පරචිත්ත  

Posted by නලිනි චන්දිමා in , ,


පඤ්ඤාකිත්ති හාමුදුරුවෝ උස් අසුන මත පද්මාසනයෙන් වැඩ සිටිති. උන්වහන්සේගේ කය සෘජුය; වියපත් ලකුණක් හෝ වෙහෙසට පත් ලකුණක් හෝ නැති පින්වත් මුහුණ, නිවුණු සිත පිළිබිඹු කරයි; නෙත් පියව ඇත; භාවනාවේ ගැඹුරු අවධියකට පිවිස සිටින උන් වහන්සේ හුස්ම ගන්නා බවක් යන්තමින්වත් නොපෙනෙයි.

සිරිල් මහත්තයා ශාලාව මැද්දට වන්නට ඇති පැදුරක් මත අපහසුවෙන් හිඳගෙන, පඤ්ඤාකිත්ති හාමුදුරුවන්ගේ තේජස දෙස බලා සිටී. හන්දිපත් අමාරුවෙන් පෙළෙන මානෙල් කෙළවරකට වන්නට පුටු කබලක් තබාගෙන නෙත් පියාගෙන සිටින්නීය. ඈ බොරුවට නෙත් පියාගෙන වෙන මොනවා හෝ කල්පනා කරනවා වියයුතුයයි සිරිල් මහත්තයාට සිතෙයි. නොඑසේනම් මේ වනවිට ඇය නිදිකිරා වැටිය යුතුය.
සිරිල් මහත්තයා බණදහමට යොමු වූයේ හෘදයාබාධයක් නිසා හදිසියේ විශ්‍රාම ගැනීමට සිදු වීමෙන් පසුවය. මානෙල් එදා සිටම ඔහු යන එන තැන පස්සෙන් එයි.


සිය පොත්පත් කටයුතුවලට සුදුසු සන්සුන් පරිසරයකින් හෙබි ගමේ පන්සලේ නවාතැන් ගත් පඤ්ඤාකිත්ති හාමුදුරුවෝ වසර විස්සකට මඳක් වැඩි කලක් බටහිර රටක ආරණ්‍යයක වැඩ විසූ පශ්චාත් උපාධිධාරී උගතෙක් වූහ. උන්වහන්සේ හැම ඉරිදාම පැවැත්වූ පැය දෙකක භාවනා වැඩමුළුවට සිරිල් මහත්තයා සහභාගි වන සතරවන දිනය අදය. එසේ වුවද, එකම ඉරියව්වක රැඳවීමට වෑයම් කරන අතපයෙන් නැගෙන වේදනාව හැර වෙනත් කිසිම දෙයක් කෙරෙහි අවධානය යොමු කිරීමට තවමත් ඔහුට නොහැක. අසළින් හිඳ සිටින නාඳුනන රැවුලා වරින් වර නෙත් විවර කර, පැදුරේ නලියන සිරිල් මහත්තයාට රවයි. ඔහු කෙරෙහි තරහ නොඋපදවා සිටීමට සිරිල් මහත්තයා දැඩි වෙහෙසක් දැරුවේ පඤ්ඤාකිත්ති හාමුදුරුවන්ට අනුන්ගේ සිත් දැකීමට හැකියාවක් ඇතැයි පැතිර තිබූ පුවත නිසාය. භාවනා කර ගත නොහැකි තමන්ගේ සිතට වඩා, තමන්ට රවන රැවුලාගේ සිත අපිරිසිදු බව හාමුදුරුවන්ට පෙනේවායි ඔහු පැතීය.


*******************************************************


පඤ්ඤාකිත්ති හාමුදුරුවන් හමු වී කතාබහ කිරීමට සිරිල් මහත්තයාට ඇත්තේ දැඩි ආශාවකි. එසේ වුවද, බැරිවීමකින් හෝ තම සිතෙහි අසභ්‍ය අදහසක් ඇති වුවහොත් හාමුදුරුවන් එය දකිතියි යන සැකය විසින් මේ අදහස ක්‍රියාවේ යෙදවීමට ඔහු පැකිළිණි. උන්වහන්සේගේ කුටිය ඉදිරිපිට දින කිහිපයක්ම හොරගල් අවුලමින් ඔත්තු බැලූ සිරිල් මහත්තයා අධෛර්යයට පත් වූයේ එහි දායකයෙක් හෝ දෙන්නෙක් නොසිටින වෙලාවක් නැති නිසාය. තනිවම හාමුදුරුවන් මුණගැසීම කෝකටත් ගුණදායකය.

