"අක්කා.."
සරත් ශබ්ද නැගෙන සේ පා පිස දමමින් තමන් ආ බව හැඟවීය. සාලය කෙළවර වූ කෑම මේසය ළඟ වාඩි වී සිටි සංජීව පත්තර පිටුව මඳක් මෑත් කර " ආ, මල්ලි. අක්කා කුස්සියෙ." කියා නැවත පත්තර අතර ගිලිණි.
"අක්කා.." කුස්සිය දෙසට පිය මනිමින් සරත් නැවතත් ඇමතීය. ඉන්දුට ඔහුගේ හඬ ඇසුණමුත් ඕ සොහොයුරා තමන් ළඟට එනතුරු සිටියාය.
"මල්ලි. වැඩ ඉවරයක් නෑ."
සරත් කුස්සියේ උළුවස්සට හේත්තු වී සොයුරිය දෙස මොහොතක් බලා සිටියේය. ඔහුට වඩා වසර හතරකින් වැඩිමහළු ඉන්දුට උරටත් උඩින් ගේදොර වැඩ කටයුතු තිබුණේ සරත්ට යන්තමින් මතක ඇති කාලයේ පටන්මය. ඉන්දුගේ ඉල්ලීමක් නැතිවම ඔහු සේදූ භාජන ගෙන ගොස් රාක්කයේ තැන්පත් කළේ කුඩා කල පුරුද්දෙනි. සොහොයුරාත් සොහොයුරියත් නිශ්ශබ්දව තම තමන්ගේ කාර්යයේ නියැළුණහ.
"යං මල්ලි සාලෙට. මං වතුර එකක් ලිපේ තියලම එන්නං." ඉන්දු කීවේ අන්තිම භාජනය වතුරට අල්ලන අතරතුරය.
"තේනං ඕන නෑ අක්කා."
තමන්ගේම ගැටළුවල පැටළී සිටි ඉන්දු සරත්ගේ ස්වරයේ වූ ශෝකාකූල බව හැඳින්නේ දැන්ය.
"දැං කොහොමත් තේ වෙලාවනෙ. යංකො පොඩ්ඩක් වාඩි වෙන්ඩ. මටත් ඉන්ඩ බැරුව කකුල් කැක්කුමයි උදේ ඉඳන් වැඩ කරලා."
"පුතාලා ගෙදර නැද්ද අක්කා?" සරත් ඇසුවේ සාලයට යමිනි.
"ඔහෙ ඇති මොකකට හරි නියෝගෙන. මං විතරනෙ මේ ගෙදර වැඩකාරි." ඉන්දු මිටි තැනින් ගලා යන ලෙස වක්කඩය හැරියාය.
තෙරපිය - The Therapy
1 month ago