රාහුලයෙක් උපන.  

Posted by නලිනි චන්දිමා in , ,




කුඩ්ඩා නොහොත් නිකමා නොහොත් කාලකන්නියා යනාදී පර්යායනාමවලින් හඳුන්වන්නා වූද, දරුවන් සිව්දෙනෙකුගෙන් යුත්  පවුලේ බාලයා වූද, පසුගිය වසර විසිපහ තුළ පනහකට ආසන්න වාර ගණනක් මත්ද්‍රව්‍ය භාවිතය නවත්වා ඇත්තා වූද, ඉහළගෙදර රාහුල නන්දසිරි කාමරයේ ඇඳ මත වාඩි වී බිත්තියට හේත්තු වී සිටී. නවා ගත් දණහිස්  මත රැඳුණු දෑතේ ඇඟිලි එකිනෙක මදිමින් සිටින ඔහුගේ සවන් රැඳී ඇත්තේ සාලයේය. රාහුලගේ අනාගතය කවරක් විය යුතුද යන තීරණාත්මක කාරණය එහි සාකච්ඡා වේ.

"මට කරන්ඩ පුලුවන් හොඳම විදිහ තමා මම ඔය කිව්වෙ."
අය්යා ජනේලය පැත්තේ ඇති ලොකු තනි පුටුවේ වාඩි වී සිටින බව රාහුල නිගමනය කරන්නේ හඬ එන අත අනුවය. සාකච්ඡාවේ මුල් කොටසේදී හේ සාලයේ එහා මෙහා ඇවිදිමින් සිටියේය. තීරණයකට එළඹීමට පෙර එහා මෙහා සක්මන් කිරීම අය්යාට උරුම වන්නට ඇත්තේ පියාගෙනි. රාහුලට මතක ඇති කාලයේ බොහෝ සැන්දෑවන්හි මිතුරු හමු පැවැත්වූ පියා ඔවුන් හා සාකච්ඡා කළේ මත්පැන් වීදුරුවක් අතැතිව සාලය පුරා එහා මෙහා ඇවිදිමිනි. පියා මෙන්ම අසේලද උඩු රැවුල වවයි; කෑමට වාඩිවීමට පෙර වතුර වීදුරුවක් ළඟට ගෙන්නා ගනී; කතා කරනවිට එක් අතක් පිටුපසට කරගෙන අනෙක් අත මාලු කපන පිහියක් මෙන් හසුරුවමින් තමන්ට සවන් දෙන්නන්ගේ පූර්ණ අවධානය ඉල්ලා සිටී.

එසේ වුවද 'මහ එකා වගේ හැදීම' පිළිබඳ චෝදනාව නිරතුරුව එල්ලවන්නේ රාහුලටය.

"ඔය විදිහ එයාටත් හොඳයි, අනික් මිනිස්සුන්ටත් හොඳයි."
නිශ්ශබ්දතාවයකි.


"ඒ විදිහ මට හොඳද?" රාහුල කල්පනා කරයි.

කුඩා කල රාහුලට බොහෝ සිහින තිබුණි. ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයකු වීමේ සිහිනය එකොළහෙන් පහළ ක්‍රිකට් පුහුණුවීම්වලදීම නිමාව දුටුවේය. රහස් පරීක්ෂකයකු වීම සඳහා ඉගෙන ගත යුත්තේ මොනවාද යන්න පැහැදිලි නොවූ නිසා ඒ සිහිනය නිකම්ම බොඳ වී ගියේය. කුංෆු ගුරුවරයා ටෙලිනාට්‍යවල රඟපෑම සඳහා ගියේ "මගේ පන්තියෙම දිගටම හිටියොත් ඔයාලටත් රඟපාන්න අවස්ථාවක් දෙන්නම්." කියමිනි; ඔහුගේ ජ්‍යෙෂ්ඨ සිසුන් උපදේශකයන් ලෙස සාර්ථක නොවූ නිසා රාහුල ඇතුළු බොහෝ සිසුන්ගේ බෲස්ලි සිහිනය කුරුවල් විය. 