රැවුලා කෙරෙහි තරහ නූපදවූ තමාගේ පිරිසිදු සිත හාමුදුරුවන් දකින්නට ඇතැයි යන හැඟීමෙන් දිරිය ලත් සිරිල් මහත්තයා මෙදින භාවනාව අවසන් වූ පසු උන් වහන්සේගේ කුටියට පිවිසීය. ගමේ උගත් වැදගත් දායකයෝ කිහිපදෙනෙක්ම එතුළ හිඳ සිටියහ. කුටියට ඇතුළුවන කෙනෙකුට මුළින්ම පෙනෙන්නේ මෙට්ටය වෙනුවට සිවුරෙන් වසන ලද ලෑල්ලකින් යුත් සයනයයි. ඒ දුටු සිරිල් මහත්තයාගේ සිත බැතියෙන් පිරිණි. 



හාමුදුරුවන්ට වැඳ, දොර අසළම බිත්තියට හේත්තු වුණු ඔහු සාකච්ඡාවට සවන් යොමු කළේය. දායකයන් සියළුදෙනාම එකිනෙකාට ඉහළින් භාවනාව ප්‍රගුණ කර ඇති බව පැහැදිලි වූ හෙයින් සිරිල් මහත්තයා කටවත් ඇරියේ නැත. සිත එකඟ කර ගත නොහැකි තමන් ගැන දැඩි ලැජ්ජාවකට පත් ඔහු, ඔවුන් සිය කතාබහ අවසන් කර පිටව යනතුරු හාමුදුරුවන්ගේ කුටියේ සිරි නරඹන්නට වූයේ සිය සිතෙහි තෙරපෙන හැඟීම් පාලනය කරගනු වස්ය.

කුටියේ එක් කෙළවරක බිත්තියටම සවි කරන ලද සිමෙන්ති ලෑල්ලක් මත අසුරන ලද සිවුරු හා පාත්‍රා ආදිය විය. දොරට මුහුණ ලා තබා ඇති ලෑලි ඇඳෙහි කොණක ඉංග්‍රීසි පොත් කිහිපයකි. ඒ අසළ, ඇඳෙහි වාඩි වී පරිහරණය කළ හැකි උසකින් යුත් කුඩා මේසයකි. එමත කුඩා පරිගණකයක්ද, සටහන් පොත් කිහිපයක් හා සිරිල් මහත්තයා නාඳුනන උපකරණ කිහිපයක්ද තිබිණි.

"වෙන රටවල ඉන්නවා බොහොම හොඳින් භාවනාව ප්‍රගුණ කරපු, හිත දියුණු කරපු හාමුදුරුවරු." පඤ්ඤාකිත්ති හිමියෝ සිරිල් මහත්තයාගේ සිතෙහි නැගුණ කුහුල වටහාගත් පරිද්දෙන් පැවසූහ. "ඒ හාමුදුරුවරුන්ගෙ වැදගත් දේශනාවල් අන්තර්ජාලයෙන් අරන්, අපේ මිනිස්සුන්ට කියවන්න පුළුවන් හැටියට සිංහලට පරිවර්තනය කරගෙන යනවා මම. මොකද, භාවනා කරන හැටි නිවැරදිව කියලා දෙන්න පුළුවන්නෙ ඒ විදිහට හිත දියුණු කරපු කෙනෙකුටම විතරයි."

"සාදු සාදු. කොච්චර එකක්ද හාමුදුරුවනේ." එහෙම වැඩක් ගැන ඉන් පෙර අසා නොතිබුණු සිරිල් මහත්තයා ගෞරවයෙන් පිළිතුරු දුන්නේය. "දැන් ඔය බුදු හාමුදුරුවො පාලියෙන් දේශනා කරපුවත් අපිට තේරෙන්ඩ සිංහලට පරිවර්තනය කරපු එකෙන් කී දෙනෙක් ධර්මාවබෝධය කරන්ඩ ඇද්ද?"
සිරිල් මහත්තයාට තේරෙන මාතෘකාවක් ඔස්සේ කතා කිරීමට ලැබීම පිළිබඳව හාමුදුරුවන්ද සතුටු වූවාක් මෙනි. උන් වහන්සේ තමන් විසින් පරිවර්තනය කර පල කරන ලද පොත්ද, දැනට පරිවර්තනය කරගෙන යන දේශනාවල සටහන්ද ඔහුට පෙන්වමින් ඒ පිළිබඳව විස්තර කරන්නට වූ සේක. 


