රෝහල ඉදිරිපිට බස් නැවතුමට වී මා බලා සිටියේ තාත්තා එනතුරුය. සායනයේ නොම්මරයක් ලබා ගනු පිණිස මා කලින් පැමිණියේ තාත්තාගේ රස්තියාදුව අවම කිරීමටය. පැයක් පමණ වේලා මෙතැන වේලෙන මා දෙස බලමින් මිනිස්සු යති; එති. මම ඒ නොදැක්කාක් මෙන් සිටීමට වෑයම් කළෙමි. මා පසු කර මීටර කිහිපයක් ගිය මෝටර් රථයක් එක්වරම නතර විය. ඉන් බැස ගත් කවුදෝ මා දෙසට එනු මගේ නෙත් කොණට පෙනුණි. මම අහක බලාගෙනම සිටියෙමි. ඒ ආ රුව මා අසළ නැවතිණි.
"නංගි?"
*********************************
"සම්පත් කොහෙද ඉන්නෙ.."
- දැන්නම් කාමරේ ඉන්නෙ.
"මේ පැත්තට එන්න අදහසක් එහෙම නැත්ද.."
- ම්ම්.. මම මේ චැට් එකක, තව පැය භාගයකින් විතර එන්නම්.
"හරි එන්නකෝ, එහෙනම් මම තිබ්බා"
- ඕ.කේ.
බොහෝ කලකට පෙර, ඔබ මා කෙරෙහි ඇති සෙනෙහස ගැන මුළින්ම ඉඟි කළ දිනය මතකද?
සම වයසේ අසල්වාසීන් වුණු අප දෙදෙනා එකට යාම් ඊම් කිරීම කිසිවෙකුත් ප්‍රශ්නයක් කර නොගත්තේ අපේ පවුල් දෙක අතර ගොඩ නැගී තිබුණු සහෝදර බැම්ම නිසාම විය යුතුයි. එදා සවස නිවෙස බලා එද්දී ඔබේ අතේ තිබුණා කාගෙන්දෝ ඉල්ලාගත් ගිතාරයක්. පටු මාවත දිගේ එද්දී, බෑගය උරහිසෙහි එල්ලාගෙන ඔබ ඇහුවා මගෙන්...
"මං ලිව්ව සිංදුවක් කියන්නද?"
"ටිකක් පාර මැදට වෙලා කියන්න. ගැරඬි ආවොත් ටක් ගාලා පේනවා එතකොට." මම කිව්වා.
මගේ නොහොබිනා උත්තරයෙන් නොසැළී ඔබ ගයන්න පටන් ගත්තා.
නුතන බොළඳ ආදරවන්තයාගේ කවි පොතින්
Posted by නුවන් තිලංග in කව්, නුතන බොළද ආදරවන්තයාගේ කව් පොතින්, නුවන් තිලංගගෙන්
(නො)තේරුම
කප්පරක් පැතුම්
හීන කන්දක් පුරවගෙන
මහගෙදරත් උකස් කරලා
විස්ස විද්යාලේ යවපු ලොකු එකා
අත් කකුල් වෙලාගෙන ගෙදර ඇවිත්
පහ පාස් පොඩි මල්ලි සිමෙන්ති අනලා
ගත්තු සොච්චමත් හන්දියේ ඩිස්පෙන්සරියේ
කවුන්ටරේ මැද්දෙන් තිබ්බ
උන්ගේ අම්මා
දෙස් තියන
අප්පච්චිට මෙහෙම කිව්වා
කෑ නොගහ හිටියනම්
මයෙ පුතාට දැන් හොඳට පොස්ටෙර් අඳින්න පුලුවන්
ඒ.. රුපියල
බඩගින්නේ වේලෙන අතකින්
ගිනි අව්වේ වේලෙන හිතකින්
ඉල්ලුවත් නොදුන්න
ඒ රුපියල...........
දේවාලේ පින් කැටේට දාල
දොහොත් මුදුන් දුන්නේ
පුදුමාකාර හිතේ සතුටකින් (ද)
දුන් දෙයක් කා බී
ඉරුණු කමිසය ඇඳන්
ගමේ ඉස්කෝලෙ ගුරු සිත නොරිදවා
දීපු සිල්පයක් අරගෙන,
ටිකක් තේරෙන වයසට එනකොටම
අතේ කරගැට නොතකා මටත් අත් උදව් දීගෙන,
උඹ සිල් ගත්තු දිනවල
බාලයින් බලාගෙන පන්සිලුත් රැකගෙන හිටි
අපේ පුතා,
කොලුකමට දඟලනු වෙනුවට
පුරාණ රජ දරුවෙක් වගේ
එක හිතින්
ඇස් ඉස් මස් ලේ පුදා රැක ගත් පින් බිම උඩින්
පාරක් ඇරලලු.
ඒ දිගේ
මැම්බර් මහත්තයා උන්නාන්සෙගෙ රට වැසියන් බලන්ට යනවලු;
රට නොරට මුදලාලි මහත්තුරු සුවිසාල කඩ අරින්ට යනවලු;
සිදාදියෙ බේබිලා සවාරි යනවලු;
සුදු මහත්තුරු, නෝනලා, දුප්පතුන් හොයන්ට යනවලු;
ගම්වල මිනිස්සු නඩ ගැහී වන්දනාවෙ යනවලු.
අපිත් යමුද
බුදුන් වැඩිය නාගදීපෙ වැඳලා
අපේ පුතාට පිං පමුණුවන්ට?
ගත බදු දී.. මුදල් හොයන
යන්තරයක් කොටු කරගෙන
රාලහාමි මහ හයියෙන්
මොර දෙනවා පුප්පාගෙන.......
