කෙලෙසක දෝ අම්මේ.......................  

Posted by නුවන් තිලංග in ,


                                               දරුවන්ටත් වස පොවා,මවත් වස බොයි .......(පුවතක්)



                                                  කෙලෙසක දෝ අම්මේ...............




  

රතු ලේ බිදු කිරි කර දුන් අරුමයෙන්
නැළවිලි ගී කියා නැළවු දැතින්
හිස පිරි මැද නිදි කරවු සුරතින්
වස පිරවු බදුනක් පෙව්වේ
කෙලෙසක දෝ අම්මේ......




යැපෙනු පිණිස  

Posted by නලිනි චන්දිමා in , ,

කෑම පාර්සලය ලිහා ගන්නා සුසන්ත ප්‍රවේශමෙන් බත් කටක් අනා, පසෙකින් තබයි. අනතුරුව බත්පත දෙස බලාගෙන කල්පනාවක නිමග්න වෙයි.


බත්පත දිගහරින්නටත් පෙර පපඩම අතට ගෙන කෑම අරඹන මයුරි හොරැහින් එදෙස බලන්නීය.


"සුසන්ත අය්යනම් කන්ඩ කලින් භාවනා කරනවා. මටනම් උදේට කන්නෙත් නැති හින්දා කනකම් ඉවසුම් නෑ."


"පුළුවන් වෙලේක හරි කන්ඩ ඉස්සෙල්ලා තමන්ටම මතක් කර ගන්ඩ, 'මේ ආහාරය හුදෙක් මාගේ යැපීම සඳහා පමණයි; රසය පිණිස නොවේ; මදය පිණිස නොවේ...'"


"ඔච්චරනම් කිය කිය ඉන්ඩ බෑ බං." සංජය කටේ කෑම පුරවාගෙනම හරස් කපයි. "ඕනෙනං 'මේ ආහාරය හු!' කියල විතරක් කියන්නං."


කෑම කටේ තියාගෙනම සිනාසෙන මයුරිට කැස්සක් එයි. සුසන්ත සිනාවට එක් වෙමින් බත් අනයි.


"කට්ටියම ඉන්නවා නේද?" අතුල කොහෙන්දෝ කඩා පාත් වී, දේශපාලන හිනාවක් පා, සගයන්ගේ පිටට තට්ටු දමයි. "මේ සැරේ අපි වෙනම ඉල්ලනවා, ආරංචි ඇතිනෙ?"


මයුරි පපඩම ටිකක් සද්දෙන් හපා, බත් අනාගෙන අනාගෙන යයි. ඇයට වෘත්තීය සමිතිකාරයන් පෙන්නන්නට බැරිය.


සුසන්ත නිවුණු මුහුණින් මයුරිගේ ක්‍රියාව නරඹා අදහස් දක්වයි.
"ඉස්සර ලංකාවෙ හාමුදුරුවරු ඉඳල තියෙනවා, දන් වළඳන ගමන් රහත් වුණු. දන්නවද මයුරි?"


"උඹ තාම නංගිලට බණ කියන එක නවත්තල නැද්ද බං?" අතුල අසල මේසයකින් පුටුවක් ඇදගෙන වාඩි වෙයි. අනතුරුව තවත් කාලය නාස්ති නොකර, අතැති ලිපිගොනුව මේසය මත තබා ප්‍රේක්ෂකයන් දෙස බලයි.
"මෙන්න තියෙනවා කට්ටිය කියවල බලන්ඩ."


"මොකද්ද? උඹේ ප්‍රතිපත්ති ප්‍රකාශනයද?" සංජය හොරැහින් එදෙස බලයි.


"කියවලම බලන්ඩ." අතුල ලිපිගොනුව විවර කර අතින් දක්වයි.


වෘත්තීය සමිති කටයුතු සහ ඉන් ලැබිය හැකි ප්‍රතිලාභ ගැන උනන්දු වන කීපදෙනෙක් ලිපිගොනුව වෙත ඇදෙති. හිතින් මැන ගත් ගණ පූරණය සම්පූර්ණ වූ කල අතුල කතාව අරඹයි.


"පහුගිය අවුරුදු දහය ඇතුළත, අපේ කණ්ඩායම මුල් වෙලා දිනා ගත්තු දේවල්.
මම පටන් ගන්නම් ගිය අවුරුද්දෙන්. ගිය අවුරුද්දෙ කාරක සභාවෙන් පස් දෙනෙක් මේ සැරේ අපිත් එක්ක වෙනම ඉල්ලනවා..."


"මට ප්‍රශ්නයක් තියෙනවා." චාමර කතාවට බාධා කරමින් එක එල්ලේ අතුල දෙස බලයි.


"හරි." අතුල පුටුව මඳක් පසුපසට ඇද, කකුලක් පිට කකුලක් දමා ගනී. දකුණත පහසුවෙන් කකුලක් මත රඳයි. වම් අත කතාවට අනුව ලෙළ දෙයි.
"මම ලෑස්තියි ඕනෙම ප්‍රශ්නෙකට උත්තර දෙන්ඩ. නමුත් මට ඕනෙ මුළින්ම පැහැදිලි කරන්ඩ....."


කතාව ඇදී යයි. ප්‍රතිවාදී පිලෙහි කිසිවෙකු භෝජනාගාරයෙහි නොමැත්තෙන් අතුලට රිසි පරිදි ප්‍රධාන නළු චරිතයට ආවේශ විය හැක.


"අය්යා කළු වෙලා..." කතාව තත්පර ගණනකට නිහඬ වු විටෙක සොනාලි ඇද පැද කියයි. පුරුෂ පක්ෂය කට කොණකින් සිනාසී ඈ දෙස බලත්.


"කළු වෙලා කියන්නෙ, පහුගිය ටිකේ හරියට කෑවෙත් නෑ. මට ඒකනම් ප්‍රශ්නයක් නෑ. හැබැයි එදා ඇමතිතුමා හම්බෙන්ඩ ගිය වෙලාවෙ..."


අතුල සොනාලිගේ සිත නොරිදවා නැවතත් නිවැරදි පීල්ලට කතාව මෙහෙයවයි. සුසන්ත අවසරයක් ලැබුණාක් මෙන් පුටුවෙන් නැගිටියි.


"උඹ යන්ඩද මචං?" අතුල හැම ඡන්දයක්ම තමාට වැදගත් බව හඟවන බැල්මකින් සුසන්තට සංග්‍රහ කරයි.


"වැඩ වගයක් තියනව, ඉවර කරල දැම්මනම් ලේසියි."


"කොළයක් ගත්තෙ නෑනෙ? මෙන්න. නිකං ඉන්න වෙලාවක කියවල බලන්ඩ." අතුල පත්‍රිකා කිහිපයක්ම සුසන්ත අත තබයි. මයුරිද නැගිටින බව දකින ඔහු ඇයට පත්‍රිකා කිහිපයක් දීම පිළිබඳව සිතෙන් සළකා බලා, ඒ අදහස බැහැර කරයි.




*****************************************


"මට දික්කරානං එහෙම එතෙන්දිම ඒකෙන් අත පිහින්ඩ හිටියෙ මං." මයුරි සුසන්ත සමග පවසන්නේ අත් සෝදන අතරතුරය.


"නිකං මිනිස්සු තරහ කරගන්ඩ ඕන නෑ. මොනව වුණත් අතුලයා හිතවත් අපිට."


"ඒ වුණාට මට අල්ලන්නෙ නෑ. ඉස්සරම මතකද, 'අපේ ඇමතිතුමා' කියා ගත්තු ගමන් හිටියෙ. ඊට පස්සෙ ඒ මිනිහටම පළු ගැලවෙන්ඩ බැන බැන හිටියා. දැන් ආයෙමත් මෙලෝ ලැජ්ජාවක් නැතුව ඇමතිගෙ ගෙදරට රිංගුව කතා කියනව."


"ආ, ඒ පාර මයුරි බණ කියනවද සුසන්තට?" චට පට ගා කියවන මයුරි දෙස බලමින් සංජය සිනාසෙයි. ඔහුද අතුලගේ කතාවෙන් මිදී පැමිණ ඇත.