චිත්‍ර ශිල්පියකු වීමේ සිහිනය....

සත්‍ය වශයෙන්ම ඒනම් සැබෑ වීමට බෙහෙවින් ආසන්න වූ සිහිනයකි. පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටියදී කලා හැකියාවන් දියුණු කරගැනීම සඳහා මහත් පිටුවහලක් ලැබිණි. අවශ්‍ය උපකරණ විවිධ දානපතියන් විසින් පරිත්‍යාග කෙරෙන ආකාරය අනුව, විවිධ මාධ්‍ය අත්හදා බැලීමටද අවස්ථාව උදාවිණි. ප්‍රදර්ශන කිහිපයක් පවත්වා ඇති චිත්‍ර ශිල්පියකු නේවාසිකයන් සඳහා මාස කිහිපයක් මුළුල්ලේ පන්තියක් පැවැත්වීය. ඔහු විසින් බෙහෙවින් පැසසුමට භාජනය කරන ලද රාහුලගේ චිත්‍ර, මධ්‍යස්ථානයේ විවිධ පත්‍රිකා සඳහා යොදා ගැනුණේ වරක් දෙවරක් නොවේ. වසර දෙකකට පමණ උඩදී මධ්‍යස්ථානයේ උපදේශකවරයකු විසින් රචිත ග්‍රන්ථයක් සඳහා පිට කවරය ඇඳ දීමටද රාහුලගෙන් ඉල්ලනු ලැබීය. එනමුත් කුමක් කෙසේ කවදා ඇඳ දිය යුතුද යන්න අරභයා ඉන් ඉදිරියට සාකච්ඡා නොකෙරිණි.

සොඳුරු සිහින....

සොඳුරු සිහිනවලට අමතරව යථාර්තවාදී සිහිනද රාහුල දැක තිබේ. කලකට උඩදී පුනරුත්ථාපන කදවුරකදීම හමු වූ තරුණයකුගෙන් මතින් වැළකී, රැකියාවකද නියැළිය හැකි මගක් රාහුලට අසන්නට ලැබිණි. සති කිහිපයකට පසු නිවසේදී රාහුල මේ මග මවට පැවසීය.

"ඉතින් ඕකට මුළින් මුදලක් දෙන්න ඕන නේද?" අම්මා ඇසුවේ පරිප්පු සෝදන අතරතුරය. "සුදුසුකම් මොනවහරිත් ඉල්ලනවා ඇතිනෙ."
"සුදුසුකම් කියලනම් එච්චර දෙයක් නෑ. ඉලෙක්ට්‍රික් වැඩ වගේ ඒවා ටිකක් දුරට මම දන්නවත්නෙ."
"ඒවගේ වැඩ කරන්න පුලුවන්ද? පිළිගැනීමක් තියෙන රස්සා නෙවෙයිනෙ."
"කෝවත් එකයි මටනම්. ඔක්කොටමත් වඩා ඒ රටවල කුඩු එහෙම නැති හින්දා අතෑරල ඉඳෙනවනෙ. මෙහෙ හිටියහම...." රාහුල වචන පිට කළේ වෙනත් කෙනෙකු ගැන කියන්නාක් මෙනි.
අම්මා පිළිතුරු දුන්නේ පරිප්පු ළිපේ තැබීමෙන් අනතුරුවය.
"මගෙ ළඟ සල්ලි නෑනෙ. අය්යලගෙනුත් අහල ඉමු."

