හිරු ලප  

Posted by නලිනි චන්දිමා in , ,

හැමදාම ඉර පායන එක බොහොම කම්මැළි වැඩක්. නොදන්න කෙනෙකුට හිතෙන්නෙ, ඒක බොහොම ලෙහෙසි වැඩක් කියලා. නමුත්, උදෙන්ම පායන්නට ඕන; නැත්නම්, සත්තු කලබල වෙනවා; ගහකොළ කලබල වෙනවා. ඊට පසුව, දවස පුරා එකම ලතාවට ගමන් කරන්නට ඕන. දහවල් වෙනකොට පොළොව ගිනියම් වෙලා, රස්නෙ උහුලන්නට බැහැ. ඒත් වේගයෙන් යන්නට හැටියක් නැහැ; හැම කෙනෙක්ම වෙලාව ගණන් හදන්නෙ ඉර දිහා බලලා. හවසට ඉර බැහැලා ගියාට පසු හැම කෙනෙක්ම විවේක ගන්නවා. නමුත් ඉරට විවේකයක් නැහැ. ලෝකෙ අනික් පැත්තෙන් දුවලා ගිහින්, නැගෙනහිරට වෙලා රැකලා ඉන්නට ඕන, ආපහු උදා වෙන්නට වෙලාව එනතුරු.
ලෙහෙසි වැඩක් නොවෙයි. ඒ විතරක්ද? හරිම ඒකාකාරියි.

ඔන්න ඉරට කම්මැළි හිතුණා. ඉතින් ඉර තීරණය කළා නැගෙන්නෙ නැතුව ඉන්නට.

නැගෙනහිර හන්දියට කිට්ටුවෙන්ම, අන්ධකාර සාළුව පොරවාගෙන, ඉර හැංගුණා.

අලුයමින් අවදි වන කුරුල්ලො පුරුදු වෙලාවට කිචි බිචි ගාන්නට වුණා.
ගහකොළවල පිණි බින්දු මතුපිටට ආවා.
මිනිස්සුන්ට, අනික් සත්තුන්ට පුරුදු වෙලාවට ඇහැරුණා.

ඉර නැහැ.

කිචි බිචි ගෑව කුරුල්ලො කච බච ගාන්නට වුණා; කොචෑස් බචෑස් ගාන්නට වුණා.
පිණිබින්දු, ලොකු වතුර බින්දු වෙලා බිමට වැටුණා.
මිනිස්සු, සත්තු කලබල වෙලා කලුවරේම නැගිට්ටා.

ඉර නැහැ!

කලබල වුණු වෙලාවට හැසිරෙන හැටියෙන් එක එක්කෙනාගෙ ආකල්ප, පරණ අත්දැකීම්, පරිණතභාවය එහෙම බලා ගන්නට පුළුවනි.

සමහරු පරණ කතා කියන්නට පටන් ගත්තා: බොහෝම ඉස්සර කාලෙ, එක සැරයක් ඉර ඔහොම නොනැග තිබුණා නෙව! ඒ දවස්වල අපි තරුණයි...
තවත් සමහරු පහන් දල්වාගෙන, එහෙමත් නැත්නම් ඉව අල්ලාගෙන, පුරුදු වැඩ කටයුතු එහෙමම කරගෙන ගියා: ඉර නැගුණෙ නෑ කියලා, මේ වැඩ නවත්තලා බෑ නෙව.
තව තවත් සමහරු ඉහේ ඉඳන් පොරවාගෙන ගුලි වුණා: සීතලයි; අපිට බෑ; නැගිටලා මුකුත් කරන්නට විදිහක් නෑ; ඉරට හොඳනම්, අපිට මොකද?
තවත් සමහරු උද්ඝෝෂණය කළා: වහා ඉර උදා කරව්!

ඉර හැංගිලා බලාගෙන හිටියා.

ඔය අතරෙ ලෝකෙ අනික් පැත්තෙ වෙනමම ප්‍රශ්නයක්.

හඳත් තරුත් අහසින් බැහැලා ගිහින්, තමන්ගෙ පාඩුවෙ, පොළොව යටින් නැගෙනහිරට එනවා, රෑට උදා වෙන්නට තියෙන හින්දා.
ඉස්සරහින් ගිය තරු දැක්කා, නැගෙනහිර හන්දියෙ හැංගිලා ඉන්න තඩි, කළු රාස්සයා. දැකලා, බය වුණා. බය වෙලා, පස්සට පැන්නා.
ඊලඟට ආව තරුවලට ඉස්සරහට යන්නට හැටියක් නැහැ. ඉතින් ඔහොම ඔහොම, නැගෙනහිර හන්දියේ තරු පොදි ගැහෙන්නට වුණා. එතන ලොකු තදබදයක්. පිටිපස්සෙන් ඉන්න තරු ඉස්සි ඉස්සි, රාස්සයා බලා ගන්නට උත්සාහ කරනවා. ඉස්සරහින් ඉන්න තරු, තමන්ව තල්ලු වෙලා රාස්සයා ළඟට යැවෙයි කියලා පිටිපස්සට තෙරපෙනවා.

මේ හඳ විවේක ගන්න වෙලාව. හැමදාම යන පාර නිසා, ඇසුත් පියාගෙන ඔහේ පාවෙවී එමින් හිටිය හඳ එක පාරටම කටු ඇනිලා අවදි වුණා.
කටු, තරුවල වටේ තියෙන කටු.


"මොකද මේ? ඇයි නැවතිලා?" හඳ ඇහුවා.
"රාස්සයෙක්." තරු උත්තර දුන්නා.
හඳත් තරුවල කරට උඩින් ඉස්සිලා බැලුවා. ඇත්ත තමයි. තඩි කළු රාස්සයෙක්, ලෝකෙ දිහා හොරෙන් බලා ඉන්නවා.

"මොකද කරන්නෙ?" තරු හඳෙන් ඇහුවා. හඳ කල්පනා කළා.
"අපි සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්නෙ විසඳ ගනිමු." හඳ කිව්වා.
තරු වළල්ල මැද ඉඳන්, හඳ රාස්සයාට කතා කළා.
"මේ... ඔතන කවුද?"



ඔන්න, එතකොට තමයි ඉර ආපහු හැරිලා බැලුවෙ. එතකොට තමයි ඉර දැක්කෙ, තමන් මග අහුරාගෙන ඉන්න හින්දා, තරුත් හඳත් හිර වෙලා බව.

"මම, ඉර." කියලා උත්තර දෙන්නට ඉර හිතුවා විතරයි; ඉරට දඟකාර හිතක් පහළ වුණා.

"මම, රාස්සයෙක්!" ඉර අන්ධකාර සළුව අස්සෙ හැංගිලා උත්තර දුන්නා.

තරු බය වෙලා තව තවත් හඳට කිට්ටු වුණා. තෙරපෙන තරුවල කටු හැම පැත්තෙන්ම ඇනිලා, හඳට හුඟක් තුවාලයි.
බය වෙලා ඉන්න තරු දැක්කහම, ඔවුන්ව තවත් බය කරන්නට ඉරට ආස හිතුණා. ඒ හින්දා ඉර බොහොම භයානක විදිහට හිනා වුණා.

"හොහ් හොහ් හොහ්! හොහෝහ් හොහ් හොහ් හොහ්!!"

තරු තව තවත් හඳට තුරුල් වුණා.
"අපි මොකද කරන්නෙ?" ඔවුන් ඇහුවා.

හඳ කල්පනා කළා. බොහොම කල්පනා කළා.
හඳත් බය වෙලා බව ඉරට තේරුණා. ඉරට තව තවත් දඟ කරන්නට හිතුණා. ඒ හින්දා ඉර ඔවුන් ඉස්සරහට පැනලා ආයෙමත් භයානක විදිහට හිනා වුණා.
"හොහ් හොහ් හොහ්! හොහෝහ් හොහ් හොහ් හොහ්!!"

හඳත් බය වෙලා පස්සට පැන්නා. ඉස්සරහින්ම හිටිය තරුත් පස්සට පැන්නා. පිටිපසින් හිටිය තරුවල කටුත්, ඉස්සරහින් පැන්න තරුවල කටුත් ඇනිලා හඳට තවත් තුවාල වුණා. හඳේ වැදිලා, තරුවල කටු අග කැඩිලා තුවාල වුණා.
තුවාල වුණු හින්දා හඳටත් තරුවලටත් තරහ ආවා. තරහ ආව හින්දා බය අමතක වුණා.

"අපි රාස්සයව පන්නමු." පුංචි තරුවක් යෝජනා කළා.
"පන්නමු! පන්නමු!! පන්නමු!!!" හැම තරුවක්ම තරහෙන් කෑ ගහන්නට පටන් ගත්තා. හඳ පවා රවා බැලුවා.

ඉර, තමන්ගෙ දඟකාර සෙල්ලම නතර කළ යුතුව තිබුණා....
මං එහෙම කියන්නෙ, එයින් පස්සෙ සිදු වුණු දේ බොහොම භයානක හින්දයි.

