තිලකා  

Posted by නලිනි චන්දිමා in , ,


අරුණ නොදැරිය හැකිව
රිදුම් දෙන යෞවනය
රුවා පෙති කරල් මැද
නැගෙන්නී

පෙර දිනෙක රෝ දනට
උවටැනින් ගෙවුණු දිවි
සිහි වුවද පසුතැවිලි
නොවන්නී

මිදුණු දෑඟිලි වෙරෙන්
ඉක්මණින් පල දරන
කෙටි පැතුම් තුරු වෙසින්
සදන්නී

දැවෙන සිත නොතලනා
සුවය දෙන හිතවතුන්
පිච්ච මල් කැකුළු මැද
දකින්නී

ලද නොලද සියල්ලෙහි
අකම්පිත වන්නෙහිද?
දිරිය නැගණිය
තිලකා.



තිලකා. 
මාස දෙකතුනකට පෙරාතුව ඇය මට හමුවුණේ සැත්කමක් උදෙසා රෝහල්ගතව සිටියදී. වෙනත් රෝගියෙකුගේ සැත්කමක්  අතරතුර ඇයවත් සැත්කම් කාමරයට ගෙන ආ නිසා, පැයක් පමණ ඇය හා දොඩමළු වීමට අවස්ථාව ලැබුණා. 
හෙදියක සේ බොහෝ රෝගීන්ට උවටැන් කරමින් ගෙවුණු ඇගේ දිවියේ වෙනසක් ඇති වූයේ අස්ථි සන්ධිවල රෝගයක් වැළඳීමත් සමග. තව දුරටත් හෙද කාර්යය කළ නොහැකි තැන ඇය රැකියාවට සමු දුන්නා. නමුත් අනුනට උවටැන් කිරීම ඇගේ ඇටමිදුළු දක්වා කා වැදී තියෙනවා වෙන්නට ඕන. හරිහැටි හසුරුවා ගත නොහැකි අත් පා බලෙන් මෙල්ල කරගෙන, තුරුලතාවලට උවටැන් කිරීම ඇය අරඹන්නෙ, රෝගයට අභියෝග කරමින්. මිනිසුන් මෙන් නොවෙයි, තුරුලතා ඇගෙන් ලබන උදව්වලට සරිලන පරිදි ඇයට ප්‍රතිඋපකාර කරනවා. ඒ ඇගේ සිත සතුටු කරවන මල් පල දැරීමෙන්; සිසිල් මඳ පවනින් ඇගේ ගත සුවපත් කිරීමෙන්; නිරන්තර වේදනාවෙන් පෙළෙන දෑතට මුදු ස්පර්ශයක් වීමෙන්.  වචනවලින් ඇය ඇමතිය නොහැකි වුවත්, සුවඳින් ඇය අමතන සමන් මල් ඇගේ වැඩි ආදරය දිනාගෙන.
ඇය කවි ලියන බවත් පැවසුවා. එක්තරා වෙබ් අඩවියක ඇය කවි පළ කළ බව කී නමුත් මට එම අඩවිය සොයා ගැනීමට හැකිවුණේ නෑ. 
අහිමි වුණු බොහෝ දේ ගැන නොවැළපී, ලැබී ඇති දෙයින් ජීවිතය ගොඩ නැගීමට වෑයම් කරන තිලකා.
ඈනම් මහ පොළොවට බරක් නැති මිනිසෙක්. 




This entry was posted on Saturday, May 28, 2011 at Saturday, May 28, 2011 and is filed under , , . You can follow any responses to this entry through the comments feed .

11 දෙනෙක් ගේ අදහස්

හිතේ විරියෙන්
දෛවයට කරමින් සරදම්
නොයිද සිට එක්තැන්
නුඹ කරන මෙහෙය නිම්නැති..

තුරු ලතා හා මිතුරුව
නුඹ රැගෙන ජීවිතේ මහා බර
ලොවට නොදි කඳුළ
නුඹ හිනැහෙන අපූරුව..

May 28, 2011 at 3:00 PM

ඇත්තමයි දිනේෂ්, ඒ දිරිය බහුතරයකට නැහැ. බොහොම ස්තුතියි අපූරු කවි සංකල්පනාවට.

May 28, 2011 at 11:36 PM

ලස්සනට ලියලා තියනවා .......
හොඳ අර්ථයක් තියනවා ......

May 29, 2011 at 1:06 AM

ආතුරයිනට උවටැන් කර
සිත් මල් පුබුදා
ආතුර ගත උස්තැන් කර
සිත මලින් පුබුදා
තව දිලෙන් තිලකාවිය
ලොව මලින් පුබුදා

May 29, 2011 at 1:15 AM

@ කල්හාර දිසානායක: බොහොම ස්තුතියි ඔබේ අගැයීමට

May 29, 2011 at 2:41 PM

@ ඩීන් අය්යා, ලස්සන කව් සංකල්පනාව. තිලකා වගේ අයගෙ ආලෝකය ලොවට දැනෙන්නට ඕන. බොහොම ස්තුතියි.

May 29, 2011 at 2:46 PM

මිනිස් හිත, කයට වඩා හයියයි.
කය වාරු නැති වුණත් හිතේ හයිය කයට දීලා වැඩ කරන්න පුළුවන්.
හිතට වැදුණ ලිපියක්.

May 30, 2011 at 1:08 PM

"අහිමි වුණු බොහෝ දේ ගැන නොවැළපී, ලැබී ඇති දෙයින් ජීවිතය ගොඩ නැගීමට වෑයම් කරන තිලකා"

හැමෝම එහෙම හිතනව නම් කොච්චර හොදද?

May 30, 2011 at 8:15 PM

@පිසාචයා: ඔව් මල්ලි, නමුත් අපි වැඩි දෙනෙක් සිතෙහි ඒ ශක්තිය වටහා ගන්නෙ නෑ. (මමත් ඇතුළුව ;-) )බොහොම ස්තුතියි අදහස් බෙදාගත්තට.

@ Hishan Melanga: ඇත්ත, අපට බොහෝවිට ඒ දේ අමතක වෙනවා. තිලකා වගේ අයගෙ වටිනාකම වැඩි වෙන්නෙ ඒ නිසා. බොහොම ස්තුතියි.

May 31, 2011 at 12:56 AM

බොහෝ දෙනෙක්ගෙ ගත ලෙඩ වෙනකොට සිතත් ලෙඩ වෙනවා. නමුත් තිලකාවන්ගේ දිරිය ශක්තිය උපරිමයි. මෙහෙම කෙනෙක් හදුනාගෙන උවටැන් කරන්නත් හොද සංවේදී හදවතක් තියෙන්න ඕනෑනේ නංගියේ. ඔයාකරන අනූපම සේවාවේ අරුමය! ස්තූතියි මේ දිරිය කත ගැන විස්තර බෙදා ගත්තාට.

May 31, 2011 at 9:28 AM

ඔව් චාන්දි අක්කා, ඒත් සිත සවිමත්ව තියෙනවනම් අනික් හැම දේම දරා ගන්න පහසුයි. ඒ අතින් තිලකා ඉදිරියෙන් ඉන්නෙ.
බොහොම ස්තුතියි.

June 1, 2011 at 8:43 PM

Post a Comment

ඔබේ අදහස් අපිට ශක්තියක්