නාඳුනන්නී  

Posted by නලිනි චන්දිමා in , ,




"කැමතිනම් මේ සති අන්තෙ ඇවිත් යන්න. මමත් නිවාඩු."

දර්ශනීගෙන් ලද ඇරයුම අනුව මම සිකුරාදා රාත්‍රී දුම්රියෙන් පොළොන්නරුව බලා පිටත් වීමි. මගේ අසුනේ හිඳගත් තරුණ කත වරින් වර මා දෙස බලමින් කතාවකට අර අදින බව දුටු මම නෙත් පියා ගතිමි. වෙහෙසට පත්ව සිටි මට අවශ්‍ය වුයේ නිදාගැනීමටය. එහෙත් ප්‍රවේශපත්‍ර පිරික්සීම සඳහා පරීක්ෂකවරු එනතුරු නිදාගැන්ම අපහසුය. මා වරින් වර ඇස් හැර කවුළුවෙන් එපිට බැලුවේ නින්ද වළකා ගැන්මටය.


"ඔයා සිංහලද?"
"ඔව්."
"මඩකලපුවටම යනවද?"
"නෑ, පොළොන්නරුවට."
"එහෙද ගෙවල්?"
"නෑ."
"නෑයො ඇති එහෙනම්."
"නෑ."
"එහෙද වැඩ කරන්නෙ?"
"නෑ."
"හොඳයි ඔයා මෙතන ඉඳගත්ත එක. මම බයේ හිටියෙ පිරිමි කෙනෙක්වත් ඉඳගනී කියලා."


දීමට දහසක් පිළිතුරු සිතේ නලියෑවද කතාව කෙටියෙන් නවතාගනුවස් මම යන්තමින් සිනාසී නැවත නෙත් පියා ගත්තෙමි. එහෙත් ඉන් පසුබට වූයේ ඈ නොවේ.
"තනියමද යන්නෙ?"
"හ්ම්."
"බය නෑ?"
"නෑ!"
"මමනම් තාත්තයි අම්මයි එක්ක. තාත්තට අසනීප. අර ඉස්සරහ ඉන්නෙ, අර අර.."
"හ්ම්."
"තාත්තට අමාරු වෙනව හිටි ගමන්. මට තේරෙන්නෙ නෑ ඒ වෙලාවට බෙහෙත් දීගන්ඩ. ඒකයි අම්මා එතන ඉන්නෙ. මම කලබල වෙනවා."
"හ්ම්."
සීතල කෙමෙන් වැඩි වෙයි. මම පොරෝණයක් ගෙන හිසේ සිට පොරවාගතිමි.
"කොළඹ මොකද කරන්නෙ?"
"රස්සාවක් කරනවා."
"කොහෙද?"
මගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගිය නිසා මම හොඳින් හැරී ඇය දෙස බැලීමි.
"ඕගොල්ලො මොකටද කොළඹ ගියෙ?"
ඇයව කෝපගැන්වීම මගේ අරමුණ වුවද මා කතාබහට අවතීර්ණ වූවායයි වරදවා වටහාගත් ඇය වඩාත් සුහද බවක් දැක්වූවාය.
"ගෙදර පොඩි ප්‍රශ්නයක්."
"ගෙවල් කොළඹද?"
"නෑ, අපි හිඟුරක්ගොඩ කිට්ටුව."
"දැන් ප්‍රශ්නෙ හරිද?"

"ඒ කිව්වෙ?"
"කොළඹ ආපු ප්‍රශ්නෙ?"
ඇගේ කටහඬ වඩාත් සිහින් විණි.
"අපිට කරදරයක් වෙලා."


