තනා ගත් පැල දිරා ගොස් ඇත
මාවතේ අපි සොයමු ඉඩ කඩ
උපන් මිනිසුන් මියෙන ලොව තුල
මග බලාගෙන හිඳිනු කුමටද
ලෙයින් උපනත් ලෙයම පෙවුනත්
ලොවේ බැමි නැත තදට බැඳුනේ
මහා මන්දිර පුතුන් තැනුවත්
මැදුර තුල නැත සෙවන ලැබුනේ
නැගී එන හිරු ගිලී යන තුරු
ඉඳින් මැණිකේ මගේ තනියට
මාවතේ මිය ඇදෙන දවසට
යමුද මැණිකේ මගේ තනියට
නොයෙක් දේවල් ගැන මිනිස්සු විවිධාකාර මත දරනවා. උදාහරණයක් විදිහට ඇඳුම් අඳින්නෙ ඇයි කියන කාරණාව ගත්තොත්, නොයෙකුත් උත්තර හම්බෙන්නට පුළුවන්. නමුත් දන්න අය දන්නවා, මිනිස්සු ඇඳුම් අඳින්නට පුරුදු වුණේ අත පිහ ගැනීමට බව.
බොහෝම ඉස්සර කාලෙ මිනිස්සු ඇඳුම් ඇන්දෙ නෑ. කෑවට පස්සෙ, අත් හෝදගෙන, අත් දෙක ඉස්සරහට දික් කරගෙන ඉන්නවා වේළෙනකම්. කොටින්ම ආපන ශාලා ආදියෙහි වෙනම කොටසක් වෙන් කරලා තිබුණා මෙහෙම අත් වේළන්නන් වෙනුවෙන්. අව්වෙන් අත් වේළන්නට මිනිස්සු අකමැති වුණු හින්දා, සිසිල් මඳ පවන සහිත එළිමහනක, වාඩි වෙන්නට බංකු තියලා, ඒ ඉදිරියෙන් අත් වේළෙනතුරු බල බල ඉන්නට මලින් බර පුංචි උයන් කෑල්ලක් එහෙමත් හදලා තිබුණා. කොටින්ම, මිනිස්සු ආපනශාලාවකට යන්නට පෙර සොයා බලන්නෙ එතන කෑම හොඳද කියලා නොවෙයි, අත් වේළන උයනෙ තියෙන මල් මොනවද කියලා. මේ හින්දා ආපනශාලා හිමියන් අතර තරගයක් ඇති වුණා තමන්ගෙ අත් වේළන උයනෙ වෙනසක් තුළින් පාරිභෝගිකයින් ගෙන්වා ගැනීමට; මොකද, කෑමනම් ඉතින් හැමතැනම එක වගේනෙ.
එක් ආපනශාලා හිමියෙක් වෙනස්ම විදිහකට කල්පනා කළා. මොන මල්ද කියලා තෝරනු වෙනුවට ඔහු තමාගෙ අත් වේළන උයනට ගෙන්නුවා මිනිහෙක්.
ඔව්, මිනිහෙක්.
මිනිහෙක් කිව්වට නිකම්ම මිනිහෙක් නෙවෙයි. බොරු කීමට දක්ෂ මිනිහෙක්. මේ මිනිහා අත් වේළන අය ඉදිරියෙ හිටගෙන බොරු කියන්නට වුණා. මිනිස්සු මේ මිනිහගෙ බොරු අහලා පුදුමයට පත් වුණා. ඒවා විශ්වාස කරලා රැවටුණා. පස්සෙ ඒවා බොරු බව දැනගෙන තවත් පුදුම වුණා. පුදුම වෙලා ඉවර වුණාට පස්සෙ තමන්ටම හිනා වුණා.
ඉක්මණීන්ම අනික් ආපන ශාලා හිමියනුත් බොරු කාරයන්ව හොයා ගත්තා. බොරු කීම රැකියාවක් කර ගත් මිනිස්සු එන්න එන්නම වැඩි වුණා. ඔවුන් අතරෙත් තරගයක් ඇති වුණා. සමහර විශාල ආපනශාලාවල බොරු කියන මිනිස්සු කීපදෙනෙක් එකවර, එක පෙළට සේවය කරන වෙලාවල් පවා තිබුණා. වඩා හොඳින් බොරු කියන්නට දත් මිනිස්සු තමන්ගෙ හැකියාව වෙනුවෙන් වැඩිපුර සැළකිලි බලාපොරොත්තු වුණා. වඩාත් හොඳින් බොරු කියන බොරු කාරයින් ඉන්නා තැන්වලට ගොස් අත් වේළීම නම්බුවක්යැයි සාමාන්‍ය මිනිස්සු කල්පනා කළා.
කෑම බීම වලට වඩා බොරු කාරයින් ගැන මිනිස්සු සැළකිලිමත් බව දුටු ආපනශාලා හිමියන් බොරු කාරයින්ට වඩාත් හොඳින් සැළකුවා. ආපනශාලාවල ඉතිරි වෙන සියළුම කෑම ඔවුන්ට නොමිළේ දුන්නා. මේ නිසා බොරු කාරයන් ටික ටික තරබාරු වුණා. කොහොමත් කෑම ටික හම්බෙන හින්දා ඔවුන් කම්මැළි වුණා. අලුතින් බොරු ගොතා කියනු වෙනුවට, ඔවුන් හැමදාම එකම බොරු ටික කියන්නට වුණා.
අත් වේළන මිනිස්සුන්ට හැමදාම අහන මේ බොරු අහලාම එපා වුණා. ඒ නිසා ඔවුන් බොරු කාරයන් කියන දේවල් අහන් ඉන්නවා වගේ පෙනුණට, ඉන් එපිට තියෙන උයනෙ මල් දිහා බලන්නට පෙළඹූණා.
ඕනෑවට වඩා කෑම ලැබීමෙන් තරබාරු වී සිටි බොරු කාරයින්ගේ විනිවිදභාවය අඩු වෙලා තිබුණා. මේ නිසා මිනිස්සුන්ට උයනෙ මල් හොඳින් පෙනුණෙ නෑ. එතකොට මිනිස්සු කලබල වුණා.
ඔවුන් ආපනශාලා හිමියන්ට පැමිණිළි කළා. විනිවිදභාවයක් නැති බොරු කාරයින්ව ඉවත් කර නැවත මල් උයන් බැලීමට පහසුකම් සපයන ලෙස ඉල්ලා සිටියා. ඒත් බොරු කාරයින් බොරු ගොඩක් කියා ආපනශාලා හිමියන්ව රැවැට්ටුවා; තමන්ව දිගටම සේවයේ යෙදවිය යුතු බව ඔවුන් ආපනශාලා හිමියන්ට ඒත්තු ගැන්නුවා.
තමන් කැමති පරිදි අත් වේළීමේ මානව අයිතිවාසිකම අහිමි වීම නිසා මිනිස්සු කෝප වුණා. ඔවුන් එකතු වෙලා නඩු කාරයෙක් හොයාගෙන ගියා.
ඒ කාලෙ නඩු අහන්නෙ දැන් වගේ නොවෙයි. නඩු කාරයා කාමරේකට වෙලා ඉන්නවා. එක් එක් පක්ෂය ගිහින් වෙන වෙනම නඩු කාරයා හම්බෙනවා. ඊට පස්සෙ නඩු කාරයා අපක්ෂපාතී තීරණයක් දෙනවා.
ඉතින් නඩු කාරයා කාමරේට වෙලා හිටියා. මුළින්ම ඇතුළට ගියෙ සාමාන්‍ය මිනිස්සු. ඔවුන් තමන්ගෙ චෝදනාව ඉදිරිපත් කළා.
"නඩුකාරතුමනි, ආපනශාලා හිමියන් බොරු කාරයින්ව සේවයේ යොදවා ඇති හින්දා, අපට අත් වේළෙනතුරු මල් බලන්නට විදිහක් නෑ."
