ගොදුර  

Posted by නලිනි චන්දිමා in , ,




බණ්ඩා රාළහාමි වංගුවට ඉහළින් පඳුරු අතර සැඟව රැක සිටී. බෑවුම් මග ඔස්සේ පණ ඇද ඇද කන්ද නගින ලොරියක් හෝ බසයක් දකින ඔහුගේ සිත සතුටින් ඉල්පෙයි. වංගුවෙහි වාහන හතරක් වුවද එක පෙළට ගමන් කිරීමට තරම් ඉඩ තිබුණද එහි ද්විත්ව ඉරි ඇඳ ඇත. බණ්ඩා රාළහාමි බලා සිටින්නේ කවුරුන් හෝ වාහනයකට ඉස්සර කරනතුරුය. 
පලපුරුදු රියදුරෝ මේ අඩවියේ පොලිසියෙන් සිටින බව දන්නා නිසා ප්‍රවේශමෙන් යති. එවන් වාහන දෙස බලන බණ්ඩා රාළහාමි අවඥාවෙන් කෙළ ගසයි: 
"තුඃ, නොදකිං!"


සිකුරාදා රාත්‍රී සිට සෙනසුරාදා උදෑසන දක්වාත්, ඉරිදා රාත්‍රී සිට සඳුදා උදෑසන දක්වාත් රාජකාරි කිරීමට බණ්ඩා රාළහාමි ඉතා ප්‍රිය කරයි. දුර බැහැර නැවතී සේවය කරන හදිසිකාරයන් නිවෙස් බලා එන්නේ මේ වේලාවන්ටය. මේ මුරවලට රාජකාරි යෙදී ඇත්නම් බණ්ඩා රාළහාමිගේ මනෝභාවය සතිය පුරා ඉතා යහපත් මට්ටමක පවතියි. ඒ අනුව ඔහුගේ සේවාමුරය කුමක්ද යන වග අඹුදරුවන් පමණක් නොව, කඩ මණ්ඩියේ මුදලාලිලා පවා අනුමාන කරති.


වසර දහයකට මඳක් වැඩි සේවාකාලයකට හිමිකම් කියන බණ්ඩා රාළහාමි සිය පළපුරුද්දට සරිලන සේ හැකියාවන් දියුණු කරගත්තෙකි. වාහනයක් දකිනවිට එහි ගමන් ගන්නේ ප්‍රභූවරයෙක්ද, මධ්‍යම පන්තිකයෙක්ද යන්න ඕනෑම බූරුවෙකුට කිව හැක. නමුත් වාහනයෙන් බසින මිනිසා දෙස හෙළන එක බැල්මෙන් ඔහු කෙතරම් මුදලක් විසි කරයිද, දඩයක්ම ගෙවීමට තරම් දැඩි සිතක් ඇත්තෙක්ද, වැට උඩ සිටින්නෙක්ද, මෙලොව හසරක් නැත්තෙක්ද යන වග බණ්ඩා රාළහාමිට ඉලක්කෙට කිව හැක.


මෙලොව හසරක් නැති ජාතිය, එනම්, පගාව යන සංකල්පය අසා ඇතිමුත් එහි ප්‍රායෝගික භාවිතය නොදන්නා පිරිස, දකිනවිටම දඩ කොළයක් ලියා දීම ඇතැමෙකුගේ සිරිත වුවද, බණ්ඩා රාළහාමි එසේ නොවේ.

 තමාගේත් අනුන්ගේත් යහපත පිණිස, මෙවන් තරුණයන්ට පගාව ගෙවිය යුත්තේ කෙසේදැයි පුහුණු කිරීමේ අභියෝගය ඔහු කැමැත්තෙන්ම භාරගනී. ඒ සඳහා අනුගමනය කරන ක්‍රමවේදයන් ඔහු විසින්ම දීර්ඝ කාලයක් මුළුල්ලේ අත්දැකීමෙන් සකසාගෙන ඇත; නොඑසේනම් වෙනත් පරහිතකාමී රාළහාමිකෙනෙකුගෙන් අසාගෙන ඇත.
රාත්‍රී දහයට පමණ ගාටන ලොරියක් පිටුපසින් බොහෝ දුරක් නැවතිල්ලේ පැමිණ, අවසන් මොහොතේ ඊට ඉස්සර කළ කාර්කාරයා එබන්දෙකි. පෙනුමෙන් ඔහු බණ්ඩා රාළහාමි නම නොදන්නා රැකියාවක් කරන අයෙකි; දෙමවුපියන් විසින් චීස්බෝල මෙන් උස්මහත් කරන ලද මෙවන් තරුණයින් නිසා වද විඳින්නේ අහිංසක රාළහාමිලා වැන්නන්ය.

