හැමදාම ඉර පායන එක බොහොම කම්මැළි වැඩක්. නොදන්න කෙනෙකුට හිතෙන්නෙ, ඒක බොහොම ලෙහෙසි වැඩක් කියලා. නමුත්, උදෙන්ම පායන්නට ඕන; නැත්නම්, සත්තු කලබල වෙනවා; ගහකොළ කලබල වෙනවා. ඊට පසුව, දවස පුරා එකම ලතාවට ගමන් කරන්නට ඕන. දහවල් වෙනකොට පොළොව ගිනියම් වෙලා, රස්නෙ උහුලන්නට බැහැ. ඒත් වේගයෙන් යන්නට හැටියක් නැහැ; හැම කෙනෙක්ම වෙලාව ගණන් හදන්නෙ ඉර දිහා බලලා. හවසට ඉර බැහැලා ගියාට පසු හැම කෙනෙක්ම විවේක ගන්නවා. නමුත් ඉරට විවේකයක් නැහැ. ලෝකෙ අනික් පැත්තෙන් දුවලා ගිහින්, නැගෙනහිරට වෙලා රැකලා ඉන්නට ඕන, ආපහු උදා වෙන්නට වෙලාව එනතුරු.
ලෙහෙසි වැඩක් නොවෙයි. ඒ විතරක්ද? හරිම ඒකාකාරියි.
ඔන්න ඉරට කම්මැළි හිතුණා. ඉතින් ඉර තීරණය කළා නැගෙන්නෙ නැතුව ඉන්නට.
නැගෙනහිර හන්දියට කිට්ටුවෙන්ම, අන්ධකාර සාළුව පොරවාගෙන, ඉර හැංගුණා.
අලුයමින් අවදි වන කුරුල්ලො පුරුදු වෙලාවට කිචි බිචි ගාන්නට වුණා.
ගහකොළවල පිණි බින්දු මතුපිටට ආවා.
මිනිස්සුන්ට, අනික් සත්තුන්ට පුරුදු වෙලාවට ඇහැරුණා.
ඉර නැහැ.
කිචි බිචි ගෑව කුරුල්ලො කච බච ගාන්නට වුණා; කොචෑස් බචෑස් ගාන්නට වුණා.
පිණිබින්දු, ලොකු වතුර බින්දු වෙලා බිමට වැටුණා.
මිනිස්සු, සත්තු කලබල වෙලා කලුවරේම නැගිට්ටා.
ඉර නැහැ!
කලබල වුණු වෙලාවට හැසිරෙන හැටියෙන් එක එක්කෙනාගෙ ආකල්ප, පරණ අත්දැකීම්, පරිණතභාවය එහෙම බලා ගන්නට පුළුවනි.
සමහරු පරණ කතා කියන්නට පටන් ගත්තා: බොහෝම ඉස්සර කාලෙ, එක සැරයක් ඉර ඔහොම නොනැග තිබුණා නෙව! ඒ දවස්වල අපි තරුණයි...
තවත් සමහරු පහන් දල්වාගෙන, එහෙමත් නැත්නම් ඉව අල්ලාගෙන, පුරුදු වැඩ කටයුතු එහෙමම කරගෙන ගියා: ඉර නැගුණෙ නෑ කියලා, මේ වැඩ නවත්තලා බෑ නෙව.
තව තවත් සමහරු ඉහේ ඉඳන් පොරවාගෙන ගුලි වුණා: සීතලයි; අපිට බෑ; නැගිටලා මුකුත් කරන්නට විදිහක් නෑ; ඉරට හොඳනම්, අපිට මොකද?
තවත් සමහරු උද්ඝෝෂණය කළා: වහා ඉර උදා කරව්!
ඉර හැංගිලා බලාගෙන හිටියා.
ඔය අතරෙ ලෝකෙ අනික් පැත්තෙ වෙනමම ප්රශ්නයක්.
හඳත් තරුත් අහසින් බැහැලා ගිහින්, තමන්ගෙ පාඩුවෙ, පොළොව යටින් නැගෙනහිරට එනවා, රෑට උදා වෙන්නට තියෙන හින්දා.
ඉස්සරහින් ගිය තරු දැක්කා, නැගෙනහිර හන්දියෙ හැංගිලා ඉන්න තඩි, කළු රාස්සයා. දැකලා, බය වුණා. බය වෙලා, පස්සට පැන්නා.
ඊලඟට ආව තරුවලට ඉස්සරහට යන්නට හැටියක් නැහැ. ඉතින් ඔහොම ඔහොම, නැගෙනහිර හන්දියේ තරු පොදි ගැහෙන්නට වුණා. එතන ලොකු තදබදයක්. පිටිපස්සෙන් ඉන්න තරු ඉස්සි ඉස්සි, රාස්සයා බලා ගන්නට උත්සාහ කරනවා. ඉස්සරහින් ඉන්න තරු, තමන්ව තල්ලු වෙලා රාස්සයා ළඟට යැවෙයි කියලා පිටිපස්සට තෙරපෙනවා.
මේ හඳ විවේක ගන්න වෙලාව. හැමදාම යන පාර නිසා, ඇසුත් පියාගෙන ඔහේ පාවෙවී එමින් හිටිය හඳ එක පාරටම කටු ඇනිලා අවදි වුණා.
කටු, තරුවල වටේ තියෙන කටු.
"මොකද මේ? ඇයි නැවතිලා?" හඳ ඇහුවා.
"රාස්සයෙක්." තරු උත්තර දුන්නා.
හඳත් තරුවල කරට උඩින් ඉස්සිලා බැලුවා. ඇත්ත තමයි. තඩි කළු රාස්සයෙක්, ලෝකෙ දිහා හොරෙන් බලා ඉන්නවා.
"මොකද කරන්නෙ?" තරු හඳෙන් ඇහුවා. හඳ කල්පනා කළා.
"අපි සාකච්ඡා මාර්ගයෙන් ප්රශ්නෙ විසඳ ගනිමු." හඳ කිව්වා.
තරු වළල්ල මැද ඉඳන්, හඳ රාස්සයාට කතා කළා.
"මේ... ඔතන කවුද?"
ඔන්න, එතකොට තමයි ඉර ආපහු හැරිලා බැලුවෙ. එතකොට තමයි ඉර දැක්කෙ, තමන් මග අහුරාගෙන ඉන්න හින්දා, තරුත් හඳත් හිර වෙලා බව.
"මම, ඉර." කියලා උත්තර දෙන්නට ඉර හිතුවා විතරයි; ඉරට දඟකාර හිතක් පහළ වුණා.
"මම, රාස්සයෙක්!" ඉර අන්ධකාර සළුව අස්සෙ හැංගිලා උත්තර දුන්නා.
තරු බය වෙලා තව තවත් හඳට කිට්ටු වුණා. තෙරපෙන තරුවල කටු හැම පැත්තෙන්ම ඇනිලා, හඳට හුඟක් තුවාලයි.
බය වෙලා ඉන්න තරු දැක්කහම, ඔවුන්ව තවත් බය කරන්නට ඉරට ආස හිතුණා. ඒ හින්දා ඉර බොහොම භයානක විදිහට හිනා වුණා.
"හොහ් හොහ් හොහ්! හොහෝහ් හොහ් හොහ් හොහ්!!"
තරු තව තවත් හඳට තුරුල් වුණා.
"අපි මොකද කරන්නෙ?" ඔවුන් ඇහුවා.
හඳ කල්පනා කළා. බොහොම කල්පනා කළා.
හඳත් බය වෙලා බව ඉරට තේරුණා. ඉරට තව තවත් දඟ කරන්නට හිතුණා. ඒ හින්දා ඉර ඔවුන් ඉස්සරහට පැනලා ආයෙමත් භයානක විදිහට හිනා වුණා.
"හොහ් හොහ් හොහ්! හොහෝහ් හොහ් හොහ් හොහ්!!"
හඳත් බය වෙලා පස්සට පැන්නා. ඉස්සරහින්ම හිටිය තරුත් පස්සට පැන්නා. පිටිපසින් හිටිය තරුවල කටුත්, ඉස්සරහින් පැන්න තරුවල කටුත් ඇනිලා හඳට තවත් තුවාල වුණා. හඳේ වැදිලා, තරුවල කටු අග කැඩිලා තුවාල වුණා.
තුවාල වුණු හින්දා හඳටත් තරුවලටත් තරහ ආවා. තරහ ආව හින්දා බය අමතක වුණා.
"අපි රාස්සයව පන්නමු." පුංචි තරුවක් යෝජනා කළා.
"පන්නමු! පන්නමු!! පන්නමු!!!" හැම තරුවක්ම තරහෙන් කෑ ගහන්නට පටන් ගත්තා. හඳ පවා රවා බැලුවා.
ඉර, තමන්ගෙ දඟකාර සෙල්ලම නතර කළ යුතුව තිබුණා....
මං එහෙම කියන්නෙ, එයින් පස්සෙ සිදු වුණු දේ බොහොම භයානක හින්දයි.
බොහොම නිසංසල කෙනෙක් වෙන හඳට තරහ ආ විට, බොහොම දරුණුයි. කල්පනා කරන්නටවත් නොනැවතී, හඳ, තමන්ගෙ අතට අහු වෙන අහුවෙන දෙයින් ඉරට දමා ගහන්නට වුණා.
අතට අහු වෙන්නට හිටියෙ තරු.
ලෙහෙසියෙන්ම අතට අහු වෙන්නට හිටියෙ, පුංචි තරු.
විශාල ඉරෙහි වැදුණු තරු බොහොමයක් එතැනම අවසන් ගමන් ගියා. තවත් තරු බොහොමයක කටු කැඩී බිඳී ගියා. තරුවලට තුවාල කරන හින්දා, සමහර තරු හඳත් එක්ක තරහ වුණා.
තරු වැදිලා ඉරටත් තුවාල වුණා. ඉර පොරවාගෙන හිටිය අන්ධකාර සළුව, තරු හින්දා සිදුරු වුණා. සිදුරු වුණු සළුව අතරින්, හැංගිලා හිටිය රාස්සයා ඉර බව පෙනෙන්නට පටන් ගත්තා. එතකොට තරුවල බයත් නැතිව ගියා. බය නැති තරු ඉදිරියට පැන, ඉරට පහර දෙන්නට වුණා.
ඉරුණු අන්ධකාර සළුවත් එහෙන් මෙහෙන් එල්ලෙද්දි, ඉර ඉස්සරහට පැනලා දුවන්නට වුණා.
"අන්න ඉර පායනවා." මිනිස්සු සතුටින් කිව්වා. "බොහොම ප්රමාද වෙලා ඉර පායනවා."
සත්තු ඈනුම් ඇරලා නැගිට්ටා.
ගහකොළ අවදි වුණා. මල් පිපුණා.
මිනිස්සු, සත්තු, ගහකොළ ඉරට කැමති බව පෙනුණ හින්දා, හඳත් තරුත් ටිකක් අදිමදි වුණා ඉර පසුපස දිගට පන්නන්නට. පසුපසින් පන්නන්නට කෙනෙක් නැති බව දැක්ක ඉර, බොහොම අහංකාරෙට හෙමින් ගමන් කරන්නට වුණා.
ඒ වුණාට, ඉරුණු අන්ධකාර සළුවෙ කෑලි තවමත් ඉරේ එල්ලෙනවා. ඒවට තමයි මිනිස්සු හිරු ලප කියන්නෙ.
හිරු බැස ගියාට පසු, නැත්නම් බැස යන්නට කිට්ටු වූ පසු තවමත් හඳත් තරුත් පායනවා. හඳේ තුවාල සුව වෙලා වුණත්, කැළැල් තවම පේනවා. ඉස්සර තිබුණ පුංචි තරු සෑහෙන ගණනක් අඩු වෙලා. ඒත් ඒ බව එතරම් පෙනෙන්නෙ නැහැ.
කෑම පාර්සලය ලිහා ගන්නා සුසන්ත ප්රවේශමෙන් බත් කටක් අනා, පසෙකින් තබයි. අනතුරුව බත්පත දෙස බලාගෙන කල්පනාවක නිමග්න වෙයි.
බත්පත දිගහරින්නටත් පෙර පපඩම අතට ගෙන කෑම අරඹන මයුරි හොරැහින් එදෙස බලන්නීය.
"සුසන්ත අය්යනම් කන්ඩ කලින් භාවනා කරනවා. මටනම් උදේට කන්නෙත් නැති හින්දා කනකම් ඉවසුම් නෑ."
"පුළුවන් වෙලේක හරි කන්ඩ ඉස්සෙල්ලා තමන්ටම මතක් කර ගන්ඩ, 'මේ ආහාරය හුදෙක් මාගේ යැපීම සඳහා පමණයි; රසය පිණිස නොවේ; මදය පිණිස නොවේ...'"
"ඔච්චරනම් කිය කිය ඉන්ඩ බෑ බං." සංජය කටේ කෑම පුරවාගෙනම හරස් කපයි. "ඕනෙනං 'මේ ආහාරය හු!' කියල විතරක් කියන්නං."
කෑම කටේ තියාගෙනම සිනාසෙන මයුරිට කැස්සක් එයි. සුසන්ත සිනාවට එක් වෙමින් බත් අනයි.
"කට්ටියම ඉන්නවා නේද?" අතුල කොහෙන්දෝ කඩා පාත් වී, දේශපාලන හිනාවක් පා, සගයන්ගේ පිටට තට්ටු දමයි. "මේ සැරේ අපි වෙනම ඉල්ලනවා, ආරංචි ඇතිනෙ?"
මයුරි පපඩම ටිකක් සද්දෙන් හපා, බත් අනාගෙන අනාගෙන යයි. ඇයට වෘත්තීය සමිතිකාරයන් පෙන්නන්නට බැරිය.
සුසන්ත නිවුණු මුහුණින් මයුරිගේ ක්රියාව නරඹා අදහස් දක්වයි.
"ඉස්සර ලංකාවෙ හාමුදුරුවරු ඉඳල තියෙනවා, දන් වළඳන ගමන් රහත් වුණු. දන්නවද මයුරි?"
