සිත්තාරු පාළම  

Posted by නලිනි චන්දිමා in , ,



ඇඳිරි වැටුණේ මාවිල් ආරු සොරොව්ව අසළදීය. දිනක් තුළ අප ගමන් කළේ දැරිය හැකි දුරක් නොවේ. අබලන් මාවත්හි වලගොඩැලිවල හැපෙමින් වැටෙමින්, දුහුවිල්ලෙන් නැහැවෙමින්, දැඩි හිරු රැසට පිච්චෙමින් ගෙවුණු දිනය අවසන අපි හෙම්බත්ව සිටියෙමු.

"මේ තමයි සිත්තාරු පාළම. ලංකාවෙ වැඩියෙන්ම බිම් බෝම්බ වළලලා තිබුණෙ මේ පාරෙ."
වෙහෙස නොදැනෙන අපේ මග පෙන්වන්නා විස්තර කරයි. දවස පුරා "මේ මොකක් කියලද තියෙන්නෙ?"යි අසමින් ඔහු ඇඟිල්ල තබා පෙන්වූ ඉංග්‍රීසි වචන අඩංගු මාර්ග සිතියම් පොත සරෝජිනි හකුළාගත්තේ බොහෝ වේලාවකට පෙරය. 



අන්ධකාරය තුළින් යන්තමින් දිස්වෙන පැල්පත් අප වෙත ඇදී අවුත් යළි අපව පසු කරගෙන ඈතට ඇදී යයි. ඇතැම් තැනෙක කුඩා ගව පට්ටියකි.

"මේ පැති බලන්ඩත් හුඟක් දෙනා එනවද?" 

පොඩි මාමා යමක් සිතින් ගණනය කරමින් අසයි. උදෑසන සිටම කුමන ස්ථානයකට ගියත් පොඩි මාමා ඒ ඒ ස්ථානයට පැමිණෙන්නේ කවුද, කෙතරම් පිරිසක්ද, නවාතැන් පහසුකම් ඇත්ද යනාදිය පිළිබඳව සොයා බැලීය.

"මෙහෙනම් වැඩිය එන්නෙ නෑ, සර්. පාර අමාරුනෙ. අනික, හුඟක් අය එන්නෙ දවස් දෙකකට. ඉතින් ත්‍රිකුණාමලේ, නිලාවැලි, සේරුවිල, ඒ අවට බලාගෙන යනවා."
"යන එන ක්‍රමයක් ඇත්නම් මෙහෙත් එයි, නේද, මාවිල් ආරු සොරොව්ව බලන්ඩ එහෙම?"
"වන්දනා නඩ වගේනම් මෙහෙ එන්ඩ එච්චර උනන්දුවක් නෑ, සර්. කොළඹින් එන අය, එක එක සංවිධානවල අය, ආමි එකේ අයගෙ පවුල්වල අය එහෙම තමා ඉතින් හැම තැනම බලන්ඩ එන්නෙ. ඔය ගෙවල් හදන කාලෙ කට්ටිය ආවා. ගිය මාසෙ මම මෙහෙ එක්ක ආවා දොස්තර මහත්තයෙක්, කොළඹ මහ ඉස්පිරිතාලෙ. ඔය අද අපි ගිය මුළු රවුමම ගියා. ඕනෙ දේකට කතා කරන්ඩ කියලා නොම්බරේ දීලා ගියා, මං ගාව ඇති..." උපාලි සිය ජංගම දුරකථනයේ නාමාවලිය පිරික්සයි.