අය්යාගෙන් අම්මා මේ පිළිබඳව විමසුවේ නෑනා හා දරුවන්ද ඉදිරිපිටය. "එහෙම හැමෝම ඉස්සරහ අහන්න එපා" යයි කීමේ ශක්තියක් රාහුලට නොවීය.
"එහෙත් හොයා ගන්න එකා කොහෙන් හරි හොයාගන්නවා. අනික, ගහලා අහු වුණොත් මෙහෙ වගේ ලේසි වෙන්නෙ නෑ. එක්කො අතක් පයක් කපල දායි; නැත්තං ගල් ගහලා මරයි. ඒ රටවල නීති සැරයි."
අම්මා හිස වනා ඊට එකඟ වූවාය.
කාරණය අක්කලා සමඟ කතා කිරීම සඳහා අම්මාට බොහෝ පෙරැත්ත වීමට රාහුලට සිදු විය.
"දැන් අය්යා කිව්වනෙ." අම්මා කිහිපවිටක්ම කීවාය. එහෙත් පොඩි අක්කා ආ විටෙක අම්මා ඇය සමග කාරණාව කීවාය.


"අතෑරලා ඉන්න මිනිහෙක්නම් කොහෙ හිටියත් අතෑරලා ඉන්නවා." පොඩි අක්කා එක හුස්මට කියාගෙන ගියාය. "එහෙම මොකක් හරි රස්සාවක් කරන්න පුලුවන්නම් මෙහෙ ඉඳගෙනත් කරන්න පුලුවන්නෙ. මගෙ ළඟ එහෙම සල්ලියක්නම් නෑ අම්මා. අනික එහෙම තිබුණත් මෙයා අතට විශ්වාසෙන් දෙන්න පුලුවන්ද කියල අම්මම කියන්න."
අම්මා පිළිතුරක් දෙනු රාහුලට නෑසිණි.
"දැන් ඔය කතාව මෙයත් එක්ක කිව්ව එක්කෙනා එහෙ ගිහින් කුඩු නවත්තලද?" පොඩි මස්සිනා අතුරු පැණයක් නැගීය.

ලොකු අක්කාගෙන් අසන ලෙස පෙරැත්ත කිරීමේ අදහස රාහුල අත්හැරියේය.


පාර අයිනේ පත්තර ලෑලිවල තිබුණු පෝරම කොළ පුරවා රැකියා කිහිපයකට ඉල්ලුම්පත් යැවූ මුත් ඒවායින් රාහුලට පිළිතුරු නොලැබිණි. පෝරම කොළ සඳහා නාස්ති කිරීමට මුදල් කාගෙන් හෝ ඉල්ලීමේ අසීරුව විසින් ඒ ව්‍යායාමය දිගින් දිගට කළ නොහැකි විය.
රැකියාවක අවශ්‍යතාවය දැනෙන කාලය වනවිට හමුදාවට බැඳීම සදහා රාහුලගේ වයස වැඩි විය.
වෙළඳ සහායකයින් ඉල්ලා තිබූ තැන්වලින් කිහිපවරක්ම විමසා බැලූමුත්, ඔහුගේ දියවුණු මුහුණ දෙස වරක් බලා පුරප්පාඩු නැති බව දන්වන ලදී. උපැස් යුවලට යටින් රාහුල දෙස බැලූ එක් කළමණාකරුවකු ඔහුගේ වයස විමසීය. එවකට ඔහු තිස්පස්වන වියෙහි පසු විය.
"මෙච්චර කල් මොකද කළේ?"
රාහුලට ඊට පිළිතුරක් නොවීය. කළමණාකාරවරයා උපැස් යුවල ගළවා මේසය මත තැබීය.
"කුඩු ගැහුවද?"
ආපසු හැරී යාමට ඇති වූ සිත රාහුල නතර කර ගත්තේ රැකියාවක අවශ්‍යතාවය අතිමහත් වීම නිසාය.
"මම දැන් නවත්තලා."
"නවත්තලා!" කළමණාකරු අවඥාවෙන් සිනාසුණි. "තමුසෙලා නවත්තන විදිහයි රස්සා කරන විදිහයි ගැන අමුතුවෙන් හඳහන් බලන්න ඕනෙ නෑ."