*******************************************************

හාමුදුරුවන් මුණ ගැසීම පිණිස උපැස් යුවලක් පැළඳි, ප්‍රියංකර සිනහවකින් යුත් තරුණයෙක් පැමිණියේ මේ අතරතුරය. මින් පෙරද ඔහු පන්සලට යනු එනු සිරිල් මහත්තයා දැක ඇත.
"ආ, ඉන්දික. එන්න එන්න." හාමුදුරුවෝ ඉතා කුළුපග ලෙස ඔහුව ඇතුළට කැඳවූහ. තමන් මෙතන සිටීම නුසුදුසුයයි සිතූ සිරිල් මහත්තයා නැගිට්ටේ පිටවීමටය.
"යන්න හදිස්සියක් නැත්නම් පොඩ්ඩක් ඉන්න. මෙයාව අඳුනගන්න." හාමුදුරුවන්ගේ කටහඬේ වූයේ සිරිල් මහත්තයාද ඉන්දිකව තරම්ම  හිතවත් ලෙස සැළකූ බවකි. ඒ බව ඉන්දිකද වටහා ගත්තේය.
"ඉන්දික තමයි මගෙ පොත්වල සේරම වැඩ කටයුතු කරන්නෙ. පොත්වල සෝදුපත් බැලිල්ලෙ සිට සාප්පුවලට දැමීම දක්වා. මම මෙහෙ ඉන්න එකෙන් කරදරෙත් ඉන්දිකට." හාමුදුරුවෝ එක දිගටම කියාගෙන ගියහ.
"ඉතින්, කොහොමද ඉන්දික?"
"හොඳයි අපෙ හාමුදුරුවනේ." තරුණයාද ඉතා සුවිනීත ලෙස හිස පහත් කර පිළිතුරු දුන් අයුරු දුටු සිරිල් මහත්තයාට එක්වරම සිහි වූයේ බාලදුවය. එසැනින් තම සිත හාමුදුරුවන් දුටුවේදෝයි යන සැකයෙන් වහාම සිත කුටියට ගෙන ආවේය. හාමුදුරුවෝ සිරිල් මහත්තයා දෙස බැලුවේ සිනාමුසු මුවිනි. 

"අද කාලෙ මෙහෙම තරුණයෙක් දකින්න ලැබෙයි කියල හිතන්නවත් බෑ, නේද?"
"එහෙමයි හාමුදුරුවනේ."
"ඉතින් ඉන්දික, කොහොමද අපේ අලුත් පොතේ වැඩේ?"
"පොතනම් ඉවර වේගෙන එන්නෙ..."
"මදිපාඩුවක් එහෙම තියෙනවද?"
"පොඩි මදිපාඩුවකුත් තියෙනවා අපෙ හාමුදුරුවනේ. අනික, ඔය ගමන්ම වැඩිපුර පිටපත් ගානක් ගැහුවනම් අපට ලාබයි. මොකද, ඡන්දෙ කිට්ටු නිසා ඉස්සරහට කොළ ගණන් යනවලු."
"එහෙමද? ඒත් ඉතින් වියදම් කරන එක අපිටත් ප්‍රශ්නයක්. නේද?"
"එහෙමයි." ඉන්දික සිරිල් මහත්තයා දෙස බලා සිනාසුණේය.
කිසිවක් නොකියා සිටීම නුසුදුසුයැයි සිතුණු නිසා සිරිල් මහත්තයා කතාවට සම්බන්ධ විය.
"එහෙම මදිපාඩුවක් තියෙනවනම් අපේ දායක සභාවට කියලා ඒක සම්පූර්ණ කරගන්ඩ පුළුවන් වෙයි."
"මම කැමති නැහැ ඒ විදිහට මුදල් ඉල්ලන්න." පඤ්ඤාකිත්ති හාමුදුරුවෝ සිවුර සකසමින් පැවසූහ. "මොකද, එක අතකින් දායකයන් වැරදි විදිහට හිතන්න පුළුවන්. අනික් අතට ඔය විදිහට මුදල් එකතු කරන්න කාලය ඕන."
"ඔය තායිලන්තෙ වගේ රටවලනම් අපෙ හාමුදුරුවනේ, මේවගෙ වැඩ කරන්නෙ දායකයොම එකතු වෙලා." ඉන්දික හාමුදුරුවන් දෙසත් සිරිල් මහත්තයා දෙසත් මාරුවෙන් මාරුවට බලමින් පැවසීය.