බොහොම නිසංසල කෙනෙක් වෙන හඳට තරහ ආ විට, බොහොම දරුණුයි. කල්පනා කරන්නටවත් නොනැවතී, හඳ, තමන්ගෙ අතට අහු වෙන අහුවෙන දෙයින් ඉරට දමා ගහන්නට වුණා.
අතට අහු වෙන්නට හිටියෙ තරු.
ලෙහෙසියෙන්ම අතට අහු වෙන්නට හිටියෙ, පුංචි තරු.

විශාල ඉරෙහි වැදුණු තරු බොහොමයක් එතැනම අවසන් ගමන් ගියා. තවත් තරු බොහොමයක කටු කැඩී බිඳී ගියා. තරුවලට තුවාල කරන හින්දා, සමහර තරු හඳත් එක්ක තරහ වුණා.

තරු වැදිලා ඉරටත් තුවාල වුණා. ඉර පොරවාගෙන හිටිය අන්ධකාර සළුව, තරු හින්දා සිදුරු වුණා. සිදුරු වුණු සළුව අතරින්, හැංගිලා හිටිය රාස්සයා ඉර බව පෙනෙන්නට පටන් ගත්තා. එතකොට තරුවල බයත් නැතිව ගියා. බය නැති තරු ඉදිරියට පැන, ඉරට පහර දෙන්නට වුණා.
ඉරුණු අන්ධකාර සළුවත් එහෙන් මෙහෙන් එල්ලෙද්දි, ඉර ඉස්සරහට පැනලා දුවන්නට වුණා.

"අන්න ඉර පායනවා." මිනිස්සු සතුටින් කිව්වා. "බොහොම ප්‍රමාද වෙලා ඉර පායනවා."
සත්තු ඈනුම් ඇරලා නැගිට්ටා.
ගහකොළ අවදි වුණා. මල් පිපුණා.

මිනිස්සු, සත්තු, ගහකොළ ඉරට කැමති බව පෙනුණ හින්දා, හඳත් තරුත් ටිකක් අදිමදි වුණා ඉර පසුපස දිගට පන්නන්නට. පසුපසින් පන්නන්නට කෙනෙක් නැති බව දැක්ක ඉර, බොහොම අහංකාරෙට හෙමින් ගමන් කරන්නට වුණා.

ඒ වුණාට, ඉරුණු අන්ධකාර සළුවෙ කෑලි තවමත් ඉරේ එල්ලෙනවා. ඒවට තමයි මිනිස්සු හිරු ලප කියන්නෙ.

හිරු බැස ගියාට පසු, නැත්නම් බැස යන්නට කිට්ටු වූ පසු තවමත් හඳත් තරුත් පායනවා. හඳේ තුවාල සුව වෙලා වුණත්, කැළැල් තවම පේනවා. ඉස්සර තිබුණ පුංචි තරු සෑහෙන ගණනක් අඩු වෙලා. ඒත් ඒ බව එතරම් පෙනෙන්නෙ නැහැ.




මිනීමරුවා..  

Posted by උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා in , ,



                                               සුපුරුදු කලබල මැද්දේම රිය පෙලේ සීරුවට ඇදෙන ඉන්ද්‍රනාථ  විටින් විට කමිස අත උස්සා ඔරලෝසුව දෙසත් යාබද අසුනේ සිටින සිගිත්තා දෙසත් බලයි.

" කෙහෙම්මල "

වාහන තදබදය කෙරෙහි වූ කෝපයෙන්  ඉන්ද්‍රනාථ සෙමින් මුමුනයි.

" කෙහෙම්.....මල " යාබද අසුනේ සිගිත්තා තාලයකට එවදනම මුමුනයි.

ඉන්ද්‍රනාථගේ මුහුනට සිනාවක් නැගේ..

" මගෙ පැටියා බය නැතුව ඉන්නකෝ මං වෙලාවට ඉස්කෝලෙට එක්ක යන්නම්. "

තදබදය අතරේ හෙමින් ඉදිරියට ඇදුනු රථය අසල වූ විදුහල් මාවතට හැරවුමෙන් පසුව රථ ගාල කරා වේගයෙන් ඇදී යනු දක්නට ලැබිනි. රියෙන් බැසගත් ඉන්ද්‍රනාථ  සිගිත්තාගේ අතින් අල්ලාගෙන  පාසල් ගෙට්ටුව කරා ඇදෙන්නට විය.

" එහෙනම් පුතේ පරිස්සමෙන්... හවස පුතාව ගන්න අම්මා එයි.. එහෙනම් ඉක්මනට දුවලා යන්න"

පියාගෙන් මිදුන සිගිත්තා පියාට අතවනමින් පාසල තුලට දිව යද්දී  ඉන්ද්‍රනාථ නැවතත් රථය දෙසට ඇදෙන්නට විය.

නමුත් ඔහුට තබන්නට හැකිවූයේ පියවර කිහිපයක් පමනි. රථගාල අද්දර යම් කලබලයක සේයාවකි දරුවකු බදාගත් කාන්තාවක් හා ඇය වටකරගත් කිහිපදෙනෙක් යම් අරගලයක යෙදී සිටී . ඒ අතරේ  පාසලේ ප්‍රධාන ආරක්ෂකයාද වෙයි.   ඉන්ද්‍රනාථ ඉක්මන් අඩි තබමින් එදෙසට  ඇදෙයි.


" මේ දරුවා මගේ "

පිරිස අතරේ උන් කාන්තාවක් දරුවා බදාගනිමින්  පවසයි  

" මේකනම් පුදුම වදයක් හැමදාම මෙ සෙල්ලම කරන්න බෑ මේක හරි වදයක් උනා නේ "

පිරිස අතරේ උන් තවත් කාන්තාවක් මුමුනයි

" හරි හරි නෝනා මේත් අම්මා කෙනෙක්නේ දරුවට කරදරයක් වෙන් නෑ නේ "

පාසලෙ ප්‍රධාන ආරක්ශකයා නෝක්කාඩු මුහුනින් සිටින ගැහිනිය දෙසට හැරී පිලිතුරු බදියි

" මේ අම්මේ දැන් ලමයට ඉස්කෝලෙට යන්න පරක්කු වෙනවනේ අපි ලමයව ඉස්කෝලෙට යවමු "

දරුවා බදාගෙන සිටින ගැහෙනිය අමතා ආරක්ශකයා ඉල්ලීමක් කරයි..   පිරිස දෙසත් දරුවා දෙසත් බලනා ගැහෙනිය දරුවාගේ මුහුන අතගාමින් යමක් පවසයි

" මගේ පුතේ පරිස්සමින් ගිහින් එන්න මං හවසට එන්නම් "

" හා හා දැන් යමු පුතාට පරක්කු වෙනවා"

 ලද ඇසිල්ලෙන් දරුවා වඩාගන්නා ආරක්ශකයා  පාසල් ගෙට්ටුව දෙසට පියනගයි.  පොදී ගැසී උන් පිරිසද    යම් යම් දේ පවසමින් විසිර යයි

මේ සියල්ල දෙස බලා සිටි ඉන්ද්‍රනාථ  ආපසු හැරී  පාසල් ගේට්ටුව දෙසට පියනගයි.

ඒ අතරේ දරුවා පාසල තුලට ඇරලූ ආරක්ෂක නිළධාරියා  නැවතත් සුපුරුදු රාජකාරියට සැරසෙයි . ඉන්ද්‍රනාථ  ඔහු වෙතට සෙමින් ලංවෙයි.

" ඒ අර ස්කූල් වැන් එක හැප්පිලා නැති උන දරුවාගේ අම්මද....? "
" ඔව් මහත්තයෝ ඒ දරුවගේ අම්මා තමයි පව්. සංසාරේ.. හැටි තමයි " 

" දැන් දවස් දෙක තුනක් ඔහොම උනාලු නේද.. ලමයින්ට කරදරයක් වෙයිද දන් නෑ "

ඉන්ද්‍රනාථ නැවත නිළධාරියාගෙන් ප්‍ර්ශ්න නගයි...  නිළධාරියාගේ මුහුනේ සිහින් සිනාවක් ඇදේ

" අනේ නෑ මහත්තයෝ දරු දුකටනේ ..  අඩු ගානේ එහෙමවත් ඒ මනුස්සයා සතුටු වෙනවනේ මෙතන ගොඩක් අය ඕක දන්න නිසා  වැඩිය ප්‍ර්ශ්නයක් වෙන් නෑ"

" ඒ උනාට කියන්න බෑ නේ කරදරයක් කලොත් එහෙම මොනවා කරන්නද "

ඉන්ද්‍රනාථ තමාගේ මතයෙන් බැහැරව යන්නට අකමැත්තෙන් මෙන් පවසයි..

