කුටුම්භය  

Posted by නලිනි චන්දිමා in , ,

"අක්කා.."
 

සරත් ශබ්ද නැගෙන සේ පා පිස දමමින් තමන් ආ බව හැඟවීය. සාලය කෙළවර වූ කෑම මේසය ළඟ වාඩි වී සිටි සංජීව පත්තර පිටුව මඳක් මෑත් කර  " ආ, මල්ලි. අක්කා කුස්සියෙ." කියා නැවත පත්තර අතර ගිලිණි.
 

"අක්කා.." කුස්සිය දෙසට පිය මනිමින් සරත් නැවතත් ඇමතීය. ඉන්දුට ඔහුගේ හඬ ඇසුණමුත් ඕ සොහොයුරා තමන් ළඟට එනතුරු සිටියාය.

"මල්ලි. වැඩ ඉවරයක් නෑ."


සරත් කුස්සියේ උළුවස්සට හේත්තු වී සොයුරිය දෙස මොහොතක් බලා සිටියේය. ඔහුට වඩා වසර හතරකින් වැඩිමහළු ඉන්දුට උරටත් උඩින් ගේදොර වැඩ කටයුතු තිබුණේ සරත්ට යන්තමින් මතක ඇති කාලයේ පටන්මය. ඉන්දුගේ ඉල්ලීමක් නැතිවම ඔහු සේදූ භාජන ගෙන ගොස් රාක්කයේ තැන්පත් කළේ කුඩා කල පුරුද්දෙනි. සොහොයුරාත් සොහොයුරියත් නිශ්ශබ්දව තම තමන්ගේ කාර්යයේ නියැළුණහ.

"යං මල්ලි සාලෙට. මං වතුර එකක් ලිපේ තියලම එන්නං." ඉන්දු කීවේ අන්තිම භාජනය වතුරට අල්ලන අතරතුරය.
"තේනං ඕන නෑ අක්කා."
තමන්ගේම ගැටළුවල පැටළී සිටි ඉන්දු සරත්ගේ ස්වරයේ වූ ශෝකාකූල බව හැඳින්නේ දැන්ය.
"දැං කොහොමත් තේ වෙලාවනෙ. යංකො පොඩ්ඩක් වාඩි වෙන්ඩ. මටත් ඉන්ඩ බැරුව කකුල් කැක්කුමයි උදේ ඉඳන් වැඩ කරලා."
"පුතාලා ගෙදර නැද්ද අක්කා?" සරත් ඇසුවේ සාලයට යමිනි.
"ඔහෙ ඇති මොකකට හරි නියෝගෙන. මං විතරනෙ මේ ගෙදර වැඩකාරි." ඉන්දු මිටි තැනින් ගලා යන ලෙස වක්කඩය හැරියාය.  




මල් මැසූ කොට්ටය අතට ගෙන දිගු වේවැල් අසුන මත වාඩි වූ සරත් එහි මෝස්තරය පිරික්සා පසෙකින් තැබීය. සංජීව තවමත් පුවත්පතට ඇලවී සිටී.

ඉන්දු සොහොයුරාට මුහුණ ලා හිඳ ගත්තාය.
"ඉතිං මල්ලි?"
"මට එපා වෙලා ඉන්නෙ අක්කා. එහෙන් රස්සාවෙ ප්‍රශ්න. මෙහෙන් ගෙදර එනකොට තව ප්‍රශ්න. දමල ගහල යන්ඩ තැනක් තිබුණනං මං ගිහිං මෙලහට." ඉඩක් ලැබුණු මොහොතට සරත්ගේ සිත උතුරා පිටාර ගලන්නට විය.
"ප්‍රස්න කියන ඒවා කාටත් තියනව. ඒවා නැති තැනක් හොයන්ඩ බෑ." සංජීව අහක සිට පිළිතුරු බැන්දේ පුවත්පතින් ඇස් ඉවතට නොගෙනය.

සරත් ඔහු දෙසත් ඉන්දු දෙසත් බලා යළි නිශ්ශබ්ද විය.
 

"රස්සාවෙ ප්‍රශ්න තිබුණා කියලා ඉතිං ගෙදර ප්‍රශ්න හදාගන්ඩ එපා." ඉන්දු තමන්ට තේරෙන ලෙස විසඳුමක් දුන්නාය.
"මං හදා ගත්ත එකක් නෙවෙයි අක්කා. මේ නිලූ කරන වැඩවලින් මට වැඩපොළටවත් මූණ දෙන්ඩ බැරි වෙනවා."
"මොකද වෙලා තියෙන්නෙ?" එවර සරත්ගේ වදන් සංජීවගේ ඇස් පුවත්පතෙන් ඉවතට ගැනීමට සමත් විය. මානව සම්පත් කළමණාකරණ විෂයට සංජීවට උපාධියක් තිබේ.
 

