අබූත!
කරන කිසි දෙයක් හරි නොයන කාලකණ්ණියකු වූ උපාලි සන්තකයේ තිබූ අන්තිම රුපියල් දහය දුන්විට කොන්දොස්තර කොල්ලා ඉතිරි සල්ලි ලෙස දී තිබුණේ අමුතුම කාසියකි. එය රුපියලක්ද නොවේ; දෙකක්ද නොවේ; පහක්ද නොවේ. මුහුණත පැහැදිලි නැති අවපැහැ ගැන්වුණු එකකි. වැව් බැම්මේ හිඳගත් උපාලි එය මැද පිරිසිදු කිරීමට තැත් කළේය. එකෙණෙහි ඔහු ඉදිරිපිට ජටාවක් බැඳ, රත්පැහැ සරුවාලයක් හැඳි පුද්ගලයකු පහළ විය.
"මං තමයි මේ කාසියට අධිපති භූතයා." ජටාධාරියා හිස නමා පැවසීය. "ඔබ තමයි මගේ ස්වාමියා."
"අම්මට සිරි!" උපාලිට කියවිණි.
"ඒක නරක වචනයක් නේද?" භූතයා ඇසීය.
"නෑ නෑ. සිරි කියන්නෙ ශ්‍රී කියන එක. ආශීර්වාද කරන්ඩ කියන වචනයක්." උපාලි වැරැද්ද හදාගන්නට තැත් කළේය.
"ඒ කිව්වෙ බොරුවක්ද?" භූතයා තවත් ප්‍රශ්නයක් නැගීය.
"කාසියෙම ඉඳල මහන්සි ඇති." උපාලි මාතෘකාව වෙනතකට හැරවීය. "ඉතින් මොනවද බූතයෙක් හැටියට කරන්ඩ පුළුවන් වැඩ?"
"භූතයෙක්- මහප්‍රාණ භ යන්න." භූතයා නිවැරදි කළේය. "තමුන්ට මොනවද කෙරෙන්න ඕනෙ?"
උපාලි මඳක් කල්පනා කළේය.
"මාව මේ ලෝකෙ ඉන්න ලොකුම පෝසතා කරනවකො එහෙනම්."
"එහෙම ඒවනම් කරන්න අමාරුයි." භූතයා කණගාටුවෙන් පැවසීය. "මං ඉතින් නිකං සිල්ලර කාසියක භූතයෙක්නෙ. සිල්ලර වැඩ තමයි පුළුවං."
"මූත් මටම හරියන එකෙක් වගේ."උපාලිට සිතිණි. ඔහු සිල්ලර අවශ්‍යතාවයක් මතක් කළේය.
"ආ, එහෙනම් කන්ඩ මොනව හරි ගේනවකො."
"එහෙම බෑ. ඕන කරන දේ හරියටම ඉල්ලන්න ඕන."
"බත් පිඟානක්."
"එච්චරනං අමාරුයි..."
පැයක් දෙකක් යනවිට උපාලි භූතයාගේ තරම වටහා ගත්තේය: අතුරුදහන් වීමත් සදාචාරය කතා කිරීමත් හැර ඌට මෙලෝ වැඩක් බැරිය.
වැව් කණ්ඩිය ඔස්සේ භූතයා සමග ගමන් ගන්නා උපාලි, උගෙන් වැඩක් ගැනීම සඳහා සැලසුම සකසන්නට විය.
"තමුසෙ මටම හම්බුණු එක හොඳයි. මේක ඔය යක්කුන්ට බූතයන්ට තියා දෙය්යන්ටවත් තනියම ඉන්ඩ හොඳ කාලයක් නෙවෙයි. අන්න බලනවා." උපාලි පත්තර ලෑල්ලකට අත දිගු කළේය.පත්තරේ සිරැසිය දුටු භූතයාට කියන්නට ගිය දෙය අමතක විය.
"මගෙත් එක්කම ඉන්නවා. මං කියන හැටියට හිටියොත් මොණර කොළේක බූතයෙක් වුණත් වෙන්ඩ පුළුවන් ඉස්සරහට."
