දානය  

Posted by නලිනි චන්දිමා in , ,

කවුදෝ ගේට්ටුවට තඩි බානු ඇසේ. මේ වේලාවට ගෙදරට එන්නට කිසිවෙකුත් නැත. රෝගී අත්තම්මා වකුටුව නිදයි.

මම හොරෙන් හොරෙන් එබෙමි. ගේට්ටුවට ඉහළින් බලා සිටින කාන්තාවට එවැනි හොරෙන් බැලිලි හුරු නිසාදෝ ඇය වහා මා දකියි.

"අනේ චූටි."

උසස් පෙළ ලියා කාලය කමින් සිටින මට මතක ඇති කාලයකට කවුරුත් 'චූටි' කියා ආමන්ත්‍රණය කර නැත. මගේ හද මෙළෙක් වෙයි. මම ගේට්ටුව දෙසට යමි.

"අනේ චූටි, මම කරදරේක වැටිලා. මට උදව්වක් කරන්ඩ."

කිළිටි සාරියක් පටළවාගෙන, දහදියෙන් පෙඟී සිටින කාන්තාව කෙට්ටු, කළුවට හුරු, මැදිවියේ සිටින්නියකි. පටියකින් බැඳි වැරහැළි කොණ්ඩය පිට දිගේ එල්ලෙයි. අතෙහි කුඩයකි. ඇය කරදරයක පැටළී ඇති බව මුහුණෙන්ම පෙනේ.

"මට බස් එකේදි නින්ද ගියා. ඇහැරෙනකොට පර්ස් එක නෑ; හොරකම් කරලා. අනේ චූටි, මට ගෙදර යන්ඩ බස් එකට රුපියල් දහයක් දෙන්ඩ."


"ආ, පොඩ්ඩක් ඉන්ඩ."

නාඳුනන අයට ගේට්ටුව නාරින ලෙස අම්මා අවවාද කර ඇත. ඇයට එතනම සිටින්නට ඉඩ හරින මම ගෙතුළට යමි. අල්මාරි ලාච්චු අවුස්සා, රුපියල් දහයක් සොයා ගෙනවුත් ගේට්ටුවට උඩින් ඇය අතට දෙමි.

"අනේ චූටි, හුඟාක් පින් අයිති වෙනවා ඔයාට."

ඇගේ නෙතෙහි කඳුලක් නැගෙයි. ගෙලෙන් බේරෙන දහදිය සාරි පොටින් පිස ගන්නා ඇය යළිත් බැගෑපත් වෙයි.

"අනේ චූටි, මට බොන්ඩ වතුර ටිකක් ගෙනත් දෙනවද?"

පිට මිනිසුන්ට වතුර දෙනවිට වීදුරුවල දමා, බන්දේසියක තබා දිය යුතුයයි අම්මා උගන්වා ඇත. මම වීදුරුවක් සොයා කුස්සිය පෙරළමි. ඒ හඬට අත්තම්මා නැගිට එයි.

"මොකද?"

මම කාරණය කියමි. දීමටම නැමුණු අත්තම්මාගේ හිත උණු වී වැක්කෙරෙයි. ඇය එළියට ගොස් බලා කාන්තාව ගෙට කැඳවයි. මා තේ සාදනතුරු ඇගේ තොරතුරු විමසයි.
 වෙහෙස නිවාගෙන, හිතේ ගින්දරත් බෙදාගෙන, තේ බී පවස නිවාගත් කාන්තාව ගෙයින් පිට වන්නේ නැවත නැවතත් පින් දෙමිනි: මෙලොව මිනිස්කම් නැතිව ගොස් ඇතැයි කිව හැක්කේ කා හටද? විශාඛා, අනේපිඬු වැනියන් තවමත් වෙසෙත්.

අත්තම්මා හිතින් දෙව් ලොව යයි.


*****************************

පන්ති අවසන්ව ආ මට ගෙදර දොරෙන් ඇතුළු වීමට ඉඩ නොලැබෙයි.

"චූටි?"

එදාට වඩා පිරිසිදුව සැරසී සිටින කාන්තාව, ළඟට පැමිණ මා වැළඳ ගනී.

"මේ චූටි තමා මට උදව් කරේ."
ඇය ආදරයෙන් කියයි.

මම ලැජ්ජාවෙන් ඇඹරෙමි. කාගෙන්වත් හොඳක් ඇසීම විතර ලැජ්ජා හිතෙන වැඩක් තවත් නැත. හොඳ ළමයෙකු ලොවට දායාද කළ අම්මාත් අත්තම්මාත් ආඩම්බරයෙන් මදෙස බලති.

