ජිවිතය උරගැම  

Posted by නුවන් තිලංග in ,







භුමිතෙල් කාළයි
කෝර හාල් බාගයයි
කරවල පනහයි
පොල් ගෙඩියයි
පොල් තෙල් අරික්කාළයි
සිනී දෙසිය පනහයි

ආබාධිත සැමියට
සුදු බිඩි දෙකයි

හවසට ගෙදර ගෙනියන්න
තවම විකුණුවේ ට්කට් දෙකයි
අනේ නෝනා මහතුනේ

ඔබ වාසනාව උරගාද්දි
මම ජිවිතය උරගානවා




හැදු මව  

Posted by නුවන් තිලංග in , ,


අසම්මත ප්‍රේමයක
අතුරු එලයක් වූ වැරැද්දට
වන ලැහැබක් උරුම වූ මට
දෙතනේ ලේ කිරට හරවා
පෙව්වේ ඔබයි කිරි අම්මේ

ඔබ මරා මස් බුදින උන්
කෙරෙහි වෛර නොකරමින්
දෙවෙනි මව් වූයේ ඔබයි අම්මේ

ඔබේ දරුවන් නිසා එරුණු කිරි
මා වෙනුවෙන් පුදන්නට
ඔබ උත්තරිතර වුණු නියාවෙන්

ලෝකයා මොනවා කියූවත්
මා හැදූ මව ඔබය කීමට
මගේ හද නොපැකිලේ, අම්මේ




Conference එක  

Posted by නුවන් තිලංග in , ,

හුඟ කාලෙකින් කවියක් දැම්මේ නෑ
චන්දිමා බනිනවා, පූසා ගොරෝනවා
"වෙලාවක් නෑ බන්, කවි සිතුවිලි හැංගිලා..."

"උඹට දැන් අපිව මතක නෑ."
"උඹ අපිට ආදරේ නෑ."
"උඹ වැඩිය කතා නෑ."
ආඩපාලි කෝටියයි!
ඒ මදිවට කෙල්ලෙකුත් ජෝඩු කරලා!!

හොඳ වෙලාවට ඔපිසියෙන්
conference එකකට යැවුවා
ලෙචා කියවනවා, මට තේරෙන්නේ නෑ
නිදිමතයි, කම්මැලියි, ඈනුම් අරිනවා
කන්න, බොන්න නම් වෙලාවට!
HR කරන මට මොන Property Development ද?

ලිවිවා කවි පන්ති දෙකක්ම




අබූත!  

Posted by නලිනි චන්දිමා in , ,

කරන කිසි දෙයක් හරි නොයන කාලකණ්ණියකු වූ උපාලි සන්තකයේ තිබූ අන්තිම රුපියල් දහය දුන්විට කොන්දොස්තර කොල්ලා ඉතිරි සල්ලි ලෙස දී තිබුණේ අමුතුම කාසියකි. එය රුපියලක්ද නොවේ; දෙකක්ද නොවේ; පහක්ද නොවේ. මුහුණත පැහැදිලි නැති අවපැහැ ගැන්වුණු එකකි. වැව් බැම්මේ හිඳගත් උපාලි එය මැද පිරිසිදු කිරීමට තැත් කළේය. එකෙණෙහි ඔහු ඉදිරිපිට ජටාවක් බැඳ, රත්පැහැ සරුවාලයක් හැඳි පුද්ගලයකු පහළ විය.

"මං තමයි මේ කාසියට අධිපති භූතයා." ජටාධාරියා හිස නමා පැවසීය. "ඔබ තමයි මගේ ස්වාමියා."

"අම්මට සිරි!" උපාලිට කියවිණි.

"ඒක නරක වචනයක් නේද?" භූතයා ඇසීය.

"නෑ නෑ. සිරි කියන්නෙ ශ්‍රී කියන එක. ආශීර්වාද කරන්ඩ කියන වචනයක්." උපාලි වැරැද්ද හදාගන්නට තැත් කළේය.

"ඒ කිව්වෙ බොරුවක්ද?" භූතයා තවත් ප්‍රශ්නයක් නැගීය.

"කාසියෙම ඉඳල මහන්සි ඇති." උපාලි මාතෘකාව වෙනතකට හැරවීය. "ඉතින් මොනවද බූතයෙක් හැටියට කරන්ඩ පුළුවන් වැඩ?"

"භූතයෙක්- මහප්‍රාණ භ යන්න." භූතයා නිවැරදි කළේය. "තමුන්ට මොනවද කෙරෙන්න ඕනෙ?"

උපාලි මඳක් කල්පනා කළේය.
"මාව මේ ලෝකෙ ඉන්න ලොකුම පෝසතා කරනවකො එහෙනම්."

"එහෙම ඒවනම් කරන්න අමාරුයි." භූතයා කණගාටුවෙන් පැවසීය. "මං ඉතින් නිකං සිල්ලර කාසියක භූතයෙක්නෙ. සිල්ලර වැඩ තමයි පුළුවං."

"මූත් මටම හරියන එකෙක් වගේ."උපාලිට සිතිණි. ඔහු සිල්ලර අවශ්‍යතාවයක් මතක් කළේය.
"ආ, එහෙනම් කන්ඩ මොනව හරි ගේනවකො."

"එහෙම බෑ. ඕන කරන දේ හරියටම ඉල්ලන්න ඕන."

"බත් පිඟානක්."

"එච්චරනං අමාරුයි..."

පැයක් දෙකක් යනවිට උපාලි භූතයාගේ තරම වටහා ගත්තේය: අතුරුදහන් වීමත් සදාචාරය කතා කිරීමත් හැර ඌට මෙලෝ වැඩක් බැරිය.