ඒ අපේ කෙනෙක්  

Posted by උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා in , ,





                          ගොම්මන මැද්දෙන් ඇදී එන තුන් රෝද රියක එලියෙන් මග සටහන් කරගන්නා සිරිසෝම අඳුරේම නිවස කරා පියනගයි. ගෙවුනු වසර ගනනාවක් පුරා සේවය නිමවී මෙලෙසින්ම නිවස කරා ඇදෙන සිරිසෝමගේ සිත අද සතුටින් ඉපිලී ඇත.නගර සභා සුලු සේවකයකු වූ සිරිසෝම වසර ගනනාවකට පසු තම සේවා දිවිය පිලිබඳ සතුටින් ඉපිලෙමින් නිවස කරා ඇදෙන්නේ දහවල සිදුවූ සියල්ල සිරියාවතී හමුවේ කියාගන්නා තුරු නොයිවසිල්ලෙනි.

කදුගැටය අද්දරින් පහලට බැසගත් සිරිසෝම  රතුමුදලාලිගේ කඩය දෙස හොරැහින් බලමින්ම පල්ලම් බසී

" ඔතෙන්ට ගියොත් තවත් පරක්කු වෙනවා"  සිරිසෝම තමුන්ටම කියාගනී

මලානික අහසේ වැහි කෝඩයක පෙරනිමිති ඇදී ඇත. කඩුල්ල පැන්නූ සිරිසෝම ඉස්තෝප්පුව පසු කරමින් කුස්සි කෑල්ල දෙසට ඇදෙයි.

"ආ... ! මොකෝ අද මෙයා කුස්සිය පැත්තෙන්ම " සැමියාගේ හදිසි පැමිනිමෙන් හිස ඔසවා බැලු සිරියාවතී  ලිපේ ඉදෙන හොද්ද දෙසට නැවත නෙත් යොමයි.

" ආ.. මෙකත් උයල ගනින්... පොඩි උන් නිදිද " නගර සභා හන්දියෙන් මිලයට ගත් මස් පාර්සලය  සිරියාවතී දෙසට දිගු කරමින් සිරිසෝම සිහින් සිනාවක් පායි.

" අදනම් මොකක් හරි වාසියක් වෙලා වගේ " සැමියාගේ අමුත්ත ඉවෙන් හදූනාගත් සිරියාවති සිරිසෝමට දෙසට ලං වෙමින් පවසයි

" අද මාර වැඩක් නේ උනේ " පනින්නට බලා සිටි  රිලවුන්ට ඉනිමං බැන්දා සේ සිරිසෝම කතාව පටන්ගයි.

"මොකක්ද උනේ "

" පෙරේදා අපි අර විල්ලවත්තේ ගෙවල් සුද්ද කරන්න ගියානේ .. එතනදි පාරට තිබ්බ කඩ වගයක් කැඩුවා සමරතුංගයා ඔතෙන්දි බඩු වගයක් අරගෙන ඇවිත්"

"ඉතිං..!" සිරියාවතී  දෙඇස් නලලේ රදවමින් සිරිසෝම දෙස බලයි.

" කොහොම හරි ඕක අපේ ලොකු මහත්තයාට ආරංචි වෙලා අද උදේ ඔක්කෝම ගෙන්නලා හොදට දෙහි කැපුවා "

" ඉතිං අප්පේ ඔක්කෝටම බැන්නා නම් මොකෝ මේ ඔහේ අමුතු සන්තෝසෙකින් " සිරියාවති කතාවට හරස් වෙමින් විමසයි.

" අහගෙන ඉන්නවකෝ දැනුයි හොදම හරිය " කුප්පි ලාම්පූ  එලියට නැටවෙන දෑසින් සිරියාවතී දෙස බලා  සිරිසෝම නැවත කතාව අරඹයි.

" ලොකු මහත්තයා සමරතුංගයාට හොදටම දෙහි කැපුවා අර උගේ පස්සෙම වැටිලා ඉන්න  සායම් ගුනෙත් හොදට අහගත්තා ඌත් ඔය වැඩේට හවුල්ය කියන්නේ.. ඊට පස්සෙ ලොකු මහත්තයා කිව්වා සිරිසෝම විතරයි මෙතන විශ්වාසයක් තියන්ඩ පුලුවන් මිනිහෙක්ට ඉන්නෙ හොර බොරුවක් වංචාවක් නැති  මනුස්සයෙක්ට කියලා "

" නෑ.. සමරතුංගයාට පොලව පලං යන්න හිතෙන්න ඇතිනේ "

සිරියාවතීගේ මුහුනටද එලියක් වැටේ..

සමරතුංගයා කොහොමත් සිරියාවතීට අල්ලන්නේ නැත දවසක් ගම්සභා හන්දියේදි ටැක්ටරයේ යන ගමන් මොකක්දෝ නොහොබිනා කතාවක් කියාගෙන ගිය හැටි සිරියාවතීගේ සිහියට නැගේ.

" හොඳම වැඩේ ඕකට "

" ඉතිං ඉතිං... ඊට පස්සෙ "

මේස ලෑල්ලට හෙත්තූ වී සිටි සිරිසෝම බංකු කෑල්ල ඇද වාඩි වී නැවත කතාව අරඹයි

" පස්සෙ ලොකු මහත්තයා නීතියක් දැම්මා මීට පස්සෙ ඔය වගේ වැඩක් කරලා අහු උනොත් කෙලින්ම ගෙදර යවනවා කියලා අනික් එක සමරතුංගයා අදුරන එකෙක්ගේ කඩයක් තිබිලා ඒකට අතවත් තියලා නෑ රංජියලනම් කිව්වෙ ඒ මනුස්සයා සමරතුංගයාට සල්ලි දුන්නය කියලා "

" නෑ...! "

" නෑ නෙවේ ඔව්.. ලොකු මහත්තයා කිව්වා හෙටම ගිහින් ඒකත් අයින් කරන්න කියලා. හැබැයි ලොකු මහත්තයා කිව්වා මං ඒ වැඩ ටික මීට පස්සෙ බාර දෙන්නේ සිරිසෝමට කියලා. "

කතාව මදකට නැවතු සිරිසෝම  අමුතු ආඩම්බරයක් මුහුනට නගා ගයි ඔහු සිරියාවතී දෙසට හැරී නැවත කතාව අරඹයි

" දන්නවද මීට පස්සෙ ඒ වැඩවලට මිනිස්සු බාරව යන්නේ මම.  ලොකු මහත්තයා කිව්වා  ටී . ඕ  මහත්තයට කියලා මට ඒ වැඩ ටික බාර දෙනවා කියලා. මගෙ පඩියත් ටිකක් වැඩි කරනවා කිව්වෙ "

" කිරි අප්පේ අනේ වාසනාවන් .." සිරියාවතී ගේ මුහුනෙන්ද සතුට උතුරයි

" මම කොහොමත් හොර බොරු වංචා නෑ නේ නීතිය කාටත් එකයි මගේ එකාට උනත් එච්ච්රයි මට උනත් එච්ච්රයි .. හැම දෙයක්ම රටේ නීතියට වෙන්ඩ ඕන අපී එහෙම ජීවත් උනාම මිනිස්සු අපිට සලකනවා "
සිරිසෝම ආඩම්බරයෙන් පවසයි.

" හා හා දැන් ඕක උයලා ගනින් බඩත් කෑ ගහනවා " සැහැල්ලු කරගත් මනසින් සිරිසෝම බංකූ කෑල්ලෙන් නැගිට කුස්සිකෑල්ලෙන් එලියට ඇදෙයි

ඉස්තෝප්පු කෑල්ල දෙසට ඇවිද ආ සිරිසෝම. ඉස්තොප්පුවේ වූ බූරූ ඇදේ කෙලවරක වාඩි ගෙන බිත්තියට පිටදී  නැවතත් දහවල් කාලයේ වූ  දේවල් එකින් එක  සිතේ මතුකරමින් තනිව මුමුනමින් ඔහුගේම ලෝකයක තනිව ගත කරන්නට විය.

කොතරම් කාලයක් සිහින ලෝකයක සිටියාදැයි සිරිසෝමට නිනව්වක් නැත කවුරුන් හෝ වැටකඩුල්ල ලග  දඟලනා හඩකින් ඔහුගේ සිහින ලෝකය  බිදුනි

" කවුද ..! "

බූරු ඇද මත වූ විදුලි පන්දම දල්වා ගත් සිරිසෝම කඩුල්ල දෙසට ඇදෙන්නට වෙයි.  ඒ අතරේ ඔහු විදුලි පන්දම් එලිය වැට අද්දර සිටින්නා දෙසට එල්ල කරයි. වැහි මන්දාරම බිදිමින් විදුලි පන්දම් එලිය  කඩුල්ල  අද්දර සිටින්නාගේ මුහුන මතට වැටේ

" රම්‍යාලතා.... !."  සිරිසෝම තමුන්ටම මුමුනයි

කඩුල්ල අද්දරට ලං වෙන සිරිසෝම දකිත්ම කඩුල්ල අද්දර උන් ගැහැණියද කටහඬ අවදි කරයි.

