විසඳුම  

Posted by නලිනි චන්දිමා in , ,


ඉහේ හිටං බූමිතෙල් වක්කරගෙන ගිනි තියාගත්
සිරියලතා,
ඇඳේ දපා,
ඒ අතට ඉන්ටත් බැරුව
මේ අතට ඉන්ටත් බැරුව
බොල්ලෑ දත් අතරින් විලාප දෙයි.

රොද බැඳුණු මැස්සන් හා
පරදිනා සටනක නියැළි
දිරාගිය අම්මා,
හෙළන්නට කඳුලකුත් නොමැතිව
යටහත්ව විමසයි:
"උදේ බේතුත් බුන්නෙ නෑ; මී මැස්මොරේ එයිද, නෝනා?"

සුදෝ සුදු වතින් බැබළෙන
නයිටිංගේල් දියැණියෝ,
මුදු වදන් තෙපළමින්
වේදනා නසන ඔසු දෙනු වස්
නහරයක් ඉතිරිව ඇත්දැයි සොයත්.

ගිලනහුද සුදනහුද
හකුළුවාගත් නාස්පුඩු ඇතිව
පිළිකුලින් බලමින්
අනුකම්පාව මුමුණත්.

"අම්මා මැරෙයි අද හෙට.
ලෙඩා වෙච්චි මං කවුරුන් බලන්ටද?"
සිරියලතාගේ වදන් සිහිවනවිට
"ඈ අදම මියෙත්වා" යි මට සිතේ.




This entry was posted on Wednesday, January 19, 2011 at Wednesday, January 19, 2011 and is filed under , , . You can follow any responses to this entry through the comments feed .

4 දෙනෙක් ගේ අදහස්

මේ පදපෙලින් රෝහල් වාට්ටුව හා මරණය අයදින ලෙඩා රූප කරන ආකාරය හරිම ප්‍රබලයි.

"උදේ බේතුත් බුන්නෙ නෑ; මී මැස්මොරේ එයිද, නෝනා?" හා "අම්මා මැරෙයි අද හෙට. ලෙඩා වෙච්චි මං කවුරුන් බලන්ටද?" කියන පේලි දෙකෙන් මතු කෙරෙන බලාපොරොත්තුවේ අන්ත දෙකක් වෙන අත් නොහල පැතුම හා මානසික ආතතියක (depression) ගැඹුර වටා මුලු නිර්මාණයම කේන්ද්‍රගත වෙන අන්දමයි මා දකින්නේ.

මෙවන් රෝගී දරුවෙකු ඉන්න මවක් මහළු වී දුබල වෙද්දී ඒ කත මොන තරම් නම් හිතෙන් දුක් විඳිනවා ඇද්ද?

වඩාත් සංවේදී කතිකාවක් ඉතා සාර්ථකව ඉදිරිපත් කර ඇත.

මුරගල ඉදිරිපත්කරන විවිධත්වය හා වෙනස ගොඩාක් සිත් ගත්තා. ජය.

January 19, 2011 at 4:23 PM
Anonymous  

ඇත්ත.. අම්මා නැති කලට?????
සිරියාලතාට අනුකම්පාව ඇවැසි නැත..
නොමැරුනේ පෙරපිනට..
පව මේ අත්මැයේම ගෙවන්නට..
මා නරුමයෙක්ය???

නිර්මානයනම් උපරිමයි.

සුලා.

January 20, 2011 at 5:53 PM

බොහොම ස්තුතියි ඩීන් අය්යා වටිනා අදහස්වලට.
වසර ගණනාවකට ඉහතදි දුටු සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන ලියවුණක්. නිරන්තරයෙන් මී මැස්මොර හැදෙන, ඒ නිසාම අසරණව අම්මා මත යැපෙන සිරියාවතී, ජීවිතයේ තනිවීම වළකාගනු පිණිස සොයාගත් විසඳුම.

January 21, 2011 at 8:42 PM

බොහොම ස්තුතියි සුලා.

මෙවන් ප්‍රශ්නවලට නිසි විසඳුම් නැති අපේ සමාජයේ, තමන්ගෙ මට්ටමින් ඊට උචිතම විසඳුම සොයාගත් සිරියාවතීට අපි හරස් වෙලා. මීමැස්මොරට අමතරව පිළිස්සීමෙන් ඇති වුණු විරූපී කැළැල් හා ආබාධත් ඇගේ ජීවිතේට එක් කර, ඇයව තවත් අසරණ කරන අපි සුදනන්ද??? කරුමෙ ජීවත් වීමද මිය යාමද? බොහොම ස්තුතියි ඔබේ විමසුමට.

January 21, 2011 at 8:46 PM

Post a Comment

ඔබේ අදහස් අපිට ශක්තියක්