"කට්ටිය ඔහේ අහගෙන ඉන්නව නේද?" මයුරි  පිරිස දෙස බලමින් භෝජනාගාරයෙන් පිටවෙයි.


"මේකනෙ මයුරි, හැම මිනිහටම ඕනෙ තමන්ගෙ මොකක් හරි වැඩක් කරවගන්ඩ විදිහක්. එක්කො ළමයෙක් ඉස්කෝලෙ දාගන්ඩ. එක්කො කීයක් හරි වැඩියෙන් හම්බ කරගන්ඩ. එක්කො ශිෂ්‍යත්වයක්. මොකක් හරි දෙයක්. ඉතින් කාගෙන් හරි ඒ දේවල් කර ගන්ඩ පුළුවන්ද කියල බලනවා. ඒකට වැරැද්දක් කියන්ඩත් බෑ."සංජය දැනුම් තේරුම් ඇති විලසින් පැහැදිලි කරයි.


"මොකද බැරුව?"


"ඔයාට ඒ දේවල් ඕනෙ නැතුව ඇති දැන්. ඒත් අවශ්‍යතාවය තියෙන මිනිහ..."


"අය්යෝ, මේ, ඕක ගැන කතා කරන්ඩ ගියොත් දැන් අපි දෙන්න නිකං ගහ ගන්නවා." මයුරි කතාව නවත්වයි.


"මනුස්සයෙකුට වෙනස් වෙන්ඩ බැරිද?" සුසන්ත හදිසියේම පැණයක් නගයි.


"ඇයි බැරි? අර හිටියෙ කටුස්සෙක්, එහෙම්පිටින්."


"අපි හැමෝම කටුස්සො." සුසන්ත කල්පනාවෙන් කියයි.


"මම කටුස්සෙක් නෙවෙයි." මයුරි තදින් කියයි.


"නෑ නේන්නං. ඔයා කටුස්සියක්." සංජය පිළිතුරු දෙයි. මයුරි ඔහුගේ ඉලයට අනී.


"මම මෙතනින් යනවා." සුසන්ත කාර්යාලය දෙසට හැරෙයි.


"මම බැංකුවට යන්ඩ ඕන. ටාර් ගාල දුවල එන්නම්." මයුරි ගේට්ටුව දෙසට පිය මනී.




*****************************************




"හැම එකාටම මේ වෙලාවමද මන්ද තියෙන්නෙ මෙතනට එන්ඩ."


බැංකුවේ පෝළිමෙහි සිටින මයුරි ඔරලෝසුව  දෙස බලමින් කල්පනා කරයි. දැනටමත් ඇය පැය භාගයකට ආසන්න වේලාවක් සිට ඇත. අනෙක් පෝළිම් සියල්ල ඉදිරියට ඇදේ. මේ පෝළිමට පමණක් කුමක් වීද? ඈ පැත්තකින් එබී බලයි. නමුත් කවුන්ටරය නොපෙනේ.


"කාගෙද සල්ලි මිටි වගයක් ගනිනව.." මයුරි බලන්නේ කුමක්දැයි අනුමාන කළ ඉදිරියෙන් සිටින තැනැත්තා කියයි.


"මයුරි?"


අතුල ළඟට එනතුරුම නොදැකීම පිළිබඳව මයුරි තමන්ටම සාප කර ගනී.


"මොකක්ද වැඩේ?"


මූට මොකටද ඒක?


එහෙත් මයුරි වෙහෙසට පත් හඬින් තමන් ආ කාරණය කෙටියෙන් කියයි. නොඑසේනම් අහල පහළ සිටින මිනිසුන් යමක් හිතන්නට පුළුවන. අතුල තරමක් ඇයට කිට්ටු වී, අවට සිටින්නන්ට නෑසෙන පරිදි සෙමෙන් මුමුණයි.


"හදිසියක් නැත්නම්, මගෙ යාළුවෙක් ඉන්නවා බැංකුවෙ, එයා අතට දීලා ගිහෑකි. හවසට යන ගමන් රිසිට් එක අරගෙන, මම හෙට ඔයාට ගෙනත් දෙන්නම්."


මයුරිගේ සිත දෙපැත්තට වැනේ. දැනටමත් ඇයට වෙහෙසය; එසේම කාර්යාලයට යාමට ප්‍රමාද වේ. අතුලගෙන් උදව් ලබා ගැනීමටද ඇය අකමැතිය. එහෙත් හතුරෙක් වුණත්, උදව්වක් කිරීමට ඉදිරිපත් වූ මිනිහාගේ හිත රිදවිය නොහැක.


"නෑ, කමක් නෑ අතුල, තව ටික වෙලාවයිනෙ."


"දෙන්ඩකො..." අතුල අත දිගු කරයි. "දෙන්ඩ, දෙන්ඩ. ඕක පොඩි වැඩක්."
මයුරි අදාල කඩදාසි සහ මුදල් ඔහුට ගන්නට ඉඩ හරින්නේ පැකිළෙමිනි.


"අතනින් වාඩි වෙලා ඉන්ඩ."


පෝළිමේ සිටි මිනිසුන් තමන් දෙස බලන බව ඇයට පෙනේ. එහෙත් ඇය ඒ නොපෙනෙන්නාක් මෙන් අතුල බැංකුවේ සේවකයන්ට වෙන් වූ කොටසකට එබෙනු බලා සිටී.




*****************************************


"මාර දාඩියයි නෙහ්?" බැංකුවෙන් පිටතට බසින ගමන් අතුල විමසයි. "අයිස්ක්‍රීම් එකක් කාලා යමුද?"


මයුරි තීරණයකට එළඹෙන්නටත් පෙර අතුල බැංකුවට යාබද රසහල වෙත යයි. මයුරිද ඒ පිටුපස ඇදේ; මතක ඇති කාලෙකින් පලතුරු සලාද සමග හිමකිරම කා නැත.


මේ රසහලට මින් පෙර ඇය පැමිණ ඇත්තේ එක්වරකි. ආහාර පිණිස ගන්නා පලතුරු ආදිය වීදුරු අල්මාරියක් තුළ අඩුක් කර ඇත. කහ පැහැ නිල ඇඳුම් හැඳි සේවක සේවිකාවෝ කඩිසරව ඇනවුම් භාර ගනිති; ගනුදෙනුකරුවන්ට පෙනෙන්නටම පලතුරු කපා සූදානම් කරති. බිත්තියෙහි රේඛා සිතුවම් කිහිපයක් එල්ලා ඇත.


"කලින් නොකිව්වට, මට මයුරිව ඉස්කෝලෙ යන කාලෙ ඉඳලා මතකයි, දන්නවද?"


අතුල වෘත්තීය සමිති කතාබහ අරඹනු ඇතැයි බලාපොරොත්තුව සිටි මයුරිට, මේ අනපේක්ෂිත මාතෘකාවකි.


"ඔයා අපේ ඉස්කෝලෙමද?"


"නැහැ. ඒත් ඔයා නවෝදෙ පන්ති ආවා නේද?"


"ඔව්. ඒත් මට ඔයාව මතක නැහැ."


"මතක හිටින්නෙ කොහෙද? ඔයා ඔලුව උස්සල බලන්නෙ නෑනෙ ඒ කාලෙ."


නීරස ළමා කාලය සිහි කිරීම නිසා මයුරිට පාළු ගතියක් දැනේ. සේවකයා පලතුරු සලාදය පිළි ගැන්වීමට පැමිණීම නිසා තත්වය මඳක් සමනය වේ. උඩින් හිමකිරම දමා ඇති හෙයින් යටින් ඇති පලතුරු හරි හැටි නොපෙනේ.


"මේ දවස්වල ඉතින් පැණි කොමඩුම තමයි." පැත්තෙන් බඳුන පිරික්සන අතුල කියයි.