පර බැල්ලියේ වනචාරියේ
අඬු කඩනවා උඹගේ අද
හිනා වෙවී හඬනා උඹේ හිත පේනවා යස අගේට
කාකි ඇඳුම් උණු වෙන් නෑ කඳුළු බිංදු උණු උනාට
මොණර කොළෙන් තේ උගුරෙන් දඩේ වහන උන්ගේ හිතට
උඹේ කඳුළු බර වැඩි නෑ ඒ මහ හිත් යට කරන්න
අතේ මිටේ කාසි පනම්
අතට පයට දැසි දස්සන්
හිටියා නම් අනේ ඉතින්
ඔය යන්තරේ ලොක් කරගෙන
පෝය හතර පන්සලේම
උඹ ඉඳීවි යස අගේට.......
ලාභයි........ ජීවිතේ
Posted by උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා in උපේන්ද්‍ර හර්ෂණගෙන්, නිසදැස්, ලාභයි........ ජීවිතේ
කාසි කොළ වලින්
හරි හරියට සෙල්ලම් කරන
මගේ ජීවිතේ....
උන් කේවල් කරන්නේ මගේ ජීවිතේ බව
උන් නොදන්න තරමටම
අල ළූනු ගෙඩියකින් මන්දිර තනන උන්ගේ හිත්වලට
මම සාප කරන් නෑ
දෑස නොදල්වා බලා ඉන්න තරමට
ගිරිය ගෙවෙනකම් කෑ ගහන තරමට
හිස් වෙන ගෝනි පඩංගුව වගේ
හිතේ කරදර හිස් වෙන් නෑ කියලා
උන්ට නොතේරෙන බව මං දන්නවා
යකඩ කටින් යටිගිරියෙන්
අපේ දුකට උන් විඳවපු.......
අවුරුද්දෙන් දින ගානක්
අපේ ජීවිත උන්ට පෙනුණු......
හීන දැකපු මාලිගාවේ
ආයෙත් උන් රජකරවපු
වළං පතුලේ කැඳ උගුරට
තුන් වේලම හිත හදාපු......
තැලෙන යකඩ දැක දැක උන්
ඒ යකඩෙම ඔප දමාපු
කැපෙන දවස ඈතක නෑ
මුවහත වැඩි උන් තියාපු..
රේල් පාරේ කෙළවරක...
යන එන උන්ට හිනා වෙවී
උඹ උන්නා
වෙලාවකට ඇඬුවා .. කෑ ගැහුවා........
පන්සලේ මුල් පුටු..... නිල බෞද්ධයෝ
උඹව පහු කලේ බොහොම බයෙන්
බුදුන්ගේ කරුණාව
උන්ගේ බණ පොත් වලින් මග ඇරිල.
වෙනදා වගේම හිතේ කහටක් නැතුව උඹ මට හිනා උනා
අඳුරගෙනද මන්දා හූවකුත් කිව්වා
"පිස්සෙක්" පාරේ ගිය උත්තමයෙක් කිව්වා
"කව්ද..." මං ඒ උත්තමයගෙන් ඇහුවා
"තව එකෙක්"
උත්තමයා එහෙම කියලා නොපෙනී ගියා
මං තවම කල්පනා කරනවා
කව්ද.... පිස්සා
ගුඩ් මෝර්නින් සර්........
කන්තෝරුවේ පිය ගැට පෙල පාමුල
කුනු බාල්දියත් අතේ තියාගෙන
තනි මට අක්කර ගානක ඉඩක් ඉතුරු කරලා
පැත්තකට වෙන ගමන්
උඹ මට සුභ පැතුවා
ඊලගට තරප්පුව නගින
අකුරු දෙකේ ලොකු මහත්තයට
ඒ ඉඩ මදිවෙලා
බෝ වෙන ලෙඩෙක් දැකපු ගානට
මූන ඇද කරගෙන
ඌ මට මෙහම කිව්වා
දවසම ඉවරයි.........
කුනු වලට උඹ ඔය තරම් බයද
හොදට හිතපන්
ආයෙම හිතපන්
උන් අදින්නේ අපේ කුනු...
මවුපිය සෙනෙහස අහිමිව
මා තුරුළට පැමිණියදා
සපථ කළෙම් දිවිහිමියෙන්
සුරකින්නට ඔබ
ඒත් දියණියේ
හිතේ කොතැනකවත්
අහිතක් නොමැතිවයි
ඔබට සැර කළේ
විසල් ලෝකයේ
රුදුරු සතුරන්ගෙන්
රැක ගන්නයි සෙනෙහසින්
ඔබේ දෙනෙතින් ගලායන
කඳුළු කැට දැක
ඔබට හොරා මගේ හදවත
වැළපෙයි
ඒත් දියණියේ
දයාබර සැමියෙකු අතදරා
නෑකුල පිරිස සමග
ඔබ දීගෙක යන තෙක්
අනේක දුක් දරා
ඔබ සුරකින්නට
මගේ යුතුකම ඉටුකරන්නට
කැපවෙම් නිරතුරු.............මා
මා සදාදර
ඔබේ
......බාප්පොච්චා........
පෙරුම් පිරු සිහිනය.............
Posted by නුවන් තිලංග in නිසදැස්, නුවන් තිලංගගෙන්, පෙරුම් පිරු සිහිනය
පෙරුම් පුරා ඔබ මග බලමින් සිටි
උපාධිය සමත් වූ පුවත
ඔබට පැවසූ දිනේ
මට වඩා සතුටු වූයේ ඔබයි අම්මේ
ලෝකයම දිනු අවිහිංසක
මුවැත්තියක සේ
දරාගත නොහැකි
කඳුළු පිරි සතුටක්
නොදුටුවෙමි මින් පෙර
කිසි දිනක මා
නින්දා අපහාස
තර්ජන මැද්දේ
මා වෙනුවෙන් ඔබ
පුද කළ සෙනෙහසට
වන්දිය
කවදා නම් මා
ගෙවා නිම කරම්ද
රැකියා විරහිත උපාධිධාරියකු ලෙස
පුවරු එල්ලන් වීදි බසින ගොන්නට
ඇතුළුවිය මගේ නමත්
ඒ බැවින් අම්මේ, කවදානම්
සැබෑ කරන්නද
ඔබ දුටු බෝසත් සිහිනය..
