ඉහේ හිටං බූමිතෙල් වක්කරගෙන ගිනි තියාගත්
සිරියලතා,
ඇඳේ දපා,
ඒ අතට ඉන්ටත් බැරුව
මේ අතට ඉන්ටත් බැරුව
බොල්ලෑ දත් අතරින් විලාප දෙයි.
රොද බැඳුණු මැස්සන් හා
පරදිනා සටනක නියැළි
දිරාගිය අම්මා,
හෙළන්නට කඳුලකුත් නොමැතිව
යටහත්ව විමසයි:
"උදේ බේතුත් බුන්නෙ නෑ; මී මැස්මොරේ එයිද, නෝනා?"
සුදෝ සුදු වතින් බැබළෙන
නයිටිංගේල් දියැණියෝ,
මුදු වදන් තෙපළමින්
වේදනා නසන ඔසු දෙනු වස්
නහරයක් ඉතිරිව ඇත්දැයි සොයත්.
ගිලනහුද සුදනහුද
හකුළුවාගත් නාස්පුඩු ඇතිව
පිළිකුලින් බලමින්
අනුකම්පාව මුමුණත්.
"අම්මා මැරෙයි අද හෙට.
ලෙඩා වෙච්චි මං කවුරුන් බලන්ටද?"
සිරියලතාගේ වදන් සිහිවනවිට
"ඈ අදම මියෙත්වා" යි මට සිතේ.
This entry was posted
on Wednesday, January 19, 2011
at Wednesday, January 19, 2011
and is filed under
නලිනි චන්දිමාගෙන්,
නිසදැස්,
විසඳුම
. You can follow any responses to this entry through the
comments feed
.