හෙවනැලි නැති මිනිස්සු.....(2 කොටස)  

Posted by සෙනරත් බණ්ඩාර (සිංහල පද්‍ය රටා.....) in ,


මෙහි මුල් කොටසට මේ සබැඳිය හරහා පිවිසිය හැකියි.
හෙවනැලි නැති මිනිස්සු 1කොටස



හරි මට මතකයි... කඳුළු කැටයක් වැටුණේ නැති වුණාට ඇස් මත තුනී කඳුළු පටලයක් ඉක්මණින් මතු වුණා.
ඇයි එහෙම වුණේ කියල මට ඒ වෙලාවේ හිතන්න ඕන වුනේ නැත්තේ උඹේ වරදින්, හෘද සාක්ෂිය. ඔව්, උඹේම වරදින්.
මොකද උඹ මට පුරුදු කරලා, කියලා දීලා තිබුණේ නෑනේ අනෙක් අයගේ හැඟුම් වලට කිමිදිලා ඒක එහෙම වෙන්නේ ඇයි කියලා හිතන්න ඕනේ කියන දේ!
මම ඒවා පස්සේ ඉගෙන ගත්තේ තනිවමයි-ඇත්තම කීවොත් ඒවා දැන ගත්තේ මේ ඊයේ පෙරේදා.