අද සිල් ගන්නෙ ගෙදර ඉඳං.
සිර ගත කල පෙම
දම් පාට අහස යට පෙම් පාට පිරුනු රැලි
නුවර වැව් ඉවුර ලඟ තනිවෙලා......
පෙම් කතා අමතකව පෙම් සිනා හඬ නැතිව
බංකු පොඩි එක පෙලට තනිවෙලා....
එදා වැව් රවුම වට මැවූ පෙම් කතන්දර
දෙනෝ දාහක් හිතේ සිරවෙලා
ප්‍රේමයේ අස්වැන්න කපාගෙන ගෙනියන්න
රාලහාමිලා එයි උන් සොයා
පෙම් නොකල සිත් ඇතුව මෙලොව එලි දුටු එවුන්
හඬ නගන බහු බූත අස අසා
කාකි රූ බැටන් පොලු මග වඩීදෝ කියා
මල් සරා අතු අගක සැඟවිලා
සියුමැලි නොවුනු කලුගල්
Posted by උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා in උපේන්ද්‍ර හර්ෂණගෙන්, නිසදැස්, සියුමැලි නොවුනු කලුගල්
රතු එළිය වැටෙන තුරු
දෝත පාමින් සිගමන් යදිමින්
බලා සිටිම් ඇසිපිය නොහෙළා
රතු එළිය වැටෙන තුරු
වමට දකුණට හරහට පහළට
ගිය මගේ ජිවිතය
නැවතී ඇත මෙසේ
සතර මං හංදියක
එපා රවා බලන්නට
සෙනෙහබර මහතුනේ
දිරාගිය මගේ ගතට
වෙන කුමක් කරන්නද?
පොඩි පුතා වැලිකඩ
ලොකු පුතා බෝගම්බර
උන්ගෙ පවුල් රකින්නට
දෝත පානෙම් ඔබට
මහලුව වැහැරුණත්
සරි කරම් කෙසේ හෝ
උන්ගේ කල දවස මා
වැටෙන තුරු හෙට දිනයේ
ජීවිතයේ රතු එළිය
පසු වදන - පසුගිය දිනෙක සවස මා කාර්යාලය නිමවා එන අතරමග බසයේ සිටින විට ඔරුගොඩ වත්ත හංදියේ විදුලි සංඥා පුවරුව අසල සිගමන් යදින මහලු මවකට සුවිසල් රථයක සිටි මහත්මයකු නින්දිත ලෙස බැන වදින අයුරු දුටු මගේ සිතේ ඇතිවු කවි සංකල්පනාව මෙසේ ලියන්නට සිත් විය.
බූලා අණ්ඩක් එල්ලාගෙන කාලකණ්ණියෙකු සේ සිටී.
"අනේ පව්, මට හරියට දුක හිතුණ." මල්ලී කියයි. පිට බල්ලෙක් ගෙදරටම අවුත් බූලාට හපනවිට, රෑ පානේ දිවගොස් ඌව බේරාගෙන ඇත්තේ මල්ලීය.
"ඉස්සර අපිටත් ඔහොමයි. පිට පන්තිවල එවුං ඇවිත් ගහල යනව."
"නැහ්! ගොඩක් ගුටි කෑවද?"
"ගොඩක්මත් නෑ."
"කවුද? යාපලද?" යාපා මල්ලිට ඉහළ පන්තියේ සිටි කොල්ලෙකි. පසු කලෙක මල්ලී හා මිතුරු වූ ඔහු අපේ නිවසට නිතර එන යන පුරුද්දක් විය. මල්ලිගේ මිතුරන් හා කාඩ් ගැසීමෙන් අපේ බොහෝ සන්ධ්‍යාවන් ගෙවිණි.
"උඹලගෙ පන්තියෙ බත්මුල් හොඳ කාගෙද දන්නවද?" දිනක් යාපා ඇසීය. ඊට පිළිතුරක් බලාපොරොත්තු නොවූ ඔහු දිගටම කියවාගෙන යන්නට විය.
"උඹලගෙ, ගුලියගෙ, එතකොට දසයගෙ..."
"අපෝ....උඹලගෙං තිබුණු වදයක්." මල්ලි කීවේය.
පන්තියට ඇවිත් ගහල යන කතාවත් සමග මට මේ බත් කතාවත් සිහි වෙයි.
මල්ලිලාගේ පන්තියට දිනපතාම විවේකයට පෙර තිබී ඇත්තේ විද්‍යාගාර පාඩමකි. ඒ අවසරයෙන් පන්තියට රිංගන ඉහළ පන්තිවල සිසුහු බත්මුල් සොරා කති. අපේ නිවසේ ඒ දිනවල උදේට කන චාරිත්‍රයක් නොතිබිණි. පිටින් ආහාර ගැනීම පිණිස මුදල් දීමක්ද නොතිබිණි. උයන සියල්ලම ඔතා දීමෙන් පසු පාසල ඇරී ආපසු කෑමට දෙයක්ද නිවසේ ඉතිරි නොවෙයි. එසේ කෑමක් අවශ්‍යයයි නොසිතුවේ දහවල් පාසලේදී කන ආහාරය ඇතැයි සැළකුණු හෙයිනි. දැන් මෙන් නිවසට ආ විගස තේ බීමේ පුරුද්දක්ද එකල නොවිණි. විවේක කාලයේදී ගැනීමට තිබූ ආහාරයත් අහිමි වූ විට මිනිසකුට අත්වන තත්ත්වය මට සිතා ගත හැකිය.
"තව එවුනුත් හිටියා." මල්ලී තම පන්තියටම පැමිණ පහර දී යන පිට කොල්ලන් ගැන කියයි.
