ගොම්මන මැද්දෙන් ඇදී එන තුන් රෝද රියක එලියෙන් මග සටහන් කරගන්නා සිරිසෝම අඳුරේම නිවස කරා පියනගයි. ගෙවුනු වසර ගනනාවක් පුරා සේවය නිමවී මෙලෙසින්ම නිවස කරා ඇදෙන සිරිසෝමගේ සිත අද සතුටින් ඉපිලී ඇත.නගර සභා සුලු සේවකයකු වූ සිරිසෝම වසර ගනනාවකට පසු තම සේවා දිවිය පිලිබඳ සතුටින් ඉපිලෙමින් නිවස කරා ඇදෙන්නේ දහවල සිදුවූ සියල්ල සිරියාවතී හමුවේ කියාගන්නා තුරු නොයිවසිල්ලෙනි.
කදුගැටය අද්දරින් පහලට බැසගත් සිරිසෝම රතුමුදලාලිගේ කඩය දෙස හොරැහින් බලමින්ම පල්ලම් බසී
" ඔතෙන්ට ගියොත් තවත් පරක්කු වෙනවා" සිරිසෝම තමුන්ටම කියාගනී
මලානික අහසේ වැහි කෝඩයක පෙරනිමිති ඇදී ඇත. කඩුල්ල පැන්නූ සිරිසෝම ඉස්තෝප්පුව පසු කරමින් කුස්සි කෑල්ල දෙසට ඇදෙයි.
"ආ... ! මොකෝ අද මෙයා කුස්සිය පැත්තෙන්ම " සැමියාගේ හදිසි පැමිනිමෙන් හිස ඔසවා බැලු සිරියාවතී ලිපේ ඉදෙන හොද්ද දෙසට නැවත නෙත් යොමයි.
" ආ.. මෙකත් උයල ගනින්... පොඩි උන් නිදිද " නගර සභා හන්දියෙන් මිලයට ගත් මස් පාර්සලය සිරියාවතී දෙසට දිගු කරමින් සිරිසෝම සිහින් සිනාවක් පායි.
" අදනම් මොකක් හරි වාසියක් වෙලා වගේ " සැමියාගේ අමුත්ත ඉවෙන් හදූනාගත් සිරියාවති සිරිසෝමට දෙසට ලං වෙමින් පවසයි
" අද මාර වැඩක් නේ උනේ " පනින්නට බලා සිටි රිලවුන්ට ඉනිමං බැන්දා සේ සිරිසෝම කතාව පටන්ගයි.
"මොකක්ද උනේ "
" පෙරේදා අපි අර විල්ලවත්තේ ගෙවල් සුද්ද කරන්න ගියානේ .. එතනදි පාරට තිබ්බ කඩ වගයක් කැඩුවා සමරතුංගයා ඔතෙන්දි බඩු වගයක් අරගෙන ඇවිත්"
"ඉතිං..!" සිරියාවතී දෙඇස් නලලේ රදවමින් සිරිසෝම දෙස බලයි.
" කොහොම හරි ඕක අපේ ලොකු මහත්තයාට ආරංචි වෙලා අද උදේ ඔක්කෝම ගෙන්නලා හොදට දෙහි කැපුවා "
" ඉතිං අප්පේ ඔක්කෝටම බැන්නා නම් මොකෝ මේ ඔහේ අමුතු සන්තෝසෙකින් " සිරියාවති කතාවට හරස් වෙමින් විමසයි.
" අහගෙන ඉන්නවකෝ දැනුයි හොදම හරිය " කුප්පි ලාම්පූ එලියට නැටවෙන දෑසින් සිරියාවතී දෙස බලා සිරිසෝම නැවත කතාව අරඹයි.
