හැමදාම ඉර පායන එක බොහොම කම්මැළි වැඩක්. නොදන්න කෙනෙකුට හිතෙන්නෙ, ඒක බොහොම ලෙහෙසි වැඩක් කියලා. නමුත්, උදෙන්ම පායන්නට ඕන; නැත්නම්, සත්තු කලබල වෙනවා; ගහකොළ කලබල වෙනවා. ඊට පසුව, දවස පුරා එකම ලතාවට ගමන් කරන්නට ඕන. දහවල් වෙනකොට පොළොව ගිනියම් වෙලා, රස්නෙ උහුලන්නට බැහැ. ඒත් වේගයෙන් යන්නට හැටියක් නැහැ; හැම කෙනෙක්ම වෙලාව ගණන් හදන්නෙ ඉර දිහා බලලා. හවසට ඉර බැහැලා ගියාට පසු හැම කෙනෙක්ම විවේක ගන්නවා. නමුත් ඉරට විවේකයක් නැහැ. ලෝකෙ අනික් පැත්තෙන් දුවලා ගිහින්, නැගෙනහිරට වෙලා රැකලා ඉන්නට ඕන, ආපහු උදා වෙන්නට වෙලාව එනතුරු.
ලෙහෙසි වැඩක් නොවෙයි. ඒ විතරක්ද? හරිම ඒකාකාරියි.
ඔන්න ඉරට කම්මැළි හිතුණා. ඉතින් ඉර තීරණය කළා නැගෙන්නෙ නැතුව ඉන්නට.
නැගෙනහිර හන්දියට කිට්ටුවෙන්ම, අන්ධකාර සාළුව පොරවාගෙන, ඉර හැංගුණා.
අලුයමින් අවදි වන කුරුල්ලො පුරුදු වෙලාවට කිචි බිචි ගාන්නට වුණා.
ගහකොළවල පිණි බින්දු මතුපිටට ආවා.
මිනිස්සුන්ට, අනික් සත්තුන්ට පුරුදු වෙලාවට ඇහැරුණා.
ඉර නැහැ.
කිචි බිචි ගෑව කුරුල්ලො කච බච ගාන්නට වුණා; කොචෑස් බචෑස් ගාන්නට වුණා.
පිණිබින්දු, ලොකු වතුර බින්දු වෙලා බිමට වැටුණා.
මිනිස්සු, සත්තු කලබල වෙලා කලුවරේම නැගිට්ටා.
ඉර නැහැ!
කලබල වුණු වෙලාවට හැසිරෙන හැටියෙන් එක එක්කෙනාගෙ ආකල්ප, පරණ අත්දැකීම්, පරිණතභාවය එහෙම බලා ගන්නට පුළුවනි.
සමහරු පරණ කතා කියන්නට පටන් ගත්තා: බොහෝම ඉස්සර කාලෙ, එක සැරයක් ඉර ඔහොම නොනැග තිබුණා නෙව! ඒ දවස්වල අපි තරුණයි...
තවත් සමහරු පහන් දල්වාගෙන, එහෙමත් නැත්නම් ඉව අල්ලාගෙන, පුරුදු වැඩ කටයුතු එහෙමම කරගෙන ගියා: ඉර නැගුණෙ නෑ කියලා, මේ වැඩ නවත්තලා බෑ නෙව.
තව තවත් සමහරු ඉහේ ඉඳන් පොරවාගෙන ගුලි වුණා: සීතලයි; අපිට බෑ; නැගිටලා මුකුත් කරන්නට විදිහක් නෑ; ඉරට හොඳනම්, අපිට මොකද?
තවත් සමහරු උද්ඝෝෂණය කළා: වහා ඉර උදා කරව්!
ඉර හැංගිලා බලාගෙන හිටියා.
ඔය අතරෙ ලෝකෙ අනික් පැත්තෙ වෙනමම ප්‍රශ්නයක්.
හඳත් තරුත් අහසින් බැහැලා ගිහින්, තමන්ගෙ පාඩුවෙ, පොළොව යටින් නැගෙනහිරට එනවා, රෑට උදා වෙන්නට තියෙන හින්දා.
