කොල්ලො බල්ලො  

Posted by නලිනි චන්දිමා in , ,

බූලා අණ්ඩක් එල්ලාගෙන කාලකණ්ණියෙකු සේ සිටී.

"අනේ පව්, මට හරියට දුක හිතුණ." මල්ලී කියයි. පිට බල්ලෙක් ගෙදරටම අවුත් බූලාට හපනවිට, රෑ පානේ දිවගොස් ඌව බේරාගෙන ඇත්තේ මල්ලීය.
"ඉස්සර අපිටත් ඔහොමයි. පිට පන්තිවල එවුං ඇවිත් ගහල යනව."
"නැහ්! ගොඩක් ගුටි කෑවද?"
"ගොඩක්මත් නෑ."
"කවුද? යාපලද?" යාපා මල්ලිට ඉහළ පන්තියේ සිටි කොල්ලෙකි. පසු කලෙක මල්ලී හා මිතුරු වූ ඔහු  අපේ නිවසට නිතර එන යන පුරුද්දක් විය. මල්ලිගේ මිතුරන් හා කාඩ් ගැසීමෙන් අපේ බොහෝ සන්ධ්‍යාවන් ගෙවිණි.
"උඹලගෙ පන්තියෙ බත්මුල් හොඳ කාගෙද දන්නවද?" දිනක් යාපා ඇසීය. ඊට පිළිතුරක් බලාපොරොත්තු නොවූ ඔහු දිගටම කියවාගෙන යන්නට විය.
"උඹලගෙ, ගුලියගෙ, එතකොට දසයගෙ..."
"අපෝ....උඹලගෙං තිබුණු වදයක්." මල්ලි කීවේය.
පන්තියට ඇවිත් ගහල යන කතාවත් සමග මට මේ බත් කතාවත් සිහි වෙයි.
මල්ලිලාගේ පන්තියට දිනපතාම විවේකයට පෙර තිබී ඇත්තේ විද්‍යාගාර පාඩමකි. ඒ අවසරයෙන් පන්තියට රිංගන ඉහළ පන්තිවල සිසුහු බත්මුල් සොරා කති. අපේ නිවසේ ඒ දිනවල උදේට කන චාරිත්‍රයක් නොතිබිණි. පිටින් ආහාර ගැනීම පිණිස මුදල් දීමක්ද නොතිබිණි. උයන සියල්ලම ඔතා දීමෙන් පසු පාසල ඇරී ආපසු කෑමට දෙයක්ද නිවසේ ඉතිරි නොවෙයි. එසේ කෑමක් අවශ්‍යයයි නොසිතුවේ දහවල් පාසලේදී කන ආහාරය ඇතැයි සැළකුණු හෙයිනි. දැන් මෙන් නිවසට ආ විගස තේ බීමේ පුරුද්දක්ද එකල නොවිණි. විවේක කාලයේදී ගැනීමට තිබූ ආහාරයත් අහිමි වූ විට මිනිසකුට අත්වන තත්ත්වය මට සිතා ගත හැකිය.
"තව එවුනුත් හිටියා." මල්ලී තම පන්තියටම පැමිණ පහර දී යන පිට කොල්ලන් ගැන කියයි.
"බතුත් කාල ගහලත් යනවද?"
"බත් කන්ඩ එන්නෙ අපි නැති වෙලාවටනෙ. ගහන්ඩ එන්ඩ වෙලාවක් නෑ. උන්ගෙ එකෙක්ගෙ ඇඟේ අපේ එකෙක් හැප්පුණොත් ඇති; පන්තියටම නෙළනව!"
"ඉතින් කාටවත් කියන්ඩ බැරිද?"
"කාටවත් කියන්නෙ කොහොමද? උංගෙ පන්තියෙනෙ ප්‍රිෆෙක්ට්ස්ල සේරම. සමහර දවස්වලට ඉස්කෝලෙ ඇරුණහම ඉන්ඩ කියල තාරාවො යවනව!"
"ඉතිං අඩු ගානෙ කෑම ටික ලැබ් යනකොට අරං යන්නවත් බැරිද?" බඩගිනි නිසාදෝ මගේ සිත නැවතත් බත් වෙත යයි.
"දවසක් අපි පන්තිය ලොක් කරල ගියා. ආපහු එනකොට උං උඩ තට්ටුවෙ ඉඳං එස්ලෝන් බටයක් දිගේද කොහෙද බැහැල, ජනේලෙන් පන්තියට රිංගල, බතුත් කාල, ඒ මදිවට ඇතුළෙන් පන්තිය ලොක් කරල ගිහින්!"
"ඉතිං?"
"ඉතිං මං පයිං එකක් ගහල දොර කැඩුව; උළුවස්සත් එක්කම ගලෝල ආව."
"මදෑ."
"ඊට පස්සෙ ඉතිං අපිම ඒව හැදුව, පුලුවන් විදිහට. නැත්තං ඒකටත් ගුටි කන්ඩ වෙනවනෙ සර්ලගෙං."
ඒ දිනවල යාපා කියූ කතාවක් මට සිහි වේ.
"දවසක් අපි බත් කන්ඩ එනකොට උඹලගෙ පන්තියෙ එකෙක් ලැබ් නොගිහිං ඉන්නව උණ හැදිල කියල. ඌ කේළම් කියයි කියල අපි ඌව කළින්ම බය කරා. උගෙ උණ දෙපිටිං යන්ඩ ඇති අපෙන් කාපු කෑමට."
"ආ, ඌට ඊට පස්සෙ අපිත් නෙළුව." මල්ලී කීවේය. "ඌ කිව්වෙම නෑ කවුද කියල. පවු."

ළමයින් පාසල් යැවීම කෙතරම් භයානක දෙයක්දැයි මට සිතේ. යමක් කමක් තේරෙන වයසට එනවිට මල්ලී පාසල් යෑම එක හෙළා ප්‍රතික්ෂේප කළේය; නැත්නම් කට්ටි පැන්නේය. 


බූලා අණ්ඩත් එල්ලාගෙන කෙඳිරි ගායි. උගේ බූල් ලොම් තැනින් තැන ගැළවී ඇත; කණෙන් කෑල්ලක් ඉරී ගොසිනි.
"මූට බෙහෙත් විදින්ඩ ගෙනියන්ඩ ඕනෙ." මල්ලී තුවාල පිරික්සමින් කියයි.




This entry was posted on Thursday, January 13, 2011 at Thursday, January 13, 2011 and is filed under , , . You can follow any responses to this entry through the comments feed .

4 දෙනෙක් ගේ අදහස්

කොල්ලොයි, බල්ලොයි ඔක්කොම එකයි තමයි,

January 15, 2011 at 3:00 PM
Anonymous  

කෙටිකතාවක තිබියයුතු අංග කිහිපයක් දැක්ක..ලිවීමේ හැකියාව උපරිමයි..දිගටම ලියන්න..

සුලා..

January 20, 2011 at 6:06 PM

බොහොම ස්තුතියි රවි, අගය කිරීමට.

January 21, 2011 at 8:59 PM

බොහොම ස්තුතියි සුලා, නිර්මාණය අගය කිරීමටත් සුභ පැතුමටත්.

January 21, 2011 at 9:00 PM

Post a Comment

ඔබේ අදහස් අපිට ශක්තියක්