මට උවමනා වුණේ ඒ මූණ මම ඉදිරියේ ඉද්දි ලස්සනට හිනාවෙන් පිරිලා තියෙන්න විතරයි- එහෙම හිනාවෙන් පිරෙන්නේ කොහොමද, එහෙම හිනාවෙන් පිරෙන්න ඕන කරන්නේ මොනවද, එහෙම සැහැල්ලුවෙන් ඉන්න ලබැඳියන්ගෙන් ලැබෙන්න ඕන මොනවද කියන දේවල් මම කිසි දිනක හිතුවෙ නෑ. එහෙම හිතන්න ඕන කියලා මම හිතුවෙත් නෑ.
"මේ, ඔය නිදි මැරිල්ල අල්ලා දාන්න!"
මම කියද්දි ඒ මුව මඳක් විවරව යමක් කියන්න හැදුව වගේ මට මතකයි. ඒත් ඒ කියන්න ආපු දේ කවදාවත්ම නම් එළියට ආවේ නෑ.
ඒ විතරක් නෙවේ. ඒ මුව කියන්න දඟලපු ගොඩක් දේවල් අවට ලෝකයට ආවේ නෑ - හරියට කීවොත් මම එන්න දුන්නේ නැහැ. මොකද ඒක මගේ අවාසියට හේතු වෙයි කියල මම හිතපු නිසා වෙන්න ඇති කියලා මට දැන් හිතෙනවා.
අවාසියට හේතු වෙන කරුණු කාරණා අනුන් දැන ගන්නවට කවුද කැමති? ඇයි මගේ සමහර කරුණු මට අවාසි? ඒකෙන් කාටවත් වැඩක් නැති බව ඇත්ත. ඒත් මම එහෙම හිතුවේ මගේ පිළුනු විචාර බුද්ධිය නිසාම නොවෙයිද? ඒක එහෙම නොවෙයි කියලා කාටවත් කියන්න බෑ.
මම ගැන හරි විදියට ලෝකයා දැන ගත්තා නම් මම කියන්නේ කිසි කමකට නැති නිකමෙක් කියන එක ලෝකයා දැනගන්නවා නියතයි.
හැබැයි ඒ නියතයට ලෝකයා ඉදිරියේ ප්‍රසූත වෙන්න නුදුන්නු නුඹ මට කොපමණ වටිනවා වුණත් මම ඒක නුඹට තේරෙන්න හැරියේ නෑ. හරියටම බැලුවොත් නුඹ මට මේ තරම් වටිනවා කියලා මට පසක් වෙන්නට මෙපමණම කලක් ගත වුණා - හරියට ඒ පසක් විල්ලට පස්මහ බැලුම් බලන්න වුණා වගේ! නමුත් ඒ පස්මහ බැලුම් අපි දන්න කියන පස්මහ බැලුම් වලින් වෙනස්... වෙනස් කියන්නේ සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධයි- මේ පස් මහ බැලුම් බලලා තිබුනේ හොඳටම වැරදි කාලය මොකක්ද, හොඳටම වැරදි දීපය මොකක්ද, වැරදිම දේශය මොකක්ද, වාගේ දේවල්!
නිදි මැරිල්ල අල්ලා දැම්මේ නෑ.
මම මතක ඇතුවම නිදි මරන්නේ නෑ නේද කියලා ඊට මාස කීපයකට පසුව ඇහුවා මතකද?
අමතක වෙන්න හේතුවක් නෑ. මොකද ඒක අහන වෙලාවේ පසුබිමින් ගිය ගීතය මට තාම මතකයි.
"ගයන ගැයුම් නටන නැටුම් ඉවත හෙළයි සෝක සුසුම්....."
හැබැයි ඒකට මුනිවත රැකපු ඔයාට මම කතා කලේ හරිම නක්කලේට.
මට අද තේරෙනවා ඔයා එදා නෙතින් ඇඬුවේ නැති වුනාට හිතින් අහස ගුගුරවමින් වහිනවා වගේ අඬන්න ඇති කියන වග.
"ශිට්!" ඇයි මම ඒ දේ තේරුම් නොගත්තේ?
හැබැයි, මම ඒ වගේ කිසි තේරුමක් නැති දේවල් අල්ලගෙන බැන්නත් ඔයා මට දක්වපු ඔයාගෙ ආදරේ බිඳිත්තකින් වත් අඩු කළේ නෑ නේද?
මට මතකයි මම කිව්වා, "ඔයාට බැරිනම් මගේ විදිහට ඉන්න අද වුණත් යන්න පුළුවන්."
හැබැයි, ඒ වදන් ටික ඔයාගේ හිතට දුන්නු බර ......
ඇයි මම ඒ තරම් හිත් පිත් නැති වුණේ? උත්තර දීපන් හෘද සාක්ෂිය....
එහෙම මම කී වරක් නම් කියලා ඇතිද?
හැබැයි එහෙම කීව මොහොතට පසු මොහොතේ ඉඳන්ම නුඹ මට සැළකුවේ එහෙම දෙයක් නූන ගානට.
මම හරි නේද?
මම කියන දෙයක් කරන්නට ගතවන නිමේශයක පමාව නුඹට ගෙන දුන්නු ගොරහැඩිකම මම දැන ගත්තේ ඊයේ පෙරේදා.
"නුඹ අකමැති මම කැමති දේ කරන්නට මම වද කරපු හැම තැනම, හැම දාම, නුඹ හිත යටින් බිඳපු ඉකි දැන් දැන් මගේ දෙසවනේ දෝංකාරයේ වේදනාවන් මවනවා."
කොහොමද මගේ ලස්සන වදන් ගැට ගැහිල්ල?
හැබැයි මගේ හිත ඒ තරම් ලස්සනට ගැට ගැහිලා තිබුණේම නෑ....
දැන් ලස්සනයි කියනවා නෙවෙයි.
හැබැයි දැන් වෙනස්- ඒ වෙනස පමා වැඩියි.
මට සමාව දේවිද, හෘද සාක්ෂිය?
"කවුද?".....
"කවුද අද බස් එකේදි කතා කර කර ආවේ?"
"ගමේ මල්ලි කෙනෙක්... දැන් මෙහෙලු වැඩ."