" අනේ සිරිසෝම අයියේ පොඩි කරදරයක් " ගැහැනිය හැඩුම් හඩකින් හඩ අවදි කරයි

" මොකෝ රම්‍යලතෝ.. මේ මහ රෑ මොකද උනේ.."

" අනේ අයියේ පොඩි එකා ඉස්පිරිතාලේ අයියේ හොදටෝම අමාරුයි. "

" නෑ..! ඒ මොකෝ නංගියේ "

" පෙරේදා උන ගත්තා හවසම ඉස්පිරිතාලේ එක්ක ගියා දැන් සිහියක් කටක් නෑ අයියේ "

අදුරේ උවද ගැහැනියගේ නෙතින් ගලා හැලෙන කදුලු සිරිසෝමගේ දෑසට පෙනේ

" හා.. හා යමන්කෝ ඇතුලට ගිහින්ම කතා කරමු..."

වයසින් හතලිස් විය ඉක්මවූ ගැහැනිය. සිරිසෝමලාගේ ඉඩම් කට්ටියට එපිටින් වූ පැල්පතක වෙසෙන්නෙකි. සැමියා හැරයාමෙන් දරු දෙදෙනෙක් සමග තනි වූ රම්‍යලතා. ජිවිතයේ අනේක වූ දුක් විදි ගැහැනියකි. එදා වේල වෙනුවෙන් ගැහැනියකට දැරිය නොහැකි වූ තරමේ ගැහැට හා ඔට්ටු වූ රම්‍යලතා නොහැකිම වෙලාවක හැර කිසිවෙක්ගෙන්වත් උදව්වක් නොඉල්ලන  ගැහෙනියක් බව සිරිසෝම හොදින්ම දැන සිටියේය 

සිරිසෝමලාගේ කතාබහේ හඩට ඉස්තෝප්පුව අසලට ආ සිරියාවතීද ගෙපැල දෙසට ඇදෙන රුව දෙසට එබිකම් හෙලයි

" ආ මේ රම්‍යලතානේ .. මොකෝ බන් මේ රෑ ජාමේ "

" අනේ සිරියෝ කොල්ලට හොදටම අමාරු වෙලා ඉස්පිරිතාලේ.. හෙට හවස් වෙද්දි බෙහෙතක් දෙන්න ඕනලු ඒකට විසිදාහක් ඕනය කියනවා "

" සීවරං දෙයියනේ ...." සිරියාවතී කම්මුලේ අත තබාගෙන සිරිසෝම දෙස බලයි

" දැන් මොකද කරන්නේ "

" අනේ සිරිසෝම අයියේ මං ලග තිබ්බ සබ්බ සකලමනාව එකතු කරලත් තියෙන්නෙ දහදාහක් විතර මොනව කරන්නද කියලා  හිතාගන්න බෑ අයියේ "

ගලා යන කදුලු පිසිමින් රම්‍යලතා හූල්ලයි

" දැන් ඉතින් අඩලා වැඩක් නෑ නේ රම්‍යලතෝ අපි මේකට කරන්න දෙයක් බලමුකෝ "

" පොඩ්ඩක් හිටින් " 

සිරිසෝම කුස්සි කෑල්ල දෙසට යමින් සිරියලතාට හිසින් කැදවීමක් කරයි සැමියාගේ කැදවීමට අවනත වෙමින් සිරියලතාද පසුපසින් ඇදෙයි.

කුස්සි කෑල්ලට ඇදුනු සිරිසෝම සිරියාවතී දෙසට හැරී හඩ අවදි කරයි

" මොකෝ සිරියෝ දැන් කරන්නේ .. රම්‍යාලතාට බැරිම වෙලාවක් ඇර කාගෙන්වත් උදව්වක් ඉල්ලන ගෑනියෙක් නම් නෙවේ "

" හ්ම්ම් ඒක තමා මාත් මේ කල්පනා කලේ ගිය මාසෙ සීට්ටු සල්ලි නැතිව උන්නු වෙලාවෙ එක දුන්නෙත් රම්යා නේ .. පව් අහිංසක ගෑනි "

" ඒක තමයි මං ගාව තුන්දාහක් ඇති ඒකවත් දෙමු වෙන මොනා කරන්නද "
" ඔව් එහෙම කරමු මං අහලා බලන්නම්කෝ  හෙට සුමනාක්කගෙනුත් ඒකිගෙනුත් කීයක් හරි ඉල්ලගත්ත හැකි "

කතාවෙන් අනතුරුව දෙමහල්ලෝ නැවත ඉස්ස්තෝප්පු කෑල්ලට ඇදෙයි .විහිදෙන කුප්පි ලාම්පු එලියට පිල්කඩේ ඇනතියා සිටින රම්‍යලතාගේ රුවත් මිදුල මතට වැටුන සෙවැනැල්ලත් බොදවූ ච්ත්‍රයක හැඩතල මවයි.

" රම්‍යලතෝ මං ගාව එච්ච්ර සල්ලියක් නම් නෑ  තුන්දාහක් විතර ඇති මම දැනට එක දෙන්නම් අපි බලමු මොකක් හරි කරලා ඉතුරු සල්ලි ටික හොයාගන්න ... "

" අනේ බුදු අයියේ පින් සිද්ද වෙනවා මං ඊලග මාසෙ වෙනකොට ඕක දෙන්නම් .. "

රූරා වැටෙන කදුලු අතරින් දෙඅත් එක්කරමින් රම්‍යලතා හඬයි

" උබට පිස්සුද රම්‍යලතෝ.. එව්වා පස්සෙ බලමු ඉස්සරවෙලා කොල්ලා ගොඩ දා ගමුකෝ මම හෙට බලන්නම්කො අතමාරුවක් වත් කරගන්න "

" අයියට පින් අයියේ මම හෙට හවස් වෙද්දි ඉතුරු සල්ලි ටිකත් හොයාගෙන ඉස්පිරිතාලේ යන්ට ඕන. "

" එහෙනම් තවත් රෑ වෙන්ට කලියෙන් ගෙදර පලයන් " සිරිසෝම් හා සිරියාවතීට  නැවතත් යටහත් බැල්මක් හෙලු රම්‍යලතා කඩුල්ල දෙසට හැරේ

" ආ.. රම්‍යලතා උබ්ලා කෑවද " සිරියාවතී  යමක් මතක් වූවකු සේ විමසයි

" තාම නෑ අක්කේ ගෙදර ගිහින් මොනවා හරි හදාගන්නවා පොඩි එකත් ගෙදර "

" ආ.. වරෙන්කෝ එහෙනම් යන්ට කලියෙන් කුස්සිය පැත්තට දැන් ආයෙ උබ ගෙදර ගිහින් උයන්ට වෙලාවක් තියනවයැ "

" අනේ එපා සිරියෝ මම මොකක් හරි රත්කරගන්නම් ගෙහින් "

" කට වහන් වරෙන් රම්‍යලතෝ.."

ආපසු හැරුනු රම්‍යලතා සිරියාවතී පසුපසින්  කුස්සි කැල්ල දෙසට ඇදේ .. මද දුරක් ඔවුන් පසුපස ආ සිරිසෝම් ඉස්තෝප්පු කෑල්ලට ගොඩවී බුරූ ඇදට බරවිය..

++++++++++++++++++++++++++++++++++++++++++++


ලැයිම් කාමර පෙලියට ඉහලින් පහේ කෝච්චිය හඬදීගෙන දුවද්දී උදෑසන සීතල  බිදිමින් සිරියලතා කුස්සි කෑල්ලේ ලිපගිනි මොලවයි.  කෙත්ලය ලිප මත තැබූ සිරියලතා  ඉස්තොප්පු කෑල්ල දෙසට ඇදේ. 

" ආ මෙයා මොකෝ පාන්දරම නැගිටලා "

බුරූ ඇද මත වාඩී වී සිටින සිරිසෝම  සිරියාවතී දෙසට හැරී බලයි..

" හිරිකඩේ බන් පාන්දරම නැගිට්ටවුනා .. අද ටිකක් කලියෙන් යන්නත් ඕන "

" ඒ මොකෝ.. අද දුරකවත් යනවද ..? "

" නෑ බං මම ඊයෙ කිව්වෙ දැන් ඉතින් ටිකක් පිලිවෙලකට වැඩ ටික කරගන්ඩ ඕන.. හැම එකාගෙම ඇහේ කටු ඇනිලා ඉන්න වෙලාවනේ .."

" ඔව් .. ඔව් ඉරිසියාකාරයෝ වැඩි වෙයි .. ඔහේ පරිස්සමින්"

"හ්ම්ම්... "

සිරිසෝම ඈත බලාගෙනම පිලිතුරු බදී..

"එහෙනම් මොනවා හරි උයලා ගනින්.. ඉක්මනට යන්ඩ ඕන "

කමිසය කරට දමා ගන්නා සිරිසෝම ලිද පැත්තට ඇදේ..  