" මමනම් හිතන් නෑ මහත්තයෝ ඉස්කෝලෙ ලොකු මහත්ත්යා  ඉන්න වෙලාවෙත් ඔය සිද්දිය උනා . ඒ මනුස්සයා තමුන්ගේ දරුවා වගේ පෙනුම තියන අය ලගට ඇවිත් ඒ දරුවා වඩාගෙන ඉස්කෝලෙට ඇරලවනවා. පව් මහත්තයෝ අම්මා කෙනෙක් නේ හිටපු එකම ලමයා කියනවනේ.."

" ඉතිං ඒ මනුස්සයට බේත් හෙත් කරන් නැතිලුද "

" කරනවා කියලා තමයි ආරංචි මහත්තයෝ එහෙමට කියලා ලොකු අමාරුවක් නෑ ඔය උදේට ස්කෝලෙ ලගට එන එක තමයි ප්‍ර්ශ්නෙකට තියෙන්නෙ "

ඉන්ද්‍රනාථගේ හිතට ඒ කිසිවකින් සැනසිල්ලක් නැත ඔහුගේ සිත කියන්නේම ඇයගෙන් කොයි වෙලාවක හෝ යම් අනතුරක් විය හැකි බවය.

" ඔය මනුස්සයට ටිකක තදින් කිව්වනම් හරිනේ එහෙම කරන්න එපා කියලා එතකොට මෙතෙන්ට ආයෙත් එන එකක් නෑ අනික ටිකක්  තේරෙන්න කිව්වනම් හරි ..."

නිළධාරියාගෙ මුහුන සෙමින් අදුරු වේ.

" දරුවා නැතිවෙලා මාසයක් නොගිය අම්මා කෙනෙක්ට කොහොම කියන්නද මහත්තයෝ තමුන්ගේ දරුවා මලා මෙතන දරුවන්ට කරදර කරන්න එපා කියලා .. අපි බලමුකෝ මොනවා හරි කරන්න "

" නෑ ඉතිං ඕනම දෙයක් තෙරුම් කරන විදි තියනවනේ...... මං මේ කිව්වෙ කරදරයක් වෙන්න කලිං "

ඉන්ද්‍රනාථ අහක බලාගෙනම පවසයි

" අපි බලමුකෝ මහත්තයා..  මම ඇතුලට ගිහින් එන්නම්..  "

ඉන්ද්‍රනාථගෙන් සමුගත් නිළධාරියා පාසලට තුලට ඇදෙයි

රථගාල දෙසට ආ ඉන්ද්‍රනාථ නැවතත් පාසල් ගේට්ටුව දෙස බලා රිය තුලට නැග රිය පනගන්වාගයි

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++


ට්‍රිං...ට්‍රිං ..... 
   
යම් වැඩක නිරතව උන් ඉන්ද්‍රනාථ මේසය මත වූ දුරකථනය දෙස නොමනාපයෙන් මෙන් බලා එදෙසට දෑත දිගු කරයි

" හෙලෝ ගුඩ් ආෆ්ටනූන් "  ඉන්ද්‍රනාථ සිය ගාම්භිර ස්වරයෙන් අමතයි

" මොනවා.....! දරුවට කරදරයක් නෑ නේ "  ඇස් නලලේ රදවාගත් ඉන්ද්‍රනාථ ගේ හඩට කලබල වූ අවට වූවන්ගේ නෙත්ද  ඔහු දෙසට හැරෙයි

" මං අද උදෙත් අර ඉස්කෝලෙ මුරට ඉන්න බූරුවට ඕක කිව්වා මිනිහා මට බණ කියන්න ආවනේ.. ඔයා ඉන්න මම දැන්ම එනවා "

කලබලයෙන් දුරකතනය තැබූ ඉන්ද්‍රනාථ වහා අසුනෙන් නැගි සිටියි

" මොකද මිස්ටර් ඉන්ද්‍රනාථ මොකක් හරි ප්‍ර්ශ්නයක් ද ?"

යාබද මේසයේ පෙරේරා ඉන්ද්‍රනාථ දෙසට එමින් විමසයි

" නෑ පෙරේරා අපේ බබාගේ ඉස්කොලෙ ලග පිස්සු ගෑනියෙක් ඉන්නවා ඒ ගෑනිගේ දරුවා මැරිලා.. ඒ මනුස්සයා එතෙන්ට එන ලමයි ඒ ගෑනිගෙ ලමයා කියලා  අරගන්නවා..."

"නෑ.. " 

" එකනේ පෙරේරා අපේ බබාවත් ඒ ගෑනි අද වයිෆ්ගෙන් උදුරගෙන බබාගේ අතකුත් සීරිලා ලු..."

" මයි ගෝඩ්  .. ඉතින් ස්කොලෙ ගාඩ්ලා නැද්ද "

" එක හරකෙක් ඉන්නවා මන් උදේ ඕක කිව්වමත් ඌ මට බණ කියන්න ආවා ඉන්නවකෝ මන් දැන් ගිහින් කියලා දීලා එන්න "

" කලබල කරගන්ඩ ඕන නෑ මිස්ටර් ඉන්ද්‍රනාථ ඉක්මනට එහෙනම් යන්න "

" පෙරේරා පොඩ්ඩක් මෙතන බලාගන්න මන් ඉක්මනට එන්නම් "

වහා කාර්යාලයෙන් පිටවූ  ඉන්ද්‍රනාථ රිය පනගන්වාගෙන වේගයෙන් පාසල දෙසට ඇදෙයි. පාසල අසලට ලංවෙත්ම  පාසල් ගෙට්ටුව අද්දර ඉන්දීවරීත් සිගිත්තාත් ඔවුන්ට යමක් පවසමින් ඒ අසල ඉන්නා මුරකරුවාත් ඉන්ද්‍රනාථගේ බැල්මට හසුවේ. වහා රිය නවතා රියෙන් බැසගත් ඉන්ද්‍රනාථ  එදෙසට වේගයෙන් ඇදෙයි


" මං කිව්වා නේද උදෙත් මෙහෙම වෙයි කියලා "

 මුරකරු අමතමින් ඉන්ද්‍රනාථ  කෝපයෙන් විමසයි

" නෑ මහත්තයෝ නෝනා කලබල උනා නේ ඒකයි උනේ "

" අනේ මේ තමුසේ මෙතන විකාර නටන් නැතුව ඉන්නවද. මෙතන ලමයින්ට මොකක් හරි උනොත් තමුසෙද වග කියන්නේ "

කෝපයෙන් පුපුරන ඉන්ද්‍රනාථ  ගේ වදන් හමුවේ මුරකරු නිහඩව බිමට දෑස යොමයි

" සමාවෙන්ඩ මහත්තයා "

" සමාවෙන්ඩ නෙවෙ මන් හෙටම ප්‍රින්සිපල්ට මේක කම්ප්ලේන් කරනවා .. "

" හරි .. හරි  අපි දැන් යමු දැන් ඇති ... දරුවට කරදරයක් නෑ නේ.."

කෝපයෙන් පුපුරන සිය සැමියාගේ අතින් අදිමින් ඉන්දීවරී රථය දෙසට ඇදෙයි..

" මං මේක ලේසියෙන් අත අරින් නෑ ආපුදෙන්කෝ හෙට ප්‍රින්සිපල්." කෝපයෙන් දොඩවමින් ඉන්ද්‍රනාථද රථය ඇති දෙසට ඇදෙයි

ගෙට්ටු පලුවක් අල්ලාගෙන බිම බලා හුන් මුරකරුද  සුසුමක් හෙලා පාසල තුලට පියවර නගයි.

දරුවා හා බිරිය රිය තුලට නංවාගත් ඉන්ද්‍රනාථ කෝපයෙන් පුපුරමින් රිය පනගන්වාගෙන පාසලෙන් මාර්ගය දෙසට ඇදෙයි.

" මං ඔය බූරුවට උදෙත් කිව්වා ..."

තවමත් කෝපය පහ නොවූ ඉන්ද්‍රනාථ  ගුගුරයි

" නෑ ඉන්දරේ  .. මමත් ටිකක් කලබල උනා ඒ මනුස්සයා කරදරයක් කලෙ නෑ "

" ඔයාටත් පිස්සුද මොන මගුල උනත් දැන් ඒ ගෑනිට පිස්සූ . මං හෙටම මේ මගුල ප්‍රින්සිපල්ට කියනවා කියලා අර බූරුවත් ගෙදර අරිනවා"

" අනේ ඉන්දරේ ඕවා නිසා කරදර පටලවගන්න එපා දැන් ඕක ඇති "

මේ කිසිවකට ඉන්ද්‍රනාථ සවන් නොදෙයි ඔහුගේ හිත කෝපයෙන් පිරී ඇත.

බ්‍රරා..............ස්...........!!!

වේගයෙන් ආ රථය එක්වරම මහ හඩින් තිරිංග ගසා නැවතුනි

" ඇයි ඉන්දරේ.."

