ඇන්ඩෲ අය්යා  

Posted by නලිනි චන්දිමා in , ,




රෝහල ඉදිරිපිට බස් නැවතුමට වී මා බලා සිටියේ තාත්තා එනතුරුය. සායනයේ නොම්මරයක් ලබා ගනු පිණිස මා කලින් පැමිණියේ තාත්තාගේ රස්තියාදුව අවම කිරීමටය. පැයක් පමණ වේලා මෙතැන වේලෙන මා දෙස බලමින් මිනිස්සු යති; එති. මම ඒ නොදැක්කාක් මෙන් සිටීමට වෑයම් කළෙමි. මා පසු කර මීටර කිහිපයක් ගිය මෝටර් රථයක් එක්වරම නතර විය. ඉන් බැස ගත් කවුදෝ මා දෙසට එනු මගේ නෙත් කොණට පෙනුණි. මම අහක බලාගෙනම සිටියෙමි. ඒ ආ රුව මා අසළ නැවතිණි.

"නංගි?"

*********************************


ළමයින් පස් දෙනෙකු සිටි අපේ පවුලේ ලොකු අක්කා යන යන තැන නායකත්වය ලැබීම නිසාද, දෙවෙනි ඇගේ සුන්දර රූ සපුව නිසාද, පොඩි අක්කා අති දක්ෂ සිසුවියක වූ නිසාද, මල්ලී පවුලේ එකම පිරිමි දරුවා වීම නිසාද කාගේත් සැළකිල්ලට ලක් වූහ. වැදගැම්මකට නැති චරිතයක් වූ මම වැඩිහිටි අවධානයෙන් මිදූණෙන් හිතූමතේ දඟ කිරීමට ඉදිරිපත් වීමි: පියාගේ බෑගයෙන් මුදල් සොරාගෙන කඩචෝරු කෑවෙමි; බුද්ධ පූජාවට තැබූ ගිලන්පස හොරෙන් බීවෙමි; පේර ගස මුදුනට නැග අල්ලපු ගෙදර ජෝඩුව රණ්ඩු වන අයුරු නැරඹුවෙමි; හැන්දෑවේ තාප්පය අයිනේ රැක සිට පාරේ යන එන්නන්ට වැලි පොල්කටුවලින් දමා ගැසුවෙමි.


වතු කිහිපයකට එහා විසූ කඩවසම් ලංසි තරුණයකු වූ ඇන්ඩෲ අය්යාව මා හඳුනාගත්තේ මේ වැලි සෙල්ලම නිසාය. තාප්පය අයිනේ වදලට ජම්බු ගස් වැවී තිබුණු නිසා පාරේ යන කෙනෙකුට පහසුවෙන් මා නොපෙනේ. ගේ සෑදීමට ගෙන ආ වැලි ගොඩ ගසා තිබුණේ ජම්බු ගස් සෙවණේය. ගස් අතු අතරින් ඔත්තු බලන මම මිනිසුන්ට ගේ පසුකර යාමට ඉඩ හැර පිටුපසින් වැලි ගසා සැඟවෙමි. වැලි පාරවල් කන මිනිස්සු, වැලි විසි කළ කෙනෙක් නොදැක බැන බැන යති. සෙල්ලම ඒකාකාරී වේගෙන එනවිට මම අලුත් ක්‍රමයක් අත්හදා බැලීමට තීරණය කළෙමි.

