ඈත ඉඳන් මහ හයියෙන් කෑ ගහන්න විතරයි නුඹට පුළුවන් මිත්‍රයා...
මම ඇහෙන නොඇහෙන ගානට වචන පිටකළා.
හෘද සාක්ෂිය දැන් දැන් ඕනවට වඩා මාව පාලනය කරන්න දඟලනවා.
ලංකාව තියෙන්නේ ආසියාවේ.
ඒ වුණාට ලංකාව ආසියාව වෙන්නේ නෑනේ.
ආසියාව ලංකාව වෙන්නෙත් නෑ.
උඹත් ඒ වගේ තමයි හෘද සාක්ෂිය.
උඹ මගේ ඇඟ ඇතුළේ හිටියයි කියලා මම හෘද සාක්ෂිය වෙන්නෙත් නෑ.
හෘද සාක්ෂිය මම වෙන්නෙත් නෑ.
මම හතර අතේ උදාහරණ උපහැරණ අටුවා ටීකා ඌන පූර්ණ හොයමින් වෙහෙසුණා මගෙන් හෘද සාක්ෂිය ස්වායත්ත කරන්න....ද? නැත්නම් මම හෘද සාක්ෂියෙන් ස්වායත්ත වෙන්නද මන්දා...
සරලව කීවොත් මමයි, මගේ කියලා අනුන් කියන්න දඟලන හෘද සාක්ෂියයි දෙකක් කියලා පෙන්නන්නයි මට ඕන වුණේ.
පෙන්නිල්ල කෙසේ වෙතත් ඒක එහෙම තමයි කියලා මම හිතන තරමට මට ලේසියි. අනික, හැඟීම් වලින් ස්පන්දනය වෙන හදවතක් නැති, උණුහුම් ලේ කඳක් ඇඟ පුරා දුවන්නැති ශරීරයක මොන හෘද සාක්ෂියක්ද?
පුංචි කාලෙ මට හෘද සාක්ෂියක් තිබුණද?
මම හිතන්නේ නෑ.
තිබුණත් මට ඒවායින් දැන් වැඩකුත් නෑ.
වර්තමානයේ ඉන්න මට ඕනේ හෘද සාක්ෂිය නැති, පංචේන්ද්‍රියන්ගෙන් ඇතුල්වෙන දත්ත වලට හරියන ප්‍රථිඵල එළියට දාන්න පුළුවන් පුද්ගලයෙක් වෙන්න විතරයි.
...එතකොට මම පුද්ගලයෙක් කියන නිර්වචනයට කොටු කරන්න පුළුවන්ද?
"මොකෝ බැරි? නුඹ පුද්ගලයෙක් තමයි ඒත් පොඩ්ඩක් පපුවට අත තියලා බලපන් හදවත ගැහෙන සද්දේ දැනෙනවද කියලා." ඈත ඉඳන් හෘද සාක්ෂිය ආයෙත් කෑ ගැසුවෙ, හරියට මට කණ් දෙකකුත් නැති මිනිහෙක් කියලා හිතාගෙනද කොහෙද.
හදවත ගැහෙන සද්දේ දැනෙන්නේ කොහොමද? ඇහෙනවා මිසක් - උඹ නම් අමු මැටි මෝලියක් හෘද සාක්ෂිය, අමුම අමු මැටි මෝලියක්..
මැටි මෝලිය....
හරිම මොලොක්... අල්ලද්දි ඇඟිලි තුඩු වලට දැනෙන සනීපේ...
ඒ ඇඟිලි වලට අහුවෙන මැටි මෝලියකින් ලස්සන ගුරුලේත්තුවක් පිපෙන හැටි...
ඔව් ඒ ඇඟිලි වලින් තමයි..
මැටි මෝලියක් කියන වචනේ හරිද? පිටි මෝලි නම් තියෙනවා. ඒත් මැටි මෝලි කියද්දි දිවට අමුත්තක් දැනෙනවා නේද? හරියට ගැට වෙරළු ගෙඩියක් හැපුවා වගේ?
එහෙම කීව දවස මතකද? උඹට මතකද හෘද සාක්ෂිය එහෙම කියපු දවස? මම නෙවෙයි මිනිහෝ එහෙම කීවෙ එයා...අන්න හරි එයා තමයි.
එයා එහෙම කියලා සක පෝරුවෙ තිබුණ මැටි පිඩ ඇඟිලි වලින් මිරිකුවා මට මතකයි. මිරිකුවේ ලතාවකට නම් නෙවේ. ඒත් ඒකෙන් මැටි පිඩට රටාවක් නම් ආවා... මම ලස්සනයි කීවම එයා මට හිනාවුනේ "මේකේ කොහෙද අනේ ලස්සනක්." කියලා... උඹට ඒ ටික මතකද? නෑ. ඒ ටිකවත් මතකද?
ඇයි උඹ ඒවට පිළිතුරු දෙන්නේ නැත්තේ?
උඹ මහ පල් ... පල්....පල්.. නෑ, අළුගුත්තේරු හෘද සාක්ෂියක් - හරි මට කියපන්, දැන් උඹට තියෙනවද හෘද සාක්ෂියක්?
