නිමක් නැති කතාවක්  

Posted by හිතමිතුරු in , ,




"සම්පත් කොහෙද ඉන්නෙ.."

- දැන්නම් කාමරේ ඉන්නෙ.

"මේ පැත්තට එන්න අදහසක් එහෙම නැත්ද.."


- ම්ම්.. මම මේ චැට් එකක, තව පැය භාගයකින් විතර එන්නම්.


"හරි එන්නකෝ, එහෙනම් මම තිබ්බා"


- ඕ.කේ.



කෝල් එක රොහාන්ගෙන්. ඊයෙත් ඒ පැත්තෙ යන්න බැරිවුණා. රබර් වගේ ඇදෙන චැට් එක මඟින් නවතා දමා යන්තම් ගැලවුණු මම යන්නට සැරසුණත් පසුව වොෂ් එකක් දාගෙනම යන්න තීරණය කළේ රොහාන් ගැන හොඳටම දන්න නිසා. ගියායින් පස්සෙ පැය ගණන් ගෙවෙන්නෙ විනාඩි වගේ. ආපහු එන වෙලාවක් මම දන්නෙත් නෑ. 'අනික හෙට සිකුරාදා..' මටම කියාගත්තෙමි.

රොහාන්ගේ කාමරය ඇත්තේ මගේ නවාතැනේ සිට කිලෝ මීටර පහක් පමණ ප්‍රධාන මාර්ගයේ ගොස් දකුණට ඇති අතුරු පාරකය. හතර දෙනෙක් පමණ ඉන්න නිවස කාමර හතළිහක් ඇති තරමට විශාල වුවත්, ඩ්‍රයිවර් ඉන්න කාමරය බලු කූඩුවකට වඩා ටිකක් විශාල විය. ඒ ගැන හිතන්නට තරම් ලොකු හිතක් ඔවුනටද නැත. මේ රටේ ඉතින් ඩ්‍රයිවර් කෙනෙකුට ඔයිට වඩා ලොකු තැනක් ලැබුනොත් ඒ කලාතුරකිනි. නිවස ඉදිරියේ ඇති පොල්පැල කිහිපය පසුකර ගිය මම කාමරය ඉදිරිපසම වාහනය නැවැත්වූයේ සුපුරුදු තැන එතැන වන නිසාවෙනි.
වාහනයේ හඬ හොඳට හුරු රොහාන් කාමරයේ දොර විවර කළේ "පුදුමයි කිව්ව වෙලාවට ආවා.." කියමින්.


-හරි කියන්නකො කවද්ද වෙලාවට ආවෙ නැත්තෙ කියලා.


"හරි හරි වරෙන් ඇතුළට.."


රොහාන්ගේ කාමරයේ ඇතුළත පිළිවෙලකට තිබෙන නිසා එහි ඉඩ මදිකමක් පෙනෙන්නට නැත. සාමාන්‍ය තරමට වඩා උස් ඇඳකි; ඇඳෙහි හාන්සි වී බලන්නට හැකිවන සේ ටීවී එක තබා ඇත්තේ පොඩි ශීතකරණයක් උඩය; ටීවී එක විතරක් නම් මදෑ, ඩීවීඩී ප්ලේයරයක් හා සැටලයිට් රිසීවරයකුත් එහිම ඇත. බිත්තියේ එක් පැත්තක ඇණ කිහිපයක් ගසා ඇඳුම් ටික එල්ලා ඇති අතර ඒ අසලම පොලිතීන් බෑගයක දැමූ බොක්ස් ගිටාරය එල්ලා ඇත්තේ වැඩි පරිස්සමටය. අනෙක් පැත්තෙන් කුඩා ප්‍රමාණයේ කුස්සියකි. "අපේ විදිහට" උයාගන්නට අවශ්‍ය හැම දෙයක්ම එහි ඇත. ඊට යාබදව ඇත්තේ නාන කාමරයයි.

-අපි මදි මදි කිව්වට මේක මදිත් නෑ නේද රොහාන්...?