" ලොකු මහත්තයා සමරතුංගයාට හොදටම දෙහි කැපුවා අර උගේ පස්සෙම වැටිලා ඉන්න සායම් ගුනෙත් හොදට අහගත්තා ඌත් ඔය වැඩේට හවුල්ය කියන්නේ.. ඊට පස්සෙ ලොකු මහත්තයා කිව්වා සිරිසෝම විතරයි මෙතන විශ්වාසයක් තියන්ඩ පුලුවන් මිනිහෙක්ට ඉන්නෙ හොර බොරුවක් වංචාවක් නැති මනුස්සයෙක්ට කියලා "
" නෑ.. සමරතුංගයාට පොලව පලං යන්න හිතෙන්න ඇතිනේ "
සිරියාවතීගේ මුහුනටද එලියක් වැටේ..
සමරතුංගයා කොහොමත් සිරියාවතීට අල්ලන්නේ නැත දවසක් ගම්සභා හන්දියේදි ටැක්ටරයේ යන ගමන් මොකක්දෝ නොහොබිනා කතාවක් කියාගෙන ගිය හැටි සිරියාවතීගේ සිහියට නැගේ.
" හොඳම වැඩේ ඕකට "
" ඉතිං ඉතිං... ඊට පස්සෙ "
මේස ලෑල්ලට හෙත්තූ වී සිටි සිරිසෝම බංකු කෑල්ල ඇද වාඩි වී නැවත කතාව අරඹයි
" පස්සෙ ලොකු මහත්තයා නීතියක් දැම්මා මීට පස්සෙ ඔය වගේ වැඩක් කරලා අහු උනොත් කෙලින්ම ගෙදර යවනවා කියලා අනික් එක සමරතුංගයා අදුරන එකෙක්ගේ කඩයක් තිබිලා ඒකට අතවත් තියලා නෑ රංජියලනම් කිව්වෙ ඒ මනුස්සයා සමරතුංගයාට සල්ලි දුන්නය කියලා "
" නෑ...! "
" නෑ නෙවේ ඔව්.. ලොකු මහත්තයා කිව්වා හෙටම ගිහින් ඒකත් අයින් කරන්න කියලා. හැබැයි ලොකු මහත්තයා කිව්වා මං ඒ වැඩ ටික මීට පස්සෙ බාර දෙන්නේ සිරිසෝමට කියලා. "
කතාව මදකට නැවතු සිරිසෝම අමුතු ආඩම්බරයක් මුහුනට නගා ගයි ඔහු සිරියාවතී දෙසට හැරී නැවත කතාව අරඹයි
" දන්නවද මීට පස්සෙ ඒ වැඩවලට මිනිස්සු බාරව යන්නේ මම. ලොකු මහත්තයා කිව්වා ටී . ඕ මහත්තයට කියලා මට ඒ වැඩ ටික බාර දෙනවා කියලා. මගෙ පඩියත් ටිකක් වැඩි කරනවා කිව්වෙ "
" කිරි අප්පේ අනේ වාසනාවන් .." සිරියාවතී ගේ මුහුනෙන්ද සතුට උතුරයි
" මම කොහොමත් හොර බොරු වංචා නෑ නේ නීතිය කාටත් එකයි මගේ එකාට උනත් එච්ච්රයි මට උනත් එච්ච්රයි .. හැම දෙයක්ම රටේ නීතියට වෙන්ඩ ඕන අපී එහෙම ජීවත් උනාම මිනිස්සු අපිට සලකනවා "
සිරිසෝම ආඩම්බරයෙන් පවසයි.
" හා හා දැන් ඕක උයලා ගනින් බඩත් කෑ ගහනවා " සැහැල්ලු කරගත් මනසින් සිරිසෝම බංකූ කෑල්ලෙන් නැගිට කුස්සිකෑල්ලෙන් එලියට ඇදෙයි
ඉස්තෝප්පු කෑල්ල දෙසට ඇවිද ආ සිරිසෝම. ඉස්තොප්පුවේ වූ බූරූ ඇදේ කෙලවරක වාඩි ගෙන බිත්තියට පිටදී නැවතත් දහවල් කාලයේ වූ දේවල් එකින් එක සිතේ මතුකරමින් තනිව මුමුනමින් ඔහුගේම ලෝකයක තනිව ගත කරන්නට විය.