මයුරි හිමකිරම ටික කාගෙන කාගෙන යන්නීය. බොහෝ වේලා පෝළිමේ සිටි ඇයට දැඩි පිපාසයක් තිබුණු බව හරිහැටි තේරෙන්නේ, සීතල හිමකිරම කැටිති දිවෙහි දියවෙන විටය. ඇය කතාබහ නොකර සිටීම අතුලට අපහසුවකි. සංවාදයට රිසි ඔහු තවත් මාතෘකාවක් ඇද ගනී.


"සුසන්ත හුඟක් බණ දහම් දන්නවා නේද?"


එය ප්‍රවේශමෙන් ඉදිරිපත් කළ මුට්ටියකි; මයුරි බණට ලැදිද නැද්ද යන වග අතුලට හරියටම පැහැදිලි නැති නිසාවෙනි.


"ඔව්..." පැණිකොමඩු කෑල්ලක ඇටයක් හැන්දෙන් ඉවත් කිරීමට වෙර දරමින් මයුරි පිළිතුරු දෙයි. ඒ පිළිතුරෙන් සුසන්ත පිළිබඳව ඇගේ ස්ථාවරය පැහැදිලි නොවන මුත් මාතෘකාවට ඇගේ අකමැත්තක් නැති බව අතුල අනුමාන කරයි.


"සංජය ඒකෙ අනික් පැත්ත..." ඔහු තවත් අදහසක් ඉදිරිපත් කරයි.


"ඔව්..." මොට්ට හැන්දකින් කොමඩු ඇටයක් ඉවත් කිරීම පහසු නැත. කොමඩු කෑල්ල එහාට මෙහාට පනී. එය කටට ගෙන හපා, අනතුරුව ඇටය එළියට පිම්බහොත් අතුල තමන් ගොඩේ එකියකැයි සිතනු ඇත්ද? කොමඩු කෑල්ල ඉතිරි කිරීමටද ඇය අකමැතිය. රසහලෙහි වෙන සිටින්නේ කවුරුන්දැයි මයුරි අල්මාරියේ වීදුරුවෙන් පිරික්සයි. තරමක සෙනගක් එහි වෙත්. මයුරි කරන්නාක් මෙන්ම වීදුරුවෙන් මයුරිව පිරික්සන තවත් දෑස් කීපයක්ම ඇයට හමු වෙයි.


"ඔයා කොතනද එතකොට?" අතුල මයුරිගේ කොමඩු කෑල්ල දෙස විමසුම් බැල්මක් හෙළමින් අසයි.


මේ ඉලව් කොමඩු... හදිසියේම මයුරිට දහවල් සංජය කියූ කතාවක් සිහි වෙයි: මේ ආහාරය හු!


"ඇති යන්තං ඩිංගක් හිනා වුණා." අතුල කියයි. "මෙච්චර වෙලා රවාගෙන හිටියෙ. මට හීන් දාඩිය දාල හිටියෙ මගෙත් එක්ක තරහෙන්ද කියලා."


"නෑ, මේ දවල් සංජය කිව්ව කතාවක් මතක් වුණා."


"මොකක්ද?"


"සුසන්ත අය්යා කිව්වා කන්ඩ ඉස්සෙල්ල භාවනා කරන්ඩ කියල, මේ ආහාරය හුදෙක් යැපීම සඳහාය, අරක මේක පිණිස නෙවේය කියලා. දිග විස්තරයක්..."


"සුසන්තයනං කියයි; ඉතිං?"


"එතකොට සංජය කිව්වා, එච්චර කියන්ඩ බැරිය, ඕනෙමනං මේ ආහාරය හු! කියල කියන්නංය කියල."


මයුරිගෙන් දිගු පිළිතුරක් ලැබුණේ බොහෝ වේලාවකට පසුව නිසා, ඊට අනුග්‍රහ වශයෙන් අතුල ටිකක් වැඩිපුර සිනාසෙයි. ඒ සිනහව අමතර බව වැටහීම නිසා මයුරි අසන්තෝෂයට පත් වෙයි. තමන් දැන් මේ මිනිහාගෙන් උදව්වක් ලබාගෙන ඇත. ඒ නිසා ඔහුගේ හිත රිදෙන යමක් කිව නොහැක. ඇය ඉන් වඩාත් අසන්තෝෂයට පත් වෙයි. ඇගේ අසන්තෝෂය අතුලට ඉව වැටෙයි. ඔහු වහා කතාව අරඹයි.


"ඕවා ඔය පැවිද්දන්ට දෙසුව බණ..."


"ගිහියන්ට කියල වෙනම සාසනයක් නෑනෙ. ඔය බණම තමා."


මයුරිගේ හඬ සැර වෙන්නේ ඇයටත් නොදැනීමය. මොනවා කරත්, සුසන්ත මේ මිනිහාට වඩානම් හොඳය. ඔහුව හෙළා දැකීමට මෙවැනි මිනිහෙකුට ඉඩ දිය නොහැක.
අතුල ක්ෂණයකින් කතාව හරවයි.


"ඔව්, ඒක තමා මමත් කියන්නෙ. පැවිදි කෙනෙකුට ලේසියෙන් අනුගමනය කරන්ඩ පුළුවන්. ගිහියෙකුට අමාරුයි. මොකද, යැපීම විතරක් නෙවෙයිනෙ අපිට අනික්වත් වැදගත්, සමහරවිට යැපීමට වඩා..."


"හරී!"


මයුරි එකවරම තමන් සමග එකඟ වීම අදහා ගත නොහැකි නිසා අතුල මඳකට කතාව නවතයි.


මයුරි ලැජ්ජාවෙන් ඔහු දෙස බලයි.


"මං මේ කොමඩු ඇටේ ගලව ගන්ඩ බැරුව හිටියෙ මෙච්චෙල්ල. දැන් ගැලවුණා."




*****************************************


සවස තුනට ආසන්නය.
තේ පානය සඳහා හැම දෙනාම භෝජනාගාරයට නොඑනමුත් බොහෝ දෙනෙක් යමක් හපමින් විනාඩි පහළොවක් විස්සක් ගෙවීම පිණිස එහි එති. කල් යල් බලා, පත්‍රිකා මිටියක්ද රැගෙන අතුල එහි ඇදේ.


භෝජනාගාරයෙහි දොරකඩ සිට ඔහු ඇතුළත සිටින පිරිස පිරික්සයි. මැද හරියේ පුටුවක හිඳ චාමර අත වනයි. මඳ සිනහවකින් මුව සරසාගෙන අතුල ඔහු වෙත පිය නගයි. කෙළවර ආසනයක හිඳ සිටින ප්‍රතිවාදී පිලෙහි ආධාරකරුවකු වන ප්‍රනාන්දුව ඔහු දකින්නේ අහම්බෙනි. දැන් ඉතින් මගහැර යාම තත්වයට මදිකමකි. කාණු කටක් ඇති ප්‍රනාන්දු සමග හැප්පෙන්නට අතුල අකමැතිය.


"පත්‍රිකා ටික බෙදලා යනවා." ඔහු සිතා ගනී. "බය වෙන්නෙ මොකටද එක අතකට? මුකුත් කියාගෙන ආවොත් තව හොඳයි; මට ඒකම අවස්ථාවක් කරගන්ඩත් පුළුවන්." ඒ සමගම යළිත් සිතේ.


"උඹෙන් මං අහන්ඩ හිටියෙ." සුමිත් කතාව පටන් ගන්නේ අතුල වාඩිවීමටත් ප්‍රථමය. "අතිකාල ප්‍රශ්නෙට මොකද වෙන්නෙ?"


"මෙහෙමයි." අතුල කිහිපවරක් එකිනෙකාට පැහැදිලි කිරීමෙන්ම හිතේ පිළිවෙලකට සැකසුණු පිළිතුර අරඹයි.
"මුළින්ම, ඕකට හදිසි විසඳුමක් නෑ. එහෙම තියෙනවයි කියලා මම උඹලව රවට්ටන්නෙ නෑ."


ඈත කෙළවරෙහි ඇති සෙවණැල්ලක් නැගිට තමන් වෙත එනු අතුලට ඇස් කොණෙන් පෙනේ. ඔහු ඒ පිළිබඳව අවබෝධයෙන්ම කතාව ඉදිරියට ගෙන යයි.