සිරියාවතී බැඳ දුන් බත් පතද ගෙන සුපුරුදු මග දිගේ රාජකාරියට යන්නට පිටත් වූ සිරිසෝම  වෙනදාට වඩා  ඉක්මනින් නගර සභා භූමියට ඇතුල් විය.. මග දෙපස හමුවන්නන් වෙනදාට වඩා තමා දෙස  බලනවායැයි සිරිසෝමට සිතේ. කාර්‍යලයට ඇතුල් වූ සිරිසෝම  ලොකු මහත්තයාගේ කාර්යාල කාමරය දෙසට ඇදෙයි.

" ආ සිරිසෝම මොකෝ අද උදෙන්ම "

සිරිසෝම දකිත්ම ප්‍රධානියා සිනාමුසු මුහුනින් විමසයි.. ලොකුමහත්තයා දෙස යටහත් බැල්මක් හෙලන සිරිසෝම මද සිනහවක් පායි.

" මම මේ සිරිසෝම එනකම් හිටියේ . සිරිසෝමට තියනවා අද ලොකු වැඩක් "

" මොකක්ද ලොකු මහත්තයෝ..?"

"සිරිසෝම දන්නවනේ අර ඉස්පිරිතාල පාර අද ඒකෙ අනවසර කඩ ටිකයි පේමන්ට් කඩයි අයින් කරනවා එතන වෙලදාම් කරන එක තහනම් කරන්න කියලා ඉහලින් ඕඩර් එකක් ඇවිත් තියනවා .. සිරිසෝම කට්ටිය අරන් ගිහින් අද ඒ ටික කරන්න ඕන .."

" අපි තනියමද යන්නේ මහත්තයෝ "

" නෑ .. පොලිසියෙනුත් එයි.. මොකෝ සිරිසෝම අකමැතිද "

" අනේ නෑ මහත්තයෝ මම යන්නම් .."

" හ්ම්ම්.. හැබැයි සිරිසෝම මේ වැඩ ටික හරියටම වෙන්න ඕන. මතකද මම ඊයෙත් කිව්වා.. මම මේ වැඩ ටික සිරිසෝමට භාර දෙන්නේ තමුන් ගැන විස්වාශයක් තියලා ඔතන ගිහිල්ලත් යාලු මිත්‍ර කම් වලට වැඩ කරන්න එපා තේරුනාද.."

" පිස්සුද ලොකු මහත්තයෝ .. මම කවදාවත් එහෙම කරනවද .. නීතිය නම් නීතිය .. ඒක මටත් එකයි මගෙ එකාටත් එකයි . අපි නීතියට ගරු කරන්න එපැයි "

" අන්න හරි සිරිසෝම ඔය ඔතන පේමන්ට් කාරයෝ නිසා ඉස්පිරිතාලෙට එන අයට ගොඩක් ප්‍ර්ශ්න . අනික ඔය අස්සෙ පොකට් කාරයොයි, කුඩු කාරයොයි .. ඒ නිසා ඔය කට්ටිය ඉක්මනට ඔතනින් අයින් කරන්ඩ ඕන "

" ඔව් ඔව් ලොකු මහත්තයෝ මම නොදන්නවැයි .. හදිසියකට වාහනයක්වත් හරවගන්න බෑ තමයි.."

සිරිසෝම තේජවන්ත පෙනුමක් ආරූඩ කරගනිමි කියයි

" බයවෙන්න එපා ලොකු මහත්තයෝ.. මම වැඩ ටික නූලට කරලා එන්නම් " 

" හරි .. අන්න එහෙමයි වෙන්න ඕන සිරිසෝම.  එහෙනම් වාහනෙත් අරගෙන කට්ටියත් දාගෙන දැන්ම පිටත් වෙන්න මන් පොලිසියට කියන්නම් "

රාජකාරී සටහන් පොතේ සටහනක් දැමූ සිරිසෝම රියගාල දෙසට ඇදේ.. ඒ වන විටත් පනගැන්වී තිබූ ලොරි රථයේ නැග සිටින්නවුන් අතර සමරතුංගද සිටින බව ඈත තියාම සිරිසෝමට පෙනේ.. මුහුනට මද සිනාවක් නගා ගන්න සිරිසෝම රථයට කිට්ටු වේ

" ආ වඩින්න වඩින්න අපේ අලුත් ලොක්කා "

ලොරි රථයේ පිටුපස එල්ලී සිටින සිරිසෝමට කවදත් හිතවත් රංජි සිරිසෝම දෙස බලමින් සිනහ නගයි .

" කවුද බන් අලුත් ලොක්කා.. " සිරිසෝමද කිසිවක් නොදත්තකු මෙන් සිනහ නගමින් පිලිතුරු බදී

" ආ ලොකු මහත්තයා එහෙනම් ඉස්සරහින්ම නගිමු "

රථයේ රියදුරු සේන ඉදිරි දොර අරිමින් සිරිසෝමට ආරාධනාවක් කරයි

සමරතුංගයාට පැලෙන්න හිතෙනවා ඇති සිරිසෝම තනිව සිතයි.. 

විහිලු තහලුවෙන් පිරි රථය හැල්මේ ඉදිරියට ඇදෙයි. ඉස්පිරිතාල හන්දිය පසු කරමින් ඉදිරියට ඇදි රථය පසු පසින් පොලිස් රථයක් ද එක්වී ඇත 

ඉස්පිරිතාලය අද්දර වූ කඩපේලිය අද්දර රථ දෙක නතරවත්ම පදික වේදිකාවේ වෙලදාමේ සිටියවුන්  කලබල වූ බවක් පෙනුනි. අතට අසුවූ බඩු මුට්ටු ගෙන පලායන්නට සැරසෙන වුන් පසු පස දඩ බල්ලන් මෙන් නගර සභා සේවකයන් පන්නා යන්නට විය..

ඉදිරි දොර ඇරගෙන බිමට බට සිරිසෝමද .. අමුතු ජවයක් ලද්දෙකු මෙන් පදික වේදිකාවෙ ගොඩ ගසා තිබූ පලතුරු ගෝනියක් ඔසවා ලොරි රථය තුලට විසි කරමින් ඉදිරියට ඇදෙන්නට විය.

" සෝමේ ඔය පාරේ තියන ඔක්කොම බඩු දාගනින් ලොරියට .."

යක්ශාවේශ වූවකු සේ සිරිසෝම මොරදෙයි.

" අනේ අයියේ මොනවද මේ කරන්නේ අපි මේවා දාල කොහෙ යන්නද "
පදික වේදිකාවෙ සිට්යකු සිරිසෝම සමීපයට පැමින හැඩුම් හඩින් විමසයි

" මේ රටේ නීතියක් තියනවා .. අපි කරන්නේ අපේ රාජකාරිය මේවා තහනම් වැඩ. උබලට කලින් දැනුම් දීලා තියනවනේ. දැන් කරන්න දෙයක් නෑ "

" එතකොට අපි ජීවත් වෙන්නෙ කොහොමද " 

කරන දෙයක් නීතියට කරපල්ලා අපිට කරන්න දෙයක් නෑ. ජවයෙන් වැඩී සිටින සිරිසෝම ඔහු තල්ලු කොට දමා තවත් කඩයක් දෙසට ඇදෙයි.

පදික වේදිකාවෙ ගොඩ ගසා තිබූ රෙදි තොගයක් ගෙන සෝමදාස ලොරි රථය දෙසට ඇදෙයි.. ඔහු පිටුපසින් කෑ ගසමින් විලාප නගමින් රෙදි තොගයෙන් අදිමින් ගහැනියක් ඔහු වලක්වනු පෙනේ.. සිරිසෝම වහා ඔහුගේ සහයට දිව යයි

ඔහු සමීපයට ලං වත්ම දුටු දෙයින් සිරිසෝම තූෂ්නිම්භූත වෙයි


"රම්‍යලතා.....! "

සිරිසෝමට තමා වටා වූ ලෝකය කැරකෙන්නාක් මෙන් දැනේ

සිරි අයියේ මේ ගෑනිව ඇදලා දාපන් පැත්තකට සෝමදාස මොරදෙයි..

" පිස්සුද ලොකු මහත්තයෝ .. මම කවදාවත් එහෙම කරනවද .. නීතිය නම් නීතිය .. ඒක මටත් එකයි මගෙ එකාටත් එකයි . අපි නීතියට ගරු කරන්න එපැයි " 

තමා මොහොතකට පෙර කියූ දේ සිරිසෝමගෙ දෙසවන් පුරා නැවත නැවතත් හඩනගන්නා සේ සිරිසෝමට දැනේ


 සිරිසෝමගේ  වෙව්ලන දෙතොල් ආයාසයෙන් විවර  වෙයි..

" ඒ... ඒ.. අපේ කෙනෙක් සෝමේ...!!! "






අවුරුදු..  