ඔවුන් කියා සිටියා. නඩු කාරයා බොහොම කෝප වුණා. ඔහු නැගිටලා අඩි පොළොවෙ හප්පලා මෙහෙම කිව්වා:
"මොනවා?"
ඉතින් මිනිස්සු ආයෙමත් තමන්ගෙ චෝදනාව ඉදිරිපත් කළා. එතකොට නඩුකාරයා ආයෙත් සන්සුන් වෙලා ඉඳගත්තා. ඉඳගෙන අත දික් කළා.
"මොනවද ඔබලා ළඟ තියෙන්නෙ?"
මිනිස්සු මූණෙන් මූණ බලා ගත්තා. හැමෝම ළඟ එක එක දේවල් තිබුණු නමුත් කවුරුත් කැමති වුණේ නෑ තමන් ළඟ තිබුණු දේවල් නඩු කාරයට දීමට. තමන් ළඟ තිබුණු දේවල් දුන් පසු, අනෙක් අය නොදී හිටියොත් තමුන් මෝඩයෙක් වෙන බව හැමෝම කල්පනා කළා.
නඩු කාරයා අත ආපහු ගත්තා. "කමක් නැහැ." ඔහු කිව්වා.
ඊලඟට ආපනශාලා හිමියන් ඇතුළට ගියා. ඔවුන් කිසිම දෙයක් කිව්වෙ නැහැ; නඩු කාරයා අත දික් කරන තුරු හිටියෙත් නැහැ. ඔවුන් තමන්ගෙ සේවකයන්ට අණ කළා ආපනශාලාවල තියෙන හොදම කෑම නඩු කාරයගෙ නිවසට ගෙන යන ලෙසට. ඒ නඩු කාරයට කරන ගෞරවයක් විදිහට. නමුත් අණ කරන ගමන් ඔවුන් සේවකයන්ට ඇස් ගැහුවා.
නඩු කාරයා ඔහුගෙ බුද්ධිමත් ඇස්වලින් ආපනශාලා හිමියන් දිහා බැලුවා.
"කමක් නැහැ." ඔහු කිව්වා.
ඊලඟට ඇතුළට ගියෙ බොරු කාරයින්. ඔවුන් දක්ෂ විදිහට කතා කළා; තමන් දිගටම සේවයේ යෙදී සිටිය යුත්තෙ මන්ද, හෙමින් පිපෙන මල් දෙස බලා සිටීමෙන් මිනිසුන්ගෙ ඉවසීම නැති වී ඔවුන්ට අධික රුධිර පීඩනය හැදෙන්නේ කෙසේද, අසා සිටීම වෙනුවට බලා සිටීම තෝරා ගැනීමෙන් වැඩ කරන කාලය අඩු වන්නේ කෙසේද වගේ බරපතල කරුණු ඔවුන් සාකච්ඡා කළා.
නඩු කාරයා ඔහුගෙ අත දික් කළා.
"මොනවද ඔබලා ළඟ තියෙන්නෙ?"
බොරු කාරයින් එකිනෙකා සමග තරගයට කතා කරන්නට වුණා. තමන් නඩු කාරයා වෙනුවෙන් කරන්නට සිටින බොහෝ දේවල් ගැන ඔවුන් කිව්වා; එකිනෙකට නොදෙවෙනි ආකර්ෂණීය පොරොන්දු රාශියක් ඔවුන් නඩු කාරයාට දුන්නා. එකවර දිය හැකි දේවල්, කොටස් වශයෙන් දිය හැකි දේවල්, වසර දහයකින් දිය හැකි දේවල් ආදී වශයෙන් විවිධ දේවල් ගැන ඔවුන් පොරොන්දු වුණා.
නඩු කාරයා අත ආපහු ගත්තා. ඔහු බලාපොරොත්තු පිරි දෑසින් බොරුකාරයින් දිහා බැලුවා.
"කමක් නැහැ." ඔහු කිව්වා.
ඊට පස්සෙ නඩු කාරයා කාමරෙන් එළියට ඇවිත් තීරණය දුන්නා.
"මිනිස්සු අත් වේළීම සඳහා අනවශ්‍ය තරම් කාලයක් වැය කරන බව පෙනී යනවා. මේ පිළිබඳව සොයා බැලීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනවා." ඔහු කිව්වා.
ත්‍රිපුද්ගල කමිටුව කාමරේක රැස් වුණා. අත් වේළීම වෙනුවට මිනිස්සු අත් පිස දැමීමට පුරුදු විය යුතුයයිද, ඒ සඳහා නිරතුරුව බෙල්ලේ රෙදි පටියක් එල්ලාගෙන සිටිය යුතුයයිද ඔවුන් නිර්දේශ කළා.
ඊට පස්සෙ මිනිස්සු බෙල්ලෙ රෙදි පටියක් ගැට ගහගෙන ඉන්නට පුරුදු වුණා. කාලයත් එක්ක වෙනස් වෙවී ඇවිත් අද තියෙන ඇඳුම් බවට පෙරළුණේ ඒ රෙදි පටිය. ඒත් අදත්, මුල අමතක නොකරන හොඳ මිනිස්සු බෙල්ලෙ රෙදි පටියක් ගැට ගහගෙන ඉන්නවා; තමන් මල් බැලීමටවත්, අත් වේළීමටවත් කාලය නාස්ති නොකරන බවත්, අණට කීකරු බවත් ඔවුන් එයින් පෙන්නුම් කරනවා.
ඒ තරම්ම නිහතමානී නොවුණත්, අනික් මිනිස්සුත් වට පිට බලලා, ඇඳන් ඉන්න ඇඳුමෙ අත් පිහින එක අදටත් කරනවා.
මිනිස්සු අත් පිහ දමන්නට පටන් ගත් නිසා බොරු කාරයින්ට ආපනශාලාවල රස්සාව නැති වුණා. නමුත් ඔවුන්ගෙ හැකියාව නිසා වෙනත් රැකියා අවස්ථා ලැබුණා.
හැකියාවට රැකියාවක් කියන කියමන හැදුණෙ ඒ හින්දා.
භුමිතෙල් කාළයි
කෝර හාල් බාගයයි
කරවල පනහයි
පොල් ගෙඩියයි
පොල් තෙල් අරික්කාළයි
සිනී දෙසිය පනහයි
ආබාධිත සැමියට
සුදු බිඩි දෙකයි
හවසට ගෙදර ගෙනියන්න
තවම විකුණුවේ ට්කට් දෙකයි
අනේ නෝනා මහතුනේ
ඔබ වාසනාව උරගාද්දි
මම ජිවිතය උරගානවා
අතුරු එලයක් වූ වැරැද්දට
වන ලැහැබක් උරුම වූ මට
දෙතනේ ලේ කිරට හරවා
පෙව්වේ ඔබයි කිරි අම්මේ
ඔබ මරා මස් බුදින උන්
කෙරෙහි වෛර නොකරමින්
දෙවෙනි මව් වූයේ ඔබයි අම්මේ
ඔබේ දරුවන් නිසා එරුණු කිරි
මා වෙනුවෙන් පුදන්නට
ඔබ උත්තරිතර වුණු නියාවෙන්
ලෝකයා මොනවා කියූවත්
මා හැදූ මව ඔබය කීමට
මගේ හද නොපැකිලේ, අම්මේ
චන්දිමා බනිනවා, පූසා ගොරෝනවා
"වෙලාවක් නෑ බන්, කවි සිතුවිලි හැංගිලා..."
"උඹට දැන් අපිව මතක නෑ."
"උඹ අපිට ආදරේ නෑ."
"උඹ වැඩිය කතා නෑ."
ආඩපාලි කෝටියයි!
ඒ මදිවට කෙල්ලෙකුත් ජෝඩු කරලා!!