"බතුත් කාල ගහලත් යනවද?"
"බත් කන්ඩ එන්නෙ අපි නැති වෙලාවටනෙ. ගහන්ඩ එන්ඩ වෙලාවක් නෑ. උන්ගෙ එකෙක්ගෙ ඇඟේ අපේ එකෙක් හැප්පුණොත් ඇති; පන්තියටම නෙළනව!"
"ඉතින් කාටවත් කියන්ඩ බැරිද?"
"කාටවත් කියන්නෙ කොහොමද? උංගෙ පන්තියෙනෙ ප්‍රිෆෙක්ට්ස්ල සේරම. සමහර දවස්වලට ඉස්කෝලෙ ඇරුණහම ඉන්ඩ කියල තාරාවො යවනව!"
"ඉතිං අඩු ගානෙ කෑම ටික ලැබ් යනකොට අරං යන්නවත් බැරිද?" බඩගිනි නිසාදෝ මගේ සිත නැවතත් බත් වෙත යයි.
"දවසක් අපි පන්තිය ලොක් කරල ගියා. ආපහු එනකොට උං උඩ තට්ටුවෙ ඉඳං එස්ලෝන් බටයක් දිගේද කොහෙද බැහැල, ජනේලෙන් පන්තියට රිංගල, බතුත් කාල, ඒ මදිවට ඇතුළෙන් පන්තිය ලොක් කරල ගිහින්!"
"ඉතිං?"
"ඉතිං මං පයිං එකක් ගහල දොර කැඩුව; උළුවස්සත් එක්කම ගලෝල ආව."
"මදෑ."
"ඊට පස්සෙ ඉතිං අපිම ඒව හැදුව, පුලුවන් විදිහට. නැත්තං ඒකටත් ගුටි කන්ඩ වෙනවනෙ සර්ලගෙං."
ඒ දිනවල යාපා කියූ කතාවක් මට සිහි වේ.
"දවසක් අපි බත් කන්ඩ එනකොට උඹලගෙ පන්තියෙ එකෙක් ලැබ් නොගිහිං ඉන්නව උණ හැදිල කියල. ඌ කේළම් කියයි කියල අපි ඌව කළින්ම බය කරා. උගෙ උණ දෙපිටිං යන්ඩ ඇති අපෙන් කාපු කෑමට."
"ආ, ඌට ඊට පස්සෙ අපිත් නෙළුව." මල්ලී කීවේය. "ඌ කිව්වෙම නෑ කවුද කියල. පවු."
ළමයින් පාසල් යැවීම කෙතරම් භයානක දෙයක්දැයි මට සිතේ. යමක් කමක් තේරෙන වයසට එනවිට මල්ලී පාසල් යෑම එක හෙළා ප්‍රතික්ෂේප කළේය; නැත්නම් කට්ටි පැන්නේය.
බූලා අණ්ඩත් එල්ලාගෙන කෙඳිරි ගායි. උගේ බූල් ලොම් තැනින් තැන ගැළවී ඇත; කණෙන් කෑල්ලක් ඉරී ගොසිනි.
"මූට බෙහෙත් විදින්ඩ ගෙනියන්ඩ ඕනෙ." මල්ලී තුවාල පිරික්සමින් කියයි.
"රජවරු සිටුවරු ඒ සැප සම්පත්, මාළිගා අත හැරියා; ලස්සන බිසෝවරුන්ව, අන්තඃපුර අතහැරියා; රන්බඳුන්වල රජ බොජුන් කාපුවා අත හැරියා; සිනිඳු පටසළු, රන් සළු අත හැරියා.." හාමුදුරුවෝ ඇහින් දැක්කාක් මෙන් විස්තර කරති. "අපිට බෑ යන්තම් පණ ගැට ගහගන්න විතරක් ලැබෙන, අනුන්ගෙන් බැණුම් අහ අහ කරන රස්සාව අත් හරින්න; ටකරං වහපු ගෙදර අත් හරින්න; අපිට බෑ කිසිම හැඩවැඩක් නැති ගෑණිව අත්හරින්න; අපිට බෑ බෙලෙක් පිඟානෙ කන රොටිය අත්හරින්න; අපිට බෑ ඇඳලම හම ගිය රෙදි කඩමාල්ල අත්හරින්න. ඇයි ඒ?" හාමුදුරුවන්ගේ දැඩි බැල්ම දරා ගත නොහී සුනීත බිම බලාගත්තේය.
"ඇයි අපට අත් හරින්න බැරි?" හාමුදුරුවන්ද ලේසියෙන් අත හරින පාටක් නැත.
දියුණු වීගෙන යන මහ පාර අයිනේ දියුණු වීගෙන යන බේකරියකි. නිරන්තරයෙන් එය ඉදිරිපිට එකත්පස්ව ලැග සිටින දුඹුරු පැහැති බල්ලෙකි. ඌට නමක් නැත.
කුසගිනි උහුලාගත නොහැකිවිට බල්ලා කන් පාත් කරගෙන, වල්ගය කකුල් අතර රුවාගෙන, හෙමින් හෙමින් බේකරියට කිට්ටු කරයි; ඉදිරිපස වීදුරු පෙට්ටි තුළින් පෙනෙන නා නා ප්‍රකාර පාන් බනිස් වර්ග අතුරින් කුමක් පහසුවෙන් ගිල දැමිය හැකිදැයි කල්පනා කරයි; බේකරියේ කොල්ලා පෙනෙන්නට සිටීනම් යන්තමින් හූල්ලයි; කවුරුන් හෝ චිප් චිප් ගෑ විට වල්ගය තව තවත් සඟවාගෙන, කොන්ද වකුටු කරගෙන අඩියක් දෙකක් එහා මෙහා වෙයි.