"භූතයෙක්, මහප්‍රාණ භ යන්න." භූතයා පිළිතුරු දුන්නේය. "කාසිය තියෙන කෙනා දාලා මං යන්නෙ නෑ."
"වැඩේ හරි සරලයි. කිසිම හොරයක් බොරුවක් වංචාවක් නෑ." හන්දියට පැමිණි උපාලි පචගහට හේත්තුවක් දාගෙන පැහැදිලි කළේය. "තමුසෙට තියෙන්නෙ, ඔය මට කිව්ව හරියම අනික් මිනිස්සුන්ටත් කියන්ඩ."
"ඒත්.." භූතයා අදිමදි කළේය. "අර පත්තරවල තිබ්බ හැටියට...."
"මම ඉන්නකං බය වෙන්ඩ දෙයක් නෑ." උපාලි වැඩට බැස්සේය.
"මගෙ කොන්දේසි දෙකයි තියෙන්නෙ.
එක- මොනම හේතුවක් නිසාවත් ප්‍රසිද්ධියෙ අතුරුදහන් වෙන්ඩ බෑ.
දෙක- මාව දාලා යන්ඩ බෑ."
පචගහ යට සරුවාලයක් හැඳ, ජටාවක් බැඳි පුද්ගලයෙක්, යන එන්නන් නවතා මෙසේ කියයි:
"ඒයි, මේ, දන්නවද, මම භූතයෙක්!"
මිනිස්සු අවඥාවෙන් බලති; ඇතැමෙක් සැකෙන් බලා පය ඉක්මණ් කරති..
අසරණ වූ විලාශයෙන් දර්ශනයට පිවිසෙන උපාලි භූතයාව වත්තන් කර ගනී.
"අනේ මහත්තයො, සමා වෙන්ඩ. මේ මගෙ එකම මල්ලි. මිනිහට පිස්සු. අපේ දෙමවුපියො නෑ. මටත් රස්සාවක් කරගන්ඩ විදිහක් නෑ, මෙයාව බලාගන්ඩ කෙනෙක් නැති හින්දා. පින් සළකලා කීයක් හරි...."
භූතයා විශ්මයෙන් උපාලි දෙස බලයි. "මං කොහොමද ඔයාගෙ මල්ලි වෙන්නෙ? මං භූතයෙක්."
උපාලිගේ දෙනෙතින් කඳුලක් එළියට පනී.
"එක දිගට බෙහෙත් කරානං තවමත් සනීප කරන්ඩ පුළුවන් මට්ටමේ කියල දොස්තරලා කියනවා. ඒත් කන්ඩවත් සල්ලි නැති අපට...."
"මොනවා සනීප කරන්නද?" භූතයා අසයි. "ඉතින් මං භූතයෙක් තමයිනෙ?"
මිනිස්සු අතට අසුවෙන මුදලක් පින් තකා විසි කරති.
උපාලිගේ සාක්කු පිරීගෙන එනවිට පොලිසිය පැන්නේය. ප්‍රතිපත්තිමය කරුණු මත සල්ලි ටික මුළින්ම අත් අඩංගුවට ගනු ලැබිණි. උපාලිට හැරෙන්නටවත් වෙලාවක් නැති විය.
"තමුන් දන්නවද මානසික රෝගියෙක්ව මෙහෙම විකුණගෙන හම්බ කිරීම නීතිවිරෝධී බව?"
රාළහාමි සැරය.
භූතයා කට දැම්මේය.
"මං භූතයෙක්..."
"හරි හරි. ඒ ගැන අපි බලා ගන්නං. දෙන්නම නගිනවා ජීප් එකට."
"අනේ මහත්තයො, මේ පිස්සෙක් නෙවේ..."
උපාලි පින්සෙණ්ඩු විය.
"ජීප් එකට!"
"නගින්නද?" භූතයා උපාලිගෙන් විමසීය.
"නගිමු." උපාලි නැමුණු ස්වරයෙන් කීය.
භූතයා ඊට අවනතව රියට නැග්ගේය. නගින්නට මෙන් සැරසුණු උපාලි ඉවතට පැන කඩාබිඳගෙන දුවන්නට විය.
