නිර්මලා  

Posted by නලිනි චන්දිමා in , ,





තිස් වසරක යුද්ධය නිමා වීම නිසා බලාපොරොත්තු කඩවූයේ කාගේද?
ත්‍රස්ත ඒජන්තයින්ගේ...
යුද අවි ව්‍යාපාරිකයන්ගේ...
යුද්ධය විකුණාගෙන කෑ දේශපාලකයන්ගේ...
ඇයි, රාජ්‍ය නොවන සංවිධානවල?
.....
ඔබ කියනු ඇත.

**************


ලියකියවිලි කටයුත්තක් පිණිස මම පැරණි සේවා ස්ථානයට ගියෙමි. වැඩක් නැතිව සිටි ජයන්තා මා අසළට පැමිණ තොරතුරු විමසන්නට වූවාය.
"එහෙ ඉන්නවා මගෙ යාළුවෙක්- නිර්මලා."
"ආ, ඔව්. ඉන්නවා."
"කොහොමද එයා?"
'මළා වගේ තමයි' යයි කීමට සිත් වුවද ජයන්තාට විහිළු නොතේරෙන හෙයින් මම ලිස්සන සුළු පිළිතුරක් දුනිමි.
"තාම මං එච්චර විස්තර දන්නෙ නෑ කට්ටිය ගැන. ගිය ගමන්නෙ."
"නිර්මලා මගෙ ඉස්කෝලෙ කාලෙ ඉඳලම යාළුවෙක්. හරි හොඳයි..."

නිර්මලා හොඳ කෙනෙකු ලෙස මගේ සිතේ සටහන්ව නොතිබුණු නිසාත්, මගේ නිර්ණායකවලට අනුව නරක කෙනෙකු වූ ජයන්තාගේ යෙහෙළියක හොඳ විය නොහැකියයි සිතූ නිසාත්, මම ඊට පිළිතුරක් නොදී සිනාවක් පෑවෙමි.

"පව් ඉතින්.."
"ඇයි පව් කියන්නෙ?"
"ඇයි ඉතින්, බැඳලා මාස දෙකයි මහත්තයා නැතිවෙනකොට."
"ආනේ, එයාගෙ මහත්තයා නැති වෙලාද? මම දැනං හිටියෙ නෑ."

එකවරම නිර්මලා පිළිබඳව මගේ සිතෙහි ඇඳී තිබුණු පින්තූරය පැහැදිලි කිරීමට ඒ වදන් සමත් විය. නිර්මලා ජීවත් වූයේ අපට ඕනෑවට මෙනි; සිනාසෙන්නේ කලාතුරකිනි; ඒද යන්තම් තොල් දෙකෙළවරිනි; කතා කරන්නේ නැවතිල්ලේ කෙඳිරි ගාමිනි; ඇඳුම පැලඳුම පිරිසිදු වුවද අලංකාරයක් නැත.

ජයන්තා විස්තර කරන්නට වූවාය:
"දැං ගොඩක් කල්...  අවුරුදු දාහතරක් විතර මයෙ හිතේ. වෙඩිං එකෙන් පස්සෙ ගියා, ආයෙ ආවෙ නෑ. "
"ඒ කිව්වෙ?"
"හමුදාවෙනෙ. අර කොටි අල්ලං ගියෙ කට්ටියක්ව... කොහෙදිද... මේ....මට මතක නෑ දැං..."
"ඔව්, උං ලේ ගන්ඩ අරං යනවලුනෙ."
"ගෙවල්වලිං කැමති වුණෙත් නෑ. ඉඳල ඉඳල, වයසත් ගිහිං, අන්තිමට තනි කැමැත්තට වගේ බැන්දෙ. ඔන්න වෙච්ච දේ!"
"පව්."

***************

නිර්මලා ගැන අනුකම්පාවක් වැනි හැඟීමක් ඇති වූ හෙයින්, ඉන්පසු ඇගේ වැරදි නොදැක හොඳ ග්‍රහණය කර ගැනීමට මම පෙළඹුනෙමි.


බෙහෙවින් කාර්යබහුල දිනෙක, එතරම් වැදගත් නොවන යම් ලියවිල්ලකට මගේ අත්සන බලාපොරොත්තුවෙන් ඈ බලා සිටියාය. 