කොතරම් කාලයක් සිහින ලෝකයක සිටියාදැයි සිරිසෝමට නිනව්වක් නැත කවුරුන් හෝ වැටකඩුල්ල ලග දඟලනා හඩකින් ඔහුගේ සිහින ලෝකය බිදුනි
" කවුද ..! "
බූරු ඇද මත වූ විදුලි පන්දම දල්වා ගත් සිරිසෝම කඩුල්ල දෙසට ඇදෙන්නට වෙයි. ඒ අතරේ ඔහු විදුලි පන්දම් එලිය වැට අද්දර සිටින්නා දෙසට එල්ල කරයි. වැහි මන්දාරම බිදිමින් විදුලි පන්දම් එලිය කඩුල්ල අද්දර සිටින්නාගේ මුහුන මතට වැටේ
" රම්‍යාලතා.... !." සිරිසෝම තමුන්ටම මුමුනයි
කඩුල්ල අද්දරට ලං වෙන සිරිසෝම දකිත්ම කඩුල්ල අද්දර උන් ගැහැණියද කටහඬ අවදි කරයි.
" අනේ සිරිසෝම අයියේ පොඩි කරදරයක් " ගැහැනිය හැඩුම් හඩකින් හඩ අවදි කරයි
" මොකෝ රම්‍යලතෝ.. මේ මහ රෑ මොකද උනේ.."
" අනේ අයියේ පොඩි එකා ඉස්පිරිතාලේ අයියේ හොදටෝම අමාරුයි. "
" නෑ..! ඒ මොකෝ නංගියේ "
" පෙරේදා උන ගත්තා හවසම ඉස්පිරිතාලේ එක්ක ගියා දැන් සිහියක් කටක් නෑ අයියේ "
අදුරේ උවද ගැහැනියගේ නෙතින් ගලා හැලෙන කදුලු සිරිසෝමගේ දෑසට පෙනේ
" හා.. හා යමන්කෝ ඇතුලට ගිහින්ම කතා කරමු..."
වයසින් හතලිස් විය ඉක්මවූ ගැහැනිය. සිරිසෝමලාගේ ඉඩම් කට්ටියට එපිටින් වූ පැල්පතක වෙසෙන්නෙකි. සැමියා හැරයාමෙන් දරු දෙදෙනෙක් සමග තනි වූ රම්‍යලතා. ජිවිතයේ අනේක වූ දුක් විදි ගැහැනියකි. එදා වේල වෙනුවෙන් ගැහැනියකට දැරිය නොහැකි වූ තරමේ ගැහැට හා ඔට්ටු වූ රම්‍යලතා නොහැකිම වෙලාවක හැර කිසිවෙක්ගෙන්වත් උදව්වක් නොඉල්ලන ගැහෙනියක් බව සිරිසෝම හොදින්ම දැන සිටියේය
සිරිසෝමලාගේ කතාබහේ හඩට ඉස්තෝප්පුව අසලට ආ සිරියාවතීද ගෙපැල දෙසට ඇදෙන රුව දෙසට එබිකම් හෙලයි
" ආ මේ රම්‍යලතානේ .. මොකෝ බන් මේ රෑ ජාමේ "
" අනේ සිරියෝ කොල්ලට හොදටම අමාරු වෙලා ඉස්පිරිතාලේ.. හෙට හවස් වෙද්දි බෙහෙතක් දෙන්න ඕනලු ඒකට විසිදාහක් ඕනය කියනවා "
" සීවරං දෙයියනේ ...." සිරියාවතී කම්මුලේ අත තබාගෙන සිරිසෝම දෙස බලයි
" දැන් මොකද කරන්නේ "
" අනේ සිරිසෝම අයියේ මං ලග තිබ්බ සබ්බ සකලමනාව එකතු කරලත් තියෙන්නෙ දහදාහක් විතර මොනව කරන්නද කියලා හිතාගන්න බෑ අයියේ "
ගලා යන කදුලු පිසිමින් රම්‍යලතා හූල්ලයි
" දැන් ඉතින් අඩලා වැඩක් නෑ නේ රම්‍යලතෝ අපි මේකට කරන්න දෙයක් බලමුකෝ "
" පොඩ්ඩක් හිටින් "
සිරිසෝම කුස්සි කෑල්ල දෙසට යමින් සිරියලතාට හිසින් කැදවීමක් කරයි සැමියාගේ කැදවීමට අවනත වෙමින් සිරියලතාද පසුපසින් ඇදෙයි.