"උඹ තාම නංගිලට බණ කියන එක නවත්තල නැද්ද බං?" අතුල අසල මේසයකින් පුටුවක්
ඇදගෙන වාඩි වෙයි. අනතුරුව තවත් කාලය නාස්ති නොකර, අතැති ලිපිගොනුව මේසය මත
තබා ප්රේක්ෂකයන් දෙස බලයි.
"මෙන්න තියෙනවා කට්ටිය කියවල බලන්ඩ."
"මොකද්ද? උඹේ ප්රතිපත්ති ප්රකාශනයද?" සංජය හොරැහින් එදෙස බලයි.
"කියවලම බලන්ඩ." අතුල ලිපිගොනුව විවර කර අතින් දක්වයි.
වෘත්තීය සමිති කටයුතු සහ ඉන් ලැබිය හැකි ප්රතිලාභ ගැන උනන්දු වන කීපදෙනෙක් ලිපිගොනුව වෙත ඇදෙති. හිතින් මැන ගත් ගණ පූරණය සම්පූර්ණ වූ කල අතුල කතාව අරඹයි.
"පහුගිය අවුරුදු දහය ඇතුළත, අපේ කණ්ඩායම මුල් වෙලා දිනා ගත්තු දේවල්.
මම පටන් ගන්නම් ගිය අවුරුද්දෙන්. ගිය අවුරුද්දෙ කාරක සභාවෙන් පස් දෙනෙක් මේ සැරේ අපිත් එක්ක වෙනම ඉල්ලනවා..."
"මට ප්රශ්නයක් තියෙනවා." චාමර කතාවට බාධා කරමින් එක එල්ලේ අතුල දෙස බලයි.
"හරි." අතුල පුටුව මඳක් පසුපසට ඇද, කකුලක් පිට කකුලක් දමා ගනී. දකුණත පහසුවෙන් කකුලක් මත රඳයි. වම් අත කතාවට අනුව ලෙළ දෙයි.
"මම ලෑස්තියි ඕනෙම ප්රශ්නෙකට උත්තර දෙන්ඩ. නමුත් මට ඕනෙ මුළින්ම පැහැදිලි කරන්ඩ....."
කතාව ඇදී යයි. ප්රතිවාදී පිලෙහි කිසිවෙකු භෝජනාගාරයෙහි නොමැත්තෙන් අතුලට රිසි පරිදි ප්රධාන නළු චරිතයට ආවේශ විය හැක.
"අය්යා කළු වෙලා..." කතාව තත්පර ගණනකට නිහඬ වු විටෙක සොනාලි ඇද පැද කියයි. පුරුෂ පක්ෂය කට කොණකින් සිනාසී ඈ දෙස බලත්.
"කළු වෙලා කියන්නෙ, පහුගිය ටිකේ හරියට කෑවෙත් නෑ. මට ඒකනම් ප්රශ්නයක් නෑ. හැබැයි එදා ඇමතිතුමා හම්බෙන්ඩ ගිය වෙලාවෙ..."
අතුල සොනාලිගේ සිත නොරිදවා නැවතත් නිවැරදි පීල්ලට කතාව මෙහෙයවයි. සුසන්ත අවසරයක් ලැබුණාක් මෙන් පුටුවෙන් නැගිටියි.
"උඹ යන්ඩද මචං?" අතුල හැම ඡන්දයක්ම තමාට වැදගත් බව හඟවන බැල්මකින් සුසන්තට සංග්රහ කරයි.
"වැඩ වගයක් තියනව, ඉවර කරල දැම්මනම් ලේසියි."
"කොළයක් ගත්තෙ නෑනෙ? මෙන්න. නිකං ඉන්න වෙලාවක කියවල බලන්ඩ." අතුල පත්රිකා
කිහිපයක්ම සුසන්ත අත තබයි. මයුරිද නැගිටින බව දකින ඔහු ඇයට පත්රිකා
කිහිපයක් දීම පිළිබඳව සිතෙන් සළකා බලා, ඒ අදහස බැහැර කරයි.
*****************************************
"මට දික්කරානං එහෙම එතෙන්දිම ඒකෙන් අත පිහින්ඩ හිටියෙ මං." මයුරි සුසන්ත සමග පවසන්නේ අත් සෝදන අතරතුරය.
"නිකං මිනිස්සු තරහ කරගන්ඩ ඕන නෑ. මොනව වුණත් අතුලයා හිතවත් අපිට."
"ඒ වුණාට මට අල්ලන්නෙ නෑ. ඉස්සරම මතකද, 'අපේ ඇමතිතුමා' කියා ගත්තු ගමන්
හිටියෙ. ඊට පස්සෙ ඒ මිනිහටම පළු ගැලවෙන්ඩ බැන බැන හිටියා. දැන් ආයෙමත් මෙලෝ
ලැජ්ජාවක් නැතුව ඇමතිගෙ ගෙදරට රිංගුව කතා කියනව."
"ආ, ඒ පාර මයුරි බණ කියනවද සුසන්තට?" චට පට ගා කියවන මයුරි දෙස බලමින් සංජය සිනාසෙයි. ඔහුද අතුලගේ කතාවෙන් මිදී පැමිණ ඇත.
"කට්ටිය ඔහේ අහගෙන ඉන්නව නේද?" මයුරි පිරිස දෙස බලමින් භෝජනාගාරයෙන් පිටවෙයි.
"මේකනෙ මයුරි, හැම මිනිහටම ඕනෙ තමන්ගෙ මොකක් හරි වැඩක් කරවගන්ඩ විදිහක්.
එක්කො ළමයෙක් ඉස්කෝලෙ දාගන්ඩ. එක්කො කීයක් හරි වැඩියෙන් හම්බ කරගන්ඩ. එක්කො
ශිෂ්යත්වයක්. මොකක් හරි දෙයක්. ඉතින් කාගෙන් හරි ඒ දේවල් කර ගන්ඩ
පුළුවන්ද කියල බලනවා. ඒකට වැරැද්දක් කියන්ඩත් බෑ."සංජය දැනුම් තේරුම් ඇති
විලසින් පැහැදිලි කරයි.
"මොකද බැරුව?"
"ඔයාට ඒ දේවල් ඕනෙ නැතුව ඇති දැන්. ඒත් අවශ්යතාවය තියෙන මිනිහ..."
"අය්යෝ, මේ, ඕක ගැන කතා කරන්ඩ ගියොත් දැන් අපි දෙන්න නිකං ගහ ගන්නවා." මයුරි කතාව නවත්වයි.
"මනුස්සයෙකුට වෙනස් වෙන්ඩ බැරිද?" සුසන්ත හදිසියේම පැණයක් නගයි.
"ඇයි බැරි? අර හිටියෙ කටුස්සෙක්, එහෙම්පිටින්."
"අපි හැමෝම කටුස්සො." සුසන්ත කල්පනාවෙන් කියයි.
"මම කටුස්සෙක් නෙවෙයි." මයුරි තදින් කියයි.
"නෑ නේන්නං. ඔයා කටුස්සියක්." සංජය පිළිතුරු දෙයි. මයුරි ඔහුගේ ඉලයට අනී.
"මම මෙතනින් යනවා." සුසන්ත කාර්යාලය දෙසට හැරෙයි.
"මම බැංකුවට යන්ඩ ඕන. ටාර් ගාල දුවල එන්නම්." මයුරි ගේට්ටුව දෙසට පිය මනී.
*****************************************
"හැම එකාටම මේ වෙලාවමද මන්ද තියෙන්නෙ මෙතනට එන්ඩ."
බැංකුවේ පෝළිමෙහි සිටින මයුරි ඔරලෝසුව දෙස බලමින් කල්පනා කරයි. දැනටමත් ඇය
පැය භාගයකට ආසන්න වේලාවක් සිට ඇත. අනෙක් පෝළිම් සියල්ල ඉදිරියට ඇදේ. මේ
පෝළිමට පමණක් කුමක් වීද? ඈ පැත්තකින් එබී බලයි. නමුත් කවුන්ටරය නොපෙනේ.
"කාගෙද සල්ලි මිටි වගයක් ගනිනව.." මයුරි බලන්නේ කුමක්දැයි අනුමාන කළ ඉදිරියෙන් සිටින තැනැත්තා කියයි.
"මයුරි?"
අතුල ළඟට එනතුරුම නොදැකීම පිළිබඳව මයුරි තමන්ටම සාප කර ගනී.
"මොකක්ද වැඩේ?"
මූට මොකටද ඒක?
එහෙත් මයුරි වෙහෙසට පත් හඬින් තමන් ආ කාරණය කෙටියෙන් කියයි. නොඑසේනම් අහල
පහළ සිටින මිනිසුන් යමක් හිතන්නට පුළුවන. අතුල තරමක් ඇයට කිට්ටු වී, අවට
සිටින්නන්ට නෑසෙන පරිදි සෙමෙන් මුමුණයි.
"හදිසියක් නැත්නම්, මගෙ යාළුවෙක් ඉන්නවා බැංකුවෙ, එයා අතට දීලා ගිහෑකි. හවසට යන ගමන් රිසිට් එක අරගෙන, මම හෙට ඔයාට ගෙනත් දෙන්නම්."
මයුරිගේ සිත දෙපැත්තට වැනේ. දැනටමත් ඇයට වෙහෙසය; එසේම කාර්යාලයට යාමට
ප්රමාද වේ. අතුලගෙන් උදව් ලබා ගැනීමටද ඇය අකමැතිය. එහෙත් හතුරෙක් වුණත්,
උදව්වක් කිරීමට ඉදිරිපත් වූ මිනිහාගේ හිත රිදවිය නොහැක.
"නෑ, කමක් නෑ අතුල, තව ටික වෙලාවයිනෙ."
"දෙන්ඩකො..." අතුල අත දිගු කරයි. "දෙන්ඩ, දෙන්ඩ. ඕක පොඩි වැඩක්."
මයුරි අදාල කඩදාසි සහ මුදල් ඔහුට ගන්නට ඉඩ හරින්නේ පැකිළෙමිනි.
"අතනින් වාඩි වෙලා ඉන්ඩ."
පෝළිමේ සිටි මිනිසුන් තමන් දෙස බලන බව ඇයට පෙනේ. එහෙත් ඇය ඒ නොපෙනෙන්නාක් මෙන් අතුල බැංකුවේ සේවකයන්ට වෙන් වූ කොටසකට එබෙනු බලා සිටී.
*****************************************
"මාර දාඩියයි නෙහ්?" බැංකුවෙන් පිටතට බසින ගමන් අතුල විමසයි. "අයිස්ක්රීම් එකක් කාලා යමුද?"
මයුරි තීරණයකට එළඹෙන්නටත් පෙර අතුල බැංකුවට යාබද රසහල වෙත යයි. මයුරිද ඒ පිටුපස ඇදේ; මතක ඇති කාලෙකින් පලතුරු සලාද සමග හිමකිරම කා නැත.
මේ රසහලට මින් පෙර ඇය පැමිණ ඇත්තේ එක්වරකි. ආහාර පිණිස ගන්නා පලතුරු ආදිය
වීදුරු අල්මාරියක් තුළ අඩුක් කර ඇත. කහ පැහැ නිල ඇඳුම් හැඳි සේවක සේවිකාවෝ
කඩිසරව ඇනවුම් භාර ගනිති; ගනුදෙනුකරුවන්ට පෙනෙන්නටම පලතුරු කපා සූදානම්
කරති. බිත්තියෙහි රේඛා සිතුවම් කිහිපයක් එල්ලා ඇත.
"කලින් නොකිව්වට, මට මයුරිව ඉස්කෝලෙ යන කාලෙ ඉඳලා මතකයි, දන්නවද?"
අතුල වෘත්තීය සමිති කතාබහ අරඹනු ඇතැයි බලාපොරොත්තුව සිටි මයුරිට, මේ අනපේක්ෂිත මාතෘකාවකි.
"ඔයා අපේ ඉස්කෝලෙමද?"
"නැහැ. ඒත් ඔයා නවෝදෙ පන්ති ආවා නේද?"
"ඔව්. ඒත් මට ඔයාව මතක නැහැ."
"මතක හිටින්නෙ කොහෙද? ඔයා ඔලුව උස්සල බලන්නෙ නෑනෙ ඒ කාලෙ."
නීරස ළමා කාලය සිහි කිරීම නිසා මයුරිට පාළු ගතියක් දැනේ. සේවකයා පලතුරු
සලාදය පිළි ගැන්වීමට පැමිණීම නිසා තත්වය මඳක් සමනය වේ. උඩින් හිමකිරම දමා
ඇති හෙයින් යටින් ඇති පලතුරු හරි හැටි නොපෙනේ.
"මේ දවස්වල ඉතින් පැණි කොමඩුම තමයි." පැත්තෙන් බඳුන පිරික්සන අතුල කියයි.
මයුරි හිමකිරම ටික කාගෙන කාගෙන යන්නීය. බොහෝ වේලා පෝළිමේ සිටි ඇයට දැඩි
පිපාසයක් තිබුණු බව හරිහැටි තේරෙන්නේ, සීතල හිමකිරම කැටිති දිවෙහි දියවෙන
විටය. ඇය කතාබහ නොකර සිටීම අතුලට අපහසුවකි. සංවාදයට රිසි ඔහු තවත්
මාතෘකාවක් ඇද ගනී.
"සුසන්ත හුඟක් බණ දහම් දන්නවා නේද?"
එය ප්රවේශමෙන් ඉදිරිපත් කළ මුට්ටියකි; මයුරි බණට ලැදිද නැද්ද යන වග අතුලට හරියටම පැහැදිලි නැති නිසාවෙනි.
"ඔව්..." පැණිකොමඩු කෑල්ලක ඇටයක් හැන්දෙන් ඉවත් කිරීමට වෙර දරමින් මයුරි
පිළිතුරු දෙයි. ඒ පිළිතුරෙන් සුසන්ත පිළිබඳව ඇගේ ස්ථාවරය පැහැදිලි නොවන
මුත් මාතෘකාවට ඇගේ අකමැත්තක් නැති බව අතුල අනුමාන කරයි.