"අපිට ඉලක්කයක් තියෙනවා. ඒක දැනට හම්බෙන ගාන වගේ පස් ගුණයක්. කිව්ව ගමන් ඕන කෙනෙක් හිතන්නෙ ඒ ගානනම් කවදාවත් ගන්ඩ වෙන්නෙ නෑ කියල. ඒකයි තත්වෙ. නමුත්..."


සෙවණැල්ල දැන් ළඟටම පැමිණ ඇත.


"උඹලට මොකක්ද තියෙනවය කිව්වෙ?"


ප්‍රනාන්දුගේ හඬ සැරපරුෂය. අතුල මේ දැන් දැක්කාක් මෙන් ඔහු දෙස බලයි.


"අපිට තියෙනව ඉලක්කයක්, උඹලට නැති." අතුල ප්‍රනාන්දුගේ ඇස් දෙස කෙළින් බලා හඬ උස් කර කියයි.


අවට රැස් වන්නන් තමන්ට හෝ ප්‍රනාන්දුට සහය නොදක්වන බවත්, සිද්ධිය පසුව වාර්තා කිරීම පිණිස පමණක් උනන්දුවෙන් බලා සිටින බවත් අතුල වටහා ගන්නේ අත්දැකීමෙනි.


"ඔව් තොපිට තියෙනව ඉලක්කයක්- මිනිස්සුන්ගෙ ප්‍රශ්න වවාගෙන කන්ඩ!" ප්‍රනාන්දු එකවරම ගුගුරයි.


"ප්‍රශ්න වවාගෙන කෑවෙ කවුද?" අතුල මේසයට මිටින් පහර දී විමසයි.


"කවුද?" ප්‍රනාන්දුද මේසයට මිටින් පහර දෙයි.


හදිසියේම අතුලට මෙතැනට කොහෙත්ම නොගැලපෙන සංජයගේ කීම සිහි වෙයි:
මේ ආහාරය හු!


සුළු මොහොතකට ඔහුගේ මුවග සිනහවක් ඇඳෙයි.




පාට බැලුන්  

Posted by උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා in , ,





මලානික හිරුගේ අන්තිම කිරනත් මුහුදේ කෙලවරකින් ගිලා බහින හැටි සෝමසිරි බලා සිටියේ  ජීවිතයේ තමුන්ට වඩාත් හුරුපුරුදු ඉසව්වක සිටය. තිස් පහකට එහා ගෙවුන මේ ජීවිතයෙන් බොහෝ පංගුවක් මේ මහා වෙරළ කෙලවරක ගෙවන්නට සෝමසිරි තීරනය කලේ  ජීවිතයේ බොහෝ තැන්වලට ගැලවෙන්නට මෙන්ම  හිරවෙන්නටද  වූ කල තමාට පිහිට උනු එකම ඉසව්ව මේ වෙරළ වූ නිසාවෙනි.... 


රළ නැගෙන බිදෙන හඬ  අතරේ පොළව දෙදරවාගෙන රේල්ලුවක් හැල්මේ දුවයි.   මලානික  අහස දඩබ්බරයැයි විටෙක සෝමසිරිට සිතේ .. නැවත යාමට සිතක් නැතත් අහස විසින් නවාතැන්පලට පාර පෙන්වා ඇත.


දෑතට බරදී හිඳ සිටි ගල් කුලින් නැගිටගත් සෝමසිරි.  සෙමින් වෙරළ තීරයෙන් එපිටට අඩි තබන්නට විය..

" මහත්තයා........ ලේන්සුව ........... "

ආගන්තුක කටහඬකින් තිගැස්සුනු සෝමසිරි වහා හැරී හඩ ඇසුනු දෙසට විමසිලිමත් විය

අපිලිවෙල කොන්ඩයකින් , නොගැලපෙන කලිසමකින් , ගැලපෙන සිනාවකින් යුතු  කොලූ ගැටයෙක් සෝමසිරිගේ ලේන්සුව එක් අතකින් දිගු කොට ගෙන සිටී. කොලුවාගේ අනික් අතේ ඉහලට ඉපිලෙන බැලුන් පොකුරකි..

" අහ්... ලෙන්සුව අමතක උනා .. ගොඩක් ස්තූති.. "

අපිලිවෙල කොලු  ගැටයාට  සිනාවකින්ද සංග්‍රහ කල සෝමසිරි ලේන්සුව සාක්කුවට  රුවා උඩු සාක්කුවේ වූ රුපියල් විස්සෙ කොලයක් කොලු ගැටයා දෙසට දිගු කලේ කොලුවා ගැන අනුකම්පාවක් ඒ වන විටත් සෝමසිරිගේ හිතේ පහල වී තිබුන නිසාවෙනි ... 

" මහත්තයට වැඩේ පාඩුයි .."

කොලුවා නැවත සිනාවෙයි..

" ඒ මොකද "

"ලේන්සුවක් රුපියල් විස්සක් වෙන්නේ නෑ නේ " 

කොලුවා නැවත සිනාවෙයි . සෝමසිරිගේ මුවගටද සිනාවක් නැගේ....

" හරි එහෙනම් රුපියල් විස්සට බැලුමක් දෙන්න " 

" එක බැලුමක් පහයි මහත්තයට බැලුම් 4ක් දෙන්නද නැත්තං බැලුමක් එක්ක ඉතුරු සල්ලි දෙන්නද "

සෝමසිරිට කොලුවා ගැන ඇතිවූයේ දුකකි .  සමාජයේ බොහෝ තැන්වල ගැටෙන සෝමසිරි  සමාජයේ හයි කාරයන්  , එදා වේල ගැටගහගන්නන් මෙන්ම  බෝක්කු පාලුවන් , පික් පොකට් කාරයන්ද  එක සේ දැක  ඇත . ඒ ජීවිත කිසිවකට සමාන නොවූ මේ කොලු ගැටයා ගැන සෝමසිරිගේ හිතේ ඇති වූයේ  අනුකම්පාවකි.. 

නැවතත් මුවගට සිනාවක් නගා ගත් සෝමසිරි කොලු ගැටයා දෙසට සමීප විය

" පුතා කොහෙද ඉන්නෙ  "

" සිට්ටු වත්තේ"

" ස්කෝලෙ යනවද "

කොලුවා නැවත සිනාසෙයි

" යන්ඩනම් තිබ්බා මහත්තයා හැබැයි එහෙමනම් කන්ඩ වෙන්නෙ නෑ "

" හ්ම්ම්ම්.....  අම්මා තාත්තා මොකද කරන්නේ "

" තාත්තා නෑ ...  අම්මා  හිඟා කනවා "

" මොකක් හිඟා කනවා "

" ඔව්.. කුලී වැඩත් කරනවා ගොඩක් දවසට වැඩ හම්බවෙන්නේ නෑ . එදාට අම්මා ගිගමනේ යනවා "

සෝමසිරිගේ දෙනෙත් අතරේ කොලුවාත් මහ මුහුදත්  අදුරත් මැදිවී ඇත.  ජීවිතයේ අනේක දුක්  විදින සමාජයක පංගුකරයෙකු  සෝමසිරි හා කතාබහකය.  සමාජය විසින් තලන පෙලන ලදුවද කොලු ගැටයා සිනාමුසු මුහුනින් ලැබුනු ජීවිතය පිලිගෙන ඇත්තාක් මෙන් ඔහුගේ හැසීරීම  දෙස බලා සිටින සෝමසිරිට හැගේ.

" පුතා මොකද කරන්නේ .. මේ බැලුම් විකුනන එක විතරද "

" නෑ කොටුව් කඩේක උදේට වැඩ කරනවා. හවසට මෙතනන්ට එනවා "

" මෙතන බිස්නස් සරුද "

නැවතත් සුපුරුදු සිනාව පාමින්.. එක් අතක්  කලිසම් සාක්කුවට යවන කොලු ගැටයා  ගුලි කරගත් නෝට්ටු කොල කිහිපයක් සෝමසිරිට පෙන්වයි.