උඩු රැවුලක් වවා සිගරට්ටුවක් උරමින් පාරේ ගමන් ගන්නා සමූපයා කොහොමත් මට පෙනෙන්නට බැරිය. ඔහුට මා පසුකර යන්නට හැරිය මම එක්වරම "ස් ස්" හඬ නැගුවෙමි. සමූපයා ආපසු හැරී බලත්ම මුහුණට වැලි පොල්කට්ටකින් දමා ගැසුවෙමි. වැලි වැදුණේ කොහෙන්දැයි දුටු සමූපයාට යක්ෂාවේශ විය. ඔහු "යකෝ" කියාගෙන තාප්පය ළඟට පැන්නේය. එවන් ප්‍රතික්‍රියාවක් බලාපොරොත්තු නොවුණු මම එතැනම බිම හිඳ ගතිමි. සමූපයා මගේ දිග කොණ්ඩ කරලක් අල්ලාගෙන "එන්ඩ කියපිය තොගෙ මහ එවුන්ට." කියමින්ගෝරණාඩු කරන්නට විය.
ඇන්ඩෲ අය්යා කොහෙන්දෝ මතු වූයේ මෙවිටය. සමූපයාගේ අතින් මා මුදා ගැනීමට තැත් කරමින් ඔහු පින්සෙණ්ඩු වන්නට පටන් ගත්තේය. "අනේ අංකල්, එයා මට වැලි ගහන්න බලං හිටියෙ අංකල්; අංකල්ට ගැහුවෙ වැරදිලා අංකල්; අනේ ඇත්තමයි අංකල්; අනේ තරහ වෙන්න එපා අංකල්; මං හින්දා සමා වෙන්න අංකල්...."
සමූපයා මඳක් මෙල්ල වුවද ඇන්ඩෲ අය්යා මගේ දෙමවුපියන්ට මේ පිළිබඳව දැණුම් දෙන බවට පොරොන්දු කරවාගෙන, මෙවන් ක්‍රියා අනාගතයේදී සිදුවුවහොත් 'බලාගන්නා' බවට දෙදෙනාටම තර්ජනය කරනතුරු එතනින් නොගියේය. ඔහුගේ දීර්ඝ දේශනාවට මා සවන් නුදුන්මුත්, ඇන්ඩෲ අය්යා මුළු වෙලාවම "හා අංකල්, ඔව් අංකල්, මට තේරෙනව අංකල්, ආයෙ වෙන්නෑ අංකල්" කියමින් ඒ අසා සිටියේය.

ඉන්පසු මම කිසිවෙකුට වැලි නොගැසුවද ඇන්ඩෲ අය්යා එනතුරු තාප්පය අයිනේ සිටීමට පුරුදු වීමි. ඈතින්ම මිහිරි ලෙස සිනාවේගෙන එන ඔහු හැමදාම එකම ප්‍රශ්නයක් අසයි:
"නංගි අද දඟ කළාද?"
මම හිස වනා "නෑ." කියමි. 


මා වෙනුවෙන් බොරු කීමට ඉදිරිපත් වූ එකම කෙනා ඔහු වූ නිසා ඔහුට බොරු කීම මට අපහසු විය. එහෙයින් මම ඇත්තටම නරක වැඩ කිරීම හැකිතාක් අඩු කළෙමි. 

ඇන්ඩෲ අය්යාව අපේ අක්කලා හඳුනාගත්තේ "චූටි නංගිගෙ අය්යා" ලෙසය. මම ඉන් ආඩම්බරයට පත්වීමි. එතෙක් වැඩිය එළිපහළියේ නොසිටි අක්කලාද ටිකෙන් ටික හැන්දෑවට මිදුලේ සිටීමට පුරුදු වූහ. මා දඟ නොකළ බව දැන ගත් පසු ඇන්ඩෲ අය්යා අක්කලා සමග කතාවට වැටේ. ගණකාධිකාරීවරයකු වීමට උගනිමින් සිටි ඔහු ශරීර සෞඛ්‍යය පවත්වා ගැනීම පිණිස දිනපතා සන්ධ්‍යාවේ ඇවිදීමට යයි. ඇතැම් විටෙක අප සමග මිදුලේ සිටි මල්ලී ඔහුට බැට් කිරීම පිණිස පන්දුව එවන ලෙස අක්කලාට වද කරයි. අක්කලා ඊට අකමැති වෙති. ඇන්ඩෲ අය්යා කැමැත්තෙන්ම ඉදිරිපත් වී මිදුලට ගොඩ වී මල්ලී සමග ක්‍රීඩා කරයි. මෙලෙස ගෙවුණු දින සති ඇවෑමෙන් තේ බීම පිණිස ඔහුව ගෙතුළට කැඳවූයේ අම්මාය. රෑ අට නවය වනතුරු ඔහුව රඳවා ගැනීමට පටන් ගත්තේ ලෝක ප්‍රවෘත්ති සාකච්ඡා කිරීමට කෙනෙක් නොමැතිකමින් පීඩා විඳිමින් සිටි තාත්තාය.