Posted by උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා in , ,







                                   ඉර හැරෙන්නට තව බොහෝ වේලාවක් නැත. වැස්සක පෙරනිමිති පෙනෙන්නට  ඇති නිසාදෝ   පය ඉක්මන් කර දිව යන්නන්ගෙන් නගරය පිරී ඇත. වීදිය කෙලවරක නැවතුනු සැප රියේ තොරතෝංචියක් නොමැතිව දොඩමලු වෙන පොඩි එකෙකි. පොඩි එකාගේ මව ඔහු අසනා සෑම ප්‍රශ්නයකට කුමක් හෝ කියා ඔහු සනසවන්නට වෙරදරයි.

" අම්මේ ඇයි අම්මේ අර මාමා බෑග් එකක් අරන් දුවන්නේ " ඇස් දෙකද කටද එකසේ ඇරගත් පොඩිත්තා අම්මාගෙන් විමසයි.

" ඒ මාමා ගෙදරට කෑම ගෙනියනවනේ පුතේ "

" ඉතින් අම්මේ ඒ මාමට බැරිද සේනට කියලා බඩු ගෙන්වගන්න "

" සේන ඉන්නෙ පුතේ අපේ ගෙදර වැඩටනේ , ඒ මාමලගේ ගෙදර වැඩට සේන කෙනෙක් නැතුව ඇති"

පොඩිත්තාගේ ප්‍රශ්න වල කෙලවරක් නැත 

" ඇයි අම්මේ ඒ මාමලට ගෙදර වැඩට සේන කෙනෙක් නැත්තේ "

" හා හා දැන් ඒ කතා ඇති දැන් තාත්ති ඔයාට චොකෝ අරන් එයි එතකන් හොද පුතා වගේ මේ ටෙඩියා එක්ක සෙල්ලම් කරන්න "

පොඩිත්තාගේ කෙලවරක් නැති ප්‍රශ්න වැලෙන් හෙම්බත් වී සිටි පොඩිත්තාගේ මව දුරකථනය සුරතට ගත්තේ සැමියාගේ පමාව ගැන විමසීමටය.

පහත් වූ රිය කවුලුවේ එල්ලී ගත් පොඩිත්තා ඔහේ  කියවමින් සිනාසෙමින් දෑතට සිරවූ පුලුන් ටෙඩියාට වද දීම අරඹා තිබිනි.


පොඩිත්තා හා මව ඇරෙන්නට  මේ  කතන්දරය දෙස  බලා සිටින තවත් අමුත්තෙකි..  වීදිය කෙලවර වැටෙහි එල්ලී ගත් අමුත්තා ආයාගත් මුවින් . රියෙහි පොඩිත්තා දෙස බලා සිටී

වයසින් පමනක් රියෙහි පොඩිත්තාට සමාන වූ  අමුත්තා.. කාශ්ටක නගරයේ තවත් සමාජ ඉස්තරයක් නිරූපනය වෙන  කොටසක පුරුකකි. නාටාමිවරයෙකුට  හා  එදා වේල වෙනුවෙන් මන්දිර වල බැලමෙහෙවර කරන්නියකට දාව  ලෝකයට පය ගැසූ  මේ අමුත්තා.. තමා ඉදිරිපිට වූ වැටෙහි එල්ලී බලා සිටින්නේ.. තමා තරම්ම වූ  රියෙහි ලැග ඉන්නා ගේ අතේ  පොඩිවෙන  පුලුන් සුරතලා දෙසය

පුළුන් සුරතලාට  වද දෙමින් සිටි පොඩිත්තාගේ දෙනෙත් හදිසියේ තමන් දෙස බලා සිටින පොඩිත්තා දෙසට යොමු විය

" අම්මේ ආං.... "

පොඩිත්තා සිය දෑත් දිගු කර සිය මවට තමන් දෙස බලා සිටින අමුත්තා පෙන්වයි

" කවුද අම්මේ ඒ "

" ඒ පොඩි ලමයෙක් නේ පුතේ "

" ඇයි අම්මේ එයා කමිසයක් ඇදලා නැතුව ඉන්නේ "

" එයාට අමතක වෙන්න ඇති පුතේ "

" එයාගේ අම්මා කෝ එයා තනියමනේ ඉන්නේ "

" අම්මා ලග ඇති පුතේ "

තමා දෙස බලා සිටින අමුත්තා දෙස තව වරක් බැලු පොඩිත්තා සිය දෑත උස්සා සහෝදර ආචාරයක් කලේ අමුත්තාට තමුන් දෙසට එන ලෙස ඉල්ලීමක් කරමිනි

පලමු දෙවන වර  මදක් පැකීලීමක් පෙන්වුවද ඊලඟ වාරයේදී වැටෙන් බැසගත් අමුත්තා සෙමින් සෙමින් නවතා තිබෙන රිය දෙසට කිට්ටු විය.

" අපි සෙල්ලම් කරමු "

අමුත්තා රිය වෙත ලංවූ සැනින් පොඩිත්තාගෙන් ඇරයුමකි

" දැන් බෑ පුතේ දැන් තාත්තා එයි.. අපි දැන් සීයලාගේ ගෙදර යන්න ඕන නේ සෙල්ලම් කරන්න ගියොත් වෙලා මදි වෙයි ඔන්න "

" ඔයා ඇයි කමිසයක් ඇදලා නැත්තේ " 

" කමිසේ හේදුවා තාම වේලිලා නෑ "

" ඉතින් වෙන එකක් අදින්නකෝ "

" මට වෙනින් කමිස නෑ එකයි තියෙන්නෙ "

පොඩිත්තා අයාගත් දෑසින් මව දෙස බලයි

" ඇයි අම්මේ එයාට වෙන කමිස නැත්තේ "

පොඩිත්තාගේ ප්‍රශ්න හමුවේ හෙම්බත් වී සිටි පොඩිත්තාගේ මව වහා පොඩිත්තාගේ කතාව වෙනතකට හරවයි


" අපි අවුරුද්දට සීයලා බලන්න ගමේ ගියාම ඔයාට පුලුවන් ඕන තරම් සෙල්ලම් කරන්න "

පොඩිත්තාගේ මුහුන හදිසියේ  අමුතු ආලෝකයකින් පිරේ

වහා අලුත් මිතුරා දෙසට හැරුනු පොඩිත්තා හඬ අවදි කරයි

" ඔයා යන් නැද්ද සීයලගේ ගෙදර  අපිනම් යනවා තාත්තට ගොඩක් නිවාඩු හම්බ උනා නේ අපි එහෙ ගිහින් ගගෙත් නානවා "

උඩ බිම බලමින් රියෙහි අසිරි විදිමින් සිටි අමුත්තා   අදුරු මුහුනෙන් යුතුව පොඩිත්තාට පිලිතුරු බදී

"අපේ ගම ඉතින් මෙහෙනේ. අපිට සීයා කෙනෙක් නෑ . අනික තාත්තට අවුරුද්දට නිවාඩු නිසා සල්ලිත් නෑ අවුරුදුත් නෑ."

පොඩිත්තා වහා මව දෙස බලයි 

" ඇයි අම්මෙ එයාගෙ තාත්තට නිවාඩු නිසා සල්ලි නැත්තේ අපේ තාත්තට නිවාඩු උනාට සල්ලි තියනවනේ මෙයා බොරු කියනව නේද අම්මේ "

"ඔයා බොරු කියන්නෙ "

" බොරු නෙවෙ අවුරුද්දට කඩ වැහුවම ලොරි එන් නෑ නෙ ඉතින් තාත්තට වැඩ නෑ ඉතිං සල්ලි නැ නේ එතකොට  "

 පොඩිත්තාට මේවා මහා ප්‍රෙහේලිකාවකි , පිලිතුරක් බලාපොරොත්තුවෙන් පොඩිත්තා විටෙක ම්වත් විටෙක් අමුත්තා දෙසත් බලයි


" පුතේ ඔය වීදුරුව වහන්න දූවිල්ල එනවා "

වැසී යන වීදුරුව අතරින් බොද වෙන පොඩිත්තාගේ රුව දෙස යාන්තමින් බැලු අමුත්තා තමන්ට පුරුදු මාවත ඔස්සෙ වීදි කෙලවරට පිය නගන්නට විය

රිය තුලට වූ පොඩිත්තා දෑතේ වූ  පුලුන් සුරතලා ගුලි කරමින් තම සිතේ වූ අන්තිම ප්‍රශ්නයත්  මවගෙන් විමසි‍ය

" අම්මේ එයා බොරු නේද කිව්වෙ එයාලටත් අවුරුදු නේද"

පිරී ඉතුරුන වීදි තුල සැමියාගේ රුව සොයමින් සිටි පොඩිත්තාගේ මවගෙන් දෙවරක් නොසිතාම පොඩිත්තාගේ ප්‍රශ්නයට පිලිතුරක් ලැබුනි

" ඔව්  පුතේ එයාලටත් අවුරුදු "






කෙලෙසක දෝ අම්මේ.......................  

Posted by නුවන් තිලංග in ,


                                               දරුවන්ටත් වස පොවා,මවත් වස බොයි .......(පුවතක්)



                                                  කෙලෙසක දෝ අම්මේ...............