හැන්දෑ වනවිට බල්ලාට කිට්ටු වීමට නොහැකි තරම් බේකරිය මිනිසුන්ගෙන් පිරෙයි. කුසගිනි වැඩි කරවන සුවඳින් යුත් පාන් වර්ග වීදුරු පෙට්ටිවල සිට කඩදාසි උර තුළට මාරු වී, මිනිසුන් විසින් ගෙන යනු ලැබෙයි. බල්ලා පෙරේතයකු මෙන් ඒ සුවඳ විඳී. රාත්‍රිය මෝරනවිට සෙනඟ අඩු වේ. විකුණාගත නොහැකිව ඉතිරිවන යමක් බේකරිය අවට රැක සිටින බල්ලන් වෙත පොදුවේ විසි කෙරේ. දුඹුරු පැහැති බල්ලාද ඉන් යමක් ඩැහැ ගනී. ඌ ආරක්ෂිත ස්ථානයකට වී, ඒ වටා දෑත් යවා බදා අල්ලාගෙන, වට පිට බලමින් ගොරවයි; දවස පුරා වියළිව තිබූ මුවින් කෙළ වෑහෙයි; වෙනත් බල්ලකු විසින් ඩැහැ ගනු ලැබීමට ප්‍රථම කටට දෙකට ආහාරය ගිල දැමෙයි.
දිනක් පාරේ ගිය විමානයකින් බට සුරංගනාවියක් බේකරියට පැමිණියාය. ඒ විශාල චීස් කෑල්ලකැයි වරදවා වටහාගත් බල්ලාට ඉබේම නැගිට්ටුණේය. කොල්ලාටද කෑ ගැස්සුණේ නැති ටික විතරය. ප්‍රේක්ෂක ප්‍රතිචාරවලින් ප්‍රමෝදයට පත් සුරංගනාවිය "මේ ඔයාලගෙ ඩොගීදැ" යි විමසුවාය. ඇගේ මිහිරියාවෙන් බිඳුණු තෙද ඇති බේකරියේ කොල්ලාද නගුට වනමින් "ඔව්" යයි පැවසීය.
බල්ලාට ඩොගීයයි නම වැටුණේ එසේය.
මිහිරි මතක අවුස්සන බල්ලාට යමක් විසි කිරීම කොල්ලාට ප්‍රීතියක් විය. මේ නිසා තමන් කොල්ලාට අයිති බවක් ඌට හැඟුණි. බේකරිය කෙරෙහිද තමන්ගේකමක් උගේ හිතේ ඉබේටම ලියලන්නට විය. ඉදින් ඌ තව දුරටත් නිකම්ම බල්ලෙක් නොවේ; නමක්ද, අයිතිකාරයෙක්ද, නිවහනක්ද ඇති වැදගත් සත්ත්වයෙකි. එබැවින් ඌ එතැන් පටන් නියම ශීලාචාර මහත්මයෙකු මෙන් හැසිරීමට පටන් ගත්තේය: බේකරියට කිට්ටු වන සියළු පාදඩ බල්ලන් බළලුන් පසුපස හඹා ගොස් උන්ව එළවා දැමුවේය; බේකරියේ කොල්ලා රවා බලන හිඟන්නන්ව ගොරවා හපන්නට තැත් කළේය; නිතර බේකරියට පැමිණ පාන් මිළදී ගන්නා මිනිසුන් දුටු කල, හුනස්නෙන් නැගිට වල්ගය වනා ගරු සැළකිලි දැක්වීය; කෑමක් ලද කල, "නෑ, ඉතින් බඩගිනිත් නෑ..." මෙන් හැසිරුණේය.
පලක් ප්‍රයෝජනයක් ඇත්නම් බල්ලාද මිනිහෙකි.
ඩොගී නිසා වෙනත් කරදරකාරයින් බේකරියට කිට්ටු නොවන බවද, බල්ලන්ට හිතවත් නෝනලාගේ ගෞරවනීය ආදරය තමන්ට හිමිවන බවද බේකරියේ කොල්ලා ඉක්මණින්ම වටහා ගත්තේය. "බල්ලා අපේ එකෙක්" යයි කියනවාට වඩා "මේ පාරෙ ඉන්න බල්ලෙක්; මම හුරතල් කරන නිසා මෙතනටම වෙලා ඉන්නවා"යයි ඇද පැද කීම තමාගේ ප්‍රතිරූපයේ කාරුණිකත්වය ඉහළ නංවන බව කොල්ලාට පෙනී ගියේය. ඩොගී බේකරිය ඉදිරිපිට රඳවා ගැනීමට අවශ්‍ය අවමය ඉටු කිරීමට කොල්ලා මැළි නොවීය.
ඩොගී ටිකෙන් ටික මහත් විය. තමාගේ බල ප්‍රදේශයද ඌ ටිකෙන් ටික වැඩි කර ගත්තේය. ඒ අනුව බේකරිය දෙපස කඩ කිහිපයක්මද, ඉදිරිපිට මහ පාරද ඌ අයිති කර ගත්තේය; අනෙක් බල්ලන්ට ප්‍රදේශය හරහා ගමනක් යාමට අවශ්‍ය වූ විට පාරේ අනෙක් පසට මාරු විය යුතු විය.
දිනක් රස්තියාදුකාර බල්ලන් කිහිපදෙනෙකු කිසිම ගරුසරුවක් නැතිව තම බල ප්‍රදේශය හරහා දුවනු දුටු ඩොගී ගොරවමින් උන් හඹා යමට යුහුසුළු විය. ඒ බල්ලන් පසුපස පැමිණෙන බලු වෑන් රථය ඌ නොදිටීය. උගේ ගෙලට හිරවුණු තොණ්ඩුව කුමක්දැයි ඌ නොදත්තේය; හුස්ම හිරවී මරු විකල්ලෙන් දඟලන අතරතුර තමන්ව ඇද ගත්තේ කුමක් තුළටද යන්න ඌ නොදත්තේය.