ටීපෝව මත මල්ලක දැමූ ආනමාළු ඇවරියක් සහ පැණි බෝතලයක් වෙයි. ඒ ළඟම අම්මලා සංග්‍රහ කළ විස්කෝතු තසිමක් සහ බී අවසන් කළ තේ කෝප්පයක් වෙයි.
මම ඇඹරෙමින් ගොස් දොරට හේත්තු වෙමි. වැඩිහිටියන් ඉදිරියෙහි හිඳ ගන්නා සිරිතක් හෝ මග හැර යාමේ සිරිතක් මට නැත.

"මම ආවෙ මම රට යන බව කියලා යන්ඩ."

කාන්තාව මදෙස බලමින් කියයි. "අනේ එදා මම හරියට අසරණ වෙලා හිටියෙ. කාගෙන් උදව්වක් ඉල්ලන්ඩද නොදැන. බයයිත්නෙ දැන් කාලෙ ගෙදරකට ගිහින් කතා කරන්ඩවත්, ගෑණු කෙනෙක් හැටියට. හොඳ වෙලාවට මේ ගෙදරට මම ආවෙ."

අම්මාටත් අත්තම්මාටත් ගෑණු ප්‍රශ්න හොඳින් වැටහෙයි.
"කාවවත් විශ්වාස කරන්ඩ බෑ මේ කාලෙ."

කාන්තාව කලින් අම්මලාට කියා තිබූ පුවතක් නැවත මට විස්තර කරයි.
"මම රට යන්ඩ කියලා. ලබන සතියෙ. ඉතින් ඊට කලින් මට උදව් කරපු අය බලලම යන්ඩ ඕනෙ කියලා හිතුවා. මට මීට වඩා දෙයක් ගේන්ඩ හිතේ තියෙනවා. ඒත් මට දැනට ශක්තියක් නෑ. රට ගිහින් ආවහම මම ආයෙත් එනවා චූටිව බලන්ඩ."

"හුඟක් මිනිස්සුන්ට මතක නෑ තමුන්ට උදව් කරපු අය." ජීවිතයෙන් මට්ටු වී සිටින අත්තම්මා කියයි. "අනේ අපිනං මේ කිසි දෙයක් බලාපොරොත්තු වුණේ නෑ. නිකං ඇවිත් කියලා ගියත් ඇති. ඒත් එදා හරී හිතේ ගින්දරෙන් හිටියෙ මේ ළමයා පරිස්සමෙන් ගෙදර ගියාද කියලා. ඒ මොකද, මටත් තනියම හැම දෙයක්ම කර ගන්න දුවෙක් ඉන්නවා."

කාන්තාවගේ නෙතෙහි කඳුලක් නැගෙයි. මම බිම බලා ගනිමි. අම්මා මහවැලිය වෙනතකට හරවයි.
"දැන් සේරම ලෑස්තිද යන්ඩ?"

බලාපොරොත්තුව සිටි පැනයක් මතු වුණු සෙයක් කාන්තාවගේ මුහුණෙන් දිස් වෙයි.
"ඇත්තටම, මට නංගිගෙන් අහන්ඩත් මොකක්ද වගේ. ඒත්, මට ජීවිතේට හිතවතෙක් කියලා කෙනෙක් ඉඳලා නෑ, එදා අහම්බෙන් මේ පවුල හම්බෙනකම්. අම්මා මට මගේම අම්මෙක් වගේ කතා කරේ. මට වෙන උදව්වක් ඉල්ලන්ඩ කෙනෙක් නෑ."

අම්මා හෝ අත්තම්මා හෝ කතා නොකරති. මම කොහොමත් වැඩිහිටියන්ගේ කතාවලට හොට නොදමමි.

ඇගේ හඬ බාල වෙයි. "අනේ නංගි, තියෙනවනම් මට පරණ සාරියක්..."

අම්මා මොකක්දෝ තතනමින් කියා ගෙට යයි.
අම්මාටද එහෙමකට ගොඩක් ඇඳුම් නැත. අවුරුදු දහය පහළොව පරණ සාරිත් අම්මා තවම අඳී.

මමද අම්මා පසුපස කාමරයට රිංගමි. අල්මාරියේ මලකඩ කෑ සරනේරු හඬමින් විවෘත වෙයි.