ඉන් එහාට ප්‍රශ්න ඇසීම නුසුදුසුයයි සිතුණ හෙයින් මම ඉදිරිය බලා ගතිමි. එහෙත් මා බලාපොරොත්තු නොවූ පරිදි ඇය කතා කරන්නට වූවාය.
"අපේ නංගි නැති වුණා."
මම නැවත ඈ දෙසට හැරුණෙමි. ඈ මෙතෙක් කතා කළේනම් ළඟදී නංගි නැති වූ කෙනෙකු ලෙස නොවේ. ශෝකය පළකිරීම කෘතිම වැඩියයි සිතුණද වෙනත් කිව හැකි දෙයක්ද සිතට නොනැගෙයි.
"ළඟදිද?"
"දැන් සති දෙකයි. කොළඹදිම ආදාහනේ කළේ. තාත්තත් අසනීප වෙලා ඒ ගමන් මහ ඉස්පිරිතාලෙ නවත්තන්ඩ වුණා. අපෙ මාමා කෙනෙක් ඉන්නවා  හෝමාගම. එහෙ හිටියෙ මෙච්චර දවස්. " මගෙන් බුරුලක් ලද නිසාදෝ ඇය කියවාගෙන යයි.
"ආ.." මම නැවත කතාව නවතන්නට වෑයම් කළෙමි.
"නංගි විශ්වවිද්‍යාලෙ හිටියෙ. අපේ ඉස්කෝලෙන් මුළින්ම විශ්වවිද්‍යාලෙට ගියෙ අපෙ නංගි."
"ලෙඩ වෙලා හිටියද?" මම අකමැත්තෙන් ඇසීමි.
"නෑ, නංගි වහ බිව්වා." ඇය රහසින් මෙන් කීවාය.
"වහ බිව්වා?"
"මැරෙන්ඩ හිතාගෙනම නෙවෙයි, මම හිතන්නෙ." ඇය කටහඬ ඇසෙන නෑසෙන ගානට තොල් මැතිරුවාය.  "නංගිට බබෙක් හම්බෙන්ඩ ආවා."
"ආ.."
මම කතාව අවසන් කරන හඬකින් පැවසීමි. 


රහස් කීම හා ඇසීම එතරම් ප්‍රිය උපදවන කාරණයක් නොවේ. විශේෂයෙන්ම නාඳුනන පුද්ගලයන් බලෙන් කියන රහස් ඇසීම වෙහෙසකරය. ඇයද කතාව නැවැත්වීම මට සහනයක් විය. නෙත් පියාගෙන මා කල්පනා කළේ කුමක් නිසා නාඳුනන පිටස්තරයකු වන මට ඇය මේ කාරණය හෙළි කළාද යන්න පිළිබඳවය. වෙහෙස නිසාත්, පහන් නිවා අඳුරු කර තිබූ දුම්රියේ ඒකාකාරී ගමන නිසාත් මම ඉක්මණින්ම නින්දට වැටුණෙමි. යළි මා අවදි වුයේ ගමනේ අවසාන භාගයේදීය. මගේ අසුනේ හිඳි තරුණිය මා අවදි වනතුරු බලා සිටියාක් මෙන් කතා කළාය.
"නින්ද ගියා නේද?"
"ඔව්."
"මටනම් නින්ද ගියෙම නෑ නංගි නැති වුණු දවසෙ ඉඳල. නින්ද ගියත් බය වෙලා ඇහැරෙනවා."
මම කණගාටු මුහුණක් ආරූඪ කරගම්දෝ නොගම්දෝයයි සිතමින් ඇය දෙස බලා සිටියෙමි. මැදිරිය තුළ ඇති කණාමැදිරි ආලෝකය තුළින් ඇගේ මුහුණ යන්තමින් පෙනේ. ඒ වනවිට මා මෙන්ම පොරෝණාවකින් ගත වසාගෙන  සිටි ඇගේ මුහුණ විඩාබර වුවද ප්‍රියමනාපයැයි කිව හැක. දුම්රිය මැදිරියේ උන් සියලු දෙනාම පාහේ නින්දට වැටී සිටි හෙයින් ඈ වඩාත් නිදහසේ කතා කරන්නට වූවාය.
"යන්තම් හරි ඇහැ පියවුණු ගමන් මට නංගිව හීනෙන් පේනවා. නංගි ඇවිත් මගෙන් අහනවා, ඇයි අක්කා මට මෙහෙම වෙන්ඩ ඇරියෙ කියලා."
"හුඟක් අයට ඔහොම තමයි. නැති වුණු අයව හීනෙන් පේනවා ටික දවසක් යනකම්."
"නංගි බබෙක් කියලා දැනගත්තහම අම්මලට හොරෙන් මට කිව්වා. මම නංගිට හොඳටම බැන්නා. හරි නිග්‍රහයක්නෙ ඉතින් ඔහොම දෙයක් ගමට ආරංචි වුණොත්. එයා විශ්වවිද්‍යාලෙට තේරුණු හින්දම ගමේ මිනිස්සු අපි එක්ක තරහයි. ඕක ආරංචි වුණානම් කොහොමද?
මං බනිනකම් ඉඳලා නංගි කිව්වා බබා නැති කරන්ඩ ඉන්නෙ කියලා. ඒ ගමන මම තවත් බැන්නා, ඒ මොන පවුකාරකමක්ද කියලා."
"බැන්දනම් ඉවරයි." යමක් කීමට අවැසි හෙයින් මම කීවෙමි.
"මමත් කිව්වා. ඒ වුණාට ඒ ගෙදරත් ප්‍රශ්නලු. ඒ ළමයට රස්සාවකුත් නැල්ලු. නංගිගෙ ඉගෙනීම එහෙන්. ඉතින් මේක ඊට වඩා ප්‍රශ්නයක්නෙ. මට කතා කරේ බබා නැති කරන්ඩ තැනකට ගෙවන්ඩ සල්ලි ඉල්ලන්ඩ. එහෙම තැනක් හොයාගෙන තිබුණා නංගි."


