දානය
කවුදෝ ගේට්ටුවට තඩි බානු ඇසේ. මේ වේලාවට ගෙදරට එන්නට කිසිවෙකුත් නැත. රෝගී අත්තම්මා වකුටුව නිදයි.
මම හොරෙන් හොරෙන් එබෙමි. ගේට්ටුවට ඉහළින් බලා සිටින කාන්තාවට එවැනි හොරෙන් බැලිලි හුරු නිසාදෝ ඇය වහා මා දකියි.
"අනේ චූටි."
උසස් පෙළ ලියා කාලය කමින් සිටින මට මතක ඇති කාලයකට කවුරුත් 'චූටි' කියා ආමන්ත්‍රණය කර නැත. මගේ හද මෙළෙක් වෙයි. මම ගේට්ටුව දෙසට යමි.
"අනේ චූටි, මම කරදරේක වැටිලා. මට උදව්වක් කරන්ඩ."
කිළිටි සාරියක් පටළවාගෙන, දහදියෙන් පෙඟී සිටින කාන්තාව කෙට්ටු, කළුවට හුරු, මැදිවියේ සිටින්නියකි. පටියකින් බැඳි වැරහැළි කොණ්ඩය පිට දිගේ එල්ලෙයි. අතෙහි කුඩයකි. ඇය කරදරයක පැටළී ඇති බව මුහුණෙන්ම පෙනේ.
"මට බස් එකේදි නින්ද ගියා. ඇහැරෙනකොට පර්ස් එක නෑ; හොරකම් කරලා. අනේ චූටි, මට ගෙදර යන්ඩ බස් එකට රුපියල් දහයක් දෙන්ඩ."