" මේ තියෙන්නෙ මහත්තයො පුපුරන සල්ලි "

" පුපුරන සල්ලි කිව්වෙ " සෝමසිරි විමතියෙන් ප්‍රශ්න කරයි

" පුපුරන සල්ලි කිව්වෙ මහ්ත්තයෝ පොඩි බබාල වැඩි දවසට ටිකක් සරුයි බැලුමක් අරන් විනාඩි 5න් ඒක පුපුරවගන්නවා , ඉතින් ඒ ලමයි අඩන නිසා අම්මාලා තාත්තලා ආයෙම බැලුමක් අරන් දෙනවා"

සිනාවෙන කොලු ගැටයා දෙස බලාගෙන සෝමසිරිද සිනාසෙයි

"පුපුරන සල්ලි" සෝමසිරිද එවදන මුවින් පිටකලේ කොලු ගැටයා එහි අර්ථය ලබා දුන් අයුරු නැවතත් සිහි කරමිනි.

" කොහොම වුනත් ඔයාලට සරුයි නේ.. මෙතෙන්ට ලමයි කී දෙන්ක් එනවද "

" මොන සරුද මහත්තයා අපි ජීවත් වෙන්නේ මහත්තයලා විසි කරන සල්ලි වලින් "

"විසි කරන සල්ලි වලින් කිව්වෙ "

" මහත්තයලට වැඩක් නැති සල්ලි වලින්... දැන් මහත්තයා මගෙන් බැලුවමක් ගත්තෙ වැඩකට නෙවෙ නේ. ඒ වගේම මෙතෙන්ට එන ගොඩක් අයත් බැලුම් ගන්නෙ නිකං කරන්න දෙයක් නැතුවට. හැබෙයි මහත්තයෝ අපි වේලක් කන්නේ මහත්තයලට වැඩක් නැති සල්ලි වලින්"

කොලුවා දිගටම කියවයි කොලුවා ඉදිරියේ ලදරුවකු වූ සෝමසිරි කොලුවා දෙස ආයසයෙන් බලා සිටී

"දැන් බලන්න මහත්තයෝ අපේ අම්මා දුක කිය කිය රුපියලක් ඉල්ලුවාම නොදෙන මිනිස්සු  මං ලගට ඇවිත් බැලුම් අරන් පුපුරවනවා. 
අතන තියන කෝපි හට් එකට ගිහින් කෝපි එකක් බීලා වෙටර්ට රුපියල් පනහ හැට ටිප් දෙනවා.  ඉතිං අපිට කොහේ සරු වෙන්නද මහත්තයෝ."

අදුරට කොලුවාගේ මුහුන හරි හැටි නොපෙනේ . අදුරේ වුවත් කොලුවාගේ අතින් ඉහලට ඉපිලෙන  බැලුම් පාටින් දිදුලයි. 

දූවිලි අවුස්සමින් පැමිනි බස් රියක් රිය ගාලේ නතර කරනු පෙනේ කොලුවාගේ දෙනෙත් ඒ දෙසට යොමූ වේ.

මහත්තයා අන්න සෙට් එකක් ආවා මං ඒහෙට යනවා මහත්තයට බැලුම් 4ක් දෙන්නද ..

"එපා.. පුතා සල්ලි තියාගන්න "

"එන්නම් මහත්තයා .." සුපුරුදු සිනාවෙන්ම සෝමසිරිට සංග්‍රහ කල කොලු ගැටයා හැල්මේ බස්‍ රිය දෙසට දිවයනු පෙනේ.


මහ මුහුදේ ඈ..ත කෙලවරක කුඩා එලියක් දැල්වෙනු නිවෙනු පෙනේ. ඇතැම් විටක එය ඔරුවක් විය හැක.  සුපුරුදු මගට පා හරවාගත් සෝමසිරි නවාතැන්පල කරා පා යොමු කරවන්නට විය.

මද දුරක් ඇවිද ගිය සෝම සිරි කොලු ගැටයා සිටින ඉසව්ව දෙසට නෙත් යොමන්නට විය 

කුඩා දරුවකු වඩාගත් තැනැත්තෙක් කොලු ගැටයාගෙන් බැලුමක් මිලදී ගනිමිනි සිටිනු පෙනේ..

සෝමසිරිගේ මුවඟට සිනාවක් නැගේ

" පුපුරන සල්ලි "


______________________________________________________






මාෂ්මෙලෝස්  

Posted by නලිනි චන්දිමා in , ,

ඒ කාලෙ අපි පොඩි උන්. බාලදක්ෂිකා නිල ඇඳුම තමයි ඕනෑම රස්තියාදු ගමනකට ඇන්දෙ. මොකද, එතකොට ගෙවල්වල මිනිස්සු වගේම පාරතොටේ ඉන්න මිනිස්සුත් හිතන්නෙ අපි බාලදක්ෂ වැඩකට යනවා කියලා. එදා අපි ගියෙ රස්තියාදු ගමනක්ම නෙවෙයි, හොර ගමනක්. හිතේ තිබුණෙ බයක් සැකක් නෙවෙයි, දුකක්.

අපි ගියෙ බාරයක් ඔප්පු කරන්නට! බාර වුණේ මධුරි. බාර ගැන මට කිසිම අදහසක් තිබුණෙ නැහැ.  කුමුදුනිත් ඒ ගැන විශ්වාස කළා. මමත් නිලුත් එකතු වුණේ, ඒගොල්ලන්ට එහෙම බාරයක් වෙන තැනට වැඩ සිද්ද කළේ අපි දෙන්නා හින්දා.
********************


කඳවුර සංවිධානය කිරීමේ වගකීම පැවරිලා තිබුණෙ මධුරිටත් කුමුදුනිටත්. ඒත් ඒකෙ ලොකු බරක් මමත් කැමැත්තෙන්ම බාර ගත්තා. ආහාර වට්ටෝරු සැකසීම, නොයෙක් ක්‍රියාකාරකම් සංවිධානය කිරීම, පත්‍රිකා ආදිය සඳහා චිත්‍ර ඇඳිම වගේම, අපිට හිතවත්, අපේ ජාතියෙ බාලදක්ෂිකාවන් රංචුවක් එකතු කරගන්නත් මම දායක වුණා.
අපි සේරම දාහතර දෙනෙක්.

අපිට යම් මග පෙන්වීමක් අවශ්‍යයි කියලා අපේ බාලදක්ෂිකා ආචාර්යවරිය හිතුවා. එහෙම අනවශ්‍යයි කියලා අපි හිතුවා. ඒත් මේ ලෝකය හුඟක් කුරිරුයි. මග පෙන්වීම සඳහා අපට පෙන්නන්නට බැරි කෙල්ලන් දෙන්නෙක්ව ආචාර්යවරිය තෝරාගත්තා. එක් කෙල්ලෙක් ඒ වසරෙ විභාගය සඳහා සූදානම් වෙමින් හිටියෙ. අනෙක් කෙල්ල අපේ වයසෙම වුණත්, අපට වඩා බොහොම මෝරලා!

ඉතින් අපි කඳවුරු බැඳගත්තා. ඒ අපේ ආචාර්යවරියගෙම වත්තෙ.

එතන බොහොම ලස්සන තැනක්. ඇගේ නිවස පිහිටා තිබුණෙ කඳුකරයේ රක්ෂිත වනයකට මායිම්ව. භූමියේ බෑවුමට සරිලන පරිදි මට්ටම් කිහිපයකින් යුත් නිවසෙහි හැම මට්ටමකින්ම පිටතට දොරවල් තිබුණා. පහළම මට්ටමෙහි තිබුණේ කාමර දෙකකින් හා කුස්සියකින් සමන්විත කුඩා ඇනෙක්සියක්. එහි වාසය කළේ සුදු ජාතික කාන්තාවක්.