කුස්සි කෑල්ලට ඇදුනු සිරිසෝම සිරියාවතී දෙසට හැරී හඩ අවදි කරයි
" මොකෝ සිරියෝ දැන් කරන්නේ .. රම්‍යාලතාට බැරිම වෙලාවක් ඇර කාගෙන්වත් උදව්වක් ඉල්ලන ගෑනියෙක් නම් නෙවේ "
" හ්ම්ම් ඒක තමා මාත් මේ කල්පනා කලේ ගිය මාසෙ සීට්ටු සල්ලි නැතිව උන්නු වෙලාවෙ එක දුන්නෙත් රම්යා නේ .. පව් අහිංසක ගෑනි "
" ඒක තමයි මං ගාව තුන්දාහක් ඇති ඒකවත් දෙමු වෙන මොනා කරන්නද "
" ඔව් එහෙම කරමු මං අහලා බලන්නම්කෝ හෙට සුමනාක්කගෙනුත් ඒකිගෙනුත් කීයක් හරි ඉල්ලගත්ත හැකි "
කතාවෙන් අනතුරුව දෙමහල්ලෝ නැවත ඉස්ස්තෝප්පු කෑල්ලට ඇදෙයි .විහිදෙන කුප්පි ලාම්පු එලියට පිල්කඩේ ඇනතියා සිටින රම්‍යලතාගේ රුවත් මිදුල මතට වැටුන සෙවැනැල්ලත් බොදවූ ච්ත්‍රයක හැඩතල මවයි.
" රම්‍යලතෝ මං ගාව එච්ච්ර සල්ලියක් නම් නෑ තුන්දාහක් විතර ඇති මම දැනට එක දෙන්නම් අපි බලමු මොකක් හරි කරලා ඉතුරු සල්ලි ටික හොයාගන්න ... "
" අනේ බුදු අයියේ පින් සිද්ද වෙනවා මං ඊලග මාසෙ වෙනකොට ඕක දෙන්නම් .. "
රූරා වැටෙන කදුලු අතරින් දෙඅත් එක්කරමින් රම්‍යලතා හඬයි
" උබට පිස්සුද රම්‍යලතෝ.. එව්වා පස්සෙ බලමු ඉස්සරවෙලා කොල්ලා ගොඩ දා ගමුකෝ මම හෙට බලන්නම්කො අතමාරුවක් වත් කරගන්න "
" අයියට පින් අයියේ මම හෙට හවස් වෙද්දි ඉතුරු සල්ලි ටිකත් හොයාගෙන ඉස්පිරිතාලේ යන්ට ඕන. "
" එහෙනම් තවත් රෑ වෙන්ට කලියෙන් ගෙදර පලයන් " සිරිසෝම් හා සිරියාවතීට නැවතත් යටහත් බැල්මක් හෙලු රම්‍යලතා කඩුල්ල දෙසට හැරේ
" ආ.. රම්‍යලතා උබ්ලා කෑවද " සිරියාවතී යමක් මතක් වූවකු සේ විමසයි
" තාම නෑ අක්කේ ගෙදර ගිහින් මොනවා හරි හදාගන්නවා පොඩි එකත් ගෙදර "
" ආ.. වරෙන්කෝ එහෙනම් යන්ට කලියෙන් කුස්සිය පැත්තට දැන් ආයෙ උබ ගෙදර ගිහින් උයන්ට වෙලාවක් තියනවයැ "
" අනේ එපා සිරියෝ මම මොකක් හරි රත්කරගන්නම් ගෙහින් "
" කට වහන් වරෙන් රම්‍යලතෝ.."
