A9  

Posted by නලිනි චන්දිමා in , ,



දුන් දෙයක් කා බී
ඉරුණු කමිසය ඇඳන්
ගමේ ඉස්කෝලෙ  ගුරු සිත නොරිදවා
දීපු සිල්පයක් අරගෙන,
ටිකක් තේරෙන වයසට එනකොටම
අතේ කරගැට නොතකා මටත් අත් උදව් දීගෙන,
උඹ සිල් ගත්තු දිනවල
බාලයින් බලාගෙන පන්සිලුත් රැකගෙන හිටි
අපේ පුතා,
කොලුකමට දඟලනු වෙනුවට
පුරාණ රජ දරුවෙක් වගේ
එක හිතින්
ඇස් ඉස් මස් ලේ පුදා රැක ගත් පින් බිම උඩින්
පාරක් ඇරලලු.

ඒ දිගේ
මැම්බර් මහත්තයා උන්නාන්සෙගෙ රට වැසියන් බලන්ට යනවලු;
රට නොරට මුදලාලි මහත්තුරු සුවිසාල කඩ අරින්ට යනවලු;
සිදාදියෙ බේබිලා සවාරි යනවලු;
සුදු මහත්තුරු, නෝනලා, දුප්පතුන් හොයන්ට යනවලු;
ගම්වල මිනිස්සු නඩ ගැහී වන්දනාවෙ යනවලු.

අපිත් යමුද
බුදුන් වැඩිය නාගදීපෙ වැඳලා
අපේ පුතාට පිං පමුණුවන්ට?




This entry was posted on Wednesday, January 19, 2011 at Wednesday, January 19, 2011 and is filed under , , . You can follow any responses to this entry through the comments feed .

4 දෙනෙක් ගේ අදහස්

මෙ පදපෙලෙන් කරන ඇමතීම ඉදිරිපත් කර ඇති විලෂයේ සාර්ථකත්වය නිසා තව තවත් ගැඹුරට හිතට වදිනවා. මෙය නොවේද බොහෝ වීරෝධාරා රණවිරුවන්ගේ හා ඔවුන් අහිමි වූ දෙමාපියන්ගේ කතාව.

January 20, 2011 at 2:47 PM
Anonymous  

උන්ගේ රුහිරු ගලා..
සරුවූ දෙරණ බිම් කඩ..
මෙමටනම්..දෙවොලකි..
හිස බිම තියා නමඳින..

අනර්ඝයි...මනුස්සකම පිරි අඩවියකට පා තැබුවෙමි..සයිබර් අවකාෂයේ මනුස්සකම උතුරණ "ගල් මල් අඩවියට" පිංසිදු වන්නට..

සුලා..

January 20, 2011 at 4:47 PM

ස්තුතියි ඩීන් අය්යා. යුද්ධයෙන් ආබාධිත වූවන්ට, මියගිය අයගේ පවුල්වල අයට ඔවුන් කළ කැපවීමට සරිලන ගෞරවයක් ලැබී ඇත්දැයි සැක සහිතයි; ඔවුන් හෙළූ ලේ දහදිය කඳුලුවල සැබෑ ප්‍රතිලාභ ලබන්නෙ වෙන කවුරුත්.

January 21, 2011 at 8:32 PM

බොහොම ස්තුතියි සුලා.
A9 පාර විවෘත කළ අලුතම යාපනේ යනකොට ලද අත්දැකීම් පදනම් කරගෙනයි මේ ලියවුණේ. ඉන් පසුවත් දිනෙන් දිනම ඔප්පු වෙන්නෙ ඔය දේම තමයි.

නිරතුරු මුරගලට ගොඩ වී වටිනා අදහස් පළකරන ඔබට බෙහෙවින්ම පින්. එය අපට විශාල දිරියක්.

January 21, 2011 at 8:36 PM

Post a Comment

ඔබේ අදහස් අපිට ශක්තියක්