ඇනෙක්සියේ මිදුලේ ඉදිවුණු අපේ කඳවුරු භූමිය ප්‍රධාන නිවෙසට පහසුවෙන් පෙනෙන්නෙ නැහැ. අපව දැක ගැනීමටනම්, එක්කෝ නිවසේ ප්‍රධාන මිදුලෙහි කෙළවරට පැමිණ පහත බැලිය යුතුයි. එහෙමත් නැත්නම්, දෙවන මට්ටමෙහි ඇති කාමරවල කවුළුවෙන් බැලිය යුතුයි.
මේ කාමරවල සිටියේ අපේ ආචාර්යවරියගෙ පුත්‍රයා සහ ඔහුගේ මිතුරා. ඔවුන් වරින් වර කවුළුවෙන් පහළට එබුණා. සුදු ජාතික කාන්තාව සිය අත දරුවා රැගෙන දොරකඩට පැමිණියා; අපව පෙන්වා දරුවා නැළවූවා. අපිත්  වැඩ අතරතුරම දරුවා සුරතල් කළා: "කැරපොතු පැටියෝ...."

අපට මග පෙන්වීම සඳහා පැමිණි කෙල්ලන් දෙදෙනා කඳවුරට පැමිණියේ ආහාර සඳහා පමණයි. මග පෙන්වීමට ආවානම් පහසු නොවන බව උන් දෙන්නා කලින්ම තේරුම් ගන්නට ඇති.
ආහාර සඳහා පැමිණෙනවිට උන්ගේ පිඟන්වලට කැඩුණු බිත්තර, හොදි ගංගා ආදිය බෙදා තැබීමට අප උත්සුක වුණත්, අනුනට මග පෙන්වීමට තමන් හොඳටම දක්ෂ බව පෙන්වමින් මේ කෙල්ලන් හිඳ ගත්තේ, හොඳ බිත්තර සහ යහමින් මාළු පිණි බෙදා තිබූ අනුන්ගේ පිඟන් ඉදිරියෙනුයි!

ඒ පළමු දිනයේ දිවා ආහාරය.
මධුරි කිසියම් කරුණක් නිසා ප්‍රධාන නිවස තුළට කිහිප වරක්ම දිව්වා. ගෘහපාලිකාව හා කිහිපවරක් මුණු මුණු ගෑවා. ආහාර වෙලාවෙ එකට හිඳ ආහාර නොගෙන එහෙ මෙහෙ කලබලයෙන් දුවන මධුරි දිහා ආචාර්යවරිය බැලුවෙ නොසතුටින්.

මමත් හිටියෙ නොසතුටින්. මොකද, අර හතුරු කෙල්ලන් සඳහා බෙදුව කැඩුණු බිත්තරයක් මට හම්බෙලා තිබුණ හින්දා...

මධුරි මට ඇහෙන් කතා කළා. ආහාර සපයන කණ්ඩායමේ නිසා, නැගිට එහෙ මෙහෙ යාමට මට නිදහස තිබුණා.

"හරි වැඩේ තමයි. අද දවල් අතුරුපසට ගෙනත් තිබුණු මාෂ්මෙලෝස් ටික අර වල් කොල්ලො දෙන්නා කාලා!"

ඒක මට එතරම් නරක ආරංචියක් වුණේ නෑ; මොකද මම මාෂ්මෙලෝස් කන්නෙ නැති හින්දා.

"කොහොමද උන් අතට ඒ ටික ගියෙ?"
"මෙහෙ තිබිලා කූඹි වැහුවොත් කියලා, මම ඒක ගේ ඇතුළෙන් අරන් තිබ්බා. ප්‍රේමා තමයි කිව්වෙ, පුංචි මහත්තයා ඒ ටික සේරම කෑවා කියලා."

කොල්ලාට පාඩමක් ඉගැන්විය යුතුයි. ඒත් ඊට ඉස්සර අතුරුපසට යමක් දිය යුතුයි. අපි කඩිනමින් කතා බහ කරගෙන, රාත්‍රී ආහාරය සඳහා ගෙනත් තිබුණු කෙසෙල් ඒ සඳහා ගත්තා.

දිවා ආහාරයෙන් ඉක්බිති ආචාර්යවරියත්, මග පෙන්වන කෙල්ලන් දෙදෙනාත් ප්‍රධාන නිවසට ගියා.

ඒ දිනවල අප අතේ අමතර මුදල් ගැවසුණේ නැහැ. ඒ හින්දා රාත්‍රී ආහාරය සඳහා අතුරුපස සපයා ගැනීම අපට ගැටළුවක් වුණා. ආහාරය සඳහා ආචාර්යවරිය පැමිණෙන නිසාත්, පදක්කමක් ලබා ගැනීම පිණිස සංවිධානය කෙරුණක් නිසාත්, අඩුපාඩු තබා ගැනීමට මධුරි කැමති වුණේ නැහැ. ඉතින් අපි රාත්‍රී ආහාරය සඳහා භාවිතා කළ කිරි මිරිකන ලද පොල් වලින් පොල් ටොෆී හදන්නට තීරණය කළා. අමතර සීනි නොතිබුණෙන්, අපේ තේ සඳහා වූ සීනි ඒ සඳහා භාවිතා කරන්නට වුණා.

සිද්ධිය දැනගත් අපේ කෙල්ලන් දාහතරම සීනි පරිත්‍යාගයට එකඟ වුණත්, අපි කවුරුත් නොසන්සුන්. අර කොල්ලාට පාඩමක් උගන්වන්නේ කොහොමද?
අපට පෙනෙන්නට බැරි කෙල්ලන් දෙන්නාත් මීට හවුල්යැයි අපි සැක කළා. එහෙම සැක හිතෙන්නට හේතුව කඳවුරේ කිසිම ක්‍රියාවකට සහභාගි නොවුණු උන් දෙන්නා ගෙතුළට වී අර කොල්ලන් සමග පාඩම් කිරීමයි.

අපේ කෙල්ලන් එකිනෙකා නොයෙක් වැඩ කටයුතුවල මුවාවෙන් වරින් වර ගෙතුළට රිංගුවා; ඔත්තු බැලුවා:
"අර සුදු කොල්ලගෙ නම නලින්."
"අනිකා රජීව."
"ඌනම් එච්චරම නරක පාටක් නැහැ."
"මම ශීතකරණෙ අරිනකොට නලින් හැරිලා බැලුවා. ඌ මොනවද කකා හිටියෙ..."
"අපේ මාෂ්මෙලෝස්!"
"මම යනකොට නලින් මේසෙ අස්සෙන් අනුෂ්කගෙ කකුල පාගනවා."
"ඊඊඊඊඊඊඊයා!"
"අනුෂ්කත් අනික් පැත්තට පයින් ගැහුවා!!"
"ඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊයාආ!!"
"අර මිදුලෙ තියෙන චොපර් එක නලින්ගෙ. ඌ ඒකෙ නැගලා කොහෙද ගියා."

ඉතින් එදා හැන්දෑව වෙනවිට අපි බොහොම තොරතුරු එක්‍ රැස් කරගෙන හිටියා:
ඒ කොල්ලන් දෙන්නා ඉතා වල්ය;
උන් දෙන්නා අපට පෙන්නන්නට බැරි කෙල්ලන් සමග මොකක්දෝ මොකක්දෝ එකක් ඇත;
නිවසේ සුළු සුළු වුවමනාවන් සඳහා නලින් බයිසිකලෙන් නගරයට යන්නේය;
අපේ ආචාර්යවරිය නිදන්නේ ඉහළම මාලයේ වන අතර ඇය ළමයින් පාඩම් කරන කාමර පැත්තට නොඑන්නීය;
ගෘහ පාලිකාව වන ප්‍රේමා අපේ පැත්තේය....

ඔය වගෙ.

ඒ අතරට අපි තවත් දෙයක් සැලසුම් කළා. අපේ මාෂ්මෙලෝස් කෑව එකට ඒ කොල්ලන්ට ලැජ්ජා කරවීමට.

