නොපිපි කුසුම  

Posted by නලිනි චන්දිමා in , ,



බොහෝ කලකට පෙර, ඔබ මා කෙරෙහි ඇති සෙනෙහස ගැන මුළින්ම ඉඟි කළ දිනය මතකද?
සම වයසේ අසල්වාසීන් වුණු අප දෙදෙනා එකට යාම් ඊම් කිරීම කිසිවෙකුත් ප්‍රශ්නයක් කර නොගත්තේ අපේ පවුල් දෙක අතර ගොඩ නැගී තිබුණු සහෝදර බැම්ම නිසාම විය යුතුයි. එදා සවස නිවෙස බලා එද්දී ඔබේ අතේ තිබුණා කාගෙන්දෝ ඉල්ලාගත් ගිතාරයක්. පටු මාවත දිගේ එද්දී, බෑගය උරහිසෙහි එල්ලාගෙන ඔබ ඇහුවා මගෙන්...
"මං ලිව්ව සිංදුවක් කියන්නද?"
"ටිකක් පාර මැදට වෙලා කියන්න. ගැරඬි ආවොත් ටක් ගාලා පේනවා එතකොට." මම කිව්වා.
මගේ නොහොබිනා උත්තරයෙන් නොසැළී ඔබ ගයන්න පටන් ගත්තා.


" මම ඉන්නම්
ඔබ යන මාවතේ
කුසුමක් වී
සුවඳ දෙමින්
කුළුඳුල් ආදරේ"

"මම හිටිවන කවියක් කියන්නම්." ඔබෙන් පිළිතුරක් ලැබෙන තුරු නොසිටම මම ගායනා කළා, ඔබේ තාලයටම.

"මම එන්නම්
ඔබ පිපි මාවතේ
හරකෙක් වී
ඔබව කන්නම්
වමාර වමාරා"

මම ගීතය නවත්වලා හය්යෙන් හිනා වුණා.

ඔබ දෙනෙත් බිමට හරවාගෙන, ගිතාරයේ තත් පිරිමදිමින් කිව්වා, "හරි නපුරු කෙල්ලක්."

මම තවත් හය්යෙන් හිනා වුණා. ඔබ එවර මා දෙස බැලුවා.
"හරි නපුරුයි."

මගේ විහිළුවට හිනා නොවී ඔබේ බොළඳ ගීය තුළම සිරවී මා නපුරුයයි චෝදනා කිරීම නිසා මට දුක හිතුණා. ඒ දුක තරහකට පෙරළුණා. ඔබට තවත් ටිකක් රිදවන්න මට හිතුණා. ඒ සමහරවිට ඔබේ දෙනෙතින් කියවුණු නුපුරුදු සෙනෙහසට මම බිය වුණු නිසාත් වෙන්නැති.

"තව තියෙනවා." මම කිව්වා.

"ඔබව කාලා
ගොම දාන්නම්.
ඒ ගොම අරගෙන
දොම්පෙ ආච්චිගෙ
කුස්සියෙ ළිප ළඟ අතුරන්නම්."

"හරි නපුරුයි." ඔබ ගිතාරයෙන් අත ඉවතට ගත්තා.
මම පාර පුරා යමින් හිනා වුණා.  හිනා වෙලා හිනා වෙලා මටම ඇති වුණාම නිශ්ශබ්ද වුණා. ඉතිරි දුර අපි ගමන් කළේ කතාබහෙන් තොරව, තනි තනි ලෝකවල.

ඔබේ මුල්ම ගීයේ ඉතිරි ටික මට කවදාවත් අහන්න ලැබුණෙ නෑ. ඔබ නැවත කවදාවත් ඒ ටික කියන්න ඉදිරිපත් වුණෙත් නෑ. පන්ති ගිහින් සවස එනවිට අප කතා කරමින් ආවේ වෙනත් නොයෙකුත් දේවල්.