"හෙ හේ.. මිනිස්සුන්ට ඉතිං කොච්චර තිබ්බත් මදිනේ.. "


-හරි දැන් ඉතින් කොයි කාලෙටද ලංකාවට යන්න බලාපොරොත්තුව..?


"තව පොඩි වැඩ ටිකක් තියෙනවා. ඒ ටිකත් ඉවර කරගෙන ගියොත් තමා හරි. අනික පොඩි නංගී මේ අවුරුද්දේ A/L කරන්නෙ; ටියුෂන් වලටම බර ගානක් යනවා. අනික් උන් දෙන්නටම මම සල්ලි යැව්වනේ... මෙයාටත් ඒවට සල්ලි යවන්න ඕනෙ; නැත්තං කියවයි හෝ ගාලා. මාර කටර් එකක්නෙ ඒක.."

කිසි දවසක වැඩකට නැති දෙයක් ගැන කතා නොකරන අපි විවිධ දේ ගැන කතා කළමුත් අවසානයේ කතා කළේ වැස්ස ගැන.

"ලංකාවෙත් නැතිවෙන්න වහිනවා.."


-ඔව් මමත් ප්‍රවෘත්ති බැලුවා.


"සිංහල අවුරුදු කාලෙට හාල් පොල් වගේම එළවලු ටිකත් ඉන්දියාවෙන්ම ගෙන්නයි වගේ.. අනේ මන්දා.."


-මේ ඒක නෙවේ, රෑට මොනවද කන්නෙ..?

"දවල්ටත් හරියට කෑමක් නෑ, අද දවසම දුවනවා දුවනවා ඉවරයක් නෑ. පැයකට විතර කලින් සෙට් එකම කොහෙදෝ ගියා. මං හිතන්නෙ අද රෑට නම් දිවිල්ලක් නෑ.."


-මොනවා කරන්නද රොහාන්, මුන්ගෙත් එක්ක වැඩ කරන කොට එහෙම තමා..අපි කෑවද බීවද කියල හොයන එකක්යෑ මුන්. එහෙනම් "පරාටා"ගෙනත් කමු..


"හරි ඒත් දැන් 'මහරිබ් සලාත් වෙලාව' සලාත් ඉවර වෙලා යමු."

-අවුලක් නෑ යං. අපි කඩේ ගාවට යනකොට වෙලාව හරි.



"මලික් පාර" දිගේ ටික දුරක් යනවිට ඇති "කේරළ" හෝටලයකින් සතියකට වරක් වත් පරාටා ගෙනවිත් කෑමට අමතක නොකළේ අපට හුරු පුරුදු කෑමක් වූ නිසාය. දෙදෙනාම වාහනයට නැඟී ටික දුරක් යත්ම,
"සිංදුවක් දැම්මොත් මේවා ගෙවෙනවද.." කියමින් සීඩී එකක් ප්ලේයරය තුළට ඇතුල් කරමින් රොහාන් මගෙන් විමසයි.

-ඔය තියෙන්නෙ දාලා අහන්නකෝ ඉතින්


අතුරු පාරෙන් ප්‍රධාන පාරට වාහනය යොමුකරගත් මට මතක් වුයේ දෙතුන් දෙනෙක් ගායනා කරන එකම සිංදුවක් ගැන.

-රොහාන් අර සිංදුව සුනිල් එදිරිසිංහත් කියල තියෙනව වගේ.

"මොන සිංදුවද..?"


-වලාකුළක් ගෙන මුවාකරමු හිරු.. කියන එක.


"නෑ.. මම දන්නෙ නෑනේ, ඕක මංජුලත් කියනවනේ. ඒ කියන්නෙ විජය කුමාරතුංග කියලා තියෙනවා අනිවාර්යෙන්...."



රොහාන්ට කතාව කියා අවසන් කරගන්නට නොහැකි විය. මඟතොටේ හොඳට හුරු පුරුදු නලාවක හඬ ඇසුනේ පිටුපසිනි. මැද කණ්නාඩියෙන් පිටුපස බැලූ මට පෙනුණේ වාහනය නවත්වන ලෙස අණ කරන පොලිස් සංඥාවකි.