හොඳ වෙලාවට ඔපිසියෙන්
conference එකකට යැවුවා
ලෙචා කියවනවා, මට තේරෙන්නේ නෑ
නිදිමතයි, කම්මැලියි, ඈනුම් අරිනවා
කන්න, බොන්න නම් වෙලාවට!
HR කරන මට මොන Property Development ද?
ලිවිවා කවි පන්ති දෙකක්ම
කරන කිසි දෙයක් හරි නොයන කාලකණ්ණියකු වූ උපාලි සන්තකයේ තිබූ අන්තිම රුපියල් දහය දුන්විට කොන්දොස්තර කොල්ලා ඉතිරි සල්ලි ලෙස දී තිබුණේ අමුතුම කාසියකි. එය රුපියලක්ද නොවේ; දෙකක්ද නොවේ; පහක්ද නොවේ. මුහුණත පැහැදිලි නැති අවපැහැ ගැන්වුණු එකකි. වැව් බැම්මේ හිඳගත් උපාලි එය මැද පිරිසිදු කිරීමට තැත් කළේය. එකෙණෙහි ඔහු ඉදිරිපිට ජටාවක් බැඳ, රත්පැහැ සරුවාලයක් හැඳි පුද්ගලයකු පහළ විය.
"මං තමයි මේ කාසියට අධිපති භූතයා." ජටාධාරියා හිස නමා පැවසීය. "ඔබ තමයි මගේ ස්වාමියා."
"අම්මට සිරි!" උපාලිට කියවිණි.
"ඒක නරක වචනයක් නේද?" භූතයා ඇසීය.
"නෑ නෑ. සිරි කියන්නෙ ශ්‍රී කියන එක. ආශීර්වාද කරන්ඩ කියන වචනයක්." උපාලි වැරැද්ද හදාගන්නට තැත් කළේය.
"ඒ කිව්වෙ බොරුවක්ද?" භූතයා තවත් ප්‍රශ්නයක් නැගීය.
"කාසියෙම ඉඳල මහන්සි ඇති." උපාලි මාතෘකාව වෙනතකට හැරවීය. "ඉතින් මොනවද බූතයෙක් හැටියට කරන්ඩ පුළුවන් වැඩ?"
"භූතයෙක්- මහප්‍රාණ භ යන්න." භූතයා නිවැරදි කළේය. "තමුන්ට මොනවද කෙරෙන්න ඕනෙ?"
උපාලි මඳක් කල්පනා කළේය.
"මාව මේ ලෝකෙ ඉන්න ලොකුම පෝසතා කරනවකො එහෙනම්."
"එහෙම ඒවනම් කරන්න අමාරුයි." භූතයා කණගාටුවෙන් පැවසීය. "මං ඉතින් නිකං සිල්ලර කාසියක භූතයෙක්නෙ. සිල්ලර වැඩ තමයි පුළුවං."
"මූත් මටම හරියන එකෙක් වගේ."උපාලිට සිතිණි. ඔහු සිල්ලර අවශ්‍යතාවයක් මතක් කළේය.
"ආ, එහෙනම් කන්ඩ මොනව හරි ගේනවකො."
"එහෙම බෑ. ඕන කරන දේ හරියටම ඉල්ලන්න ඕන."
"බත් පිඟානක්."
"එච්චරනං අමාරුයි..."
පැයක් දෙකක් යනවිට උපාලි භූතයාගේ තරම වටහා ගත්තේය: අතුරුදහන් වීමත් සදාචාරය කතා කිරීමත් හැර ඌට මෙලෝ වැඩක් බැරිය.
දොර ඇරෙයි. සැර විලවුන් සුවඳක් පැතිරෙයි.
දොරින් ඇතුළු වෙන සරා, නිකමට මෙන් කාර්යාලය දෙස බලා, නාන කාමරයට යන පටු කොරිඩෝවට හැරෙයි. දෙපස පැලුම් සහිත, දිය සෙවෙල් පැහැ සාය, ඇගේ ඇත් ගමනට උචිත පරිදි යන්තමින් සැලෙයි.
"කස කාරයා ආවා." එකෙක් කියයි. කසුකුසු සිනාවක් නැගෙයි. කාර්යාලය වැඩට සූදානම් වෙයි.
එක්වනම සිරුර කෙළින්කොට සීරුවෙන් සිටගන්නා රණසිංහ, කඩිනමින් දොර හැර, රිදී කෙසින් යුත් හිස මඳක් ඇල කොට, පක්ෂපාතීව සිනාපායි.
"ගුඩ් මෝනිං."
විශ්වාසයෙන් කියන ලක්මාල් දිගු අඩි තබමින් කාර්යාලයට ඇතුළු වෙයි.
"මෝනිං සර්." රණසිංහ ඔහුගේ සෙවණැල්ලට සෙමින් කියයි.
ඇතැම්හු හුනස්නෙන් නැගිටිති; ඇතැම්හු නැගිටින්නට මෙන් සැරසෙති. සියල්ලෝ මන්දස්මිතයකින් සැරසී අරුත් නොසිතාම ආසිරි පතති.
"ගුඩ් මෝනිං සර්."
කැමැත්තෙන් කූඩු වෙන සතෙකු බලෙන් නතර කර ගත්තාක් මෙන් ලක්මාල් මොහොතකට නවතියි.
"ගුඩ් මෝනිං."
"අක්කා.."
සරත් ශබ්ද නැගෙන සේ පා පිස දමමින් තමන් ආ බව හැඟවීය. සාලය කෙළවර වූ කෑම මේසය ළඟ වාඩි වී සිටි සංජීව පත්තර පිටුව මඳක් මෑත් කර " ආ, මල්ලි. අක්කා කුස්සියෙ." කියා නැවත පත්තර අතර ගිලිණි.
"අක්කා.." කුස්සිය දෙසට පිය මනිමින් සරත් නැවතත් ඇමතීය. ඉන්දුට ඔහුගේ හඬ ඇසුණමුත් ඕ සොහොයුරා තමන් ළඟට එනතුරු සිටියාය.
"මල්ලි. වැඩ ඉවරයක් නෑ."
සරත් කුස්සියේ උළුවස්සට හේත්තු වී සොයුරිය දෙස මොහොතක් බලා සිටියේය. ඔහුට වඩා වසර හතරකින් වැඩිමහළු ඉන්දුට උරටත් උඩින් ගේදොර වැඩ කටයුතු තිබුණේ සරත්ට යන්තමින් මතක ඇති කාලයේ පටන්මය. ඉන්දුගේ ඉල්ලීමක් නැතිවම ඔහු සේදූ භාජන ගෙන ගොස් රාක්කයේ තැන්පත් කළේ කුඩා කල පුරුද්දෙනි. සොහොයුරාත් සොහොයුරියත් නිශ්ශබ්දව තම තමන්ගේ කාර්යයේ නියැළුණහ.
"යං මල්ලි සාලෙට. මං වතුර එකක් ලිපේ තියලම එන්නං." ඉන්දු කීවේ අන්තිම භාජනය වතුරට අල්ලන අතරතුරය.
"තේනං ඕන නෑ අක්කා."
තමන්ගේම ගැටළුවල පැටළී සිටි ඉන්දු සරත්ගේ ස්වරයේ වූ ශෝකාකූල බව හැඳින්නේ දැන්ය.
"දැං කොහොමත් තේ වෙලාවනෙ. යංකො පොඩ්ඩක් වාඩි වෙන්ඩ. මටත් ඉන්ඩ බැරුව කකුල් කැක්කුමයි උදේ ඉඳන් වැඩ කරලා."
"පුතාලා ගෙදර නැද්ද අක්කා?" සරත් ඇසුවේ සාලයට යමිනි.
"ඔහෙ ඇති මොකකට හරි නියෝගෙන. මං විතරනෙ මේ ගෙදර වැඩකාරි." ඉන්දු මිටි තැනින් ගලා යන ලෙස වක්කඩය හැරියාය.
උඹ මහ නරක බැල්ලියක්
ඇත්තමයි
උඹ ඇයි මට මෙහෙම කලේ...?
