බේබද්දා  

Posted by නලිනි චන්දිමා in , ,





          බේබද්දාගේ මරණය මා කම්පාවට පත් කරනු ඇතැයි මම කිසි කලෙකත් නොසිතුවෙමි. මා සිතූ දෙයක් ඉටුව ඇත්තේ කලාතුරකිනි.

********************************

බේබද්දා විවාහ වී සිටියේ සුදු නැන්දා සමගය. මුහුණට මාමා, අය්යා ආදී වශයෙන් ආමන්ත්‍රණය කළද, නැති තැන අප භාවිතා කළේ බේබද්දා, අරූ, අර යකා වැනි වදන්ය.

දිනූ පක්ෂයේ දේශපාලනඥයකු විසින් අපේ නිවෙස් අසළ තැබෑරුමක් විවෘත කරන ලදින්, බේබද්දා දිනපතා අපේ නිවසට යාම් ඊම් කරන්නට විය. අප්පච්චීට කලාවැව හිතවතෙකු විසින් දෙන ලද නාගවල්ලිය බුලත් වැලෙන් සුදු නැන්දාට බුලත් ගෙන යාම මේ ගමන්වල මුඛ්‍ය අරමුණ විය. නාග කන්‍යාවියන් සපන්නේ මේ බුලත්ම බවට ඒ හිතවතා පුන පුනා පැවසූයේ මහත් විශ්වාසයෙනි.  අපේ නිවසේ කිසිවෙක් පුරුද්දක් ලෙස බුලත් නොකෑ නිසා 'බුලත් වැල දවස ගානෙ හූරං යෑම' ගැන වාද කිරීමට සාධාරන හේතුවක් නොතිබිණි. 


විශ්‍රාමික රජයේ ලිපිකරුවකු වූ බේබද්දා සිය වෘත්තීය ගරුත්වය පසෙක ලා, මත්පැන් සඳහා වියදම් සපයා ගනුවස් කුලී වැඩ කළ හෙයින් අපේ නිවසේ ඇතැම් බර වැඩ ඔහු සවසට එනතුරු තබා ගැනිණි.  ඔහු පිට මිනිසුන්ගේ කුලී වැඩ කිරීම කිට්ටු ඥාතීනට රුචි නොවුණු නමුත් මේ පිළිබඳව සාකච්ඡා කිරීම ඵල විරහිතයයි සැළකුණේ "කොහොම හම්බ කළත් සල්ලි සල්ලිම" බව බේබද්දා ප්‍රකාශ කළ හෙයිනි.


ඇබ්බැහි වීම දිනෙන් දින වැඩි වත්ම බේබද්දාගේ වත් පිළිවෙත්ද බලා සිටියදී පිරිහිණි. "අපේ මිනිහෙක් කියල ගමේ උන් දන්න නිසා" අම්මා ඉඳහිට අලුත් කමිසයක් සරමක් අරන් දුන්නද, ඕනෑම ඇඳුමක් දින කිහිපයක් තුළ වර්ණය හඳුනාගත නොහැකි දිරා ගිය කඩමාල්ලක් කර ගැනීමේ විශිෂ්ට හැකියාවක් බේබද්දාට විය. "මූ අපි දෙන ඇඳුමුත් විකුණගෙන බොනවද දන්නෑ." යනුවෙන් අප්පච්චි සැක පහළ කළේ වරක් දෙවරක් නොවේ. ඇඳුම් අරන් දීමෙන් බේබද්දා පිරිසිදු කිරීමේ ප්‍රයත්නය අම්මා අවසානයේදී අත් හැරියාය.







හදිසියේ බෝම්බයක් පිපිරිණි.

අය්යා විවාහ වීමට සිටි අක්කා හෙද නිලධාරිනියක වූයෙන් ඇය හමු වීමට රෝහලට ගොස් සිටි අය්යාව බේබද්දාට හසුව ඇත. ඔහුව මග හැරීමට අය්යා කළ තැත ව්‍යර්ථ විය.

"පුතා, පුතා කියාගෙන අර සෙනග ඉස්සරහ මගෙ ඇඟට පැන්නහම රෝෂිණිත් බය වුණා පිස්සෙක් කියල; මේ දැං කාණුවෙන් ගොඩ ගත්ත වගේ." 


කිසිවකට කලබල නොවන තැන්පත් ගතිගුණ ඇති අය්යා මුහුණ හපුටු කරගෙන වාර්තා කළේය. "ඒ මදිවට 'මේ මිසී කවුද' කියලත් ඇහුව. මට පොළොව පළාගෙන යන්ඩ හිතුණ.."

