ඩොගී  

Posted by නලිනි චන්දිමා in , ,

දියුණු වීගෙන යන මහ පාර අයිනේ දියුණු වීගෙන යන බේකරියකි. නිරන්තරයෙන් එය ඉදිරිපිට එකත්පස්ව ලැග සිටින දුඹුරු පැහැති බල්ලෙකි. ඌට නමක් නැත.

කුසගිනි උහුලාගත නොහැකිවිට බල්ලා කන් පාත් කරගෙන, වල්ගය කකුල් අතර රුවාගෙන, හෙමින් හෙමින් බේකරියට කිට්ටු කරයි; ඉදිරිපස වීදුරු පෙට්ටි තුළින් පෙනෙන නා නා ප්‍රකාර පාන් බනිස් වර්ග අතුරින් කුමක් පහසුවෙන් ගිල දැමිය හැකිදැයි කල්පනා කරයි; බේකරියේ කොල්ලා පෙනෙන්නට සිටීනම් යන්තමින් හූල්ලයි; කවුරුන් හෝ චිප් චිප් ගෑ විට වල්ගය තව තවත් සඟවාගෙන, කොන්ද වකුටු කරගෙන අඩියක් දෙකක් එහා මෙහා වෙයි.

හැන්දෑ වනවිට බල්ලාට කිට්ටු වීමට නොහැකි තරම් බේකරිය මිනිසුන්ගෙන් පිරෙයි. කුසගිනි වැඩි කරවන සුවඳින් යුත් පාන් වර්ග වීදුරු පෙට්ටිවල සිට කඩදාසි උර තුළට මාරු වී, මිනිසුන් විසින් ගෙන යනු ලැබෙයි. බල්ලා පෙරේතයකු මෙන් ඒ සුවඳ විඳී. රාත්‍රිය මෝරනවිට සෙනඟ අඩු වේ. විකුණාගත නොහැකිව ඉතිරිවන යමක් බේකරිය අවට රැක සිටින බල්ලන් වෙත පොදුවේ විසි කෙරේ. දුඹුරු පැහැති බල්ලාද ඉන් යමක් ඩැහැ ගනී. ඌ ආරක්ෂිත ස්ථානයකට වී, ඒ වටා දෑත් යවා බදා අල්ලාගෙන, වට පිට බලමින් ගොරවයි; දවස පුරා වියළිව තිබූ මුවින් කෙළ වෑහෙයි; වෙනත් බල්ලකු විසින් ඩැහැ ගනු ලැබීමට ප්‍රථම කටට දෙකට ආහාරය ගිල දැමෙයි.

දිනක් පාරේ ගිය විමානයකින් බට සුරංගනාවියක් බේකරියට පැමිණියාය. ඒ විශාල චීස් කෑල්ලකැයි වරදවා වටහාගත් බල්ලාට ඉබේම නැගිට්ටුණේය. කොල්ලාටද කෑ ගැස්සුණේ නැති ටික විතරය. ප්‍රේක්ෂක ප්‍රතිචාරවලින් ප්‍රමෝදයට පත් සුරංගනාවිය "මේ ඔයාලගෙ ඩොගීදැ" යි විමසුවාය. ඇගේ මිහිරියාවෙන් බිඳුණු තෙද ඇති බේකරියේ කොල්ලාද නගුට වනමින් "ඔව්" යයි පැවසීය.

බල්ලාට ඩොගීයයි නම වැටුණේ එසේය.

මිහිරි මතක අවුස්සන බල්ලාට යමක් විසි කිරීම කොල්ලාට ප්‍රීතියක් විය. මේ නිසා තමන් කොල්ලාට අයිති බවක් ඌට හැඟුණි. බේකරිය කෙරෙහිද තමන්ගේකමක් උගේ හිතේ ඉබේටම ලියලන්නට විය. ඉදින් ඌ තව දුරටත් නිකම්ම බල්ලෙක් නොවේ; නමක්ද, අයිතිකාරයෙක්ද, නිවහනක්ද ඇති වැදගත් සත්ත්වයෙකි. එබැවින් ඌ එතැන් පටන් නියම ශීලාචාර මහත්මයෙකු මෙන් හැසිරීමට පටන් ගත්තේය: බේකරියට කිට්ටු වන සියළු පාදඩ බල්ලන් බළලුන් පසුපස හඹා ගොස් උන්ව එළවා දැමුවේය; බේකරියේ කොල්ලා රවා බලන හිඟන්නන්ව ගොරවා හපන්නට තැත් කළේය; නිතර බේකරියට පැමිණ පාන් මිළදී ගන්නා මිනිසුන් දුටු කල, හුනස්නෙන් නැගිට වල්ගය වනා ගරු සැළකිලි දැක්වීය; කෑමක් ලද කල, "නෑ, ඉතින් බඩගිනිත් නෑ..." මෙන් හැසිරුණේය.

පලක් ප්‍රයෝජනයක් ඇත්නම් බල්ලාද මිනිහෙකි.

ඩොගී නිසා වෙනත් කරදරකාරයින් බේකරියට කිට්ටු නොවන බවද, බල්ලන්ට හිතවත් නෝනලාගේ ගෞරවනීය ආදරය තමන්ට හිමිවන බවද බේකරියේ කොල්ලා ඉක්මණින්ම වටහා ගත්තේය. "බල්ලා අපේ එකෙක්" යයි කියනවාට වඩා "මේ පාරෙ ඉන්න බල්ලෙක්; මම හුරතල් කරන නිසා මෙතනටම වෙලා ඉන්නවා"යයි ඇද පැද කීම තමාගේ ප්‍රතිරූපයේ කාරුණිකත්වය ඉහළ නංවන බව කොල්ලාට පෙනී ගියේය. ඩොගී බේකරිය ඉදිරිපිට රඳවා ගැනීමට අවශ්‍ය අවමය ඉටු කිරීමට කොල්ලා මැළි නොවීය.