  

රතු ලේ බිදු කිරි කර දුන් අරුමයෙන්
නැළවිලි ගී කියා නැළවු දැතින්
හිස පිරි මැද නිදි කරවු සුරතින්
වස පිරවු බදුනක් පෙව්වේ
කෙලෙසක දෝ අම්මේ......




යැපෙනු පිණිස  

Posted by නලිනි චන්දිමා in , ,

කෑම පාර්සලය ලිහා ගන්නා සුසන්ත ප්‍රවේශමෙන් බත් කටක් අනා, පසෙකින් තබයි. අනතුරුව බත්පත දෙස බලාගෙන කල්පනාවක නිමග්න වෙයි.


බත්පත දිගහරින්නටත් පෙර පපඩම අතට ගෙන කෑම අරඹන මයුරි හොරැහින් එදෙස බලන්නීය.


"සුසන්ත අය්යනම් කන්ඩ කලින් භාවනා කරනවා. මටනම් උදේට කන්නෙත් නැති හින්දා කනකම් ඉවසුම් නෑ."


"පුළුවන් වෙලේක හරි කන්ඩ ඉස්සෙල්ලා තමන්ටම මතක් කර ගන්ඩ, 'මේ ආහාරය හුදෙක් මාගේ යැපීම සඳහා පමණයි; රසය පිණිස නොවේ; මදය පිණිස නොවේ...'"


"ඔච්චරනම් කිය කිය ඉන්ඩ බෑ බං." සංජය කටේ කෑම පුරවාගෙනම හරස් කපයි. "ඕනෙනං 'මේ ආහාරය හු!' කියල විතරක් කියන්නං."


කෑම කටේ තියාගෙනම සිනාසෙන මයුරිට කැස්සක් එයි. සුසන්ත සිනාවට එක් වෙමින් බත් අනයි.


"කට්ටියම ඉන්නවා නේද?" අතුල කොහෙන්දෝ කඩා පාත් වී, දේශපාලන හිනාවක් පා, සගයන්ගේ පිටට තට්ටු දමයි. "මේ සැරේ අපි වෙනම ඉල්ලනවා, ආරංචි ඇතිනෙ?"


මයුරි පපඩම ටිකක් සද්දෙන් හපා, බත් අනාගෙන අනාගෙන යයි. ඇයට වෘත්තීය සමිතිකාරයන් පෙන්නන්නට බැරිය.


සුසන්ත නිවුණු මුහුණින් මයුරිගේ ක්‍රියාව නරඹා අදහස් දක්වයි.
"ඉස්සර ලංකාවෙ හාමුදුරුවරු ඉඳල තියෙනවා, දන් වළඳන ගමන් රහත් වුණු. දන්නවද මයුරි?"


"උඹ තාම නංගිලට බණ කියන එක නවත්තල නැද්ද බං?" අතුල අසල මේසයකින් පුටුවක් ඇදගෙන වාඩි වෙයි. අනතුරුව තවත් කාලය නාස්ති නොකර, අතැති ලිපිගොනුව මේසය මත තබා ප්‍රේක්ෂකයන් දෙස බලයි.
"මෙන්න තියෙනවා කට්ටිය කියවල බලන්ඩ."


"මොකද්ද? උඹේ ප්‍රතිපත්ති ප්‍රකාශනයද?" සංජය හොරැහින් එදෙස බලයි.


"කියවලම බලන්ඩ." අතුල ලිපිගොනුව විවර කර අතින් දක්වයි.


වෘත්තීය සමිති කටයුතු සහ ඉන් ලැබිය හැකි ප්‍රතිලාභ ගැන උනන්දු වන කීපදෙනෙක් ලිපිගොනුව වෙත ඇදෙති. හිතින් මැන ගත් ගණ පූරණය සම්පූර්ණ වූ කල අතුල කතාව අරඹයි.


"පහුගිය අවුරුදු දහය ඇතුළත, අපේ කණ්ඩායම මුල් වෙලා දිනා ගත්තු දේවල්.
මම පටන් ගන්නම් ගිය අවුරුද්දෙන්. ගිය අවුරුද්දෙ කාරක සභාවෙන් පස් දෙනෙක් මේ සැරේ අපිත් එක්ක වෙනම ඉල්ලනවා..."


"මට ප්‍රශ්නයක් තියෙනවා." චාමර කතාවට බාධා කරමින් එක එල්ලේ අතුල දෙස බලයි.


"හරි." අතුල පුටුව මඳක් පසුපසට ඇද, කකුලක් පිට කකුලක් දමා ගනී. දකුණත පහසුවෙන් කකුලක් මත රඳයි. වම් අත කතාවට අනුව ලෙළ දෙයි.
"මම ලෑස්තියි ඕනෙම ප්‍රශ්නෙකට උත්තර දෙන්ඩ. නමුත් මට ඕනෙ මුළින්ම පැහැදිලි කරන්ඩ....."


කතාව ඇදී යයි. ප්‍රතිවාදී පිලෙහි කිසිවෙකු භෝජනාගාරයෙහි නොමැත්තෙන් අතුලට රිසි පරිදි ප්‍රධාන නළු චරිතයට ආවේශ විය හැක.


"අය්යා කළු වෙලා..." කතාව තත්පර ගණනකට නිහඬ වු විටෙක සොනාලි ඇද පැද කියයි. පුරුෂ පක්ෂය කට කොණකින් සිනාසී ඈ දෙස බලත්.


"කළු වෙලා කියන්නෙ, පහුගිය ටිකේ හරියට කෑවෙත් නෑ. මට ඒකනම් ප්‍රශ්නයක් නෑ. හැබැයි එදා ඇමතිතුමා හම්බෙන්ඩ ගිය වෙලාවෙ..."


අතුල සොනාලිගේ සිත නොරිදවා නැවතත් නිවැරදි පීල්ලට කතාව මෙහෙයවයි. සුසන්ත අවසරයක් ලැබුණාක් මෙන් පුටුවෙන් නැගිටියි.


"උඹ යන්ඩද මචං?" අතුල හැම ඡන්දයක්ම තමාට වැදගත් බව හඟවන බැල්මකින් සුසන්තට සංග්‍රහ කරයි.


"වැඩ වගයක් තියනව, ඉවර කරල දැම්මනම් ලේසියි."


"කොළයක් ගත්තෙ නෑනෙ? මෙන්න. නිකං ඉන්න වෙලාවක කියවල බලන්ඩ." අතුල පත්‍රිකා කිහිපයක්ම සුසන්ත අත තබයි. මයුරිද නැගිටින බව දකින ඔහු ඇයට පත්‍රිකා කිහිපයක් දීම පිළිබඳව සිතෙන් සළකා බලා, ඒ අදහස බැහැර කරයි.




*****************************************


"මට දික්කරානං එහෙම එතෙන්දිම ඒකෙන් අත පිහින්ඩ හිටියෙ මං." මයුරි සුසන්ත සමග පවසන්නේ අත් සෝදන අතරතුරය.


"නිකං මිනිස්සු තරහ කරගන්ඩ ඕන නෑ. මොනව වුණත් අතුලයා හිතවත් අපිට."


"ඒ වුණාට මට අල්ලන්නෙ නෑ. ඉස්සරම මතකද, 'අපේ ඇමතිතුමා' කියා ගත්තු ගමන් හිටියෙ. ඊට පස්සෙ ඒ මිනිහටම පළු ගැලවෙන්ඩ බැන බැන හිටියා. දැන් ආයෙමත් මෙලෝ ලැජ්ජාවක් නැතුව ඇමතිගෙ ගෙදරට රිංගුව කතා කියනව."


"ආ, ඒ පාර මයුරි බණ කියනවද සුසන්තට?" චට පට ගා කියවන මයුරි දෙස බලමින් සංජය සිනාසෙයි. ඔහුද අතුලගේ කතාවෙන් මිදී පැමිණ ඇත.




"කට්ටිය ඔහේ අහගෙන ඉන්නව නේද?" මයුරි  පිරිස දෙස බලමින් භෝජනාගාරයෙන් පිටවෙයි.


"මේකනෙ මයුරි, හැම මිනිහටම ඕනෙ තමන්ගෙ මොකක් හරි වැඩක් කරවගන්ඩ විදිහක්. එක්කො ළමයෙක් ඉස්කෝලෙ දාගන්ඩ. එක්කො කීයක් හරි වැඩියෙන් හම්බ කරගන්ඩ. එක්කො ශිෂ්‍යත්වයක්. මොකක් හරි දෙයක්. ඉතින් කාගෙන් හරි ඒ දේවල් කර ගන්ඩ පුළුවන්ද කියල බලනවා. ඒකට වැරැද්දක් කියන්ඩත් බෑ."සංජය දැනුම් තේරුම් ඇති විලසින් පැහැදිලි කරයි.


"මොකද බැරුව?"


"ඔයාට ඒ දේවල් ඕනෙ නැතුව ඇති දැන්. ඒත් අවශ්‍යතාවය තියෙන මිනිහ..."


