ඇනට්  

Posted by නලිනි චන්දිමා in , ,





"මචං ගෝපාල්." රංජිත් කණ සාක්කුවේ දමාගෙන ප්‍රශ්න කරයි. "උඹේ නම මොකක්ද?"
මත්පැන් නොබොන ගෝපාල් අමුත්තක් නැතිව පිළිතුරු දෙයි. "මචං මම ගෝපාල්."
"ගෝපාල්! උඹ දන්නවද ගෝපාල් කියන්නෙ මොකාටද කියලා?"
"මට මචං."
"මැට්ටා! ගෝපාල් කියන්නෙ යකෝ, හරක් බලන එකාට. තෝ ගෝපාල්නං හරක් බලන්ඩ ඕන. තෝ මොකද මෙහෙ කරන්නෙ?"
"මං උඹව බලනවා මචං."
නේවාසිකාගාරය දෙදරමින් සිනා හඬ පැතිරෙයි.

රංජිත් නොසැළෙයි.
"හරි. මං හරකා! එහෙනං උඹ වැඳපං මට. උඹලා වඳිනවනෙ හරක්ට? වැඳපං මට."
"හරකට පූජා කරන දවස් වෙනම තියෙනවා මචං.." ගෝපාල් ප්‍රවේශමෙන් පිළිතුරු දෙයි.


රංජිත් ඔහුට කතා කිරීමට ඉඩ නොදෙයි.
"මචං උඹ දෙය්යො සතුටු කරන්ඩ සතියෙ දවස් කීයක්ද තණකොළ කන එකා. කාමරේ ඇතුළෙ දේව රූප තියාගෙන උදේ හවා වඳින එකා. මචං උඹට දෙය්යො කියපු එක පිළිපදින්ඩ වෙනම දවසක් තියෙන්ඩ බෑ. වැඳපං මට. දැං වැඳපං."
"හිටපං මං කැමරාව අරං එනකම්." අසේල ගෝපාල්ව අවුස්සයි. ගෝපාල් ප්‍රශ්නයෙන් මගහැර යා හැකි ක්‍රමයක් සොයයි.
"මචං උඹ හරි...උඹ හරිම... මට වචනෙ එන්නෙ නෑ...." ඔහු පිහිටක් අපේක්ෂාවෙන් මදෙස බලයි. මමද බුරුලක් නොපෙන්වමි.
"මෙව්වයිද?"
නැවතත් සිනා හඬ පැතිරෙයි.
"රංජියා කොහොමත් හරි මෙව්වයි මචං. උඹට අදද ඒක මෙව්ව වුණේ?"
"මචං රංජිත්, මෙව්වගෙ එකෙක්ට මෙව්වා කරන්ඩ එපා බං. උඹට මෙව්ව වෙයි."
සුළු දෙයටත් වැරෙන් සිනා නගන අවධියට සාදය පිවිස ඇත. පිරිස කෑ කෝ ගසමින් සිනා නගන්නේ, අප නවදෙනා හැර වෙනත් කිසිවෙක් මෙලොව නැත්තාක් මෙන් සැහැල්ලුවෙනි.

හිටිඅඩියේ ශාලාවේ දොර අසල රකුසියක මෙන් රවාගෙන සිටින රාජිනී අප නෙත ගැටේ. අපේ ඝෝෂාව නිසා ඇය එන හඬ නෑසෙන්නට ඇත; අපට ගස්සමින් ඈ ආපසු හැරෙයි; 'තපස් තපස්' හඬින් සෙරෙප්පු බිම හප්පවාගෙන කාමරයට ගොස් 'ඩෝං' ගා දොර වසයි.

"කොටිච්චි." රංජිත් ඇයට යන්නට හැර බනියි. "මොකද්ද බං උඹට බැරි වුණානෙ ඕකිව හදා ගන්ඩ."
"ඒකිව හදන්ඩ ගියානං මට සයනයිඩ් කන්ඩ වෙනවා බං." මාතෘකාව වෙනස් අතකට ගිය බව දකින ගෝපාල් සන්තෝෂයෙන් පිළිතුරු දෙයි.