අම්මා සාරි එකිනෙක ඇඳ මත දමා කල්පනා කරයි. කොළ පැහැති කුඩා මල් ඇති සාරියක් අතට ගන්නා ඈ එය අත ගායි. මමද ඇඳ මත වාඩි වී එය අත ගාන්නෙමි. මා කුඩා කල අම්මාට තිබූ සාරි දෙකතුනෙන් එයද එකකි. සතියකට කිහිපවරක්ම  ඇය එය ඇන්දාය. ළමා වියේ මගේ මතකයන් බොහොමයක් ඒ සාරිය හා රැඳී පවතී. එය දෙනවාට මා අකමැතිය. එහෙත් වැඩිහිටියන්ගේ වැඩවලට මම හොට නොදමමි.

සාරිය මල්ලක දමන අම්මා එය රැගෙන සාලයට යයි. මමද ඇය පසුපසින් යමි.

කාන්තාව හුනස්නෙන් නැගිට අම්මා ළඟට පැමිණ සාරිය අතට ගන්නේ පිං වැසි වස්සවමිනි. ඒ දැක අම්මාගේ සිතේ කුසල් සිතුවිලි පහළ වූවාද යනු මම නොදනිමි.
මගේ සිතේ කාන්තාව ගැන පිළිකුලක්ද, ඇයව අපේ පවුලට සම්බන්ධ කර ගත් මා කෙරෙහි ස්වයංකෝපයක්ද ඇති වෙයි.

කාන්තාව අම්මාගේ කණට කර තවත් මොනවාදෝ මුමුණයි.

"ආ.." කියන අම්මා නැවත ගෙට යයි. මමද ඇය පසුපසින් යමි.
අම්මා නැවත අල්මාරිය අදී. ඉරුණු යට ඇඳුම් අතරින් හොඳ ඇඳුම් කිහිපය තෝරා ගන්නා ඇය ඒවාද මල්ලකට දමා ගෙනවුත් කාන්තාව අත තබයි.
සිය කද මළු අතින් කරින් ගන්නා කාන්තාව "රට ගිහින් ආවම මම තෑගිත් අරන් චූටිව බලන්ඩ එන්නම්." කියයි.
මම පිළිතුරු නොදෙමි.

****************************


"බිසෝලගෙ ගෙදරටත් ඇවිත් තියෙනවා. අපේ දිහාට ආව දවසට කලින් සතියෙ."
අම්මා අත්තම්මාට විස්තර කරයි.
" පෙරේරා මහත්තයා එයාට කලින් විස්තරේ කියලා තිබිලා. අන්තිමට මං විතරයි අහු වෙලා තියෙන්නෙ. හැමෝගෙම ගෙවල්වලට ඇවිත්; හැමෝම දැනං ඉඳලා. මට කවුරුත් කිව්වෙ නෑ."

අත්තම්මා පිළිතුරු නොදෙයි. මට ඇය කෙරෙහි තරහක් ඇති වෙයි.

"සාරිය දුන්නට මට දුක නෑ. ඇයි මට කිසි කෙනෙක් හිතවත් නැත්තෙ? මං හැමෝටම පිටස්තර ගෑනියෙක්. මට කවුරුවත් නෑ. මං මොනවා කරාටද?"

අම්මා තවත් මොන මොනවාදෝ කියයි. ඇගේ සිත බෙහෙවින් තැවුලට පත්ව ඇත. අත්තම්මා කිසිවකට පිළිතුරු නොදෙයි. අසන්නට කිසිවෙකුත් නැති කල කතා කිරීමෙන් පලක් නැති නිසාදෝ අම්මා නැගිට කාමරයට යයි.

මම අම්මා පසුපසින් යමි. ඇය ඇඳුම් මාරු කරන තෙක් මම ඉවත බලා සිටිමි. මේසය මත මගේ බාල කාලයෙන් ඉතිරිව ඇති එකම ඡායාරූපය වෙයි. එහි අම්මා රතු, කහ, තැඹිලි මල් සහිත සාරියකින් සැරසී මගේ අතින් අල්ලාගෙන සිටී.


"අම්මට තේ හදන්ඩද?" මම අසමි.




This entry was posted on Wednesday, June 15, 2011 at Wednesday, June 15, 2011 and is filed under , , . You can follow any responses to this entry through the comments feed .