"අය්යෝ, මේ, ඕක ගැන කතා කරන්ඩ ගියොත් දැන් අපි දෙන්න නිකං ගහ ගන්නවා." මයුරි කතාව නවත්වයි.


"මනුස්සයෙකුට වෙනස් වෙන්ඩ බැරිද?" සුසන්ත හදිසියේම පැණයක් නගයි.


"ඇයි බැරි? අර හිටියෙ කටුස්සෙක්, එහෙම්පිටින්."


"අපි හැමෝම කටුස්සො." සුසන්ත කල්පනාවෙන් කියයි.


"මම කටුස්සෙක් නෙවෙයි." මයුරි තදින් කියයි.


"නෑ නේන්නං. ඔයා කටුස්සියක්." සංජය පිළිතුරු දෙයි. මයුරි ඔහුගේ ඉලයට අනී.


"මම මෙතනින් යනවා." සුසන්ත කාර්යාලය දෙසට හැරෙයි.


"මම බැංකුවට යන්ඩ ඕන. ටාර් ගාල දුවල එන්නම්." මයුරි ගේට්ටුව දෙසට පිය මනී.




*****************************************




"හැම එකාටම මේ වෙලාවමද මන්ද තියෙන්නෙ මෙතනට එන්ඩ."


බැංකුවේ පෝළිමෙහි සිටින මයුරි ඔරලෝසුව  දෙස බලමින් කල්පනා කරයි. දැනටමත් ඇය පැය භාගයකට ආසන්න වේලාවක් සිට ඇත. අනෙක් පෝළිම් සියල්ල ඉදිරියට ඇදේ. මේ පෝළිමට පමණක් කුමක් වීද? ඈ පැත්තකින් එබී බලයි. නමුත් කවුන්ටරය නොපෙනේ.


"කාගෙද සල්ලි මිටි වගයක් ගනිනව.." මයුරි බලන්නේ කුමක්දැයි අනුමාන කළ ඉදිරියෙන් සිටින තැනැත්තා කියයි.


"මයුරි?"


අතුල ළඟට එනතුරුම නොදැකීම පිළිබඳව මයුරි තමන්ටම සාප කර ගනී.


"මොකක්ද වැඩේ?"


මූට මොකටද ඒක?


එහෙත් මයුරි වෙහෙසට පත් හඬින් තමන් ආ කාරණය කෙටියෙන් කියයි. නොඑසේනම් අහල පහළ සිටින මිනිසුන් යමක් හිතන්නට පුළුවන. අතුල තරමක් ඇයට කිට්ටු වී, අවට සිටින්නන්ට නෑසෙන පරිදි සෙමෙන් මුමුණයි.


"හදිසියක් නැත්නම්, මගෙ යාළුවෙක් ඉන්නවා බැංකුවෙ, එයා අතට දීලා ගිහෑකි. හවසට යන ගමන් රිසිට් එක අරගෙන, මම හෙට ඔයාට ගෙනත් දෙන්නම්."


මයුරිගේ සිත දෙපැත්තට වැනේ. දැනටමත් ඇයට වෙහෙසය; එසේම කාර්යාලයට යාමට ප්‍රමාද වේ. අතුලගෙන් උදව් ලබා ගැනීමටද ඇය අකමැතිය. එහෙත් හතුරෙක් වුණත්, උදව්වක් කිරීමට ඉදිරිපත් වූ මිනිහාගේ හිත රිදවිය නොහැක.


"නෑ, කමක් නෑ අතුල, තව ටික වෙලාවයිනෙ."


"දෙන්ඩකො..." අතුල අත දිගු කරයි. "දෙන්ඩ, දෙන්ඩ. ඕක පොඩි වැඩක්."
මයුරි අදාල කඩදාසි සහ මුදල් ඔහුට ගන්නට ඉඩ හරින්නේ පැකිළෙමිනි.


"අතනින් වාඩි වෙලා ඉන්ඩ."


පෝළිමේ සිටි මිනිසුන් තමන් දෙස බලන බව ඇයට පෙනේ. එහෙත් ඇය ඒ නොපෙනෙන්නාක් මෙන් අතුල බැංකුවේ සේවකයන්ට වෙන් වූ කොටසකට එබෙනු බලා සිටී.




*****************************************


"මාර දාඩියයි නෙහ්?" බැංකුවෙන් පිටතට බසින ගමන් අතුල විමසයි. "අයිස්ක්‍රීම් එකක් කාලා යමුද?"


මයුරි තීරණයකට එළඹෙන්නටත් පෙර අතුල බැංකුවට යාබද රසහල වෙත යයි. මයුරිද ඒ පිටුපස ඇදේ; මතක ඇති කාලෙකින් පලතුරු සලාද සමග හිමකිරම කා නැත.


මේ රසහලට මින් පෙර ඇය පැමිණ ඇත්තේ එක්වරකි. ආහාර පිණිස ගන්නා පලතුරු ආදිය වීදුරු අල්මාරියක් තුළ අඩුක් කර ඇත. කහ පැහැ නිල ඇඳුම් හැඳි සේවක සේවිකාවෝ කඩිසරව ඇනවුම් භාර ගනිති; ගනුදෙනුකරුවන්ට පෙනෙන්නටම පලතුරු කපා සූදානම් කරති. බිත්තියෙහි රේඛා සිතුවම් කිහිපයක් එල්ලා ඇත.


"කලින් නොකිව්වට, මට මයුරිව ඉස්කෝලෙ යන කාලෙ ඉඳලා මතකයි, දන්නවද?"


අතුල වෘත්තීය සමිති කතාබහ අරඹනු ඇතැයි බලාපොරොත්තුව සිටි මයුරිට, මේ අනපේක්ෂිත මාතෘකාවකි.


"ඔයා අපේ ඉස්කෝලෙමද?"


"නැහැ. ඒත් ඔයා නවෝදෙ පන්ති ආවා නේද?"


"ඔව්. ඒත් මට ඔයාව මතක නැහැ."


"මතක හිටින්නෙ කොහෙද? ඔයා ඔලුව උස්සල බලන්නෙ නෑනෙ ඒ කාලෙ."


නීරස ළමා කාලය සිහි කිරීම නිසා මයුරිට පාළු ගතියක් දැනේ. සේවකයා පලතුරු සලාදය පිළි ගැන්වීමට පැමිණීම නිසා තත්වය මඳක් සමනය වේ. උඩින් හිමකිරම දමා ඇති හෙයින් යටින් ඇති පලතුරු හරි හැටි නොපෙනේ.


"මේ දවස්වල ඉතින් පැණි කොමඩුම තමයි." පැත්තෙන් බඳුන පිරික්සන අතුල කියයි.


මයුරි හිමකිරම ටික කාගෙන කාගෙන යන්නීය. බොහෝ වේලා පෝළිමේ සිටි ඇයට දැඩි පිපාසයක් තිබුණු බව හරිහැටි තේරෙන්නේ, සීතල හිමකිරම කැටිති දිවෙහි දියවෙන විටය. ඇය කතාබහ නොකර සිටීම අතුලට අපහසුවකි. සංවාදයට රිසි ඔහු තවත් මාතෘකාවක් ඇද ගනී.


"සුසන්ත හුඟක් බණ දහම් දන්නවා නේද?"


එය ප්‍රවේශමෙන් ඉදිරිපත් කළ මුට්ටියකි; මයුරි බණට ලැදිද නැද්ද යන වග අතුලට හරියටම පැහැදිලි නැති නිසාවෙනි.


"ඔව්..." පැණිකොමඩු කෑල්ලක ඇටයක් හැන්දෙන් ඉවත් කිරීමට වෙර දරමින් මයුරි පිළිතුරු දෙයි. ඒ පිළිතුරෙන් සුසන්ත පිළිබඳව ඇගේ ස්ථාවරය පැහැදිලි නොවන මුත් මාතෘකාවට ඇගේ අකමැත්තක් නැති බව අතුල අනුමාන කරයි.


"සංජය ඒකෙ අනික් පැත්ත..." ඔහු තවත් අදහසක් ඉදිරිපත් කරයි.


"ඔව්..." මොට්ට හැන්දකින් කොමඩු ඇටයක් ඉවත් කිරීම පහසු නැත. කොමඩු කෑල්ල එහාට මෙහාට පනී. එය කටට ගෙන හපා, අනතුරුව ඇටය එළියට පිම්බහොත් අතුල තමන් ගොඩේ එකියකැයි සිතනු ඇත්ද? කොමඩු කෑල්ල ඉතිරි කිරීමටද ඇය අකමැතිය. රසහලෙහි වෙන සිටින්නේ කවුරුන්දැයි මයුරි අල්මාරියේ වීදුරුවෙන් පිරික්සයි. තරමක සෙනගක් එහි වෙත්. මයුරි කරන්නාක් මෙන්ම වීදුරුවෙන් මයුරිව පිරික්සන තවත් දෑස් කීපයක්ම ඇයට හමු වෙයි.


"ඔයා කොතනද එතකොට?" අතුල මයුරිගේ කොමඩු කෑල්ල දෙස විමසුම් බැල්මක් හෙළමින් අසයි.