දෙදෙනාටම එකවර කියවුනේ "හුටා!"

පොලීසියට අයත් යැයි කිසිසේත්ම කිව නොහැකි සාමාන්‍ය "කොරොල්ලා" වර්ගයේ මෝටර් රථයකින් යෑම පොලීසියේ අලුත්ම උපක්‍රමය වී තිබේ. මෙතන නවත්තලා බැනුමුත් අහගෙන දඩ කොලයකුත් ලැබෙන බව හොඳින්ම දන්නා මා වේගය අඩුකර අධිවේගී මාර්ගයෙන් ඉවතට ගෙන වාහනය නතර කළේ බේරෙන්නට ඇති අවස්ථාව වැඩි කර ගන්නටය. අවශ්‍ය කරන දේවල් අතට ගෙන, "රොහාන් ඔහොම ඉන්න මම බැහැලා ගිහින් ෂේප් එකක් දාගන්නම්." කියමින් දොර ඇරීමට සැරසෙන විට පොලිස් නිලධාරියා මා අසලටම ඇවිදිනි. කිසිවක් සිතාගත නොහැකි වූ මාහට "සලාම් අලෙක්කුම්" යැයි කියවුනේ නිතැතින්මය. එයට කිසි ප්‍රතිචාරයක් නොදැක්වූ ඔහු වමත මත දකුණත තබා ඉල්ලා සිටියේ රියදුරු බලපත්‍රය හා අනිකුත් ලියකියවිලිය. අවශ්‍ය හැම දෙයක්ම මා සතුව තිබුණත් රොහාන් ළඟ කිසිම දෙයක් නැති බව හොදින් දන්නා මා ක්ෂණිකව ක්‍රියාත්මක වී ජංගම දුරකථනයේ අංක "5" බොත්තම තප්පර කිහිපයක් ඔබාගෙන සිටියේ අදාල තැනට "ප්ලීස් කෝල් මී" මැසේජයක් ලබාදෙන අටියෙනි. අංක "5" "ස්පීඩ් ඩයල්" ක්‍රමයට සකසා තිබූ නිසාවෙන් එය ඉක්මන් හා පහසුම ක්‍රමය විය. හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය හා අනිකුත් විස්තර හොඳින් පරික්ෂා කළ පසු, අනික් පසින් සිටින්නේ කවුදැයි විමසූ පොලිස් නිලධාරියා " අතේනි ඉකාමා.." යැයි පැවසූයේ හැඳුනුම්පත දෙන ලෙසටය. කිසිවක් නොතිබුණු රොහාන්ගේ මුවින් එකවිටම පිටවූයේ "අනා මාඇන්දි ඉකාමා.." යන්නයි. "තයීබ් තාල් බර්රා.." වාහනයෙන් බහින ලෙස කී පොලිස් නිලධාරියා තම රථය දෙසට ගොස් යම්කිසි ඇමතුමක් ලබාදුන්නේය.
මොහොතකින් මට ලැබුණු දුරකථන ඇමතුමට පිළිතුරු ලෙස කියවුනේ "හෙලෝ සර්, ප්ලීස් හෙල්ප් මී, අයිම් ඉන් බිග් ත්‍රබ්ල්, ප්ලීස්' "

..වත්ස් රොන්ග් විත් යූ"

සිදු වූ දේ සැකෙවින් පැහැදිලි කළ පසු මගේ ආයතන ප්‍රධානියා පැවසූයේ පොලිස් නිලධාරියාට දුරකථනය දෙන ලෙසටය. පළමුව එය ප්‍රතික්ෂේප කළ ඔහු, නැවත දෙන විට මා දෙස රවා බලා කතාකරන්නට විය.