සිරිල් මහත්තයාට සිය හිස් කටුව තුළ සීතලක්ද ගිණියමක්ද මාරුවෙන් මාරුවට කැරකෙනු දැනෙන්නට විය. විශ්‍රාම වැටුප රැගෙන ආවේ සිකුරාදා නිසා සෑහෙන මුදලක් ඔහු අතේ නැතුවා නොවේ. එහෙත් මාසය පුරා ඉන් කිරීමට වැඩද නැතුවා නොවේ. අනෙක් අතින් තමන්ගේ සිතේ ඇති වන ලෝභ සිතුවිලි හාමුදුරුවන් පැහැදිලිව දකින බවට සැකයක් නැත. මාසයක්ම භාවනාවට පැමිණි, මරණයේ එළිපත්තේ සිටින්නාක් වැනි රෝගයකින්ද පෙළෙන, පණස් අට හැවිරිදි මිනිහෙකුගේ සිතේ එවන් සිතුවිලි පහළ වීම ලැජ්ජාවට කරුණක් නොවන්නේද? හාමුදුරුවන් නිතර දේශනාවලදී පවසන්නේද මෙවන් මිනිසුන් ගැනය; පාලනයකින් තොර දූෂිත සිත් ගැනය. තමන් හාමුදුරුවන් ඉදිරියේ නිරුවත්ව සිටින්නාක් මෙන් සිරිල් මහත්තයාට හැඟුණි. හාමුදුරුවන් තමන්ගේ සිත පරීක්ෂාවට ලක් කරනවාද?
"අපේ රටේ එහෙම සිරිතක් නැහැනෙ, ඉන්දික. එහෙම බලාපොරොත්තු වෙන්නත් බෑ." හාමුදුරුවෝ යමක් අවබෝධ කරගත්තාක් මෙන් පවසති.
"මට මේ ගමන්ම සල්ලි අරන් ගියානම් වෙසක් එක වෙනකොට පොත් ටික දාන්න පුළුවන්."
"ඉන්දික බොහොම වගකීමක් ඇති රස්සාවක් කරන ගමන් මේ වැඩකටයුතු කරන්නෙ." හාමුදුරුවෝ සිරිල් මහත්තයාට පැහැදිලි කළහ.

සිරිල් මහත්තයාගේ සිත තුළ එකම නරකාදියකි: එහෙන් යකෙක් "ඉදිරිපත් වෙලා සල්ලි දියන් යකෝ." කියයි; මෙහෙන් තවත් යකෙක් "එතකොට මාසෙ ගෙවන්නෙ මොකෙන්ද යකෝ?" අසයි; ඈතින් සිට තවත් යකෙක් "ඔහොම ගියොත් උඹට මැරෙනකම්ම පිනක් කරගන්න හම්බෙන්නෙ නෑ." කියයි; "කුණා! කුණා!! කුණා!!!" යක්කු රැළක් හිස වටකර කැරකෙති; වඩාත් භයානක හඬක් පිටුපස සිට කණට කර මුමුණයි:
"හාමුදුරුවො දකී!"