ඩොගී බලු වෑන් රථයට හසු වූ බව කවුදෝ බේකරියේ කොල්ලාට කී නමුත් පාරට ගොස් එදෙස බැලීමට තරම් ඉස්පාසුවක් කොල්ලාට නොවීය. බලු වෑන් රථයට හසු වූ බල්ලන් ගැන පසුව සොයා බැලිය හැකි බවක් කොල්ලා දැන සිටියේ නැත. එසේ කිරීමේ අවශ්‍යතාවයක්ද නොවීය. ඉක්මණින්ම වෙනත් බල්ලෙක් බේකරිය ඉදිරිපිට ඩොගීගේ ස්ථානය අයත් කර ගත්තේය. කොල්ලා පුරුද්දට ඌටත් ඩොගී කියා ආමන්ත්‍රණය කළේය. ඌද වෙනත් රස්තියාදුකාර බල්ලන් පන්නා හරිමින්, වැදගත් නෝනලාට හුරතල් වෙමින් කොල්ලාට සේවය කරන්නට වන්නේය.
ප්‍රදර්ශන ශාලාවේ කෙළවරට වන්නට වූ කුටියෙහි පොත් අලෙවියෙහි යෙදී සිටියේ ප්‍රියමනාප පෙනුමැති තරුණියන් දෙදෙනෙකි. දින ගණනාවක් පුරා දෝරෙ ගැලූ ඔවුන්ගේ සුහද සිනහවන් තව අවසන් නැති සෙයකි. ඇතැම් ගනුදෙනුකරුවෙකු සමග ඔවුහු වදනක් දෙකක් වැඩිපුර දොඩති; සිය සාප්පුව පිහිටා ඇති ස්ථානය දැක්වෙන කුඩා පතක් පොත් තුළ රුවති. උරයක බහා දෙනු ලබන පොත් මිටිය ගනුදෙනුකරු විසින් හරිහැටි අල්ලාගන්නාතුරු ඔවුහු එක් අතක් යටින්ද, අනෙක් අතින් පටියද අල්ලාගෙන එහි බර දරති. ඇතැම් තරුණ ගනුදෙනුකරුවකුගේ අත වැරදීමකින් පොත් උරයත් සමග තරුණියකගේ ඇඟිලිද අල්ලාගනී.
ඔවුනට පියවර කිහිපයක් ඈතින් වූ මේසයක් පිටුපස මැදිවියෙහි කාන්තාවක් වාඩිගෙන සිටී. තාරුණ්‍යය වියැකී නැති ඇගේ මුහුණේද අර තරුණියන්ගේ සිනහවම රැඳී ඇත. මේසය මත පොත් රාශියකි. මේ පොත් පෙරළා බලන තලතුනා ගනුදෙනුකරුවන් සමග ඇය සාහිත්‍යය, කියවීමේ පුරුද්ද, ගත්කතුවරුන්, පොත් ව්‍යාපාරය ආදී විවිධ කරුණු සාකච්ඡා කරන්නීය. හිස සළන ගනුදෙනුකරුවෝ ඇයට එකඟ වෙති; නොයෙකුත් ප්‍රශ්න නගති; මේසය මත ඇති පොත්වලින් එකක් හෝ දෙකක් තෝරාගෙන ඇයට සිනහවකින් සංග්‍රහ කරති.
සාමාන්‍ය ප්‍රමාණයේ පොතක් අතැතිව මේ කුටියට පිවිසි තරුණයා, පෙණුම අනුව සරසවි සිසුවකුයයි අනුමාන කළ හැක. තරුණියන් සහ ඔවුන් අසල රොක් වී සිටි ගනුදෙනුකරුවන් දෙස තත්පර කිහිපයක් බලා සිටි ඔහු, රාක්කවල අසුරා ඇති පොත් පිරික්සන්නට විය. ඇතැම් පොතක් අතට ගෙන පිටු පෙරළා බලන ඔහු එය ආපසු තබයි. අවසන ඔහු පොතක් තෝරා ගන්නාවිට කුටිය ගනුදෙනුකරුවන්ගෙන් හිස් වෙමින් තිබිණි. තරුණියන් ඉදිරියේ වූ මේසයට තරමක් බර වූ ඔහු අහිංසක සිනහවකින් ඔවුන්ට සංග්‍රහ කළේය.
"මෙතන සෙනග පිරිලා හින්දා මම කෙළින්ම පොත් තෝරන්න ගියා." ඔහු තෝරාගත් පොත මේසය මත තැබීය. අනතුරුව ඔහු සාප්පුවට රැගෙන ආ පොත දකුණත පැත්තට වන්නට සිටි තරුණියට දිගු කළේය. "මෙන්න මේක වෙනුවට මාරු කරගන්න."
තරුණිය පොත අතට ගත්තාය.
"ඇයි, මේක හොඳ නැද්ද?" ඇය සුහදව අසමින් පොතේ පිටු පෙරළා බැලුවාය.
"ම්ම්ම්. ඉස්සෙල්ලා හොඳයි කියලා හිතුණු හින්දයි ගත්තෙ. පස්සෙ මාරු කරන්න හිතුණා."
"ප්‍රශ්නයක් නැහැ. දෙන්නකො රිසිට් එක."
තරුණයා කමිස සාක්කුවට අත යැවීය. එහි වූ හතරට නැවූ කොළ කැබැල්ල රිසිට් පත නොවීය. එය නැවත සාක්කුව තුල රුවාගත් ඔහු කලිසම් සාක්කු පිරික්සන්නට විය. ඉදිරිපස සාක්කු තුළ වූයේ කොටු කොටු ලේන්සුවක් පමණකි. පිටුපස සාක්කුවෙන් දෙකට නැවූ හම් පසුම්බිය එළියට ඇදගත් ඔහු එතුළ පිරික්සා බැලීය.
රිසිට්පත නැත.