එදා රාත්‍රියේ ආහාරයෙන් පසු ආචාර්යවරිය යම්කිසි අවශ්‍යතාවයක් හින්දා ඉක්මණින් ගියා. ඈ ගිය පසු කඳවුරු ගිණි මැලය වටා හිඳගෙන අපි ගී කිව්වා. ඉන් එක් අංගයක් කෑම කෝච්චිය:

"කිරි-බත්, කිරි-බත්, කිරි-බත්" එක් කණ්ඩායමක් ගයනවා;
"කැවුම්- කොකිස්, කැවුම්-කොකිස්, කැවුම්-කොකිස්" ඊලඟ කණ්ඩායම ගයනවා; 

"උඳු-වැල්, උඳු-වැල්, උඳු-වැල්" අන්තිම කණ්ඩායම ගයනවා.
වෙලාව බලලා, අපි සේරම එක හඬින් කෝච්චියේ හූව නැගුවා:
 

"මාෂ් මෙලෝ.....ස්!"

ටිකක් සද්දෙ අඩුවෙන් දෙවන මාලයෙන් හඬක් නැගුණා: 


"අපි තමයි කෑවේඒඒඒ!!"

අපිට යක්ෂ කේන්තියි. කෑවා මදිවට තව ලැජ්ජාවක් නැතුව එකට එක කියන්නටත් ඉදිරිපත් වෙලා. මුන්ව තියන්නට වටිනවද? ඒ මදිවට අපට පෙන්නන්නට බැරි කෙල්ලන් දෙන්නටත් ඒක හරිම හුරතලයක්. උනුත් හිනා වෙනවා.

බොහෝ දෙනා පිඹින කල්හි අළු ඉවත්ව ගින්න වඩා හොඳින් ඇවිළේ.

සිද්ධිය ගැන කතා කරන්නට කරන්නට අපේ තරහ තව තවත් ඇවිස්සුණා.
"මුන්ට පාඩමක් උගන්නන්නට ඕන." නිලූ අවසාන තීරණය දුන්නා.
"ඔව්, ඔව්."
"ආයෙ හොරා නොකන්නම පාඩමක්."

එදා රාත්‍රියේ අපි පලි ගැනීමේ නියම සැලසුම හැදුවා.
කූඩාරම් තුනක් තිබුණට, අපි දාහතර දෙනාම එදා නිදා ගත්තෙ එකම කූඩාරමක. තුන් හතර දෙනෙකුට පමණක් සෑහෙන ඒ කූඩාරමේ අපි වටේට හිස් දාලා, මැද්දෙන් කකුල් එක උඩ එක දාගෙනයි හිටියෙ. හෙල්ලෙන්නටවත් බැහැ. ඒ මදිවට අර වල් කොල්ලන් ගැන අනියත බියකින් මධුරි වප්පිහියකුත් උස්සන් ඇවිත් කූඩාරම තුළ තියන් හිටියා. වැඩිහිටියන් ගන්නා තීරණයකට එකඟ වන කුඩාවුන් මහන්සිය නිසාම ඉක්මණින් නින්දට වැටුණා. මමත්, මධුරිත්, කුමුදුනිත්, නිලුත් කුටු කුටු ගාමින් සාකච්ඡා කළා.

පහුවදාට එළි වුණා. සාමාන්‍ය කඳවුරු ජීවිතය ඇරඹුණා.

ඔත්තු බැලීම සඳහා වරින් වර එකා දෙන්නා ප්‍රධාන නිවසට ගියා. ශීතකරණයට යමක් දැමීමට, ඉන් යමක් ගැනීමට, හැලියකට පියනක් ප්‍රේමාගෙන් ඉල්ලාගැනීමට වැනි නොයෙක් හේතු දක්වමින් කුස්සිය පැත්තෙන් පිරිසක් ගියා.

එදිනට සැලසුම් කර තිබූ කඳවුරෙහි හදිසි ක්‍රියාදාමයට සූදානම් වීමේ මුහුණුවරින් තවත් පිරිසක් ප්‍රධාන මිදුල පැත්තෙන් පාරට ගියා. පාරෙහි සිට පහත බලනවිට ඒ නිවසේ විශාල කොටසක ඔත්තු බැලිය හැකියි.

දහවල් අපේ ආචාර්යවරිය නගරයට ගියා. ප්‍රේමා කුස්සියේ වැඩ. අපේ හතුරන් පිරිස දෙවන මහලේ පාඩම් කරමින් සිටියා.

මමත් නිලුත් පිහියකුත් රැගෙන, ප්‍රධාන මිදුල හරහා ඉස්තෝප්පුවට ගොඩ වුණා. එහි කෙළවරක නවතා තිබුණේ නලීන්ගෙ චොපර් බයිසිකලය. ගෙතුළින් යමෙක් එතිදැයි මම ඔත්තු බලන අතරතුර නිලූ බයිසිකලයට "සාත්තු" කළා.

දිගු විනාඩි කිහිපයක් ගෙවුණා.
"හරි." නිලූ කිව්වෙ ඇහෙන්.

එදා මුළු හැන්දෑ වරුවම අපි හිටියෙ උනන්දුවෙන්, ප්‍රවෘත්ති අපේක්ෂාවෙන්. වරින් වර එකිනෙකා ගෙතුළට රිංගා බැලුවා ඇයි නලින් කොහෙවත් නොයන්නෙ කියලා. හෙට උදෑසනින් කඳවුර ඉවරයි. අපේ ඇස් පනාපිටම "සාධාරනය" දැකීමට අපි පුල පුලා බලා සිටියා. නිලූ කිව් පරිදි, බයිසිකලය පැදගෙන මීටර සියයක් යන්නට ලැබෙන්නෙ නැහැ....

සවස් වුණා.

අපි හිටියේ තේ සාදමින්. හදිසියෙම කෑ ගසන හඬක් ඇසුණා. රිලවුන් රංචුවක් කඳවුරු භූමිය ආක්‍රමණය කරලා. සෝදා වේලෙන්නට නවා තිබුණු හැලියක් එකෙක් උස්සගෙන ගිහිල්ලා. තවත් කිහිපදෙනෙක් කූඩාරම් තුළට රිංගන්නට වෑයම් කරනවා. බියට පත් කෙල්ලන් හූ තියනවා. ඒ අතර අපේ යකා අවුස්සමින් අර වල් කොල්ලන් කවුළුවෙන් අප දෙස බලමින් විනෝද වෙනවා.
සුදු ජාතික කාන්තාව දරුවත් වඩාගෙන පිටතට අවුත් ඔහුට රිලවුන් පෙන්වනවා.

මේ කෝලාහලය අතරතුර, පිටතට ගොස් සිටි අපේ ආචාර්යවරියත් පැමිණුනා. ඇය කඳවුරු භූමියට ආවෙ රතිඤ්ඤා කරල් කිහිපයක් රැගත් ප්‍රේමාත් සමග. ප්‍රේමා රතිඤ්ඤා කරලක් දැල්වූවා.

"ඩෝං!"

රිලවුන් මොහොතකට වැඩ නතර කරලා බැලුවා.

 සුදු ජාතික කාන්තාව අපේ ආචාර්යවරිය සමග මොකක්දෝ කතාවක්. ඇය දරුවා ආචාර්යවරිය අතට දෙනවත් එක්කම ප්‍රේමා දෙවන රතිඤ්ඤා කරලත් දැල්වූවා.
"ඩෝං!"

රිලවුන් ළමයින් විතර ගැස්සුණේ නැහැ. උන් ටිකක් ඈතට පැනලා, ඒ අවටම ගස්වලට නැග ගත්තා. අනතුර පහ වූ වහාම, නැවත පහළට බසින සූදානමෙන් ඉවසීමෙන් බලා සිටියා.

ඇතැමෙක් කම්මැළිකමට වගේ තමන් හිටිය රඹුටන් ගහේ ගෙඩි ටික සූරා දාන්නට වුණා.

"ෂිහ්! ෂිහ්!!" ප්‍රේමා කෑ ගැහුවා. ඇය එක දිගට තමන් අතේ තිබුණු රතිඤ්ඤා දල්වමින් ගස් උඩට විසි කරන්නට උත්සාහ ගත්තා. රිලවුන් වඩාත් ඉහළට නැගගෙන ඉවසීමෙන් බලා සිටියා.

"එපා ප්‍රේමා. වැඩක් නැහැ." ආචාර්යවරිය කිව්වා. "අහස් කූරු යවන්නට ඕන."
"අහස් කූරු එහෙනම් කඩෙන් ගේන්ටය කියලා පුංචි මහත්තයට කියන්නට ඕන." ප්‍රේමා කිව්වා. "ගෙදර තිබුණු ඒවා ඉවරයි."