"කීයක් විතර ඕනෙ වෙනවද දැන්?" සිරිල් මහත්තයා අමාරුවෙන් ගැට ගසා ගත්තේය. හාමුදුරුවෝත් ඉන්දිකත් මුහුණෙන් මුහුණ බලා ගත්හ. පිළිතුරු දුන්නේ ඉන්දිකය.
"තව දහදාහක් විතර..."
සිරිල් මහත්තයාට පිපාසයක් දැනේ. ඔහු සිතුවේ දෙතුන්දාහක වැඩක් කියාය.
"ඕක එක්කෙනෙකුට දරන්න කියලා මට කියන්න බෑ." හාමුදුරුවෝ අවබෝධයෙන් යුතුව පැවසූහ. "මේ වෙලාවෙ ඔය ගණන කවුරු හරි දරන එක වටිනවා. නමුත් අපි දන්නවා මිනිස්සු ජීවත් වෙන අමාරුව. අපේ පොත්වල සල්ලි වගයක් එන්නත් තියෙනවා, නේද ඉන්දික?"
"මේ ටිකේ වැඩිය විකිණෙන්නෙ නෑ, අපෙ හාමුදුරුවනේ. පිච්ච මල් පූජාවෙන් පස්සෙ සෑහෙන ගණනක් එයි හැබැයි."
"අපි මුදලක් අය කරලා පොත් දෙන්නෙ ලාභ ලබන්න නෙවෙයි, නැවත නැවත මේ වැඩේ කරගෙන යන්න ඕනෙ නිසා." හාමුදුරුවෝ සිරිල් මහත්තයාට පැවසූහ.
දැන්නම් තමන්ගේ සිත හාමුදුරුවන් පරීක්ෂා කළ බව සිරිල් මහත්තයාට හොඳටම විශ්වාසය. හොඳ වෙලාවට තමන්ට ලෝභ සිත මැඬ ගත හැකි විය.
"පොත්වල මුදල් ලැබුණයින් පස්සෙ, අපට පුළුවන් මේ ලැබෙන ආධාරය ආපහු දෙන්න. එහෙම නේද ඉන්දික?"
"එහෙමයි අපෙ හාමුදුරුවනේ."

සිරිල් මහත්තයාගේ හිස තුළ දැන් සුවදායී සිසිලකි.  "පුළුවන්කමක් තිබුණනම් මම ඔය මුළු වියදමම දරනවා, හාමුදුරුවනේ. ඒත් ඉතින් ගිහියො හැටියට වගකීම් තියෙනවනෙ. අපි දෙන්නම ලෙඩ්ඩු ඒ මදිවට..."
"නැතුව, නැතුව. දායකයන්ගෙ ප්‍රශ්න තේරුම් නොගෙන, අපට මේ සිවුරෙ ඉන්න බෑ." පඤ්ඤාකිත්ති හාමුදුරුවෝ උදාර ලෙස පැවසූහ.
"අනික, " ඉන්දිකද කතාවට හවුල් විය. "අවශ්‍ය අවස්ථාවෙ ධර්ම පුස්තක මුද්‍රණය කරන්න දායක වුණු එක ලොකුම පිනක්. පස්සෙ ඒ මුදල ආපහු ගත්තා කියලා පිනේ අඩුවක් වෙන්නෙ නෑ. අවශ්‍ය වෙලාවෙ ඒක දුන්නනෙ."

*******************************************************


ඉවසිය නොහැකි කොන්දෙ කැක්කුමකින් පීඩා විඳගෙන මුත් ශාලාව කෙළවර බිත්තියකට පිට දී හිඳිනු වෙනුවට සිරිල් මහත්තයා ඉදිරිපෙළ අසුන් ගෙන සිටී. ගත වූ ඉරිදාවල් කිහිපයේම හාමුදුරුවන්ට පහසුවෙන් නෙත ගැටෙන මායිමේ හිඳ ඔහු කළේ එකම භාවනාවකි:
"අනේ හාමුදුරුවනේ, මගෙන් ගත්තු සල්ලි ආපහු දෙන්ඩ මතක් වෙන සේක්වා."
හාමුදුරුවන් තමා ලෝභයෙකැයිද, නිවන් මගට නොපිළිපන්නෙකැයිද සිතනු වැළකීම පිණිස ඔහු ආයාසයෙන් වෙනත් සිතුවිලි ඇති කරගනී:  "එක සැරේ දෙන්ඩ අමාරුනම් කොටස් වශයෙන් හරි කමක් නෑ. ගිය මාසෙ බෙහෙත්වලටයි, ලේ බලවන්ඩයි රුපියල් තුන්දාහක් හාමුදුරුවනේ."