කෙටි කලක් තුළ ඇන්ඩෲ අය්යා අපේ ජීවිතවලම කොටසක් බවට පත් විය. සිංහල අවුරුද්දට අපි කැවුම් කිරිබත් ගෙන පවුල පිටින් ඔහුගේ නිවසට ගියෙමු. නත්තලට ගව ලෙන් සෑදීම පිණිස මල්ලිගේ ප්ලාස්ටික් සතුන් ගෙන යාමට පීටර් අංකල්ම පැමිණියේය. මේරි ඇන්ටි ඇගේ කොළඹ නෑයන්ගේ කර්මාන්ත ශාලාවලින් අපට නවීන පන්නයේ ඇඳුම් ගෙන ආවාය. පීටර් අංකල් බැංකුවෙන් ගත් ණය මුදලට ඇපයට අත්සන් කළේ තාත්තාය.

කාලය ඉක්ම ගියේය. ලොකු අක්කා විශ්ව විද්‍යාලයට තේරිණි. දෙවෙනි උනන්දුවෙන් උසස් පෙළ පන්ති යාමට පටන් ගත්තාය. කුඩා අපිද පන්ති කිහිපයක් ඉහළ ගියෙමු. ඇන්ඩෲ අය්යා තවමත් ගණකාධිකාරී විභාගයට උගනියි.
"දැන් රස්සාවක් කරන්ඩ කාලෙ. වෙන මිනිස්සු ඕවා අවුරුදු දෙකතුනෙන් ඉවර කරනවා." තාත්තා අම්මා සමග කීවේය.
"ලංසියොනෙ." අම්මා පිළිතුරු දුන්නාය. "ඔය මිනිස්සුන්ගෙ වැඩ ඔහොම තමා!"

මේරි ඇන්ටි රාත්‍රී ඇඳුම් කිහිපයක් දැමූ මල්ලක් රැගෙන ගෙට ගොඩ වුයේ තාත්තා ගෙදර නැති වෙලාවකය. ඇඳුම් අප සඳහා විය. අප එකිනෙකා ඇඳුම් බෙදාගෙන හැඩ බැලූ පසු මේරි ඇන්ටි සාමාන්‍ය කතාබහක් පරිද්දෙන් "එකක් හාරසිය පණහයි. මෙහෙ ඒ ගානට නැති හින්දමයි මම ගෙනාවෙ." යනුවෙන් පැවසුවාය. ඇඳුම් තෑගි දීමට නොව, විකිණීමට ගෙන ආ බව අම්මාට වැටහුණේ එවිටය.
"ගෙනත් දුන්නහම එපා කියන්නත් බෑ." අම්මා පසුව තාත්තා සමග පැවසුවාය.
"මොකද එපා කියන්න බැරි?" තාත්තා ගෙරවීය.  

"හා හා ඒක මං බේර ගන්නං." අම්මා කිව්වේ තාත්තාට සිද්ධිය කිවූ මෝඩකම යයි සිතමින් විය යුතුය.

පීටර් අංකල් ගත් ණය මුදලේ වාරික  නොගෙවන්නේනම් තාත්තාට විරුද්ධවද ක්‍රියා කිරීමට සිදුවන බව දන්වා ලිපියක් ලැබුණේ ඒ අතරතුරය. අම්මාගේ විරුද්ධත්වය නොතකා තාත්තා කෙළින්ම පීටර් අංකල් සොයා ගියේය. 

"තරහ වෙන්න එපා. පොඩි අතපසුවීමක් වුණා. මම කිව්වා කොළඹ අය්යලට සල්ලි දාන්න කියලා. ඒගොල්ලන්ට වැඩ අස්සෙ අමතක වෙලා. දැන් ඒක හරි. ආයෙත් එහෙම වෙන්නෙ නෑ. " පීටර් අංකල් පොරොන්දු වී තිබුණි.