භූතයා පත් වූයේ අනපේක්ෂිත තත්වයකටය: ඌ උපාලි සමග සිටිය යුතුය; එසේ වුවද නිලධාරීන් ඌව රියෙහි ලා වසා ඇත. උපාලි ළඟට යනු පිණිස ඌට ඇත්තේ එක් මගක් පමණි. ඒ අතුරුදහන් වී කාසිය තුළට යාමය. එහෙත් එසේ අතුරුදහන් වීම උපාලි තහනම් කර ඇත.
කොන්දේසි දෙකකට ඌ සිරව ඇත.
එකක් ඉටු කරනුවස් අනෙක බිඳිය යුතුය.
ස්වාමියාගේ අණට අකීකරු වන භූතයෙකුට පැවැත්මක් නැත.
ඈත් විය නොහැක; අතුරුදන් විය නොහැක; දෙකෙන් කෝක කළත් පැවැත්මක් නැත...
භූඌඌඌඌඌඌඌඌඌ
පොලිස් ජීප් රියෙන් අතුරුදහන් වූයේ නිකම්ම භූතයෙක් නොව, පිස්සු හැදුණු අභූතයෙකි.
උපාලි වැව් බැම්ම උඩ හිඳගෙන වැවේ නටන මාළුන් දෙස හිස් බැල්මෙන් බලා සිටී. පිස්සු හැදුණු අභූතයා ඔහු අසළ හිඳගෙන ගොරහැඩි ස්වරයෙන් ගී ගයයි:
"කාසි නැතෝ... ස්වාමියෙක් නැතෝ....
මං කවුදෝ....
මමෙක් නැතෝ... මගෙ දෙයක් නැතෝ...
මං කවුදෝ..."
"කට වහපං."
"මං භූතයෙක්ද? නැත්තං ඔයාගෙ පිස්සු හැදුණු මල්ලිද?"
"තෝද? තෝ මහ කාලකණ්ණියෙක්!"
අභූතයාට ඇඬුම් එයි.
"මාව හම්බුණු හම්බුණු මිනිහා කිව්වෙ ඔහොමයි. කොන්දොස්තර මට සල්ලි හොරකම් කරන්න කිව්වා. මං බෑ කිව්වහම මං කාලකණ්ණියෙක්ය කිව්වා. ඊට කලින් මාව අයිති වෙලා හිටපු මුදලාලිත්..."
"මුදලාලියෙක් ළඟත් හිටියද?"
"කී තැනක හිටියද? දේශපාලකයො; කන්තෝරුකාරයො; සමිතිසමාගම්කාරයො, නීතිඥයො; දුප්පත් මිනිස්සු; පෝසත් මිනිස්සු...
ඒ කාටත් මාව එපා වුණා.
මං මුකුත් බැරි එකා.
හොරයක් වංචාවක් කරන්න අකමැති එකා.
කාටවත් රිදවන්න අකමැති එකා.
කාටවත් ප්‍රයෝජනයක් නැති එකා.
දැන් මං අඩුම ගානෙ භූතයෙක්වත් නෙවෙයි."
අභූතයා වැළපෙයි. ඌ පිස්සෙක් වූයේ තමන්ගේ වරදිනැයි යන හැඟුම උපාලිව වෙළාගනී.
"උඹ පිස්සෙක්වත්, කාලකණ්ණියෙක්වත් නෙවෙයි බං. උඹ හොඳ එකෙක්." උපාලි සුසුමක් හෙළා, අභූතයාගේ පිටට තට්ටුවක් දැම්මේය.
"උඹ මගෙ මල්ලි. ඉතිං අඬන්නෙ නැතුව හිටපං."
අභූතයා කඳුළු පිස ගත්තේය.
"හැබැයි පුතෝ! එකක් මතක තියාගනිං. බූත කාලෙ ගියා; මනුස්සයෙක් විදිහට මේ පොළොවෙ පය ගහල ඉන්ඩනම්, මහප්‍රාණ බෑ!"