නෙත් පියා සිටිනවිට සිතෙහි චංචලභාවය වැඩියැයි සිරිල් මහත්තයාට හැඟේ. ඒ නිසා ඔහු සෙමින් නෙත් විවරකොට පඤ්ඤාකිත්ති හාමුදුරුවන් දෙස ගෞරවයෙන් බලයි.

හාමුදුරුවන්ට ඔහුගේ සිතුවිලි නොපෙනෙනවා විය නොහැක. එසේනම් මෙතෙක් ඔහුගේ මුදල් නැවත නුදුන්නේ මන්ද? අවම වශයෙන් එසේ මුදල් දීමට යම් නොහැකියාවක් ඇත්නම් එය හෝ දැණුම් දිය යුතුව තිබුණා නොවේද? ඉන්දික එදායින් පසු නැවත දක්නට නොලැබුණි. උපසම්පදා භික්ෂුවක් ලෙස මුදල් පරිහරණය නොකරන නිසා සමහරවිට ඔහු එනතුරු සිටිනවා විය හැක. එහෙත් එය තමන්ට කිව යුතු නොවේද? කොන්දෙහි වේදනාව අභිබවා සිරිල් මහත්තයාගේ සිතෙහි වේදනාව නැග එයි. වේදනාව නොඉවසිල්ල හා මුසුව කෝපයකට පෙරළෙයි.

"මුදල් පරිහරණය නොකරනවනම් මුදල්වලින් කරන වැඩ කටයුතු පටං ගන්නෙ මොකටද? අපි කිව්වයැ? කාමරේ කොම්පියුටර් තියාගෙන බණ බලනවද, වෙන මොකවත් බලනවද කවුද දන්නෙ? හරිනං අටපිරිකර ඇරෙන්ඩ වෙන මොකවත් තියාගන්ඩ ඕනෙ නෑනෙ. බහුභාණ්ඩික! බොරුවට සෝබනේට ඇඳට ලෑල්ලක් දාගෙන ඇති. එක්කො දොස්තර කියල ඇති එහෙම කරන්ඩ; අර මටත් කිව්වෙ කොන්දෙ කැක්කුමට බෙහෙත් ගන්ඩ ගිය වෙලාවෙ."


මුළින් මුළින් මේ සිතුවිලි දකින සිරිල් මහත්තයාට බියක් ඇතිවුවද තව තවත් සිතුවිලි නැගී ඔහුගේ කෝපය සාධාරනීකරණය කරන්නට විය.
"අපිට බැරි හින්ද අපි ගිහියො විදිහටම ඉන්නව. සාසනේට ගියානම් දැනගන්ඩ ඕනෙ ඒ විදිහට ඉන්ඩ. එක්කො පොරොන්දුවක් වුණානම් ඒක ඒ විදිහට ඉෂ්ඨ කරන්ඩ ඕනෙ. බැරිනම් පොරොන්දු නොවී ඉන්ඩ ඕනෙ. සල්ලි ආපහු නොදී ඉන්නවනම් බොරුවක්, වංචාවක්, හොරකමක්."


හාමුදුරුවන්ගේ වැරදි කෙරෙහි සිත යොමන සිරිල් මහත්තයාට තව තවත් වැරදිම පෙනෙයි; ඔහුගේ ශෝකය සහ බිය පහව ගොස් කෝපය තව තවත් වැඩේ. භාවනාව අවසන් කිරීම පිණිස මෛත්‍රී භාවනාව වඩන පඤ්ඤාකිත්ති හාමුදුරුවන්ගේ කටහඬ ඇසෙත්ම සිරිල් මහත්තයාගේ සිතෙහි ආවේගය හිණිපෙත්තටම නැග පුපුරා හැලිණි.


"තොගෙ ඉලව් මෛත්‍රිය! තොට පේනවනම් මගෙ හිත, අද දීපිය මගෙ සල්ලි. කාලකණ්ණියා!!"


*******************************************************


  භාවනාව අවසන්වීත් සිරිල් මහත්තයා බිමට යොමාගත් නෙත් ඇතිව වාඩිගෙන සිටී. කොන්දෙහි වේදනාව දැන් නැත. ඔහුගේ සිතත් ගතත් වෙළාගෙන ඇත්තේ ලැජ්ජාවත් ආත්මානුකම්පාවත් පමණකි.


"යමුද?" මානෙල් ලඟට පැමිණ විමසයි. 