ඇන්ඩෲ අය්යා එදින ආ විට තාත්තා මේ කතාව ඇද ගත්තේය. ඇන්ඩෲ අය්යා ඔහේ අසාගෙන සිට, "මං ගෙදරට කියන්නම්." යයි සෙමින් පිළිතුරු දුන්නේය. තාත්තා මේ ගැන ඔහුගෙන් විමසීම පිළිබඳව ලජ්ජාවට පත් වුණු මම එදින එළියට නාවෙමි. අක්කලාද තාත්තාට එරෙහිව හොරෙන් කුටු කුටු ගෑහ. අම්මා කුස්සියේ වැඩ අධික බවක් පෙන්වා සිටියාය. ණය විස්තරය මදිවාක් මෙන් තාත්තා ඇන්ඩෲ අය්යාගේ අධ්‍යාපන කටයුතු ගැනද විමසීය.
"ඕවා ඒ හැටි අමාරු විභාග නෙවෙයි, නේද? ඔය මිනිස්සු ඕනෙ තරම් පාස් වෙන්නෙ? ආයෙ ආයෙ කරන්න තියා ගත්තහම තමයි දෙමවුපියන්ට වියදම්."

එයින් දින කිහිපයක් ගත වන තුරු ඇන්ඩෲ අය්යා සවස ඇවිදින්නට නාවේය. එළිපිට කතා නොකළත් තාත්තා හැර අන් සියළුදෙනා සිටියේනොසන්සුන්වය. ලොකු අක්කා හා දෙවෙනි රෑ මැදියම වනතුරු කුටු කුටු ගෑහ. මල්ලීගේ කරච්චලයෙන් බේරීමට බැරි තැන පොඩි අක්කා පන්දුව මල්ලක දමා ගැට ගසා ගහක අත්තක එල්ලා දුන්නාය. දින කිහිපයක් ඊට පත බෑ මල්ලී එක් සවසක පිත්තත් පන්දුවත් රැගෙන ඇන්ඩෲ අය්යාගේ නිවසට යාමෙන් පසු නැවත වරක් ඔහු අපේ නිවසට යාම් ඊම් කරන්නට විය. සියල්ලෝ කිසිවක් සිදු නොවූවාක් මෙන් හැසිරෙන්නට වූහ.

කුණාටුව පුපුරා හැළුණේ සෙනසුරාදා දිනකය. වෙනදා සවස් වන තුරු පන්තිවලට සහභාගී වන දෙවෙනි මහ දවල් හඬාගෙන ගෙදර පැමිණියේ කවුරුන් දැක්කත් කම් නැතැයි සිතන පරිද්දෙනි. ඇයට පිටුපසින් පැමිණියේ කිසියම් වුවමනාවකට නගරයට ගිය තාත්තාය.
"තෝ හදා ගං තොගෙ දුවව." යි වෙව්ලමින් අම්මාට කී තාත්තා කෙළින්ම කාමරයට වැදුණේය.

දෙවෙනිගේ නඩු විභාගයට සවන් දීමට අවකාශ නොදී අප සියළුදෙනා එළවා දැමිණි. දෙවෙනි රාත්‍රිය පුරා ලොකු අක්කා සමග මොනවාදෝ කියමින් හැඬීම  ඇරඹුණේ එතැන් පටන්ය; අම්මාත් තාත්තාත් අපට නෑසෙන හඬින් සාකච්ඡා පැවැත්වීම ඇරඹුණේ එතැන් පටන්ය; සන්ධ්‍යාවට මිදුලේ සිටීම තහනම් කරන නියෝගයක් අපට පැනවුණේද එතැන් පටන්ය. ඇන්ඩෲ අය්යා වසා ඇති ගේට්ටුව අසල කිහිප දිනක් නැවතී බලා සිට ගියේය. අපි "ගෙදර කවුරුත් නෑ" මෙන් සිටියෙමු.