"ගිය සතියෙ දවසක මට හොරෙන් නිලූ කෑගල්ලෙ ගිහිං තියෙනවා වැඩ ඇරිලා. රොහාන්ගෙ නෝනා දැකලා; ඒත් කතා කරන්ඩ බැරි වෙලා. ඒ නංගි රොහාන්ට කියලා, රොහාන් මගෙන් නිකමට ඇහුවා 'නිලූව දැකලා තියෙනවා මයුරි; කෑගල්ලෙ නෑයො ඉන්නවද' කියලා." 
සරත් මාරුවෙන් මාරුවට ඉන්දුගේත් සංජීවගේත් මුහුණු බලන්නේ ඔවුන්ගේ අදහස් අනුමාන කිරීමට මෙනි.

"මල්ලි මොකද කිව්වෙ?"
"මං කිව්වා එහෙ යන්ඩනම් හේතුවක් නෑ කියලා. ඒ පාර රොහාන් කිව්වා, මයුරි හරියටම දැකපු හින්දයි කිව්වෙ කියලා. මම ඕක ගිය සෙනසුරාදා ගෙදර ආ වෙලේ නිලූගෙන් ඇහුවා."
"ඉතිං?" සංජීව පුවත්පත මේසය මත තබා ඉතිරි වේවැල් පුටුව මතට බෑවිණි.
"පරණ එකාව හම්බෙන්ඩද ගිහිං තියෙන්නෙ?" ඉන්දු විමසුවාය.


"නිලූ කිව්වා ගියෙ නෑමයි කියලා. වෙන කාව හරි දකින්ඩ ඇති කියලා.  ඒකත් වෙන්ඩ පුලුවන් හින්දා මං කට වහගෙන හිටියා. මං සඳුදා පොළොන්නරු යනකං ඉඳලා මේකි රොහාන්ලගෙ ගෙදරට කතා කරලා, ඒ නංගිට හොඳටම බැනලා. රොහාන් මට කතා කරලා කිව්වා, පවුලෙ ප්‍රශ්න තියෙනවනං ඒව උඹලම තියාගනිල්ලා, දැක්ක බව කිව්වෙ ඇඳුණුම්කමට කියලා."


"මොනවා කියලද නිලූ බැනලා තියෙන්නෙ?"

ඉන්දුටත් සංජීවටත් වැඩි විස්තර අවශ්‍යය.


"කේලම් කියනවා කිව්වලු. ඔක්කොටමත් වඩා, ඔය කතාව අස්සෙ අර පරණ එකත් ඇදිලා ඇවිත්. නිලූ හිතං ඉන්නෙ ඒකත් මට කිව්වෙ මයුරි කියලා. කොහොම හරි නිලූගෙ කට හින්දම දැං ඒක රොහානුත් දන්නවා. ඌ තව කීදෙනෙකුට කියලද දන්නෑ."
"ඒක ගැන නිකං කෝල් එකක්නෙ ආවෙ." ඉන්දු මතක් කළාය.
 

"ඒකි හරියට හිටියනම් ඔය මුකුත් නෑනෙ. ඕක තමා මං මල්ලිට ඒ දවස්වලම කිව්වෙ අතෑරලා දාන්ඩ කියලා. ඇහුවෙ නෑනෙ." 

සංජීව සිය අනාවැකිය අකුරටම හරි යාමේ ප්‍රීතිය භුක්ති විඳී.
 

"මං ඒ සැරෙත් ඉවසුවෙ දුව හින්දා අය්යා."
"දුව හින්දා කියලා, දැං මොකද වෙලා තියෙන්නෙ? එතකොට එක ළමයයි; දැං දෙන්නයි. ඕව ඔහොම ඇද ඇද ඉන්ඩ ගිහාම තව ප්‍රශ්න. ඒ කාලෙම කෙළවරක් කරන්ඩ තිබුණා. අනික ඔය බාල ළමයත් මටනං විශ්වාස නෑ."  "මං ඒකත් කිව්වා."
"කිව්වා?" 


ඉන්දුත් සංජීවත් කඳ කෙළින් කරගෙන පුටුවේ ඉදිරියට නැඹුරු වූයේ අලුත් උනන්දුවකිනි.
 

"මං කිව්වා මගෙ දරුවව මං බාර ගන්නං; බාල එකත් අරං යන අතක පල කියලා."
"ඉතිං?"
"එතකොට ඒකි ඇහුවා ඇයි එතකොට බාල එකා උඹේ නෙමේද කියලා. මං කිව්වා ඌව තියාගනිං කෑගලු ගමන මතක් වෙන්ඩ කියලා."
"කියන්ඩ තිබුණෙ ඌව උගෙ මහ එකා ළඟටම අරං පල කියලා." සංජීව නිවැරදි මග පෙන්වීය.
 

