැසෙන්නේ සිතීම කල් දමමින් තිබූ දේ අනපේක්ෂිතවම සිදු වූ හෙයිනි. මග යන්නෝ අමුතු විදිහට බලනු සරාට තව දුරටත් නොපෙනෙයි. ඇයට අවැසි මෙතැනින් දිව යාම පමණෙකි. සුවඳ කැවූ ලේන්සු පොඩියෙන් දෙනෙත් පිසිමින් සරා පිය මනින්නේ කොහේ යන්නේදැයි නිනවු නැතිවය.
"සරා මිසී."
ටිකක් ඈතින් ඇසෙන වෙහෙසට පත් කටහඬින් සරා නැවතෙන්නීය. රණසිංහ කාර්යාල දොර දෙස හැරි හැරී බලමින් ඈ වෙත කඩිනම් ගමනින් එයි.
"චුට්ටක් ඉන්ඩ මිසී. තව ටිකකින් මං ඕෆ් වෙනවා. මාත් හෝමාගම බස් එකේමයි යන්නෙ. මිසීව ගෙදර ළඟින් බස්සන්නං. ඔහොම යන්ඩ එපා."