"මරහබාන්.. සලාම් අලෙයික්කුම්.... "

කථාව විනාඩි දෙකක් පමණ දික්විය. එහෙට මෙහෙට ඇවිදිමින් කතා කළ පොලිස් නිලධාරියා අවසානයේ දුරකතනය මා අත තැබීය. දුරකතනයට සවන් දුන් මට අනික් කෙළවරින් කියනු ඇසුනේ, "එවරිතින්ග්ස් ඕකේ..බට් සොරී අබවුට් යූර් ෆ්‍රෙන්ඩ්.. අන් ට්‍රයි ටු මීට් මී සැටඩේ මෝනිං.. බායී."


-හෙලෝ සර්.. සර්.. ඇමතුම විසන්ධි වී තිබුණි..


"බොසා මොකද කියන්නෙ.." රොහාන්ගෙ හඬ අවදි විය.

- කතාකරල වැඩක් නෑ, රොහාන්.


"මාර වැඩේ. මම හින්දා උඹටත් ප්‍රශ්න. අනිවාර්යයෙන් පැය විසි හතරක් ඉන්න වෙනව කූඩුවේ."


-බොසා කියපු විදිහට නම් මට ගැලවීමක් තියෙයි වගේ. ඒත් ඔයාට තමා....


"එහෙනම් එච්චරයි, මේක ඉතින් මම බලාපොරොත්තුවෙන් හිටිය දෙයක්නේ. වීසා නැති එකෙක් වාහනයක දාගෙන ගියාට අඩුම තරමෙ දවසක් වත් කූඩුවෙ ඉන්න වෙනවා. ඔයාට එයින් බේරුණ එකම ඇති.."


ජීවිතය ගැන සැම විටම සැහැල්ලුවෙන් සිතන රොහාන් ගණනකට නොගෙන කීවේ මා සනසන අදහසින් විය යුතුය. එහෙත් එයින් සෑහීමකට පත්විය නොහැකි මම පොලිස් නිලධාරියා අසලට ගොස් පින්සෙන්ඩු වන්නට වුණෙමි. ඒ කිසිවක් නොඇසුනාක් මෙන් සිටි ඔහු කීවේ, තවත් වාහනයක් මඟ එන බවත් කැමතිනම් එහි නැඟී පොලීසියට යා හැකි බවත්ය.

"අවුලක් නෑ. ඕනනම් සතිදෙකක් විතර අර බලුකූඩුවේ දාලා ගෙදර යවයි. අනික මම එනකොට ෆින්ගර් ප්‍රින්ට් ගත්තෙත් නෑ. ඒක හින්දා එච්චර ප්‍රශ්නයක් වෙන එකක් නෑ" යැයි රොහාන් කියනවිටම තවත් දෙදෙනෙකු දමාගත් ජීප් රියක් අප අසලම නැවැත්වූයේ කතාව ඉවරකරගන්නට ඉඩ නොදෙමිනි.

"යල්ලා එත්කොල්.."


"හරි. ගෙදර එවුන්ට පණිවිඩයක් දෙන්න මේ ගැන. නැත්තං හොයයි. ගිටාර් එකයි ෆොටෝ ඇල්බම් එකයි අරන් යන්න... ලංකාවට ආපු වෙලාවක හම්බවෙමු."


"ඇතුළට ගියාම කෝල් කරන්න බෑ, ලංකාවට ගියගමන් කෝල් එකක් දෙන්නම්, බුදුසරණයි.."

පිළිතුරක් දෙන්නට නොහැකි තරමට මාගේ උගුර හිරවී තිබූ අතර බොඳවී පෙනුණු ජීප්රිය වේගයෙන් ඉදිරියට ඇදෙන්නට විය.෴


( අතේනි ඉකමා-හැඳුනුම්පත දෙන්න. අනා මාඇන්දි ඉකාමා-මගේ ළඟ හැඳුනුම්පත නෑ. තයිබ් තාල් බර්රා- හරි, එළියට එනවා. මරහබාන්-නොහඳුනන අයෙකුට කරන ආමන්ත්‍රණයක්, "හලෝ". යල්ලා එත්කොල්- හරි, නඟිනවා උඩට)




This entry was posted on Tuesday, January 25, 2011 at Tuesday, January 25, 2011 and is filed under , , . You can follow any responses to this entry through the comments feed .