ආපසු හැරුනු රම්‍යලතා සිරියාවතී පසුපසින් කුස්සි කැල්ල දෙසට ඇදේ .. මද දුරක් ඔවුන් පසුපස ආ සිරිසෝම් ඉස්තෝප්පු කෑල්ලට ගොඩවී බුරූ ඇදට බරවිය..
++++++++++++++++++++++++++++++++++++++++++++
ලැයිම් කාමර පෙලියට ඉහලින් පහේ කෝච්චිය හඬදීගෙන දුවද්දී උදෑසන සීතල බිදිමින් සිරියලතා කුස්සි කෑල්ලේ ලිපගිනි මොලවයි. කෙත්ලය ලිප මත තැබූ සිරියලතා ඉස්තොප්පු කෑල්ල දෙසට ඇදේ.
" ආ මෙයා මොකෝ පාන්දරම නැගිටලා "
බුරූ ඇද මත වාඩී වී සිටින සිරිසෝම සිරියාවතී දෙසට හැරී බලයි..
" හිරිකඩේ බන් පාන්දරම නැගිට්ටවුනා .. අද ටිකක් කලියෙන් යන්නත් ඕන "
" ඒ මොකෝ.. අද දුරකවත් යනවද ..? "
" නෑ බං මම ඊයෙ කිව්වෙ දැන් ඉතින් ටිකක් පිලිවෙලකට වැඩ ටික කරගන්ඩ ඕන.. හැම එකාගෙම ඇහේ කටු ඇනිලා ඉන්න වෙලාවනේ .."
" ඔව් .. ඔව් ඉරිසියාකාරයෝ වැඩි වෙයි .. ඔහේ පරිස්සමින්"
"හ්ම්ම්... "
සිරිසෝම ඈත බලාගෙනම පිලිතුරු බදී..
"එහෙනම් මොනවා හරි උයලා ගනින්.. ඉක්මනට යන්ඩ ඕන "
කමිසය කරට දමා ගන්නා සිරිසෝම ලිද පැත්තට ඇදේ..
සිරියාවතී බැඳ දුන් බත් පතද ගෙන සුපුරුදු මග දිගේ රාජකාරියට යන්නට පිටත් වූ සිරිසෝම වෙනදාට වඩා ඉක්මනින් නගර සභා භූමියට ඇතුල් විය.. මග දෙපස හමුවන්නන් වෙනදාට වඩා තමා දෙස බලනවායැයි සිරිසෝමට සිතේ. කාර්‍යලයට ඇතුල් වූ සිරිසෝම ලොකු මහත්තයාගේ කාර්යාල කාමරය දෙසට ඇදෙයි.
" ආ සිරිසෝම මොකෝ අද උදෙන්ම "
සිරිසෝම දකිත්ම ප්‍රධානියා සිනාමුසු මුහුනින් විමසයි.. ලොකුමහත්තයා දෙස යටහත් බැල්මක් හෙලන සිරිසෝම මද සිනහවක් පායි.
" මම මේ සිරිසෝම එනකම් හිටියේ . සිරිසෝමට තියනවා අද ලොකු වැඩක් "
" මොකක්ද ලොකු මහත්තයෝ..?"
"සිරිසෝම දන්නවනේ අර ඉස්පිරිතාල පාර අද ඒකෙ අනවසර කඩ ටිකයි පේමන්ට් කඩයි අයින් කරනවා එතන වෙලදාම් කරන එක තහනම් කරන්න කියලා ඉහලින් ඕඩර් එකක් ඇවිත් තියනවා .. සිරිසෝම කට්ටිය අරන් ගිහින් අද ඒ ටික කරන්න ඕන .."