මතකද, තවත් දවසක්?
සවස අප එනවිට අහස කළු කර වැස්සකට සූදානම් වුණා. තද සුළං හමන්නට වුණා. මග දෙපස වූ මාර ගස් වියරුවෙන් මෙන් ඇඹරෙන්නට වුණා. කාක් පැටියෙක් කූඩුවත් එක්කම බිමට වැටුණේ අප බලා සිටියදීමයි. මම කාක් පැටියා ළඟට දිව්වා. ඔබ මා පසුපසින් ආවා.
කාක් පැටියා මට කොටාවියයි බිය වූ නිසා මම ඌව අතට නොගත්තත්, ඌව දෙනෙතින් පිරික්සුවේ තුවාලයක් වී ඇද්දැයි දැන ගැනීමට. කාක් පැටියා දුක්බර ලෙස කෑ ගැහුවා. උගේ දෙමාපියන් අහලක ඉන්න බවක් පෙණුනේ නෑ. ඔබ කෝටුවක් අරගෙන කාක් පැටියාව හරවන්න හැදුවෙ යටි පැත්තෙ තුවාල තියෙනවද බලන්න. ඒත් එතකොට ඌට රිදේවියයි සිතුණු නිසා මම ඒකට විරුද්ධ වුණා. එවර ඔබ ප්‍රවේශමෙන් කාක් පැටියව අල්ලාගත්තා. ඌ කෑ ගැහුවත් දැඟලුවෙ නෑ.
"පේන්නනම් තුවාලයක් නෑ." ඔබ කිව්වා. "ඒත් ඇඟ ඇතුළ තැළිලා ඇති."
"ඌට තාම ඉගිලෙන්නත් බැරි එකෙක්." මම කිව්වා. "උගෙ අම්මලා ආවත් ආපහු කූඩුවට ගෙනියන්න බැරි වෙයි. මෙතන වැටිලා හිටියොත් මොකෙක් හරි සතෙක් කාලා දායි."
"අපි උඩකින් තියලා යමු." ඔබ කිව්වා.
"මම ඌව ගෙදර අරන් ගිහින් හදා ගන්නවා." මම කිව්වා.
"කාක්කෙක්?" ඔබ හිනා වෙන්න හැදුවත් මගේ මුහුණෙ තිබුණු දුක දැකලා වෙන්නැති නැවතුණේ. ගෙදරට එනතුරු කාක් පැටියාව ඔසවාගෙන ආවෙත් ඔබමයි. මා පෙට්ටියක් සොයාගෙන එනතුරු ඌව උකුළෙහි හොවාගෙන උගේ හිස පිරිමදිමින් සිටියෙත්, අම්මා හදා දුන් කිරි පහන්තිරයක පොඟවා ඌට පෙවීමට තැත් කළෙත් ඔබමයි.

ඔබ ඉතා කාරුණික කෙනෙකැයි මා එදින සිතුවා.

ඔබේ පියා මිය ගියේ ඊට හරියටම දින තුනකට පසුවයි. බසයෙන් වැටී සිහිසුන් වූ ඔහු මිය යනතුරුම ඔබ සිටියේ රෝහලේ. දේහය එදිනම භූමදානය කිරීමට තීරණය කර තිබුණා. ඔබ බලා ගත් අතේ බලා සිටියා මිස කඳුළු සැළුවේ නැහැ. ඔබට කුමක් කියන්නදැයි මට නොතේරුණු නිසා මම මුළු දවසම හිටියේ ඔබව මග හැරලා. රාත්‍රී ආහාරය රැගෙන අපේ පවුලේ සියල්ලන් ඔබ නිවසට පැමිණියමුත්, මම ඔබ සමග කතා කළේ නැහැ. ඔබ මුලු කාලයම මගේ සොහොයුරා සමග කතා කරමින් සිටියා. පිටත්ව එන්නට සූදානම්වනවිට ඔබ මගෙන් සෙමින් ඇසුවා, "ඔයාගෙ කාක් පැටියට දැන් සනීපද?" කියලා.
"කාක් පැටියා එදාම රෑ මැරුණා." මම පිළිතුරු දුන්නා.
ඔබ කිසිවක් නොකියා මගේ හිස යන්තමින් පිරි මැද්දා. මම ඉක්මණට ඔබ වෙතින්ඉවත් වුණේ අම්මලා දකීයයි සිතුණු නිසයි.