"ඔයාගෙ නෑයො!" අප්පච්චීට නිකට දික් කළ අම්මා අත පිස දා ගත්තාය.
"ඔයා තමයි අරක මේක දිදී ගෙන්න ගන්නෙ." අප්පච්චීද ඇරියේ නැත.
"මම දෙන එකකට නෙවෙයි අර නාග කන්‍යාවිට බුලත් ගෙනියන්ඩ කියලනෙ එන්නෙ හැමදාම බීගෙන. මට පිස්සුයැ නැත්තං ඔය බේබද්දන්ව ගෙන්න ගන්ඩ."
"අර ඌට දීල තිබුණු දුඹුරු පාට කමිසෙ මම ඇඳ ඇඳ හිටපු එකක්."
"ඔයා ඒක ඇඳල නෑ අවුරුදු ගානකින්. අනික ඔයාමයි වත්ත සුද්ද කරෝගත්තෙ ඌට කියල. හිස් අතින් යවන්ඩ පුළුවනැ, අවුරුද්ද ළං වෙලා."
"ඌට හැමදාම තේත් දීලා, බුලත් වැලත් හූරං යන්ඩ ඇරල ඉන්න එකේ මොකද වෙන්නෙ වැඩ කරෝගත්තහම?"
"වෙන දේ තමයි මේ වෙලා තියෙන්නෙ." අය්යා මැදට පැන ගෙරවීය. "අපිට පාරෙ බැහැල යන්ඩ නෑ."

"මම අක්කට කතා කරන්නං.." තීරණයක් ගත් අප්පච්චි නැගිට්ටේය.
"දැං මොනවද කියන්ඩ යන්නෙ?"
"කියන්නෙ, කෙළින්ම කියනව අරූව මෙහෙ එවන්ඩ එපා කියල."
"අක්කට කියල වැඩක් නෑනෙ. අහිංසක ගෑනි."
"එහෙනං මොකක්ද කරන්ඩ කියන්නෙ?"
"ඕක තමා මං මුළදිම කිව්වෙ ගමේ නොඉඳ වෙන කොහෙ හරි ගේ හදමු කියල."
"ගේ හදපු එක? ගේ හදපු එක නෙවෙයි වැරැද්ද, එක එක එව්ව දිදී මෙහෙ ගෙන්න ගත්තු එක."
"ඔව්, මං තමයි හැම එකටම වැරදි!" තමන් අතේ කිසිම වැරැද්දක් නැති ස්වරයකින් කිවූ අම්මා කඳුළු සළන්නට වූවාය.
"නෑ, එකෙක්වත් වැරදි නෑ. මගෙනෙ නෑයො; මං බලාගන්නම්." අම්මාගේ නෙතින් ඇද හැළෙන ආයුධයෙන් පහර කෑ අප්පච්චි යක්ෂාවේශයෙන් නැගිට්ටේය.

බුලත් වැල කපා කොටා දැමිණි.

"ඇයි දුව බුලත් වැල කපල දැම්මෙ?" බේබද්දා ඇසුවේ මගෙනි.
"ඕවට සර්පයො එනව!" පිළිතුරු දුන්නේ අම්මාය. අප්පච්චීත් අය්යාත් මගහැර සිටියහ. වත්තේ මුල්ලකට විසි කර තිබුණු බුලත් වැලේ කොටස් අතරින් මැළවුණු බුලත් කොළ කීපයක් අවසානවරට කඩා ගත් බේබද්දා නික්ම ගියේය.

අපේ බලාපොරොත්තු සිඳලමින් ඔහු පසුදිනද පැමිණියේය.
"ඔහෙ නිකං ආව."

අප්පච්චි පත්තරයෙන් ඉහළට ඇස් එසවූයේ හෝ පිළිතුරු දුන්නේ නැත.
"එහෙ එන්ඩත් බැරි වුණා ළඟදි." අම්මා කීවේ නිශ්ශබ්දතාවයෙන් ඇති වූ අපහසුතාවය නැති කරන අටියෙනි.
"අක්කත් ලෙඩින් මේ ටිකේ."
"ඇයි අක්කට?"
"හරියට කන්නෙ බොන්නෙත් නෑනෙ. අර උණෙං පස්සෙ කලන්තෙ කියනව නිතර. මෝල්ටඩ් කිරි එකක්වත් අරං ගිහින් දෙන්ඩ කියල."
කතාව යොමු වෙන ඉසව්ව තේරුම්ගත් අප්පච්චි අනවශ්‍ය කතාවට පැටලුණු අම්මාට රවා බේබද්දා දෙසට හැරිණි.
"ඕවා නෙවෙයි, හොඳට පලා ටිකක්, එළවලුවක්, අරකක් මේකක් කන්ඩ කියන්ඩ. නිකං ඉන්න එකේ අය්යට පුලුවන්නෙ ඔය ඉඩම් කෑල්ලෙ එළවලු ටිකක් වවන්ඩ. අපි ඉස්සර ඔය වත්තෙ වැව්වා."
"මමත් කියනව අක්කට. ඒත් ඔය මෝල්ටඩ් කිරි එහෙමනං බොන්ඩ පුලුවං කියනව. වෙන මුකුත් කන්නෑ කටේ අමි රහ කියල." බේබද්දා සිය මාතෘකාවෙන් එපිටට සංවාදය ගෙන යාමට සූදානම් නොවීය.
"කෑම රහ නැත්තෙ කොච්චරවත් බුලත් කන හින්ද. ඕක නවත්තන්ඩ කියන්ඩ."
"දැං ආයෙ කොහෙ කන්ඩද? මෙහෙ බුලත් වැලෙන් විතරයි කෑවෙ. ඊයෙ හීල්ලුව. උණෙන් පස්සෙ කටේ අමි රහ යන්ඩ කියල පහුගිය ටිකේම ඔය බුලත්මයි හැපුවෙ. අද බැරිම තැන කිව්වෙ මෝල්ටඩ් කිරිවත් තිබුණනං කියල"
"ඕව බීල හරියන්නෑ."
අප්පච්චී නැවතත් පත්තරය තුළ ගිලිණි.
අම්මා ගෙතුළට ගියාය.
බේබද්දා ජයග්‍රාහී ලෙස අසුන් අරා සිටියේය.
මඳ වේලාවකට පසු අම්මා කිසියම් මුදලක් ගෙනවුත් බේබද්දා අතට දුන්නේ පෙරැත්තයෙනි. 