කිසිවක් සිතාගත නොහැකි වූ ඉන්ද්‍රනාථගේ බිරිය  විමතියෙන් සිය සැමියාගේ මුහුන දෙස බලයි..

පාසල් මාර්ගය අද්දර වූ කිසිවෙකු දෙස ඉන්ද්‍රනාථ කෝපයෙන් බලා සිටිනු පෙනේ.

" අනේ ඉන්දරේ අර පිස්සු ගෑනි නේද අපි යමු අනේ.. පිස්සො එක්ක මොනවා කරන්නද "

" ඔයා කටවහගෙන ඉන්නවද අද මේක ඉවරයක් කරන්න ඕන "

ඉන්ද්‍රනාථ කෝපයෙන්ම රියෙහි දොර ඇරගෙන  කාන්තාව සිටින දෙසට ඇදෙයි.  ඉන්ද්‍රනාථගේ බිරියද කලබලයෙන් සිය සැමියා පිටුපසින් ඇදෙයි.

වෙල් යාය දෙස බලාගත් කාන්තාව මොනවදෝ මුමුනමින් සිටී

" මේ ඇහුනද  මීට පස්සෙ ඉස්කෝලෙ ලගට යන්න බෑ තේරුනාද "

ඉන්ද්‍රනාථගේ හඩට ගැස්සුනු කාන්තාව ඉන්ද්‍රනාථ දෙස බලයි

" මගේ පුතා ඉස්කෝලෙ "

" තමුන්ගේ දරුවා දැන් මැරිලා ඒක තේරුම්ගන්නවා. ඔහේ හින්දා අපේ දරුවන්ටත් කරදරයක් වෙනවා"

"තමුසෙ  බොරු කියන්නේ මගේ දරුවා ඉස්කෝලෙ"

ගැහැනිය ඉන්ද්‍රනාථ දෙස බලමින් කෑ ගසයි

"තමුසෙ  බොරු කියන්නේ මගේ දරුවා ඉස්කෝලෙ.. මගෙ දරුවා මැරුනේ නෑ"

" මං ආයෙත් කියන් නෑ මීට පස්සෙ ඉස්කෝලෙ ලගට ගියොත් පොලිසියට අල්ලලා දෙනවා..   "

" මගෙ දරුවා ඉස්කෝලෙ "
 හැඩුම් හඩින් ගැහැනිය මුමුනයි


" තමුන්ගේ දරුවා මැරුනා ඒ ලමයා වලදාලත් ඉවරයි .. ස්කෝලෙ ඔහේගෙ දරුවා දැන් නෑ  ආයෙ ඒ පැත්ත පලාතේ යන්න බෑ තෙරුනාද.. "

" අනේ මේ ඉන්දරේ ඔයාටත් පිස්සුද අනේ අපි දැන් යං "

ඉන්ද්‍රනාථගේ බිරිය සැමියාගේ අතිං ඇදෙගෙන රථය දෙසට ඇදේ

" තමුන්ගේ දරුවා බලාගන්න ඕන නම් යනවා කනත්තට .. අපේ දරුවන්ට කරදර නොකර "

කෝපයෙන් වියරුවූ ඉන්ද්‍රනාථද  ගුගුරමින් රථය කරා ඇදෙයි..

වේගයෙන් ඇදී යන රිය දෙස ගැහැනිය හිස් බැල්මෙන් බලා හිදී. 

" මගේ දරුවා මැරිලා.. "  ගැහැනිය මුමුනයි....   

මිමිනුම ක්‍රම ක්‍රමයෙන් විලාපයක් වෙයි

"මගේ දරුවා මැරිලා.................."


"  මුරකුටියේ සිට මේ සියල්ල දෙස බලා උන් ආරක්ශක නිලදරියා විලාප නගමින් හඩන ගැහෙනිය දෙසට ඇවිද යනු පෙනේ"

  
  +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

වෙනදාටත් වඩා උදෑසනින් පාසල කරා ගිය ඉන්ද්‍රනාථ මුර කුටිය පසු කරමින් විදුහල්පති කාර්‍යලය කරා ඇදෙන්නට විය.. ඒ වන විටත් විදුහල්පති පැමිනි නොසිටි හෙයින් . අසල වූ පුටුවකට බර වූ ඉන්ද්‍රනාථ පත්තරයක පිටු පෙරලන්නට විය


" ආ මිස්ටර් ඉන්ද්‍රනාථ මොකො උදේම මෙ පැත්තේ "

විදුහල්පතිගේ හඩට කලබල ව නැගිට ගත් ඉන්ද්‍රනාථ  සිහින් සිනාවක් නගයි

" ආ සර්  මම දැක්කේ නෑ මං සර්ව හම්බවෙන්නමයි ආවේ "

" ආ.. එ මොකෝ මිස්ටර් ඉන්ද්‍රනාථ මොකක් හරි ප්‍රශ්නයක් ද "

" ඔව් සර් සරුත් දන්නවනේ අර ලමය නැති වෙච්ච ගෑනූ කෙනා නිසා තියන ප්‍ර්ශ්නේ . ඊයෙ මගෙ ලමයටත් කරදර කරලා බබාගේ අතත් සීරිලා.  මං ඉස්සරහ සිකියුරිටි ගාඩ්ට කිව්වම මිනිහ සත පහකට එක ගනන් ගත්තෙ නෑ "


"හ්ම්ම්ම්...."

විදුහල්පති නිහඩව හිස සලයි

" මිස්ටර් ඉන්ද්‍රනාථගේ ප්‍ර්ශ්නේ ඒකනම් මීට පස්සෙ ඒ ගැන බය වෙන්න දෙයක් නෑ . ඒ ප්‍ර්ශ්නේ විසදිලා ඉවරයි දැන් "

ඉන්ද්‍රනාථ පුදුමයෙන් විදුහල්පතිගේ මුහුන දෙස බලයි

" ඔව් මිස්ටර් ඉන්ද්‍රනාථ ඒ ගෑනු කෙනා ඊයෙ හවස මැරිලා. මැරිලා නෙවෙ ගගට පැනල සියදිවි නසාගෙන "

" මොනවා........... "

තමා වටා වූ සියලු දේ කැරකෙන බවක් ඉන්ද්‍රනාථට දැනෙයි..  විදුහල් පති තව මොන මොනවදෝ කීවද ඒ කිසිවක් තමාට නොඇසෙන්නාක් මෙන් ඔහුට හැගෙයි..

" මං ගිහින් එන්නම් සර් "

විදුහල්පති කාර්‍යලයෙන් එලියට බට ඉන්ද්‍රනාථ සිතුව්ලි හිස් වූවකු සේ ගෙට්ටුව කරා පියනගයි. ගේට්ටු කනුව ආසන්න‍යෙදී .. යමෙකුගේ හඩකින් ඉන්ද්‍රනාථ පියවි ලොවට පැමිනෙයි

" මහත්තයා ..."

හඩ ආ දෙසට මුහුන හැරවූ ඔහුට තමා දෙස බලා සිටින ආරක්ශක නිළදාරියා දිස්වෙයි..

" දැන් ප්‍ර්ශනේ විසදුනාද මහත්තයෝ "

ඉන්ද්‍රනාථ කිසිවක් නොදොඩා බිම බලාගයි.

" ඕනම මිනිහෙක් ජීවත් වෙන්නේ බලාපොරොත්තුවක් උඩ මහත්තයා...  ඒ ගෑනිට තිබ්බ එකම බලාපොරොත්තුව ඒ ගෑනිගේ දරුවා මෙතන ඉන්නවා කියන එක.. ඒක නැති උනාට පස්සෙ ඒ ගෑනිට ජීවිතෙන් වැඩක් නෑ  "

කිසිවක් නොදොඩා ඉන්ද්‍රනාථ බිම බලාගත් වනම ගේට්ටුව දෙසට පියවර තබන්නට වෙයි..

තමා පසු කර යන ඉන්ද්‍රනාථ දෙස බලා සිටි ආරක්ශකයා සිතේ තදකරගෙන තිබූ අවසන් වචන කිහිපයත්  ඉන්ද්‍රනාථ දෙසට දමා ගසයි

" මිනීමරුවා..."




ඒ අපේ කෙනෙක්  

Posted by උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා in , ,





                          ගොම්මන මැද්දෙන් ඇදී එන තුන් රෝද රියක එලියෙන් මග සටහන් කරගන්නා සිරිසෝම අඳුරේම නිවස කරා පියනගයි. ගෙවුනු වසර ගනනාවක් පුරා සේවය නිමවී මෙලෙසින්ම නිවස කරා ඇදෙන සිරිසෝමගේ සිත අද සතුටින් ඉපිලී ඇත.නගර සභා සුලු සේවකයකු වූ සිරිසෝම වසර ගනනාවකට පසු තම සේවා දිවිය පිලිබඳ සතුටින් ඉපිලෙමින් නිවස කරා ඇදෙන්නේ දහවල සිදුවූ සියල්ල සිරියාවතී හමුවේ කියාගන්නා තුරු නොයිවසිල්ලෙනි.

