දන්න අය දන්නවා.....  

Posted by නලිනි චන්දිමා in , ,





                      නොයෙක් දේවල් ගැන මිනිස්සු විවිධාකාර මත දරනවා. උදාහරණයක් විදිහට ඇඳුම් අඳින්නෙ ඇයි කියන කාරණාව ගත්තොත්, නොයෙකුත් උත්තර හම්බෙන්නට පුළුවන්. නමුත් දන්න අය දන්නවා, මිනිස්සු ඇඳුම් අඳින්නට පුරුදු වුණේ අත පිහ ගැනීමට බව.

බොහෝම ඉස්සර කාලෙ මිනිස්සු ඇඳුම් ඇන්දෙ නෑ. කෑවට පස්සෙ, අත් හෝදගෙන, අත් දෙක ඉස්සරහට දික් කරගෙන ඉන්නවා වේළෙනකම්. කොටින්ම ආපන ශාලා ආදියෙහි වෙනම කොටසක් වෙන් කරලා තිබුණා මෙහෙම අත් වේළන්නන් වෙනුවෙන්. අව්වෙන් අත් වේළන්නට මිනිස්සු අකමැති වුණු හින්දා, සිසිල් මඳ පවන සහිත එළිමහනක, වාඩි වෙන්නට බංකු තියලා, ඒ ඉදිරියෙන් අත් වේළෙනතුරු බල බල ඉන්නට මලින් බර පුංචි උයන් කෑල්ලක් එහෙමත් හදලා තිබුණා. කොටින්ම, මිනිස්සු ආපනශාලාවකට යන්නට පෙර සොයා බලන්නෙ එතන කෑම හොඳද කියලා නොවෙයි, අත් වේළන උයනෙ තියෙන මල් මොනවද කියලා. මේ හින්දා ආපනශාලා හිමියන් අතර තරගයක් ඇති වුණා තමන්ගෙ අත් වේළන උයනෙ වෙනසක් තුළින් පාරිභෝගිකයින් ගෙන්වා ගැනීමට; මොකද, කෑමනම් ඉතින් හැමතැනම එක වගේනෙ.

එක් ආපනශාලා හිමියෙක් වෙනස්ම විදිහකට කල්පනා කළා. මොන මල්ද කියලා තෝරනු වෙනුවට ඔහු තමාගෙ අත් වේළන උයනට ගෙන්නුවා මිනිහෙක්.

ඔව්, මිනිහෙක්.
මිනිහෙක් කිව්වට නිකම්ම මිනිහෙක් නෙවෙයි. බොරු කීමට දක්ෂ මිනිහෙක්. මේ මිනිහා අත් වේළන අය ඉදිරියෙ හිටගෙන බොරු කියන්නට වුණා. මිනිස්සු මේ මිනිහගෙ බොරු අහලා පුදුමයට පත් වුණා. ඒවා විශ්වාස කරලා රැවටුණා. පස්සෙ ඒවා බොරු බව දැනගෙන තවත් පුදුම වුණා. පුදුම වෙලා ඉවර වුණාට පස්සෙ තමන්ටම හිනා වුණා.

ඉක්මණීන්ම අනික් ආපන ශාලා හිමියනුත් බොරු කාරයන්ව හොයා ගත්තා. බොරු කීම රැකියාවක් කර ගත් මිනිස්සු එන්න එන්නම වැඩි වුණා. ඔවුන් අතරෙත් තරගයක් ඇති වුණා. සමහර විශාල ආපනශාලාවල බොරු කියන මිනිස්සු කීපදෙනෙක් එකවර, එක පෙළට සේවය කරන වෙලාවල් පවා තිබුණා. වඩා හොඳින් බොරු කියන්නට දත් මිනිස්සු තමන්ගෙ හැකියාව වෙනුවෙන් වැඩිපුර සැළකිලි බලාපොරොත්තු වුණා. වඩාත් හොඳින් බොරු කියන බොරු කාරයින් ඉන්නා තැන්වලට ගොස් අත් වේළීම නම්බුවක්යැයි සාමාන්‍ය මිනිස්සු කල්පනා කළා.

කෑම බීම වලට වඩා බොරු කාරයින් ගැන මිනිස්සු සැළකිලිමත් බව දුටු ආපනශාලා හිමියන් බොරු කාරයින්ට වඩාත් හොඳින් සැළකුවා. ආපනශාලාවල ඉතිරි වෙන සියළුම කෑම ඔවුන්ට නොමිළේ දුන්නා. මේ නිසා බොරු කාරයන් ටික ටික තරබාරු වුණා. කොහොමත් කෑම ටික හම්බෙන හින්දා ඔවුන් කම්මැළි වුණා. අලුතින් බොරු ගොතා කියනු වෙනුවට, ඔවුන් හැමදාම එකම බොරු ටික කියන්නට වුණා.