"අක්කට මොනව හරි ආසයි කියන දෙයක් ගිහිං දෙන්ඩ."

බේබද්දා නික්ම යනතුරු පත්තරය දෙස බලා සිටි අප්පච්චි අම්මාට කඩා පැන්නේ ඉන් අනතුරුවය.
"ඌ ගිහිං බොයි ඕකෙන්. පැන්ෂන් එක ඉවර වෙනකං බීල, තව බොන්ඩ සල්ලි හොයනව."
"සල්ලි නුදුන්නනං අද යන්නෙම නෑ. අනික අක්කට ඕනෙ කියල කිව්වහම නොදී කොහොමද?"
"දැං ආයෙ ආයෙ එයි සල්ලි ඉල්ලගෙන. මෝඩකම්වලත් සීමාවක් තියෙන්ඩ ඕන. අක්කට කිරි ගිහිං දුන්නොත් බැරියැ."
"එහෙනං ඒ වෙලාවෙ කියන්ඩ එපායැ. ඊළඟට මටයි කතා අහන්ඩ වෙන්නෙ නෑනට ලෙඩ වුණු වෙලේ, කියලවත් බැලුවෙ නෑ කියල."




අනතුරුව මෙවැනි ආරවුල් අපේ නිවසේ නිරන්තර සිදුවීමක් බවට පත් විය. සන්ධ්‍යාවේ බේබද්දා පැමිණෙන වේලාව කිට්ටු වත්ම නිවස පුරා පැතිර යන්නේ අවිනිශ්චිත අන්ධකාරයකි. මුදලක් ලබා ගැනීම සඳහා බේබද්දාට හැමදාම කිසියම් හේතුවක් තිබිණි.

අය්යාගේ මංගල්‍යය ආසන්න වත්ම වාග් සංග්‍රාම වඩ වඩා සුලභ වන්නට විය. අම්මාට සොයුරන් නොසිටි අතර ළඟම මාමා වශයෙන් පුතා පෝරුවට නැංවීම සිය යුතුකමක් බව බේබද්දා නිතර දෙවේලේ සිහි කළේය. 'ඌ ආවොත් ඕනෙ එකෙකුට පෝරුවෙ නැගීමට කියා' තමන් රෝෂිණීත් සමග පැන යන බවට අය්යා තර්ජනය කළේය.

අප්පච්චීගේ එකම සහෝදරිය වූ සුදු නැන්දාට මගුලට ආරාධනා නොකර සිටිය නොහැක. 

ඇයට ආරාධනා කර බේබද්දාට ආරාධනා නොකර සිටිය නොහැක.
බේබද්දාට ආරාධනා කර, තෙවන පාර්ශ්වයකට අය්යාව පෝරුවට නැංවීමට කිව නොහැක; බේබද්දා කලබල කිරීමට ඉඩ ඇති හෙයිනි.

නම්බුකාර විදුහල්පතිවරයකු ලෙස නමක් දිනා සිටින අප්පච්චීගේ ලොකු පුතාට මංගල දිනයේ පැන යාමට ඉඩ දීමටද නොහැක.

අම්මා හැන්දෑවේ බුදුන් වැඳ දෙවියන්ට පහනක් තැබීමට පටන් ගත්තාය.

ලෙඩ ගණනේ සිටි සුදු නැන්දා කෙසෙල් ලෙල්ලක් විසි කිරීමට ගොස් බිම ඇද වැටුණේ මේ අතරවාරයේය. ඇගේ පයේ අස්ථි බිඳී ඇති හෙයින් ශල්‍යකර්මයක් කිරීමට අවශ්‍ය බව වෛද්‍යවරු පැවසූහ. සුදු නැන්දා බලෙන් ටිකට් කපාගෙන අවුත් සිංහල වෙදකම් කිරීමට පටන් ගත්තාය. බිම වැටී දින තුනකට පසු හදිසියේම හුස්ම ගැනීමට අපහසු වූ ඇයව යළි රෝහලට ගෙන යන ලදී. එදින රාත්‍රී සුදු නැන්දා අන්තරා වූවාය.