"මහත්තයා, එතන ඉස්සර කරන්ඩ බෑ." යයි කාරයට එබී බණ්ඩා රාළහාමි කී කල, තරුණයා කිසිත් නොකීවේය. "ලයිසන් එක අරන් එන්ඩකො."යි කී කල, ඔහු ඉදිරි අසුනේ සිටි තරුණියට යමක් පවසා වාහනයෙන් බැස්සේ කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරවය. සරත් රාළහාමිට ඇසින් සංඥා කර ඔහුව ඉවතට යැවීමට බණ්ඩා රාළහාමි කටයුතු කළේ තරුණයාගේ සබකෝලය අඩු කිරීමටය.

දඩ ආම්පන්න සහිත යතුරුපැදිය නවතා තිබුණේ පඳුරු වලින් ආවරණය වුණු කුඩා අතුරු පාරකය. තරුණයා සමග එහි හුදෙකලා වුණු බණ්ඩා රාළහාමිට දඩකොළය ලිවීමට හදිසියක් නොමැත.


"ගන්ඩකො බලන්ඩ මහත්තයගෙ ලයිසන් එක."
තරුණයා දික් කළ රියදුරු බලපත්‍රය අතට ගත් බණ්ඩා රාළහාමි එය පිරික්සා හිතවත් සිනහවකින් සංග්‍රහ කළේය.
"කුණ්ඩසාලෙද?"
"ඔව්." තරුණයා කෝල සිනාවක් පෑවේය.
"ෂෝක් පැත්ත!"
"ඔව්. ලස්සන පැත්ත."
"අපි හිටිය එහෙ, දැයට කිරුළ දවස්වල."
"ආ.."
"මහත්තයා කොහෙ ඉඳන්ද එන්නෙ?"
"කොළඹ ඉඳන්."
"රස්සාව කොළඹ වෙන්ඩැති?"
"ඔව්."

තරුණයා තවමත් මුදල් පසුම්බිය ගැන කල්පනා කරන බවක් පෙනෙන්නට නැත. බණ්ඩා රාළහාමි රියදුරු බලපත්‍රය අතේ තියාගෙනම තරුණයා දෙස කෙළින් බැලුවේය.

"මෙතන ඔය විදිහට ඉස්සර කරන්ඩ ගිහාම අනතුරක් වෙන්ඩ තිබුණා; වෙලා තියෙනවා!"
තරුණයා කිසිත් නොකියා මඳ සිනා පෑවේය. ඔහු කලබලව ඇති පාටක් හෝ බිය වී ඇති පාටක් පෙනෙන්නට නැත.
"මූනම් මහ මැට්ටෙක්. එහෙම නැත්නම් අමු කට්ටයෙක්."


බණ්ඩා රාළහාමි බරපතලකමක් මුහුණට  හා හඬට ආරූඨ කරගත්තේ තරුණයා පත්ව ඇති තත්වය ඔහුට අවබෝධ කරවනු පිණිසය.

"දඩ කොළයක් ලියන්ඩ වෙනවා."

තරුණයා අහිංසක ලෙස සිනහ වනු හැර පිළිතුරක් නොදිනි. බණ්ඩා රාළහාමි සිය ආම්පන්න මල්ල තුළට අත දමා දඩ පත්‍රිකා පොත අතට ගත්තේය. අනතුරුව නිවිහැනහිල්ලේ එය යතුරුපැදියේ අසුන මත තබා පිටු එකිනෙක පෙරළන්නට විය.

තරුණයා ඔහේ බලා සිටියි.