"මේ පාරවල්වලට ඔරොත්තු දෙන්නෙ කැබ්." පොඩි මාමා නැවත මාතෘකාවට එයි.
"හැබැයි අපේ මිනිස්සුන්ටනම් හොඳ වාහන ඕන." ආනන්ද කියයි. "පේන්නෑ මේ අපේ ගෙවල්වල උන්දල."
"ඒක හරි. සුද්දො වගේ ඕනෙ කට්ටක් කන්ඩ බලාගෙන එන්නෑ ලංකාවෙ මිනිස්සු. උපාලිට වාහන එළවන්ඩ පුළුවන්ද?"
"ඉගෙන ගන්ඩ පුළුවනි, සර්." උපාලි බලාපොරොත්තු සහගතව පිළිතුරු දෙයි.
"අන්න එහෙම තමයි ඉන්ඩ ඕන." පොඩි මාමා ජයග්‍රාහීව ආනන්ද දෙස බලමින් පවසයි. "ඕනෙ දේකට ලෑස්තියි! අපිට ඕනෙ එහෙම මිනිහෙක්."
"මට උදව් කරන්ඩ පුළුවන් ලයිසන් ගන්ඩ." ආනන්ද උපාලි දෙස යන්තමින් හැරී බලයි. "එළවන්ඩ ඉගෙන ගන්නවනම්."
 

"ඉගෙන ගන්නම් සර්." උපාලි යටහත්ව සිනාසෙයි; අනතුරුව අපට විස්තර කරයි.

"ඉස්සර අපිට කිසිම දෙයක් ඉගෙන ගන්ඩ පුළුවන්කමක් තිබුණෙ නෑ, මැඩම්. අපි රෑට නිදා ගත්තෙ කැලේ. ඉස්කෝලෙට ගොඩක් දුර පයින් යන්ඩ ඕන. අපි හය දෙනෙක් ..."
"මෙහෙ සාමාන්‍යයෙන් මොනවද කට්ටියගෙ රස්සා?" පොඩි මාමා හරස් ප්‍රශ්නයක් අසයි.
"ප්‍රභාකරන්ට පින් සිද්ද වෙන්ඩ හුඟක් අය හමුදාවෙ සර්. අපෙත් මල්ලි හිටියෙ ග්‍රාමාරක්ෂක; අනික් ඔක්කොම ආමි. අය්යලා දෙන්නයි, අක්කලා බැඳල ඉන්න අය්යලයි. වෙන ඉතින් කුඹුරු කාලෙට කුඹුරු වැඩ..."
"උපාලි ආමි යන්ඩ හිතුවෙ නැද්ද?"
"මගෙ උස මදි වුණා සර්. අනික, තාත්තත් නැති වුණු හින්දා ගෙදර කවුරු හරි ඉන්ඩ ඕනෙනෙ."


"අපේ අදහසක් තියෙනව, උපාලි." පොඩි මාමා වචන බර කරමින් කියයි. "උපාලි වගේ මේ පැත්ත හොඳට දන්න කෙනෙක් තමයි අපිට ඕන."
"ඕනෙ වැඩක් තියෙනවනම් කියන්ඩ, සර්."
පොඩි මාමා එකවරම සිය අදහස එළියට දමා එහි අගය හෑල්ලු කර ගැනීමට සූදානම් නැත. ඔහු ආනන්ද දෙස බලා සිනාසී නැවත ඉදිරිය බලයි. ආනන්ද අන්ධකාරය මැදින් වේගයෙන් රිය පදවයි.

පොඩි මාමාගෙන් පිළිතුරක් නොලද උපාලි මග දෙපස විස්තර කළ හැකි යමක් සොයයි. ඕනෑම තැනක්, ගහක් කොළක්, මිනිහෙක් සතෙක් ගැන කීමට ඔහු සතුව කතාවක් ඇත. විවිධ සිද්ධීන් පැහැදිලි කරන ඔහුගේ මතක ශක්තියත්, අවබෝධයත් පිළිබඳව මා පුදුම වූයේ වරක් දෙකක් නොවේ.


"මෙන්න මේ හරියෙ ආමි කෑම්ප් එක. ඔය දිගට කට්ටිය ඉන්නවා තවමත්. මෙහෙට මාර විදිහට ගැහුවා ඒ දවස්වල."
"මෙහෙ කැලේනෙ."
"ඔව් මැඩම්, දෙගොල්ලම කැලේ හැංගිලා හිටියෙ ඒ දවස්වල. රෑට කෑම්ප් එකට කිට්ටු කරලා ගහනවා, ටෙරා. අපිත් ගහනවා. කළුවරේ හොයන්ඩ බෑ කවුරු කාට ගහනවද කියලා."


"ඔය නිකාං ගැහිල්ල හින්දා හරියට වියදම්ලු."