මම උඹට වෛර කරනවා
ඔව්
අද ඉදන් හැමදාටම
මම උඹට වෛර කරනවා
හිතන්න එපා මා ලඟ
ආයේ ආයෙත් හුරතල් වෙන්න
ආයේ කවදාවත්ම
උඹට බෑ මයේ
පෑරිච්ච හදවත
සුව කරන්ට...
.
.
.
.
මොන බම්බුවකටද
අල්ලපු ගෙදරට රිංගලා
ලීසා නංගාගේ
සාය කොටේ ඉරුවේ..?
ඒ මදිවට බිම දාපු සාය කෑල්ලේ
උඹ තව ජරාත් කරලා
අනේ අපොයි....!
කවුදෝ ගේට්ටුවට තඩි බානු ඇසේ. මේ වේලාවට ගෙදරට එන්නට කිසිවෙකුත් නැත. රෝගී අත්තම්මා වකුටුව නිදයි.
මම හොරෙන් හොරෙන් එබෙමි. ගේට්ටුවට ඉහළින් බලා සිටින කාන්තාවට එවැනි හොරෙන් බැලිලි හුරු නිසාදෝ ඇය වහා මා දකියි.
"අනේ චූටි."
උසස් පෙළ ලියා කාලය කමින් සිටින මට මතක ඇති කාලයකට කවුරුත් 'චූටි' කියා ආමන්ත්‍රණය කර නැත. මගේ හද මෙළෙක් වෙයි. මම ගේට්ටුව දෙසට යමි.
"අනේ චූටි, මම කරදරේක වැටිලා. මට උදව්වක් කරන්ඩ."
කිළිටි සාරියක් පටළවාගෙන, දහදියෙන් පෙඟී සිටින කාන්තාව කෙට්ටු, කළුවට හුරු, මැදිවියේ සිටින්නියකි. පටියකින් බැඳි වැරහැළි කොණ්ඩය පිට දිගේ එල්ලෙයි. අතෙහි කුඩයකි. ඇය කරදරයක පැටළී ඇති බව මුහුණෙන්ම පෙනේ.
"මට බස් එකේදි නින්ද ගියා. ඇහැරෙනකොට පර්ස් එක නෑ; හොරකම් කරලා. අනේ චූටි, මට ගෙදර යන්ඩ බස් එකට රුපියල් දහයක් දෙන්ඩ."
ඉතින්,
එපානම් මාව
නුඹේ දිවියට...
හිටුකො!
ඇස් ලොකු මීයෙක් වෙලා
නුඹේ වහළය දිගේ විත්
යට ලීය උඩ හිඳගෙන
විරිත්තන්නම් මම නුඹට.
එතකොට
කොස්සක් අතින් ගෙන
පන්නාවි නුඹ මාව.
සැඟව, පැන, පෙනී, නොපෙනී
කුටිය පුරාවට
ඔට්ටු සෙල්ලම් කරමු
අපි දෙදෙන.
නුඹට හති වැටුණු කල
හිඳගෙන යට ලීය මත
විරිත්තන්නම් නුඹට මම.
එතකොට
දැන් නුඹ අතින් නොකියවෙන
මගේ ගැන
නුඹ කියාවි කවුරුනුත් සමග
නොදැන ඒ මා බව.
හිටුකො!
නුඹ ආදරෙන් කියවන
පොත් ඉරා කැබලිකොට
නුඹේ නිල් පාට කමිසයේ
උණුසුමට
කූඩුවක් හදාගෙන
ගුලි වී නිදන්නම් මම.
මම දන්නවා
එතකොට
නුඹට අනුකම්පා හිතේවි
මා ගැන.
මට නිදන්නට ඉඩ හැර
පා තුඩින්, නිහඬව
අඩි තබා ඇවිදීවි නුඹ
සොරෙකු සේ
නුඹේම කුටිය තුළ.
පසුව
දැන් නුඹ අතින් නොකියවෙන
මගේ ගැන
නුඹ කියාවි කවුරුනුත් සමග
නොදැන ඒ මා බව.
හිටුකො!
මියැදෙන්ට කල ආ විට
නුඹට දුක නොහිතෙන්ට
ඈතකට ගොස් මැරෙන්නම් මම.
නොදැන මා මළ බව
නුඹ බලාවි යට ලීය දෙස.
නුඹ හොයාවි කාමරය පෙරළගෙන
මාව.
නුඹට හමු වේවි නුඹේ සීතල කමිසය.
පාළුවක් හිතේවි නුඹට
මා නැතිව.
එතකොට
දැන් නුඹ අතින් නොකියවෙන
මගේ ගැන
නුඹ කියාවි කවුරුනුත් සමග
නොදැන ඒ මා බව.
හිටුකො...
වැරදි ගෑනිව
තරහ කර ගත්තෙ නුඹ.
තිස් වසරක යුද්ධය නිමා වීම නිසා බලාපොරොත්තු කඩවූයේ කාගේද?
ත්‍රස්ත ඒජන්තයින්ගේ...
යුද අවි ව්‍යාපාරිකයන්ගේ...
යුද්ධය විකුණාගෙන කෑ දේශපාලකයන්ගේ...
ඇයි, රාජ්‍ය නොවන සංවිධානවල?
.....
ඔබ කියනු ඇත.
ඈ එයි මා වෙත
මා යයි ඈ හැර
යලි ඈ මා ලඟ
මා යලි ඈතක
ඈ සිත මා සිත
ගව් සිය ගානට
වෙන් වී දෙතැනක
ඈ අත මා අත
හෙමිහිට හෙමිහිට
පැටලී සයනෙක
පුරසාරම් නැත.. දොඩමලු වී නැත..
අපි අප වෙනුවෙන් කළ කී දෑ ගැන..
රන් මිණි අබරණ අතැඟිලි වල නැත..
ඉර හඳ උකසට අප අරගෙන නැත..
දිවිය පුරාවට දුන් සිත පමණක්
එදා බැඳුනු විලසින් තවමත් ඇත...
අරුණ නොදැරිය හැකිව
රිදුම් දෙන යෞවනය
රුවා පෙති කරල් මැද
නැගෙන්නී
පෙර දිනෙක රෝ දනට
උවටැනින් ගෙවුණු දිවි
සිහි වුවද පසුතැවිලි
නොවන්නී
මිදුණු දෑඟිලි වෙරෙන්
ඉක්මණින් පල දරන
කෙටි පැතුම් තුරු වෙසින්
සදන්නී
දැවෙන සිත නොතලනා
සුවය දෙන හිතවතුන්
ලද නොලද සියල්ලෙහි
අකම්පිත වන්නෙහිද?
දිරිය නැගණිය
තිලකා.
තිලකා.
පිදුම: කුණාටුවට හසුව බිම වැටුණු තුරුණු පතට
නපුරු වෙසින් කළු කරගෙන
ගොරවා ලොව බය කරගෙන
අහස ඉරා කඩා හැලෙන
මහ වැස්සට
වියළුණු පත් බිම වැටුණට
දිරූ කඳන් බිම වැටුණට
නොසැලෙයි කිසිවෙක් කිසිවිට
විය යුත්තක් සේ
තුරුණු සුනිල පතක් වුණොත්
මහ රූස්ස ගසක් වුණොත්
දැරිය නොහැක දසුන වුවත්
හද රිදවයි
දුටුවත් සිත පිළි නොගන්න
එරෙහිව යන්නට වෙහෙසෙන
බැරි වුණු කල හද පෑරෙන
සොබා දහම
"මචං ගෝපාල්." රංජිත් කණ සාක්කුවේ දමාගෙන ප්‍රශ්න කරයි. "උඹේ නම මොකක්ද?"
මත්පැන් නොබොන ගෝපාල් අමුත්තක් නැතිව පිළිතුරු දෙයි. "මචං මම ගෝපාල්."