"ඔහොම ඒවට ඔන්නොහෙ හොර අත්සනක් ගහලා යවන්ඩ." යයි මම කීවෙමි.
"අනේ, එහෙම හරි නෑනෙ." ඈ කෝල සිනාවක් පා කීවාය.
'ආයතන සංග්‍රහයට අනුව ජීවත් වෙන කෙනෙක්' යන අපහාසාත්මක සිතුවිල්ල වෙනුවට 'ඇය ඉතා විනයගරුක කෙනෙකැ'යි යන සිතුවිල්ල මතුළ ඇති විය.


කණිටු සේවිකාවකගේ නිවාඩුවක් ප්‍රධානියා විසින් දැඩිව ප්‍රතික්ෂේප කර තිබූ මොහොතක ඇය ප්‍රශ්නය නිර්මලාට යොමු කළේ ප්‍රධානියාට හොරෙනි.
"නිවාඩු ඕනනම් කලින් ඉල්ලන්ඩ තිබුණනෙ. අද හවසට කිව්වහම හරි යනවද හෙට උදේ එන්ඩ බෑ කියලා?"
සේවිකාව ඇඹරුණාය.
"වගකීම!" නිර්මලා අකුරෙන් අකුර බර කර කීවාය.
"එන්ඩම විදිහක් නෑ, ඒකයි. ඕනෙනම් හවසක් කරන්නම්."
"දැන් කීයද වෙලාව? ඔයාට මේ වෙලාවට කතා කරල කිව්වොත් හෙට උදේට එන්ඩ කියලා, එන්ඩ පුළුවන්ද?"
"හෙට මට කරගන්ඩම දෙයක් නෑ, ඒකයි."
"හ්ම්, මම මොකක් හරි කරන්ඩ බලන්නම්කො. හැබැයි පුතෝ මාව අල්ලලා දෙනවා එහෙම නෙවෙයි. ඔය කරපු වැඩේ වැරදියි කියලා මතක තියාගන්ඩ, කට්ටිය මදි වෙලා ඉන්න වෙලාවෙ."
අනතුරුව දස අතේ දුරකථන ඇමතුම් දී අඩුපාඩුව පියවා ගැනීමට නිර්මලා සමත් වුණාය.

ඇය 'ප්‍රධානියාගේ නියෝගයට ඉහළින් යන අයෙකු' නොව, 'හැම පැත්තක් ගැනම සිතා සාධාරන තීරණ ගන්නා අයෙකු' බව මම සිතුවෙමි. 


උපකරණයකට යෙදිය යුතු කඩදාසි වර්ගය වෙනුවට මිළ තරමක් වැඩි වෙනත් කඩදාසි වර්ගයක් යොදා තිබෙනු දුටු දිනෙක නිර්මලා කෝප වූවාය. සියලුම ලියකියවිලි පිරික්සමින්, එම කඩදාසි රෝල මාරු කළේ කීයටද, කා විසින්ද යන්න සොයා බැලූ ඇය අදාල තැනැත්තාට මෙන්ම, එම කඩදාසි භාවිතා කළ සැමටද බැණ වැදුණාය.
ඇය 'පොඩි දෙයටත් කෑ ගසන අයකු' නොව, 'සකසුරුවම්කම පුහුණු කළ අයකු' ලෙස මම සිතුවෙමි.



යන්ත්‍රයක් ක්‍රියාවිරහිතව තිබූ දිනෙක 'පොත ලියා' බලා සිටිනු වෙනුවට නිර්මලා අදාල යාන්ත්‍රික සේවකයාගේ පමාව පිළිබඳව ඔහුගේ ප්‍රධානියාට පැමිණිලි කළාය; බැණ බැණ පැමිණි සේවකයා යන්ත්‍රය අලුත්වැඩියා කරනතුරු ළඟට වී දේපොළ පරිස්සම් කළාය; අනතුරුව නැවත වරක් ප්‍රශ්නය අවහොත් කළ යුත්තේ කුමක්දයි ඔහුගෙන්ම අසාගෙන, එය කොළයක ලියා යන්ත්‍රයෙහි එල්ලුවාය.
ඇය 'ඇණයක්' නොව 'විශ්වාසයෙන් වගකීමක් භාර දිය හැකි කෙනෙකැ'යි මම සිතුවෙමි.


වෙහෙසට පත්ව සිටි දිනෙක තේ කෝප්පයක් ළඟටම ගෙනවුත් දුන් ඈ 'එක දා ගන්නියක' නොව, 'සුහදශීලී කෙනෙකැ'යි මම සිතුවෙමි.