රාජිනී කා සමගත් රාජකාරි මට්ටමින් මිස ඉන් එහා සම්බන්ධයක් පැවැත්වූයේ නැත. අප  පියදාසගේ කඩෙන් කෑම ගෙන්වාගත් නමුත් ඈ ඇගේ ආහාර කාමරයේ පිළියෙල කර ගත්තාය. විහිළු නොහඳුනන ඇගේ සියලු වරදවලට වග කිව යුත්තා ලෙස ඒකමතිකව සැළකුණේ ගෝපාල්ය.

"බලපං අපි කොච්චර හොඳට දුවීව හදාගෙන තියෙනවද?" අසේල මා දක්වයි.
"උඹලා ගොඩක්නෙ බං. මං තනියෙන්නෙ."
"උඹ බෝයිව අඬගහ ගනිං උදව්වට."
"අපෝ, ඊලඟට මුගෙ රිලා හොම්බ තියෙන එවුනුත් හැදෙයි එහා පැත්තෙ මුඩුක්කුවෙ."
නැවතත් සිනා හඬ පැතිරෙයි.
"මුඩුක්කුවෙ ගෑණු එච්චරම මෝඩ නෑ බං."

************************

බෝයි හෙවත් සරෝජ් අප සමග සේවය කළද  නේවාසිකාගාරයේ නොනැවතී අසල නිවෙසක උඩුමහල කුලියට ගෙන, කාරයක්ද තබාගෙන ජීවත් වූයේය. යම්කිසි විභාගයකට පාඩම් කරමින් සිටි ඔහු අපේ සාදවලට පැමිණියේ කලාතුරකිනි.
මා රැකියාවට පැමිණි මුල් දිනයේ සියල්ල සොයා බැලූ සරෝජ් අනතුරුව මට උපදෙස් දුන්නේය:

"එක අරමුණක් තියාගන්න; එතනට යන්න ඕන කියන එක හැම වෙලේම මතක තියා ගන්න; එතකොට ජීවිතේ එක පිළිවෙලකට ගෙනියන්න පුළුවනි. ප්ලෑන් එකක් හදාගන්න..."

අරමුණක් හෝ පිළිවෙලකට සිටීමට උනන්දුවක් හෝ නොතිබුණු මම බෝයි අතහැර කොල්ලන්ගේ ආශ්‍රයට වැටුණෙමි.



**************************

"රාජිනී අපිට බෝම්බයක් ගහන්ඩ ඉස්සෙල්ල අපි නිදාගමු." මට නිදිමත බව නොකියා මම නිදාගන්නා ක්‍රමයක් සොයමි.
"මචං ගෝපාල්." රංජිත් පුටුවෙන් නැගිටීමට වෑයම් කරමින් කියයි. "උඹ බීලා නෑනෙ. උඹ දුවීව පරිස්සමට එක්ක පලයං. අපි කොහොම හරි යන්නං."
සිනා හඬ මැද සියලුදෙනා නොයෙක් දේ කියමින් කාමරවලට රිංගති.



ඇනට් නේවාසිකාගාරයට පැමිණි කාලය වන විට තත්ත්වය එබඳු විය.



****************************************

ද්‍රවිඩ තරුණියක සේවයට පැමිණීමට නියමිත බව අප දැනගත් දිනයේ සිට ගෝපාල්ට නිවනක් නොවීය.
"මචං උඹ රාජිනීව දික්කසාද කරල එහෙම ලෑස්ති වෙලා ඉඳපං." දිනකට දහදොළොස් වතාවක් ඔහු මේ වදන් අසන්නට ඇත.
අපේ කුපාඩිකම නිසා ඇනට්ගේ සියලු වගකීම ගෝපාල්ට පවරා සිටියාද, නැතහොත් ගෝපාල් ස්වකැමැත්තෙන් ඇගේ සියලු බරට කර ගැහුවාද, ඒත් නැත්නම් වෙනත් හේතුවක්ද යන්න පැහැදිලි නැත. ඇගේ පත්වීම පිළිබඳ ලියකියවිලි වැඩවල සිට නව නගරය පෙන්වීම දක්වා කුදුමහත් සියල්ල ඔහු කර දුන්නේය.