ඇය නොනවත්වා කියාගෙන ගියාය. මම ඔහේ අසාගෙන සිටියෙමි. ඈ මගෙන් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වන බවක්ද නොපෙනිණි.


"මම කිව්වා එහෙම පවු වැඩකට සල්ලි දීලා එයාගෙ කරුමවලට මටත් කර ගහන්ඩ බෑ කියලා. නංගි ඇහුවා එහෙනම් මොකද කරන්ඩ කියන්නෙ කියලා. මං කිව්වා ඒක හිතන්ඩ තිබුණෙ ඔයිට කලින් කියලා."


කීමට දෙයක් සොයා ගත නොහැකි හෙයින් මම නිශ්ශබ්දවම සිටියෙමි. මිනිත්තුවක දෙකක පමණ කාලයක් ඉක්මයන්නට ඇත. දුම්රිය හැල්මේ දුවයන හඬද, නිදා සිටින්නන් ගොරවන හඬද නිසලතාවය බිඳගෙන ඇසේ. ඇගේ තත්වයේ මා සිටියානම් කුමක් කරනු ඇත්දැයි සිතීමට මම වෑයම් කළෙමි. මමද බොහෝවිට නංගීට බැණ වදිනු ඇත. මා නංගීගේ  තත්වයේ සිටියානම් කුමක් කරනු ඇත්දැයි සිතීම පවා උගහටය.

"පස්සෙ නංගි මැලේරියා පෙති බීලා තිබුණා. මම හිතන්නෙ බබා නැතිවෙන්ඩ කියලා හිතලයි බොන්ඩ ඇත්තෙ. ඒක එයාට විස වුණා."
"අපරාදෙ." මම කීවෙමි. අප අතර නැවතත් නිහැඬියාවකි.
"නංගිට හරි විදිහකට ඒක කරගන්ඩ සල්ලි දුන්නනම්, සමහරවිට නංගි තවමත් ඉඳී."  