තමාට රැකියාවක් සොයා දෙන ලෙස සොහොයුරාගෙන් හා සොහොයුරියගෙන් ඉල්ලීමේ පලකට නැති කටයුත්තට අම්මාව පොළඹවාගැනීමටද රාහුල කිහිපවරක්ම සමත් විය.
"කොහොමද අම්මා මෙයාව කාටවත් ගන්න කියන්නෙ?" ලොකු අක්කා ඇසුවාය. "මොනව හරි කරොත්? මිනිස්සු අපි ගැන තියන විශ්වාසෙත් නැතුව යනවනෙ."
"අනික මුකුත් සුදුසුකම් නෑනෙ. දැන් උපාධි තියෙන මිනිහෙකුටවත් රස්සාවක් හොයාගන්න අමාරුයි. ඉගෙනගෙන නැත්තම් මොනව හරි කරපු පළපුරුද්දක් තියෙන්න ඕනෙ. එහෙමත් නෑනෙ." ලොකු මස්සිනා කරුණු දැක්වීය.
"ඔය පුනරුත්ථාපනේට ගිහාම එක එක ඉගෙනගත්තුවනම් තියෙනව." අම්මා නිකමට මෙන් කීවාය.
"ඒවා කියන්න ගියොත් හම්බෙන්න ගිය රස්සාවත් නැති වෙනවා." මස්සිනා කීය. "පුනරුත්තාපනේ!"
පොඩි අක්කාද සිටියේ ඒ මතයේමය.
"බලන්නම්." අය්යා සෑමවිටකම කීය. බලන්නට අය්යාට වෙලාවක් තියෙන්නට නැත. එක්කෝ බැලූමුත් ඔහුට කිසිවක් නොපෙනෙන්නට ඇත.

සුදුසුකම් හෝ අත්දැකීම් නොවිමසා ලැබෙන රස්සාවලට ඇත්තේ කුඩු විකිණීමමය. රාහුලට අවශ්‍යත් ඒ පරිසරයෙන් මිදීමටය.

පොතක පිටකවරය නිර්මාණය කිරීමේ ආකර්ශනීය බීජය ඔහු සිතට ඇතුළත් කරන ලද්දේ රැකියාවක් පිළිබඳ බලාපොරොත්තු අතහැර බොහෝ කලකට පසුය. ඒ නිර්මාණය කරන පිට කවරයට සම්මාන ලැබෙන අයුරුද, ඒ දැක තවත් බොහෝ දෙනෙකුන් කවර නිර්මාණය කරවා ගැන්ම පිණිස තමා සොයා එන අයුරුද, චිත්‍ර ශිල්පියකු ලෙස තමා ස්ථාවර වන අන්දමද ගැන බොහෝ සිහින ඒ මාස කිහිපයේදී රාහුල දුටුවේය. එනමුත් ඒ සිහින සැබෑ කිරීමේ හැකියාව තිබූ පුද්ගලයා ඒ බව දැන නොසිටියේය.

ආර්ථිකය ස්ථාවර වුවහොත් සපුරා ගත හැකි තවත් ඉලක්ක රාහුලගේ සිතේ අහුමුළුවල ඇත. ඒ ඉලක්ක ඒ ඒ අහුමුළුවලම සඟවා තබා ගැනීමට ඔහු වෙහෙසෙයි. එසේ නොහැකි වූ ඇතැම් දිනක නිවස ඉදිරිපිට බෝක්කුව උඩට වී ඔහු පාරේ යන තරුණියන් දෙස බලා සිටී. රාහුල මතින් දුරුව සිටින කාලවලදී පවා මේ තරුණියන් ඔහුව හැඳින්වූයේ "කුඩ්ඩා" යනුවෙනි. නොඑසේනම් "නිකමා" යනුවෙනි. තමන් බලා සිටින්නේ කුමක් දෙසද යන කාරණාව පවුලෙන් සඟවා ගැනීමට රාහුල වෙහෙසුණේ එය තමන් තවත් අවමානයට ලක් වීමට හේතුවක් බව හොඳාකාරව දැන සිටි හෙයිනි. විවාහයක් ගැන පවුලේ කිසිවකු සමග හෝ උපදේශකයන් සමග හෝ කතා කිරීමට රාහුලට නොහැක. මිතුරන් ඔහුට නොවිණි.