"වැඩේ නැගලා යනවා වගේ." කොල්ලෝ ඇනට්ට නෑසෙන්නට කසුකුසුවෙන් ගෝපාල් මැඩවූහ. ඔහු ඇසක් වසා සිනාසුණා මිස කිසිවක් කීවේ නැත.

නේවාසිකාගාරයේ හිස් කාමර නොවූයෙන් ඇනට් පදිංචි වූයේ මගේ කාමරයේය. මගේ බලවත් ශෝකයට ඇයව රාජිනීගේ කාමරයට පංගාර්තු කිරීම පිළිබඳව සළකා බැලුනේවත් නැත. එලෙස යෝජනා කිරීමටද මා මැළිවූයේ ගෝපාල් නිසාය.
රාජිනී මුලදී අපේ කාමරයට එබී ඇනට් සමග හෑල්ලක් දොඩවා ගියාය. ඇනට්ද මුල් දින කිහිපයේ රාජිනීගේ කාමරයට වැදී පැය ගණන් ගත කළේ මගේ කෝපය අවුස්සමිනි: ලැගපියකො ඒකෙම!

සුපුරුදු පරිදි සතියකට වරක් දෙකක් සාද පැවැත්විණි. ගෝපාල්ද පැමිණ අප හා වාඩිගෙන සිටියේය. ඇනට් මුල සිටම යන්තම් මුහුණ පෙන්වා හෙමින් මග හැර ගියාය. ගෝපාල්ද වේලාසනින් ඉවත් වන්නට සැරසුණි.

"ඔහොම ඉඳගන්නවා; ඔහොම ඉඳගන්නවා. කොහෙ යන්ඩද තමුසෙ?"
"වැඩ වගයක් තියෙනවා මචං."
"උඹට මෙච්චරකල් වැඩ තිබුණෙ නෑනෙ."
"කතා ඕන නෑ, ඉඳගනිං ඔහොම."
ගෝපාල් අසේලගේ අතින් අල්ලාගෙන උරහිසට තට්ටුවක් දැමීය.
"පාඩම් කරන්ඩ තියනවා මචං. මම නැත්නම් උඹලත් එක්ක ඉන්නවනෙ."
"ආ.... ඇනට් එක්කද?" සිනා හඬ පැතිරිණි. "හා හා ගිහිං කරගනිං, පාඩමක් බැරිනං..."
"එහෙම එකක් නෙවෙයි මචං. රාජිනිත් එනවා.."
"ෂා, උඹ මාර දස්සයෙක් වෙලානෙ මේ ටික දවසට."
ගෝපාල්ට කටක් ඇරීමට නොලැබෙයි.



***************************************

සති කිහිපයක් ඉක්ම යන්නට ඇත.

ඇනට් බොහෝ දිනවලට කාමරයට පැමිණියේ ප්‍රමාද වීය. නේවාසිකාගාරයේ ඝෝෂාව නිසා ඇය පුස්තකාලයට හෝ වෙනත් තැනකට වී පාඩම් කරනවා ඇතැයි මම අනුමාන කළෙමි. උනන්දුවෙන් ඇරඹි ගෝපාල්ගේ පාඩම දින කිහිපයකට සීමා විණි.



***************************************

ඒ සෙනසුරාදා දිනයකි. කරන්නට වැඩක් නොතිබුණු මම ඔහේ ඇඳේ වැටී සිටියෙමි. ඇගේ බඩුමුට්ටු අස් කරමින් සිටි ඇනට් එක් වරම යම් කිසි ශබ්දයකට කන් දුන්නාය. ඒ වාහනයක් නේවාසිකාගාර මිදුලේ නවත්වන හඬකි. කවුළුව අසලට ගොස් පහත බැලූ ඇය, ඇසිල්ලකින් ඉන් ඉවත්ව මා වෙත හැරුණාය.