පොඩි මාමා සිටි ත්‍රස්තවාදීන්ගේ සංඛ්‍යාවද, ඊට වියදම් කළ උණ්ඩ සංඛ්‍යාවද, ඒ සඳහා වූ වියදමද පිළිබඳව ගණන් හිලව් ඉදිරිපත් කරයි.
"හැබැයි මානසිකව ඕක හොඳයි කියනවා." සරෝජීනී හිටි අඩියේ නින්දෙන් ඇහැරී පිළිතුරු දෙයි. "එහෙම කෙළින්ම මනුස්සයෙක් කියලා පේනකොට මරන්ඩ හිතෙන්නෑනෙ. ඉතින් මුළු පළාතටම තියල දැම්මහම..."
"මොන බොරුද?" පොඩි මාමා ඇගේ තර්කය බිඳ හෙළන්නේ ශබ්ද බලයෙනි. "තියල දාන්නෙ මරන්ඩනෙ!"

සිත් තැවුල් වර්ධනය වීමට පෙර උපාලි වහා ඉදිරිපත් වී කතාවක් කියයි.
 

"මෙතන ඉස්සරහා ආමි කෑම්ප් එක. මීට කිලෝමීටර් දහයක් විතර එහා ටෙරාලගෙ කෑම්ප් එකකුත් තිබුණා. උංගෙ ඉන්නවා හොඳට සිංහල පුළුවන් එවුන්."
"ආ...." ආනන්ද නළවමින් කතාවට උල්පන්දම් දෙයි.
"සැරයක් මෙතන කෑම්ප් එකට ගැහුවෙ එහෙම සිංහල දන්න එකෙක් ඇවිත්. උං කතා කරනකොට හොයන්ඩ බෑ. එනකොට ගාඩ් හිටපු කට්ටිය අහලා තියෙනවා ඔය කවුද කියලා. එතකොට එහා කෑම්ප් එකේ කැප්ටන්ගෙ නම කියලා."
"ආ...."
"ඉතිං එන්ඩ අරින්ඩ ඇති අපේ එවුං?" පොඩි මාමා අවඥාවෙන් කියයි.
"දන්නෙ නෑනෙ සර් හරියටම කවුද කියල. අඳුනන්ඩ බෑනෙ. කිට්ටුවටම ඇවිත් ඇටෑක් කරනකොට තමා දන්නෙ."
"මොකක් හරි විදිහක් තියෙන්ඩ එපායැ අඳුනගන්ඩ. ඔච්චර මෝඩයොද?"
"පස්සෙ ගහනකොට තේරිලා අහල පහළ කෑම්ප්වලටත් පණිවිඩේ දීලා තියෙනවා. මෙතනට කිට්ටුම ඔය කිලෝමීටර් දෙකක් විතර එහා තියෙනව ග්‍රාමාරක්ෂක..."
"ඒගොල්ලොත් යුද්ද කරාද?" මම මෝඩ ප්‍රශ්නයක් අසමි. "මම හිතුවෙ ඒ ගොල්ලො ගම්වල ආරක්ෂාවට හිටියා කියල."
"එහෙම තමයි මැඩම්, තුවක්කු එහෙම දීලනෙ තිබ්බෙ. ඉතින් මෙතන ෆයිට් එක යනකොට ඒ ගොල්ලොත් ඇවිල්ලා තියෙනව උදව්වට, ට්‍රැක්ටරේක. ඒ වෙනකොට මෙතනට ගහලා ටෙරා ආපහු යනවා. මේගොල්ලන්ව හම්බ වෙලා තියෙන්නෙ මගදි."
"උන්ටත් ගහන්ඩ ඇති." පොඩි මාමා ද්‍රවිඩ ත්‍රාසජනක චිත්‍රපටියක ඊළඟ කොටස අනුමාන කරන ස්වරයකින් කියයි.
"ඔව්, කළුවරේ හැංගිලා ඉඳලා ගහලා. අපේ අය කොටසක් එතනම මැරිලා. ඉතිරි අය පුළු පුළුවං විදිහට පැනලා කැලේට බඩගාලා. සේරම හොය හොයා මරලා තියනවා. ඔය ඉස්සරහ.....මෙතන, මෙන්න මෙතන.." 