තරුණයා දෙස යටැසින් බැලූ බණ්ඩා රාළහාමි හිතවත් සිනහවකින් සංග්‍රහ කළේය.
"දඩේ තැපැල් කන්තෝරුවකින් ගෙවලා, ලයිසන් එක ගන්ඩ පොලීසියට එන්ඩ ඕනෙ. අපේ පොලිසිය තියෙන තැන දන්නවද?"
"නෑ, කොයි හරියෙද?"
බණ්ඩා රාළහාමි දඩ පොත පසෙකින් තබා පිළිතුරු දෙන්නට විය.
"ප්‍රධාන පාරෙන් ටිකක් ඇතුළට යන්ඩ තියෙනවා. ටිකක් කිව්වට සෑහෙන්ඩ ඇතුළෙ. කිලෝමීටර් අටක් විතර යන්ඩ ඕනෙ. මෙතන කන්ද පටන් ගන්ඩ ඉස්සර ටවුම ඉවර වෙනකොටම වගේ වම් පැත්තට තියෙන පාර. ටිකක් හොයා ගන්ඩ අමාරුයි."
"කාගෙන් හරි ඇහුවොත් කියයි නේද?"
"ඇහුවොත් කියයි. හැබැයි පාර හොඳටම සවුත්තුයි."
"වැස්සත්නෙ පහුගිය ටිකේ."
"ඔව්, නැතත් ලඟදි හදලත් නෑ. මහත්තයලට වැඩේ කරදරයි තමයි. වෙනම ගමනක් එන්ඩත් වෙනවා. නමුත් අපි නීතිය රකින්ඩ ඕනෙනෙ."

බණ්ඩා රාළහාමි මඳ වේලාවක් බලා සිටියේය.

තරුණයාද ඔහේ බලා සිටිනු විනා සාක්කුවට අත යැවීමට තැත් නොකළේය. ඔහුට කල්පනා කිරීමට මඳක් ඉඩ දිය යුතුයයි තීරණය කළ බණ්ඩා රාළහාමි සිය ආම්පන්න අවුස්සන්නට වූයේය.

තත්පර ගෙවී යයි; විනාඩි ගෙවී යයි.

වාහන ඇදී යයි.

සරත් රාළහාමි තරමක් නොසන්සුන්ව පෙනෙන මානයට අවුත් බැලුම් හෙළයි.

බණ්ඩා රාළහාමි යමක් සොයන විලාශයක් පෙන්වන අතරතුරම තරුණයාට අනුබල දෙන සිනහවකින් සංග්‍රහ කළේය.
"කාබන් කොළේ නෑ!"
"ආ.." වාහනයට ඉස්සර කරනවිට තරුණයාට තිබූ හදිස්සිය දැන් නැති සේය. ඔහු ඉවසීමෙන් බණ්ඩා රාළහාමි දෙස බලා සිටී.
"දැන් තිබුණා."
තරුණයාගෙන් පිළිතුරු සිනහවකි.
"මහත්තයට පරක්කු වෙනවනම් තමා. ඒත් එතන ඉස්සර කරපු එක වැරදියි. නිතර අනතුරු වෙන තැනක්."
"කමක් නෑ."
තරුණයා හදිස්සිකාරයෙක් නොවේ!

"අපිත් ඉතින් නිදි මරාගෙන දුක් මහන්සියෙන් මේ රස්සාවල් කරන්නෙ මිනිස්සුන්ගෙම ආරක්ෂාවට තමයි." බණ්ඩා රාළහාමි කාබන් කොළය සොයන අතරතුර ඉවත බලාගෙනම  කරුණු පැහැදිලි කරන්නට විය. "හරියට ගෙවීමක්වක්වත් නෑ වෙන මහන්සියට."
"ඒක තමා."
"කිසිම අගය කිරීමක් නෑ අපි කරන සේවය."
"මේ රටේ ඉතින් කිසිම දෙයක් අගය කෙරෙන්නෙ නෑනෙ."
"අන්න මහත්තයට තේරුණා. අඩුම ගානෙ හරිහැටි ගෙවීමක් කරන්ඩ ඕනෙ. මොකද, අපි පඩියෙන් ජීවත් වෙන මිනිස්සු. ඒකත් නෑ."
තරුණයා හිස වනමින් අසා සිටිනු විනා වැදගත් ප්‍රතිචාරයක් නොමැත.
"රස්සාවෙ ගරුත්වය තියාගෙන ඉන්ඩනම් ඒකට හරියන විදිහෙ වැටුපක් දෙන්ඩ ඕනෙ."
"ඒක තමයි."
"සමහර වැදගත් මහත්තුරුනම් ඉතින් අපිට සළකනවා. අපිත් උදව් කරනවනෙ."
තරුණයාට ඒත් සත්‍යාවබෝධ වෙන ලකුණක් නැත. බැරි වෙලාවත් තමන් කියන දෑ පටිගත කළ හැකි ආම්පන්නයක්වත් ඔහු සතුව තිබේදැයි නොදන්නා නිසා වටින් ගොඩින් කතා කරනු මිස කෙළින්ම ගාස්තුවක් ඉල්ලීමටද බණ්ඩා රාළහාමි අකමැතිය.