"මට වතුර එකක් දෙන්ඩකො අක්කා. හරි තිබහයි." සරත් ඉල්ලීය.
"ඉන්ඩ මල්ලි, දැං වතුර නටනවා ඇති. තේ බොමු."
"නෑ අක්කා, වතුර එකක් බීලා ඉන්නං."
"ඔය ගෑනි මල්ලිට හරි යන එකියක් නෙවෙයි. මං ඔය මගුලටවත් කැමති වුණේ නෑ. මුකුත් කියන්ඩ බැරිකමට හිටියා මිස. මල්ලිගෙ තනි තීරණේනෙ." 


සංජීව කියවන්නට වූ නමුත් සරත්ගේ සිහිය තිබුණේ ඉන් බොහෝ දුරය. ඉන්දු ගෙන ආ වතුර වීදුරුව ඔහු එක හුස්මට බීගෙන ගියේය. ඉන්දු නැවත වාඩිවී කකුල් පිරිමදින්නට වූවාය.
"දැං කෝ?" සංජීව හිස වනා ඇඟෙව්වේ නිලූවය.
"ගෙදර, අය්යා."
"ගියෙ නැද්ද? මං කිව්වෙ, ඒකිට ලැජ්ජා නෑ. වෙන එකියක්නං ගිහිං."
"යන්ඩ හැදුවා. මං දොර වහලා යතුර අරං තමයි මේ ආවෙ."
"මොකක්?"
 

"නිලූ කාමරේට ගිහිං බඩු අස් කරගන්ඩ පටං ගත්තා. දුව බය වෙලා අඬන හින්දා මං ළඟට වෙලා එයාගෙ ඔලුව අත ගගා හිටියා. 
ඒ වෙලාවෙ පුතා දණ ගාගෙන ළඟට ඇවිත් මගෙ කකුල අල්ලගෙන නැගිටින්ඩ හැදුවා. මං තරහට කකුල ගස්සලා ඇද්දා. පුතා බිම වැටුණා. එයාට තේරුණේ නෑ මං හිතලා කරපු වග. ඒ හින්දා ආයෙමත් මගෙ කකුල අල්ලගෙන නැගිටින්ඩ හැදුවා. මං ආයෙමත් කකුල ගැස්සුවා. 
ඒ ගමන පුතා මගෙ මූණ දිහා බලලා පුදුමෙන් වගේ 'අප්පච්චි?' කියලා කිව්වා." 

සරත්ගේ ඇස්වල කඳුළු කැට එළියට පැනීමට ආසන්නය. ඉන්දු කිසිවක් නොකීවාය.
"අරකිගෙ හොර මගුලෙ ළමයා." සංජීව සිහිපත් කළේය.


"ඒ වුණාට ඌ මට අප්පච්චි කියනකොට මට අහක බලාගෙන ඉන්ඩ පුලුවන්ද අය්යා?"
 

සංජීව පිළිතුරු නොදී පුටුවේ පිටුපසට වී හිඳ ගත්තේය. මානව සම්පත් නිසි පරිදි කළමණාකරණය වී නැත.
 

"තේ හදන්ඩද මල්ලි?" ඉන්දු කිසිවක් සිදුනූණාක් මෙන් විමසමින් නැගිට්ටාය.
"ඕන නෑ අක්කා. මං යන්නම්." සරත් පුටුවෙන් නැගිට්ටේය. ඉන්දු කිසිවක් නොකියා ඔහු පසුපසින් දොරකඩ වෙත ඇදුණාය.
"යන්නං අය්යා." දොර ළඟ නැවතුණු සරත් නැවත හැරී සංජය දෙස බැලීය.
"හා මල්ලි." සංජීවද එවර නැගිට දොර වෙත ආවේය.
"යන්නං අක්කා." සරත් එළියට බැස්සේය. 

ඉන්දු දොර අසළ සිට කෙමෙන් ඈතට යන සොහොයුරා දෙස බලා සිටියාය. සරත්ගේ උස් සිරුර හැකිළී ගොසිනි. ඔහු බිම බලාගෙන මහල්ලෙකු සේ සෙමින් පියවර නගයි.

"පිංගුත්තරයා!"
 

සිය හැඟීම් තනි වදනකින් කැටි කොට ඉන්දුට දමා ගැසූ සංජීව ආපසු හැරී මේසය වෙත ගියේය.

ඉන්දුගෙන් පිළිතුරක් නොලද හෙයින් ඔහු පත්තරය දිග හැරගෙනම තම අදහස ඔප්පු කරන්නට විය.