"කවුරු හරි ආවොත්, මම නැහැයි කියන්න." කී ඇය වහාම නාන කාමරයට රිංගාගෙන දොර වසා ගත්තේ මා පුදුමයට පත් කරවමිනි.

විනාඩි කිහිපයකින් නේවාසිකාගාරයේ කොරිඩෝව දිගේ ඇවිද එන අඩි උස සපත්තුවල හඬ ඇසෙන්නට විය. කෙමෙන් ළං වුණු සපත්තු මගේ කාමරය ඉදිරිපිට නැවතුණි. මම හුස්මවත් නොගෙන බලා සිටියෙමි. දොර ළඟ කසුකුසුවකි.

අනතුරුව සිහින් හඬින් දොරට තට්ටු කරනු ඇසිණි.

දොර ළඟ සිටිනුයේ කවුද? මා දොර විවෘත කළ යුතුද? තවම නිදි ඇඳෙන් නොනැගිටි මා මුහුණ සෝදාවත් නැත. පෙරදා පැවති සාදයෙන් අනතුරුව සියල්ලන් තවමත් නිදි විය යුතුය. මට යම් අනතුරක් වේද?

නැවත වඩාත් විශ්වාසයෙන් යුතුව දොරට තට්ටු කරන හඬ ඇසුණි. මම ඇඳෙන් බැස දොර හැරියෙමි.
දොර අසල වු‍යේ වැදගත් පෙනුමැති වයස තිහක පමණ  වූ කාන්තාවන් දෙදෙනෙකි.

"ඇනට්?" අළු පැහැති කමිසයක් හැඳ සිටි පිරිපුන් කාන්තාව විමසුවාය.
"එයා නැහැ." මම ගැට ගසා ගතිමි. කාන්තාව මට පිටුපසින් කාමරය දෙසට එබුණාය. මම දොර අඩවල් කළෙමි. අනතුරුව ඇගේ අවධානය මවෙත යොමුවිය. මා සිටියේ නිදන ඇඳුම පිටිනි.
"මිස් නිදාගෙන හිටි ගමන් වගේ. ඇතුළෙ ඉන්නවද දන්නෙ නෑ එයා."
මගේ පපුව ඩිග් ඩිග් ගානු ඇයටද ඇසෙන්නට ඇත.
"ඉන්ඩ මම බලන්නම්." කී මම දොර යන්තමින් හැර කාමරයට ගොස්, නාන කාමරය දෙස බලන බවක් අඟවා ආපසු දොර අසලට ආවෙමි.
"නැහැ."
මා බොරුවක් කළ බව මට හැඟුණු තරමටම ඔවුන්ටද හැඟෙන්නට ඇත. අළු කමිසය හැඳි කාන්තාව මගේ මුහුණ අධ්‍යයනය කළාය.
"ඔයා සරෝජ්ව දන්නවද?"
"ඔව්, අපිත් එක්ක එකට වැඩ කරන්නෙ."
"මම එයාගෙ නෝනා." යයි කී ඇය පරීක්ෂාකාරීව මගේ මුහුණ දෙසම බලා සිටියාය.

සරෝජ් විවාහක බවක් මම දැන නොසිටියෙමි. ඒ ප්‍රවෘත්තියටත් වඩා කම්පනයක් මසිත ඇති වූයේ ඇනට්ගේ හා මගේ බාහිර ස්වරූපය විස්තර කළහොත් බොහෝ දුරට එක හා සමාන බව හදිසියේම පසක් වුණු බැවිනි. ඇය මා ඇනට්දැයි සැක කරන බව පැහැදිලිය. ඇනට් කර ඇත්තේ මොනවාද?
"අපි හම්බෙලා නෑනෙ කලින්." මම කීවෙමි. "සරෝජ් නැවතිලා ඉන්නෙ වෙනම නිසා වෙන්න ඕන. ඔයා එනවා ඇත්තෙ එහෙටනෙ."