"සංජය ඒකෙ අනික් පැත්ත..." ඔහු තවත් අදහසක් ඉදිරිපත් කරයි.
"ඔව්..." මොට්ට හැන්දකින් කොමඩු ඇටයක් ඉවත් කිරීම පහසු නැත. කොමඩු කෑල්ල
එහාට මෙහාට පනී. එය කටට ගෙන හපා, අනතුරුව ඇටය එළියට පිම්බහොත් අතුල තමන්
ගොඩේ එකියකැයි සිතනු ඇත්ද? කොමඩු කෑල්ල ඉතිරි කිරීමටද ඇය අකමැතිය. රසහලෙහි
වෙන සිටින්නේ කවුරුන්දැයි මයුරි අල්මාරියේ වීදුරුවෙන් පිරික්සයි. තරමක
සෙනගක් එහි වෙත්. මයුරි කරන්නාක් මෙන්ම වීදුරුවෙන් මයුරිව පිරික්සන තවත්
දෑස් කීපයක්ම ඇයට හමු වෙයි.
"ඔයා කොතනද එතකොට?" අතුල මයුරිගේ කොමඩු කෑල්ල දෙස විමසුම් බැල්මක් හෙළමින් අසයි.
මේ ඉලව් කොමඩු... හදිසියේම මයුරිට දහවල් සංජය කියූ කතාවක් සිහි වෙයි: මේ ආහාරය හු!
"ඇති යන්තං ඩිංගක් හිනා වුණා." අතුල කියයි. "මෙච්චර වෙලා රවාගෙන හිටියෙ. මට හීන් දාඩිය දාල හිටියෙ මගෙත් එක්ක තරහෙන්ද කියලා."
"නෑ, මේ දවල් සංජය කිව්ව කතාවක් මතක් වුණා."
"මොකක්ද?"
"සුසන්ත අය්යා කිව්වා කන්ඩ ඉස්සෙල්ල භාවනා කරන්ඩ කියල, මේ ආහාරය හුදෙක් යැපීම සඳහාය, අරක මේක පිණිස නෙවේය කියලා. දිග විස්තරයක්..."
"සුසන්තයනං කියයි; ඉතිං?"
"එතකොට සංජය කිව්වා, එච්චර කියන්ඩ බැරිය, ඕනෙමනං මේ ආහාරය හු! කියල කියන්නංය කියල."
මයුරිගෙන් දිගු පිළිතුරක් ලැබුණේ බොහෝ වේලාවකට පසුව නිසා, ඊට අනුග්රහ
වශයෙන් අතුල ටිකක් වැඩිපුර සිනාසෙයි. ඒ සිනහව අමතර බව වැටහීම නිසා මයුරි
අසන්තෝෂයට පත් වෙයි. තමන් දැන් මේ මිනිහාගෙන් උදව්වක් ලබාගෙන ඇත. ඒ නිසා
ඔහුගේ හිත රිදෙන යමක් කිව නොහැක. ඇය ඉන් වඩාත් අසන්තෝෂයට පත් වෙයි. ඇගේ
අසන්තෝෂය අතුලට ඉව වැටෙයි. ඔහු වහා කතාව අරඹයි.
"ඕවා ඔය පැවිද්දන්ට දෙසුව බණ..."
"ගිහියන්ට කියල වෙනම සාසනයක් නෑනෙ. ඔය බණම තමා."
මයුරිගේ හඬ සැර වෙන්නේ ඇයටත් නොදැනීමය. මොනවා කරත්, සුසන්ත මේ මිනිහාට වඩානම් හොඳය. ඔහුව හෙළා දැකීමට මෙවැනි මිනිහෙකුට ඉඩ දිය නොහැක.
අතුල ක්ෂණයකින් කතාව හරවයි.
"ඔව්, ඒක තමා මමත් කියන්නෙ. පැවිදි කෙනෙකුට ලේසියෙන් අනුගමනය කරන්ඩ
පුළුවන්. ගිහියෙකුට අමාරුයි. මොකද, යැපීම විතරක් නෙවෙයිනෙ අපිට අනික්වත්
වැදගත්, සමහරවිට යැපීමට වඩා..."
"හරී!"
මයුරි එකවරම තමන් සමග එකඟ වීම අදහා ගත නොහැකි නිසා අතුල මඳකට කතාව නවතයි.
මයුරි ලැජ්ජාවෙන් ඔහු දෙස බලයි.
"මං මේ කොමඩු ඇටේ ගලව ගන්ඩ බැරුව හිටියෙ මෙච්චෙල්ල. දැන් ගැලවුණා."
*****************************************
සවස තුනට ආසන්නය.
තේ පානය සඳහා හැම දෙනාම භෝජනාගාරයට නොඑනමුත් බොහෝ දෙනෙක් යමක් හපමින් විනාඩි පහළොවක් විස්සක් ගෙවීම පිණිස එහි එති. කල් යල් බලා, පත්රිකා මිටියක්ද රැගෙන අතුල එහි ඇදේ.
භෝජනාගාරයෙහි දොරකඩ සිට ඔහු ඇතුළත සිටින පිරිස පිරික්සයි. මැද හරියේ පුටුවක
හිඳ චාමර අත වනයි. මඳ සිනහවකින් මුව සරසාගෙන අතුල ඔහු වෙත පිය නගයි. කෙළවර
ආසනයක හිඳ සිටින ප්රතිවාදී පිලෙහි ආධාරකරුවකු වන ප්රනාන්දුව ඔහු දකින්නේ
අහම්බෙනි. දැන් ඉතින් මගහැර යාම තත්වයට මදිකමකි. කාණු කටක් ඇති ප්රනාන්දු
සමග හැප්පෙන්නට අතුල අකමැතිය.
"පත්රිකා ටික බෙදලා යනවා." ඔහු සිතා ගනී. "බය වෙන්නෙ මොකටද එක අතකට? මුකුත් කියාගෙන ආවොත් තව හොඳයි; මට ඒකම අවස්ථාවක් කරගන්ඩත් පුළුවන්." ඒ සමගම යළිත් සිතේ.
"උඹෙන් මං අහන්ඩ හිටියෙ." සුමිත් කතාව පටන් ගන්නේ අතුල වාඩිවීමටත් ප්රථමය. "අතිකාල ප්රශ්නෙට මොකද වෙන්නෙ?"
"මෙහෙමයි." අතුල කිහිපවරක් එකිනෙකාට පැහැදිලි කිරීමෙන්ම හිතේ පිළිවෙලකට සැකසුණු පිළිතුර අරඹයි.
"මුළින්ම, ඕකට හදිසි විසඳුමක් නෑ. එහෙම තියෙනවයි කියලා මම උඹලව රවට්ටන්නෙ නෑ."
ඈත කෙළවරෙහි ඇති සෙවණැල්ලක් නැගිට තමන් වෙත එනු අතුලට ඇස් කොණෙන් පෙනේ. ඔහු ඒ පිළිබඳව අවබෝධයෙන්ම කතාව ඉදිරියට ගෙන යයි.
"අපිට ඉලක්කයක් තියෙනවා. ඒක දැනට හම්බෙන ගාන වගේ පස් ගුණයක්. කිව්ව ගමන් ඕන කෙනෙක් හිතන්නෙ ඒ ගානනම් කවදාවත් ගන්ඩ වෙන්නෙ නෑ කියල. ඒකයි තත්වෙ. නමුත්..."
සෙවණැල්ල දැන් ළඟටම පැමිණ ඇත.
"උඹලට මොකක්ද තියෙනවය කිව්වෙ?"
ප්රනාන්දුගේ හඬ සැරපරුෂය. අතුල මේ දැන් දැක්කාක් මෙන් ඔහු දෙස බලයි.
"අපිට තියෙනව ඉලක්කයක්, උඹලට නැති." අතුල ප්රනාන්දුගේ ඇස් දෙස කෙළින් බලා හඬ උස් කර කියයි.
අවට රැස් වන්නන් තමන්ට හෝ ප්රනාන්දුට සහය නොදක්වන බවත්, සිද්ධිය පසුව වාර්තා කිරීම පිණිස පමණක් උනන්දුවෙන් බලා සිටින බවත් අතුල වටහා ගන්නේ අත්දැකීමෙනි.
"ඔව් තොපිට තියෙනව ඉලක්කයක්- මිනිස්සුන්ගෙ ප්රශ්න වවාගෙන කන්ඩ!" ප්රනාන්දු එකවරම ගුගුරයි.
"ප්රශ්න වවාගෙන කෑවෙ කවුද?" අතුල මේසයට මිටින් පහර දී විමසයි.
"කවුද?" ප්රනාන්දුද මේසයට මිටින් පහර දෙයි.
හදිසියේම අතුලට මෙතැනට කොහෙත්ම නොගැලපෙන සංජයගේ කීම සිහි වෙයි:
මේ ආහාරය හු!
සුළු මොහොතකට ඔහුගේ මුවග සිනහවක් ඇඳෙයි.
ඒ කාලෙ අපි පොඩි උන්. බාලදක්ෂිකා නිල ඇඳුම තමයි ඕනෑම රස්තියාදු ගමනකට ඇන්දෙ. මොකද, එතකොට ගෙවල්වල මිනිස්සු වගේම පාරතොටේ ඉන්න මිනිස්සුත් හිතන්නෙ අපි බාලදක්ෂ වැඩකට යනවා කියලා. එදා අපි ගියෙ රස්තියාදු ගමනක්ම නෙවෙයි, හොර ගමනක්. හිතේ තිබුණෙ බයක් සැකක් නෙවෙයි, දුකක්.
අපි ගියෙ බාරයක් ඔප්පු කරන්නට! බාර වුණේ මධුරි. බාර ගැන මට කිසිම අදහසක් තිබුණෙ නැහැ. කුමුදුනිත් ඒ ගැන විශ්වාස කළා. මමත් නිලුත් එකතු වුණේ, ඒගොල්ලන්ට එහෙම බාරයක් වෙන තැනට වැඩ සිද්ද කළේ අපි දෙන්නා හින්දා.
********************
කඳවුර සංවිධානය කිරීමේ වගකීම පැවරිලා තිබුණෙ මධුරිටත් කුමුදුනිටත්. ඒත් ඒකෙ ලොකු බරක් මමත් කැමැත්තෙන්ම බාර ගත්තා. ආහාර වට්ටෝරු සැකසීම, නොයෙක් ක්රියාකාරකම් සංවිධානය කිරීම, පත්රිකා ආදිය සඳහා චිත්ර ඇඳිම වගේම, අපිට හිතවත්, අපේ ජාතියෙ බාලදක්ෂිකාවන් රංචුවක් එකතු කරගන්නත් මම දායක වුණා.
අපි සේරම දාහතර දෙනෙක්.
අපිට යම් මග පෙන්වීමක් අවශ්යයි කියලා අපේ බාලදක්ෂිකා ආචාර්යවරිය හිතුවා. එහෙම අනවශ්යයි කියලා අපි හිතුවා. ඒත් මේ ලෝකය හුඟක් කුරිරුයි. මග පෙන්වීම සඳහා අපට පෙන්නන්නට බැරි කෙල්ලන් දෙන්නෙක්ව ආචාර්යවරිය තෝරාගත්තා. එක් කෙල්ලෙක් ඒ වසරෙ විභාගය සඳහා සූදානම් වෙමින් හිටියෙ. අනෙක් කෙල්ල අපේ වයසෙම වුණත්, අපට වඩා බොහොම මෝරලා!
ඉතින් අපි කඳවුරු බැඳගත්තා. ඒ අපේ ආචාර්යවරියගෙම වත්තෙ.
එතන බොහොම ලස්සන තැනක්. ඇගේ නිවස පිහිටා තිබුණෙ කඳුකරයේ රක්ෂිත වනයකට මායිම්ව. භූමියේ බෑවුමට සරිලන පරිදි මට්ටම් කිහිපයකින් යුත් නිවසෙහි හැම මට්ටමකින්ම පිටතට දොරවල් තිබුණා. පහළම මට්ටමෙහි තිබුණේ කාමර දෙකකින් හා කුස්සියකින් සමන්විත කුඩා ඇනෙක්සියක්. එහි වාසය කළේ සුදු ජාතික කාන්තාවක්.
ඇනෙක්සියේ මිදුලේ ඉදිවුණු අපේ කඳවුරු භූමිය ප්රධාන නිවෙසට පහසුවෙන් පෙනෙන්නෙ නැහැ. අපව දැක ගැනීමටනම්, එක්කෝ නිවසේ ප්රධාන මිදුලෙහි කෙළවරට පැමිණ පහත බැලිය යුතුයි. එහෙමත් නැත්නම්, දෙවන මට්ටමෙහි ඇති කාමරවල කවුළුවෙන් බැලිය යුතුයි.
මේ කාමරවල සිටියේ අපේ ආචාර්යවරියගෙ පුත්රයා සහ ඔහුගේ මිතුරා. ඔවුන් වරින් වර කවුළුවෙන් පහළට එබුණා. සුදු ජාතික කාන්තාව සිය අත දරුවා රැගෙන දොරකඩට පැමිණියා; අපව පෙන්වා දරුවා නැළවූවා. අපිත් වැඩ අතරතුරම දරුවා සුරතල් කළා: "කැරපොතු පැටියෝ...."
අපට මග පෙන්වීම සඳහා පැමිණි කෙල්ලන් දෙදෙනා කඳවුරට පැමිණියේ ආහාර සඳහා පමණයි. මග පෙන්වීමට ආවානම් පහසු නොවන බව උන් දෙන්නා කලින්ම තේරුම් ගන්නට ඇති.
ආහාර සඳහා පැමිණෙනවිට උන්ගේ පිඟන්වලට කැඩුණු බිත්තර, හොදි ගංගා ආදිය බෙදා තැබීමට අප උත්සුක වුණත්, අනුනට මග පෙන්වීමට තමන් හොඳටම දක්ෂ බව පෙන්වමින් මේ කෙල්ලන් හිඳ ගත්තේ, හොඳ බිත්තර සහ යහමින් මාළු පිණි බෙදා තිබූ අනුන්ගේ පිඟන් ඉදිරියෙනුයි!