කදුගැටය අද්දරින් පහලට බැසගත් සිරිසෝම  රතුමුදලාලිගේ කඩය දෙස හොරැහින් බලමින්ම පල්ලම් බසී

" ඔතෙන්ට ගියොත් තවත් පරක්කු වෙනවා"  සිරිසෝම තමුන්ටම කියාගනී

මලානික අහසේ වැහි කෝඩයක පෙරනිමිති ඇදී ඇත. කඩුල්ල පැන්නූ සිරිසෝම ඉස්තෝප්පුව පසු කරමින් කුස්සි කෑල්ල දෙසට ඇදෙයි.

"ආ... ! මොකෝ අද මෙයා කුස්සිය පැත්තෙන්ම " සැමියාගේ හදිසි පැමිනිමෙන් හිස ඔසවා බැලු සිරියාවතී  ලිපේ ඉදෙන හොද්ද දෙසට නැවත නෙත් යොමයි.

" ආ.. මෙකත් උයල ගනින්... පොඩි උන් නිදිද " නගර සභා හන්දියෙන් මිලයට ගත් මස් පාර්සලය  සිරියාවතී දෙසට දිගු කරමින් සිරිසෝම සිහින් සිනාවක් පායි.

" අදනම් මොකක් හරි වාසියක් වෙලා වගේ " සැමියාගේ අමුත්ත ඉවෙන් හදූනාගත් සිරියාවති සිරිසෝමට දෙසට ලං වෙමින් පවසයි

" අද මාර වැඩක් නේ උනේ " පනින්නට බලා සිටි  රිලවුන්ට ඉනිමං බැන්දා සේ සිරිසෝම කතාව පටන්ගයි.

"මොකක්ද උනේ "

" පෙරේදා අපි අර විල්ලවත්තේ ගෙවල් සුද්ද කරන්න ගියානේ .. එතනදි පාරට තිබ්බ කඩ වගයක් කැඩුවා සමරතුංගයා ඔතෙන්දි බඩු වගයක් අරගෙන ඇවිත්"

"ඉතිං..!" සිරියාවතී  දෙඇස් නලලේ රදවමින් සිරිසෝම දෙස බලයි.

" කොහොම හරි ඕක අපේ ලොකු මහත්තයාට ආරංචි වෙලා අද උදේ ඔක්කෝම ගෙන්නලා හොදට දෙහි කැපුවා "

" ඉතිං අප්පේ ඔක්කෝටම බැන්නා නම් මොකෝ මේ ඔහේ අමුතු සන්තෝසෙකින් " සිරියාවති කතාවට හරස් වෙමින් විමසයි.

" අහගෙන ඉන්නවකෝ දැනුයි හොදම හරිය " කුප්පි ලාම්පූ  එලියට නැටවෙන දෑසින් සිරියාවතී දෙස බලා  සිරිසෝම නැවත කතාව අරඹයි.

" ලොකු මහත්තයා සමරතුංගයාට හොදටම දෙහි කැපුවා අර උගේ පස්සෙම වැටිලා ඉන්න  සායම් ගුනෙත් හොදට අහගත්තා ඌත් ඔය වැඩේට හවුල්ය කියන්නේ.. ඊට පස්සෙ ලොකු මහත්තයා කිව්වා සිරිසෝම විතරයි මෙතන විශ්වාසයක් තියන්ඩ පුලුවන් මිනිහෙක්ට ඉන්නෙ හොර බොරුවක් වංචාවක් නැති  මනුස්සයෙක්ට කියලා "

" නෑ.. සමරතුංගයාට පොලව පලං යන්න හිතෙන්න ඇතිනේ "

සිරියාවතීගේ මුහුනටද එලියක් වැටේ..

සමරතුංගයා කොහොමත් සිරියාවතීට අල්ලන්නේ නැත දවසක් ගම්සභා හන්දියේදි ටැක්ටරයේ යන ගමන් මොකක්දෝ නොහොබිනා කතාවක් කියාගෙන ගිය හැටි සිරියාවතීගේ සිහියට නැගේ.

" හොඳම වැඩේ ඕකට "

" ඉතිං ඉතිං... ඊට පස්සෙ "

මේස ලෑල්ලට හෙත්තූ වී සිටි සිරිසෝම බංකු කෑල්ල ඇද වාඩි වී නැවත කතාව අරඹයි

" පස්සෙ ලොකු මහත්තයා නීතියක් දැම්මා මීට පස්සෙ ඔය වගේ වැඩක් කරලා අහු උනොත් කෙලින්ම ගෙදර යවනවා කියලා අනික් එක සමරතුංගයා අදුරන එකෙක්ගේ කඩයක් තිබිලා ඒකට අතවත් තියලා නෑ රංජියලනම් කිව්වෙ ඒ මනුස්සයා සමරතුංගයාට සල්ලි දුන්නය කියලා "

" නෑ...! "

" නෑ නෙවේ ඔව්.. ලොකු මහත්තයා කිව්වා හෙටම ගිහින් ඒකත් අයින් කරන්න කියලා. හැබැයි ලොකු මහත්තයා කිව්වා මං ඒ වැඩ ටික මීට පස්සෙ බාර දෙන්නේ සිරිසෝමට කියලා. "

කතාව මදකට නැවතු සිරිසෝම  අමුතු ආඩම්බරයක් මුහුනට නගා ගයි ඔහු සිරියාවතී දෙසට හැරී නැවත කතාව අරඹයි

" දන්නවද මීට පස්සෙ ඒ වැඩවලට මිනිස්සු බාරව යන්නේ මම.  ලොකු මහත්තයා කිව්වා  ටී . ඕ  මහත්තයට කියලා මට ඒ වැඩ ටික බාර දෙනවා කියලා. මගෙ පඩියත් ටිකක් වැඩි කරනවා කිව්වෙ "

" කිරි අප්පේ අනේ වාසනාවන් .." සිරියාවතී ගේ මුහුනෙන්ද සතුට උතුරයි

" මම කොහොමත් හොර බොරු වංචා නෑ නේ නීතිය කාටත් එකයි මගේ එකාට උනත් එච්ච්රයි මට උනත් එච්ච්රයි .. හැම දෙයක්ම රටේ නීතියට වෙන්ඩ ඕන අපී එහෙම ජීවත් උනාම මිනිස්සු අපිට සලකනවා "
සිරිසෝම ආඩම්බරයෙන් පවසයි.

" හා හා දැන් ඕක උයලා ගනින් බඩත් කෑ ගහනවා " සැහැල්ලු කරගත් මනසින් සිරිසෝම බංකූ කෑල්ලෙන් නැගිට කුස්සිකෑල්ලෙන් එලියට ඇදෙයි

ඉස්තෝප්පු කෑල්ල දෙසට ඇවිද ආ සිරිසෝම. ඉස්තොප්පුවේ වූ බූරූ ඇදේ කෙලවරක වාඩි ගෙන බිත්තියට පිටදී  නැවතත් දහවල් කාලයේ වූ  දේවල් එකින් එක  සිතේ මතුකරමින් තනිව මුමුනමින් ඔහුගේම ලෝකයක තනිව ගත කරන්නට විය.

කොතරම් කාලයක් සිහින ලෝකයක සිටියාදැයි සිරිසෝමට නිනව්වක් නැත කවුරුන් හෝ වැටකඩුල්ල ලග  දඟලනා හඩකින් ඔහුගේ සිහින ලෝකය  බිදුනි

" කවුද ..! "

බූරු ඇද මත වූ විදුලි පන්දම දල්වා ගත් සිරිසෝම කඩුල්ල දෙසට ඇදෙන්නට වෙයි.  ඒ අතරේ ඔහු විදුලි පන්දම් එලිය වැට අද්දර සිටින්නා දෙසට එල්ල කරයි. වැහි මන්දාරම බිදිමින් විදුලි පන්දම් එලිය  කඩුල්ල  අද්දර සිටින්නාගේ මුහුන මතට වැටේ

" රම්‍යාලතා.... !."  සිරිසෝම තමුන්ටම මුමුනයි

කඩුල්ල අද්දරට ලං වෙන සිරිසෝම දකිත්ම කඩුල්ල අද්දර උන් ගැහැණියද කටහඬ අවදි කරයි.

" අනේ සිරිසෝම අයියේ පොඩි කරදරයක් " ගැහැනිය හැඩුම් හඩකින් හඩ අවදි කරයි

" මොකෝ රම්‍යලතෝ.. මේ මහ රෑ මොකද උනේ.."