හිස ඔසවා බලන සිරිල් මහත්තයාට හාමුදුරුවන් හා කතා කරමින් සිටින ඉන්දික පෙනේ. ශාලාවේ ඉතිරිව ඇත්තේ උවසු උවැසියන් කිහිපදෙනෙක් පමණකි. ඉන්දික ඔහු හඳුනාගෙන හිතවත් සිනාවක් දක්වයි.
"අදනම් සිරිල් මහත්තයට හරියට භාවනාව කෙරිල වගෙයි. ඔහොම තමයි, තමන්ගෙ හිත හරියට දැකපු දවසට භාවනාවෙන් නැගිටින්න හිතෙන්නෙ නෑ!"
සිරිල් මහත්තයා සිනාසීමට වෑයම් කරයි.
"මහත්තයව හම්බෙන්නම තමයි ඉන්දික ඇවිත් තියෙන්නෙ." හාමුදුරුවෝ අසුනෙන් නැගිටිමින් පවසති. "බොහෝම ලොකු කුසල කර්මයක් එදා මහත්තයා කරගත්තෙ. එහෙනම් මේ වැඩේ ඉවරයක් කරගෙන, ගිලන්පස මොනවහරිත් අරගෙනම ගෙදර යන්න."




This entry was posted on Monday, March 21, 2011 at Monday, March 21, 2011 and is filed under , , . You can follow any responses to this entry through the comments feed .

12 දෙනෙක් ගේ අදහස්

කදිමයි.
හොඳට රසවින්දා. වෙනදා වගේම.
සුබපැතුම්...!

March 21, 2011 at 9:58 PM

නියමයි

March 22, 2011 at 10:23 AM

@Charmi

බොහොම ස්තුතියි චාමි.

March 22, 2011 at 6:55 PM

@ගාමින්ද

බොහොම ස්තුතියි ගාමින්ද.

March 22, 2011 at 6:56 PM

කතාවේ හිත් අභ්‍යන්තරයේ ඇතිවෙන ගැටුම මතුකෙරෙන ආකාරය ඉතා ප්‍රබලයි ඒ නිසාම කියවද්දී චරිත හිතට කාවදින්නේ, බැඳ තබාගන්නේ අපූරුවට. කතාව ගොඩාක් රසවින්ඳා, අපූරු ඉදිරිපත් කිරීමක්.

March 23, 2011 at 12:37 AM

@ගල්මල්-Coral
බොහොම ස්තුතියි ඩීන් අය්යා විචාරයට. සිත ඇතුළේ නිරන්තරයෙන් ඇතිවෙන ගැටුම විමසුමට ලක් කරන්නයි මටත් ඕනෙ වුණේ.

March 23, 2011 at 7:05 AM

අපූරුයි, නලිනි, හිත ඇතුලේ ගැටුම කදිමට අකුරු කරලා තියෙනවා.

March 27, 2011 at 2:13 PM

@Ravi

බොහොම ස්තුතියි රවි; ඒ වගේම මුරගල බලන්න ආවටත් බොහොම ස්තුතියි.

March 27, 2011 at 8:27 PM

මේ නිර්මාණය බ්ලොග් එකට දමපු දිනේම කියෙව්වා. හරිම අපූරුවට චිත්ත සන්තානයේ ඇතිවන ගැටුම ඉදිරිපත් කරල තියෙනවා. එදාමට පසුවදනක් ලියන්න වෙලාවක් තිබුනේ නෑ නංගි. ගොඩක් රස වින්දා. ඔයාට ඉතින් ජයම වේවා! කියල පතන්නම්.

April 3, 2011 at 9:18 PM

@Chandi
බොහොම ස්තුතියි චාන්දි අක්කා කතාව කියවා අදහස් දැක්වූවාටත් සුභ පැතුමටත්.

April 4, 2011 at 12:05 AM
Anonymous  

Brilliant.. this reminded me the 'Wathura Mala' short story by Arawwala Nandimithra...
keep up the good work

May 6, 2011 at 8:22 AM

Thank you for your encouragement. I haven't read 'Wathura Mala"; Now it's in my 'to read' list.

May 6, 2011 at 8:44 PM

Post a Comment

ඔබේ අදහස් අපිට ශක්තියක්