ඉස්සරහින් ගිය තරු දැක්කා, නැගෙනහිර හන්දියෙ හැංගිලා ඉන්න තඩි, කළු රාස්සයා. දැකලා, බය වුණා. බය වෙලා, පස්සට පැන්නා.
ඊලඟට ආව තරුවලට ඉස්සරහට යන්නට හැටියක් නැහැ. ඉතින් ඔහොම ඔහොම, නැගෙනහිර හන්දියේ තරු පොදි ගැහෙන්නට වුණා. එතන ලොකු තදබදයක්. පිටිපස්සෙන් ඉන්න තරු ඉස්සි ඉස්සි, රාස්සයා බලා ගන්නට උත්සාහ කරනවා. ඉස්සරහින් ඉන්න තරු, තමන්ව තල්ලු වෙලා රාස්සයා ළඟට යැවෙයි කියලා පිටිපස්සට තෙරපෙනවා.
මේ හඳ විවේක ගන්න වෙලාව. හැමදාම යන පාර නිසා, ඇසුත් පියාගෙන ඔහේ පාවෙවී එමින් හිටිය හඳ එක පාරටම කටු ඇනිලා අවදි වුණා.
කටු, තරුවල වටේ තියෙන කටු.
"මොකද මේ? ඇයි නැවතිලා?" හඳ ඇහුවා.
"රාස්සයෙක්." තරු උත්තර දුන්නා.
හඳත් තරුවල කරට උඩින් ඉස්සිලා බැලුවා. ඇත්ත තමයි. තඩි කළු රාස්සයෙක්, ලෝකෙ දිහා හොරෙන් බලා ඉන්නවා.
"මොකද කරන්නෙ?" තරු හඳෙන් ඇහුවා. හඳ කල්පනා කළා.
"අපි සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්නෙ විසඳ ගනිමු." හඳ කිව්වා.
තරු වළල්ල මැද ඉඳන්, හඳ රාස්සයාට කතා කළා.
"මේ... ඔතන කවුද?"
ඔන්න, එතකොට තමයි ඉර ආපහු හැරිලා බැලුවෙ. එතකොට තමයි ඉර දැක්කෙ, තමන් මග අහුරාගෙන ඉන්න හින්දා, තරුත් හඳත් හිර වෙලා බව.
"මම, ඉර." කියලා උත්තර දෙන්නට ඉර හිතුවා විතරයි; ඉරට දඟකාර හිතක් පහළ වුණා.
"මම, රාස්සයෙක්!" ඉර අන්ධකාර සළුව අස්සෙ හැංගිලා උත්තර දුන්නා.
තරු බය වෙලා තව තවත් හඳට කිට්ටු වුණා. තෙරපෙන තරුවල කටු හැම පැත්තෙන්ම ඇනිලා, හඳට හුඟක් තුවාලයි.
බය වෙලා ඉන්න තරු දැක්කහම, ඔවුන්ව තවත් බය කරන්නට ඉරට ආස හිතුණා. ඒ හින්දා ඉර බොහොම භයානක විදිහට හිනා වුණා.
"හොහ් හොහ් හොහ්! හොහෝහ් හොහ් හොහ් හොහ්!!"
තරු තව තවත් හඳට තුරුල් වුණා.
"අපි මොකද කරන්නෙ?" ඔවුන් ඇහුවා.
හඳ කල්පනා කළා. බොහොම කල්පනා කළා.
හඳත් බය වෙලා බව ඉරට තේරුණා. ඉරට තව තවත් දඟ කරන්නට හිතුණා. ඒ හින්දා ඉර ඔවුන් ඉස්සරහට පැනලා ආයෙමත් භයානක විදිහට හිනා වුණා.
"හොහ් හොහ් හොහ්! හොහෝහ් හොහ් හොහ් හොහ්!!"