" අනේ අයියේ පොඩි එකා ඉස්පිරිතාලේ අයියේ හොදටෝම අමාරුයි. "

" නෑ..! ඒ මොකෝ නංගියේ "

" පෙරේදා උන ගත්තා හවසම ඉස්පිරිතාලේ එක්ක ගියා දැන් සිහියක් කටක් නෑ අයියේ "

අදුරේ උවද ගැහැනියගේ නෙතින් ගලා හැලෙන කදුලු සිරිසෝමගේ දෑසට පෙනේ

" හා.. හා යමන්කෝ ඇතුලට ගිහින්ම කතා කරමු..."

වයසින් හතලිස් විය ඉක්මවූ ගැහැනිය. සිරිසෝමලාගේ ඉඩම් කට්ටියට එපිටින් වූ පැල්පතක වෙසෙන්නෙකි. සැමියා හැරයාමෙන් දරු දෙදෙනෙක් සමග තනි වූ රම්‍යලතා. ජිවිතයේ අනේක වූ දුක් විදි ගැහැනියකි. එදා වේල වෙනුවෙන් ගැහැනියකට දැරිය නොහැකි වූ තරමේ ගැහැට හා ඔට්ටු වූ රම්‍යලතා නොහැකිම වෙලාවක හැර කිසිවෙක්ගෙන්වත් උදව්වක් නොඉල්ලන  ගැහෙනියක් බව සිරිසෝම හොදින්ම දැන සිටියේය 

සිරිසෝමලාගේ කතාබහේ හඩට ඉස්තෝප්පුව අසලට ආ සිරියාවතීද ගෙපැල දෙසට ඇදෙන රුව දෙසට එබිකම් හෙලයි

" ආ මේ රම්‍යලතානේ .. මොකෝ බන් මේ රෑ ජාමේ "

" අනේ සිරියෝ කොල්ලට හොදටම අමාරු වෙලා ඉස්පිරිතාලේ.. හෙට හවස් වෙද්දි බෙහෙතක් දෙන්න ඕනලු ඒකට විසිදාහක් ඕනය කියනවා "

" සීවරං දෙයියනේ ...." සිරියාවතී කම්මුලේ අත තබාගෙන සිරිසෝම දෙස බලයි

" දැන් මොකද කරන්නේ "

" අනේ සිරිසෝම අයියේ මං ලග තිබ්බ සබ්බ සකලමනාව එකතු කරලත් තියෙන්නෙ දහදාහක් විතර මොනව කරන්නද කියලා  හිතාගන්න බෑ අයියේ "

ගලා යන කදුලු පිසිමින් රම්‍යලතා හූල්ලයි

" දැන් ඉතින් අඩලා වැඩක් නෑ නේ රම්‍යලතෝ අපි මේකට කරන්න දෙයක් බලමුකෝ "

" පොඩ්ඩක් හිටින් " 

සිරිසෝම කුස්සි කෑල්ල දෙසට යමින් සිරියලතාට හිසින් කැදවීමක් කරයි සැමියාගේ කැදවීමට අවනත වෙමින් සිරියලතාද පසුපසින් ඇදෙයි.

කුස්සි කෑල්ලට ඇදුනු සිරිසෝම සිරියාවතී දෙසට හැරී හඩ අවදි කරයි

" මොකෝ සිරියෝ දැන් කරන්නේ .. රම්‍යාලතාට බැරිම වෙලාවක් ඇර කාගෙන්වත් උදව්වක් ඉල්ලන ගෑනියෙක් නම් නෙවේ "

" හ්ම්ම් ඒක තමා මාත් මේ කල්පනා කලේ ගිය මාසෙ සීට්ටු සල්ලි නැතිව උන්නු වෙලාවෙ එක දුන්නෙත් රම්යා නේ .. පව් අහිංසක ගෑනි "

" ඒක තමයි මං ගාව තුන්දාහක් ඇති ඒකවත් දෙමු වෙන මොනා කරන්නද "
" ඔව් එහෙම කරමු මං අහලා බලන්නම්කෝ  හෙට සුමනාක්කගෙනුත් ඒකිගෙනුත් කීයක් හරි ඉල්ලගත්ත හැකි "

කතාවෙන් අනතුරුව දෙමහල්ලෝ නැවත ඉස්ස්තෝප්පු කෑල්ලට ඇදෙයි .විහිදෙන කුප්පි ලාම්පු එලියට පිල්කඩේ ඇනතියා සිටින රම්‍යලතාගේ රුවත් මිදුල මතට වැටුන සෙවැනැල්ලත් බොදවූ ච්ත්‍රයක හැඩතල මවයි.

" රම්‍යලතෝ මං ගාව එච්ච්ර සල්ලියක් නම් නෑ  තුන්දාහක් විතර ඇති මම දැනට එක දෙන්නම් අපි බලමු මොකක් හරි කරලා ඉතුරු සල්ලි ටික හොයාගන්න ... "

" අනේ බුදු අයියේ පින් සිද්ද වෙනවා මං ඊලග මාසෙ වෙනකොට ඕක දෙන්නම් .. "

රූරා වැටෙන කදුලු අතරින් දෙඅත් එක්කරමින් රම්‍යලතා හඬයි

" උබට පිස්සුද රම්‍යලතෝ.. එව්වා පස්සෙ බලමු ඉස්සරවෙලා කොල්ලා ගොඩ දා ගමුකෝ මම හෙට බලන්නම්කො අතමාරුවක් වත් කරගන්න "

" අයියට පින් අයියේ මම හෙට හවස් වෙද්දි ඉතුරු සල්ලි ටිකත් හොයාගෙන ඉස්පිරිතාලේ යන්ට ඕන. "

" එහෙනම් තවත් රෑ වෙන්ට කලියෙන් ගෙදර පලයන් " සිරිසෝම් හා සිරියාවතීට  නැවතත් යටහත් බැල්මක් හෙලු රම්‍යලතා කඩුල්ල දෙසට හැරේ

" ආ.. රම්‍යලතා උබ්ලා කෑවද " සිරියාවතී  යමක් මතක් වූවකු සේ විමසයි

" තාම නෑ අක්කේ ගෙදර ගිහින් මොනවා හරි හදාගන්නවා පොඩි එකත් ගෙදර "

" ආ.. වරෙන්කෝ එහෙනම් යන්ට කලියෙන් කුස්සිය පැත්තට දැන් ආයෙ උබ ගෙදර ගිහින් උයන්ට වෙලාවක් තියනවයැ "

" අනේ එපා සිරියෝ මම මොකක් හරි රත්කරගන්නම් ගෙහින් "

" කට වහන් වරෙන් රම්‍යලතෝ.."

ආපසු හැරුනු රම්‍යලතා සිරියාවතී පසුපසින්  කුස්සි කැල්ල දෙසට ඇදේ .. මද දුරක් ඔවුන් පසුපස ආ සිරිසෝම් ඉස්තෝප්පු කෑල්ලට ගොඩවී බුරූ ඇදට බරවිය..

++++++++++++++++++++++++++++++++++++++++++++


ලැයිම් කාමර පෙලියට ඉහලින් පහේ කෝච්චිය හඬදීගෙන දුවද්දී උදෑසන සීතල  බිදිමින් සිරියලතා කුස්සි කෑල්ලේ ලිපගිනි මොලවයි.  කෙත්ලය ලිප මත තැබූ සිරියලතා  ඉස්තොප්පු කෑල්ල දෙසට ඇදේ. 

" ආ මෙයා මොකෝ පාන්දරම නැගිටලා "

බුරූ ඇද මත වාඩී වී සිටින සිරිසෝම  සිරියාවතී දෙසට හැරී බලයි..

" හිරිකඩේ බන් පාන්දරම නැගිට්ටවුනා .. අද ටිකක් කලියෙන් යන්නත් ඕන "

" ඒ මොකෝ.. අද දුරකවත් යනවද ..? "

" නෑ බං මම ඊයෙ කිව්වෙ දැන් ඉතින් ටිකක් පිලිවෙලකට වැඩ ටික කරගන්ඩ ඕන.. හැම එකාගෙම ඇහේ කටු ඇනිලා ඉන්න වෙලාවනේ .."

" ඔව් .. ඔව් ඉරිසියාකාරයෝ වැඩි වෙයි .. ඔහේ පරිස්සමින්"

"හ්ම්ම්... "

සිරිසෝම ඈත බලාගෙනම පිලිතුරු බදී..

"එහෙනම් මොනවා හරි උයලා ගනින්.. ඉක්මනට යන්ඩ ඕන "

කමිසය කරට දමා ගන්නා සිරිසෝම ලිද පැත්තට ඇදේ..  

සිරියාවතී බැඳ දුන් බත් පතද ගෙන සුපුරුදු මග දිගේ රාජකාරියට යන්නට පිටත් වූ සිරිසෝම  වෙනදාට වඩා  ඉක්මනින් නගර සභා භූමියට ඇතුල් විය.. මග දෙපස හමුවන්නන් වෙනදාට වඩා තමා දෙස  බලනවායැයි සිරිසෝමට සිතේ. කාර්‍යලයට ඇතුල් වූ සිරිසෝම  ලොකු මහත්තයාගේ කාර්යාල කාමරය දෙසට ඇදෙයි.