මගේ සෝඩා බෝතල් අනුකම්පාවේ පෙණ බුබුළු නැවතෙනවිට  'ඇය ආයතනයක සිටිය යුතුම කෙනෙකැ'යි මා තීරණය කර තිබුණි.



******************

නිර්මලා කකුල කඩා ගත්තාය.

ඇය බසයෙන් බසිනවිටම එය අද්දා ඇත. සැත්කමකට ලක් වී සති දෙකක් රෝහලේ ඇඳ මත ගෙවන්නට ඇයට සිදු විය. අනතුරට ලක් වන මොහොතේ සේවය සඳහා පැමිණෙමින් සිටි හෙයින් රක්ෂණ මුදලක්ද, තුන් මසක පඩි සහිත නිවාඩුද හිමි විය.

"අපිට තමයි පාඩු." ඇයව බැලීමට රෝහලට ගිය අය කීහ.

අනතුරුව, වරින් වර ඇය බැලීම සඳහා නිවසට ගිය අය පැමිණ විස්තර කීහ:

"ඔහේ ඇඳට වෙලා ඉන්නවා. මල්ලිගෙ පුතා නිර්මලා අස්සෙමයි. නිදියන්නෙත් එයත් එක්කලු. අපි යනකොට ඇඳේ ඉඳගෙනම ළමයට කවනවා."

"එදා අපි යනකොට ඇඳුම් මහනවා. මල්ලිගෙ නෝනට දෙවෙනි බබා හම්බෙන්ඩ තියෙන්නෙ ඊලඟ මාසෙලු."
"ඇත්තද?"
"ඔව් ඔව්. නිර්මලා තොටිල්ලකුත් අරන් දීලා."


"නිර්මලාව අක්කලගෙ දිහා අරන් ගිහින්."

"අක්කා කියනවලු ආයෙ වැඩට යන්ඩ ඕන නෑ, එහෙ ඉන්ඩ කියලා. මෙහෙ ආවත් ඉතිං හිටගෙනනෙ."
"ඔව්ව්ව්ව්, ඔය කකුල් කැඩුණහම සනීප වෙන්නෙම නෑ හිටගෙන හිටියොත්. අපේ එක්කෙනාගෙ සනීප වෙන්ඩ මාස හයකට වඩා ගියා."
"නිර්මලාගෙ දැන් සර්විස් එකත් සෑහෙන්ඩ කල්නෙ. අනික සෞඛ්‍ය ප්‍රශ්නයක් කියලා විශ්‍රාම ගිහෑකිලු දැන්."
"අක්කා අපි එක්කත් කිව්වා, නිකං දුක් විඳින්ඩ යන්නෙ මොකටද කියලා. අනේ හරී ආදරෙයි නිර්මලාට."
"අක්කගෙ දුවල දෙන්නා නිර්මලාගෙ අස්සෙමයි. ඉස්කෝලත් නිවාඩුනෙ."

"නිර්මලා දැන් ඇවිදිනවා. කකුලට බර දෙන්ඩ එපා කියලලු තියෙන්නෙ. ඒ වුණාට අපි යනකොට කුස්සියෙ උයනවා."
"හානේ......"
"වැඩ කරලා පුරුදු කෙනෙකුට නිකම් ඉන්ඩ බෑ..."

"අපි යනකොට මල්ලි ඇවිල්ලා නිර්මලාව එහෙ එක්ක යන්ඩ..."


***************

මාස තුනකට නිවාඩු ලද නිර්මලා මාස එකහමාරකට පසු කිහිලි කරුවෙන් වැඩට ආවාය.
"ඔයාට පුළුවන්ද වැඩ කරන්ඩ?" ඉහළ නිලධාරීහු සැක සිතින් ඇසූහ; අනතුරුව පොත්පත්වල කටයුතු සහ අධීක්ෂණ කටයුතු ඇයට පැවරූහ.

මුලදී කිහිලිකරුවට වාරු වී පැමිණි නිර්මලා අනතුරුව ආධාරක රහිතව ආවාය. පැත්තකට බර වී කොර ගැසීම ඇගේ සාමාන්‍ය දෙයක් බවට පත් වුණි. බොහෝ වේලා හිටගෙන සිටීමට සිදුවූ දිනෙක ඇගේ කොර ගැසීම වැඩි වී මුහුණෙන්ද වේදනාව පිළිබිඹු විණි. එහෙත් ඊලඟ දිනයේද ඈ සේවයට පැමිණියාය.