***********************************


ඉන්පසු අප එතරම් මුණ නොගැසුණේ ඇයි? ඔබ පන්ති යාම අඩු කළා විය යුතුය. ඒ වන විට උසස් පෙළට ඉතිරිව තිබුණේ මාස දෙකකටත් අඩු කාලයකි. උසස්පෙළ අවසන් වූ වහාම මම රත්නපුර නැන්දලාගේ නිවසට ගියෙමි. සති දෙකකට පසු මා එනවිට ඔබ හමුදාවට බැදී තිබුණි. ඉන්පසු ගෙවුණු වසර තුනහතරක කාලය අතරතුර අප මුණ ගැසුණේ දෙතුන්වතාවක් පමණි.

කෙතරම් පුදුමද?

ඔබේ පියාගේ තෙමස් දානයට ඔබ පැමිණ ගියේ හදිසියෙනි. වර්ෂයේ පින්කමට එනවිට ඔබේ අතේ විවිධ වර්ණ පිරිත් නූල් වට කිහිපයක්ම විය. "හරි මිත්‍යාදෘෂ්ටිකයි." ඒ දුටු මට සිතුණි. ඒ දින කිහිපයේදී මගේ සොහොයුරා ඇතුළු තරුණයින් රැළ ඔබ වට කරගෙන සිටියහ. මා සරසවියට තේරුණු පසු ඔබටත් මටත් එකට නිවාඩු ලැබුණේ නැති තරම්ය. ඔබේ මව නිවස කුලියට දී ඇගේ සොහොයුරියගේ නිවසෙහි පදිංචියට යාම තව දුරටත් අප ඈත් කරවන්නට ඇත.

අප එකිනෙකා හා ඇසුර පවත්වා ගන්නට උනන්දු නොවූයේ ඇයි?

තමන්ගේ කෙනෙක් හමුදාවට බැඳීම කෙරෙහි අකමැත්තක් දරන පිරිසට මාද අයත් බව ඔබ හොඳාකාරවම දැන සිටියේ අප ඒ පිළිබඳව කතා කර තිබූ හෙයිනි. මා ඊට අකමැති හේතුව දැන සිටියේ ඔබ පමණෙකි. එය එළිපිට කීමෙන් ඇති විය හැකි ඝට්ඨනයන්ට මුහුණ දීමට මම බිය වීමි. හමුදාවට බැඳීමෙන් ඔබ මගේ රුචි අරුචිකම් නොවැදගත් කොට සැළකුවායැයි මම සිතීමි. මා අකමැති දෙය මට නොකියාම කළ ඔබටද මට මුහුණ දීම අපහසු වන්නට ඇත.

ඔබේ මව හරහා මගේ මවුපියන් වෙත ඔබ යෝජනාවක් එවුවාද, නොඑසේනම් ඇයම මේ යෝජනාව ගෙන ආවාදැයි මම නොදනිමි. මගේ අකමැත්ත පොදුවේ තරුණියන් විසින් ලැජ්ජාවට ප්‍රදර්ශනය කරනු ලබන රංගනයක් ලෙසින් මගේ දෙමවුපියන් විසින් භාර ගැනිණි. දන්නා හඳුනන හොඳ පුතෙකු හමු වූ මේ මොහොතේ හැකි ඉක්මණින් ඒ කටයුතු පිළිවෙලක් කිරීමට ඔවුනට වුවමනා විය. මගේ වචනවල බරක් නැති සෙයකි. ඒ නිසා මා අකමැති හේතුවෙන් මම ඔවුනට දමා ගැසීමි.

"මම ආස නෑ මිනී මරුවෙක් කසාද බඳින්න."