මරණයේ සියලු කටයුතුවල වගකීම ගෙන ක්‍රියා කළේ ලොකු අප්පච්චී හා ඔහුගේ පුතුන්ය. මිණියට අන්දා තිබුණේ එම්බාම් සාප්පුවෙන් දෙන ඇඳුමකි. සුදු නැන්දාගේ කෙසඟ සිරුරට ඒ හැට්ටය බෙහෙවින් ලොකුය. ගෙතුළ නැන්දාගේ සුදු හැට්ටයක් ඇත්දැයි අම්මා සෙවූමුත් ඇඳුම් අල්මාරි අගුලු ලා තිබුණි.
"සෙනග එන හින්දා ඔක්කොම අගුලු දාලා යතුරු අපේ දිහයින් ගිහින් තිබ්බා."යයි  කී ලොකු අම්මා
අනතුරුව කසුකුසුවෙන් පැහැදිලි කළාය. "අක්කගෙ ඔප්පු, බැංකු පොත්, වටින කියන බඩු සේරම මම පරිස්සමට අරන් තිබ්බා. ඔක්කොටමත් වඩා මේ යකා විශ්වාස නෑනෙ."

බේබද්දා ඇස් රතු කරගෙන ඉස්තෝප්පුවේ පුටුවකට බර වී සිටියේය. ඔහුගේ ඥාතීන් කිහිපදෙනෙක් බත් පෙට්ටියක්ද ඔසවාගෙන ගෙලිඔය සිට පැමිණ සිටියහ. ලොකු අම්මා ඒ බත් වෙනම භාජනවලට අඩුක් කළාය.

බේබද්දාගේ ඥාතිපුතෙක් මළ සිරුර පරීක්ෂා කළේය.
"රත්තරං බඩුත් එක්ක නෙවෙයිනෙ භූමදානෙ කරන්නෙ?"
කිසිවෙක් පිළිතුරු නුදුන්හ.
"සොහොන් බිඳිනව ඊළඟට. ඒකයි මම කිව්වෙ."

සුදු නැන්දාගේ සිරුර වළලා පැමිණි ඉක්බිති අම්මා දෙවියන්ට පහන දල්වා හඬන්නට වූවාය.
"අනේ, ඒ ගෑනිට මගේ දුක දැනිලා තමයි මැරෙන්ඩ ඇත්තෙ. මට මොනවා කරන්ඩද කියල නිනව් නැතුව හිටියෙ. දැන් ඒ ප්‍රශ්නෙත් ඉවරයි."

ඉන් සති කිහිපයකට පසු පැවති අය්යාගේ මංගල්‍යයට බේබද්දා ආරාධනා නොලැබීය. පෝරුවට නැග්ගවීමට තරමක් දුරින් නෑ වෙන මාමා කෙනෙක් සොයාගැනිණි.

මංගල්‍යයෙන් දින දෙකතුනකට ඉක්බිති බේබද්දා ඉහින් කණින් උතුරන තරමට බීමත්ව ගම පුරා ඇවිදිමින් අපට බැණ වැදී ඇති බව ආරංචි විය.
"මහ ලොකු ඉස්කෝල ගුරා! තුඃ නොදකිං!! අක්කව මරා ගත්තා. අක්කගෙ මිනිහව මතක නෑ මිනිය කුණුවෙන්ඩත් ඉස්සර. අක්කගෙ දේපල අල්ලගන්ඩ හදන පාහරයො. ඕකුන් මොනවද ඉස්කෝලවල උගන්නන්නෙ....." ආදී වශයෙන් ලුණු ඇඹුල් සහිතව මේ කතා අප්පච්චීට වාර්තා විය. අනෙක් සියල්ලටත් වඩා අප්පච්චිගේ කෝපය ඇවිස්සුණේ තමාගේ ගෞරවනීය විදුහල්පති රස්සාව ඉස්කෝල ගුරෙක් ගානට ලඝුකොට දැක්වීමය. තමන් විසින් මියගිය සොයුරියට අකටයුත්තක් කරන ලදැයි යන වරදකාරී හැඟීම කා පිටින් හෝ යැවීමටද, මගුල් ගෙදරට බේබද්දා වැද්ද නොගැනීම සාධාරනීකරණය කරගනු පිණිසද ඒ කෝපය උපයෝගී කරගනු ලැබිණි.
"ආදෙන්කො ඕකා..."