පාරේ යන කුඩා දරුවන් සමග සිනාසීමට ඔහු කිහිපවරක් තැත් කර ඇත. වැඩිහිටියන් සමග යන දරුවන් ඔහු වෙතින් ඇදගෙන යනු ලැබූ අතර, තනිව ගමන් යන වයසේ දරුවෝ ඔහු දෙස බැලීමෙන් වැළකුණහ.
අක්කලාගේ හා අය්යාගේ දරුවන් කුඩා කල රාහුල  ඔවුන් සමග ළමා ක්‍රීඩාවල නියැළී ඇත. ඔහු සැමවිටම අල්ලන්නා හෝ සොයන්නා විය; ක්‍රිකට් ක්‍රීඩා කළහොත් ඔහුට බාර වූයේ පන්දුව අහුලාගෙන ඒමය; ක්‍රීඩා කිරීම පිණිස ගත් භාණ්ඩ, පොත්පත් යනාදිය ක්‍රීඩාව අවසන අස්පස් කරන ලද්දේ රාහුල විසිනි. දරුවෝ ඔහු සමග ක්‍රීඩා කිරීමට ඉමහත් කැමැත්තක් දැක්වූහ. ඔවුන්ගේ ළමාවිය පිළිබඳව රාහුලට ඇත්තේ කඩින් කඩ වූ මතකයකි. ඔහුගේම ළමාවිය සිහිකිරීමට රාහුලට ආශාවක් නැත. බීමත්කම නිසාම අකල් මරණයකට ගොදුරු වූ පියා, අඬදබරින් හා අගහිඟකමින් පිරි ගෘහ ජීවිතය, අම්මාගේ නිරන්තර කඳුළු, යහළුවන්ගේ උසුළු විසුළු, අතරමග කඩා වැටුණු පාසල් දිවිය, මුදල් සොයා ගනු පිණිස එවකට පාසලේ චණ්ඩියා වූ රංගගේ ගංජා සුරුට්ටු එතීමට දායක වීම ආදිය මතකයෙන් බැහැරව තිබෙන තරමට යහපත්ය. අනෙක් තිදෙනාම ඒ නරාවලෙන් ගොඩ ආ නමුත් තමන් එහිම ගිළුණේ මන්ද? අය්යා කියන අයුරු ඒ පියාගේ ආරයය.



"ගොඩින් බේර ගන්න බැරි වෙයිද, කතා කරල?" පොඩි අක්කා යළිත් විමසනු ඇසෙයි.
"ඒගොල්ලො එහෙම කැමති නෑ. මම කීප සැරයක් කතා කරා." අම්මා කියයි.
"ඒ හැටි වටින මාලෙකුත් නෙවෙයිනෙ. මොකක්ද ඔය හැටි? අනික තමන්ගෙම මිනිස්සු." පොඩි අක්කා නැවත අසයි. පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටියදී ඉඳහිට හෝ රාහුල බැලීමට පැමිණෙන්නේද ඇයයි. ඇය කෙසේ හෝ තමන් සිරගෙයින් මුදා ගනු ඇතැයි ඔහුට සිතේ.
"ඒ මිනිස්සුන්ට වටින එකක්නෙ." අම්මා කියයි. ඇගේ හඬේ එතරම් උනන්දුවක් පෙනෙන්නට නැත. ඇගේ පමණක් නොව, කාගේවත් හඬවල ලොකු උනන්දුවක් පෙනෙන්නට නැත.
"මම හිතුවා මේ සැරේනම් මෙයා හැදිල කියලා." පොඩි අක්කා බලාපොරොත්තු කඩ වූ ස්වරයකින් කියයි. "අවුරුද්දක් විතරම හිටිය නේද මේ සැරේ?"
"ඕවා නවත්තන්න බෑ." පොඩි මස්සිනා ඇගේ කතාවට උඩින් පැන කියයි. "නවත්තල වගේ පෙන්නං හිටියට හොරෙන් ගහන්න ඇති. තව මොන මොන හොරකං කරල තියෙනවද දන්නෑ."