ඒ පළමු දිනයේ දිවා ආහාරය.
මධුරි කිසියම් කරුණක් නිසා ප්රධාන නිවස තුළට කිහිප වරක්ම දිව්වා. ගෘහපාලිකාව හා කිහිපවරක් මුණු මුණු ගෑවා. ආහාර වෙලාවෙ එකට හිඳ ආහාර නොගෙන එහෙ මෙහෙ කලබලයෙන් දුවන මධුරි දිහා ආචාර්යවරිය බැලුවෙ නොසතුටින්.
මමත් හිටියෙ නොසතුටින්. මොකද, අර හතුරු කෙල්ලන් සඳහා බෙදුව කැඩුණු බිත්තරයක් මට හම්බෙලා තිබුණ හින්දා...
මධුරි මට ඇහෙන් කතා කළා. ආහාර සපයන කණ්ඩායමේ නිසා, නැගිට එහෙ මෙහෙ යාමට මට නිදහස තිබුණා.
"හරි වැඩේ තමයි. අද දවල් අතුරුපසට ගෙනත් තිබුණු මාෂ්මෙලෝස් ටික අර වල් කොල්ලො දෙන්නා කාලා!"
ඒක මට එතරම් නරක ආරංචියක් වුණේ නෑ; මොකද මම මාෂ්මෙලෝස් කන්නෙ නැති හින්දා.
"කොහොමද උන් අතට ඒ ටික ගියෙ?"
"මෙහෙ තිබිලා කූඹි වැහුවොත් කියලා, මම ඒක ගේ ඇතුළෙන් අරන් තිබ්බා. ප්රේමා තමයි කිව්වෙ, පුංචි මහත්තයා ඒ ටික සේරම කෑවා කියලා."
කොල්ලාට පාඩමක් ඉගැන්විය යුතුයි. ඒත් ඊට ඉස්සර අතුරුපසට යමක් දිය යුතුයි. අපි කඩිනමින් කතා බහ කරගෙන, රාත්රී ආහාරය සඳහා ගෙනත් තිබුණු කෙසෙල් ඒ සඳහා ගත්තා.
දිවා ආහාරයෙන් ඉක්බිති ආචාර්යවරියත්, මග පෙන්වන කෙල්ලන් දෙදෙනාත් ප්රධාන නිවසට ගියා.
ඒ දිනවල අප අතේ අමතර මුදල් ගැවසුණේ නැහැ. ඒ හින්දා රාත්රී ආහාරය සඳහා අතුරුපස සපයා ගැනීම අපට ගැටළුවක් වුණා. ආහාරය සඳහා ආචාර්යවරිය පැමිණෙන නිසාත්, පදක්කමක් ලබා ගැනීම පිණිස සංවිධානය කෙරුණක් නිසාත්, අඩුපාඩු තබා ගැනීමට මධුරි කැමති වුණේ නැහැ. ඉතින් අපි රාත්රී ආහාරය සඳහා භාවිතා කළ කිරි මිරිකන ලද පොල් වලින් පොල් ටොෆී හදන්නට තීරණය කළා. අමතර සීනි නොතිබුණෙන්, අපේ තේ සඳහා වූ සීනි ඒ සඳහා භාවිතා කරන්නට වුණා.
සිද්ධිය දැනගත් අපේ කෙල්ලන් දාහතරම සීනි පරිත්යාගයට එකඟ වුණත්, අපි කවුරුත් නොසන්සුන්. අර කොල්ලාට පාඩමක් උගන්වන්නේ කොහොමද?
අපට පෙනෙන්නට බැරි කෙල්ලන් දෙන්නාත් මීට හවුල්යැයි අපි සැක කළා. එහෙම සැක හිතෙන්නට හේතුව කඳවුරේ කිසිම ක්රියාවකට සහභාගි නොවුණු උන් දෙන්නා ගෙතුළට වී අර කොල්ලන් සමග පාඩම් කිරීමයි.
අපේ කෙල්ලන් එකිනෙකා නොයෙක් වැඩ කටයුතුවල මුවාවෙන් වරින් වර ගෙතුළට රිංගුවා; ඔත්තු බැලුවා:
"අර සුදු කොල්ලගෙ නම නලින්."
"අනිකා රජීව."
"ඌනම් එච්චරම නරක පාටක් නැහැ."
"මම ශීතකරණෙ අරිනකොට නලින් හැරිලා බැලුවා. ඌ මොනවද කකා හිටියෙ..."
"අපේ මාෂ්මෙලෝස්!"
"මම යනකොට නලින් මේසෙ අස්සෙන් අනුෂ්කගෙ කකුල පාගනවා."
"ඊඊඊඊඊඊඊයා!"
"අනුෂ්කත් අනික් පැත්තට පයින් ගැහුවා!!"
"ඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊයාආ!!"
"අර මිදුලෙ තියෙන චොපර් එක නලින්ගෙ. ඌ ඒකෙ නැගලා කොහෙද ගියා."
ඉතින් එදා හැන්දෑව වෙනවිට අපි බොහොම තොරතුරු එක් රැස් කරගෙන හිටියා:
ඒ කොල්ලන් දෙන්නා ඉතා වල්ය;
උන් දෙන්නා අපට පෙන්නන්නට බැරි කෙල්ලන් සමග මොකක්දෝ මොකක්දෝ එකක් ඇත;
නිවසේ සුළු සුළු වුවමනාවන් සඳහා නලින් බයිසිකලෙන් නගරයට යන්නේය;
අපේ ආචාර්යවරිය නිදන්නේ ඉහළම මාලයේ වන අතර ඇය ළමයින් පාඩම් කරන කාමර පැත්තට නොඑන්නීය;
ගෘහ පාලිකාව වන ප්රේමා අපේ පැත්තේය....
ඔය වගෙ.
ඒ අතරට අපි තවත් දෙයක් සැලසුම් කළා. අපේ මාෂ්මෙලෝස් කෑව එකට ඒ කොල්ලන්ට ලැජ්ජා කරවීමට.
එදා රාත්රියේ ආහාරයෙන් පසු ආචාර්යවරිය යම්කිසි අවශ්යතාවයක් හින්දා ඉක්මණින් ගියා. ඈ ගිය පසු කඳවුරු ගිණි මැලය වටා හිඳගෙන අපි ගී කිව්වා. ඉන් එක් අංගයක් කෑම කෝච්චිය:
"කිරි-බත්, කිරි-බත්, කිරි-බත්" එක් කණ්ඩායමක් ගයනවා;
"කැවුම්- කොකිස්, කැවුම්-කොකිස්, කැවුම්-කොකිස්" ඊලඟ කණ්ඩායම ගයනවා;
"උඳු-වැල්, උඳු-වැල්, උඳු-වැල්" අන්තිම කණ්ඩායම ගයනවා.
වෙලාව බලලා, අපි සේරම එක හඬින් කෝච්චියේ හූව නැගුවා:
"මාෂ් මෙලෝ.....ස්!"
ටිකක් සද්දෙ අඩුවෙන් දෙවන මාලයෙන් හඬක් නැගුණා:
"අපි තමයි කෑවේඒඒඒ!!"
අපිට යක්ෂ කේන්තියි. කෑවා මදිවට තව ලැජ්ජාවක් නැතුව එකට එක කියන්නටත් ඉදිරිපත් වෙලා. මුන්ව තියන්නට වටිනවද? ඒ මදිවට අපට පෙන්නන්නට බැරි කෙල්ලන් දෙන්නටත් ඒක හරිම හුරතලයක්. උනුත් හිනා වෙනවා.
බොහෝ දෙනා පිඹින කල්හි අළු ඉවත්ව ගින්න වඩා හොඳින් ඇවිළේ.
සිද්ධිය ගැන කතා කරන්නට කරන්නට අපේ තරහ තව තවත් ඇවිස්සුණා.
"මුන්ට පාඩමක් උගන්නන්නට ඕන." නිලූ අවසාන තීරණය දුන්නා.
"ඔව්, ඔව්."
"ආයෙ හොරා නොකන්නම පාඩමක්."
එදා රාත්රියේ අපි පලි ගැනීමේ නියම සැලසුම හැදුවා.
කූඩාරම් තුනක් තිබුණට, අපි දාහතර දෙනාම එදා නිදා ගත්තෙ එකම කූඩාරමක. තුන් හතර දෙනෙකුට පමණක් සෑහෙන ඒ කූඩාරමේ අපි වටේට හිස් දාලා, මැද්දෙන් කකුල් එක උඩ එක දාගෙනයි හිටියෙ. හෙල්ලෙන්නටවත් බැහැ. ඒ මදිවට අර වල් කොල්ලන් ගැන අනියත බියකින් මධුරි වප්පිහියකුත් උස්සන් ඇවිත් කූඩාරම තුළ තියන් හිටියා. වැඩිහිටියන් ගන්නා තීරණයකට එකඟ වන කුඩාවුන් මහන්සිය නිසාම ඉක්මණින් නින්දට වැටුණා. මමත්, මධුරිත්, කුමුදුනිත්, නිලුත් කුටු කුටු ගාමින් සාකච්ඡා කළා.
පහුවදාට එළි වුණා. සාමාන්ය කඳවුරු ජීවිතය ඇරඹුණා.
ඔත්තු බැලීම සඳහා වරින් වර එකා දෙන්නා ප්රධාන නිවසට ගියා. ශීතකරණයට යමක් දැමීමට, ඉන් යමක් ගැනීමට, හැලියකට පියනක් ප්රේමාගෙන් ඉල්ලාගැනීමට වැනි නොයෙක් හේතු දක්වමින් කුස්සිය පැත්තෙන් පිරිසක් ගියා.
එදිනට සැලසුම් කර තිබූ කඳවුරෙහි හදිසි ක්රියාදාමයට සූදානම් වීමේ මුහුණුවරින් තවත් පිරිසක් ප්රධාන මිදුල පැත්තෙන් පාරට ගියා. පාරෙහි සිට පහත බලනවිට ඒ නිවසේ විශාල කොටසක ඔත්තු බැලිය හැකියි.
දහවල් අපේ ආචාර්යවරිය නගරයට ගියා. ප්රේමා කුස්සියේ වැඩ. අපේ හතුරන් පිරිස දෙවන මහලේ පාඩම් කරමින් සිටියා.
මමත් නිලුත් පිහියකුත් රැගෙන, ප්රධාන මිදුල හරහා ඉස්තෝප්පුවට ගොඩ වුණා. එහි කෙළවරක නවතා තිබුණේ නලීන්ගෙ චොපර් බයිසිකලය. ගෙතුළින් යමෙක් එතිදැයි මම ඔත්තු බලන අතරතුර නිලූ බයිසිකලයට "සාත්තු" කළා.
දිගු විනාඩි කිහිපයක් ගෙවුණා.
"හරි." නිලූ කිව්වෙ ඇහෙන්.
එදා මුළු හැන්දෑ වරුවම අපි හිටියෙ උනන්දුවෙන්, ප්රවෘත්ති අපේක්ෂාවෙන්. වරින් වර එකිනෙකා ගෙතුළට රිංගා බැලුවා ඇයි නලින් කොහෙවත් නොයන්නෙ කියලා. හෙට උදෑසනින් කඳවුර ඉවරයි. අපේ ඇස් පනාපිටම "සාධාරනය" දැකීමට අපි පුල පුලා බලා සිටියා. නිලූ කිව් පරිදි, බයිසිකලය පැදගෙන මීටර සියයක් යන්නට ලැබෙන්නෙ නැහැ....
සවස් වුණා.
අපි හිටියේ තේ සාදමින්. හදිසියෙම කෑ ගසන හඬක් ඇසුණා. රිලවුන් රංචුවක් කඳවුරු භූමිය ආක්රමණය කරලා. සෝදා වේලෙන්නට නවා තිබුණු හැලියක් එකෙක් උස්සගෙන ගිහිල්ලා. තවත් කිහිපදෙනෙක් කූඩාරම් තුළට රිංගන්නට වෑයම් කරනවා. බියට පත් කෙල්ලන් හූ තියනවා. ඒ අතර අපේ යකා අවුස්සමින් අර වල් කොල්ලන් කවුළුවෙන් අප දෙස බලමින් විනෝද වෙනවා.
සුදු ජාතික කාන්තාව දරුවත් වඩාගෙන පිටතට අවුත් ඔහුට රිලවුන් පෙන්වනවා.
මේ කෝලාහලය අතරතුර, පිටතට ගොස් සිටි අපේ ආචාර්යවරියත් පැමිණුනා. ඇය කඳවුරු භූමියට ආවෙ රතිඤ්ඤා කරල් කිහිපයක් රැගත් ප්රේමාත් සමග. ප්රේමා රතිඤ්ඤා කරලක් දැල්වූවා.
"ඩෝං!"
රිලවුන් මොහොතකට වැඩ නතර කරලා බැලුවා.
සුදු ජාතික කාන්තාව අපේ ආචාර්යවරිය සමග මොකක්දෝ කතාවක්. ඇය දරුවා ආචාර්යවරිය අතට දෙනවත් එක්කම ප්රේමා දෙවන රතිඤ්ඤා කරලත් දැල්වූවා.
"ඩෝං!"
රිලවුන් ළමයින් විතර ගැස්සුණේ නැහැ. උන් ටිකක් ඈතට පැනලා, ඒ අවටම ගස්වලට නැග ගත්තා. අනතුර පහ වූ වහාම, නැවත පහළට බසින සූදානමෙන් ඉවසීමෙන් බලා සිටියා.
ඇතැමෙක් කම්මැළිකමට වගේ තමන් හිටිය රඹුටන් ගහේ ගෙඩි ටික සූරා දාන්නට වුණා.
"ෂිහ්! ෂිහ්!!" ප්රේමා කෑ ගැහුවා. ඇය එක දිගට තමන් අතේ තිබුණු රතිඤ්ඤා දල්වමින් ගස් උඩට විසි කරන්නට උත්සාහ ගත්තා. රිලවුන් වඩාත් ඉහළට නැගගෙන ඉවසීමෙන් බලා සිටියා.
