(නො)තේරුම  

Posted by උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා in , ,





(නො)තේරුම

කප්පරක් පැතුම්
හීන කන්දක් පුරවගෙන
මහගෙදරත් උකස් කරලා
විස්ස විද්යාලේ යවපු ලොකු එකා
අත් කකුල් වෙලාගෙන ගෙදර ඇවිත්
පහ පාස් පොඩි මල්ලි සිමෙන්ති අනලා
ගත්තු සොච්චමත් හන්දියේ ඩිස්පෙන්සරියේ
කවුන්ටරේ මැද්දෙන් තිබ්බ
උන්ගේ අම්මා
දෙස් තියන
අප්පච්චිට මෙහෙම කිව්වා
කෑ නොගහ හිටියනම්
මයෙ පුතාට දැන් හොඳට පොස්ටෙර් අඳින්න පුලුවන්




ඒ.. රුපියල  

Posted by උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා in , ,




ඒ.. රුපියල

බඩගින්නේ වේලෙන අතකින්
ගිනි අව්වේ වේලෙන හිතකින්
ඉල්ලුවත් නොදුන්න
ඒ රුපියල...........
දේවාලේ පින් කැටේට දාල
දොහොත් මුදුන් දුන්නේ
පුදුමාකාර හිතේ සතුටකින් (ද)




A9  

Posted by නලිනි චන්දිමා in , ,



දුන් දෙයක් කා බී
ඉරුණු කමිසය ඇඳන්
ගමේ ඉස්කෝලෙ  ගුරු සිත නොරිදවා
දීපු සිල්පයක් අරගෙන,
ටිකක් තේරෙන වයසට එනකොටම
අතේ කරගැට නොතකා මටත් අත් උදව් දීගෙන,
උඹ සිල් ගත්තු දිනවල
බාලයින් බලාගෙන පන්සිලුත් රැකගෙන හිටි
අපේ පුතා,
කොලුකමට දඟලනු වෙනුවට
පුරාණ රජ දරුවෙක් වගේ
එක හිතින්
ඇස් ඉස් මස් ලේ පුදා රැක ගත් පින් බිම උඩින්
පාරක් ඇරලලු.

ඒ දිගේ
මැම්බර් මහත්තයා උන්නාන්සෙගෙ රට වැසියන් බලන්ට යනවලු;
රට නොරට මුදලාලි මහත්තුරු සුවිසාල කඩ අරින්ට යනවලු;
සිදාදියෙ බේබිලා සවාරි යනවලු;
සුදු මහත්තුරු, නෝනලා, දුප්පතුන් හොයන්ට යනවලු;
ගම්වල මිනිස්සු නඩ ගැහී වන්දනාවෙ යනවලු.

අපිත් යමුද
බුදුන් වැඩිය නාගදීපෙ වැඳලා
අපේ පුතාට පිං පමුණුවන්ට?




විසඳුම  

Posted by නලිනි චන්දිමා in , ,


ඉහේ හිටං බූමිතෙල් වක්කරගෙන ගිනි තියාගත්
සිරියලතා,
ඇඳේ දපා,
ඒ අතට ඉන්ටත් බැරුව
මේ අතට ඉන්ටත් බැරුව
බොල්ලෑ දත් අතරින් විලාප දෙයි.

රොද බැඳුණු මැස්සන් හා
පරදිනා සටනක නියැළි
දිරාගිය අම්මා,
හෙළන්නට කඳුලකුත් නොමැතිව
යටහත්ව විමසයි:
"උදේ බේතුත් බුන්නෙ නෑ; මී මැස්මොරේ එයිද, නෝනා?"

සුදෝ සුදු වතින් බැබළෙන
නයිටිංගේල් දියැණියෝ,
මුදු වදන් තෙපළමින්
වේදනා නසන ඔසු දෙනු වස්
නහරයක් ඉතිරිව ඇත්දැයි සොයත්.

ගිලනහුද සුදනහුද
හකුළුවාගත් නාස්පුඩු ඇතිව
පිළිකුලින් බලමින්
අනුකම්පාව මුමුණත්.

"අම්මා මැරෙයි අද හෙට.
ලෙඩා වෙච්චි මං කවුරුන් බලන්ටද?"
සිරියලතාගේ වදන් සිහිවනවිට
"ඈ අදම මියෙත්වා" යි මට සිතේ.




"යන්තරේ"  

Posted by උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා in , ,



ගත බදු දී.. මුදල් හොයන
යන්තරයක් කොටු කරගෙන
රාලහාමි මහ හයියෙන්
මොර දෙනවා පුප්පාගෙන.......
පර බැල්ලියේ වනචාරියේ
අඬු කඩනවා උඹගේ අද

හිනා වෙවී හඬනා උඹේ හිත පේනවා යස අගේට
කාකි ඇඳුම් උණු වෙන් නෑ කඳුළු බිංදු උණු උනාට
මොණර කොළෙන් තේ උගුරෙන් දඩේ වහන උන්ගේ හිතට
උඹේ කඳුළු බර වැඩි නෑ ඒ මහ හිත් යට කරන්න

අතේ මිටේ කාසි පනම්
අතට පයට දැසි දස්සන්
හිටියා නම් අනේ ඉතින්
ඔය යන්තරේ ලොක් කරගෙන
පෝය හතර පන්සලේම
උඹ ඉඳීවි යස අගේට.......