" ආ සිරිසෝම මොකෝ අද උදෙන්ම "

සිරිසෝම දකිත්ම ප්‍රධානියා සිනාමුසු මුහුනින් විමසයි.. ලොකුමහත්තයා දෙස යටහත් බැල්මක් හෙලන සිරිසෝම මද සිනහවක් පායි.

" මම මේ සිරිසෝම එනකම් හිටියේ . සිරිසෝමට තියනවා අද ලොකු වැඩක් "

" මොකක්ද ලොකු මහත්තයෝ..?"

"සිරිසෝම දන්නවනේ අර ඉස්පිරිතාල පාර අද ඒකෙ අනවසර කඩ ටිකයි පේමන්ට් කඩයි අයින් කරනවා එතන වෙලදාම් කරන එක තහනම් කරන්න කියලා ඉහලින් ඕඩර් එකක් ඇවිත් තියනවා .. සිරිසෝම කට්ටිය අරන් ගිහින් අද ඒ ටික කරන්න ඕන .."

" අපි තනියමද යන්නේ මහත්තයෝ "

" නෑ .. පොලිසියෙනුත් එයි.. මොකෝ සිරිසෝම අකමැතිද "

" අනේ නෑ මහත්තයෝ මම යන්නම් .."

" හ්ම්ම්.. හැබැයි සිරිසෝම මේ වැඩ ටික හරියටම වෙන්න ඕන. මතකද මම ඊයෙත් කිව්වා.. මම මේ වැඩ ටික සිරිසෝමට භාර දෙන්නේ තමුන් ගැන විස්වාශයක් තියලා ඔතන ගිහිල්ලත් යාලු මිත්‍ර කම් වලට වැඩ කරන්න එපා තේරුනාද.."

" පිස්සුද ලොකු මහත්තයෝ .. මම කවදාවත් එහෙම කරනවද .. නීතිය නම් නීතිය .. ඒක මටත් එකයි මගෙ එකාටත් එකයි . අපි නීතියට ගරු කරන්න එපැයි "

" අන්න හරි සිරිසෝම ඔය ඔතන පේමන්ට් කාරයෝ නිසා ඉස්පිරිතාලෙට එන අයට ගොඩක් ප්‍ර්ශ්න . අනික ඔය අස්සෙ පොකට් කාරයොයි, කුඩු කාරයොයි .. ඒ නිසා ඔය කට්ටිය ඉක්මනට ඔතනින් අයින් කරන්ඩ ඕන "

" ඔව් ඔව් ලොකු මහත්තයෝ මම නොදන්නවැයි .. හදිසියකට වාහනයක්වත් හරවගන්න බෑ තමයි.."

සිරිසෝම තේජවන්ත පෙනුමක් ආරූඩ කරගනිමි කියයි

" බයවෙන්න එපා ලොකු මහත්තයෝ.. මම වැඩ ටික නූලට කරලා එන්නම් " 

" හරි .. අන්න එහෙමයි වෙන්න ඕන සිරිසෝම.  එහෙනම් වාහනෙත් අරගෙන කට්ටියත් දාගෙන දැන්ම පිටත් වෙන්න මන් පොලිසියට කියන්නම් "

රාජකාරී සටහන් පොතේ සටහනක් දැමූ සිරිසෝම රියගාල දෙසට ඇදේ.. ඒ වන විටත් පනගැන්වී තිබූ ලොරි රථයේ නැග සිටින්නවුන් අතර සමරතුංගද සිටින බව ඈත තියාම සිරිසෝමට පෙනේ.. මුහුනට මද සිනාවක් නගා ගන්න සිරිසෝම රථයට කිට්ටු වේ

" ආ වඩින්න වඩින්න අපේ අලුත් ලොක්කා "

ලොරි රථයේ පිටුපස එල්ලී සිටින සිරිසෝමට කවදත් හිතවත් රංජි සිරිසෝම දෙස බලමින් සිනහ නගයි .

" කවුද බන් අලුත් ලොක්කා.. " සිරිසෝමද කිසිවක් නොදත්තකු මෙන් සිනහ නගමින් පිලිතුරු බදී

" ආ ලොකු මහත්තයා එහෙනම් ඉස්සරහින්ම නගිමු "

රථයේ රියදුරු සේන ඉදිරි දොර අරිමින් සිරිසෝමට ආරාධනාවක් කරයි

සමරතුංගයාට පැලෙන්න හිතෙනවා ඇති සිරිසෝම තනිව සිතයි.. 

විහිලු තහලුවෙන් පිරි රථය හැල්මේ ඉදිරියට ඇදෙයි. ඉස්පිරිතාල හන්දිය පසු කරමින් ඉදිරියට ඇදි රථය පසු පසින් පොලිස් රථයක් ද එක්වී ඇත 

ඉස්පිරිතාලය අද්දර වූ කඩපේලිය අද්දර රථ දෙක නතරවත්ම පදික වේදිකාවේ වෙලදාමේ සිටියවුන්  කලබල වූ බවක් පෙනුනි. අතට අසුවූ බඩු මුට්ටු ගෙන පලායන්නට සැරසෙන වුන් පසු පස දඩ බල්ලන් මෙන් නගර සභා සේවකයන් පන්නා යන්නට විය..

ඉදිරි දොර ඇරගෙන බිමට බට සිරිසෝමද .. අමුතු ජවයක් ලද්දෙකු මෙන් පදික වේදිකාවෙ ගොඩ ගසා තිබූ පලතුරු ගෝනියක් ඔසවා ලොරි රථය තුලට විසි කරමින් ඉදිරියට ඇදෙන්නට විය.

" සෝමේ ඔය පාරේ තියන ඔක්කොම බඩු දාගනින් ලොරියට .."

යක්ශාවේශ වූවකු සේ සිරිසෝම මොරදෙයි.

" අනේ අයියේ මොනවද මේ කරන්නේ අපි මේවා දාල කොහෙ යන්නද "
පදික වේදිකාවෙ සිට්යකු සිරිසෝම සමීපයට පැමින හැඩුම් හඩින් විමසයි

" මේ රටේ නීතියක් තියනවා .. අපි කරන්නේ අපේ රාජකාරිය මේවා තහනම් වැඩ. උබලට කලින් දැනුම් දීලා තියනවනේ. දැන් කරන්න දෙයක් නෑ "

" එතකොට අපි ජීවත් වෙන්නෙ කොහොමද " 

කරන දෙයක් නීතියට කරපල්ලා අපිට කරන්න දෙයක් නෑ. ජවයෙන් වැඩී සිටින සිරිසෝම ඔහු තල්ලු කොට දමා තවත් කඩයක් දෙසට ඇදෙයි.

පදික වේදිකාවෙ ගොඩ ගසා තිබූ රෙදි තොගයක් ගෙන සෝමදාස ලොරි රථය දෙසට ඇදෙයි.. ඔහු පිටුපසින් කෑ ගසමින් විලාප නගමින් රෙදි තොගයෙන් අදිමින් ගහැනියක් ඔහු වලක්වනු පෙනේ.. සිරිසෝම වහා ඔහුගේ සහයට දිව යයි

ඔහු සමීපයට ලං වත්ම දුටු දෙයින් සිරිසෝම තූෂ්නිම්භූත වෙයි


"රම්‍යලතා.....! "

සිරිසෝමට තමා වටා වූ ලෝකය කැරකෙන්නාක් මෙන් දැනේ

සිරි අයියේ මේ ගෑනිව ඇදලා දාපන් පැත්තකට සෝමදාස මොරදෙයි..

" පිස්සුද ලොකු මහත්තයෝ .. මම කවදාවත් එහෙම කරනවද .. නීතිය නම් නීතිය .. ඒක මටත් එකයි මගෙ එකාටත් එකයි . අපි නීතියට ගරු කරන්න එපැයි " 

තමා මොහොතකට පෙර කියූ දේ සිරිසෝමගෙ දෙසවන් පුරා නැවත නැවතත් හඩනගන්නා සේ සිරිසෝමට දැනේ


 සිරිසෝමගේ  වෙව්ලන දෙතොල් ආයාසයෙන් විවර  වෙයි..

" ඒ... ඒ.. අපේ කෙනෙක් සෝමේ...!!! "






අවුරුදු..  

Posted by උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා in , ,







                                   ඉර හැරෙන්නට තව බොහෝ වේලාවක් නැත. වැස්සක පෙරනිමිති පෙනෙන්නට  ඇති නිසාදෝ   පය ඉක්මන් කර දිව යන්නන්ගෙන් නගරය පිරී ඇත. වීදිය කෙලවරක නැවතුනු සැප රියේ තොරතෝංචියක් නොමැතිව දොඩමලු වෙන පොඩි එකෙකි. පොඩි එකාගේ මව ඔහු අසනා සෑම ප්‍රශ්නයකට කුමක් හෝ කියා ඔහු සනසවන්නට වෙරදරයි.