හඳත් බය වෙලා පස්සට පැන්නා. ඉස්සරහින්ම හිටිය තරුත් පස්සට පැන්නා. පිටිපසින් හිටිය තරුවල කටුත්, ඉස්සරහින් පැන්න තරුවල කටුත් ඇනිලා හඳට තවත් තුවාල වුණා. හඳේ වැදිලා, තරුවල කටු අග කැඩිලා තුවාල වුණා.
තුවාල වුණු හින්දා හඳටත් තරුවලටත් තරහ ආවා. තරහ ආව හින්දා බය අමතක වුණා.
"අපි රාස්සයව පන්නමු." පුංචි තරුවක් යෝජනා කළා.
"පන්නමු! පන්නමු!! පන්නමු!!!" හැම තරුවක්ම තරහෙන් කෑ ගහන්නට පටන් ගත්තා. හඳ පවා රවා බැලුවා.
ඉර, තමන්ගෙ දඟකාර සෙල්ලම නතර කළ යුතුව තිබුණා....
මං එහෙම කියන්නෙ, එයින් පස්සෙ සිදු වුණු දේ බොහොම භයානක හින්දයි.
බොහොම නිසංසල කෙනෙක් වෙන හඳට තරහ ආ විට, බොහොම දරුණුයි. කල්පනා කරන්නටවත් නොනැවතී, හඳ, තමන්ගෙ අතට අහු වෙන අහුවෙන දෙයින් ඉරට දමා ගහන්නට වුණා.
අතට අහු වෙන්නට හිටියෙ තරු.
ලෙහෙසියෙන්ම අතට අහු වෙන්නට හිටියෙ, පුංචි තරු.
විශාල ඉරෙහි වැදුණු තරු බොහොමයක් එතැනම අවසන් ගමන් ගියා. තවත් තරු බොහොමයක කටු කැඩී බිඳී ගියා. තරුවලට තුවාල කරන හින්දා, සමහර තරු හඳත් එක්ක තරහ වුණා.
තරු වැදිලා ඉරටත් තුවාල වුණා. ඉර පොරවාගෙන හිටිය අන්ධකාර සළුව, තරු හින්දා සිදුරු වුණා. සිදුරු වුණු සළුව අතරින්, හැංගිලා හිටිය රාස්සයා ඉර බව පෙනෙන්නට පටන් ගත්තා. එතකොට තරුවල බයත් නැතිව ගියා. බය නැති තරු ඉදිරියට පැන, ඉරට පහර දෙන්නට වුණා.
ඉරුණු අන්ධකාර සළුවත් එහෙන් මෙහෙන් එල්ලෙද්දි, ඉර ඉස්සරහට පැනලා දුවන්නට වුණා.
"අන්න ඉර පායනවා." මිනිස්සු සතුටින් කිව්වා. "බොහොම ප්‍රමාද වෙලා ඉර පායනවා."
සත්තු ඈනුම් ඇරලා නැගිට්ටා.
ගහකොළ අවදි වුණා. මල් පිපුණා.
මිනිස්සු, සත්තු, ගහකොළ ඉරට කැමති බව පෙනුණ හින්දා, හඳත් තරුත් ටිකක් අදිමදි වුණා ඉර පසුපස දිගට පන්නන්නට. පසුපසින් පන්නන්නට කෙනෙක් නැති බව දැක්ක ඉර, බොහොම අහංකාරෙට හෙමින් ගමන් කරන්නට වුණා.
ඒ වුණාට, ඉරුණු අන්ධකාර සළුවෙ කෑලි තවමත් ඉරේ එල්ලෙනවා. ඒවට තමයි මිනිස්සු හිරු ලප කියන්නෙ.
හිරු බැස ගියාට පසු, නැත්නම් බැස යන්නට කිට්ටු වූ පසු තවමත් හඳත් තරුත් පායනවා. හඳේ තුවාල සුව වෙලා වුණත්, කැළැල් තවම පේනවා. ඉස්සර තිබුණ පුංචි තරු සෑහෙන ගණනක් අඩු වෙලා. ඒත් ඒ බව එතරම් පෙනෙන්නෙ නැහැ.