"ගෝපාල්! උඹ දන්නවද ගෝපාල් කියන්නෙ මොකාටද කියලා?"
"මට මචං."
"මැට්ටා! ගෝපාල් කියන්නෙ යකෝ, හරක් බලන එකාට. තෝ ගෝපාල්නං හරක් බලන්ඩ ඕන. තෝ මොකද මෙහෙ කරන්නෙ?"
"මං උඹව බලනවා මචං."
නේවාසිකාගාරය දෙදරමින් සිනා හඬ පැතිරෙයි.
රංජිත් නොසැළෙයි.
"හරි. මං හරකා! එහෙනං උඹ වැඳපං මට. උඹලා වඳිනවනෙ හරක්ට? වැඳපං මට."
"හරකට පූජා කරන දවස් වෙනම තියෙනවා මචං.." ගෝපාල් ප්‍රවේශමෙන් පිළිතුරු දෙයි.
සිත්ති නෝනා
මොහොමඩ් ඇවිත්
පුත්තලමේ සිට
මග ගෙවාගෙන
අත් වැඩට නොගිහින් අද
නුඹ බැලීමට ඇවිත්
නුඹේ සිහිසුන් සිරුර
වැලඳගෙන, සිප දෙපා,
වියළි කෙහෙ කැරලි
පිරිමදියි සෙනෙහසින්
නුඹේ නෑසෙන කණට
කිට්ටු වී මුමුණයි
ගෙවුණු විසි වසර තුළ
කියා ගත නුහුණු දේ
නුඹේ දරු සයදෙනට
කන්ට දිය යුතු හෙයින්
නොහැක හෙට මෙහි එන්ට
නුඹ බලන විලසින්
ඒ නිසා යනු මිසෙක
නුඹව හැර යනු නොවේ
සිත්ති නෝනා
විවර කර දෑස
සමුදෙන් මොහොමඩ්ට
අවසාන වරට
සයවන දරුවා ලබා සති දෙකකින් හදිසියේ අසනීපව, පුත්තලමෙන් කොළඹට එවා, කොළඹින් අපට එවූ සිත්ති නෝනා.... උපන් දා සිට දුක් විඳි ඇගේ පෙණුම තිස් හතක් නොව පනස් හතක් මෙනි. ජීවිතයත් මරණයත් අතර දෝලනය වන ඈ බොහෝවිට ආපසු නිවෙසට නොයනු ඇත.
විසි වසරක් පුරා ඈ හා ජීවිතය බෙදාගත් මොහොමඩ්ගේ කඳුලින් අද ඇගේ සිරුර නෑවෙන්නට ඇති.
"මම හෙට වැඩට ගියොත් තමා කන්ඩ හම්බ වෙන්නෙ." දරුවා ලැබුණු පසු දින එකොළහක්ම රැකියාවට නොගොස් සිටි ඔහු අතේ සතයක්වත් ඉතිරි නැතිව ඇති. මග වියදම් සපයා ගැනීම තබා අලුත උපන් දරුවා ඇතුලුව දරු කැලකගේ කුසගිනි නිවන්නේ කොහොමද? සිත්ති නෝනා අසාධ්‍ය තත්වයෙන් සිටියදීත් ඔහුට මේසන් වැඩට අත් උදවු දීමට යාමට සිදුව ඇත්තේ ඒ නිසා. "මම හෙට ආවෙ නැතුවට කමක් නැද්ද?" ඔහු දොර ළඟ සිට ආයෙමත් ඇහුවා. "ළමයිනුත් හුඟක්නෙ. මම වැඩ කරොත් තමා කන්ඩ හම්බවෙන්නෙ....මම ආයෙ සැරයක් එයාව බලලා එන්ඩද?" සිත්ති නෝනාව තනිකර ආපසු යන මොහොමඩ්ගේ හදවත රිදුම් දෙන්නට ඇති.
ඒත්...... මෙතරම් ආදරය කරන මොහොමඩ්ව යළි දකින්නට නොලැබෙන බව නොදැනදෝ සිත්ති නෝනා තද නින්දක.
බේබද්දාගේ මරණය මා කම්පාවට පත් කරනු ඇතැයි මම කිසි කලෙකත් නොසිතුවෙමි. මා සිතූ දෙයක් ඉටුව ඇත්තේ කලාතුරකිනි.
බේබද්දා විවාහ වී සිටියේ සුදු නැන්දා සමගය. මුහුණට මාමා, අය්යා ආදී වශයෙන් ආමන්ත්‍රණය කළද, නැති තැන අප භාවිතා කළේ බේබද්දා, අරූ, අර යකා වැනි වදන්ය.
දිනූ පක්ෂයේ දේශපාලනඥයකු විසින් අපේ නිවෙස් අසළ තැබෑරුමක් විවෘත කරන ලදින්, බේබද්දා දිනපතා අපේ නිවසට යාම් ඊම් කරන්නට විය. අප්පච්චීට කලාවැව හිතවතෙකු විසින් දෙන ලද නාගවල්ලිය බුලත් වැලෙන් සුදු නැන්දාට බුලත් ගෙන යාම මේ ගමන්වල මුඛ්‍ය අරමුණ විය. නාග කන්‍යාවියන් සපන්නේ මේ බුලත්ම බවට ඒ හිතවතා පුන පුනා පැවසූයේ මහත් විශ්වාසයෙනි. අපේ නිවසේ කිසිවෙක් පුරුද්දක් ලෙස බුලත් නොකෑ නිසා 'බුලත් වැල දවස ගානෙ හූරං යෑම' ගැන වාද කිරීමට සාධාරන හේතුවක් නොතිබිණි.
විශ්‍රාමික රජයේ ලිපිකරුවකු වූ බේබද්දා සිය වෘත්තීය ගරුත්වය පසෙක ලා, මත්පැන් සඳහා වියදම් සපයා ගනුවස් කුලී වැඩ කළ හෙයින් අපේ නිවසේ ඇතැම් බර වැඩ ඔහු සවසට එනතුරු තබා ගැනිණි. ඔහු පිට මිනිසුන්ගේ කුලී වැඩ කිරීම කිට්ටු ඥාතීනට රුචි නොවුණු නමුත් මේ පිළිබඳව සාකච්ඡා කිරීම ඵල විරහිතයයි සැළකුණේ "කොහොම හම්බ කළත් සල්ලි සල්ලිම" බව බේබද්දා ප්‍රකාශ කළ හෙයිනි.
යුක්තියේ මූණු බැඳ
කොටි නගුට සඟවමින්
යුරෝපීය රූකඩයා
රට පෝරකයට ගෙනියන්න
දඬු කඳක් ගෙනැල්ලා
අපේ සිහලයා
තවමත් මර නින්‍දේ
එකිනෙකා මරාගෙන
කෙළ හළයි
බලයට
එදා ඔබ කී දේ
සැබෑ වන්නට
ළඟයි දැන්.....
ජාතියේ අවසානයද මේ?
නගුට අකුලාගෙන
වකුටු වී බුදියන
අලස සිහලයා
නැගිටවන්නට
අවදි කරමින් මගේ දේශය
දම්පල් හිමියනි
වඩිනු මැන..........
2600 සම්බුද්ධ ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසෙමු.
Posted by නුවන් තිලංග in 2600 සම්බුද්ධ ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසෙමු, නිසදැස්, නුවන් තිලංගගෙන්
මාළුවාගේ සිට වැසිකිළිය තෙක්
කප්පම් එකතු කරනවලු
අගනුවර පමණක් දිනක
ගබ්සා දහසක් ලු
බොදු නගර සියල්‍ලේම
සුරා සැල් ඇරලාලු
කැසිනෝ ගහන්නට වෙනම
වීදියක් හදනවලු
බැලු බැලු සැම අත
සම්බාහන ගුබ්බෑයම්ලු
අනේ ඉතින්
මුං රකින පිළිවෙත්!