මේ ඉලව් කොමඩු... හදිසියේම මයුරිට දහවල් සංජය කියූ කතාවක් සිහි වෙයි: මේ ආහාරය හු!


"ඇති යන්තං ඩිංගක් හිනා වුණා." අතුල කියයි. "මෙච්චර වෙලා රවාගෙන හිටියෙ. මට හීන් දාඩිය දාල හිටියෙ මගෙත් එක්ක තරහෙන්ද කියලා."


"නෑ, මේ දවල් සංජය කිව්ව කතාවක් මතක් වුණා."


"මොකක්ද?"


"සුසන්ත අය්යා කිව්වා කන්ඩ ඉස්සෙල්ල භාවනා කරන්ඩ කියල, මේ ආහාරය හුදෙක් යැපීම සඳහාය, අරක මේක පිණිස නෙවේය කියලා. දිග විස්තරයක්..."


"සුසන්තයනං කියයි; ඉතිං?"


"එතකොට සංජය කිව්වා, එච්චර කියන්ඩ බැරිය, ඕනෙමනං මේ ආහාරය හු! කියල කියන්නංය කියල."


මයුරිගෙන් දිගු පිළිතුරක් ලැබුණේ බොහෝ වේලාවකට පසුව නිසා, ඊට අනුග්‍රහ වශයෙන් අතුල ටිකක් වැඩිපුර සිනාසෙයි. ඒ සිනහව අමතර බව වැටහීම නිසා මයුරි අසන්තෝෂයට පත් වෙයි. තමන් දැන් මේ මිනිහාගෙන් උදව්වක් ලබාගෙන ඇත. ඒ නිසා ඔහුගේ හිත රිදෙන යමක් කිව නොහැක. ඇය ඉන් වඩාත් අසන්තෝෂයට පත් වෙයි. ඇගේ අසන්තෝෂය අතුලට ඉව වැටෙයි. ඔහු වහා කතාව අරඹයි.


"ඕවා ඔය පැවිද්දන්ට දෙසුව බණ..."


"ගිහියන්ට කියල වෙනම සාසනයක් නෑනෙ. ඔය බණම තමා."


මයුරිගේ හඬ සැර වෙන්නේ ඇයටත් නොදැනීමය. මොනවා කරත්, සුසන්ත මේ මිනිහාට වඩානම් හොඳය. ඔහුව හෙළා දැකීමට මෙවැනි මිනිහෙකුට ඉඩ දිය නොහැක.
අතුල ක්ෂණයකින් කතාව හරවයි.


"ඔව්, ඒක තමා මමත් කියන්නෙ. පැවිදි කෙනෙකුට ලේසියෙන් අනුගමනය කරන්ඩ පුළුවන්. ගිහියෙකුට අමාරුයි. මොකද, යැපීම විතරක් නෙවෙයිනෙ අපිට අනික්වත් වැදගත්, සමහරවිට යැපීමට වඩා..."


"හරී!"


මයුරි එකවරම තමන් සමග එකඟ වීම අදහා ගත නොහැකි නිසා අතුල මඳකට කතාව නවතයි.


මයුරි ලැජ්ජාවෙන් ඔහු දෙස බලයි.


"මං මේ කොමඩු ඇටේ ගලව ගන්ඩ බැරුව හිටියෙ මෙච්චෙල්ල. දැන් ගැලවුණා."




*****************************************


සවස තුනට ආසන්නය.
තේ පානය සඳහා හැම දෙනාම භෝජනාගාරයට නොඑනමුත් බොහෝ දෙනෙක් යමක් හපමින් විනාඩි පහළොවක් විස්සක් ගෙවීම පිණිස එහි එති. කල් යල් බලා, පත්‍රිකා මිටියක්ද රැගෙන අතුල එහි ඇදේ.


භෝජනාගාරයෙහි දොරකඩ සිට ඔහු ඇතුළත සිටින පිරිස පිරික්සයි. මැද හරියේ පුටුවක හිඳ චාමර අත වනයි. මඳ සිනහවකින් මුව සරසාගෙන අතුල ඔහු වෙත පිය නගයි. කෙළවර ආසනයක හිඳ සිටින ප්‍රතිවාදී පිලෙහි ආධාරකරුවකු වන ප්‍රනාන්දුව ඔහු දකින්නේ අහම්බෙනි. දැන් ඉතින් මගහැර යාම තත්වයට මදිකමකි. කාණු කටක් ඇති ප්‍රනාන්දු සමග හැප්පෙන්නට අතුල අකමැතිය.


"පත්‍රිකා ටික බෙදලා යනවා." ඔහු සිතා ගනී. "බය වෙන්නෙ මොකටද එක අතකට? මුකුත් කියාගෙන ආවොත් තව හොඳයි; මට ඒකම අවස්ථාවක් කරගන්ඩත් පුළුවන්." ඒ සමගම යළිත් සිතේ.


"උඹෙන් මං අහන්ඩ හිටියෙ." සුමිත් කතාව පටන් ගන්නේ අතුල වාඩිවීමටත් ප්‍රථමය. "අතිකාල ප්‍රශ්නෙට මොකද වෙන්නෙ?"


"මෙහෙමයි." අතුල කිහිපවරක් එකිනෙකාට පැහැදිලි කිරීමෙන්ම හිතේ පිළිවෙලකට සැකසුණු පිළිතුර අරඹයි.
"මුළින්ම, ඕකට හදිසි විසඳුමක් නෑ. එහෙම තියෙනවයි කියලා මම උඹලව රවට්ටන්නෙ නෑ."


ඈත කෙළවරෙහි ඇති සෙවණැල්ලක් නැගිට තමන් වෙත එනු අතුලට ඇස් කොණෙන් පෙනේ. ඔහු ඒ පිළිබඳව අවබෝධයෙන්ම කතාව ඉදිරියට ගෙන යයි.


"අපිට ඉලක්කයක් තියෙනවා. ඒක දැනට හම්බෙන ගාන වගේ පස් ගුණයක්. කිව්ව ගමන් ඕන කෙනෙක් හිතන්නෙ ඒ ගානනම් කවදාවත් ගන්ඩ වෙන්නෙ නෑ කියල. ඒකයි තත්වෙ. නමුත්..."


සෙවණැල්ල දැන් ළඟටම පැමිණ ඇත.


"උඹලට මොකක්ද තියෙනවය කිව්වෙ?"


ප්‍රනාන්දුගේ හඬ සැරපරුෂය. අතුල මේ දැන් දැක්කාක් මෙන් ඔහු දෙස බලයි.


"අපිට තියෙනව ඉලක්කයක්, උඹලට නැති." අතුල ප්‍රනාන්දුගේ ඇස් දෙස කෙළින් බලා හඬ උස් කර කියයි.


අවට රැස් වන්නන් තමන්ට හෝ ප්‍රනාන්දුට සහය නොදක්වන බවත්, සිද්ධිය පසුව වාර්තා කිරීම පිණිස පමණක් උනන්දුවෙන් බලා සිටින බවත් අතුල වටහා ගන්නේ අත්දැකීමෙනි.


"ඔව් තොපිට තියෙනව ඉලක්කයක්- මිනිස්සුන්ගෙ ප්‍රශ්න වවාගෙන කන්ඩ!" ප්‍රනාන්දු එකවරම ගුගුරයි.


"ප්‍රශ්න වවාගෙන කෑවෙ කවුද?" අතුල මේසයට මිටින් පහර දී විමසයි.


"කවුද?" ප්‍රනාන්දුද මේසයට මිටින් පහර දෙයි.


හදිසියේම අතුලට මෙතැනට කොහෙත්ම නොගැලපෙන සංජයගේ කීම සිහි වෙයි:
මේ ආහාරය හු!


සුළු මොහොතකට ඔහුගේ මුවග සිනහවක් ඇඳෙයි.




පාට බැලුන්  

Posted by උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා in , ,





මලානික හිරුගේ අන්තිම කිරනත් මුහුදේ කෙලවරකින් ගිලා බහින හැටි සෝමසිරි බලා සිටියේ  ජීවිතයේ තමුන්ට වඩාත් හුරුපුරුදු ඉසව්වක සිටය. තිස් පහකට එහා ගෙවුන මේ ජීවිතයෙන් බොහෝ පංගුවක් මේ මහා වෙරළ කෙලවරක ගෙවන්නට සෝමසිරි තීරනය කලේ  ජීවිතයේ බොහෝ තැන්වලට ගැලවෙන්නට මෙන්ම  හිරවෙන්නටද  වූ කල තමාට පිහිට උනු එකම ඉසව්ව මේ වෙරළ වූ නිසාවෙනි.... 


රළ නැගෙන බිදෙන හඬ  අතරේ පොළව දෙදරවාගෙන රේල්ලුවක් හැල්මේ දුවයි.   මලානික  අහස දඩබ්බරයැයි විටෙක සෝමසිරිට සිතේ .. නැවත යාමට සිතක් නැතත් අහස විසින් නවාතැන්පලට පාර පෙන්වා ඇත.