"ඌට කොන්ද පණ නෑ. ඕක තමා වෙන්නෙ පිරිමියෙක් නැති ගෙදරක හැදුණහම; පිරිමියෙක් වගේ හැසිරෙන්ඩ දන්නෙ නෑ. ඕගොල්ලොන්ගෙ අප්පච්චි තමන්ගෙම ළමයින්වත් දාල ගියා. ඒකටමත් එක්ක හරියන්ඩ පුතණ්ඩියා රටේ ලෝකෙ එවුංගෙ දරුවොත් හදනවා. නෝංජල්කම."

සත්‍යය, පිරිමිකම හා ගැහැණුකම, දරුවන්ට ඇසෙන මානයේ සිට දෙමවුපියන් දබර කිරීම, පවුල ආරක්ෂා කිරීම, සිතේ කැකෑරෙන සොයුරු පෙම හා මුසු වූ ශෝකය ඈ සියල්ල කිරා මැන බැලූ ඉන්දු තව දුරටත් මුණිවත රැක්කාය.

සරත් වංගුවෙන් හැරෙන තුරුම ඈ ඔහු දෙස බලා සිටියාය. 


පාරට ඉහළින් වූ කෝපි වත්ත අඳුරුය. ඊට ඉහළින් සැඳෑ අහසේ හිරු දිලෙයි. ලා රත් පැහැ හිරු රැස් සරත් මත වැටී ඔහු මෙන් දෙතුන් ගුණයක් දිගු සෙවණැල්ලක් පාර මත පතිත වී ඇත. ඒ සෙවණැල්ල අඳුරුමුත් එහි මායිම් තියුණු බව ඉන්දු දුටුවාය.




This entry was posted on Monday, July 11, 2011 at Monday, July 11, 2011 and is filed under , , . You can follow any responses to this entry through the comments feed .

5 දෙනෙක් ගේ අදහස්

Anonymous  

මගේ යාලුවෙක්ට ඔය වගේ දෙයක් වුනා. ප්‍රශ්නෙට මූනදෙන කෙනා තමයි ඒකෙ අමාරුව දන්නෙ. දරුවො අනාත වෙනවා කියල තේරුනාම මිනිස්සු ඔය ප්‍රශ්නෙදි පුදුම විදියට අසරන වෙනවා.

July 12, 2011 at 2:48 AM

@ Anonymous: සමාජයෙ නිතරම දකින්න ලැබෙන ප්‍රශ්නයක්. කාව විශ්වාස කරන්නද කියලා හිතාගන්නට බැරිතරම් වංචාව ඔඩු දුවා ඇති නිසා වෙන්න ඕන අපේ සමාජයෙ.

July 15, 2011 at 8:04 PM

අද සමාජයේ ගොඩක් පවුල් ප්‍රශ්ණ වලට සැකය මුල් වෙනවා නේ. මේත් ඒ වගේ අවස්ථාවක් නේ. සමහරවිට ඇය වෙන උවමනාවකට කෑගලු ගියාද දන්නේ නෑ. නමුත් කෙනෙක් කියන දෙයක් අහගෙන මේ සේරම හිතනවා. තාත්තා පුතා ගැන සැක කරනවා වෙන අයෙකුගේ දරුවෙක් කියලා. අන්තිමට මනුස්සකම මතුවෙනවා පුතාට තියෙන සෙනෙහසත් සමඟම. හරිම ලස්සනට හිතේ යථාර්තය සමග කරන සටන මතුකල නිර්මාණයක්. එන්න එන්න හොද නිර්මාණ බිහිවෙනවා. හරිම සතුටුයි නංගි. කාලය හොයාගෙන මෙහෙම දේ කරන සංවේදී දොස්තර වරියන් ඉන්න එක අපේ වාසනාව නේද?

July 16, 2011 at 1:19 PM
Anonymous  

I have read a few of you stories and and they are very well written. You have a great ability to build stories as they are real ones (may be ther are real in someways). You pay attention to small details and therefore they sound very credible. Also, you write then in a style that capture human interactions in a very experienced way and add bit of humour to them. Your overall story building ability is great.

However, I saw sometimes you give away the main point or message in the story directly to the reader rather than making them finding it. You can argue that many readers these days do not read beyond what is presented to them. But, my personal preference is that you should leave the reader at a point triggering there thinking. that can create facinating effects on the reader.

Finally, you have a great talent.. keep the good work up..

Mr. Anony Mous

July 18, 2011 at 10:31 AM

බොහොම ස්තුතියි චාන්දි අක්කාටත් නිර්නාමික හිතවතාටත් අදහස් බෙදා ගැනීම ගැන.

August 4, 2011 at 6:50 PM

Post a Comment

ඔබේ අදහස් අපිට ශක්තියක්