අප්පච්චීගේ කෝපය සෑහෙන පමණකට නිවෙන තුරු බේබද්දා නැවත නොපැමිණියේය. මුල් දින කිහිපයේදී සිහිවන සිහිවන වාරයක් පාසා අප්පච්චී බේබද්දාට බැන්නේය; ලොකු අප්පච්චී හමුවීමට කිහිපවරක්ම ගියේය; පන්සලේ අමද්‍යප සමිතිය අවුස්සාගෙන අපේ නිවස අසල ඇති තැබෑරුම ඉවත් කරන මෙන් පෙත්සම් ගැසීය. "සියල්ල" තමන් බලාගන්නා බවට ලොකු අප්පච්චී විශ්වාසයෙන් යුතුව දුන් පොරොන්දුව අප්පච්චී පිළිගත්තේය. පොලිසියේ රැකියාව කළ ලොකු අප්පච්චි ඒ වනවිටත් බොහෝ දේ 'බලාගෙන' තිබුණි.
කෙතරම් බීමතින් වුවද ඔහුට එරෙහිව යමක් කීමට බේබද්දා බිය විය.



සති දෙකකට පමණ පසු බේබද්දා පැමිණියේ අප්පච්චී වැඩ ඇරී ඒමට පෙරය. අම්මා කිසිවක් සිදු නූණ ලෙසින් ඔහු පිළිගෙන වාඩිවෙන්නටයයි කීවාය. බේබද්දා වාඩි වී බලාගත් අතේ බලා සිටියේය. අම්මා කහට තේ කෝප්පයක් ගෙනවුත් දුන්නාය. ඔහු එය අතට ගෙන කඳුළු සළන්නට විය.
"සුදු මැණිකෙ..."
අම්මාද හඬන්නට වූවාය. "ඉතින් මොනවා කරන්ඩද අය්යා?" ඈ ඔසරිපොටින් කඳුළු පිසිමින් කීවාය.
"මම තනි වෙලා, නංගි." බේබද්දා කීවේ තේ කෝප්පයටය.
"අය්යට අපි ඉන්නවා."
නිශ්ශබ්දතාවයකි.
"තේ එක නිවෙයි අය්යා." අම්මා නිශ්ශබ්දතාවය බින්දාය.


"මම අසරණ වෙලා." බේබද්දා කෙඳිරීය. "මගෙ ඇහැ පේන්නෙ නෑ. අත පය හිරි වැටිලා. මුකුත් හය්යෙන් අල්ලගන්ඩ වාරු නෑ. කුලී වැඩක් කරනවා තියා ගෙදර වැඩක් කරගන්ඩවත් බෑ. මටනං බඩගින්නෙ හරි හිටියැහැකි. අර සුදුමැණිකෙ හදාගෙන හිටපු බැල්ලි පැටව් දාලා."

බේබද්දාගේ කඳුළු පිරුණු ඇස් බොරවන්ය; අපැහැදිලිය; කළු ඉංගිරියාව වටා අළු පැහැති රවුමකි. ළඟකදි කපා නැති රැවුල මුළුමනින්ම ඉදී ඇත. කෙසඟ සිරුරේ උදරය නෙරා ඇත. අම්මා දිගු සුසුමක් හෙළා නැවත කඳුළු පිසදාගත්තාය.
"ඉස්පිරිතාලෙවත් යන්නෙ කොහොමද බස් බෝඩ් එකක් පෙනෙන්නෙ නැතුව? සුදු මැණිකෙ හිටියනං.." බේබද්දා විවෘතව තිබූ ජනේලයෙන් ඈත බලා සිටියේ එක දිගට ඇසි පිය නොහෙළා බලා සිටියහොත් අහස ඉරාගෙන සුදු නැන්දා මතු විය හැක්කාක් මෙනි.

නැවත වරක් යාම් ඊම් ඇරඹිණි. තැබෑරුම විවෘත කරන්නාහාම එහි එන බේබද්දා, අනතුරුව අප නිවසට පැමිණෙයි. අප්පච්චි ඒ වේලාවට නිවසෙහි නැත. අම්මා උදෑසන ආහාරයෙන් ඉතිරිව ඇති යමක් බේබද්දාට කන්නට දී තේ සාදයි; දින කිහිපයකට වරක් සුළු මුදලක් ඔහු අත තබයි; ඔහුගේ දුක් ගැනවිලි අසා සිටියි. අප්පච්චි පැමිණීමට ප්‍රථම ඔහු පිටව යයි.

මේ කාල සටහන වෙනස් කෙරුණු දිනයක් ආවේය.