"අමාරුයි නේද?" මා ඇසුවේ චාරිත්‍රයටම නොව ඇය අපහසුවෙන් සිටීම ගැන අනුකම්පාවෙනි.

නිර්මලා සිනාසුනාය. "අමාරුයි."
"නිවාඩු හම්බුණා නේද?"
"නිවාඩුනං හම්බුණා..."
"කම්මැළිද ගෙදර ඉන්ඩ?"
"කම්මැළි නෙවෙයි මට කළකිරුණා."
"ඒ මොකෝ?"
"මිනිස්සු ගැන තමා. තමන්ගෙම කියලා හිතාගෙන හිටිය මිනිස්සු ගැන."
මම කිසිත් නොකියා මෝඩ හිනාවක් පෑවෙමි.
"මම හිතා ගත්තෙ, අන්තිමටම අසරණ වෙලා පාරෙ හිඟා කන්ඩ වැටුණත්, තමන්ගෙ මිනිස්සු ළඟටනම් යන්නෙ නෑ කියලා."
"හොඳටම කළකිරිලා වගේනෙ."
"කට්ටිය හැදුවෙ මාව වැඩකාරකමට ගන්ඩ. ඇයි ඉතින් හරි ලේසිනෙ? විශ්වාසයි. පඩියක් දෙන්ඩ ඕනෙත් නෑ. විශ්‍රාම වැටුපක් හම්බෙනවා; ඒකෙ ප්‍රයෝජනෙත් ඒගොල්ලන්ට......" නිර්මලා කියාගෙන කියාගෙන ගියාය.
"අක්කයි මල්ලියිද?" ඇය අසනීප වූ දිනවල කතා සිහි වුණු මම ඇසුවෙමි.
"වෙන කවුද? තමන්ගෙ ප්‍රයෝජනේම විතරයි." නිර්මලා තරහෙන් කීවාය. "නැතුව, තනියෙන් ඉන්න ගෑනි; මොකක් හරි ආරක්ෂාවක්, පහසුවක් තියෙන්ඩ ඕන කියලා හිතන්නෙ නෑ. තමන්ගෙ ප්‍රයෝජනේම විතරයි."
"ඔහොම තමයි මිනිස්සු."
"මට ඊට වැඩිය සැපයි ඇවිත් මෙතන වැඩ කරනවා, ගන්න පඩියට."



***************


 

ඉන් පසු එළඹි මාස කිහිපයේදී මම මගේම ප්‍රශ්නවල කරවටක් ගිලී සිටියෙමි. මුල් ගැබිනි සමයේ නොනවතින ඔක්කාරයකින්ද, අනතුරුව දියවැඩියා රෝගයෙන්ද මම පීඩා වින්දෙමි. කිහිපවිටක් රෝහලේ නතරව සිටීමට සිදු විය.

සේවයට ගිය දිනවලද මගේම අසනීපය ගැන මිස වෙනත් කිසිවක් කෙරෙහි අවධානය යෙදවීම අසීරු විය. දිගු කාලීනව දියවැඩියාවෙන් පෙළීමට සිදුවෙතැයිද, දරුවා කුස තුළම මිය යතැයිද මම නිරන්තර බියෙන් පෙළුනෙමි. මගේ සිත හැකිතාක් සන්සුන්ව තැබීමට කවුරුත් උත්සාහ කළහ: රැකියාවේ ගැටළු පිළිබඳව හෝ බඩුමුට්ටුවල මිළ ගණන් පිළිබඳව සනත් සාකච්ඡා නොකළේය; යුද්ධය පිළිබඳ ප්‍රවෘත්ති බැලීමට අම්මා අල්ලපු ගෙදරට ගියාය; සේවයට ගිය දිනවලද, මල් වැවීම වැනි දේ හැර වෙනත් දෙයක් කිසිවෙක් මා හා කතා නොකළහ; ලබා ගත් නිවාඩු ගැන පවා මා හා සාකච්ඡා කරන ලද්දේ ඉතා ප්‍රවේශමෙනි. කාන්සිය පළවා හරිනුවස් මම ළමා කතා පොත් කියවූයෙමි.