"එපා ප්රේමා. වැඩක් නැහැ." ආචාර්යවරිය කිව්වා. "අහස් කූරු යවන්නට ඕන."
"අහස් කූරු එහෙනම් කඩෙන් ගේන්ටය කියලා පුංචි මහත්තයට කියන්නට ඕන." ප්රේමා කිව්වා. "ගෙදර තිබුණු ඒවා ඉවරයි."
අපි පස්වණක් ප්රීතියෙන් පිනා ගියා. මේ තමයි අපි බලාපොරොත්තුව සිටි ඒ සුන්දර මොහොත.
තව ටිකකින් නලීන් බයිසිකලයේ නැගී කඩේට යනු ඇති; තව ටිකකින් සලබලාං යනුවෙන් සද්දයක් එනු ඇති; තව ටිකකින්....
"එහෙනම් දැන් ඉතින් කරන්නට දෙයක් නැහැ." ආචාර්යවරිය දරුවාව ගෙට ගෙනයන්නට හැරුණා.
"කේට් බයිසිකලෙත් අරන් ටවුමට යනවා කියලා ගියා!"
සලබලාං සද්දෙ ඇහුණෙ ඒත් එක්කමයි.
**************************
එදා හොඳටම රෑ වෙනතුරු අපි කේට්ගෙ දරුවා බලා ගත්තා. ආචාර්යවරිය අපේ තරහකාර කෙල්ලනුත් සමග කේට් රැගෙන රෝහලට ගිහින්. ප්රේමා දරුවාට කිරි හදා පහළට එව්වා. අපි කඳවුරෙහි කෑම ඉව්වෙ නැහැ. මධුරි දෙවියන්ට කන්නලව් කරන්නට වුණා:
"මෙහෙම දෙයක් වෙයි කියලා අපි හිතුවෙ නැහැ දෙය්යනේ. අනේ ඉක්මණට කේට්ව සනීප කරලා දෙන්න. අපි බුමුතුරුණක් පූජා කරන්නම්, මාළිගාවට...."
ඉන් පස්සෙ ඇයත් කුමුදුනිත් එකතු වෙලා නිලූටත් මටත් දොස් කියන්නට වුණා.
"තරහ ගිය පලියටම ඔහොමත් වැඩ කරනවද?"
නිලූ හොර පූසෙක් මෙන් බිම බලාගෙන හිටියා.
මම දරුවාගේ හිස අත ගෑවා.
නලීන් හා රජීව පහළට ආවෙ ඒ අතරතුර.
"ප්රේමා කට්ටියටම කෑම ඉව්වා. ඇවිත් කන්න."
"අපිට බඩගිනි නැහැ."
"එන්න. උයලා තියෙන්නෙ."
"අපි අරගොල්ලො එනකම් ඉන්නම්."
"නැහැ, අම්මා කිව්වා කට්ටියට කන්න කියන්න කියලා."
"අපි ගිහින් කමු නේද? නැත්නම් හරි නැහැ." කුමුදුනි කිව්වා.
අපි අදිමදි කරමින් නැගිට්ටා. රංචුවම එක ගුලියට වත්තෙ පඩිපෙළ ඔස්සේ මිදුලට නැගලා ඉස්තෝප්පුවට ගොඩ වුණා. දොර ළඟදි නලීන් ආපසු හැරිලා බිම බලාගෙන මිමිණුවා,
"අපි හිතුවෙ මාෂ්මෙලෝස් ප්රේමා හැදුව ඒවා කියලා. තරහ වෙන්න එපා."
පරිසරයේ කාෂ්ඨකබව කෙමෙන් අඩු වී නිල් පැහැය වැඩි වෙයි. අවදියෙන් එදෙස බලා සිටින්නකුගේ නෙත් ඉදිරියේ සිට පසුපසට ඇදීගොස්, නැවත ඉදිරියට පැන අලුත් අරමුණක් අල්ලාගනී. බර කල්පනාවෙක ගිලී සිටින මීනාගේ නෙත් නොසෙල්වේ. මට කාන්සි ගතියක් දැනේ.
"ටිකක් නැවතිලා යනවද?
"ම්?" මීනා හිස හරවා බලයි.
"මහන්සිනම් ටිකක් නැවතිලා යමු." මම නැවතද කියමි.
"මහන්සි නැහැ."
"කම්මැළිද?"
"නැහැ." ඈ නැවතත් අනෙක් පසට හැරෙන්නීය. "මම වීදුරුව පල්ලෙහට දාන්නද?"
"හා හා."
මම දෙපසම වීදුරු පහළ හෙළමි. තුරුලතා පිස එන නැවුම් පවන අපව සිප ගනී. නෙත් අඩවන් කරගන්නා මීනා තමන්ටම මෙන් හෙමින් මුමුණයි.
"සාලියව අල්ලගෙන තිබුණෙ මේ හරියෙදි."
මට අපහසුවක් දැනේ. ඇගේ සිත සැනසීමට යමක් කිව යුතුමුත් සුදුසු පිළිතුරක් සිහියට නොඑයි. මනෝභාවයට උචිත පරිද්දෙන් වාහනයේ වේගය බාල කිරීමට මම තීරණය කරමි.
"පව්." මීනා ශෝකාකූල හඬින් කියන්නේ මා දෙස නොබලාය.
"ඔයා දැනං හිටියද එයා මෙහෙ ඉන්න බව?"
ඇයත් දැන සිටියානම් සාලිය සැඟව සිටි තැන තව බොහෝ දෙනා දැන සිටින්නට ඇති බව සිතමින් මම අසමි.
"ඔව්. අන්තිමට මට කතා කරපු වෙලේ එයා ඇහුවා ගිහින් බාර වෙන්නද කියලා. එහෙම බාර වෙන අයට පොදු සමාවක් දෙනවා කියලා තිබුණා ඒ දවස්වල. මම එපා කිව්වා."
"කියනකොට එහෙම කිව්වත්, බාර වුණා කියලා ආරක්ෂාවක් සහතික කරන්න බෑනෙ." මා කියන්නේ මීනාගේ සිතට සහනයක් වනු පිණිසය. "හැංගිලා ඉන්න අයව රවට්ටලා එළියට ගන්නම එහෙම කියන්නත් ඇති."
"සමාව දෙන්න වැරැද්දක් කරලා නෙවෙයිනෙ. ඇරත් එහෙම කට්ටියක් විතරක් ගිහින් බාර වෙනවා කියන්නෙ තමන්ගෙ අනික් සහෝදරයන්ට විරුද්ධ වෙනවා කියන එක." මීනාගේ හඬ වඩාත් දැඩි ස්වරයක් ගනී. "එහෙම තමන්ගෙ පණ විතරක් බේරගෙන, ඊට පස්සෙ හෘද සාක්ෂියක් ඇති මිනිහෙකුට ජීවත් වෙන්න පුළුවන්ද? හැමදාම හිතින් මැරි මැරී උපදියි."
කෙනෙකුට එලෙස ජීවත් විය හැකිදැයි මම කල්පනා කර බලමි. සිත නොයෙක් අතට දිව යයි. ඉවත බලා සිටින මීනා නැවතත් සෙමින් මුමුණයි.
"පව්, මොනවා හිතුණද දන්නෙ නැහැ අන්තිම දවස්වල. කොච්චර දුක් විඳින්න ඇද්ද?"
"හ්ම්." කඩවසම් පෙණුමින් යුත් සාලිය සිය වදකයන් තුළ ඊර්ෂ්යාවක් ජනිත කරවීමට ඇති බව සිතමින් මම හූමිටි තබමි.
මග දෙපස නිල්ල තුනී වෙයි. කිලිටි පැහැ ගොඩනැගිලි එකිනෙක මතු වී නගරයකට අප සමීප බැව් හඟවයි. දුහුවිල්ල නැගෙනුයේ අලුතින් ඉදිවන මාවතින් විය යුතුය. අපේ සෙමින් ගමන නුරුස්සන වාහනයක් වියරුවෙන් නළාව හඬවා අපව පසුකොට යන්නේ හුස්ම හිරකරවන ඝන දුම් වළාවක් විදිමිනි.
"වීදුරු වහමු." මීනාම යෝජනා කරයි.
නොයෙක් දේවල් ගැන මිනිස්සු විවිධාකාර මත දරනවා. උදාහරණයක් විදිහට ඇඳුම් අඳින්නෙ ඇයි කියන කාරණාව ගත්තොත්, නොයෙකුත් උත්තර හම්බෙන්නට පුළුවන්. නමුත් දන්න අය දන්නවා, මිනිස්සු ඇඳුම් අඳින්නට පුරුදු වුණේ අත පිහ ගැනීමට බව.
බොහෝම ඉස්සර කාලෙ මිනිස්සු ඇඳුම් ඇන්දෙ නෑ. කෑවට පස්සෙ, අත් හෝදගෙන, අත් දෙක ඉස්සරහට දික් කරගෙන ඉන්නවා වේළෙනකම්. කොටින්ම ආපන ශාලා ආදියෙහි වෙනම කොටසක් වෙන් කරලා තිබුණා මෙහෙම අත් වේළන්නන් වෙනුවෙන්. අව්වෙන් අත් වේළන්නට මිනිස්සු අකමැති වුණු හින්දා, සිසිල් මඳ පවන සහිත එළිමහනක, වාඩි වෙන්නට බංකු තියලා, ඒ ඉදිරියෙන් අත් වේළෙනතුරු බල බල ඉන්නට මලින් බර පුංචි උයන් කෑල්ලක් එහෙමත් හදලා තිබුණා. කොටින්ම, මිනිස්සු ආපනශාලාවකට යන්නට පෙර සොයා බලන්නෙ එතන කෑම හොඳද කියලා නොවෙයි, අත් වේළන උයනෙ තියෙන මල් මොනවද කියලා. මේ හින්දා ආපනශාලා හිමියන් අතර තරගයක් ඇති වුණා තමන්ගෙ අත් වේළන උයනෙ වෙනසක් තුළින් පාරිභෝගිකයින් ගෙන්වා ගැනීමට; මොකද, කෑමනම් ඉතින් හැමතැනම එක වගේනෙ.
එක් ආපනශාලා හිමියෙක් වෙනස්ම විදිහකට කල්පනා කළා. මොන මල්ද කියලා තෝරනු වෙනුවට ඔහු තමාගෙ අත් වේළන උයනට ගෙන්නුවා මිනිහෙක්.
ඔව්, මිනිහෙක්.
මිනිහෙක් කිව්වට නිකම්ම මිනිහෙක් නෙවෙයි. බොරු කීමට දක්ෂ මිනිහෙක්. මේ මිනිහා අත් වේළන අය ඉදිරියෙ හිටගෙන බොරු කියන්නට වුණා. මිනිස්සු මේ මිනිහගෙ බොරු අහලා පුදුමයට පත් වුණා. ඒවා විශ්වාස කරලා රැවටුණා. පස්සෙ ඒවා බොරු බව දැනගෙන තවත් පුදුම වුණා. පුදුම වෙලා ඉවර වුණාට පස්සෙ තමන්ටම හිනා වුණා.
ඉක්මණීන්ම අනික් ආපන ශාලා හිමියනුත් බොරු කාරයන්ව හොයා ගත්තා. බොරු කීම රැකියාවක් කර ගත් මිනිස්සු එන්න එන්නම වැඩි වුණා. ඔවුන් අතරෙත් තරගයක් ඇති වුණා. සමහර විශාල ආපනශාලාවල බොරු කියන මිනිස්සු කීපදෙනෙක් එකවර, එක පෙළට සේවය කරන වෙලාවල් පවා තිබුණා. වඩා හොඳින් බොරු කියන්නට දත් මිනිස්සු තමන්ගෙ හැකියාව වෙනුවෙන් වැඩිපුර සැළකිලි බලාපොරොත්තු වුණා. වඩාත් හොඳින් බොරු කියන බොරු කාරයින් ඉන්නා තැන්වලට ගොස් අත් වේළීම නම්බුවක්යැයි සාමාන්ය මිනිස්සු කල්පනා කළා.
කෑම බීම වලට වඩා බොරු කාරයින් ගැන මිනිස්සු සැළකිලිමත් බව දුටු ආපනශාලා හිමියන් බොරු කාරයින්ට වඩාත් හොඳින් සැළකුවා. ආපනශාලාවල ඉතිරි වෙන සියළුම කෑම ඔවුන්ට නොමිළේ දුන්නා. මේ නිසා බොරු කාරයන් ටික ටික තරබාරු වුණා. කොහොමත් කෑම ටික හම්බෙන හින්දා ඔවුන් කම්මැළි වුණා. අලුතින් බොරු ගොතා කියනු වෙනුවට, ඔවුන් හැමදාම එකම බොරු ටික කියන්නට වුණා.
අත් වේළන මිනිස්සුන්ට හැමදාම අහන මේ බොරු අහලාම එපා වුණා. ඒ නිසා ඔවුන් බොරු කාරයන් කියන දේවල් අහන් ඉන්නවා වගේ පෙනුණට, ඉන් එපිට තියෙන උයනෙ මල් දිහා බලන්නට පෙළඹූණා.
ඕනෑවට වඩා කෑම ලැබීමෙන් තරබාරු වී සිටි බොරු කාරයින්ගේ විනිවිදභාවය අඩු වෙලා තිබුණා. මේ නිසා මිනිස්සුන්ට උයනෙ මල් හොඳින් පෙනුණෙ නෑ. එතකොට මිනිස්සු කලබල වුණා.
ඔවුන් ආපනශාලා හිමියන්ට පැමිණිළි කළා. විනිවිදභාවයක් නැති බොරු කාරයින්ව ඉවත් කර නැවත මල් උයන් බැලීමට පහසුකම් සපයන ලෙස ඉල්ලා සිටියා. ඒත් බොරු කාරයින් බොරු ගොඩක් කියා ආපනශාලා හිමියන්ව රැවැට්ටුවා; තමන්ව දිගටම සේවයේ යෙදවිය යුතු බව ඔවුන් ආපනශාලා හිමියන්ට ඒත්තු ගැන්නුවා.