" අපි තනියමද යන්නේ මහත්තයෝ "
" නෑ .. පොලිසියෙනුත් එයි.. මොකෝ සිරිසෝම අකමැතිද "
" අනේ නෑ මහත්තයෝ මම යන්නම් .."
" හ්ම්ම්.. හැබැයි සිරිසෝම මේ වැඩ ටික හරියටම වෙන්න ඕන. මතකද මම ඊයෙත් කිව්වා.. මම මේ වැඩ ටික සිරිසෝමට භාර දෙන්නේ තමුන් ගැන විස්වාශයක් තියලා ඔතන ගිහිල්ලත් යාලු මිත්‍ර කම් වලට වැඩ කරන්න එපා තේරුනාද.."
" පිස්සුද ලොකු මහත්තයෝ .. මම කවදාවත් එහෙම කරනවද .. නීතිය නම් නීතිය .. ඒක මටත් එකයි මගෙ එකාටත් එකයි . අපි නීතියට ගරු කරන්න එපැයි "
" අන්න හරි සිරිසෝම ඔය ඔතන පේමන්ට් කාරයෝ නිසා ඉස්පිරිතාලෙට එන අයට ගොඩක් ප්‍ර්ශ්න . අනික ඔය අස්සෙ පොකට් කාරයොයි, කුඩු කාරයොයි .. ඒ නිසා ඔය කට්ටිය ඉක්මනට ඔතනින් අයින් කරන්ඩ ඕන "
" ඔව් ඔව් ලොකු මහත්තයෝ මම නොදන්නවැයි .. හදිසියකට වාහනයක්වත් හරවගන්න බෑ තමයි.."
සිරිසෝම තේජවන්ත පෙනුමක් ආරූඩ කරගනිමි කියයි
" බයවෙන්න එපා ලොකු මහත්තයෝ.. මම වැඩ ටික නූලට කරලා එන්නම් "
" හරි .. අන්න එහෙමයි වෙන්න ඕන සිරිසෝම. එහෙනම් වාහනෙත් අරගෙන කට්ටියත් දාගෙන දැන්ම පිටත් වෙන්න මන් පොලිසියට කියන්නම් "
රාජකාරී සටහන් පොතේ සටහනක් දැමූ සිරිසෝම රියගාල දෙසට ඇදේ.. ඒ වන විටත් පනගැන්වී තිබූ ලොරි රථයේ නැග සිටින්නවුන් අතර සමරතුංගද සිටින බව ඈත තියාම සිරිසෝමට පෙනේ.. මුහුනට මද සිනාවක් නගා ගන්න සිරිසෝම රථයට කිට්ටු වේ
" ආ වඩින්න වඩින්න අපේ අලුත් ලොක්කා "
ලොරි රථයේ පිටුපස එල්ලී සිටින සිරිසෝමට කවදත් හිතවත් රංජි සිරිසෝම දෙස බලමින් සිනහ නගයි .
" කවුද බන් අලුත් ලොක්කා.. " සිරිසෝමද කිසිවක් නොදත්තකු මෙන් සිනහ නගමින් පිලිතුරු බදී
" ආ ලොකු මහත්තයා එහෙනම් ඉස්සරහින්ම නගිමු "
රථයේ රියදුරු සේන ඉදිරි දොර අරිමින් සිරිසෝමට ආරාධනාවක් කරයි
සමරතුංගයාට පැලෙන්න හිතෙනවා ඇති සිරිසෝම තනිව සිතයි..