රාහුලගේ නෙතින් කඳුලක් වැටෙන්නේ ඔහුටත් නොදැනීය.
"මං හොරෙක්ද?"


මහා සීතලක් ඔහු වෙළා ගනී. අභ්‍යන්තරයෙන් ඇරඹී ඇටමස් පසාරු කරගෙන පිටතට ගලන ඒ සීතලෙන් සිරුර වෙවුලයි. ඒ සීතලක් නොව තනිකමක් බව රාහුල දනී. තමන් තනි වී ඇත්තේ මූසල අන්ධකාරයකින් පිරුණු මේ කාමරයේ පමණක් නොවේ; මුළු ලොවෙහිමය.
සිය දිවි හානි කරගැනීම පිළිබඳව රාහුල කිහිපවරක්ම කල්පනා කොට තිබේ. සියලු ප්‍රශ්න අවසන් වනු ඇත; නැවත අලුත් ජීවිතයක් ලැබෙනු ඇත; අලුතින් සියල්ල ආරම්භ කළ හැකි වනු ඇත. තමන්ගේ මළසිරුර දෙනක බහා සාලයේ තැන්පත් කෙරෙනු ඇත. ඒ වටා සිට කවුරුන් හෝ හඬනු ඇත්ද? ඔහුගේ මරණය නිසා කිසිවකු හෝ කණගාටු වනු ඇත්ද? සියදිවි හානි කරගැනීම පිළිබද කල්පනා කළ හැම වාරයකදීම රාහුල තමන්ගේම මරණය වෙනුවෙන් හැඬීය. වෙනත් කිසිවෙකු තමා වෙනුවෙන් නොහඬන බව දත් හෙයිනි.

"මං කතා කරන්නං පෙරකදෝරුවට. ඕක මේ විදිහට වෙන එක හොඳයි. මිනිහත් එක්කො හැදෙයි..." නැත්තං වෙන එක අය්යා නොකියයි.
"ඔව්, ඕක වෙන්න තිබුණෙ ගොඩ කලකට ඉස්සර." මෙතෙක් වේලා නිශ්ශබ්දව සිටි ලොකු අක්කා කියයි. "පුදුමයි මෙච්චර කල් මොකකටවත් අහු උන් නෑ."
"හැබැයි මිනිහ වරද පිළිගන්න ඕන." අය්යා කොන්දේසි ඉදිරිපත් කරයි.
"ඔය විදිහට කරගන්න තියනවනම් හොඳයි." පොඩි මස්සිනා එකඟ වෙයි. "පල්ලෙකැලේ ඉතින් කරදරයක් නෑ. සාමාන්‍ය මිනිස්සු වගේම ඉන්න පුලුවනි."

"එතකොට මම හිරේ යනවද?" රාහුල කල්පනා කරයි. "අය්යා පොලීසියෙ; පොඩි අක්කා කථිකාචාර්ය; ලොකු අක්කා ගුරුවරියක්. මම හිරකාරයෙක්. මට ගෑනියෙක් ළමයෙක් නෑ; රස්සාවක් නෑ; ආදරේ කරන කෙනෙක් නෑ. මට මොකද වුණේ? මම මොකද කරගත්තෙ?"

සාලයේ පුටු එහා මෙහා වෙන හඬ ඇසෙයි. තීරණයකට එළඹි පිරිස විසිර යන්නට සූදානම් වන සෙයකි.

"මාව බලන්නවත් කවුරුත් එයිද?" රාහුලට කල්පනා වෙයි. අම්මා තනිවම දුර ගමන් නොයයි. අක්කලා ගමන් යන්නේ පවුල් පිටින් පමණකි. සිරකරුවකු බැලීම පිණිස මග ගෙවාගෙන පවුල් පිටින් පැමිණෙතැයි සිතීම අපහසුය. අය්යා? අය්යා සමහරවිට එනු ඇත. 