කාලය ගෙවී යයි.
වාහන නිදැල්ලේ වංගුව පසු කර යයි.

සරත් රාළහාමි නුරුස්නා බැලුම් හෙළන්නේ ඉගිලෙන වාහන දෙස බලමිනි. මේ විකාරයක් නිසා කිසිත් කරගත නොහැක. මෙවැන්නන් දුටු කල දඩ කොළයක් ලියා දී හැකි ඉක්මණින් පිටත් කර යැවීම ඔහුගේ ප්‍රතිපත්තියයි.

බණ්ඩා රාළහාමි තමන් සතු අන්තිම තුරුම්පුවද ගැසීමට තීරණය කළේය. ඔහු රියදුරු බලපත්‍රය රියදුරු අසුන මත තබා තරුණයා දෙසට තල්ලු කළේය.
"කමක් නෑ! මහත්තයා අපිත් එක්ක හුඟක් හිතවත්ව කතාබහ කළානෙ. මම දඩ නොලියා ඉන්නම්. හැබැයි ආයෙ මේ වරද කරන්ඩ එපා."
බණ්ඩා රාළහාමිගේ පපුව ඩිග් ඩිග් ගාන හඬ තරුණයාටද ඇසුණා විය යුතුය. ඔහු ස්තුතිපූර්වක සිනහවක් පාමින් රියදුරු බලපත්‍රය අතට ගත්තේය.
"බොහොම ස්තුතියි."
ඔහු පිටුපස සාක්කුවට අත යවා පසුම්බිය එළියට ඇද්දේය.බණ්ඩා රාළහාමි බලාපොරොත්තු සහගතව බලා සිටියේය. 

"දැන් දෙයි; දැන් දෙයි!" ඔහුගේ සිත මුර ගා කීවේය. අවශ්‍යව තිබුණේ මේ සුළු පෙළඹවීම පමණෙකි. සාමාන්‍යයෙන් මෙවන් ගනුදෙනුවකදී දෙන ප්‍රමාණය නොදන්නාකම නිසා ටිකක් වැඩිපුර මුදලක් දීමටද ඉඩකඩ ඇත.

"එන්නම්." තරුණයා බලපත්‍රය පසුම්බිය තුළ රුවමින් පැවසුවේය.
හිස වනනු හැර වෙනත් යමක් කිරීමට ඉතිරිව නොතිබුණි. තරුණයා ආපසු හැරී රථය වෙත ගමන් කළේ බණ්ඩා රාළහාමිගේ කඩවුණු බලාපොරොත්තුද සාක්කුවේ රුවාගෙනය.

සරත් රාළහාමිගේ රැවිල්ල අඳුර නිසා පැහැදිලිව නොපෙනෙයි.
"අපරාදෙ, වාහන කීපයක්ම ගියා. මම නැවැත්තුවෙත් නෑ අරූ හිටපු හින්ද. අනික අද අඩුයි වාහන."
"ඔහොම දවසුත් තියෙනවා." බණ්ඩා රාළහාමි වංගුව දෙස බලාගෙන පිළිතුරු දෙයි. 

"නැතුව හැමදාම එක වගේ තිබුණනම් බුදු බණ බොරු."




This entry was posted on Friday, April 01, 2011 at Friday, April 01, 2011 and is filed under , , . You can follow any responses to this entry through the comments feed .

14 දෙනෙක් ගේ අදහස්

ඇත්ත ඇති සැටියෙන්.....

April 1, 2011 at 11:03 PM

දක්ෂ දඩයක්කරු උගුල අටවන්නේ ගොදුර ඩැහැගන්න, ගොදුර ගැන ඇති බිය නිසා මුහුණට මුහුණලා ඉදිරිපත්වෙන්න ඇති චකිතය නිසා. කල්පනාවෙන් මුහුණ දෙනවා නම් ඇටවූ උගුලේම දඩයක්කරු හිරකරන්න බැරිකමක් නැහැ නේද... බොහෝම සූක්ෂම විමසුමක්, ගොඩාක් රසවින්ඳා.