"ඔව්." ඇය තරමක් බලා සිට කීවාය. "ඇනට් මේ වෙලාවට කොහෙද ඇත්තෙ?"
මම නැවතද අමාරුවේ වැටුණෙමි. මා මුසා බස් පැවසීමට අකමැතිය. නමුත් සත්‍යය පැවසීමටද නොහැක: මොනවා කළත් ඇනට් මගේ කාමරයේ වෙසෙන මිතුරිය වීමද, මේ සිද්ධියේ අගක් මුලක් නොදැනීමද නිසාය.

"සමහරවිට එයා කොහෙ හරි ගිහින් ඇති."
"එන වෙලාවක් දන්නෙ නැද්ද?"
"නෑ.. මම නිදාගෙනනෙ හිටියෙ."
මෙතෙක් වේලා විමසිල්ලෙන් බලා සිටි ඇගේ යෙහෙළිය ඉංග්‍රීසියෙන් ඇයව ඇමතුවාය.
"මොනවද ඔයාට කරන්න ඕනෙ දැන්?"
අළු පැහැ කමිසය හැඳි කාන්තාව ඊට පිළිතුරක් නොදුන්නාය. මා දෙස දැඩිව බලා සිටි ඇය කටහඬ අවදි කළාය.

"ඇනට්ට කියන්න එයා ඔය සෙල්ලම් කරන්නෙ දරුවො දෙන්නෙක්ගෙ තාත්තා කෙනෙක් එක්ක බව."
මම මෝඩයෙකු සේ බලා සිටියෙමි.

"මොනවද ඔයාට කරන්න ඕනෙ දැන්?" ඇගේ යෙහෙළිය නැවතද පිළිවිසුවාය.
ඊට පිළිතුරක් නුදුන් සරෝජ්ගේ සහකාරිය දැඩි මුහුණින් යුතුව මා දෙසම බලා සිටියාය. මා ඇනට් නොවන බව විශ්වාස කිරීමට ඇය මැළිවන සෙයකි. අහක යන කරදරයකට පැටළීම පිළිබඳව අනියත බියක්ද, දරු දෙදෙනෙකු සහිත තම කුටුම්භය ආරක්ෂා කර ගැනීමට ලජ්ජාව පසෙක ලා මෙහි පැමිණි කාන්තාව ගැන අනුකම්පාවක්ද මසිත වෙළා ගැනිණි.

"මම එයා ආවහම කියන්නම්. සමහරවිට එයා පාඩම් කරන්න ගිහින් වෙන්න ඕනෙ."
ඇගේ යෙහෙළිය මා වෙත හැරුණාය.
"ඔය කරන වැඩේ නිසා දෙවියො එයාට සාප කරන බවත් කියන්න. අනුන්ගෙ පවුල් කඩාඉහිරවලා එයා කරන කිසිම දෙයක් හරි යන්නෙ නැති බවත් කියන්න. ඔහොම වැඩවලට උල්පන්දම් දෙන යාලුවන්ටත් ඒ සාපයෙන් ගැලවෙන්න හම්බෙන්නෙ නෑ."

අනතුරුව ප්‍රශ්න වැලක් සමග මා හුදෙකලා කොට ඔවුහු ගියහ.

මම දොර වසා කාමරයට ආවෙමි. ඇනට් නාන කාමරයෙන් එළියට ආවාය.
"වාහන සද්දෙ ඇහෙනකොට මට නිකමට සැක හිතුණා. හොඳ වෙලාවට."
ඇය ඉතා සැහැල්ලුවෙන් කියාගෙන ගියාය. මම ඔවුන් මගෙන් ඇසූ දේවල්ද, ඊට මා දුන් පිළිතුරුද පැවසීමි.
"ඕන එකක් කරගන්න, මාව ඕවට ගාව ගන්නෙ නැතුව."
"ඒ ගෑනිට පිස්සු. නැත්නම් සරෝජ් ඔයා වගේ කෙනෙක් එක්ක යාලු වෙයි කියලා හිතයියැ."

ඇනට් මහ හඬින් සිනාසුණාය.
'ඔව්, මගේ පෙනුම ඔයාගෙ විතර වනචර පාට නැතැ'යි කීමට සිත් වුවද මම නිහඬ වීමි. 