දොර අසල යම් ශබ්දයක් ඇසී මා එදෙස බලනවිට බේබද්දා බියගත් විලසින් උළුවස්සට වාරු වී සිටින අයුරු දිටිමි. මමද බිය වූයෙන් "අම්මා.." යි කෑ ගැසීමි. ගෙතුළ සිට කඩිනමින් ආ අම්මා "අය්යා?" යයි ඇමතූ නමුත් බේබද්දා පිළිතුරක් නුදුන්නේය. ඈ ඔහු අසලට ගොස් අතින් අල්ලාගෙන විත් පුටුවේ වාඩි කරවූවාය. බේබද්දා ඇවිද්දේ වෙවුලමිනි; විසි වී වැටෙන්නට යන්නාක් මෙනි. ඔහුගේ දෙනෙත් හොල්මනක් දුටු කලක මෙනි; මුහුණේ ලේ සිඳී ගොසිනි.
"මම තේ එකක් හදන් එන්නම්."යයි කී අම්මා කුස්සියට යන්නට හැරුණාය. බේබද්දා එක්වරම කෑ ගසා ඉදිරියට නැමුණි. ඒ හාම ඔහු සිටි අසුනේ සිට ඉදිරියට රතු දුඹුරු පැහැ පැල්ලමක් විසිරිණි. මටද කෑ ගැස්සුණි. අම්මා හිටි තැනම ගල් වූයේ මොහොතකට පමණි. "ගිහින් නිල් පාට බාල්දිය අරං එන්ඩ." ඈ කීවේ බේබද්දා වෙතට දුවමිනි. "ඒ කරලා ඉක්මණට ලොකු අප්පච්චිට කතා කරන්ඩ."
"අනේ බුදු නංගී... මං මැරෙයි. අනේ මාව බේර ගන්ඩ මයෙ අම්මා.... " යි බේබද්දා විලාප තියන අයුරු බාල්දිය ගෙන ඒමට දිව යන මට ඇසුණි.

************************************

දින දහසයක් පුරා බේබද්දා මරණය හා සටන් කළේය. ඉඩ ලැබෙන අයුරින් අපි රෝහලට ගොස් ඔහු බැලීමු. ගෙලිඔය ඥාතීන්ද වරක් දෙකක් පැමිණ ගොස් තිබුණි. ඔහුට ලේ දීම පිණිස ලොකු අප්පච්චි සිය ගෝලයන් කිහිපදෙනෙකු යැවීය.

මුල් දින කිහිපය තුළ බේබද්දා අවසිහියෙන් නොකඩවාම ජීවිතය අයැද සිටියේය. ඔහුව බැලීමට පැමිණි කිසිවෙකු හඳුනා නොගත් අතර, වරින් වර දෑස් විශාල කර බලමින් තමන්ට පමණක් පෙනෙන ඇසෙන යමකට දැඩි සේ බියපත්ව දුක්මුසු හඬින් හැඬුවේය. ඇතැම් විටෙක යටිගිරියෙන් හූ තැබීය. තමන් මරන්නට එපායැයි මරහඬ දී සේලයින් කටුද, නොයෙක් බට ආදියද ඇද ගලවා දැමීය. කොටු ඇඳක හිර කෙරුණු ඔහුට සෙළවිය නොහැකි සේ එහි හරස් පොලුවල ගැට ගසනු ලැබිණි; අනතුරුව, ගලවා ගත් කටු ආදිය නැවත ඇතුළු කරන ලද්දේ බැණ වදිමිනි.

තමන් අපාගත වී ඇතැයි සිතූ බේබද්දා විකල්ලෙන් දොඩවන විලාපයන් අසා වාට්ටුවේ සිටි රෝගීහු සිනාසුණහ. 


ඔහුව පවිත්‍ර කිරීම දිනකට කිහිප වරක් කළ නොහැකි වූයෙන් බොහෝවිට ඔහු සිය මළමූත්‍ර ගොඩෙහිම ලැග සිටියේය; ඔහු වෙතින් නික්මුණු දුර්ගන්ධය පිළිබඳව අනෙකුත් රෝගීහු නිතරම චෝදනා කළහ. නොකඩවා අපහසුවෙන් දඟලන සිරුරේ වස්ත්‍රයක් රඳවා තැබිය නොහැකි විය. නිරුවතින් දඟලමින් යම පල්ලන් ගැනද, වෙනත් නොයෙක් අරුත් සුන් දේ ගැනද දොඩවන බේබද්දා කාගේත් පිළිකුලටත් විහිළුවටත් බඳුන් විය. රෝගීන් බලන වේලාවලට ඔහු වටා තිර යොදා ආවරණය කරනු ලැබිණි. ඔහුව බැලීමට යන කවුරුත් ඔහු ඉතා දුරින් ඥාතියකු බවද, කාත් කවුරුත් නැති නිසා තමන් ඔහුව බැලීමට පැමිණෙන බවද පැවසීමට අමතක නොකළහ.

"අපාය තමා. මිහිපිට අපාය!" ඉදිරි ඇඳේ සිටි දෙපා පණ නැති රෝගියා, දවසකට සියවරක් බේබද්දාව පෙන්වමින් පැවසීය.