පුතා ලැබුණු පසු වරින් වර මා බැලීමට සේවක හිතවතුන් පැමිණියහ. වෙහෙසකර කාලයක් වූ බැවින් කවුරුන් පැමිණියේද, කවුරුන් නොපැමිණියේද යන්න පිළිබඳව මට මතකයක් නොවිණි.

මා නැවත සේවයට වාර්තා කළේ නොවැම්බරයේය. 


මුහුණටම මුණ ගැසුණු නිර්මලා වියළි සිනහවක් පා, මා බැලීමට  නොපැමිණීම ගැන සමාව ඉල්ලුවාය.
"අනේ ඒකට කමක් නෑ."
"අම්මද ඉන්නෙ බබා ලඟ?"
සාමාන්‍යයෙන් ඕනෑම මවක මෙන් මමද බබාට මා නැතිව සිටීමේ අපහසුවද, මා පිටවනවිට අඬන අයුරුද, අම්මාට බබා බලා ගැනීමේ අපහසුවද, බබාගේ ආහාර ප්‍රශ්නද පිළිබඳව නොසිඳෙන කතාව ඇරඹීමි. කතාවට හූමිටි තැබීමට කීපදෙනෙක් සිටියෙන් කතාව ඇරඹූ නිර්මලා එතැනින් ඉවත් වූ වග මා දුටුවේ සෑහෙන වේලාවකට පසුවය. 

මා නිර්මලා දෙස බලනු දුටු රසිකා මාතෘකාව මාරු කළාය.

"පව් නිර්මලා."
"ඇයි?"
"යුද්ධෙ ඉවර වුණානෙ. ඒකෙන් තමා."
"ඉතින් සතුටු වෙන්ඩ එපායැ."
"නෑ ඉතින්...... නිර්මලා හරීයට බලන් හිටියා යුද්ධෙ අන්තිම මාස ගානම, එයාගෙ මහත්තයා ආපහු එයි කියලා. අන්තිම දවස් ටිකේ වැඩටවත් නෑවිදින් හිටියෙ."
"එයා මැරිලා ගොඩක් කල්නෙ, නේද?"
"මැරිලා මිණියක් දැක්කෙ නෑනෙ. කොටි අල්ලං ගිහිං කියලනෙ හිටියෙ. අර අල්ලගෙන හිටපු අය නිදහස් වෙවී එනකොට නිර්මලා බලාගෙන හිටියා, කොයි වෙලේ හරි එයත් නිදහස් වෙලා එයි කියලා. පව්."
මට ඊට පිළිතුරක් දීගත නොහැකි විය. උගුර සිරවී දෑස බොඳ වෙනු පමණක් දැනෙන්නට විය


***************

 

පුතා දැන් ඇවිදියි.
ඔහු නැති කාලයේ 'මැරෙතොත් එකට මැරෙමු'යයි කියා එකටම ගමන් බිමන් ගිය සනත් හා මා දැන් එකට ගමනක් යන්නේ කලාතුරකිනි.

උදය වරුවේ පුතා හා සිටින සනත් ටිකක් දවල් වී වැඩට ගොස් රෑ වෙනතුරු වැඩ කරයි. හැකි තාක් උදය වරුවේ වැඩ යොදා ගන්නා මම කලින් ගෙදර එමි.  සවස පුතාගේ ඇඟ සෝදවා, ඉස්තෝප්පුවේ ඇති පුටුවේ වාඩි වී අප දෙදෙනා මග බලා සිටින්නේ සනත් එනතුරුය. හරිහැටි කතා කළ නොහැකි වුවත් අප බලා සිටින්නේ කුමකටද යන වග පුතා දනී.

"තාත්තා.." ඔහු පාරට ඇඟිල්ල දිගු කරමින් පවසයි.
"ඔව්, ඔව්. තාත්තා එයි දැන්. පුතා බලං ඉන්ඩකො." මම ඔහු තුරුළු කරගනිමින් කියමි.


බලාපොරොත්තුව මිහිරිය.




This entry was posted on Monday, June 06, 2011 at Monday, June 06, 2011 and is filed under , , . You can follow any responses to this entry through the comments feed .

12 දෙනෙක් ගේ අදහස්

බොහොම සංවේදී කතාවක් නංගී, හරියට හිතට දැනුනා. එන්න එන්න ලොකු පරාසයකට යන බව පේනවා. හරිම සතුටුයි. අවසන බලාපොරොත්තුවට මම හරිම කැමතියි. ජයම පතනවා ඔයාට සෙනෙහසින්.