අත් වේළන මිනිස්සුන්ට හැමදාම අහන මේ බොරු අහලාම එපා වුණා. ඒ නිසා ඔවුන් බොරු කාරයන් කියන දේවල් අහන් ඉන්නවා වගේ පෙනුණට, ඉන් එපිට තියෙන උයනෙ මල් දිහා බලන්නට පෙළඹූණා.

ඕනෑවට වඩා කෑම ලැබීමෙන් තරබාරු වී සිටි බොරු කාරයින්ගේ විනිවිදභාවය අඩු වෙලා තිබුණා. මේ නිසා මිනිස්සුන්ට උයනෙ මල් හොඳින් පෙනුණෙ නෑ. එතකොට මිනිස්සු කලබල වුණා.

ඔවුන් ආපනශාලා හිමියන්ට පැමිණිළි කළා. විනිවිදභාවයක් නැති බොරු කාරයින්ව ඉවත් කර නැවත මල් උයන් බැලීමට පහසුකම් සපයන ලෙස ඉල්ලා සිටියා. ඒත් බොරු කාරයින් බොරු ගොඩක් කියා ආපනශාලා හිමියන්ව රැවැට්ටුවා; තමන්ව දිගටම සේවයේ යෙදවිය යුතු බව ඔවුන් ආපනශාලා හිමියන්ට ඒත්තු ගැන්නුවා.

තමන් කැමති පරිදි අත් වේළීමේ මානව අයිතිවාසිකම අහිමි වීම නිසා මිනිස්සු කෝප වුණා. ඔවුන් එකතු වෙලා නඩු කාරයෙක් හොයාගෙන ගියා.

ඒ කාලෙ නඩු අහන්නෙ දැන් වගේ නොවෙයි. නඩු කාරයා කාමරේකට වෙලා ඉන්නවා. එක් එක් පක්ෂය ගිහින් වෙන වෙනම නඩු කාරයා හම්බෙනවා. ඊට පස්සෙ නඩු කාරයා අපක්ෂපාතී තීරණයක් දෙනවා.

ඉතින් නඩු කාරයා කාමරේට වෙලා හිටියා. මුළින්ම ඇතුළට ගියෙ සාමාන්‍ය මිනිස්සු. ඔවුන් තමන්ගෙ චෝදනාව ඉදිරිපත් කළා.
"නඩුකාරතුමනි, ආපනශාලා හිමියන් බොරු කාරයින්ව සේවයේ යොදවා ඇති හින්දා, අපට අත් වේළෙනතුරු මල් බලන්නට විදිහක් නෑ."
ඔවුන් කියා සිටියා. නඩු කාරයා බොහොම කෝප වුණා. ඔහු නැගිටලා අඩි පොළොවෙ හප්පලා මෙහෙම කිව්වා:
"මොනවා?"

ඉතින් මිනිස්සු ආයෙමත් තමන්ගෙ චෝදනාව ඉදිරිපත් කළා. එතකොට නඩුකාරයා ආයෙත් සන්සුන් වෙලා ඉඳගත්තා. ඉඳගෙන අත දික් කළා.
"මොනවද ඔබලා ළඟ තියෙන්නෙ?"
මිනිස්සු මූණෙන් මූණ බලා ගත්තා. හැමෝම ළඟ එක එක දේවල් තිබුණු නමුත් කවුරුත් කැමති වුණේ නෑ තමන් ළඟ තිබුණු දේවල් නඩු කාරයට දීමට. තමන් ළඟ තිබුණු දේවල් දුන් පසු, අනෙක් අය නොදී හිටියොත් තමුන් මෝඩයෙක් වෙන බව හැමෝම කල්පනා කළා.

නඩු කාරයා අත ආපහු ගත්තා. "කමක් නැහැ." ඔහු කිව්වා.

ඊලඟට ආපනශාලා හිමියන් ඇතුළට ගියා. ඔවුන් කිසිම දෙයක් කිව්වෙ නැහැ; නඩු කාරයා අත දික් කරන තුරු හිටියෙත් නැහැ. ඔවුන් තමන්ගෙ සේවකයන්ට අණ කළා ආපනශාලාවල තියෙන හොදම කෑම නඩු කාරයගෙ නිවසට ගෙන යන ලෙසට. ඒ නඩු කාරයට කරන ගෞරවයක් විදිහට. නමුත් අණ කරන ගමන් ඔවුන් සේවකයන්ට ඇස් ගැහුවා.

නඩු කාරයා ඔහුගෙ බුද්ධිමත් ඇස්වලින් ආපනශාලා හිමියන් දිහා බැලුවා.
"කමක් නැහැ." ඔහු කිව්වා.

