"රජවරු සිටුවරු ඒ සැප සම්පත්, මාළිගා අත හැරියා; ලස්සන බිසෝවරුන්ව, අන්තඃපුර අතහැරියා; රන්බඳුන්වල රජ බොජුන් කාපුවා අත හැරියා; සිනිඳු පටසළු, රන් සළු අත හැරියා.." හාමුදුරුවෝ ඇහින් දැක්කාක් මෙන් විස්තර කරති. "අපිට බෑ යන්තම් පණ ගැට ගහගන්න විතරක් ලැබෙන, අනුන්ගෙන් බැණුම් අහ අහ කරන රස්සාව අත් හරින්න; ටකරං වහපු ගෙදර අත් හරින්න; අපිට බෑ කිසිම හැඩවැඩක් නැති ගෑණිව අත්හරින්න; අපිට බෑ බෙලෙක් පිඟානෙ කන රොටිය අත්හරින්න; අපිට බෑ ඇඳලම හම ගිය රෙදි කඩමාල්ල අත්හරින්න. ඇයි ඒ?" හාමුදුරුවන්ගේ දැඩි බැල්ම දරා ගත නොහී සුනීත බිම බලාගත්තේය.
"ඇයි අපට අත් හරින්න බැරි?" හාමුදුරුවන්ද ලේසියෙන් අත හරින පාටක් නැත.
"අපිට පින් මදි.." කවුදෝ කෙඳිරි ගෑවේය.
"පින් මදි?" හාමුදුරුවෝ එදෙසට හැරුණහ. "දැන් තමන්ට තියෙන පින් කොච්චරක්ද කියල දන්නවද?"
පිළිතුරක් නැත.
"පින් නෙවෙයි, අපිට කොයිකත් මදි." හාමුදුරුවෝ ඒත්තු ගන්වන ස්වරයකින් කියති. "සෑහීමක් නෑ. ඒකයි වෙලා තියෙන්නෙ අපිට."
"ෂෝක් බණ ටික නේද? හරි දැන උගත් හාමුදුරුවො" කුසුම් ආපසු නිවසට එන අතරතුර කීවාය. "පොට්ටයගෙ කඩේ පාන් ඉවරද දන්නෙ නෑ. අපරාදෙ, අපිට යන ගමන් ගන්ඩ තිබුණෙ."
කුසුම්ගේ මතයට විරුද්ධ වී තව බොහෝ දේ අසා ගැනීමට තරම් සුනීත මෝඩයෙක් නොවේ. ඒ නිසා ඔහු "හ්ම්." කීවේය.
"පාන් ඉවර ඇද්ද?" සුනීත හුම් ගෑවේ කුමකටදැයි සිතා ගත නොහී කුසුම් විමසුවාය. "කොහෙද, මංම මතක් කළොත් මිස ඔයාට මතක් වෙන්නෙ නෑනෙ."
"නෑ, මං කිව්වෙ බණ හොඳයි කියල. අපි බේකරියෙන් පාං අරන් යං. එතන නැති වෙන්නෙ නෑ මේ වෙලාවට."
අලුත් හාමුදුරුවරුන් නිවන් අරමුණු කර දෙසන බණවලට වඩා තමන් කුඩා කල ගමේ පන්සලේ හාමුදුරුවරුන් දෙසූ බණවලට සුනීත කැමතිය. පටාචාරා, සුනීත, සෝපාක, අංගුලිමාල ආදීන් පිළිබඳවද, එක් මලක් පිදීමෙන් පමණක් කල්ප ගණන් දිව සැප ලැබූවන් පිළිබඳවද කොපමණ ඇසුවත් කම්මැළි නැත; ඒවා සියල්ල ප්‍රීතිදායක ලෙස අවසන් වෙයි; හැමදාම අසන්නේද ඒවාම බැවින් හාමුදුරුවන් ප්‍රශ්නයක් ඇසූවද පිළිතුරක් ගැට ගසා ගැනීම අපහසු නැත. නිවන් දැකීමට ඇත්තේද කල්ප ගණන් රජ සැප, දිව සැප විඳීමෙන් අනතුරුවය.