මගේ දෙමවුපියන් තුෂ්ණිම්භූත වූවා නිසැකය. එදිනෙදා කතා බහේදී රණ විරුවන් අගයන අතිමහත් බහුතරයට ඔවුන් මෙන්ම මාද අයත් වීම ඊට හේතු වන්නට ඇත.

"කවුරුත් එහෙම හිතන්නෑ." අවසානයේදී අම්මා තතනමින් කීවාය.
"කවුරුත් නොහිතුවට මම හිතනවා." මම කීවෙමි.

"ඔය විස්ස විද්‍යාලෙ ගිහින් ඉගෙනගත්තුව වෙන්නැති. උඹ දැන් නිදහසේ පාරෙ බැහැල යන්නෙ කා හින්දද?" සොහොයුරා කාමරයේ සිට කෑ ගැසීය. අම්මා හෝ තාත්තා හෝ ඉන්පසු මා හා කතා නොකළහ. බ්‍රහ්මදණ්ඩය පැණවී නිවසේ විසීම අපහසු වූ හෙයින් මම රත්නපුර පැමිණියෙමි. මගේ මවුපියන් ඔබේ මවට කුමන හේතුවක් දැක්වූවාද යනු මම නොදනිමි. ඔබේ මව ඔබට කුමන හේතුවක් දැක්වූවාද යනු මම නොදනිමි.

නමුත් ඔබ මගේ සිතැඟි හඳුනන බව මම දනිමි. මා ඔබේ සිත රිදවන බවද මම දනිමි. අපේ හදවත් වෙනස් රිද්මයන්ගෙන් වුවත් එකම වේගයකින් ගැහෙන බවද මම දනිමි.

ඔබ හමුදාවට බැඳෙන බව මා දැන සිටියානම්......

කාලය ආපසු හැරවිය හැකිනම් මම නැවත අපේ පාසල් කාලයට යන්නෙමි. අප එක්ව පිය නගන අතරතුර ඔබ ගයන ගීයට මම බාධා නොකරමි. ඔබේ කුළුඳුල් ප්‍රේමය පිළිබඳ බොළඳ ගීයට ඉඩ දී මම නිහඬ වන්නෙමි.

අද මට රිදවීමෙන් වැළැකිය නොහැකි ඔබේ හදවත එදිනවත් රිදවීමෙන් වළකිමි.




This entry was posted on Saturday, January 22, 2011 at Saturday, January 22, 2011 and is filed under , , . You can follow any responses to this entry through the comments feed .

18 දෙනෙක් ගේ අදහස්

ලස්සනයි තව කියවන්න ගොඩාක් එතකොට තවත් ලස්සනට ලියන්න පුලුවන් වෙයි...

January 22, 2011 at 6:01 PM

බොහොම ස්තුතියි ඉන්දි.

January 22, 2011 at 6:26 PM

කතාව තුල ජීවත් කරවන්න සමත් රචනය කියවා අවසන හිතුනේ "ජීවිතයේ ආපස්සට යන්න ඇත්නම්..." කියන එකමයි.

හිතේ පුංචි දුකක් ඇති කලත් කතාව රසවින්ඳා.

January 22, 2011 at 6:29 PM

අන්තිම පේලි ටික කියවන කොට ඇගේ මයිල් කෙලින් උනා. ආදරය කියන්නෙ මහ පුදුමාකාර දෙයක්. වරක ඇති වෙනව, වරක නැති වෙනව. මුලින් නරකයි වගේ පෙනුනට පස්සෙ හොදයි වගේ පේනව. ඒ වුනත් මේ හැම දෙයක්ම අපි ජීවත් වෙනකම් විතරයි.

සාමාන්‍යයෙන් මේ විදිය straight forward කතා ශයිලියක් දක්නට ලැබෙන්නේ පරිමි පාර්ශවයේ රචකයන්ගෙන් පමණයි.

සාමාන්‍යයෙන් ලේඛිකාවන් මෙවන් ආකාරයේ අදහස් දැක්වීම් කතානුසාරයෙන් ලිවීමට මැලි කමක් දක්වනව කියල තමයි මගේ නම් අදහස.