June 7, 2011 at 6:10 AM
Anonymous  

This is an absolute beauty. the building of story.. and the brilliant finish.. keep up the good work

June 7, 2011 at 6:22 AM
Anonymous  

Excellent!!!!

June 7, 2011 at 12:11 PM

සමහර මිනිස්සු හැමදාම පුරුද්දට වගේ ස්වීප් එකක් ගන්නෙත් ඔය වගේම අරමුණකින් වෙන්න ඕන..
මුකුත්ම නැතිවාට වඩා මොනවාම හරි තියෙන එකත් ලොකු දෙයක්.
අර වංගෙඩියක් ලණුවකින් එල්ලගෙන ඒකෙන් බැට කකා විඳවපු ගෑනු මනුස්සයවත් මතක් උනා...

අරමුණක්...මොනවාම හරි අරමුණක් තියෙනකල් මිනිස්සු නිරෝගියි..එහෙම නැති උන දවසට කායිකව හෝ මානසිකව මිනිස්සු වැටෙනවා පුදුම විදියට...

June 7, 2011 at 12:36 PM

@ චාන්දි අක්කා, බොහොම ස්තුතියි අක්කගෙ අදහස්වලට. බලාපොරොත්තුවල එල්ලිලා ජීවත් වෙන කෙනෙකුට, අන්තිම බලාපොරොත්තුවත් නැතුව ගිහාම හුඟක් අසරණ වෙනවානෙ.

@ නිර්නාමික සහෘදයන් දෙදෙනාට: බොහොම ස්තුතියි මෙහි පැමිණ අදහස් බෙදාගත්තාට.

@ මාරයාගේ හෝරාව: ඒකනම් ඇත්ත. එල්ලිලා ඉන්න මොකක් හරි අරමුණක්... කවදක හරි ජීවිතේ හොඳ වෙයි කියන බලාපොරොත්තුවම ඇති මිනිසුන්ට හුඟක් දුක් විඳගන්න. බොහොම ස්තුතියි.

June 7, 2011 at 3:55 PM

හරිම අපූරු කතාවක් අක්කේ.. අරමුණු ජීවිතේකට කොච්චර වැදගත්ද කියලා මේකෙන් ලස්සනට කියවෙනවා..

June 7, 2011 at 8:29 PM

බොහොම ස්තුතියි දිනේෂ් අදහස් බෙදාගත්තාට.

June 7, 2011 at 9:57 PM

මුලදි කතාව විකාරයක් වගේ, මැදදි භය හිතුන, අගදි අනුකම්පාවක් ඇතිවුනා.

මිනිස්සු හැමෝම ඉතින් ඔය "බලාපොරොත්තුව මිහිරිය" කියන චක්‍රෙ එල්ලිලා, රසයි රසයි කිය කිය දුවන එක තමා කරන්නනෙ.

ඒකෙන් මිදෙන්නත් එකම එක ක්‍රමයයි තියෙන්නෙ.

ඒ ගැන ඔබ හොදාකාරව දන්නව කියල මම හිතනව.

June 8, 2011 at 12:05 PM

@ හිෂාන් : බොහොම ස්තුතියි අදහස් බෙදාගත්තට.

June 8, 2011 at 9:29 PM

විවාහයෙන් පස්සෙ දෙන්නා ටිකක් හරි ඈත් වෙනවා, ඒකට හේතුව දරුවො කියලා කිව්වත් වරදක් නැහැ මම හිතන්නෙ ......

සංවේදී කතාවක් ........

June 13, 2011 at 12:55 PM

ස්තුතියි කල්හාර. ඔව්, දරුවොන්ට අවධානයක් දෙන්නම වෙනවනෙ.

June 13, 2011 at 8:30 PM
Anonymous  

This is very good. I mean really good.

However, I think it's wrong to interpret this as "her hopes are shattered by the end of the war". It's true that she was hoping her husband would be back as the war wa over, however, it was not the end of the war that makes her suffer. It's the loss of her husband.

I can agree that as long as the war was not over, she could have kept her hopes up. And when it was over there is nothing to go on anymore. However, giving that away in the way you have done in the first para, takes off a sensitive and unspoken reality that the reader should have felt as a result of reading this. Giving it away initially is not such a good idea. it destroys the value of the "yatipela" meaning of the story.

June 20, 2011 at 6:56 AM

Post a Comment

ඔබේ අදහස් අපිට ශක්තියක්