"අරුන් ඊයෙ ගෙවල් වහලා පැනලා ගිහින්." යන ආරංචිය ගෙන ආවේ ඉරිදා පුවත්පත ගැනීම පිණිස හන්දියට ගිය තාත්තාය.
"රෑ වාහනයක් එන සද්දයක් ඇහිලා තියෙනවා සෝමෙලාට. එච්චර බලලා නෑ. කවුරුත් දන්නෑ කිසි විස්තරයක්. නිකමට අපිට කියලා පලයං? ගුණේ නැති කාල කණ්ණි."
තාත්තා ඉඳ ගත්තා නොව පුටුවේ වැටුණි.
"දැං අරකට මොකද වෙන්නෙ?" අම්මා තිගැස්මෙන් යුතුව ඇසුවේ ඇපයට අත්සන් කළ ණය මුදල පිළිබඳවය.
"මොනව වෙන්නද? අපිව අල්ලලා තියලා උං බේරිලා ගිහිං."
මාස ගණනාවක් පුරා ඇදුණු ඒ කතාව යළි යළිත් ඇන්ඩෲ අය්යා අපේ ජන්මාන්තර වෛරක්කාරයෙක් ලෙස හංවඩු ගැසුවේ තාත්තාට විඳින්නට සිදුවූ අනේක කරදර නිසාවෙනි. වයසට වඩා ඉක්මණින් තාත්තා රෝගියෙකු විය. ඇන්ඩෲ අය්යා පිළිබඳව ඇති පහන් හැඟුම් අපේ සිත් තුළම තෙරපා වළ දමන්නට සිදු විය. තවත් කලක් යනවිට ඒ අපේ නිවසේ තහනම් වචනයක් බවට පත් විය.

ළමාවියේ මගේ ප්‍රථම හා හොඳම හිතවතා එලෙස අකාලයේ මට අහිමි විය.

**********************************

මා ඉදිරියේ සිටිනුයේ මැදි වයසේ මිනිසෙකි. සුපුරුදු කටහඬේ ගැබ්ව ඇති දැඩි ශෝකය මගේ ඇටමිදුළු පසාරු කරගෙන යයි. දෙනෙතින් පළවන දයාව එදා මෙන්මය. කීමට බොහෝ දේ ඇත; ඇසීමට බොහෝ දේ ඇත. එහෙත් කාලය හා අවස්ථාව ඊට හරස් වෙයි. තාත්තා කොයි මොහොතක හෝ පැමිණිය හැක. ඔහු දැන් හදිසි කම්පනවලට ඔරොත්තු නොදෙන දැඩි හදවත් රෝගියෙකි. මෙපමණ වසර ගණනාවකට පසු ඇන්ඩෲ අය්යා හමුවූ මොහොතේ මට ඔහුගෙන් ඈත් වීමට හදිසිය. නොඉවසිල්ලෙන් ඈත මෑත බලන මා දෙස තත්පර කිහිපයක් බලා සිටි ඔහු මා බලන අත බලා නැවත මදෙසටම හැරෙයි.
"එහෙනම් මං ගිහින් එන්නද නංගි?"
ඒ හඬේ ඇත්තේ පරාජිත ස්වරූපයකි. මම යන්ත්‍රයක් මෙන් හිස සළමි.
"අනේ දෙවියනේ, ඇන්ඩෲ අය්යා මෙතනින් යනතුරු තාත්තා මෙතනට එවන්න එපා." මගේ සිත කෑ ගසා යදියි. 