තමන් කැමති පරිදි අත් වේළීමේ මානව අයිතිවාසිකම අහිමි වීම නිසා මිනිස්සු කෝප වුණා. ඔවුන් එකතු වෙලා නඩු කාරයෙක් හොයාගෙන ගියා.
ඒ කාලෙ නඩු අහන්නෙ දැන් වගේ නොවෙයි. නඩු කාරයා කාමරේකට වෙලා ඉන්නවා. එක් එක් පක්ෂය ගිහින් වෙන වෙනම නඩු කාරයා හම්බෙනවා. ඊට පස්සෙ නඩු කාරයා අපක්ෂපාතී තීරණයක් දෙනවා.
ඉතින් නඩු කාරයා කාමරේට වෙලා හිටියා. මුළින්ම ඇතුළට ගියෙ සාමාන්ය මිනිස්සු. ඔවුන් තමන්ගෙ චෝදනාව ඉදිරිපත් කළා.
"නඩුකාරතුමනි, ආපනශාලා හිමියන් බොරු කාරයින්ව සේවයේ යොදවා ඇති හින්දා, අපට අත් වේළෙනතුරු මල් බලන්නට විදිහක් නෑ."
ඔවුන් කියා සිටියා. නඩු කාරයා බොහොම කෝප වුණා. ඔහු නැගිටලා අඩි පොළොවෙ හප්පලා මෙහෙම කිව්වා:
"මොනවා?"
ඉතින් මිනිස්සු ආයෙමත් තමන්ගෙ චෝදනාව ඉදිරිපත් කළා. එතකොට නඩුකාරයා ආයෙත් සන්සුන් වෙලා ඉඳගත්තා. ඉඳගෙන අත දික් කළා.
"මොනවද ඔබලා ළඟ තියෙන්නෙ?"
මිනිස්සු මූණෙන් මූණ බලා ගත්තා. හැමෝම ළඟ එක එක දේවල් තිබුණු නමුත් කවුරුත් කැමති වුණේ නෑ තමන් ළඟ තිබුණු දේවල් නඩු කාරයට දීමට. තමන් ළඟ තිබුණු දේවල් දුන් පසු, අනෙක් අය නොදී හිටියොත් තමුන් මෝඩයෙක් වෙන බව හැමෝම කල්පනා කළා.
නඩු කාරයා අත ආපහු ගත්තා. "කමක් නැහැ." ඔහු කිව්වා.
ඊලඟට ආපනශාලා හිමියන් ඇතුළට ගියා. ඔවුන් කිසිම දෙයක් කිව්වෙ නැහැ; නඩු කාරයා අත දික් කරන තුරු හිටියෙත් නැහැ. ඔවුන් තමන්ගෙ සේවකයන්ට අණ කළා ආපනශාලාවල තියෙන හොදම කෑම නඩු කාරයගෙ නිවසට ගෙන යන ලෙසට. ඒ නඩු කාරයට කරන ගෞරවයක් විදිහට. නමුත් අණ කරන ගමන් ඔවුන් සේවකයන්ට ඇස් ගැහුවා.
නඩු කාරයා ඔහුගෙ බුද්ධිමත් ඇස්වලින් ආපනශාලා හිමියන් දිහා බැලුවා.
"කමක් නැහැ." ඔහු කිව්වා.
ඊලඟට ඇතුළට ගියෙ බොරු කාරයින්. ඔවුන් දක්ෂ විදිහට කතා කළා; තමන් දිගටම සේවයේ යෙදී සිටිය යුත්තෙ මන්ද, හෙමින් පිපෙන මල් දෙස බලා සිටීමෙන් මිනිසුන්ගෙ ඉවසීම නැති වී ඔවුන්ට අධික රුධිර පීඩනය හැදෙන්නේ කෙසේද, අසා සිටීම වෙනුවට බලා සිටීම තෝරා ගැනීමෙන් වැඩ කරන කාලය අඩු වන්නේ කෙසේද වගේ බරපතල කරුණු ඔවුන් සාකච්ඡා කළා.
නඩු කාරයා ඔහුගෙ අත දික් කළා.
"මොනවද ඔබලා ළඟ තියෙන්නෙ?"
බොරු කාරයින් එකිනෙකා සමග තරගයට කතා කරන්නට වුණා. තමන් නඩු කාරයා වෙනුවෙන් කරන්නට සිටින බොහෝ දේවල් ගැන ඔවුන් කිව්වා; එකිනෙකට නොදෙවෙනි ආකර්ෂණීය පොරොන්දු රාශියක් ඔවුන් නඩු කාරයාට දුන්නා. එකවර දිය හැකි දේවල්, කොටස් වශයෙන් දිය හැකි දේවල්, වසර දහයකින් දිය හැකි දේවල් ආදී වශයෙන් විවිධ දේවල් ගැන ඔවුන් පොරොන්දු වුණා.
නඩු කාරයා අත ආපහු ගත්තා. ඔහු බලාපොරොත්තු පිරි දෑසින් බොරුකාරයින් දිහා බැලුවා.
"කමක් නැහැ." ඔහු කිව්වා.
ඊට පස්සෙ නඩු කාරයා කාමරෙන් එළියට ඇවිත් තීරණය දුන්නා.
"මිනිස්සු අත් වේළීම සඳහා අනවශ්ය තරම් කාලයක් වැය කරන බව පෙනී යනවා. මේ පිළිබඳව සොයා බැලීම සඳහා ත්රිපුද්ගල කමිටුවක් පත් කරනවා." ඔහු කිව්වා.
ත්රිපුද්ගල කමිටුව කාමරේක රැස් වුණා. අත් වේළීම වෙනුවට මිනිස්සු අත් පිස දැමීමට පුරුදු විය යුතුයයිද, ඒ සඳහා නිරතුරුව බෙල්ලේ රෙදි පටියක් එල්ලාගෙන සිටිය යුතුයයිද ඔවුන් නිර්දේශ කළා.
ඊට පස්සෙ මිනිස්සු බෙල්ලෙ රෙදි පටියක් ගැට ගහගෙන ඉන්නට පුරුදු වුණා. කාලයත් එක්ක වෙනස් වෙවී ඇවිත් අද තියෙන ඇඳුම් බවට පෙරළුණේ ඒ රෙදි පටිය. ඒත් අදත්, මුල අමතක නොකරන හොඳ මිනිස්සු බෙල්ලෙ රෙදි පටියක් ගැට ගහගෙන ඉන්නවා; තමන් මල් බැලීමටවත්, අත් වේළීමටවත් කාලය නාස්ති නොකරන බවත්, අණට කීකරු බවත් ඔවුන් එයින් පෙන්නුම් කරනවා.
ඒ තරම්ම නිහතමානී නොවුණත්, අනික් මිනිස්සුත් වට පිට බලලා, ඇඳන් ඉන්න ඇඳුමෙ අත් පිහින එක අදටත් කරනවා.
මිනිස්සු අත් පිහ දමන්නට පටන් ගත් නිසා බොරු කාරයින්ට ආපනශාලාවල රස්සාව නැති වුණා. නමුත් ඔවුන්ගෙ හැකියාව නිසා වෙනත් රැකියා අවස්ථා ලැබුණා.
හැකියාවට රැකියාවක් කියන කියමන හැදුණෙ ඒ හින්දා.
කරන කිසි දෙයක් හරි නොයන කාලකණ්ණියකු වූ උපාලි සන්තකයේ තිබූ අන්තිම රුපියල් දහය දුන්විට කොන්දොස්තර කොල්ලා ඉතිරි සල්ලි ලෙස දී තිබුණේ අමුතුම කාසියකි. එය රුපියලක්ද නොවේ; දෙකක්ද නොවේ; පහක්ද නොවේ. මුහුණත පැහැදිලි නැති අවපැහැ ගැන්වුණු එකකි. වැව් බැම්මේ හිඳගත් උපාලි එය මැද පිරිසිදු කිරීමට තැත් කළේය. එකෙණෙහි ඔහු ඉදිරිපිට ජටාවක් බැඳ, රත්පැහැ සරුවාලයක් හැඳි පුද්ගලයකු පහළ විය.
"මං තමයි මේ කාසියට අධිපති භූතයා." ජටාධාරියා හිස නමා පැවසීය. "ඔබ තමයි මගේ ස්වාමියා."
"අම්මට සිරි!" උපාලිට කියවිණි.
"ඒක නරක වචනයක් නේද?" භූතයා ඇසීය.
"නෑ නෑ. සිරි කියන්නෙ ශ්රී කියන එක. ආශීර්වාද කරන්ඩ කියන වචනයක්." උපාලි වැරැද්ද හදාගන්නට තැත් කළේය.
"ඒ කිව්වෙ බොරුවක්ද?" භූතයා තවත් ප්රශ්නයක් නැගීය.
"කාසියෙම ඉඳල මහන්සි ඇති." උපාලි මාතෘකාව වෙනතකට හැරවීය. "ඉතින් මොනවද බූතයෙක් හැටියට කරන්ඩ පුළුවන් වැඩ?"
"භූතයෙක්- මහප්රාණ භ යන්න." භූතයා නිවැරදි කළේය. "තමුන්ට මොනවද කෙරෙන්න ඕනෙ?"
උපාලි මඳක් කල්පනා කළේය.
"මාව මේ ලෝකෙ ඉන්න ලොකුම පෝසතා කරනවකො එහෙනම්."
"එහෙම ඒවනම් කරන්න අමාරුයි." භූතයා කණගාටුවෙන් පැවසීය. "මං ඉතින් නිකං සිල්ලර කාසියක භූතයෙක්නෙ. සිල්ලර වැඩ තමයි පුළුවං."
"මූත් මටම හරියන එකෙක් වගේ."උපාලිට සිතිණි. ඔහු සිල්ලර අවශ්යතාවයක් මතක් කළේය.
"ආ, එහෙනම් කන්ඩ මොනව හරි ගේනවකො."
"එහෙම බෑ. ඕන කරන දේ හරියටම ඉල්ලන්න ඕන."
"බත් පිඟානක්."
"එච්චරනං අමාරුයි..."
පැයක් දෙකක් යනවිට උපාලි භූතයාගේ තරම වටහා ගත්තේය: අතුරුදහන් වීමත් සදාචාරය කතා කිරීමත් හැර ඌට මෙලෝ වැඩක් බැරිය.
දොර ඇරෙයි. සැර විලවුන් සුවඳක් පැතිරෙයි.
දොරින් ඇතුළු වෙන සරා, නිකමට මෙන් කාර්යාලය දෙස බලා, නාන කාමරයට යන පටු කොරිඩෝවට හැරෙයි. දෙපස පැලුම් සහිත, දිය සෙවෙල් පැහැ සාය, ඇගේ ඇත් ගමනට උචිත පරිදි යන්තමින් සැලෙයි.
"කස කාරයා ආවා." එකෙක් කියයි. කසුකුසු සිනාවක් නැගෙයි. කාර්යාලය වැඩට සූදානම් වෙයි.
එක්වනම සිරුර කෙළින්කොට සීරුවෙන් සිටගන්නා රණසිංහ, කඩිනමින් දොර හැර, රිදී කෙසින් යුත් හිස මඳක් ඇල කොට, පක්ෂපාතීව සිනාපායි.
"ගුඩ් මෝනිං."
විශ්වාසයෙන් කියන ලක්මාල් දිගු අඩි තබමින් කාර්යාලයට ඇතුළු වෙයි.
"මෝනිං සර්." රණසිංහ ඔහුගේ සෙවණැල්ලට සෙමින් කියයි.
ඇතැම්හු හුනස්නෙන් නැගිටිති; ඇතැම්හු නැගිටින්නට මෙන් සැරසෙති. සියල්ලෝ මන්දස්මිතයකින් සැරසී අරුත් නොසිතාම ආසිරි පතති.
"ගුඩ් මෝනිං සර්."
කැමැත්තෙන් කූඩු වෙන සතෙකු බලෙන් නතර කර ගත්තාක් මෙන් ලක්මාල් මොහොතකට නවතියි.
"ගුඩ් මෝනිං."
"අක්කා.."
සරත් ශබ්ද නැගෙන සේ පා පිස දමමින් තමන් ආ බව හැඟවීය. සාලය කෙළවර වූ කෑම මේසය ළඟ වාඩි වී සිටි සංජීව පත්තර පිටුව මඳක් මෑත් කර " ආ, මල්ලි. අක්කා කුස්සියෙ." කියා නැවත පත්තර අතර ගිලිණි.
"අක්කා.." කුස්සිය දෙසට පිය මනිමින් සරත් නැවතත් ඇමතීය. ඉන්දුට ඔහුගේ හඬ ඇසුණමුත් ඕ සොහොයුරා තමන් ළඟට එනතුරු සිටියාය.
"මල්ලි. වැඩ ඉවරයක් නෑ."
සරත් කුස්සියේ උළුවස්සට හේත්තු වී සොයුරිය දෙස මොහොතක් බලා සිටියේය. ඔහුට වඩා වසර හතරකින් වැඩිමහළු ඉන්දුට උරටත් උඩින් ගේදොර වැඩ කටයුතු තිබුණේ සරත්ට යන්තමින් මතක ඇති කාලයේ පටන්මය. ඉන්දුගේ ඉල්ලීමක් නැතිවම ඔහු සේදූ භාජන ගෙන ගොස් රාක්කයේ තැන්පත් කළේ කුඩා කල පුරුද්දෙනි. සොහොයුරාත් සොහොයුරියත් නිශ්ශබ්දව තම තමන්ගේ කාර්යයේ නියැළුණහ.
"යං මල්ලි සාලෙට. මං වතුර එකක් ලිපේ තියලම එන්නං." ඉන්දු කීවේ අන්තිම භාජනය වතුරට අල්ලන අතරතුරය.
"තේනං ඕන නෑ අක්කා."
තමන්ගේම ගැටළුවල පැටළී සිටි ඉන්දු සරත්ගේ ස්වරයේ වූ ශෝකාකූල බව හැඳින්නේ දැන්ය.