ඩොගී ටිකෙන් ටික මහත් විය. තමාගේ බල ප්‍රදේශයද ඌ ටිකෙන් ටික වැඩි කර ගත්තේය. ඒ අනුව බේකරිය දෙපස කඩ කිහිපයක්මද, ඉදිරිපිට මහ පාරද ඌ අයිති කර ගත්තේය; අනෙක් බල්ලන්ට ප්‍රදේශය හරහා ගමනක් යාමට අවශ්‍ය වූ විට පාරේ අනෙක් පසට මාරු විය යුතු විය.

දිනක් රස්තියාදුකාර බල්ලන් කිහිපදෙනෙකු කිසිම ගරුසරුවක් නැතිව තම බල ප්‍රදේශය හරහා දුවනු දුටු ඩොගී ගොරවමින් උන් හඹා යමට යුහුසුළු විය. ඒ බල්ලන් පසුපස පැමිණෙන බලු වෑන් රථය ඌ නොදිටීය. උගේ ගෙලට හිරවුණු තොණ්ඩුව කුමක්දැයි ඌ නොදත්තේය; හුස්ම හිරවී මරු විකල්ලෙන් දඟලන අතරතුර තමන්ව ඇද ගත්තේ කුමක් තුළටද යන්න ඌ නොදත්තේය.

ඩොගී බලු වෑන් රථයට හසු වූ බව කවුදෝ බේකරියේ කොල්ලාට කී නමුත් පාරට ගොස් එදෙස බැලීමට තරම් ඉස්පාසුවක් කොල්ලාට නොවීය. බලු වෑන් රථයට හසු වූ බල්ලන් ගැන පසුව සොයා බැලිය හැකි බවක් කොල්ලා දැන සිටියේ නැත. එසේ කිරීමේ අවශ්‍යතාවයක්ද නොවීය. ඉක්මණින්ම වෙනත් බල්ලෙක් බේකරිය ඉදිරිපිට ඩොගීගේ ස්ථානය අයත් කර ගත්තේය. කොල්ලා පුරුද්දට ඌටත් ඩොගී කියා ආමන්ත්‍රණය කළේය. ඌද වෙනත් රස්තියාදුකාර බල්ලන් පන්නා හරිමින්, වැදගත් නෝනලාට හුරතල් වෙමින් කොල්ලාට සේවය කරන්නට වන්නේය.




This entry was posted on Thursday, January 13, 2011 at Thursday, January 13, 2011 and is filed under , , . You can follow any responses to this entry through the comments feed .

8 දෙනෙක් ගේ අදහස්

grt...

January 15, 2011 at 5:53 PM

හොඳ අත්වැලක්/අනුග්‍රාහකයෙක් ඇසුරේ ඉන්නා තුරු බල්ලා ද රජෙකි, ඔවුන් අත්හල දා සතා අසරණ බල්ලෙකි.

January 19, 2011 at 4:28 PM
Anonymous  

ලෝක ධර්මතාවය..

සුලා..

January 20, 2011 at 6:01 PM

බොහොම ස්තුතියි Kush, අපේ අඩවියට ගොඩ වැදී නිර්මාණ අගය කළාට.

January 21, 2011 at 8:51 PM

බොහොම ස්තුතියි සුලා අගය කිරීමට. ඔව්, ප්‍රයෝජනයක් ඇති කල සැළකිලි ලැබීම, නැතිකල ඉක්මණින්ම අමතක වීම....ලෝක ධර්මතාවය.

January 21, 2011 at 8:56 PM

බොහොම ස්තුතියි ඩීන් අය්යා, ඔබේ අගය කිරීමටත් දිරි දීමටත්.

January 21, 2011 at 8:57 PM

පාලක පන්තියයි එයාල වෙනුවෙන් සැදී පැහැදිලා කතිරෙ ගහලා බලාපොරොත්තු තියාගන්න සාමාන්‍ය පන්තියෙ මිනිස්සුයි මතක්වුනා .අන්තිමට ඒ මිනිස්සුන්ටත් වෙන්නේ ඩොගීට වුන දේම තමයි.බඩු මිල ඉහල ගිහින් , චන්දෙට දුන්නු පොරොන්දු අමතකවෙලා ගියාම බල්ලට වුනා වගේ තොණ්ඩුව කරට වැඩිලා . පාලකයොන්ට ගාණක් නෑ ,එයාලට තව චන්දදායකයොයි හිත නැලවෙන බොරු පොරොන්දුයි ඉඳහිට පොදු ජනයා සතුටු කරන්න විසිකරන්න කැරට් අලයි තියෙනවනේ

January 16, 2012 at 9:32 AM

ඔව් ටීජී, අනුන්ගෙ බලතල ඔලුවට අරන් දුව පැනලා, අනුන්ගෙ බැලමෙහෙ කරමින් ඉඳලා, නිකම්ම මැරිලා යන අයත් ඒ සාමාන්‍ය පන්තියෙ ඉන්නවා. ස්තුතියි අදහස්වලට

January 27, 2012 at 11:05 PM

Post a Comment

ඔබේ අදහස් අපිට ශක්තියක්