"කොහේ එකෙක් වුණත් වැඩි පයිරු පාසානම් ඕනේ නෑ. මට මොකෙක්වත් විශ්වාස නෑ."
මම මොකෙක්වත් කියපුවහම ඒ කුලකයට ඔයත් අයිති වුණා නේද?
මම මොන දේ කළත් ඔයා මාව විශ්වාස කළා. හැබැයි මම ඒ ප්‍රති උපකාරය ගැන හිතුවේ නෑ.
මහම මහ කුහක පුද්ගලයෙක් මම.
මම නුඹට මගේ දිවියේ සම තැන තියා දෙවෙනි තැනවත් දුන්නේ නෑ.
ඒත් නුඹේ දිවියේ පළමු තැන හිටියේ මම.
මම ඒ වරප්‍රසාදය උජාරුවට විඳිමින්, මට ඒ තැන දුන්න සුජාතාවියට දුන්නේ කුණු පිරුණ, මගේ හිතේ අඳුරුම කොනක තිබුණ මුල්ලක්!
මම, මම විඳපු සමාගමයන් වලදි මගේ නාම මාත්‍රික මිතුරන් සමග කී වරක් නුඹව සමච්චලය නම් කොටුව තුළ කොටු කළාද?
ඒ සමච්චල් වදන් වලින් මම වින්දනය ලබද්දි නුඹ මැරි මැරී උපදින්න ඇති නේද?
මම නුඹ මගේ ඇඟේ එක් පළුවක් කරගෙන තිබුණේ නෑ කියන එකට ඒක හොඳම උත්තරයක් නේද?
මොකද, මම කවදාවත් මට අපහාස කරගන්නේ නෑනේ.
ඒත් නුඹට මම නුඹේ දිවියම වුණා- මම වගේ පාහරයෙක්!
ඒ කියන්නේ නුඹත් පාහර හෘද සාක්ෂියක්!... නියමයි. පාහරයො දෙන්නෙක්ගේ එකතුවක්!
මම "දැන් බයිට් වුණා ඇති නේද?" කියලා නුඹෙන් අහද්දි නුඹ මගේ පාහරකම දකින්න ඇති.
හැබැයි මගේ පාහර කම අවට ලෝකයට පෙනෙන්න නුදුන්නු නුඹ කොතරම් පිවිතුරුද? පිරිසිදුද? පූජිත විය යුතුද?
ඒත් ඒ තරම් නුඹ වාසනාවන්ත වෙන්න මම ඉඩ දුන්නේ නෑ නේද? ඒකයි ඇත්ත.
"හපොයි මොනවද එද්දි ගෙනාවේ?"
මම එහෙම අහද්දි නුඹේ හිතේ සතුටක් තිබුණානම් ඒ ටිකත් නැති වෙන්න ඇති නේද? මම නුඹේ දෙමාපියන්ට ගරහද්දි නුඹ කොච්චර අසරණ වෙන්න ඇත්ද?
මම නුඹව ළං කර ගත්තේ ආදරය කියන අකුරු හතර මගේ ආධිපත්‍යයට තබාගෙන, නුඹව සිරමැදිරියක කොටු කරලා නේද?
මම ආදරය කරද්දි නොඉල්ලු දේවල් දැන් ඉල්ලන්ට තරම් මදයක් මහිත තුළට පිලිසිඳගන්න ඉඩ දුන්නේ නුඹයි, හෘද සාක්ෂිය...
ඇයි මම එහෙම පටු වුණේ? කුහක වුණේ?
මම ඇහුවේ "යොමා බුදු නෙත කුළුණිනේ." හැබැයි නුඹ ඉදිරියේ රඟ දැක්වූවේ "පිං මාළු වලේ කුසල් හාමි."
මේ මරාලයන් නුඹට දුන්න පීඩනය මට දැනෙන්න පටන් ගත්තේ නුඹ මට අහිමි වෙන්න පටන් ගත්ත දා ඉඳලා.
අහිමි වෙන්න පටන් ගත්තේ අද ඊයේ නෙවේ. හැබැයි මම ඒක තේරුම් ගන්නකොට කාලය මා පසු කරං ගිහිල්ලා....ආපහු හරවන්න බැරි තරමටම.
අද මම හිතින් හඬනවා කියන්නේ මොකක්ද කියන හැඟීමේ "රස" විඳිනවා.
නුඹ මා ළඟ තවමත් ඉන්නවා.
ඒත් ඒ එදා හිටපු, මාව රැකගෙන, මාව ආදරයක පා කළ ඇය නොවේ.
ඇත්ත සිහිනයෙන් වෙන් කර ගන්න බැරි,
තමා තමාගෙ හිතින් වෙන් කරගන්න බැරි,
හැඟීමක් හඟවන්නවත්, හැඳිනගන්නවත් බැරි,
මනසක වැඩ මනසින් වෙන්නැති,
ආදරිය, නුඹ ඉන්න මේ විශාධිත සිහින පුරයෙන් නුඹ ආයේ පෙර හිටපු යථාර්තයට එන්නේ නෑ කියලයි වෛද්‍යවරු කියන්නේ.....




This entry was posted on Wednesday, April 27, 2011 at Wednesday, April 27, 2011 and is filed under , . You can follow any responses to this entry through the comments feed .

2 දෙනෙක් ගේ අදහස්

කතාවේ පලමු කොටසින් කල පුද්ගලයෙකුගේ අභ්‍යන්තර මත ගැටුම මනා ගැලීමක් ඇතිව ඉදිරිපත් කල දෙවැන්න ද ප්‍රබලයි. කතාවේ ස්වභාවය හා ස්ංකීර්ණත්වය නිසාම මේ පොස්ට එකත් කොටස් දෙකක් වුනා නම් හොඳයි හිතුනා (මගේ අවිවේකී බව නිසා එහෙම හිතුනා වත්ද).

වෙනස්, සාර්ථක උත්සාහයක්.

April 30, 2011 at 11:45 PM

ස්තුතියි ඩීන් සහෝදරයා- ඔයාගේ දිරි ගැන්වීම මට ලොකු පිටුවහලක් වුනා දෙවනි කොටස අකුරු කරන්නටු

May 1, 2011 at 1:31 AM

Post a Comment

ඔබේ අදහස් අපිට ශක්තියක්