8 දෙනෙක් ගේ අදහස්

Anonymous  

පට්ට කතාව...කීයක් නං ‍ඔහොම සිද්ධි වෙනවා ඇද්ද?
/කුම්භකර්ණයා

January 25, 2011 at 10:49 PM

සමන්ත මල්ලියේ කාලෙකට පසුව රතුමුහුද පැත්තට අරන් ගියා මේ කතාව.

කතාව එක හුස්මටම කියවාගෙන ගියා. ඔබේ ඉදිරිපත් කිරීමේ විලාසය ගොඩාක් හිත් ගත්තා මල්ලී, ජය! දිගටම ලියමු.

January 25, 2011 at 10:52 PM

මැදපෙරදිග රටක රැකියාවක් කරන අයෙකුගේ ජීවිතයේ ගෙවන දුක ගැන දන්නේ එව්වා දකින එවැනිම අයෙක් විතරයි. ඒ ඇතුලාන්තය මෙය යැයි කීවත් කී දෙනෙක් පිලිගනීද සැකයි, කොටින්ම එතරම් මහන්සියෙන් දුක් විඳ ලබාදෙන රන්කහවණුවේ දීප්තියෙන් බැබලෙන සමීප අය පවා නොදන්නා තරම්.

රොහාන්ලා එමටයි. ඔවුන් කරමින් ඉන්න රැකියාවලින් පැන වෙනත් රැකියාවලට සම්බන්ධ වෙන්නේ බොහෝවිට ඔවුන් කරපිට පැටවෙන වගකීම් ඉටුකරන්න අවැසි කරන මුදල් සකසා ගැනීමට. එසේ ඒමේදී තම ගමන් බලපත්‍රය, තමුන්ගේ අනුග්‍රාකත්වය (ස්පොන්සර්) සම්බන්ද ලියකියවිලි පවා අමතක කර එන ඔවුන් දැඩි අනාරක්ෂිත තත්වයකට පත්වෙන්නේ. එවැන්නන් නීතියේ දැලට හසු වුවහොත් පිහිටවෙන්න ඉඩක් නැති තරම්.

ඒ අවදානම් සහිත කෙළවරක් නැති කතාව ඔබ කෙටි කතාවකට නගා ඇත්තේ අපූරුවට.

January 26, 2011 at 8:43 PM

විනාඩි කහිපයක සිදුවීමක් කෙටිකතාවක...? විශිෂ්ටයි

January 27, 2011 at 7:05 AM

කුම්භකර්ණයා/
නොකීවාට,නොලිව්වාට අනන්තවත් මේ වාගේ දේවල් සිදුවෙනවා ඇති.
බොහොම ස්තූතියි.

ඩීන් අය්යා/
ඔබගේ දිරිගැන්වීමට මෙන්ම අඩුවැඩිය එකතු කලාටත් බොහොමත්ම ස්තූතියි. මැදපෙරදිගදී ගතින් මෙන්ම සිතින් දුක් විඳලා සොයාගන්න ඒ "කහවනු" වලට යටින් ඇති සැඟවුණු කතාවල තරම ඒ දේවල් අත්විඳින තවත් එවැනිම පුද්ගලයෙකුට විතරයි හරියටම තේරෙන්නේ.

January 28, 2011 at 2:33 AM

හිශාන්/
බොහොම ස්තූති‍යි අදහස් දැක්වීමට.

January 28, 2011 at 2:36 AM
Anonymous  

කතාව නිමා විය..!!! :(

`සමන්ත

July 10, 2011 at 4:14 AM

කියලා වැඩක් නෑ සමන්ත. ආරංචිය දැන ගත්තට පස්සෙ මමත් ආයෙමත් ඇවිත් මේ කතාව කියෙව්වා. :(

July 13, 2011 at 4:27 PM

Post a Comment

ඔබේ අදහස් අපිට ශක්තියක්