එක් අතකින් මම තාත්තා ගැන බිය වෙමි; අනෙක් අතින් තාත්තාගේ මුවින් ගිළිහෙන වදනක් නිසා ඇන්ඩෲ අය්යා සිත් වේදනාවකට ලක් වෙතැයි බිය වෙමි. 
"තාත්තා එනකම් ඉන්නෙ." මම ආයාසයෙන් ගැට ගසා ගනිමි. යන්නට හැරුණු ඇන්ඩෲ අය්යා නැවතී මා දෙස බලා සිටී.
"ගෙදර අය සනීපෙන්ද නංගි?"
 මා හිස සළන්නේ "ඔව්" කීමටය. තාත්තාට පපුවේ අමාරුවකැයි කිවහොත් ඇන්ඩෲ අය්යා නැවතී විස්තර අසතැයි මට සිතේ.
"අපේ තාත්තා නැති වුණා ඒ දවස්වලම. අම්මයි මමයි ඉන්නෙ දැං." ඔහුගේ හඬේ තනිකමකට වඩා ඇත්තේ කලකින් දුටු හිතවතකු සමග සිය ජීවිතය බෙදාගන්නා හැඟීමකි.
මගේ සිත ගිනි ගනී. අපේ පවුලේ තොරතුරු දැනගැන්මට ඔහු කැමැත්තෙන් සිටිතැයි මට සිතේ. ඔහුගේ විස්තර ඇසීමට, දුක් සැප බෙදා ගැනුමට මටද අවැසිය. එහෙත් කතාව දික්ගස්සා ගත නොහැක.
"තාත්තා එනකම් මම ඉන්නෙ." මම නැවතද කියමි.
"මම යන්නම් නංගි."
 මා හිස සළන්නේ කතා කළහොත් කටහඬ වෙවුලාවියයි යන බියටය.


ආපසු හැරී පියවර කිහිපයක් තැබූ ඇන්ඩෲ අය්යා හදිසියේ යමක් සිහි වූවාක් මෙන් නැවත මා දෙස බලයි.
"දැන් ඉස්සර විතර දඟ නෑ වගේ."
කඳුළු සැඟවීමට මම තව දුරටත් වෑයම් නොකරමි.




This entry was posted on Wednesday, January 26, 2011 at Wednesday, January 26, 2011 and is filed under , , . You can follow any responses to this entry through the comments feed .

9 දෙනෙක් ගේ අදහස්

කලකට පසුව හමුවූ ප්‍රියයෙක් ඔස්සේ මතක ආවර්ජනය, ඉන් ගොඩනැගුන කතාව ලස්සන ඉදිරිපත් කිරීමක්. කතාව වටා ඇති විවිධ චරිත, ජීවිතයේ පමණක් වෙලාවට තීරණ ගැනීමේ "ඉක්මන" හා විපාක ගැන මනා විග්‍රහයක් නොවේද?

January 27, 2011 at 8:35 AM

බොහොම ස්තුතියි ඩීන් අය්යා. ඉක්මණ් තීරණ ගැනීම හා විපාක ගැනනම් කියලා වැඩක් නෑ.

January 27, 2011 at 5:36 PM

මේ කතාකාරිය මිනිස් හැගීම් අපුරුවට තේරුම් ගෙන සිටින හෙයකි.

January 30, 2011 at 8:52 PM
Anonymous  

මනුස්ස හැඟීම් කියැවීමට හපන් කතාකාරයින් බොහෝ අල්පය...
ඔබගේ දක්ෂතාවය අගය කරමි..

සුලා..

January 31, 2011 at 2:12 PM

හිෂාන් සහ සුලා...

බොහොම ස්තුතියි ඔබගේ අගය කිරීමට. එය ලොකු දිරියක් මේ බ්ලොග් එකට ලියන අප හැමෝටම.

January 31, 2011 at 6:20 PM

මේ බ්ලොග් එක ගැන හරි විස්තරයක් දැන ගන්න ලැබුනේ අම්මගේ මළ ගේ දවස් වල... හිමින් සැරේ කියවලා බලන්නන්කො. කරගෙන යන ඔක්කොටම සුබ පැතුම් !

February 5, 2011 at 8:29 PM

බොහොම ස්තුතියි මින්දද, වෙලාවක් තියෙනකොට ඇවිත් යන්නකො.

February 6, 2011 at 8:22 PM
Anonymous  

just read all of your posts. this is the best out of all of them.you have a remarkable talent..keep writing and read more..

February 12, 2011 at 6:42 AM

Thank you very much for reading our blog and for your sincere encouragement.

February 12, 2011 at 7:05 PM

Post a Comment

ඔබේ අදහස් අපිට ශක්තියක්