විහිලු තහලුවෙන් පිරි රථය හැල්මේ ඉදිරියට ඇදෙයි. ඉස්පිරිතාල හන්දිය පසු කරමින් ඉදිරියට ඇදි රථය පසු පසින් පොලිස් රථයක් ද එක්වී ඇත
ඉස්පිරිතාලය අද්දර වූ කඩපේලිය අද්දර රථ දෙක නතරවත්ම පදික වේදිකාවේ වෙලදාමේ සිටියවුන් කලබල වූ බවක් පෙනුනි. අතට අසුවූ බඩු මුට්ටු ගෙන පලායන්නට සැරසෙන වුන් පසු පස දඩ බල්ලන් මෙන් නගර සභා සේවකයන් පන්නා යන්නට විය..
ඉදිරි දොර ඇරගෙන බිමට බට සිරිසෝමද .. අමුතු ජවයක් ලද්දෙකු මෙන් පදික වේදිකාවෙ ගොඩ ගසා තිබූ පලතුරු ගෝනියක් ඔසවා ලොරි රථය තුලට විසි කරමින් ඉදිරියට ඇදෙන්නට විය.
" සෝමේ ඔය පාරේ තියන ඔක්කොම බඩු දාගනින් ලොරියට .."
යක්ශාවේශ වූවකු සේ සිරිසෝම මොරදෙයි.
" අනේ අයියේ මොනවද මේ කරන්නේ අපි මේවා දාල කොහෙ යන්නද "
පදික වේදිකාවෙ සිට්යකු සිරිසෝම සමීපයට පැමින හැඩුම් හඩින් විමසයි
" මේ රටේ නීතියක් තියනවා .. අපි කරන්නේ අපේ රාජකාරිය මේවා තහනම් වැඩ. උබලට කලින් දැනුම් දීලා තියනවනේ. දැන් කරන්න දෙයක් නෑ "
" එතකොට අපි ජීවත් වෙන්නෙ කොහොමද "
කරන දෙයක් නීතියට කරපල්ලා අපිට කරන්න දෙයක් නෑ. ජවයෙන් වැඩී සිටින සිරිසෝම ඔහු තල්ලු කොට දමා තවත් කඩයක් දෙසට ඇදෙයි.
පදික වේදිකාවෙ ගොඩ ගසා තිබූ රෙදි තොගයක් ගෙන සෝමදාස ලොරි රථය දෙසට ඇදෙයි.. ඔහු පිටුපසින් කෑ ගසමින් විලාප නගමින් රෙදි තොගයෙන් අදිමින් ගහැනියක් ඔහු වලක්වනු පෙනේ.. සිරිසෝම වහා ඔහුගේ සහයට දිව යයි
ඔහු සමීපයට ලං වත්ම දුටු දෙයින් සිරිසෝම තූෂ්නිම්භූත වෙයි
"රම්‍යලතා.....! "
සිරිසෝමට තමා වටා වූ ලෝකය කැරකෙන්නාක් මෙන් දැනේ
සිරි අයියේ මේ ගෑනිව ඇදලා දාපන් පැත්තකට සෝමදාස මොරදෙයි..
" පිස්සුද ලොකු මහත්තයෝ .. මම කවදාවත් එහෙම කරනවද .. නීතිය නම් නීතිය .. ඒක මටත් එකයි මගෙ එකාටත් එකයි . අපි නීතියට ගරු කරන්න එපැයි "
තමා මොහොතකට පෙර කියූ දේ සිරිසෝමගෙ දෙසවන් පුරා නැවත නැවතත් හඩනගන්නා සේ සිරිසෝමට දැනේ
සිරිසෝමගේ වෙව්ලන දෙතොල් ආයාසයෙන් විවර වෙයි..
" ඒ... ඒ.. අපේ කෙනෙක් සෝමේ...!!! "
This entry was posted
on Saturday, December 08, 2012
at Saturday, December 08, 2012
and is filed under
උපේන්ද්‍ර හර්ෂණගෙන්,
ඒ අපේ කෙනෙක්,
කෙටිකතා
. You can follow any responses to this entry through the
comments feed
.