අන්න උඹ හිර වුණ තැන! උඹ හෘද සාක්ෂිය වුණාට උඹට හෘද සාක්ෂියක් නෑ...
කමක් නෑ. උඹ ඉතින් මිනිහෙක් නෙවේනේ. මිනිසුන් නොවන අන් සෑම දෙයකටම හෘද සාක්ෂියක් නැත! අන්න ඒකයි මගේ නිගමනය! ඔව් නිරීක්ෂණ, පරීක්ෂණ, විශ්ලේෂණ මත පදනම් වූ නිගමනයක්!
ඒත් මීට පෙර, හරියටම කීවොත් අදට පෙර, මම නිගමන වලට බැස්සේ ඔය විදිහට නෙවෙයි නේද? ඇයි උඹ ඒක මට අතීතයෙදි කියලා නුදුන්නේ? නුඹ දැනං හිටියෙත් නෑ නේද? අනුන්ට උපදෙස් දෙන්න නම් තමන් ඒ දේ ගැන හරියට දැනගෙන ඉන්න ඕනා... ඉතින් උඹ හරියට දන්නේ නැතිව කොහොමද මට උපදෙස් දෙන්නේ? ඒකනේ මම කියන්නේ මට උඹ ඕනේ නෑ කියලා!
ආ නිගමන....
මම ගත්තු නිගමන...
මම අනුන්ට අලවපු නිගමන...
අනුන්ට රිදවපු නිගමන...
මිනිස්සු වුණාම ටිකක් විතර රිදුනට කමක් නෑ...ඇස් ගෙඩි වලින් කඳුළු කැටයක් දෙකක් ඉදලා හිටලා පැන්නට කමක් නෑ.. එහෙම නැත්නම් අපිට අපි ජීවත් වෙනවා කියලත් අමතක වෙයි! මමත් එයාට ටිකක් විතර රිදෙව්වා නේද? මම එහෙම නොකළානම් එයාට එයත් පණ තියෙන, ජීවත් වෙන, ප්‍රාණියෙක්ය කියන එක අමතක වෙලා යන්න තිබුණා. ඒ අතින් මම කළේ හොඳ වැඩක් නේද?
එහෙම නේද? කියන්න හෘද සාක්ෂිය ..... එහෙම නේද? මම දන්නවා උඹ ඒක අනුමත කරන විත්තිය, දැන් ඔය මොකුත් නොකීවට.
එයා ගේ ඇස් නම් නිල් මිණි වගේ නෙවෙයි.
එයාගේ ඇස් කතා කරන ඇසුත් නෙවෙයි.
ඒත් ඒ ඇස් දකින්න මගේ ඇස් වල පොඩි කැමැත්තක් තිබුණා. ඔන්න මගේ නෙවේ කැමැත්ත තිබුණේ, මගේ ඇස් වල විතරයි!
මගේ ඇස් වලටත් වඩා ඒ ඇස් දකින්න කැමැත්ත තිබුණේ, හෘද සාක්ෂිය, උඹට නේද?
අනේ හැබෑටම උඹත් හරි පුදුම ..... දෙයක් තමයි.
ඒ ඇස් වටේම කළු වෙලා තිබුණේ..
"අපේ ගෙදර අය නම් කියන්නේ ඇස් වටේ කළු වෙන්නේ වැඩිපුර නිදි මරන අයගෙයි කියලා."
එයා එහෙමත් කීවා...
"ඇයි එහෙනම් ඔයා නිදි මරන්නේ?"
මම නිරීක්ෂණ මතවත්, පරීක්ෂණ මතවත්, විශ්ලේෂණ මතවත් නැති ප්‍රශ්නයක් ඇහුවේ ඒ කියපු දෙයට මොකක් හරි මම කියන්න පරක්කු වුනොත් එයා, මම එයා ගැන උනන්දුවක් නැති කෙනෙක් කියලා හිතාවි කියලා...අනික මම මොකුත් නොකීවොත් එයාට කතාව දිගටම ගෙන යන්න කම්මැලි හිතේවි කියලා! ඒත් ඒ මම කියපු වචන පහත් එක්කම එයාගේ ලාවට කළුවට හුරු මුහුණ තවත් කළු වුණා.
ඇස් වටේ තවත් කළු වුණා.
කඳුළු කැටයක් ඇහෙන් පනින්න දැඟලුවද මන්දා... ඇහෙන් කඳුළු කැට වැටුණද කියල උඹට මතකද, හෘද සාක්ෂිය? ඒවා මතක නෑ.
ඒවා හෘද සාක්ෂියට අයිති නැතිද?
මතු සම්බන්ධයි...2 කොටසත් එක්ක එන්නම්!
This entry was posted
on Saturday, February 26, 2011
at Saturday, February 26, 2011
and is filed under
කෙටිකතා,
සෙනරත් බණ්ඩාරගෙන්,
හෙවනැලි නැති මිනිස්සු
. You can follow any responses to this entry through the
comments feed
.