පරිස්සමෙන් හිටු!  

Posted by නලිනි චන්දිමා in , ,

ඉතින්,
එපානම් මාව
නුඹේ දිවියට...


හිටුකො!

ඇස් ලොකු මීයෙක් වෙලා
නුඹේ වහළය දිගේ විත්
යට ලීය උඩ හිඳගෙන
විරිත්තන්නම් මම නුඹට.

එතකොට
කොස්සක් අතින් ගෙන
පන්නාවි නුඹ මාව.

සැඟව, පැන, පෙනී, නොපෙනී
කුටිය පුරාවට
ඔට්ටු සෙල්ලම් කරමු
අපි දෙදෙන.
නුඹට හති වැටුණු කල
හිඳගෙන යට ලීය මත

විරිත්තන්නම් නුඹට මම.

එතකොට
දැන් නුඹ අතින් නොකියවෙන
මගේ ගැන
නුඹ කියාවි කවුරුනුත් සමග
නොදැන ඒ මා බව.


හිටුකො!

නුඹ ආදරෙන් කියවන
පොත් ඉරා කැබලිකොට
නුඹේ නිල් පාට කමිසයේ
උණුසුමට
කූඩුවක් හදාගෙන
ගුලි වී නිදන්නම් මම.

මම දන්නවා

එතකොට
නුඹට අනුකම්පා හිතේවි
මා ගැන.

මට නිදන්නට ඉඩ හැර
පා තුඩින්, නිහඬව
අඩි තබා ඇවිදීවි නුඹ
සොරෙකු සේ
නුඹේම කුටිය තුළ.

පසුව
දැන් නුඹ අතින් නොකියවෙන
මගේ ගැන
නුඹ කියාවි කවුරුනුත් සමග
නොදැන ඒ මා බව.


හිටුකො!

මියැදෙන්ට කල ආ විට
නුඹට දුක නොහිතෙන්ට
ඈතකට ගොස් මැරෙන්නම් මම.

නොදැන මා මළ බව
නුඹ බලාවි යට ලීය දෙස.
නුඹ හොයාවි කාමරය පෙරළගෙන
මාව.
නුඹට හමු වේවි නුඹේ සීතල කමිසය.
පාළුවක් හිතේවි නුඹට
මා නැතිව.

එතකොට
දැන් නුඹ අතින් නොකියවෙන
මගේ ගැන
නුඹ කියාවි කවුරුනුත් සමග
නොදැන ඒ මා බව.

හිටුකො...

වැරදි ගෑනිව
තරහ කර ගත්තෙ නුඹ.




This entry was posted on Saturday, June 11, 2011 at Saturday, June 11, 2011 and is filed under , , . You can follow any responses to this entry through the comments feed .

10 දෙනෙක් ගේ අදහස්

හරිම ලස්සන කවි පන්තියක් අක්කේ...

June 12, 2011 at 12:20 AM

ස්තුතියි දිනේෂ් මල්ලි.

June 12, 2011 at 12:36 AM

මේකනම් මරු....:)

June 12, 2011 at 1:00 AM

බොහොම ස්තුතියි මලිති.

June 12, 2011 at 1:06 AM

නියමයි හරිය...

June 12, 2011 at 8:58 AM

"..මියැදෙන්ට කල ආ විට
නුඹට දුක නොහිතෙන්ට
ඈතකට ගොස් මැරෙන්නම් මම..."

ඒකට නම් මට හරියට රිදුන.කියන්න හදන දේ දැනෙනව හොඳටම

June 12, 2011 at 1:20 PM

@ Hishan: ස්තුතියි ඔබට.

@ අකූ: ඔය කොටස පෙනෙන්නෙ එක්කෙනෙකුට දෙන්නෙකුට විතර..

June 12, 2011 at 6:54 PM

හහ්...හා....
/වැරදි ගෑනිව
තරහ කර ගත්තෙ නුඹ./
මම හිතන්නෙ මේත් ඔය අවනඩුවම තමා. හැබැයි පිරිමි ඇහැකින්..........
http://reargate.blogspot.com/2011/01/blog-post_16.html
(මෙහෙම මගේ ලින්ක් දාන එක මම අකමැතිම දෙයක්. කමාකරත්වා. ඒත් මේක දාන්නම හිතුනා.)

June 13, 2011 at 2:03 AM

මාරයි නියමෙට ලියලා තියනවා .........
වෙනස් වචන, වෙනස් විදියක් ......

June 13, 2011 at 12:43 PM

@ Charmi: මම ඔයාගෙ ඔය පෝස්ට් එක කලින් කියවලා තිබුණා. සහතිකෙන් මට ඒකත් මතක් වුණා මේක ලිව්වට පසු. "එයත් එක්ක අඩු ගානෙ මට දැන් නඩුවක්වත් තියෙනවනෙ." මට අමතක වෙලා තිබුණෙ මම කොහෙදිද මේක කියෙව්වෙ කියලා. බොහොම ස්තුතියි ආයෙත් මතක් කරල දුන්නට.

@ කල්හාර දිසානායක: බොහොම ස්තුතියි මල්ලි.

June 13, 2011 at 5:34 PM

Post a Comment

ඔබේ අදහස් අපිට ශක්තියක්