අරුණ නොදැරිය හැකිව
රිදුම් දෙන යෞවනය
රුවා පෙති කරල් මැද
නැගෙන්නී
පෙර දිනෙක රෝ දනට
උවටැනින් ගෙවුණු දිවි
සිහි වුවද පසුතැවිලි
නොවන්නී
මිදුණු දෑඟිලි වෙරෙන්
ඉක්මණින් පල දරන
කෙටි පැතුම් තුරු වෙසින්
සදන්නී
දැවෙන සිත නොතලනා
සුවය දෙන හිතවතුන්
පිච්ච මල් කැකුළු මැද
දකින්නී
ලද නොලද සියල්ලෙහි
අකම්පිත වන්නෙහිද?
දිරිය නැගණිය
තිලකා.
තිලකා.
මාස දෙකතුනකට පෙරාතුව ඇය මට හමුවුණේ සැත්කමක් උදෙසා රෝහල්ගතව සිටියදී. වෙනත් රෝගියෙකුගේ සැත්කමක් අතරතුර ඇයවත් සැත්කම් කාමරයට ගෙන ආ නිසා, පැයක් පමණ ඇය හා දොඩමළු වීමට අවස්ථාව ලැබුණා.
හෙදියක සේ බොහෝ රෝගීන්ට උවටැන් කරමින් ගෙවුණු ඇගේ දිවියේ වෙනසක් ඇති වූයේ අස්ථි සන්ධිවල රෝගයක් වැළඳීමත් සමග. තව දුරටත් හෙද කාර්යය කළ නොහැකි තැන ඇය රැකියාවට සමු දුන්නා. නමුත් අනුනට උවටැන් කිරීම ඇගේ ඇටමිදුළු දක්වා කා වැදී තියෙනවා වෙන්නට ඕන. හරිහැටි හසුරුවා ගත නොහැකි අත් පා බලෙන් මෙල්ල කරගෙන, තුරුලතාවලට උවටැන් කිරීම ඇය අරඹන්නෙ, රෝගයට අභියෝග කරමින්. මිනිසුන් මෙන් නොවෙයි, තුරුලතා ඇගෙන් ලබන උදව්වලට සරිලන පරිදි ඇයට ප්‍රතිඋපකාර කරනවා. ඒ ඇගේ සිත සතුටු කරවන මල් පල දැරීමෙන්; සිසිල් මඳ පවනින් ඇගේ ගත සුවපත් කිරීමෙන්; නිරන්තර වේදනාවෙන් පෙළෙන දෑතට මුදු ස්පර්ශයක් වීමෙන්. වචනවලින් ඇය ඇමතිය නොහැකි වුවත්, සුවඳින් ඇය අමතන සමන් මල් ඇගේ වැඩි ආදරය දිනාගෙන.
ඇය කවි ලියන බවත් පැවසුවා. එක්තරා වෙබ් අඩවියක ඇය කවි පළ කළ බව කී නමුත් මට එම අඩවිය සොයා ගැනීමට හැකිවුණේ නෑ.
අහිමි වුණු බොහෝ දේ ගැන නොවැළපී, ලැබී ඇති දෙයින් ජීවිතය ගොඩ නැගීමට වෑයම් කරන තිලකා.
ඈනම් මහ පොළොවට බරක් නැති මිනිසෙක්.
This entry was posted
on Saturday, May 28, 2011
at Saturday, May 28, 2011
and is filed under
කවි,
තිලකා,
නලිනි චන්දිමාගෙන්
. You can follow any responses to this entry through the
comments feed
.