අපි පස්වණක් ප්‍රීතියෙන් පිනා ගියා. මේ තමයි අපි බලාපොරොත්තුව සිටි ඒ සුන්දර මොහොත.

තව ටිකකින් නලීන් බයිසිකලයේ නැගී කඩේට යනු ඇති; තව ටිකකින් සලබලාං යනුවෙන් සද්දයක් එනු ඇති; තව ටිකකින්....

"එහෙනම් දැන් ඉතින් කරන්නට දෙයක් නැහැ." ආචාර්යවරිය දරුවාව ගෙට ගෙනයන්නට හැරුණා. 

"කේට් බයිසිකලෙත් අරන් ටවුමට යනවා කියලා ගියා!"

සලබලාං සද්දෙ ඇහුණෙ ඒත් එක්කමයි.
**************************

එදා හොඳටම රෑ වෙනතුරු අපි කේට්ගෙ දරුවා බලා ගත්තා. ආචාර්යවරිය අපේ තරහකාර කෙල්ලනුත් සමග කේට් රැගෙන රෝහලට ගිහින්. ප්‍රේමා දරුවාට කිරි හදා පහළට එව්වා. අපි කඳවුරෙහි කෑම ඉව්වෙ නැහැ. මධුරි දෙවියන්ට කන්නලව් කරන්නට වුණා:
"මෙහෙම දෙයක් වෙයි කියලා අපි හිතුවෙ නැහැ දෙය්යනේ. අනේ ඉක්මණට කේට්ව සනීප කරලා දෙන්න. අපි බුමුතුරුණක් පූජා කරන්නම්, මාළිගාවට...."

ඉන් පස්සෙ ඇයත් කුමුදුනිත් එකතු වෙලා නිලූටත් මටත් දොස් කියන්නට වුණා.
"තරහ ගිය පලියටම ඔහොමත් වැඩ කරනවද?"
නිලූ හොර පූසෙක් මෙන් බිම බලාගෙන හිටියා.

මම දරුවාගේ හිස අත ගෑවා.

නලීන් හා රජීව පහළට ආවෙ ඒ අතරතුර.
"ප්‍රේමා කට්ටියටම කෑම ඉව්වා. ඇවිත් කන්න."
"අපිට බඩගිනි නැහැ."
"එන්න. උයලා තියෙන්නෙ."
"අපි අරගොල්ලො එනකම් ඉන්නම්."
"නැහැ, අම්මා කිව්වා කට්ටියට කන්න කියන්න කියලා."
"අපි ගිහින් කමු නේද? නැත්නම් හරි නැහැ." කුමුදුනි කිව්වා.

අපි අදිමදි කරමින් නැගිට්ටා. රංචුවම එක ගුලියට වත්තෙ පඩිපෙළ ඔස්සේ මිදුලට නැගලා ඉස්තෝප්පුවට ගොඩ වුණා. දොර ළඟදි නලීන් ආපසු හැරිලා බිම බලාගෙන මිමිණුවා,

"අපි හිතුවෙ මාෂ්මෙලෝස් ප්‍රේමා හැදුව ඒවා කියලා. තරහ වෙන්න එපා."




මීනා  

Posted by නලිනි චන්දිමා in , ,



පරිසරයේ කාෂ්ඨකබව කෙමෙන් අඩු වී නිල් පැහැය වැඩි වෙයි. අවදියෙන් එදෙස බලා සිටින්නකුගේ නෙත් ඉදිරියේ සිට පසුපසට ඇදීගොස්, නැවත ඉදිරියට පැන අලුත් අරමුණක් අල්ලාගනී. බර කල්පනාවෙක ගිලී සිටින මීනාගේ නෙත් නොසෙල්වේ. මට කාන්සි ගතියක් දැනේ.

"ටිකක් නැවතිලා යනවද?
"ම්?" මීනා හිස හරවා බලයි.
"මහන්සිනම් ටිකක් නැවතිලා යමු." මම නැවතද කියමි.
"මහන්සි නැහැ."
"කම්මැළිද?"
"නැහැ." ඈ නැවතත් අනෙක් පසට හැරෙන්නීය. "මම වීදුරුව පල්ලෙහට දාන්නද?"
"හා හා."

මම දෙපසම වීදුරු පහළ හෙළමි. තුරුලතා පිස එන නැවුම් පවන අපව සිප ගනී. නෙත් අඩවන් කරගන්නා මීනා තමන්ටම මෙන් හෙමින් මුමුණයි.


"සාලියව අල්ලගෙන තිබුණෙ මේ හරියෙදි."

මට අපහසුවක් දැනේ. ඇගේ සිත සැනසීමට යමක් කිව යුතුමුත් සුදුසු පිළිතුරක් සිහියට නොඑයි. මනෝභාවයට උචිත පරිද්දෙන් වාහනයේ වේගය බාල කිරීමට මම තීරණය කරමි.

"පව්." මීනා ශෝකාකූල හඬින් කියන්නේ මා දෙස නොබලාය.
"ඔයා දැනං හිටියද එයා මෙහෙ ඉන්න බව?"

ඇයත් දැන සිටියානම් සාලිය සැඟව සිටි තැන තව බොහෝ දෙනා දැන සිටින්නට ඇති බව සිතමින් මම අසමි.

"ඔව්. අන්තිමට මට කතා කරපු වෙලේ එයා ඇහුවා ගිහින් බාර වෙන්නද කියලා. එහෙම බාර වෙන අයට පොදු සමාවක් දෙනවා කියලා තිබුණා ඒ දවස්වල. මම එපා කිව්වා."


"කියනකොට එහෙම කිව්වත්, බාර වුණා කියලා ආරක්ෂාවක් සහතික කරන්න බෑනෙ." මා කියන්නේ මීනාගේ සිතට සහනයක් වනු පිණිසය. "හැංගිලා ඉන්න අයව රවට්ටලා එළියට ගන්නම එහෙම කියන්නත් ඇති."


"සමාව දෙන්න වැරැද්දක් කරලා නෙවෙයිනෙ. ඇරත් එහෙම කට්ටියක් විතරක් ගිහින් බාර වෙනවා කියන්නෙ තමන්ගෙ අනික් සහෝදරයන්ට විරුද්ධ වෙනවා කියන එක." මීනාගේ හඬ වඩාත් දැඩි ස්වරයක් ගනී. "එහෙම තමන්ගෙ පණ විතරක් බේරගෙන, ඊට පස්සෙ හෘද සාක්ෂියක් ඇති මිනිහෙකුට ජීවත් වෙන්න පුළුවන්ද? හැමදාම හිතින් මැරි මැරී උපදියි."

කෙනෙකුට එලෙස ජීවත් විය හැකිදැයි මම කල්පනා කර බලමි. සිත නොයෙක් අතට දිව යයි. ඉවත බලා සිටින මීනා නැවතත් සෙමින් මුමුණයි.
"පව්, මොනවා හිතුණද දන්නෙ නැහැ අන්තිම දවස්වල. කොච්චර දුක් විඳින්න ඇද්ද?"
"හ්ම්." කඩවසම් පෙණුමින් යුත් සාලිය සිය වදකයන් තුළ ඊර්ෂ්‍යාවක් ජනිත කරවීමට ඇති බව සිතමින් මම හූමිටි තබමි.

මග දෙපස නිල්ල තුනී වෙයි. කිලිටි පැහැ ගොඩනැගිලි එකිනෙක මතු වී නගරයකට අප සමීප බැව් හඟවයි. දුහුවිල්ල නැගෙනුයේ අලුතින් ඉදිවන මාවතින් විය යුතුය. අපේ සෙමින් ගමන නුරුස්සන වාහනයක් වියරුවෙන් නළාව හඬවා අපව පසුකොට යන්නේ හුස්ම හිරකරවන ඝන දුම් වළාවක් විදිමිනි.

"වීදුරු වහමු." මීනාම යෝජනා කරයි.