" අම්මේ ඇයි අම්මේ අර මාමා බෑග් එකක් අරන් දුවන්නේ " ඇස් දෙකද කටද එකසේ ඇරගත් පොඩිත්තා අම්මාගෙන් විමසයි.

" ඒ මාමා ගෙදරට කෑම ගෙනියනවනේ පුතේ "

" ඉතින් අම්මේ ඒ මාමට බැරිද සේනට කියලා බඩු ගෙන්වගන්න "

" සේන ඉන්නෙ පුතේ අපේ ගෙදර වැඩටනේ , ඒ මාමලගේ ගෙදර වැඩට සේන කෙනෙක් නැතුව ඇති"

පොඩිත්තාගේ ප්‍රශ්න වල කෙලවරක් නැත 

" ඇයි අම්මේ ඒ මාමලට ගෙදර වැඩට සේන කෙනෙක් නැත්තේ "

" හා හා දැන් ඒ කතා ඇති දැන් තාත්ති ඔයාට චොකෝ අරන් එයි එතකන් හොද පුතා වගේ මේ ටෙඩියා එක්ක සෙල්ලම් කරන්න "

පොඩිත්තාගේ කෙලවරක් නැති ප්‍රශ්න වැලෙන් හෙම්බත් වී සිටි පොඩිත්තාගේ මව දුරකථනය සුරතට ගත්තේ සැමියාගේ පමාව ගැන විමසීමටය.

පහත් වූ රිය කවුලුවේ එල්ලී ගත් පොඩිත්තා ඔහේ  කියවමින් සිනාසෙමින් දෑතට සිරවූ පුලුන් ටෙඩියාට වද දීම අරඹා තිබිනි.


පොඩිත්තා හා මව ඇරෙන්නට  මේ  කතන්දරය දෙස  බලා සිටින තවත් අමුත්තෙකි..  වීදිය කෙලවර වැටෙහි එල්ලී ගත් අමුත්තා ආයාගත් මුවින් . රියෙහි පොඩිත්තා දෙස බලා සිටී

වයසින් පමනක් රියෙහි පොඩිත්තාට සමාන වූ  අමුත්තා.. කාශ්ටක නගරයේ තවත් සමාජ ඉස්තරයක් නිරූපනය වෙන  කොටසක පුරුකකි. නාටාමිවරයෙකුට  හා  එදා වේල වෙනුවෙන් මන්දිර වල බැලමෙහෙවර කරන්නියකට දාව  ලෝකයට පය ගැසූ  මේ අමුත්තා.. තමා ඉදිරිපිට වූ වැටෙහි එල්ලී බලා සිටින්නේ.. තමා තරම්ම වූ  රියෙහි ලැග ඉන්නා ගේ අතේ  පොඩිවෙන  පුලුන් සුරතලා දෙසය

පුළුන් සුරතලාට  වද දෙමින් සිටි පොඩිත්තාගේ දෙනෙත් හදිසියේ තමන් දෙස බලා සිටින පොඩිත්තා දෙසට යොමු විය

" අම්මේ ආං.... "

පොඩිත්තා සිය දෑත් දිගු කර සිය මවට තමන් දෙස බලා සිටින අමුත්තා පෙන්වයි

" කවුද අම්මේ ඒ "

" ඒ පොඩි ලමයෙක් නේ පුතේ "

" ඇයි අම්මේ එයා කමිසයක් ඇදලා නැතුව ඉන්නේ "

" එයාට අමතක වෙන්න ඇති පුතේ "

" එයාගේ අම්මා කෝ එයා තනියමනේ ඉන්නේ "

" අම්මා ලග ඇති පුතේ "

තමා දෙස බලා සිටින අමුත්තා දෙස තව වරක් බැලු පොඩිත්තා සිය දෑත උස්සා සහෝදර ආචාරයක් කලේ අමුත්තාට තමුන් දෙසට එන ලෙස ඉල්ලීමක් කරමිනි

පලමු දෙවන වර  මදක් පැකීලීමක් පෙන්වුවද ඊලඟ වාරයේදී වැටෙන් බැසගත් අමුත්තා සෙමින් සෙමින් නවතා තිබෙන රිය දෙසට කිට්ටු විය.

" අපි සෙල්ලම් කරමු "

අමුත්තා රිය වෙත ලංවූ සැනින් පොඩිත්තාගෙන් ඇරයුමකි

" දැන් බෑ පුතේ දැන් තාත්තා එයි.. අපි දැන් සීයලාගේ ගෙදර යන්න ඕන නේ සෙල්ලම් කරන්න ගියොත් වෙලා මදි වෙයි ඔන්න "

" ඔයා ඇයි කමිසයක් ඇදලා නැත්තේ " 

" කමිසේ හේදුවා තාම වේලිලා නෑ "

" ඉතින් වෙන එකක් අදින්නකෝ "

" මට වෙනින් කමිස නෑ එකයි තියෙන්නෙ "

පොඩිත්තා අයාගත් දෑසින් මව දෙස බලයි

" ඇයි අම්මේ එයාට වෙන කමිස නැත්තේ "

පොඩිත්තාගේ ප්‍රශ්න හමුවේ හෙම්බත් වී සිටි පොඩිත්තාගේ මව වහා පොඩිත්තාගේ කතාව වෙනතකට හරවයි


" අපි අවුරුද්දට සීයලා බලන්න ගමේ ගියාම ඔයාට පුලුවන් ඕන තරම් සෙල්ලම් කරන්න "

පොඩිත්තාගේ මුහුන හදිසියේ  අමුතු ආලෝකයකින් පිරේ

වහා අලුත් මිතුරා දෙසට හැරුනු පොඩිත්තා හඬ අවදි කරයි

" ඔයා යන් නැද්ද සීයලගේ ගෙදර  අපිනම් යනවා තාත්තට ගොඩක් නිවාඩු හම්බ උනා නේ අපි එහෙ ගිහින් ගගෙත් නානවා "

උඩ බිම බලමින් රියෙහි අසිරි විදිමින් සිටි අමුත්තා   අදුරු මුහුනෙන් යුතුව පොඩිත්තාට පිලිතුරු බදී

"අපේ ගම ඉතින් මෙහෙනේ. අපිට සීයා කෙනෙක් නෑ . අනික තාත්තට අවුරුද්දට නිවාඩු නිසා සල්ලිත් නෑ අවුරුදුත් නෑ."

පොඩිත්තා වහා මව දෙස බලයි 

" ඇයි අම්මෙ එයාගෙ තාත්තට නිවාඩු නිසා සල්ලි නැත්තේ අපේ තාත්තට නිවාඩු උනාට සල්ලි තියනවනේ මෙයා බොරු කියනව නේද අම්මේ "

"ඔයා බොරු කියන්නෙ "

" බොරු නෙවෙ අවුරුද්දට කඩ වැහුවම ලොරි එන් නෑ නෙ ඉතින් තාත්තට වැඩ නෑ ඉතිං සල්ලි නැ නේ එතකොට  "

 පොඩිත්තාට මේවා මහා ප්‍රෙහේලිකාවකි , පිලිතුරක් බලාපොරොත්තුවෙන් පොඩිත්තා විටෙක ම්වත් විටෙක් අමුත්තා දෙසත් බලයි


" පුතේ ඔය වීදුරුව වහන්න දූවිල්ල එනවා "

වැසී යන වීදුරුව අතරින් බොද වෙන පොඩිත්තාගේ රුව දෙස යාන්තමින් බැලු අමුත්තා තමන්ට පුරුදු මාවත ඔස්සෙ වීදි කෙලවරට පිය නගන්නට විය

රිය තුලට වූ පොඩිත්තා දෑතේ වූ  පුලුන් සුරතලා ගුලි කරමින් තම සිතේ වූ අන්තිම ප්‍රශ්නයත්  මවගෙන් විමසි‍ය

" අම්මේ එයා බොරු නේද කිව්වෙ එයාලටත් අවුරුදු නේද"

පිරී ඉතුරුන වීදි තුල සැමියාගේ රුව සොයමින් සිටි පොඩිත්තාගේ මවගෙන් දෙවරක් නොසිතාම පොඩිත්තාගේ ප්‍රශ්නයට පිලිතුරක් ලැබුනි

" ඔව්  පුතේ එයාලටත් අවුරුදු "






කෙලෙසක දෝ අම්මේ.......................  

Posted by නුවන් තිලංග in ,


                                               දරුවන්ටත් වස පොවා,මවත් වස බොයි .......(පුවතක්)



                                                  කෙලෙසක දෝ අම්මේ...............




  

රතු ලේ බිදු කිරි කර දුන් අරුමයෙන්
නැළවිලි ගී කියා නැළවු දැතින්
හිස පිරි මැද නිදි කරවු සුරතින්
වස පිරවු බදුනක් පෙව්වේ
කෙලෙසක දෝ අම්මේ......