උපාලි පාරෙන් වම් පැත්තේ ඇති අඳුරු ලැහැබකට අත දිගු කරයි. ඒ අසල මඳ එළිමහනකි.
"මෙතනද සිද්දිය වුණේ?" ආනන්ද යන්තමින් වේගය බාල කරමින් අසයි. අපි සියල්ලෝම සිද්ධිය සිතෙහි චිත්‍රනය කර ගැන්මට වෙර දරමින් එදෙස බලන්නෙමු.

"ඔව්, මෙතන තමයි අපේ මල්ලි පස් කාගෙන මැරිලා හිටියෙ." 

උපාලි නොවෙනස් හඬින් අඳුරට කියයි. ඔහුට අපේ මුහුණු නොපෙනෙයි; අපට ඔහුගේ මුහුණ නොපෙනෙයි.

"මල්ලිගෙ පිටටයි බඩටයි වෙඩි හයක් වැදිලා තිබුණා. වෙඩි වැදිලා තියෙද්දිත් මල්ලි දුවන්ඩ ඇති. ඔතන මඩ වගුරක් වගේ එකක් තියෙනවා. මල්ලි එතන අයිනෙ වැටිලා, අත් දෙකෙන් පඳුරු මිරිකගෙන, පස් කාගෙන වැටිලා හිටියා. මටමයි හම්බුණේ, පහුවදා. අපි, ගමේ කට්ටියයි, ආමි එකෙනුයි ඇවිත් හෙව්වා හැමතැනම, කවුරු හරි ඉතුරු වෙලා ඉන්නවද කියලා."
කිසිවෙක් හූමිටි නොතබති. සරෝජිනිත් මමත් උපාලි සිටින අඳුර දෙසට නෙත් හරවා සිටිමු. පොඩි මාමාත් ආනන්දත් ඉදිරිය බලා සිටිති.උපාලි තමන්ටම මතක් කර ගන්නාක් මෙන් දිගටම විස්තර කරයි.
"අපි අම්මට කිව්වෙ නෑ මල්ලි නැති වුණා කියලා. සේරම ඉවර වෙලා ගෙදරට බොඩි එක ගේනකොට තමයි අම්මා දන්නෙ. එදා ඉඳලා අම්මට එච්චර සිහිකල්පනාවක් නෑ."
අපි නිශ්ශබ්දවම සිටිමු. අඳුර තුළ සිට උපාලි අප අමතයි. 


"තාමත් අය්යලා ගෙදර ඇවිත් යනකොට අම්මා අඬනවා, අඬනවා, නවත්තගන්ඩ බෑ. මල්ලිව මතක් වෙනවා ඇති. ඒ හින්දා අය්යලා වැඩිය ගෙදර එන්නෙ නෑ. අම්මා අඬනකොට බලං ඉන්ඩ බෑ, මැඩම්."


"අපේ වැඩේට හවුල් වුණොත් උපාලිට ගෙදරත් හිටියැහැකි; සල්ලිත් හම්බ කරහැකි." පොඩි මාමා මඳ දුරක් යන්නට හැර පවසයි.
"මම උදව් කරන්නම් ලයිසන් එක ගන්ඩ." ආනන්ද නැවතත් පවසයි. "අපි හෙමීට වැඩේ පටංගමු. කොහොමත් මුලදි හැමදාම වැඩ හිටින එකක්නං නෑ. මිනිස්සු එන හැටියට..."
"සර්?"
"මෙහෙ ඉන්නවද එහෙම කට්ටිය, වාහන දාලා පළාත පෙන්නන්ඩ ගෙනියන?"
"ඒ කිව්වෙ නිකං ගයිඩ් වැඩක් වගේද සර්?"
"ඔව්, ඔව්." පොඩි මාමා ආනන්ද දෙස බලමින් සිනා පායි. "හැබැයි ටිකක් පිළිවෙලට කෙරෙන වැඩක් මේක."
"මම දන්න කවුරුත්නම් නෑ සර්. නිලාවැලි පැත්තෙනම් ඉන්නවා මම හිතන්නෙ. එහෙටනෙ සුද්දො හුඟක් එන්නෙ. වන්දනා නඩනම් ..."
"සුද්දොන්ටම කියල නෙවෙයි." පොඩි මාමා හැරී උපාලි දෙස බලයි. "ඒකට ඉංග්‍රීසි දන්න කෙනෙක් ඕනෙනෙ. අර උපාලි කිව්ව කොළඹ දොස්තර මහත්තයා වගේ අය එනවනෙ. අන්න එහෙම අයට. මට එහෙම අයව කතා කරගන්ඩ පුළුවන්, මෙහෙ අපේ මිනිහෙක් ඉන්නවනම්."
"මම එක්ක යන්නම්, සර්. මම දන්නවා මෙහෙ හැම තැනක්ම."
"අපි බලමු." පොඩි මාමා ඉදිරිය බලාගෙන පවසයි. උපාලි ඔහු තවත් යමක් කියනතුරු බලා සිටියි. පොඩි මාමා හෝ ආනන්ද කතා නොකරති.