****************************************

ගෝපාල්ගේ කාමරයේ දොර කැඩෙන තරම් හය්යෙන් මා ඊට තඩි බෑවේ මගේ සිතෙහි ඇති කෝපය නිසාය. ඇස් රතු වී මුහුණ තඩිස්සි වී සිටි ගෝපාල් දොර විවෘත කළේය. ඇනට්ගේ පළහිලව්ව ඔහුට රහසක් නොවන බව ඒ මුහුණ ඉඟි කළේය.
"දුවී? ඇයි දුවී?"
"මට තියෙනවා ඔයත් එක්ක පොඩි කතාවක්."
"මටත් ඔයත් එක්ක කතා කරන්න ඕනකම තිබුණා." ඔහුගේ කටහඬ හැඟුම්බරය.

ඇනට්ගේ වරදවලට හා ඇය සොයා පැමිණෙන කාන්තාවන් මට සැර දැමීම ගැනත්, ඇය බේරා ගැනීම පිණිස මට බොරු කීමට සිදුවීම ගැනත්, ඇයව මගේ කාමරයට පංගාර්තු කළ ගෝපාල්ට බැන වැදීමට මට අවශ්‍ය විය. එසේ වුවද මට සිදුවූයේ මුළු සන්ධ්‍යාවම ගෝපාල්ගේ දුක් ගැනවිල්ල අසා සිටීමටය.

දුක් ගැනවිල්ල කෙමෙන් බැනීමකට පරිවර්තනය විය. සිද්ධිය ආරංචි වූ රංජිත් ඇතුළු කොල්ලන් පිරිසද අප සිටි තැනට අවුත් ඇයට බනින්නට හවුල් වූහ.

"මම මොනවද ඒකිට නොකළෙ? හැම දෙයක්ම කරලා දුන්නා. පොත් හොයලා දුන්නා. ඉන්ඩ තැන ලෑස්ති කරලා දුන්නා. පල්ලි එක්ක ගියා. ඒකිගෙ ගෙදරින් ආ වෙලාවෙ නවතින්ඩ තැන් හොයලා දුන්නා. අන්තිමට ඒකිට බෝයිව ලොකු වුණා...."

අනතුරුව ඔහු ඇනට්ට බැන වදින්නට විය.
ඇය කළායයි ඔහු චෝදනා කරන සියල්ල ඇත්තටම සිදු නොවන්නට ඇත. එසේ වුවද මම නිශ්ශබ්දව සිටියෙමි. මොහොතකට පෙර ඇනට්ට පෙම් කළායයි පැවසූ ගෝපාල් දැන් ඇයට පිළිකුලෙන් බනින අයුරු අසා මම කළකිරුණෙමි. ගෝපාල්ගේ මුහුණ බලන මම ඇනට් සරෝජ් සමග යහළු වීම පුදුමයකට කරුණක් නොවන බව සිතීමි. මට ඇති ගැටළුව එය නොවේ.

"ඒක නෙවෙයි, බෝයි කසාද බැඳපු මිනිහෙක් බව ඕගොල්ලො දැනං හිටියද?" මම ඇසුවෙමි.
"ඇයි, ඔයත් ඌ පිළිබඳ සිතක් ඇතුව හිටියද?"

අසේලගේ කට කැඩිච්ච කතාව නිසා මම ඉන් ඉදිරියට ඒ පිළිබඳව විමසීම අත් හළෙමි.

ගෝපාල් කිසිවකුටත් කන් නොදී තනිවම කියවන්නට විය.
"ඒකිට තේරෙයි කවදක හරි. ඌ අර ගෑනිව අතෑරලා ඒකිව බඳින්නෙ නෑ කවදාවත්. මෝඩි."
"මැටි කඳක්! නම වුණත් බලපංකො: ඇනට්! නොදකිං."
"ඕකිට හොඳ ගේමක් දෙමු."
"උඹ ඕකිට සැළකුවා වැඩි මචං."
"මම හොඳ වැඩි මචං. ඒක තමයි."