10 දෙනෙක් ගේ අදහස්

දානය යනු අත් හැරීමය. ඒ ගැන සිතා පසුතැවිලි වීමද නොවටී. දෙන්නා සිත පහදා දුන් විටම එහි ආනිසංස ලැබේ. වංචාකාරයා පසුපස දුකම ලුහුබඳී. ඇයට වංචාවෙන් ලබාගත් දෙයින් කිසිදු ප්‍රයෝජනයක් ගත නොහැක.

සිතුවිලි එකිනෙක ගැටීම මොනවට පැහැදිළි කරන සාර්ථක නිර්මානයක් නංගී. අද පොසොන් දවසටම උචිත නිර්මාණයක්.

June 15, 2011 at 4:14 PM

සුලු සිද්ධි දාමයක මුල මැද අග අතර දෝලෙනය වන මිනිස් හැඟීම් මනාව ග්‍රහනය කරගත් කතන්දරයක්

June 15, 2011 at 5:31 PM

දාද වගේ දවසකට කියාපු ලිපිය අක්කේ...

June 15, 2011 at 7:05 PM

කවදත් වගේම කතාව ඉදිරිපත් කරපු ආර ලස්සනයි.

දනක් දෙන්නේ කැරට්ටුව බලලා නොවුනත් රැවැටීමට ලක් වූවා කියලා හිතට දැනෙද්දී ඇතිවෙන්නේ කලකිරිල්ලක්.

June 15, 2011 at 7:32 PM

@ චාන්දි අක්කා: අක්කා දානය ගැනත් පැහැදිලි කිරීමක් කරලා. බොහොම ස්තුතියි.

@ සූස්ති ගුණේ: බොහොම ස්තුතියි කියවා සටහනක් එක් කළාට

@ දිනේෂ්: පෝයට නේද? බොහොම ස්තුතියි මල්ලි.

@ ඩීන් අය්යා: ඒක ඇත්ත අය්යා. ඒක දැනෙන්නෙ දෙන කෙනෙකුට; දීලා රැවටුණු කෙනෙකුට. හිත හදාගෙන හිතෙන් අත් ඇරලා දුන්නත්, තමන් රැවටුණා කියලා හිතන්ඩ කවුරුත් කැමති නැහැ.

June 15, 2011 at 9:15 PM

ච්හන්දි සමඟ එකඟ වෙමි. මමද කීප වරක් ඔවැනි සිදුවීම් වලට මුහුනපා ඇත. එහෙත් ඒවා අමතක කිරීම වඩා හොඳය.
මැණික්

June 16, 2011 at 8:30 AM

මැණික්: ඔව්, එවැනි සිදුවීම් ඕනෙ තරම් සමාජයේ සිදුවෙන නිසාම තමයි ඒ ඇසුරින් කතාවක් ලියන්නට හිතුවෙ. මම හිතන්නෙ එවැනි අය දිහා සානුකම්පිතව බැලීම වගේ සිදුවෙන/සිදුවිය හැකි දේ ගැන දැනුවත්ව සිටීමත්, තමන් ගැන අවබෝධයෙන් සිටීමත් වැදගත් කියලා. බොහොම ස්තුතියි.

June 16, 2011 at 5:55 PM
Anonymous  

Good one as old stories. You got the talent to write. Only point I disagree is

"කාන්තාවගේ නෙතෙහි කඳුලක් නැගෙයි. ......... . අම්මා මහවැලිය වෙනතකට හරවයි."

This is not seems to be matching each other. I mean she is not seems to be crying a lot.

These are the points I like.

"ගේට්ටුවට ඉහළින් බලා සිටින කාන්තාවට එවැනි හොරෙන් බැලිලි හුරු නිසාදෝ ඇය වහා මා දකියි."

You give indications at the beginning of the story. That the lady is not genuine.

"අනේ චූටි."

Good one. Why not "Ane madam" , "Ane miss", or "Ane lamaya",but "Ane chooty". The girl is not seems to be a child.

"උසස් පෙළ ලියා කාලය කමින් සිටින මට....."

So what I felt is that the author is giving indications about the woman is not genuine from the beginning of the story.

June 19, 2011 at 1:33 PM

@ Anonymous: Thank you for sharing your view.

"කාන්තාවගේ නෙතෙහි කඳුලක් නැගෙයි. ......... . අම්මා මහවැලිය වෙනතකට හරවයි."
What I meant here was changing the topic. The granny starts talking about her daughter's personal issues with the stranger.

June 19, 2011 at 10:50 PM
Anonymous  

good

June 20, 2011 at 6:40 AM

Post a Comment

ඔබේ අදහස් අපිට ශක්තියක්