ඇගේ පසුතැවිල්ල මුසු හඬ නිහැඬියාව බින්දේය. ඇයට සැනසිලි වදන් කීමට ඒ හඬ මා පෙළඹවීය.
"ඉතින් ඒ වෙලාවෙ හැටියට ඔයා කිව්ව දේ වැරදිත් නෑනෙ."
"වැරදි නොවෙන්නෙ කොහොමද?" ඇය කෙළින්ම මගේ නෙත් දෙස බලා දැඩි හඬකින් විමසුවාය. "නංගි කිව්වෙ නංගිට එයාගෙ ජීවිතේ ගැන හරි කියලා පෙනිච්ච දේ. මම තීරණේ දුන්නෙ මගේ ජීවිතේට හරි කියලා පෙනිච්ච විදිහට. නංගිට එවෙලෙ ඕන වෙලා තිබුණෙ අවවාද නෙවෙයි. මම නංගිව මරාගත්තා." 


ඇගේ හඬේ වුයේ මා ඇගේ නංගීව මරාගත් සෙයකි. ඉන් අමනාපයට පත් වූ මම ඉවත බලා ගතිමි.
"මම නංගිව මරාගත්තා." තමන්ටම සෙමෙන් කියාගත් ඇය නැවත කතා නොකළාය.


පොළොන්නරුවෙදී අපි නාඳුනන්නන් සේ දුම්රියෙන් බැස්සෙමු. දර්ශනී මා කැඳවාගෙන යාමට වාහනයක්ද රැගෙන පැමිණ සිටියාය. අපි නාඳුනන්නන් සේම වෙන්ව ගියෙමු.




This entry was posted on Friday, February 11, 2011 at Friday, February 11, 2011 and is filed under , , . You can follow any responses to this entry through the comments feed .

3 දෙනෙක් ගේ අදහස්

පොදු වාහනයක දුර ගමන් බිමන් යනෙන වෙලාවට නන්නාඳුනන අයගේ ගමන්මලුත් ඔසවන්න වෙනවා. ගමනාන්තයේ දී බැහැලා ගියත් පමණක් වෙලාවට ඔසවපු බරට ඇදුම්කන හන්දිපත් පිරිමැද ගන්න පුලුවන්. හිතට ඇතුලුවෙන දේවල් එතරම් ලේසියෙන් ගිලිහී යන්නේ නැති එකයි ප්‍රශ්ණය.

ජීවිතයක් නැතිවෙන්න මුල් වුනා යැයි සිතන ඇගේ හිතේ බර ටිකක්වත් අඩුවෙන්න ඇති, එත් නන්නාඳුනන අයෙකුට විඳින්න වූ කරදරය?

February 12, 2011 at 11:06 PM

@ගල්මල්-Coral
බොහොම ස්තුතියි අය්යගෙ වටිනා අදහසට. 'ගමන්මළුවල බර' කියන සඳහන දැක්කම මතක් වුණා අජාන් බ්‍රහ්මවංසෝ හාමුදුරුවන් කියන කතාවක්: අපි හැමෝම හැම වෙලේම ඔසවන් ඉන්න අතීතය හා අනාගතය නමැති බරමළු දෙක. නාඳුනන්නන්ගෙ එවැනි ගමන්මළුවල බරත් අපිට දරන්න වෙනවා සමහරවිට. මේ වගේ ප්‍රශ්නවලදි සමාජයක් ලෙස අපිත් වගකිව යුතු බව පෙන්නන්නයි අදහස් කළේ.

February 13, 2011 at 10:46 AM

ඇත්තෙන්ම ඒ සමාජමය වගකීම කතාවෙන් මනාවට ඉස්මතු කර තියෙනවා.

කතාවේ අක්කාගේ පාපෝච්චාරණය හා කතා නායිකාව ගේ නොරිස්සුම අතර දෝලනය වෙන සමාජය ප්‍රශ්ණය ඉදිරිපත් කිරීම සර්ථකයි.

February 14, 2011 at 7:56 AM

Post a Comment

ඔබේ අදහස් අපිට ශක්තියක්