අලුත් හාමුදුරුවරුන්ගේ බණ එසේ නොවේ. ඔවුන් අසන ප්‍රශ්නවලට ලෙහෙසියෙන් පිළිතුරක් ගළපාගත නොහැක. නරකම කරුණනම් නිවන් දැකීමට අවශ්‍ය අය ස්වෝත්සාහයෙන් එය කරගත යුතු වීමය. එසේම මේ භවයේදීම නිවන් දැකිය යුතුයයි ඔවුහු බල කර සිටිති.
නිවන් දැකීමට සුනීතගේ අකමැත්තක් නැත. එවිට අටලෝදහමෙහි කම්පා නොවී සිටීමට හැකියාව ලැබෙනු ඇත; නැවත මෙලෙස දුක් විඳීමට සිදු නොවනු ඇත; රටට ණය වීමට සිදු නොවනු ඇත.
කුසුම්ද නිවන් දකින්නේනම් සුනීත ඊටත් වඩා කැමතිය. ඇගේ ජීවිතය තමන්ටත් වඩා අපහසු බව සුනීත දනී. ඇරත් කුසුම්ගේ තරහ යන ගතියද අඩුවනු ඇත.
ප්‍රශ්නය ඇත්තේ නිවන් දැකීම පිණිස අනුගමනය කළ යුතු මාර්ගයේය. බුදුන්ගෙ කාලයේනම් එකවර පන්සීය දාහ බණ ඇසීමෙන් පමණක් මගපල ලැබූ බව සුනීත අසා ඇත. එලෙස මගපල ලැබීමට ඔහුද කැමතිය. මෙතෙක් කල් එය ඉටු නූණේ හාමුදුරුවරුන් ඒ කාලයේ මෙන් හරි හැටි බණ කීමට නොදත් නිසා බව සුනීතගේ විශ්වාසයයි. ඉතින් තවත් යමක් කළ යුතුනම් සතියකට සැරයක් පමණ පන්සල් ගොස් තෙල් මල් පුදා ඒමට ඔහුට හැකිය; ගෙදර ඉන්න දවස නිසා දැනට සිල් නොගන්නාමුත් අවශ්‍යනම් මසකට වරක් ගොස් සිල් ගැනීමටද බැරිකමක් නැත; මත්පැන් පානයට හෝ වෙනත් පව් වැඩකට ඔහු මුදල් නාස්ති නොකරයි; මදුරු දඟර වලින් මදුරුවන්ට සිහි නැති වෙනු විනා උන් නොමැරෙන බව කුසුම් විශ්වාසයෙන් කියයි; නිතර කැඩෙන්නේ හතරවන සිල් පදය පමණකි. කතාව අඩු කළොත් එයද අඩුවනු ඇත. නමුත් නිවන් අවබෝධ කිරීමට මේ සියල්ලද ප්‍රමාණවත් නොවන බව සුනීතට දැන් දැන් වැටහේ. එයින්ම ඔහු දුර්මුඛ වෙයි.
හාමුදුරුවරුන් හරියට බණ කියන්නේනම් මේ කිසි ප්‍රශ්නයක් නැත.
කුසුම්ද තමන්ගේම කල්පනාවක ගිලී ආ හෙයින් නිවසට පැමිණෙන තුරුම දෙදෙනා අතර වැඩි කතාබහක් නොවිණි. බාල දුව බෙරිහන් දෙන හඬ පාරටම ඇසුණි.
"එක පැයක් මරාගන්නෙ නැතුව ඉන්ඩ බැරිද උඹලට?" කුසුම් ගෙට ගොඩ වූයේ යක්ෂාවේශයෙනි.
"අක්කා මට දොර පොල්ලෙන් ගැහුවා."
"නංගි මගෙ චිත්‍ර පොත දෙකට ඉරුවා."
"මට පැස්ටල් දුන්නෙ නෑ."
"කට වහගනිල්ල මං දෙන්ඩ ඉස්සෙල්ල දෙන්නටම දෙකක්."