අවසිහියෙන් ගෙවූ දින කිහිපයකට පසු බේබද්දා නැවතද ලේ වමනය කර තිබිණි. ඉන් පසු වලිප්පුව සෑදුණු අතර ඔහු නැවත සිහි නොලද්දේය. දැඟලීම අඩු විය; කෑ ගැසීම නැවතිණි. අමුතු ශාන්ත බවක් ඔහු වෙළා ගති. ඔහුගේ දිය වුණු මුහුණේ අලුත උපන් බිළිඳකුගේ අසරණකම තැවරී තිබුණි. තවමත් කොටු ඇඳෙහි මළමූත්‍ර ගොඩෙහි වැතිර සිටිමුත් ඇඳට බැඳ තිබූ වෙළුම් ළිහා දැමිණි. මිනිස්සු නාස් අතින් වසාගෙන ඔහුගේ දිරා ගිය සිරුර දෙස බැලූහ.

"මැරෙන්නෙත් නෑ." ඉදිරි ඇඳෙහි රෝගියා දවසට සිය වරක් කීය.

හෙමින් මිය යමින් සිටි බේබද්දා වැසි සහිත සන්ධ්‍යාවක අවසන් හුස්ම හෙළීය.

එය කවුරුත් බලාපොරොත්තුව සිටි නිසා කිසිදු ප්‍රශ්න කිරීමක් නොවිණි; රෝහල් බලධාරීන්ට හෝ වෙනත් අයෙකුට චෝදනා කිරීමක් නොවිණි; මළ සිරුරට අයිතිවාසිකම් කීමට හෝ අවසන් වරට ඔහුව දැකීමට අවැසි කෙනෙක් නොසිටියහ. කාගේත් පහසුව තකා සිරුර රෝහල මගින්ම භූමදානය කිරීමට කටයුතු සලස්වන ලද බව ලොකු අප්පච්චී කාටත් දැණුම් දුන්නේය. 


ඊලඟ සති අන්තයේදී අම්මා නිකමට මෙන් පන්සලට දානයක් පිළියෙල කොට යැව්වාය.

*******************************

පරණ තැබෑරුම තවමත් පවතී. ඊට ආසන්නයෙන්ම පැරදුනු පක්ෂයේ දේශපාලනඥයකු අලුත් තැබෑරුමක් විවෘත කළේ බේබද්දා මිය ගිය සතියේමය. වීදුරු පෙට්ටි හෝ වේවැල් කූඩා ඔසවා ගත් කිලිටි මිනිස්සු කිහිපදෙනෙක් තැබෑරුම් දෙක අතර එහා මෙහා යමින් උම්බලකඩ වඩේ, මුරුක්කු ආදිය විකුණති.


තැබෑරුම් දෙකෙහිම සෙනග අඩුවක් නැත.




This entry was posted on Friday, May 06, 2011 at Friday, May 06, 2011 and is filed under , , . You can follow any responses to this entry through the comments feed .

15 දෙනෙක් ගේ අදහස්

අනේ මන්ද?බීමේ විපාක

May 6, 2011 at 10:05 PM

බේබද්දාත් මොකක් හරි අහේතුවකට බේබද්දෙක් උනත් හැඟීම් තියෙන මනුස්ස පරාණයක්නේ.හිතට දැනෙන රචනාවක්.

May 6, 2011 at 10:15 PM

ආයෙ මොනවද..උපරිමයි....නියමයි.!!!!

May 6, 2011 at 10:16 PM

අලුතෙන් හැදිච්චි තැබැරුමෙනුත් පරන එකෙනුත් තවත් සිය ගනනක් "බේබද්දන්" ගේ ජීවිත විනාස කරාවි....බීම නැත්නම් "බේබද්ද" නුත් හැගීම් සහිත මිනිස්සු කියන එක මතක් වෙනවා පෝස්ට් එක දැක්කාම

May 7, 2011 at 12:29 AM
Anonymous  

තැබෑරුම් දෙකෙහිම සෙනග අඩුවක් නැත.

sahenda hithanda deyak ithuru wena kathawak uparimay. hithta wadinawa

May 7, 2011 at 12:51 AM

ඇත්තටම මටත් මේ කතාව ඇහුවම ලොකු කමිපාවක් ඇතිවුනා. ඒත් ඒ බේබද්ද ගැන විතරක්ම නමි නෙමේ මත්පැන් වලින් සිය ඡීවිතයම විනාශ කරගන්න මිනිස්සු පිළිබද මන්ද, මටත් ඹය වාගේ මිනිස්සු ගැන අත්දැකීමි රාශියක් තියනව. පවි සුදු නැන්ද, එයත් ගොඩක් පවි කරල තියනව ඒවගේ මිනිහෙක් එක්ක ඡීවත් වෙන්න. ඹයා කථාව කමිපනයක් ඇතිකරන විදිහට ලස්සනට ලියල තියනව. දිගටම ලියන්න. ඡය වේවා...