ඊලඟට ඇතුළට ගියෙ බොරු කාරයින්. ඔවුන් දක්ෂ විදිහට කතා කළා; තමන් දිගටම සේවයේ යෙදී සිටිය යුත්තෙ මන්ද, හෙමින් පිපෙන මල් දෙස බලා සිටීමෙන් මිනිසුන්ගෙ ඉවසීම නැති වී ඔවුන්ට අධික රුධිර පීඩනය හැදෙන්නේ කෙසේද, අසා සිටීම වෙනුවට බලා සිටීම තෝරා ගැනීමෙන් වැඩ කරන කාලය අඩු වන්නේ කෙසේද  වගේ බරපතල කරුණු ඔවුන් සාකච්ඡා කළා.

නඩු කාරයා ඔහුගෙ අත දික් කළා.
"මොනවද ඔබලා ළඟ තියෙන්නෙ?"
බොරු කාරයින් එකිනෙකා සමග තරගයට කතා කරන්නට වුණා. තමන් නඩු කාරයා වෙනුවෙන් කරන්නට සිටින බොහෝ දේවල් ගැන ඔවුන් කිව්වා; එකිනෙකට නොදෙවෙනි ආකර්ෂණීය පොරොන්දු රාශියක් ඔවුන් නඩු කාරයාට දුන්නා. එකවර දිය හැකි දේවල්, කොටස් වශයෙන් දිය හැකි දේවල්, වසර දහයකින් දිය හැකි දේවල් ආදී වශයෙන් විවිධ දේවල් ගැන ඔවුන් පොරොන්දු වුණා.

නඩු කාරයා අත ආපහු ගත්තා. ඔහු බලාපොරොත්තු පිරි දෑසින් බොරුකාරයින් දිහා බැලුවා.
"කමක් නැහැ." ඔහු කිව්වා.

ඊට පස්සෙ නඩු කාරයා කාමරෙන් එළියට ඇවිත් තීරණය දුන්නා.
"මිනිස්සු අත් වේළීම සඳහා අනවශ්‍ය තරම් කාලයක් වැය කරන බව පෙනී යනවා. මේ පිළිබඳව සොයා බැලීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනවා." ඔහු කිව්වා.

ත්‍රිපුද්ගල කමිටුව කාමරේක රැස් වුණා. අත් වේළීම වෙනුවට මිනිස්සු අත් පිස දැමීමට පුරුදු විය යුතුයයිද, ඒ සඳහා නිරතුරුව බෙල්ලේ රෙදි පටියක් එල්ලාගෙන සිටිය යුතුයයිද ඔවුන් නිර්දේශ කළා.

ඊට පස්සෙ මිනිස්සු බෙල්ලෙ රෙදි පටියක් ගැට ගහගෙන ඉන්නට පුරුදු වුණා. කාලයත් එක්ක වෙනස් වෙවී ඇවිත් අද තියෙන ඇඳුම් බවට පෙරළුණේ ඒ රෙදි පටිය. ඒත් අදත්, මුල අමතක නොකරන හොඳ මිනිස්සු බෙල්ලෙ රෙදි පටියක් ගැට ගහගෙන ඉන්නවා; තමන් මල් බැලීමටවත්, අත් වේළීමටවත් කාලය නාස්ති නොකරන බවත්, අණට කීකරු බවත් ඔවුන් එයින් පෙන්නුම් කරනවා.

ඒ තරම්ම නිහතමානී නොවුණත්, අනික් මිනිස්සුත් වට පිට බලලා, ඇඳන් ඉන්න ඇඳුමෙ අත් පිහින එක අදටත් කරනවා.

මිනිස්සු අත් පිහ දමන්නට පටන් ගත් නිසා බොරු කාරයින්ට ආපනශාලාවල රස්සාව නැති වුණා. නමුත් ඔවුන්ගෙ හැකියාව නිසා වෙනත් රැකියා අවස්ථා ලැබුණා.

හැකියාවට රැකියාවක් කියන කියමන හැදුණෙ ඒ හින්දා.




This entry was posted on Wednesday, November 09, 2011 at Wednesday, November 09, 2011 and is filed under , , . You can follow any responses to this entry through the comments feed .

3 දෙනෙක් ගේ අදහස්

කොහෙන්ද අප්පේ මේව හොයා ගත්තෙ. අදමයි මේ කථාව ඇහුවේ. හරිම ලස්සනයි කතාව නම්. කොහොමට තියෙන්න ඇත්ද රෙදිපටි කරේ බැඳගෙන.
හැකියාවට රැකියාවක් කියන කියමන හැදුණෙ ඒ හින්දා. නියමයි.

November 15, 2011 at 8:28 PM

ගෙතුව කතාවක් චාන්දි අක්කෙ. :D

November 17, 2011 at 12:45 PM

මට නම් හිතෙනවා මේ කතාව කියලා තියෙන්නෙ Xලට කියලා...

November 24, 2011 at 1:28 PM

Post a Comment

ඔබේ අදහස් අපිට ශක්තියක්