හෙවනැලි නැති මිනිස්සු.....(2 කොටස)
Posted by සෙනරත් බණ්ඩාර (සිංහල පද්‍ය රටා.....) in සෙනරත් බණ්ඩාරගෙන්, හෙවනැලි නැති මිනිස්සු.....
හෙවනැලි නැති මිනිස්සු 1කොටස
ඇයි එහෙම වුණේ කියල මට ඒ වෙලාවේ හිතන්න ඕන වුනේ නැත්තේ උඹේ වරදින්, හෘද සාක්ෂිය. ඔව්, උඹේම වරදින්.
මොකද උඹ මට පුරුදු කරලා, කියලා දීලා තිබුණේ නෑනේ අනෙක් අයගේ හැඟුම් වලට කිමිදිලා ඒක එහෙම වෙන්නේ ඇයි කියලා හිතන්න ඕනේ කියන දේ!
මම ඒවා පස්සේ ඉගෙන ගත්තේ තනිවමයි-ඇත්තම කීවොත් ඒවා දැන ගත්තේ මේ ඊයේ පෙරේදා.
බණ්ඩා රාළහාමි වංගුවට ඉහළින් පඳුරු අතර සැඟව රැක සිටී. බෑවුම් මග ඔස්සේ පණ ඇද ඇද කන්ද නගින ලොරියක් හෝ බසයක් දකින ඔහුගේ සිත සතුටින් ඉල්පෙයි. වංගුවෙහි වාහන හතරක් වුවද එක පෙළට ගමන් කිරීමට තරම් ඉඩ තිබුණද එහි ද්විත්ව ඉරි ඇඳ ඇත. බණ්ඩා රාළහාමි බලා සිටින්නේ කවුරුන් හෝ වාහනයකට ඉස්සර කරනතුරුය.
පලපුරුදු රියදුරෝ මේ අඩවියේ පොලිසියෙන් සිටින බව දන්නා නිසා ප්‍රවේශමෙන් යති. එවන් වාහන දෙස බලන බණ්ඩා රාළහාමි අවඥාවෙන් කෙළ ගසයි:
"තුඃ, නොදකිං!"
සිකුරාදා රාත්‍රී සිට සෙනසුරාදා උදෑසන දක්වාත්, ඉරිදා රාත්‍රී සිට සඳුදා උදෑසන දක්වාත් රාජකාරි කිරීමට බණ්ඩා රාළහාමි ඉතා ප්‍රිය කරයි. දුර බැහැර නැවතී සේවය කරන හදිසිකාරයන් නිවෙස් බලා එන්නේ මේ වේලාවන්ටය. මේ මුරවලට රාජකාරි යෙදී ඇත්නම් බණ්ඩා රාළහාමිගේ මනෝභාවය සතිය පුරා ඉතා යහපත් මට්ටමක පවතියි. ඒ අනුව ඔහුගේ සේවාමුරය කුමක්ද යන වග අඹුදරුවන් පමණක් නොව, කඩ මණ්ඩියේ මුදලාලිලා පවා අනුමාන කරති.
වසර දහයකට මඳක් වැඩි සේවාකාලයකට හිමිකම් කියන බණ්ඩා රාළහාමි සිය පළපුරුද්දට සරිලන සේ හැකියාවන් දියුණු කරගත්තෙකි. වාහනයක් දකිනවිට එහි ගමන් ගන්නේ ප්‍රභූවරයෙක්ද, මධ්‍යම පන්තිකයෙක්ද යන්න ඕනෑම බූරුවෙකුට කිව හැක. නමුත් වාහනයෙන් බසින මිනිසා දෙස හෙළන එක බැල්මෙන් ඔහු කෙතරම් මුදලක් විසි කරයිද, දඩයක්ම ගෙවීමට තරම් දැඩි සිතක් ඇත්තෙක්ද, වැට උඩ සිටින්නෙක්ද, මෙලොව හසරක් නැත්තෙක්ද යන වග බණ්ඩා රාළහාමිට ඉලක්කෙට කිව හැක.
මෙලොව හසරක් නැති ජාතිය, එනම්, පගාව යන සංකල්පය අසා ඇතිමුත් එහි ප්‍රායෝගික භාවිතය නොදන්නා පිරිස, දකිනවිටම දඩ කොළයක් ලියා දීම ඇතැමෙකුගේ සිරිත වුවද, බණ්ඩා රාළහාමි එසේ නොවේ.
* ජීවිතයේ එක් කලෙක මට සමීපව සිටියකුගේ දියණිය නෙත් අඳ යුවතියකි. බාල වියේදී කිසිදු දුකක් නොදී මලක් මෙන් ඇය හදා වඩා ගත්තද, එළඹෙන යෞවනය හමුවේ දෙමවුපියන්ද අසරණය. දෑසම පෙනෙන යෞවනියක පිළිබඳව වුවද පියෙකුගේ සිතෙහි ඇත්තේ අවිනිශ්චිත බියකි; නෙත් අඳ දියණියක පිළිබඳව කියනුම කවරේද?
පඤ්ඤාකිත්ති හාමුදුරුවෝ උස් අසුන මත පද්මාසනයෙන් වැඩ සිටිති. උන්වහන්සේගේ කය සෘජුය; වියපත් ලකුණක් හෝ වෙහෙසට පත් ලකුණක් හෝ නැති පින්වත් මුහුණ, නිවුණු සිත පිළිබිඹු කරයි; නෙත් පියව ඇත; භාවනාවේ ගැඹුරු අවධියකට පිවිස සිටින උන් වහන්සේ හුස්ම ගන්නා බවක් යන්තමින්වත් නොපෙනෙයි.
සිරිල් මහත්තයා ශාලාව මැද්දට වන්නට ඇති පැදුරක් මත අපහසුවෙන් හිඳගෙන, පඤ්ඤාකිත්ති හාමුදුරුවන්ගේ තේජස දෙස බලා සිටී. හන්දිපත් අමාරුවෙන් පෙළෙන මානෙල් කෙළවරකට වන්නට පුටු කබලක් තබාගෙන නෙත් පියාගෙන සිටින්නීය. ඈ බොරුවට නෙත් පියාගෙන වෙන මොනවා හෝ කල්පනා කරනවා වියයුතුයයි සිරිල් මහත්තයාට සිතෙයි. නොඑසේනම් මේ වනවිට ඇය නිදිකිරා වැටිය යුතුය.
සිරිල් මහත්තයා බණදහමට යොමු වූයේ හෘදයාබාධයක් නිසා හදිසියේ විශ්‍රාම ගැනීමට සිදු වීමෙන් පසුවය. මානෙල් එදා සිටම ඔහු යන එන තැන පස්සෙන් එයි.
සිය පොත්පත් කටයුතුවලට සුදුසු සන්සුන් පරිසරයකින් හෙබි ගමේ පන්සලේ නවාතැන් ගත් පඤ්ඤාකිත්ති හාමුදුරුවෝ වසර විස්සකට මඳක් වැඩි කලක් බටහිර රටක ආරණ්‍යයක වැඩ විසූ පශ්චාත් උපාධිධාරී උගතෙක් වූහ. උන්වහන්සේ හැම ඉරිදාම පැවැත්වූ පැය දෙකක භාවනා වැඩමුළුවට සිරිල් මහත්තයා සහභාගි වන සතරවන දිනය අදය. එසේ වුවද, එකම ඉරියව්වක රැඳවීමට වෑයම් කරන අතපයෙන් නැගෙන වේදනාව හැර වෙනත් කිසිම දෙයක් කෙරෙහි අවධානය යොමු කිරීමට තවමත් ඔහුට නොහැක. අසළින් හිඳ සිටින නාඳුනන රැවුලා වරින් වර නෙත් විවර කර, පැදුරේ නලියන සිරිල් මහත්තයාට රවයි. ඔහු කෙරෙහි තරහ නොඋපදවා සිටීමට සිරිල් මහත්තයා දැඩි වෙහෙසක් දැරුවේ පඤ්ඤාකිත්ති හාමුදුරුවන්ට අනුන්ගේ සිත් දැකීමට හැකියාවක් ඇතැයි පැතිර තිබූ පුවත නිසාය. භාවනා කර ගත නොහැකි තමන්ගේ සිතට වඩා, තමන්ට රවන රැවුලාගේ සිත අපිරිසිදු බව හාමුදුරුවන්ට පෙනේවායි ඔහු පැතීය.