කොහොම වුනත් කට්ටිය එකතු වෙලා කරන්නෙ හොද වැඩක්. මගෙන් සුභ පැතුම් ඔයාලට.

January 22, 2011 at 7:12 PM

තව දෙයක් ලියන්න අමතක වුනා. ඔය අයගෙ තේමාවෙ තියෙන ඉංග්‍රීසි පරිවර්තනය The guardian stone ලෙස වෙනස් වුනා නම් වඩාත් අර්තවත් කියල මට හිතෙනව.

January 22, 2011 at 7:20 PM

බොහොම ස්තුතියි ඩීන් අය්යා. ජීවිතයේ ඇතැම් දේවල් ගැන හිතනකොට, ආපස්සට යන්න ඇත්නම් කියලා හිතුනත්, අපි ආයෙත් ගිහින් ඒ විදිහටම වැඩ කරාවි නේද? :D

January 22, 2011 at 7:56 PM

බොහොම ස්තුතියි හිෂාන්, ඔබේ වටිනා අදහස් දැක්වීමටත් සුභ පැතුමටත්.

Guard stone කියන නම යොදාගත්තෙ මුරගල සඳහා ප්‍රචලිතව භාවිතාවන නම එය නිසා. ඔබේ යෝජනාව අපි බෙහෙවින් අගය කරනවා, විශේෂයෙන්ම එහෙම යෝජනා කිරීමෙන්ම ඔබ අපේ බ්ලොග් එක ගැන දරන යහපත් මෙන්ම හිතවත් ආකල්පය පැහැදිලි නිසා.
නැවත වරක්, බොහොම ස්තුතියි.

January 22, 2011 at 8:09 PM

නියමයි... දිගටම ලියන්න... ජය වේවා..

January 23, 2011 at 12:40 AM

බොහොම ස්තුතියි, කරුමක්කාරයා සහෝදරයාට.

January 23, 2011 at 1:02 AM

This is just superb. Keep it up.

January 23, 2011 at 8:08 AM

Thank you Malinda, for you encouragement.

January 23, 2011 at 10:54 AM

ලස්සනයි, සෙනෙහසකට විකසිත වන්නට නොහැකිවූ අයුරු අපූරුවට ලියල තියෙනවා,

January 23, 2011 at 1:28 PM

බොහොම ස්තුතියි රවි අගය කිරීමට.

January 23, 2011 at 9:19 PM
Anonymous  

කතාව දුකයි. ලියල තියනව ලස්සනයි... දිගටම ලියන්න සුබ පැතුම්...මේ බ්ලොගය ගැන දැනුවත් කල ඩීන් අයියාටත් ස්තූතියි.

January 24, 2011 at 9:05 PM

බොහොම ස්තුතියි සොඳුරු සිත, ඔබේ අගය කිරීමටත්, සුභ පැතුමටත්.
ඩීන් අය්යා තමයි හුඟක් හිතවතුන් මෙතනට එක්ක ඇවිත් අපට අනුග්‍රහය දක්වන්නෙ. අපි හැමෝම හුඟක් ස්තුතිවන්ත වෙනවා ඩීන් අය්යට.

January 24, 2011 at 9:43 PM

මුලින්ම සුභ පතනවා වැඩේට! ලස්සන ආකෘතියකුත් එක්ක ආපු බ්ලොග් එකක්
මේ කතාවනම් අපූරුයි චන්දිමා අක්කේ!
මුලදි ගෙනාපු රසය එහෙම පිටින්ම අනෙක් පිට ගහල අන්තිම හරියේ දෙන්නේ!
ජය පතනවා වැඩේට!

February 14, 2011 at 5:23 PM

:D බොහොම ස්තුතියි මල්ලි. දුක සැප දෙක සම සමව පෙරළෙන්න එපැයි ඉතින්. ;)

February 14, 2011 at 6:57 PM

නියමයි..ගලා යාම අපූරුය

June 24, 2012 at 10:38 AM

Post a Comment

ඔබේ අදහස් අපිට ශක්තියක්