බැනවැදීම් කෙමෙන් සභ්‍ය සීමාවෙන් ඔබ්බට සේන්දු වූ බැවින් මම කාමරයට යන බව පවසා එතැනින් නැගිට්ටෙමි. 



****************************************

කාමරය එක්වරම පාළුවට ගොස් ඇත. ඇනට් උදෑසන පිටව ගිය පසු තවම පැමිණ නැත. ඇගේ බඩුමුට්ටු පිළිවෙලකට අසුරා ඇත්තේ ගෙන යාමට සූදානමින් මෙනි.

දොරට යමෙක් තට්ටු කරයි. මගේ හද අවිනිශ්චිත බියකින් සැලේ. තට්ටු කිරීම නොනවත්වාම ඇසේ. මම දොර යන්තමින් විවර කරමි. දොර අසල පෙට්ටියකුත් අතැතිව රාජිනී සිටී.
"ලඩ්ඩු කනවද?"
"තැන්ක් යූ. එන්ඩ ඇතුළට." මම මෑත් වී කාමරයට ඒමට ඉඩ සලසන්නේ ඇය ඇතුළට නොඒවායි සිතින් පතමිනි. එබව නොදන්නා රාජිනී ඇතුළට විත් මේසය අසළින් වාඩි වෙයි.
මම වතුර කේතලය වෙත යමින් විමසමි.
"තේ හදන්ඩද?"

රාජිනී කුමකට සූදානම් වන්නේද යන්න මට  පැහැදිලි නැත. වතුර ඉක්මණින් නටන්නේද නැත. මම ඇඳ මත වාඩි වී ලඩ්ඩු කමින් අපහසුවෙන් සිටිමි.

ලඩ්ඩු භාජනය මේසය මත තබන රාජිනී මා දෙස කෙළින්ම බලයි.
 
"ඔයා ඔය ඉන්නෙ ඔයාට ගැලපෙන මිනිස්සුත් එක්ක නෙවෙයි."

මම පිළිතුරු නොදෙමි.

"මොකක්ද ඔයා කරන්නෙ? ඔයාම හිතලා බලන්ඩ. මම හුඟ දවසක ඉඳලා බලාගන ඉන්නවා. ඔයා නිකාං නාස්ති වෙනවා. වෙලාව නිකාං නාස්ති වෙනවා. අම්මලා කියන්නෙ නැද්ද?"

මම නිශ්ශබ්දව තේ සාදමි. කිරි පිටි දිය වී දිය වී යයි. ඇනට්ගේ කෝප්පයට තේ වත් කරන මම  එය රාජිනීට දෙමි.
ඈ සෙමින් තේ කෝප්පය තොල ගායි. මම තේ කෝප්පයට ඉහළින් පෙනෙන ඇගේ මුහුණ දෙස හොරෙන් බලමි. දුක් කරදර විඳි පෙනුමක් ඇතත් මා සිතා සිටි තරම් ඇය කැත නැති බව මට හැඟේ.

"ඇනට් ගැන රණ්ඩු කරලා වැඩක් නෑ. ඇනට් එයා ගැන බලා ගනියි; සරෝජ්, ගෝපාල්, ඒගොල්ලො ගැන බලාගනියි. ඔයා, ඔයා ගැන බලා ගන්ඩ."

තේ බී අවසන් කරන රාජිනී කෝප්පය සේදීමට නාන කාමරය වෙත යයි. මම "දෙන්ඩ, දෙන්ඩ" යයි කෝප්පය ඉල්ලුවද ඇය නොදෙයි.

"ඔයා තියා ගන්ඩ ලඩ්ඩු." ඇය භාජනයේ පියන වසයි. "මම කිව්ව එක හිතල බලන්ඩ. ඔය ඉන්න කට්ටිය එක්ක ඔයා හිනා වෙයි; වැඩක් නෑ. තව අවුරුදු දෙකක් යයි; ඔයා ඔතනම තමයි. ඔහොම හිටියා ඇති. ඔයා ඉගෙන ගන්ඩ. මම උදව් කරන්නම්. පොත් දෙන්නම්. අපි එකතු වෙලා පාඩම් කරමු."