May 7, 2011 at 2:50 AM

මිනිස්සුන්ට බොන්න හිතෙන කාලකණ්නි මානසිකත්වයක් ඇති වන අවස්ථා තියෙනව. වැරැදි වෙන්න පුඵවන්. වැරැදියි කියල ඒ තත්වෙ නැති අයට කියන්නත් පුඵවන්. ඒත් ඒ අවස්ථාවල වෙන කරන්න දෙයක් නැතිම වෙන අවස්ථා තියෙනව. මේක බීමත්කම සම්බන්ධයෙන් විතරක් නෙවෙයි.

හොඳ පෙල ගැස්මක් සහිත රචනයකි.

May 7, 2011 at 2:45 PM

ලස්සනයි නලිනි,

බේබද්දා ගැන මගෙ හිතේ ඇතිඋනේ අප්‍රමාණ අනුකම්පාවක්,

May 7, 2011 at 3:28 PM

නදී, සිතුවිලිමණ්ඩිය, පිසාචයා, මදුෂාන්, හර්ෂ, රවි, අවුට්සයිඩර්, සහ නිර්නාමික සහෘදයාටත් බෙහෙවින් ස්තුතියි කතාව කියවා අගය කළාට. ඔබේ අදහස් ඇත්තෙන්ම අපට දිරියක්.

May 7, 2011 at 4:06 PM

ත๠බ๡ර๠໦ ๧ද๧කහ๢ම ๧සනග අඩ๤වක๞ න๠ත.

මේක කවදාවත් ඉවරවෙන කතාවක් නෙම්...

May 8, 2011 at 10:58 AM

අනුකම්පාව, තරහව, හාස්‍යය හා බිය හැම එකතු කල තුලිත විග්‍රහයක්. ගතයුතු දේ බොහෝය, මෙවැනි චරිතයකින් කීදෙනෙක් නම් අසීරුවට පත්වෙනවාද?

එහෙත් කතාව අවසානයේ ඡේදය ඉල්ලුමට සැපයුම සලසන ක්‍රමය මොනවට විග්‍රහ කරනවද?

හරවත් රචනයක් රසවින්ඳා (මෙදා මං ප්‍රමාදයි).

May 8, 2011 at 8:26 PM

තාරක Dilsh@n, ගල්මල්-Coral, බොහොම ස්තුතියි ඔබේ විමසුමට.

බොරු කියන්නෙ මොකටද, මම ඒත් කල්පනා කළා ඩීන් අය්යා තරහ වෙලාද, නැත්නම් අරාබියෙ ලයිට් ගිහිල්ලද මොකද කියලා. :D

May 8, 2011 at 9:12 PM

තිබිච්ච පොඩි විවේකයත් හොරු අරන් ගිහින් පහුගිය ටිකේ ඒකයි පමා වුනේ

May 8, 2011 at 11:16 PM
Anonymous  

good one ...

"බේබද්දාගේ මරණය මා කම්පාවට පත් කරනු ඇතැයි මම කිසි කලෙකත් නොසිතුවෙමි. මා සිතූ දෙයක් ඉටුව ඇත්තේ කලාතුරකිනි.
"
how this related with the conclusion ? it looks like you got a personal sympathy about the destiny of the toper. but you don't discuss why you worried about his life. The anticipated death of the toper is not seems to be a surprise based on followings..

"එය කවුරුත් බලාපොරොත්තුව සිටි නිසා කිසිදු ප්‍රශ්න කිරීමක් නොවිණි; "

Even your mother is not seems to be worrying about it ..
"ඊලඟ සති අන්තයේදී අම්මා නිකමට මෙන් පන්සලට දානයක් පිළියෙල කොට යැව්වාය."

Sometimes I wonder whether the main character is you but the toper.

"මා සිතූ දෙයක් ඉටුව ඇත්තේ කලාතුරකිනි"

you seems to be having a sympathy about your self too.

"තැබෑරුම් දෙකෙහිම සෙනග අඩුවක් නැත."

Strong end.

June 15, 2011 at 1:41 PM

You seem to have read the story and analyzed it well. It's a great pleasure for me, as the writer.

How the beginning relates to the end:
Put aside the sugar- this is a typical story about a toper. This is what our elders have been telling us all the time: drinking is bad; this is what will happen...
If the toper was the father of the child who tells this, then you'd expect him/her to feel sad. But this is someone else; actually someone who has caused a lot of problems to his/her family.
Then why would she/he feel sad about it? Because she/he witnesses it first hand; it's no longer a story told by somebody else. Perhaps the child is more sensitive than the adults, and appreciates the good side of the man. Same goes about the mother. She need not do anything, but she prepares an alms giving, though on a lighter scale. The family even visits the man at the hospital- and that is one good thing about our culture.

Like you question, the story is not about the toper. It's about the child. She/he becomes acutely aware of the facts of life: hardly anything happens in the way we wish. And we don't even have a control over our basic feelings: we feel sad about the death of men towards whom we didn't have much feeling when alive.

June 15, 2011 at 3:32 PM

Post a Comment

ඔබේ අදහස් අපිට ශක්තියක්