"දැං කොහොමත් තේ වෙලාවනෙ. යංකො පොඩ්ඩක් වාඩි වෙන්ඩ. මටත් ඉන්ඩ බැරුව කකුල් කැක්කුමයි උදේ ඉඳන් වැඩ කරලා."
"පුතාලා ගෙදර නැද්ද අක්කා?" සරත් ඇසුවේ සාලයට යමිනි.
"ඔහෙ ඇති මොකකට හරි නියෝගෙන. මං විතරනෙ මේ ගෙදර වැඩකාරි." ඉන්දු මිටි තැනින් ගලා යන ලෙස වක්කඩය හැරියාය.
කවුදෝ ගේට්ටුවට තඩි බානු ඇසේ. මේ වේලාවට ගෙදරට එන්නට කිසිවෙකුත් නැත. රෝගී අත්තම්මා වකුටුව නිදයි.
මම හොරෙන් හොරෙන් එබෙමි. ගේට්ටුවට ඉහළින් බලා සිටින කාන්තාවට එවැනි හොරෙන් බැලිලි හුරු නිසාදෝ ඇය වහා මා දකියි.
"අනේ චූටි."
උසස් පෙළ ලියා කාලය කමින් සිටින මට මතක ඇති කාලයකට කවුරුත් 'චූටි' කියා ආමන්ත්රණය කර නැත. මගේ හද මෙළෙක් වෙයි. මම ගේට්ටුව දෙසට යමි.
"අනේ චූටි, මම කරදරේක වැටිලා. මට උදව්වක් කරන්ඩ."
කිළිටි සාරියක් පටළවාගෙන, දහදියෙන් පෙඟී සිටින කාන්තාව කෙට්ටු, කළුවට හුරු, මැදිවියේ සිටින්නියකි. පටියකින් බැඳි වැරහැළි කොණ්ඩය පිට දිගේ එල්ලෙයි. අතෙහි කුඩයකි. ඇය කරදරයක පැටළී ඇති බව මුහුණෙන්ම පෙනේ.
"මට බස් එකේදි නින්ද ගියා. ඇහැරෙනකොට පර්ස් එක නෑ; හොරකම් කරලා. අනේ චූටි, මට ගෙදර යන්ඩ බස් එකට රුපියල් දහයක් දෙන්ඩ."
ඉතින්,
එපානම් මාව
නුඹේ දිවියට...
හිටුකො!
ඇස් ලොකු මීයෙක් වෙලා
නුඹේ වහළය දිගේ විත්
යට ලීය උඩ හිඳගෙන
විරිත්තන්නම් මම නුඹට.
එතකොට
කොස්සක් අතින් ගෙන
පන්නාවි නුඹ මාව.
සැඟව, පැන, පෙනී, නොපෙනී
කුටිය පුරාවට
ඔට්ටු සෙල්ලම් කරමු
අපි දෙදෙන.
නුඹට හති වැටුණු කල
හිඳගෙන යට ලීය මත
විරිත්තන්නම් නුඹට මම.
එතකොට
දැන් නුඹ අතින් නොකියවෙන
මගේ ගැන
නුඹ කියාවි කවුරුනුත් සමග
නොදැන ඒ මා බව.
හිටුකො!
නුඹ ආදරෙන් කියවන
පොත් ඉරා කැබලිකොට
නුඹේ නිල් පාට කමිසයේ
උණුසුමට
කූඩුවක් හදාගෙන
ගුලි වී නිදන්නම් මම.
මම දන්නවා
එතකොට
නුඹට අනුකම්පා හිතේවි
මා ගැන.
මට නිදන්නට ඉඩ හැර
පා තුඩින්, නිහඬව
අඩි තබා ඇවිදීවි නුඹ
සොරෙකු සේ
නුඹේම කුටිය තුළ.
පසුව
දැන් නුඹ අතින් නොකියවෙන
මගේ ගැන
නුඹ කියාවි කවුරුනුත් සමග
නොදැන ඒ මා බව.
හිටුකො!
මියැදෙන්ට කල ආ විට
නුඹට දුක නොහිතෙන්ට
ඈතකට ගොස් මැරෙන්නම් මම.
නොදැන මා මළ බව
නුඹ බලාවි යට ලීය දෙස.
නුඹ හොයාවි කාමරය පෙරළගෙන
මාව.
නුඹට හමු වේවි නුඹේ සීතල කමිසය.
පාළුවක් හිතේවි නුඹට
මා නැතිව.
එතකොට
දැන් නුඹ අතින් නොකියවෙන
මගේ ගැන
නුඹ කියාවි කවුරුනුත් සමග
නොදැන ඒ මා බව.
හිටුකො...
වැරදි ගෑනිව
තරහ කර ගත්තෙ නුඹ.
තිස් වසරක යුද්ධය නිමා වීම නිසා බලාපොරොත්තු කඩවූයේ කාගේද?
ත්රස්ත ඒජන්තයින්ගේ...
යුද අවි ව්යාපාරිකයන්ගේ...
යුද්ධය විකුණාගෙන කෑ දේශපාලකයන්ගේ...
ඇයි, රාජ්ය නොවන සංවිධානවල?
.....
ඔබ කියනු ඇත.
අරුණ නොදැරිය හැකිව
රිදුම් දෙන යෞවනය
රුවා පෙති කරල් මැද
නැගෙන්නී
පෙර දිනෙක රෝ දනට
උවටැනින් ගෙවුණු දිවි
සිහි වුවද පසුතැවිලි
නොවන්නී
මිදුණු දෑඟිලි වෙරෙන්
ඉක්මණින් පල දරන
කෙටි පැතුම් තුරු වෙසින්
සදන්නී
දැවෙන සිත නොතලනා
සුවය දෙන හිතවතුන්
ලද නොලද සියල්ලෙහි
අකම්පිත වන්නෙහිද?
දිරිය නැගණිය
තිලකා.
තිලකා.
පිදුම: කුණාටුවට හසුව බිම වැටුණු තුරුණු පතට
නපුරු වෙසින් කළු කරගෙන
ගොරවා ලොව බය කරගෙන
අහස ඉරා කඩා හැලෙන
මහ වැස්සට
වියළුණු පත් බිම වැටුණට
දිරූ කඳන් බිම වැටුණට
නොසැලෙයි කිසිවෙක් කිසිවිට
විය යුත්තක් සේ
තුරුණු සුනිල පතක් වුණොත්
මහ රූස්ස ගසක් වුණොත්
දැරිය නොහැක දසුන වුවත්
හද රිදවයි
දුටුවත් සිත පිළි නොගන්න
එරෙහිව යන්නට වෙහෙසෙන
බැරි වුණු කල හද පෑරෙන
සොබා දහම
"මචං ගෝපාල්." රංජිත් කණ සාක්කුවේ දමාගෙන ප්රශ්න කරයි. "උඹේ නම මොකක්ද?"
මත්පැන් නොබොන ගෝපාල් අමුත්තක් නැතිව පිළිතුරු දෙයි. "මචං මම ගෝපාල්."
"ගෝපාල්! උඹ දන්නවද ගෝපාල් කියන්නෙ මොකාටද කියලා?"
"මට මචං."
"මැට්ටා! ගෝපාල් කියන්නෙ යකෝ, හරක් බලන එකාට. තෝ ගෝපාල්නං හරක් බලන්ඩ ඕන. තෝ මොකද මෙහෙ කරන්නෙ?"
"මං උඹව බලනවා මචං."
නේවාසිකාගාරය දෙදරමින් සිනා හඬ පැතිරෙයි.
රංජිත් නොසැළෙයි.
"හරි. මං හරකා! එහෙනං උඹ වැඳපං මට. උඹලා වඳිනවනෙ හරක්ට? වැඳපං මට."
"හරකට පූජා කරන දවස් වෙනම තියෙනවා මචං.." ගෝපාල් ප්රවේශමෙන් පිළිතුරු දෙයි.
සිත්ති නෝනා
මොහොමඩ් ඇවිත්
පුත්තලමේ සිට
මග ගෙවාගෙන
අත් වැඩට නොගිහින් අද
නුඹ බැලීමට ඇවිත්
නුඹේ සිහිසුන් සිරුර
වැලඳගෙන, සිප දෙපා,
වියළි කෙහෙ කැරලි
පිරිමදියි සෙනෙහසින්
නුඹේ නෑසෙන කණට
කිට්ටු වී මුමුණයි
ගෙවුණු විසි වසර තුළ
කියා ගත නුහුණු දේ
නුඹේ දරු සයදෙනට
කන්ට දිය යුතු හෙයින්
නොහැක හෙට මෙහි එන්ට
නුඹ බලන විලසින්
ඒ නිසා යනු මිසෙක
නුඹව හැර යනු නොවේ
සිත්ති නෝනා
විවර කර දෑස
සමුදෙන් මොහොමඩ්ට
අවසාන වරට
සයවන දරුවා ලබා සති දෙකකින් හදිසියේ අසනීපව, පුත්තලමෙන් කොළඹට එවා, කොළඹින් අපට එවූ සිත්ති නෝනා.... උපන් දා සිට දුක් විඳි ඇගේ පෙණුම තිස් හතක් නොව පනස් හතක් මෙනි. ජීවිතයත් මරණයත් අතර දෝලනය වන ඈ බොහෝවිට ආපසු නිවෙසට නොයනු ඇත.
විසි වසරක් පුරා ඈ හා ජීවිතය බෙදාගත් මොහොමඩ්ගේ කඳුලින් අද ඇගේ සිරුර නෑවෙන්නට ඇති.
"මම හෙට වැඩට ගියොත් තමා කන්ඩ හම්බ වෙන්නෙ." දරුවා ලැබුණු පසු දින එකොළහක්ම රැකියාවට නොගොස් සිටි ඔහු අතේ සතයක්වත් ඉතිරි නැතිව ඇති. මග වියදම් සපයා ගැනීම තබා අලුත උපන් දරුවා ඇතුලුව දරු කැලකගේ කුසගිනි නිවන්නේ කොහොමද? සිත්ති නෝනා අසාධ්ය තත්වයෙන් සිටියදීත් ඔහුට මේසන් වැඩට අත් උදවු දීමට යාමට සිදුව ඇත්තේ ඒ නිසා. "මම හෙට ආවෙ නැතුවට කමක් නැද්ද?" ඔහු දොර ළඟ සිට ආයෙමත් ඇහුවා. "ළමයිනුත් හුඟක්නෙ. මම වැඩ කරොත් තමා කන්ඩ හම්බවෙන්නෙ....මම ආයෙ සැරයක් එයාව බලලා එන්ඩද?" සිත්ති නෝනාව තනිකර ආපසු යන මොහොමඩ්ගේ හදවත රිදුම් දෙන්නට ඇති.
ඒත්...... මෙතරම් ආදරය කරන මොහොමඩ්ව යළි දකින්නට නොලැබෙන බව නොදැනදෝ සිත්ති නෝනා තද නින්දක.
බේබද්දාගේ මරණය මා කම්පාවට පත් කරනු ඇතැයි මම කිසි කලෙකත් නොසිතුවෙමි. මා සිතූ දෙයක් ඉටුව ඇත්තේ කලාතුරකිනි.
බේබද්දා විවාහ වී සිටියේ සුදු නැන්දා සමගය. මුහුණට මාමා, අය්යා ආදී වශයෙන් ආමන්ත්රණය කළද, නැති තැන අප භාවිතා කළේ බේබද්දා, අරූ, අර යකා වැනි වදන්ය.
දිනූ පක්ෂයේ දේශපාලනඥයකු විසින් අපේ නිවෙස් අසළ තැබෑරුමක් විවෘත කරන ලදින්, බේබද්දා දිනපතා අපේ නිවසට යාම් ඊම් කරන්නට විය. අප්පච්චීට කලාවැව හිතවතෙකු විසින් දෙන ලද නාගවල්ලිය බුලත් වැලෙන් සුදු නැන්දාට බුලත් ගෙන යාම මේ ගමන්වල මුඛ්ය අරමුණ විය. නාග කන්යාවියන් සපන්නේ මේ බුලත්ම බවට ඒ හිතවතා පුන පුනා පැවසූයේ මහත් විශ්වාසයෙනි. අපේ නිවසේ කිසිවෙක් පුරුද්දක් ලෙස බුලත් නොකෑ නිසා 'බුලත් වැල දවස ගානෙ හූරං යෑම' ගැන වාද කිරීමට සාධාරන හේතුවක් නොතිබිණි.
විශ්රාමික රජයේ ලිපිකරුවකු වූ බේබද්දා සිය වෘත්තීය ගරුත්වය පසෙක ලා, මත්පැන් සඳහා වියදම් සපයා ගනුවස් කුලී වැඩ කළ හෙයින් අපේ නිවසේ ඇතැම් බර වැඩ ඔහු සවසට එනතුරු තබා ගැනිණි. ඔහු පිට මිනිසුන්ගේ කුලී වැඩ කිරීම කිට්ටු ඥාතීනට රුචි නොවුණු නමුත් මේ පිළිබඳව සාකච්ඡා කිරීම ඵල විරහිතයයි සැළකුණේ "කොහොම හම්බ කළත් සල්ලි සල්ලිම" බව බේබද්දා ප්රකාශ කළ හෙයිනි.
බණ්ඩා රාළහාමි වංගුවට ඉහළින් පඳුරු අතර සැඟව රැක සිටී. බෑවුම් මග ඔස්සේ පණ ඇද ඇද කන්ද නගින ලොරියක් හෝ බසයක් දකින ඔහුගේ සිත සතුටින් ඉල්පෙයි. වංගුවෙහි වාහන හතරක් වුවද එක පෙළට ගමන් කිරීමට තරම් ඉඩ තිබුණද එහි ද්විත්ව ඉරි ඇඳ ඇත. බණ්ඩා රාළහාමි බලා සිටින්නේ කවුරුන් හෝ වාහනයකට ඉස්සර කරනතුරුය.