*******************************************************
ඇඳිරි වැටුණේ මාවිල් ආරු සොරොව්ව අසළදීය. දිනක් තුළ අප ගමන් කළේ දැරිය හැකි දුරක් නොවේ. අබලන් මාවත්හි වලගොඩැලිවල හැපෙමින් වැටෙමින්, දුහුවිල්ලෙන් නැහැවෙමින්, දැඩි හිරු රැසට පිච්චෙමින් ගෙවුණු දිනය අවසන අපි හෙම්බත්ව සිටියෙමු.
"මේ තමයි සිත්තාරු පාළම. ලංකාවෙ වැඩියෙන්ම බිම් බෝම්බ වළලලා තිබුණෙ මේ පාරෙ."
වෙහෙස නොදැනෙන අපේ මග පෙන්වන්නා විස්තර කරයි. දවස පුරා "මේ මොකක් කියලද තියෙන්නෙ?"යි අසමින් ඔහු ඇඟිල්ල තබා පෙන්වූ ඉංග්‍රීසි වචන අඩංගු මාර්ග සිතියම් පොත සරෝජිනි හකුළාගත්තේ බොහෝ වේලාවකට පෙරය.
හෙවනැලි නැති මිනිස්සු.....(1 කොටස)
Posted by සෙනරත් බණ්ඩාර (සිංහල පද්‍ය රටා.....) in කෙටිකතා, සෙනරත් බණ්ඩාරගෙන්, හෙවනැලි නැති මිනිස්සු
ඈත ඉඳන් මහ හයියෙන් කෑ ගහන්න විතරයි නුඹට පුළුවන් මිත්‍රයා...
මම ඇහෙන නොඇහෙන ගානට වචන පිටකළා.
හෘද සාක්ෂිය දැන් දැන් ඕනවට වඩා මාව පාලනය කරන්න දඟලනවා.
ලංකාව තියෙන්නේ ආසියාවේ.
ඒ වුණාට ලංකාව ආසියාව වෙන්නේ නෑනේ.
ආසියාව ලංකාව වෙන්නෙත් නෑ.
උඹත් ඒ වගේ තමයි හෘද සාක්ෂිය.
උඹ මගේ ඇඟ ඇතුළේ හිටියයි කියලා මම හෘද සාක්ෂිය වෙන්නෙත් නෑ.
හෘද සාක්ෂිය මම වෙන්නෙත් නෑ.
මම හතර අතේ උදාහරණ උපහැරණ අටුවා ටීකා ඌන පූර්ණ හොයමින් වෙහෙසුණා මගෙන් හෘද සාක්ෂිය ස්වායත්ත කරන්න....ද? නැත්නම් මම හෘද සාක්ෂියෙන් ස්වායත්ත වෙන්නද මන්දා...
සරලව කීවොත් මමයි, මගේ කියලා අනුන් කියන්න දඟලන හෘද සාක්ෂියයි දෙකක් කියලා පෙන්නන්නයි මට ඕන වුණේ.
පෙන්නිල්ල කෙසේ වෙතත් ඒක එහෙම තමයි කියලා මම හිතන තරමට මට ලේසියි. අනික, හැඟීම් වලින් ස්පන්දනය වෙන හදවතක් නැති, උණුහුම් ලේ කඳක් ඇඟ පුරා දුවන්නැති ශරීරයක මොන හෘද සාක්ෂියක්ද?
කුඩ්ඩා නොහොත් නිකමා නොහොත් කාලකන්නියා යනාදී පර්යායනාමවලින් හඳුන්වන්නා වූද, දරුවන් සිව්දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වූද, පසුගිය වසර විසිපහ තුළ පනහකට ආසන්න වාර ගණනක් මත්ද්‍රව්‍ය භාවිතය නවත්වා ඇත්තා වූද, ඉහළගෙදර රාහුල නන්දසිරි කාමරයේ ඇඳ මත වාඩි වී බිත්තියට හේත්තු වී සිටී. නවා ගත් දණහිස් මත රැඳුණු දෑතේ ඇඟිලි එකිනෙක මදිමින් සිටින ඔහුගේ සවන් රැඳී ඇත්තේ සාලයේය. රාහුලගේ අනාගතය කවරක් විය යුතුද යන තීරණාත්මක කාරණය එහි සාකච්ඡා වේ.
"මට කරන්ඩ පුලුවන් හොඳම විදිහ තමා මම ඔය කිව්වෙ."
අය්යා ජනේලය පැත්තේ ඇති ලොකු තනි පුටුවේ වාඩි වී සිටින බව රාහුල නිගමනය කරන්නේ හඬ එන අත අනුවය. සාකච්ඡාවේ මුල් කොටසේදී හේ සාලයේ එහා මෙහා ඇවිදිමින් සිටියේය. තීරණයකට එළඹීමට පෙර එහා මෙහා සක්මන් කිරීම අය්යාට උරුම වන්නට ඇත්තේ පියාගෙනි. රාහුලට මතක ඇති කාලයේ බොහෝ සැන්දෑවන්හි මිතුරු හමු පැවැත්වූ පියා ඔවුන් හා සාකච්ඡා කළේ මත්පැන් වීදුරුවක් අතැතිව සාලය පුරා එහා මෙහා ඇවිදිමිනි. පියා මෙන්ම අසේලද උඩු රැවුල වවයි; කෑමට වාඩිවීමට පෙර වතුර වීදුරුවක් ළඟට ගෙන්නා ගනී; කතා කරනවිට එක් අතක් පිටුපසට කරගෙන අනෙක් අත මාලු කපන පිහියක් මෙන් හසුරුවමින් තමන්ට සවන් දෙන්නන්ගේ පූර්ණ අවධානය ඉල්ලා සිටී.
එසේ වුවද 'මහ එකා වගේ හැදීම' පිළිබඳ චෝදනාව නිරතුරුව එල්ලවන්නේ රාහුලටය.
"ඔය විදිහ එයාටත් හොඳයි, අනික් මිනිස්සුන්ටත් හොඳයි."
නිශ්ශබ්දතාවයකි.
"කැමතිනම් මේ සති අන්තෙ ඇවිත් යන්න. මමත් නිවාඩු."
දර්ශනීගෙන් ලද ඇරයුම අනුව මම සිකුරාදා රාත්‍රී දුම්රියෙන් පොළොන්නරුව බලා පිටත් වීමි. මගේ අසුනේ හිඳගත් තරුණ කත වරින් වර මා දෙස බලමින් කතාවකට අර අදින බව දුටු මම නෙත් පියා ගතිමි. වෙහෙසට පත්ව සිටි මට අවශ්‍ය වුයේ නිදාගැනීමටය. එහෙත් ප්‍රවේශපත්‍ර පිරික්සීම සඳහා පරීක්ෂකවරු එනතුරු නිදාගැන්ම අපහසුය. මා වරින් වර ඇස් හැර කවුළුවෙන් එපිට බැලුවේ නින්ද වළකා ගැන්මටය.
"ඔයා සිංහලද?"
"ඔව්."
"මඩකලපුවටම යනවද?"
"නෑ, පොළොන්නරුවට."
"එහෙද ගෙවල්?"
"නෑ."
"නෑයො ඇති එහෙනම්."
"නෑ."
"එහෙද වැඩ කරන්නෙ?"
"නෑ."
"හොඳයි ඔයා මෙතන ඉඳගත්ත එක. මම බයේ හිටියෙ පිරිමි කෙනෙක්වත් ඉඳගනී කියලා."