"හරි වැඩේනෙ." තරුණයා අසරණව තරුණියන් දෙස බැලීය. "රිසිට් එක නෑ."
"නැති වෙන්න බෑනෙ." තරුණියන් මුහුණෙන් මුහුණ බැලූහ.
"රිසිට් එකක් දුන්නෙ නැද්ද දන්නෙ නෑ."
"නෑ නෑ අපි එහෙම පොත් දෙන්නෙ නෑ. සමහරවිට පොත දාලා දුන්නු මල්ලෙ ඇති. ඒක විසි කළාද?"
"නැහැ; මේකයි. මම ආවෙ කට්ටියක් එක්ක. අපි පොත් ගත්තෙ එකට. පස්සෙ එළියට ගිහින් පොත් බෙදා ගත්තා. මල්ල වැඩියෙන් පොත් ගත්තු එක්කෙනා අතේ."
"ඉතින් මොකද කරන්නෙ?" තරුණියන් පත්වූයේ අනපේක්ෂිත තත්ත්වයකටය. "රිසිට් එක නැතුව මාරු කරන්න බෑනෙ."
"මොකද කරන්නෙ?" තරුණයා පොත් අතගාමින් තරුණියන් දෙස මාරුවෙන් මාරුවට බැලීය.
"යාලුවව හොයාගෙන එන්න. අපි පොත අරන් තියන්නම්." තරුණයා කෙරෙහි අනුකම්පාව ඉපිදවූ තරුණියක් කීවාය.
"ඒගොල්ලො ගියා. පොත මාරු කරගන්න ඕනෙ හින්දා මං ආපහු ආවා."
"හරි වැඩේ තමයි." එක් තරුණියක් මැදිවියේ කාන්තාව දෙසට හැරුණාය. "අම්මේ, පොඩ්ඩකට එන්නකො."
තරුණයා තමන් ගෙනා පොත නැවත අතට ගත්තේය. තරුණියෝ සිද්ධිය මවට පැහැදිලි කළහ.
"යාලුවන්ට කතා කරන්න බැරිද?" ඇය විමසුවේ තරුණයාගේ ඉඟෙහි එල්ලෙන දුරකථනය දෙස බලමිනි. "ගේට්ටුව ළඟට ඇවිත් රිසිට් එක දීලා යන්න කියන්න."
"බලමු." තරුණයා දුරකථනය ගෙන යම් අංකයක් යොදා ඇමතුමක් ගත්තේය. එයට බොහෝ වේලා සවන් දුන් ඔහු බලාපොරොත්තු කඩවූ මුහුණින් යුතුව ආපසු දුරකථනය පටියෙහි එල්ලා ගත්තේය.
"උත්තරයක් නෑ. බස් එකේ වෙන්නැති. සද්දෙට ඇහෙන්නෑනෙ."
"හරි වැඩේ තමයි." කාන්තාව අනුකම්පා සහගතව පැවසුවාය. "ඒත් අපෙන් ගත්ත එකක්ද කියලවත් අපි දන්නෙ නෑනෙ රිසිට් එක නැතුව. ඕනෙනම් අපිට පොත අරන් තියන්න පුලුවන් හෙට ඔයාට ඇවිත් මාරු කරගන්න."
"අපි කුරුණෑගල." තරුණයා වෙලාව බලමින් පැවසීය. "හෙට එන්නනම් බැරිවෙයි. ඕගොල්ලො මොකක් හරි සළකුණක් දාලා ඇතිනෙ පොත්වල."
දිගු අත් සහිත ලා පැහැ කමිසයක් හැඳි, උස මහත පුද්ගලයෙක් කුටියට ඇතුළු වූයේ මේ මොහොතේය.
"පොඩි ප්‍රශ්නයක්." කාන්තාව ඔහුට ගැටළුව කීවාය. උස මහත පුද්ගලයා තරුණයාගේ හිස සිට දෙපතුළ දක්වා විමසිලි සහගතව බැලීය.
"රිසිට් එකක් නැතුව ඔයා කොහොමද පොත ගෙනියන්නෙ එළියට?" ඔහු සිය දුරකථනය අතට ගෙන අංක යොදමින් විමසීය.
"ඔය ජාතියෙ අය තුන් හතරදෙනෙක්වත් එනවා හැම අවුරුද්දෙම. බොහොම කණගාටුයි පුතා. ඔයා පොලිසියත් එක්ක විසඳ ගන්න ඔය ප්‍රශ්නෙ."
"මම හොරෙක් නෙවෙයි." තරුණයා පොත මේසය මත තැබීය. "මාව විශ්වාස නැත්නම් මෙන්න පොත."
ඔහු කුටියෙන් ඉවත් වීමට සැරසුණි.
"කොහෙවත් යන්න එපා." උස මහත පුද්ගලයා ඔහු වළකාලමින් පැවසීය. සිද්ධිය සවන් වැකුණු අසල්වැසි කුටි හිමියන් කිහිපදෙනෙකුත් මේ වනවිට සාප්පුව ඉදිරියට රොක් වී තරුණයාගේ මග අවහිර කළහ.
"පොත තියාගන්න. මම හොරෙක් නෙවෙයි." තරුණයා යළිත් පැවසීය.
"ඔයා වැරැද්දක් කරලා නැත්නම් බය වෙන්න දෙයක් නෑනෙ පුතා." උස මහත පුද්ගලයා අනතුරුව සිය ප්‍රේක්ෂකයන් ඇමතුවේ තරුණයාගෙන් ඇස් ඉවතට නොගනිමිනි. "එක තැනකින් කොහොම හරි පොතක් පන්න ගන්නවා; ඒත් රිසිට් එකක් නැතුව ගේට්ටුවෙන් එළියට ගෙනියන්න බැරි හින්දා මේ වගෙ තැනකට එනවා අපිව රවට්ටලා රිසිට් එකක් ගන්න. මේවට අනුකම්පා කරලා බෑ. හැමදාම සිද්ද වෙන වැඩක්."