"බණ හොඳද පුතේ?" හීන් මැණිකේ කාමරයේ සිටම හඬ නගා ඇසුවාය. ඔත්පොළ වී ඇඳට වැටුණු ඇයට රෝද පුටුවක් රැගෙන දීමට සුනීත සිතාගෙන දැන් වසරකට වැඩිය. මේ පිළිබඳව අය්යා සමගද කතා කර තිබේ. අය්යා හඳුනන තැනකින් සාප්පුවට වඩා අඩු ගණනකට පුටුවක් සාදා දීමට පොරොන්දු වුණත් මෙතෙක් එය නොකෙරිණි. අය්යාට ළමයින් සතරදෙනෙකි. රුපියල් නවයක් ඉතිරි කරගැනීම පිණිස ඔහු දිනපතා කාර්යාලයට යන්නේ පයිනි. ඒ මුදලින් නිවස පිළිවෙලක් කරගැනීමටත්, ළමයින් වෙනුවෙන් යමක් ඉතිරි කිරීමටත් ඔහු සිතා සිටී. සුනීත ගේ සෑදීමට ගත් ණය තව වසර දොළහක් තිස්සේ ගෙවීමට ඇත. රෝද පුටුව අමතර කරුණකි.
"ගම්පහ හාමුදුරුකෙනෙක් අම්මෙ බණ කිව්වෙ." සුනීත ඇගේ ඇඳෙන් හිඳ ගනිමින් කීවේය. "බණ හොඳයි. ආර්ය අෂ්ඨාංගික මාර්ගෙ ගැන කිව්වෙ."
"මට බණ ටිකක්වත් අහන්ඩ යන්ඩ විදිහක් නැති වුණානෙ." හීන් මැණිකේ ඇඳ රෙද්දෙන් කඳුලු පිස්සාය. "කරුමෙ."
"රේඩියෝ එකෙන් අහන බණම තමයි අම්මෙ ඉතින්. ඔක්කොම එකයි." සුනීත මව සනසන්නට සිතා කීවේය. එහෙත් හීන් මැණිකේගේ හැඬුම ඉන් වැඩි විය.
"මගෙ කරුමෙ. අපේ පවුලෙ අනික් ඔක්කොම හොඳට ඉන්නවා. මට විතරයි මෙහෙම."
පවුලෙ අනික් ඔක්කොම හොඳට නැති බව සුනීත මෙන්ම හීන් මැණිකේද හොඳින්ම දනියි: ඇගේ එකම සොහොයුරියගේ සහකරු හදිසියේ මිය ගිය පසු ඇය දරුවන්ට ඉගැන්වූයේ ඇඳුම් මසා විකුණාය; එසේ වුවද දරුවෝ නොමග ගියහ. වැඩිමල් සොහොයුරාගේ උපතින්ම එක් කකුලක් කොටය. අනෙක් සොයුරා මත්පැනට ඇබ්බැහි වී ඇති අතර, ඔහුගේ දරුවන්ගෙන් එක් අයෙක් මානසික රෝගියෙකි.
එනමුත් සුනීත නිශ්ශබ්දව සිටියේ කතාව දිග්ගස්සා ගැනීමට ඇති අකමැත්ත නිසාය.
"මම ඉස්සර කොච්චර බණ ඇහුව කෙනෙක්ද?" හීන් මැණිකේ නිතර කියන කතාවක් පටන් ගනී. "දරුවෙකුට සුනීත කියල නම දාන්ඩ හිතාගත්තෙ බඳින්ඩත් ඉස්සර. මොකක් හින්දද මන්දන්නෑ, හරියට ඒ නමට ආස වුනා මම. ලොකු පුතාට ඒ නම දාන්ඩ දුන්නෙ නෑ වසුරු කදක් අරන් යන එකෙක්ගෙ නමය කියල. ඒත් මං කොහොම හරි පොඩි පුතාට ඒ නම දැම්මා. එතකොට නැන්දම්මා මැරිලා. ඒ ගෑනි බණ අහල නෑ. වසුරු කද බිමින් තියපු රහතන්නාන්සෙ කෙනෙක්ගෙ නම ඒක."
වසුරු කද බිම තියපු රහතන්නාන්සෙ කෙනෙක්ගෙ නම.
"ඔය කිව්වට ඒ සුනීතත් එක පාරටම කද බිම තියන්ඩ නැතුව ඇති." සුනීත හිත හදා ගත්තේය.
තෙරපිය - The Therapy
4 weeks ago