රාජිනීට යන්නට හැර මම දොර වසමි.

රාත්‍රී බොහෝ වේලා යනතුරු මම ඇඳෙහි ඒ මේ අත පෙරළෙමි. නින්ද අහලකවත් නැත. රාජිනී කිවූ කරුණුවල සත්‍යයක් ඇතැයි මගේ යටි සිත දනී.

ශාලාවේ සාදයක හඬ ඇසේ. කොල්ලන් බීගෙන කෑ ගසන, සිනාසෙන හඬ ඝෝෂාවක් ලෙස මට හැඟෙන්නේ ප්‍රථම වරටය. ගෝපාල් බීගෙන හඬයි. ඇනට් ඝෝෂාව මැදින්ම පැමිණ කාමරයට රිංගා ගනී.

රාජිනීගේ යෝජනාව සළකා බැලීමට මම තීරණය කරමි.




This entry was posted on Sunday, May 15, 2011 at Sunday, May 15, 2011 and is filed under , , . You can follow any responses to this entry through the comments feed .

9 දෙනෙක් ගේ අදහස්

එක හුස්මට කියෙව්වා.ලස්සනයි

May 15, 2011 at 10:08 PM

වෙනස් කතාවක්, ලස්සනයි.

May 15, 2011 at 11:15 PM

වෙනස් ලස්සන කතාවක් ......... කියවන්න එපා වෙන්නෙ නැහැ ......

May 16, 2011 at 12:33 AM

වෙනස් විදිහක අපූරු කතාවක්.. හරිම ලස්සනයි..

May 16, 2011 at 1:45 AM

මුලදී ටිකක් තේරුම් ගන්න අපහසු උනා චරිත ටික. දෙපාරක් කියවන කොට තමයි හරියට තේරුනේ නංගි. වෙනස් ආරෙක කතාවක් නිසා හරිම ලස්සනයි. බෝඩිං සෙල්ලක්කාර ආයාලේ යන ජීවිතේ , කල්‍යාණ මිත්‍රයෙකු මුණගැසීම නිසා වෙනස් වෙන හැටි අපූරුයි කියල හිතුන. රාජිනීගේ යෝජනාව සළකා බැලීමට මම තීරණය කරමි......

May 16, 2011 at 7:17 AM

හරිම අලංකාරයි. මම මේක බුක්මාක් කරගත්තා.බුකියෙත් පබ්ලිසිටියක් දෙනවා.

May 16, 2011 at 9:47 AM

@ නදී: බොහොම ස්තුතියි ඔබට

@ ගල්මල් - Coral: බොහොම ස්තුතියි ඩීන් අය්යා

@ කල්හාර දිසානායක: බොහොම ස්තුතියි ඔබටත්

@ Dinesh: ඔව්, ටිකක් බොලඳ කතාවක්. :D බොහොම ස්තුතියි.

@ චාන්දි අක්කා: මාගලක් වගේ දිගයිනෙ අක්කෙ. ගණන් ගන්ඩ එපා. බොහොම ස්තුතියි.

@ තීර්ථ යාත්‍රිකයා: බොහොම ස්තුතියි ඔබේ දිරි ගැන්වීමට.

May 16, 2011 at 10:32 PM
Anonymous  

charitha wala mathupita swabhawaya wisthara kireemen charitha wala athulatha swabhawaya siyumwa patakayata hangawanna samath akarayen liyala thiyanawa. charitha wala athulatha pamanak wisthara karana awasthawaladee meeta wada tikak unanduwanna... ithama agana keti kathawak, oba ithamath dakshay. mage subha pathum..

July 27, 2011 at 8:49 AM

නිර්නාමික සහෘදයාට: බොහොම ස්තුතියි වටිනා විචාරයට.

August 4, 2011 at 6:52 PM

Post a Comment

ඔබේ අදහස් අපිට ශක්තියක්