තරුණයා වෙවුලමින් බිම බලාගෙන සිටී. තරුණියන් දෙදෙනා පිළිකුලෙන් ඔහු දෙස බලති. ඔවුන්ගේ සිනහව වියැකී ගොසිනි.
"හොරා!"
මුරගල
මුරගලේ ලිපි
අලුත් ලිපි
දිගහැරුම
-
▼
2011
(71)
-
▼
January
(29)
- සංගිලි පාලම
- ඇන්ඩෲ අය්යා
- නිමක් නැති කතාවක්
- අනේ බන් සෙනසුරු
- නොපිපි කුසුම
- නුතන බොළඳ ආදරවන්තයාගේ කවි පොතින්
- (නො)තේරුම
- ඒ.. රුපියල
- A9
- විසඳුම
- "යන්තරේ"
- ලාභයි........ ජීවිතේ
- වැව රවුම
- මුවහත
- තුරු සිසිල
- "පිස්සෙක්"
- කුනු
- දයාබර දියණියට
- පෙරුම් පිරු සිහිනය.............
- සිල්
- සිර ගත කල පෙම
- සියුමැලි නොවුනු කලුගල්
- රතු එළිය වැටෙන තුරු
- කොල්ලො බල්ලො
- (අ) වාසනාව
- සුනීත
- ඩොගී
- පොතක් නිසා
- ආගමනය
-
▼
January
(29)
ජනප්‍රිය ලිපි
-
හැමදාම ඉර පායන එක බොහොම කම්මැළි වැඩක්. නොදන්න කෙනෙකුට හිතෙන්නෙ, ඒක බොහොම ලෙහෙසි වැඩක් කියලා. නමුත්, උදෙන්ම පායන්නට ඕන; නැත්නම්, සත්තු කලබල ව...
-
දොර ඇරෙයි. සැර විලවුන් සුවඳක් පැතිරෙයි. දොරින් ඇතුළු වෙන සරා, නිකමට මෙන් කාර්යාලය දෙස බලා, නාන කාමරයට යන පටු කොරිඩෝවට හැරෙයි. දෙපස පැලුම් ...
බලපු ඇත්තෝ කියපු දේවල්
කියවපු පිටු වල ගණන් හිලව්
හිතවත් පවුර
යුනිකේත විකේතකය
දැනුම් දීමයි
මුරගලේ අපි
Labels
- "පිස්සෙක්"
- (අ) වාසනාව
- (නො)තේරුම
- 2600 සම්බුද්ධ ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසෙමු
- A9
- අද්දර ජීවිත
- අනේ බන් සෙනසුරු
- අඳ නෙත්
- අපාය
- අපිත් බුදුන් වඳිනවා
- අබූත
- අමා මහ නිවන්
- අවුරුදු
- අශ්ඨක
- ඇනට්
- ඇන්ඩෲ අය්යා
- උපේන්ද්‍ර හර්ෂණගෙන්
- ඒ අපේ කෙනෙක්
- ඒ.. රුපියල
- කවි
- කව්
- කළු පාට සොබාදහම
- කුටුම්භය
- කුනු
- කෙටිකතා
- කෙලෙසක දෝ අම්මේ.
- කොන්ෆරන්ස් එක
- කොල්ලො බල්ලො
- ගොදුර
- ජිවිතය උරගැම
- ජීවිතයේ කතාව
- ඩොගී
- තිලකා
- තුරු සිසිල
- දන්න අය දන්නවා.....
- දන්සැල
- දම්පල් හිමියනි
- දයාබර දියණියට
- දානය
- දේව පරාජය
- නලිනි චන්දිමාගෙන්
- නාඳුනන්නී
- නිමක් නැති කතාවක්
- නිර්මලා
- නිසදැස්
- නුතන බොළද ආදරවන්තයාගේ කව් පොතින්
- නුවන් තිලංගගෙන්
- නොපිපි කුසුම
- නොමියෙන ප්‍රේමය
- පරචිත්ත
- පරිස්සමෙන් හිටු
- පාට බැලුන්
- පිං කැටේ
- පෙරුම් පිරු සිහිනය
- පොතක් නිසා
- බේබද්දා
- බ්‍රැන්ඩි
- මාවතේ අපි
- මාෂ්මෙලෝස්
- මිනිස්කම යනු මෙයද ව්මසමී
- මිනීමරුවා..
- මීනා
- මුවහත
- යන්තරේ
- යැපෙනු පිණිස
- රතු එලිය වැටෙන තුරු
- රතු කමිසය
- රාහුලයෙක් උපන
- ලාභයි........ ජීවිතේ
- වන්දනා
- වයමි මම බෙරේ...
- වැව රවුම
- විසඳුම
- සංගිලි පාලම
- සමන්ත රූපසිරිගෙන්
- සාරා
- සිතක සිතුවිලි
- සිත්තාරු පාළම
- සිත්ති නෝනා
- සියුමැලි නොවුනු කලුගල්
- සිර ගත කල පෙම
- සිල්
- සුනීත
- සෙනරත් බණ්ඩාරගෙන්
- හැදූ මව
- හිරු ලප
- හෙවනැලි නැති මිනිස්සු
- හෙවනැලි නැති මිනිස්සු.....
හිතවත් අඩවි
-
තෙරපිය - The Therapy3 months ago
-
-
-
අසාගනිල්ලා දුම්රිය සවුදම...!!!5 years ago
-
නිවිති එක්ක දෙල් කිරට...6 years ago
-
Carnival of love7 years ago
-
-
කාබුල් කවි.8 years ago
-
test 79 years ago
-
Sahampathi thoughts - අකුරැස්සේ ගමන9 years ago
-
"බොහොමත්ම ස්තුතියි"11 years ago
-
කැත කූඹී...11 years ago
-
ප්රබුද්ධ උපුටනය 0513 years ago