පලපුරුදු රියදුරෝ මේ අඩවියේ පොලිසියෙන් සිටින බව දන්නා නිසා ප්රවේශමෙන් යති. එවන් වාහන දෙස බලන බණ්ඩා රාළහාමි අවඥාවෙන් කෙළ ගසයි:
"තුඃ, නොදකිං!"
සිකුරාදා රාත්රී සිට සෙනසුරාදා උදෑසන දක්වාත්, ඉරිදා රාත්රී සිට සඳුදා උදෑසන දක්වාත් රාජකාරි කිරීමට බණ්ඩා රාළහාමි ඉතා ප්රිය කරයි. දුර බැහැර නැවතී සේවය කරන හදිසිකාරයන් නිවෙස් බලා එන්නේ මේ වේලාවන්ටය. මේ මුරවලට රාජකාරි යෙදී ඇත්නම් බණ්ඩා රාළහාමිගේ මනෝභාවය සතිය පුරා ඉතා යහපත් මට්ටමක පවතියි. ඒ අනුව ඔහුගේ සේවාමුරය කුමක්ද යන වග අඹුදරුවන් පමණක් නොව, කඩ මණ්ඩියේ මුදලාලිලා පවා අනුමාන කරති.
වසර දහයකට මඳක් වැඩි සේවාකාලයකට හිමිකම් කියන බණ්ඩා රාළහාමි සිය පළපුරුද්දට සරිලන සේ හැකියාවන් දියුණු කරගත්තෙකි. වාහනයක් දකිනවිට එහි ගමන් ගන්නේ ප්රභූවරයෙක්ද, මධ්යම පන්තිකයෙක්ද යන්න ඕනෑම බූරුවෙකුට කිව හැක. නමුත් වාහනයෙන් බසින මිනිසා දෙස හෙළන එක බැල්මෙන් ඔහු කෙතරම් මුදලක් විසි කරයිද, දඩයක්ම ගෙවීමට තරම් දැඩි සිතක් ඇත්තෙක්ද, වැට උඩ සිටින්නෙක්ද, මෙලොව හසරක් නැත්තෙක්ද යන වග බණ්ඩා රාළහාමිට ඉලක්කෙට කිව හැක.
මෙලොව හසරක් නැති ජාතිය, එනම්, පගාව යන සංකල්පය අසා ඇතිමුත් එහි ප්රායෝගික භාවිතය නොදන්නා පිරිස, දකිනවිටම දඩ කොළයක් ලියා දීම ඇතැමෙකුගේ සිරිත වුවද, බණ්ඩා රාළහාමි එසේ නොවේ.
පඤ්ඤාකිත්ති හාමුදුරුවෝ උස් අසුන මත පද්මාසනයෙන් වැඩ සිටිති. උන්වහන්සේගේ කය සෘජුය; වියපත් ලකුණක් හෝ වෙහෙසට පත් ලකුණක් හෝ නැති පින්වත් මුහුණ, නිවුණු සිත පිළිබිඹු කරයි; නෙත් පියව ඇත; භාවනාවේ ගැඹුරු අවධියකට පිවිස සිටින උන් වහන්සේ හුස්ම ගන්නා බවක් යන්තමින්වත් නොපෙනෙයි.
සිරිල් මහත්තයා ශාලාව මැද්දට වන්නට ඇති පැදුරක් මත අපහසුවෙන් හිඳගෙන, පඤ්ඤාකිත්ති හාමුදුරුවන්ගේ තේජස දෙස බලා සිටී. හන්දිපත් අමාරුවෙන් පෙළෙන මානෙල් කෙළවරකට වන්නට පුටු කබලක් තබාගෙන නෙත් පියාගෙන සිටින්නීය. ඈ බොරුවට නෙත් පියාගෙන වෙන මොනවා හෝ කල්පනා කරනවා වියයුතුයයි සිරිල් මහත්තයාට සිතෙයි. නොඑසේනම් මේ වනවිට ඇය නිදිකිරා වැටිය යුතුය.
සිරිල් මහත්තයා බණදහමට යොමු වූයේ හෘදයාබාධයක් නිසා හදිසියේ විශ්රාම ගැනීමට සිදු වීමෙන් පසුවය. මානෙල් එදා සිටම ඔහු යන එන තැන පස්සෙන් එයි.
සිය පොත්පත් කටයුතුවලට සුදුසු සන්සුන් පරිසරයකින් හෙබි ගමේ පන්සලේ නවාතැන් ගත් පඤ්ඤාකිත්ති හාමුදුරුවෝ වසර විස්සකට මඳක් වැඩි කලක් බටහිර රටක ආරණ්යයක වැඩ විසූ පශ්චාත් උපාධිධාරී උගතෙක් වූහ. උන්වහන්සේ හැම ඉරිදාම පැවැත්වූ පැය දෙකක භාවනා වැඩමුළුවට සිරිල් මහත්තයා සහභාගි වන සතරවන දිනය අදය. එසේ වුවද, එකම ඉරියව්වක රැඳවීමට වෑයම් කරන අතපයෙන් නැගෙන වේදනාව හැර වෙනත් කිසිම දෙයක් කෙරෙහි අවධානය යොමු කිරීමට තවමත් ඔහුට නොහැක. අසළින් හිඳ සිටින නාඳුනන රැවුලා වරින් වර නෙත් විවර කර, පැදුරේ නලියන සිරිල් මහත්තයාට රවයි. ඔහු කෙරෙහි තරහ නොඋපදවා සිටීමට සිරිල් මහත්තයා දැඩි වෙහෙසක් දැරුවේ පඤ්ඤාකිත්ති හාමුදුරුවන්ට අනුන්ගේ සිත් දැකීමට හැකියාවක් ඇතැයි පැතිර තිබූ පුවත නිසාය. භාවනා කර ගත නොහැකි තමන්ගේ සිතට වඩා, තමන්ට රවන රැවුලාගේ සිත අපිරිසිදු බව හාමුදුරුවන්ට පෙනේවායි ඔහු පැතීය.
*******************************************************
ඇඳිරි වැටුණේ මාවිල් ආරු සොරොව්ව අසළදීය. දිනක් තුළ අප ගමන් කළේ දැරිය හැකි දුරක් නොවේ. අබලන් මාවත්හි වලගොඩැලිවල හැපෙමින් වැටෙමින්, දුහුවිල්ලෙන් නැහැවෙමින්, දැඩි හිරු රැසට පිච්චෙමින් ගෙවුණු දිනය අවසන අපි හෙම්බත්ව සිටියෙමු.
"මේ තමයි සිත්තාරු පාළම. ලංකාවෙ වැඩියෙන්ම බිම් බෝම්බ වළලලා තිබුණෙ මේ පාරෙ."
වෙහෙස නොදැනෙන අපේ මග පෙන්වන්නා විස්තර කරයි. දවස පුරා "මේ මොකක් කියලද තියෙන්නෙ?"යි අසමින් ඔහු ඇඟිල්ල තබා පෙන්වූ ඉංග්රීසි වචන අඩංගු මාර්ග සිතියම් පොත සරෝජිනි හකුළාගත්තේ බොහෝ වේලාවකට පෙරය.
කුඩ්ඩා නොහොත් නිකමා නොහොත් කාලකන්නියා යනාදී පර්යායනාමවලින් හඳුන්වන්නා වූද, දරුවන් සිව්දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වූද, පසුගිය වසර විසිපහ තුළ පනහකට ආසන්න වාර ගණනක් මත්ද්රව්ය භාවිතය නවත්වා ඇත්තා වූද, ඉහළගෙදර රාහුල නන්දසිරි කාමරයේ ඇඳ මත වාඩි වී බිත්තියට හේත්තු වී සිටී. නවා ගත් දණහිස් මත රැඳුණු දෑතේ ඇඟිලි එකිනෙක මදිමින් සිටින ඔහුගේ සවන් රැඳී ඇත්තේ සාලයේය. රාහුලගේ අනාගතය කවරක් විය යුතුද යන තීරණාත්මක කාරණය එහි සාකච්ඡා වේ.
"මට කරන්ඩ පුලුවන් හොඳම විදිහ තමා මම ඔය කිව්වෙ."
අය්යා ජනේලය පැත්තේ ඇති ලොකු තනි පුටුවේ වාඩි වී සිටින බව රාහුල නිගමනය කරන්නේ හඬ එන අත අනුවය. සාකච්ඡාවේ මුල් කොටසේදී හේ සාලයේ එහා මෙහා ඇවිදිමින් සිටියේය. තීරණයකට එළඹීමට පෙර එහා මෙහා සක්මන් කිරීම අය්යාට උරුම වන්නට ඇත්තේ පියාගෙනි. රාහුලට මතක ඇති කාලයේ බොහෝ සැන්දෑවන්හි මිතුරු හමු පැවැත්වූ පියා ඔවුන් හා සාකච්ඡා කළේ මත්පැන් වීදුරුවක් අතැතිව සාලය පුරා එහා මෙහා ඇවිදිමිනි. පියා මෙන්ම අසේලද උඩු රැවුල වවයි; කෑමට වාඩිවීමට පෙර වතුර වීදුරුවක් ළඟට ගෙන්නා ගනී; කතා කරනවිට එක් අතක් පිටුපසට කරගෙන අනෙක් අත මාලු කපන පිහියක් මෙන් හසුරුවමින් තමන්ට සවන් දෙන්නන්ගේ පූර්ණ අවධානය ඉල්ලා සිටී.
එසේ වුවද 'මහ එකා වගේ හැදීම' පිළිබඳ චෝදනාව නිරතුරුව එල්ලවන්නේ රාහුලටය.
"ඔය විදිහ එයාටත් හොඳයි, අනික් මිනිස්සුන්ටත් හොඳයි."
නිශ්ශබ්දතාවයකි.
මුරගල

මුරගලේ ලිපි
අලුත් ලිපි
ජනප්රිය ලිපි
-
හැමදාම ඉර පායන එක බොහොම කම්මැළි වැඩක්. නොදන්න කෙනෙකුට හිතෙන්නෙ, ඒක බොහොම ලෙහෙසි වැඩක් කියලා. නමුත්, උදෙන්ම පායන්නට ඕන; නැත්නම්, සත්තු කලබල ව...
-
දොර ඇරෙයි. සැර විලවුන් සුවඳක් පැතිරෙයි. දොරින් ඇතුළු වෙන සරා, නිකමට මෙන් කාර්යාලය දෙස බලා, නාන කාමරයට යන පටු කොරිඩෝවට හැරෙයි. දෙපස පැලුම් ...
බලපු ඇත්තෝ කියපු දේවල්
කියවපු පිටු වල ගණන් හිලව්
හිතවත් පවුර
යුනිකේත විකේතකය
දැනුම් දීමයි
මුරගලේ අපි
Labels
- "පිස්සෙක්"
- (අ) වාසනාව
- (නො)තේරුම
- 2600 සම්බුද්ධ ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසෙමු
- A9
- අද්දර ජීවිත
- අනේ බන් සෙනසුරු
- අඳ නෙත්
- අපාය
- අපිත් බුදුන් වඳිනවා
- අබූත
- අමා මහ නිවන්
- අවුරුදු
- අශ්ඨක
- ඇනට්
- ඇන්ඩෲ අය්යා
- උපේන්ද්ර හර්ෂණගෙන්
- ඒ අපේ කෙනෙක්
- ඒ.. රුපියල
- කවි
- කව්
- කළු පාට සොබාදහම
- කුටුම්භය
- කුනු
- කෙටිකතා
- කෙලෙසක දෝ අම්මේ.
- කොන්ෆරන්ස් එක
- කොල්ලො බල්ලො
- ගොදුර
- ජිවිතය උරගැම
- ජීවිතයේ කතාව
- ඩොගී
- තිලකා
- තුරු සිසිල
- දන්න අය දන්නවා.....
- දන්සැල
- දම්පල් හිමියනි
- දයාබර දියණියට
- දානය
- දේව පරාජය
- නලිනි චන්දිමාගෙන්
- නාඳුනන්නී
- නිමක් නැති කතාවක්
- නිර්මලා
- නිසදැස්
- නුතන බොළද ආදරවන්තයාගේ කව් පොතින්
- නුවන් තිලංගගෙන්
- නොපිපි කුසුම
- නොමියෙන ප්රේමය
- පරචිත්ත
- පරිස්සමෙන් හිටු
- පාට බැලුන්
- පිං කැටේ
- පෙරුම් පිරු සිහිනය
- පොතක් නිසා
- බේබද්දා
- බ්රැන්ඩි
- මාවතේ අපි
- මාෂ්මෙලෝස්
- මිනිස්කම යනු මෙයද ව්මසමී
- මිනීමරුවා..
- මීනා
- මුවහත
- යන්තරේ
- යැපෙනු පිණිස
- රතු එලිය වැටෙන තුරු
- රතු කමිසය
- රාහුලයෙක් උපන
- ලාභයි........ ජීවිතේ
- වන්දනා
- වයමි මම බෙරේ...
- වැව රවුම
- විසඳුම
- සංගිලි පාලම
- සමන්ත රූපසිරිගෙන්
- සාරා
- සිතක සිතුවිලි
- සිත්තාරු පාළම
- සිත්ති නෝනා
- සියුමැලි නොවුනු කලුගල්
- සිර ගත කල පෙම
- සිල්
- සුනීත
- සෙනරත් බණ්ඩාරගෙන්
- හැදූ මව
- හිරු ලප
- හෙවනැලි නැති මිනිස්සු
- හෙවනැලි නැති මිනිස්සු.....
හිතවත් අඩවි
-
සුනම්ය - Bow Down, Rise Up4 days ago
-
-
-
අසාගනිල්ලා දුම්රිය සවුදම...!!!7 years ago
-
නිවිති එක්ක දෙල් කිරට...8 years ago
-
Carnival of love9 years ago
-
-
කාබුල් කවි.10 years ago
-
test 710 years ago
-
Sahampathi thoughts - අකුරැස්සේ ගමන11 years ago
-
"බොහොමත්ම ස්තුතියි"13 years ago
-
කැත කූඹී...13 years ago
-
ප්රබුද්ධ උපුටනය 0514 years ago