April 2, 2011 at 1:11 AM

හොඳ සටහනක්...

April 2, 2011 at 7:32 AM

ඔය කාරණයේ බලන්න ගොඩක් පැති තියෙනවා... සමාජීය, ආර්ථික පැති ගොඩක්... බණ්ඩා රාළහාමිගේ දෙබස් අපි කවුරුත් අමතක කරන පැත්තක් ගැන හිතන්න අපිව යොමු කරනවා. ඇමරිකානු පොලිසියේ නිළධාරින් පගාව නොගන්නත්, අපේ ඉන්දියාව වගේ රටවල දේ ජයටා වෙන්නත් හේතුව ටිකක් විවෘත මනසින් විමසා බලන්න ඕනේ...

අර්ථවත් නිර්මාණයක්... ජය !

April 3, 2011 at 2:44 PM

හරිම ලස්සන කතාව. අදටම ගැලපෙනව. කොහොමත් මෙහෙම දේවල් හැමතැනම වගේ වෙනවනේ. නංගිගේ නිර්මාණ පරාසය එන්න එන්න පුලුල් වෙනව. හරි සතුටුයි. ජයම පතනවා ඔයාට.

April 3, 2011 at 9:13 PM

@..ChAnDiKa.. ඔව් ඔව්. අපේ මල්ලි මුහුණ දුන් සිදුවීමක් පාදක කරගෙන කියවුණේ.
මුරගලට ගොඩ වූ ඔබට ස්තුතියි.

April 4, 2011 at 12:14 AM

@ගල්මල්-Coral

බොහොම ස්තුතියි ඩීන් අය්යා. ජීවිතයේ හුඟක් සිදුවීම්වලට කල්පනාවෙන් මුහුණ දෙනවානම් අනෙක් අයට අපව රැවැට්ටීමට, නොමග යැවීමට ඇති ඉඩකඩ අවම කර ගැනීමට පුළුවන් කියලයි මටත් හිතෙන්නෙ.

April 4, 2011 at 12:24 AM

@මාරයාගේ හෝරාව

බොහොම ස්තුතියි කියවා අගය කළාට.

April 4, 2011 at 12:25 AM

හොඳ ලිපියක්.
මැණික්

April 4, 2011 at 9:29 AM

@Chandi

ඔව් අක්කා, සත්‍ය සිදුවීමක් ඇසුරෙනුයි ලිව්වෙත්. බොහොම ස්තුතියි සටහනක් එක් කළාට.

April 4, 2011 at 4:58 PM

@මැණික්

බොහොම ස්තුතියි ඔබේ සටහනට.

April 4, 2011 at 4:59 PM

@මින්දද

පගාව ගන්නෙ සල්ලි නැතිකමටය කියලනම් මම හිතන්නෙ නෑ. හොඳම උදාහරණය අපේ පොලිටික්කො සහ රාජ්‍ය ආයතනවල ඉහළ නිලධාරීන්. මම හිතන්නෙ ඒක මිනිස්සුන්ගෙ ආකල්පවල ප්‍රශ්නයක්. අර පාටියකදි ටිකක් බිව්වට කමක් නෑ ජාතියෙම එකක්. කිතුලට නැග්ග එකාටත් කියන්ඩ උත්තරයක් තිබුණා වගේ මොකක් හරි එකක් කියනවා වැරැද්ද වහ ගන්න.
බොහොම ස්තුතියි මින්දද මල්ලි, වටිනා අගැයීමටත් සුභ පැතුමටත්.

April 4, 2011 at 5:05 PM
Anonymous  

දඩයක්කරුගේ ඇස් ඉදිරියේම ගොදුර උගුලේ නොවැටී උගුලතුලින් රිංගා යෑමක්,
දඩයක්කරුවා පව්..!

(නමක් නැතත් ඔබ දන්න කියන කෙනෙක්)

April 14, 2011 at 3:54 PM

@Anonymous

බොහොම ස්තුතියි අපේ බ්ලොග් එකට ඇවිත්, කියවා සටහනක් එක් කළාට.
ඒත් කුතුහලය අවුස්සලනෙ ගිහින් තියෙන්නෙ. මම දන්න නමක් නැති කෙනා...

April 17, 2011 at 10:09 AM

Post a Comment

ඔබේ අදහස් අපිට ශක්තියක්