දෑතට බරදී හිඳ සිටි ගල් කුලින් නැගිටගත් සෝමසිරි.  සෙමින් වෙරළ තීරයෙන් එපිටට අඩි තබන්නට විය..

" මහත්තයා........ ලේන්සුව ........... "

ආගන්තුක කටහඬකින් තිගැස්සුනු සෝමසිරි වහා හැරී හඩ ඇසුනු දෙසට විමසිලිමත් විය

අපිලිවෙල කොන්ඩයකින් , නොගැලපෙන කලිසමකින් , ගැලපෙන සිනාවකින් යුතු  කොලූ ගැටයෙක් සෝමසිරිගේ ලේන්සුව එක් අතකින් දිගු කොට ගෙන සිටී. කොලුවාගේ අනික් අතේ ඉහලට ඉපිලෙන බැලුන් පොකුරකි..

" අහ්... ලෙන්සුව අමතක උනා .. ගොඩක් ස්තූති.. "

අපිලිවෙල කොලු  ගැටයාට  සිනාවකින්ද සංග්‍රහ කල සෝමසිරි ලේන්සුව සාක්කුවට  රුවා උඩු සාක්කුවේ වූ රුපියල් විස්සෙ කොලයක් කොලු ගැටයා දෙසට දිගු කලේ කොලුවා ගැන අනුකම්පාවක් ඒ වන විටත් සෝමසිරිගේ හිතේ පහල වී තිබුන නිසාවෙනි ... 

" මහත්තයට වැඩේ පාඩුයි .."

කොලුවා නැවත සිනාවෙයි..

" ඒ මොකද "

"ලේන්සුවක් රුපියල් විස්සක් වෙන්නේ නෑ නේ " 

කොලුවා නැවත සිනාවෙයි . සෝමසිරිගේ මුවගටද සිනාවක් නැගේ....

" හරි එහෙනම් රුපියල් විස්සට බැලුමක් දෙන්න " 

" එක බැලුමක් පහයි මහත්තයට බැලුම් 4ක් දෙන්නද නැත්තං බැලුමක් එක්ක ඉතුරු සල්ලි දෙන්නද "

සෝමසිරිට කොලුවා ගැන ඇතිවූයේ දුකකි .  සමාජයේ බොහෝ තැන්වල ගැටෙන සෝමසිරි  සමාජයේ හයි කාරයන්  , එදා වේල ගැටගහගන්නන් මෙන්ම  බෝක්කු පාලුවන් , පික් පොකට් කාරයන්ද  එක සේ දැක  ඇත . ඒ ජීවිත කිසිවකට සමාන නොවූ මේ කොලු ගැටයා ගැන සෝමසිරිගේ හිතේ ඇති වූයේ  අනුකම්පාවකි.. 

නැවතත් මුවගට සිනාවක් නගා ගත් සෝමසිරි කොලු ගැටයා දෙසට සමීප විය

" පුතා කොහෙද ඉන්නෙ  "

" සිට්ටු වත්තේ"

" ස්කෝලෙ යනවද "

කොලුවා නැවත සිනාසෙයි

" යන්ඩනම් තිබ්බා මහත්තයා හැබැයි එහෙමනම් කන්ඩ වෙන්නෙ නෑ "

" හ්ම්ම්ම්.....  අම්මා තාත්තා මොකද කරන්නේ "

" තාත්තා නෑ ...  අම්මා  හිඟා කනවා "

" මොකක් හිඟා කනවා "

" ඔව්.. කුලී වැඩත් කරනවා ගොඩක් දවසට වැඩ හම්බවෙන්නේ නෑ . එදාට අම්මා ගිගමනේ යනවා "

සෝමසිරිගේ දෙනෙත් අතරේ කොලුවාත් මහ මුහුදත්  අදුරත් මැදිවී ඇත.  ජීවිතයේ අනේක දුක්  විදින සමාජයක පංගුකරයෙකු  සෝමසිරි හා කතාබහකය.  සමාජය විසින් තලන පෙලන ලදුවද කොලු ගැටයා සිනාමුසු මුහුනින් ලැබුනු ජීවිතය පිලිගෙන ඇත්තාක් මෙන් ඔහුගේ හැසීරීම  දෙස බලා සිටින සෝමසිරිට හැගේ.

" පුතා මොකද කරන්නේ .. මේ බැලුම් විකුනන එක විතරද "

" නෑ කොටුව් කඩේක උදේට වැඩ කරනවා. හවසට මෙතනන්ට එනවා "

" මෙතන බිස්නස් සරුද "

නැවතත් සුපුරුදු සිනාව පාමින්.. එක් අතක්  කලිසම් සාක්කුවට යවන කොලු ගැටයා  ගුලි කරගත් නෝට්ටු කොල කිහිපයක් සෝමසිරිට පෙන්වයි.

" මේ තියෙන්නෙ මහත්තයො පුපුරන සල්ලි "

" පුපුරන සල්ලි කිව්වෙ " සෝමසිරි විමතියෙන් ප්‍රශ්න කරයි

" පුපුරන සල්ලි කිව්වෙ මහ්ත්තයෝ පොඩි බබාල වැඩි දවසට ටිකක් සරුයි බැලුමක් අරන් විනාඩි 5න් ඒක පුපුරවගන්නවා , ඉතින් ඒ ලමයි අඩන නිසා අම්මාලා තාත්තලා ආයෙම බැලුමක් අරන් දෙනවා"

සිනාවෙන කොලු ගැටයා දෙස බලාගෙන සෝමසිරිද සිනාසෙයි

"පුපුරන සල්ලි" සෝමසිරිද එවදන මුවින් පිටකලේ කොලු ගැටයා එහි අර්ථය ලබා දුන් අයුරු නැවතත් සිහි කරමිනි.

" කොහොම වුනත් ඔයාලට සරුයි නේ.. මෙතෙන්ට ලමයි කී දෙන්ක් එනවද "

" මොන සරුද මහත්තයා අපි ජීවත් වෙන්නේ මහත්තයලා විසි කරන සල්ලි වලින් "

"විසි කරන සල්ලි වලින් කිව්වෙ "

" මහත්තයලට වැඩක් නැති සල්ලි වලින්... දැන් මහත්තයා මගෙන් බැලුවමක් ගත්තෙ වැඩකට නෙවෙ නේ. ඒ වගේම මෙතෙන්ට එන ගොඩක් අයත් බැලුම් ගන්නෙ නිකං කරන්න දෙයක් නැතුවට. හැබෙයි මහත්තයෝ අපි වේලක් කන්නේ මහත්තයලට වැඩක් නැති සල්ලි වලින්"

කොලුවා දිගටම කියවයි කොලුවා ඉදිරියේ ලදරුවකු වූ සෝමසිරි කොලුවා දෙස ආයසයෙන් බලා සිටී

"දැන් බලන්න මහත්තයෝ අපේ අම්මා දුක කිය කිය රුපියලක් ඉල්ලුවාම නොදෙන මිනිස්සු  මං ලගට ඇවිත් බැලුම් අරන් පුපුරවනවා. 
අතන තියන කෝපි හට් එකට ගිහින් කෝපි එකක් බීලා වෙටර්ට රුපියල් පනහ හැට ටිප් දෙනවා.  ඉතිං අපිට කොහේ සරු වෙන්නද මහත්තයෝ."

අදුරට කොලුවාගේ මුහුන හරි හැටි නොපෙනේ . අදුරේ වුවත් කොලුවාගේ අතින් ඉහලට ඉපිලෙන  බැලුම් පාටින් දිදුලයි. 

දූවිලි අවුස්සමින් පැමිනි බස් රියක් රිය ගාලේ නතර කරනු පෙනේ කොලුවාගේ දෙනෙත් ඒ දෙසට යොමූ වේ.

මහත්තයා අන්න සෙට් එකක් ආවා මං ඒහෙට යනවා මහත්තයට බැලුම් 4ක් දෙන්නද ..

"එපා.. පුතා සල්ලි තියාගන්න "

"එන්නම් මහත්තයා .." සුපුරුදු සිනාවෙන්ම සෝමසිරිට සංග්‍රහ කල කොලු ගැටයා හැල්මේ බස්‍ රිය දෙසට දිවයනු පෙනේ.


මහ මුහුදේ ඈ..ත කෙලවරක කුඩා එලියක් දැල්වෙනු නිවෙනු පෙනේ. ඇතැම් විටක එය ඔරුවක් විය හැක.  සුපුරුදු මගට පා හරවාගත් සෝමසිරි නවාතැන්පල කරා පා යොමු කරවන්නට විය.

මද දුරක් ඇවිද ගිය සෝම සිරි කොලු ගැටයා සිටින ඉසව්ව දෙසට නෙත් යොමන්නට විය 

කුඩා දරුවකු වඩාගත් තැනැත්තෙක් කොලු ගැටයාගෙන් බැලුමක් මිලදී ගනිමිනි සිටිනු පෙනේ..

සෝමසිරිගේ මුවඟට සිනාවක් නැගේ

" පුපුරන සල්ලි "


______________________________________________________