මන්ත්‍රී දොඩයි දන්සැල් දොරකඩ මැද්දේ
සැමදා පිරෙන කුස් පුරවන මහ දානේ
බත් පත බෙදෙයි උතුමන් ලඟ කොත් පෑදේ
හිරකොට ගවුම් ඩෙනිමෙන් මුල් තැන පේලි
පෝලිම දිවෙයි සැතපුම් කණු පෙළ යාවී
පෝලිම කොණක වැට මුල්ලක ගත වේලී
දුගියෙක් විකයි දත්මිටි සුවඳට පේවී
රෝහල ඉදිරිපිට බස් නැවතුමට වී මා බලා සිටියේ තාත්තා එනතුරුය. සායනයේ නොම්මරයක් ලබා ගනු පිණිස මා කලින් පැමිණියේ තාත්තාගේ රස්තියාදුව අවම කිරීමටය. පැයක් පමණ වේලා මෙතැන වේලෙන මා දෙස බලමින් මිනිස්සු යති; එති. මම ඒ නොදැක්කාක් මෙන් සිටීමට වෑයම් කළෙමි. මා පසු කර මීටර කිහිපයක් ගිය මෝටර් රථයක් එක්වරම නතර විය. ඉන් බැස ගත් කවුදෝ මා දෙසට එනු මගේ නෙත් කොණට පෙනුණි. මම අහක බලාගෙනම සිටියෙමි. ඒ ආ රුව මා අසළ නැවතිණි.
"නංගි?"
*********************************
"සම්පත් කොහෙද ඉන්නෙ.."
- දැන්නම් කාමරේ ඉන්නෙ.
"මේ පැත්තට එන්න අදහසක් එහෙම නැත්ද.."
- ම්ම්.. මම මේ චැට් එකක, තව පැය භාගයකින් විතර එන්නම්.
"හරි එන්නකෝ, එහෙනම් මම තිබ්බා"
- ඕ.කේ.
බොහෝ කලකට පෙර, ඔබ මා කෙරෙහි ඇති සෙනෙහස ගැන මුළින්ම ඉඟි කළ දිනය මතකද?
සම වයසේ අසල්වාසීන් වුණු අප දෙදෙනා එකට යාම් ඊම් කිරීම කිසිවෙකුත් ප්‍රශ්නයක් කර නොගත්තේ අපේ පවුල් දෙක අතර ගොඩ නැගී තිබුණු සහෝදර බැම්ම නිසාම විය යුතුයි. එදා සවස නිවෙස බලා එද්දී ඔබේ අතේ තිබුණා කාගෙන්දෝ ඉල්ලාගත් ගිතාරයක්. පටු මාවත දිගේ එද්දී, බෑගය උරහිසෙහි එල්ලාගෙන ඔබ ඇහුවා මගෙන්...
"මං ලිව්ව සිංදුවක් කියන්නද?"
"ටිකක් පාර මැදට වෙලා කියන්න. ගැරඬි ආවොත් ටක් ගාලා පේනවා එතකොට." මම කිව්වා.
මගේ නොහොබිනා උත්තරයෙන් නොසැළී ඔබ ගයන්න පටන් ගත්තා.
නුතන බොළඳ ආදරවන්තයාගේ කවි පොතින්
Posted by නුවන් තිලංග in කව්, නුතන බොළද ආදරවන්තයාගේ කව් පොතින්, නුවන් තිලංගගෙන්
මුරගල
මුරගලේ ලිපි
අලුත් ලිපි
ජනප්‍රිය ලිපි
-
හැමදාම ඉර පායන එක බොහොම කම්මැළි වැඩක්. නොදන්න කෙනෙකුට හිතෙන්නෙ, ඒක බොහොම ලෙහෙසි වැඩක් කියලා. නමුත්, උදෙන්ම පායන්නට ඕන; නැත්නම්, සත්තු කලබල ව...
-
දොර ඇරෙයි. සැර විලවුන් සුවඳක් පැතිරෙයි. දොරින් ඇතුළු වෙන සරා, නිකමට මෙන් කාර්යාලය දෙස බලා, නාන කාමරයට යන පටු කොරිඩෝවට හැරෙයි. දෙපස පැලුම් ...
බලපු ඇත්තෝ කියපු දේවල්
කියවපු පිටු වල ගණන් හිලව්
හිතවත් පවුර
යුනිකේත විකේතකය
දැනුම් දීමයි
මුරගලේ අපි
Labels
- "පිස්සෙක්"
- (අ) වාසනාව
- (නො)තේරුම
- 2600 සම්බුද්ධ ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසෙමු
- A9
- අද්දර ජීවිත
- අනේ බන් සෙනසුරු
- අඳ නෙත්
- අපාය
- අපිත් බුදුන් වඳිනවා
- අබූත
- අමා මහ නිවන්
- අවුරුදු
- අශ්ඨක
- ඇනට්
- ඇන්ඩෲ අය්යා
- උපේන්ද්‍ර හර්ෂණගෙන්
- ඒ අපේ කෙනෙක්
- ඒ.. රුපියල
- කවි
- කව්
- කළු පාට සොබාදහම
- කුටුම්භය
- කුනු
- කෙටිකතා
- කෙලෙසක දෝ අම්මේ.
- කොන්ෆරන්ස් එක
- කොල්ලො බල්ලො
- ගොදුර
- ජිවිතය උරගැම
- ජීවිතයේ කතාව
- ඩොගී
- තිලකා
- තුරු සිසිල
- දන්න අය දන්නවා.....
- දන්සැල
- දම්පල් හිමියනි
- දයාබර දියණියට
- දානය
- දේව පරාජය
- නලිනි චන්දිමාගෙන්
- නාඳුනන්නී
- නිමක් නැති කතාවක්
- නිර්මලා
- නිසදැස්
- නුතන බොළද ආදරවන්තයාගේ කව් පොතින්
- නුවන් තිලංගගෙන්
- නොපිපි කුසුම
- නොමියෙන ප්‍රේමය
- පරචිත්ත
- පරිස්සමෙන් හිටු
- පාට බැලුන්
- පිං කැටේ
- පෙරුම් පිරු සිහිනය
- පොතක් නිසා
- බේබද්දා
- බ්‍රැන්ඩි
- මාවතේ අපි
- මාෂ්මෙලෝස්
- මිනිස්කම යනු මෙයද ව්මසමී
- මිනීමරුවා..
- මීනා
- මුවහත
- යන්තරේ
- යැපෙනු පිණිස
- රතු එලිය වැටෙන තුරු
- රතු කමිසය
- රාහුලයෙක් උපන
- ලාභයි........ ජීවිතේ
- වන්දනා
- වයමි මම බෙරේ...
- වැව රවුම
- විසඳුම
- සංගිලි පාලම
- සමන්ත රූපසිරිගෙන්
- සාරා
- සිතක සිතුවිලි
- සිත්තාරු පාළම
- සිත්ති නෝනා
- සියුමැලි නොවුනු කලුගල්
- සිර ගත කල පෙම
- සිල්
- සුනීත
- සෙනරත් බණ්ඩාරගෙන්
- හැදූ මව
- හිරු ලප
- හෙවනැලි නැති මිනිස්සු
- හෙවනැලි නැති මිනිස්සු.....
හිතවත් අඩවි
-
තෙරපිය - The Therapy4 weeks ago
-
-
-
කොළ මැඩපන් ඔයි රාමා...!5 years ago
-
නිවිති එක්ක දෙල් කිරට...6 years ago
-
-
මගේ අලුත් බ්ලොග් එක.6 years ago
-
Carnival of love7 years ago
-
test 88 years ago
-
Sahampathi thoughts - අකුරැස්සේ ගමන9 years ago
-
"බොහොමත්ම ස්තුතියි"11 years ago
-
කැත කූඹී...11 years ago
-
ප්රබුද්ධ උපුටනය 0512 years ago