"පුලුවන්නම් මල්ලිව බලන්න යන්න." අම්මා පවසනු ඇත. 
"බලන්නම්." කියා අය්යා පිළිතුරු දෙනු ඇත.

"මට මොකද වුණේ?" රාහුල ළඟ ඒ පැණයට පිළිතුරු නැත.




This entry was posted on Thursday, February 24, 2011 at Thursday, February 24, 2011 and is filed under , , . You can follow any responses to this entry through the comments feed .

12 දෙනෙක් ගේ අදහස්

හ්ම්ම්...

February 24, 2011 at 8:27 PM
Anonymous  

jeewitha hari durai gaburui.. goda ena minihata athak denna kawrutha naha. mama kudu gahuwe naha. habai e parata yanna gihin aith awa. mata me hamadetama haiyak wuna mage ammai, mage whife. mama marry kala 23. dan 25. wadagathma deyanam mama mage affaie 1 patan gaththa 13, mata mage jeewitha mathak wuna,mathata huru weema vipaka mathak wuna. mama muslim wunatha mage girl sinhala wunath eya kawadawath mawa atha ariya naha. e adarayata ada mawa manussayek karanna puluwan wuna, ada europ rataka wadagath widihata jeewath wenawa. thawa me wage rahulala kochchara innawada samajayan piliharanak nathuwa. obata thuti , athithaya awarjanaya kalata

February 24, 2011 at 9:44 PM

විශිෂ්ටයි.....!!
කාලෙකින් කියවපු හොඳම නිර්මාණයක්. ඒ වගේම ඇතුලටම කතා කරපු....
ඇත්තෙන්ම අපූරුයි.

February 24, 2011 at 10:54 PM
Anonymous  

aththatama hoda nirmanayak.charitha desa siyumwa balala thiyenawa.godak hoda nirmanayak

February 25, 2011 at 1:58 AM

කුඩ්ඩෙකුට වුණත් පණ ගැහෙන හදවතක් තියෙනව. ඒත් ඒක දකින්න අනෙක් අයට සුදුසු හදවත් නෑ.

ඉතාම අනර්ඝ නිර්මාණයක්. ඉතාම අඩුවෙන් කියවන්න ලැබෙන විදියෙ පරිකල්පනයක්.

February 25, 2011 at 10:12 AM

@තාරක Dilsh@n: බොහොම ස්තුතියි අපේ බ්ලොග් එක පැත්තෙ ආවට.

@යුරෝපීය රටක ජීවත් වන මුස්ලිම් සහෝදරයාට: බොහොම ස්තුතියි ඔබේ අත්දැකීම් අප සමග බෙදාගත්තට. මට හිතෙන හැටියට, ප්‍රීතිමත් අවසානයක් නැති කතා මේ තරම් ගොඩක් සමාජයේ ඉතිරි වෙන්නට එක හේතුවක් ජීවිතයේ මුල් කාලයේදී වරද්දාගත් තැන් නිවැරදි කරගැනීමට යළි අවස්ථාවක් සමාජයෙන් ලබා නොදීම. ඒ අතින් ඔබ වාසනාවන්තයි.

@Charmi: බොහොම ස්තුතියි කතාව කියවා අගය කළාට.

@නිර්නාමික සහෘදයාට: බොහොම ස්තුතියි ඔබේ අගය කිරීමට.

@```Outsider```: කුඩ්ඩෙකුට, එහෙමත් නැත්නම් සමාජයේ පොදු ප්‍රවාහයෙන් පිටත සිටින්නකුට, හදවතක් ඇති නැති බව දැකීමටවත් පොදු සමාජය නවතින්න සූදානම් නැහැනෙ. බොහොම ස්තුතියි ඔබේ විචාරයට.

February 25, 2011 at 4:59 PM

මට මෙහෙම දෙයක් උනොත්. මම ගෙදරින් යනව. මට කාගෙවත් උදව් අවශ්‍ය නැහැ. මම අනුරාධපුරේ පැත්තෙ ගොවියෙකුගෙ ගෙදරකට ගොඩ වැදිල ඔහුගෙන් රස්සාවක් ඉල්ල ගන්නව. පඩියකින් වැඩක් නැහැ. මම ගොවිතැන් කරනව. මම මට ලැබුනු අළුත් ජීවිතය ගැන සතුටු වෙනව. මම දන්නව මම ජීවත්වෙන්නෙ කෙටි කාලයයි. ඉතින් මොකටද සමජ තත්වෙයි, අනෙත් කාරනා ගැනයි හිත හිත ලතවෙන්නෙ? හැම පෝයටම ශ්‍රී මහ බෝධිය ඉදිරිපිට සිල් ගන්නව. මට මනුස්සයෙක් වෙන්න ලැබුන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නව. එහෙම කෙනෙක් වන මාව අයෙමත් කවුරු නවත්වන්නද?

February 27, 2011 at 12:19 PM

@Hishan Melanga
ජීවිතයේ වරක් වරද්දාගත් කෙනෙකුට නැවත අවස්ථාවක් ලැබෙනවනම් කොපමණ හොඳද? ඇතැම්විට තියෙන අවස්ථාවත් ඔවුනට නොපෙනෙනවා විය හැකියි.
බොහොම ස්තුතියි කියවා සටහනක් තැබුවාට.

March 1, 2011 at 5:21 PM

ජීවිතේ වරක් වරද්දා ගත් කෙනෙකුට අතක් දෙන්න පුලුවන් නම් කොච්චර හොදද? අපේ දරුවෝ කොපමණ ඉන්නවාද? නංගී මේ ව්‍යසනයට ගොදුරු උන. එහෙම කෙනෙකුට ඇස් අරවන කාලීන කෙටි කථාවක් මේ. හරිම සාර්ථක නිර්මාණයක්. යුරෝපීය රටක ජීවත් වෙන අපේම මුස්ලිම් සහොදරයාගේ වදන් ටික හරිම අපූරුයි. ඔහුටත් තුති. ආයෙමත් ජීවිතේ හදා ගෙන ලස්සනට අද ඉන්න එක ගැන හරිම සතුටුයි.

March 4, 2011 at 1:23 PM

බොහොම ස්තුතියි චාන්දි අක්කා දිරි ගැන්වීමට. දැන්නම් නා නා ප්‍රකාර ඇබ්බැහිවීම් තියෙන අය බහුලයි. කුඩු, මත්පැන්, සිගරට්, සූදුවට ඇබ්බැහිවෙන අයව පෙනෙනවා. නමුත් වීඩියෝ/කොම්පියුටර් ක්‍රීඩා, අන්තර්ජාලය වගේ දේවලට ඇබ්බැහිවෙන එකත් ජීවිතේ හුඟක් දේවල් අහිමි වෙන මගක් වෙන්න පුළුවන්.

March 5, 2011 at 9:37 PM

අපේ සමාජයේ ලේබලයක් ඇලවුනොත් ආයේ ගැලවීම ඉතා අසීරු කාර්යයක්.

දුර්ලභ ගනයේ රචනයක්. සමාජීයමය වශයෙන් ඉතා වැඩගත් කතාවස්තුවක්, බොහෝම සාර්ථක ඉදිරිපත් කිරීමක්.

March 8, 2011 at 1:15 AM

මනුස්සයෙකුට තමන්ගෙ හිත හදාගෙන, වෙනස් වෙන්න පුළුවන් කියලා සමාජය තුළ විශ්වාසයක් නැහැනෙ.
කාර්ය බහුල ජීවිතය මැද්දෙ ඇවිත් සටහනක් එක් කළාට බොහොම ස්තුතියි ඩීන් අය්යා.

March 8, 2011 at 6:28 PM

Post a Comment

ඔබේ අදහස් අපිට ශක්තියක්