රිය වංගු නොමැති මාර්ගය ඔස්සේ වේගයෙන් ධාවනය වේ. මග දෙපස කිසිවක් නොපෙනෙයි. වෙහෙසට පත්ව සිටින කවුරුත් නිදි කරති.  නිදිමත වළකාගනු වස් වතුර බීමට වෑයම් කළත් රළු මාවතේ ගැස්සිල්ල ඊට ඉඩ නොදේ. උපාලි සිය ජංගම දුරකථනය පිරික්සයි. 


"මේක මල්ලිගෙ. එයාගෙ බඩුත් එක්ක අපිට දුන්නා. මගෙ මල්ලිගෙ පින්තූරයක් තියෙනවා, පෙන්නන්නද, මැඩම්?"
මමත් සරෝජිනීත් ඔහුගේ දුරකථනයට එබෙමු. 

නිල ඇඳුමකින් සැරසුණු යෞවනයකුගේ අපැහැදිලි පින්තූරයක් එහි වෙයි. මිය ගොස් සිටින ඔහුට අපව නොපෙනේ. තිරයේ ආලෝකය නිවී යන්නාහාම අපටද ඔහුව නොපෙනී යයි.




This entry was posted on Tuesday, March 01, 2011 at Tuesday, March 01, 2011 and is filed under , , . You can follow any responses to this entry through the comments feed .

7 දෙනෙක් ගේ අදහස්

හුග කාලෙකින් මාවිල් ආරු පැත්තෙ ගිහින් ආවා වගේ. එක දිගට කියවගෙන ගියා. ඉතාම සාර්ථක නිර්මාණයක් නංගි. ඔබට ජයම පතනවා සෙනෙහසින්.

March 2, 2011 at 12:03 PM

කවදත් වගේ අපූරුයි.

March 2, 2011 at 12:59 PM

@Chandi: බොහොම ස්තුතියි චාන්දි අක්කා.

@charmi: බොහොම ස්තුතියි ඔබේ අගැයීමට.

March 2, 2011 at 9:19 PM

කතාව කියවද්දී... වල ගොඩැලි පිරුන දුෂ්කර මාර්ගයක් ඔස්සේ මෙතෙක් ගිහින් නැති ගමනක් ගියාවගේ දැණුනා. අපූරු සිත්ත-රුවන් හිතේ අඳුනා. එකම පාලමෙන් දෙපාරක් ම එගොඩ වෙන්න වෙර දරන "පොඩි මාමා" චරිතය මතුකිරීම හරිම තාත්විකයි. පලකල දා ම දෙවරක් කියෙව්වා, එතරම් රසවත් කතාව.

මීට පෙර කතාවේ පරිසරයට ගිහින් තියෙන්නේ ඒ පෙදෙස්වලින් ආ අසරණ පදිංචිකරුවන්ගේ අනුවේදනීය කතාවලින් විතරයි.

March 8, 2011 at 1:07 AM

බොහොම ස්තුතියි ඩීන් අය්යා.
තොරතුරු කිහිපයක් හැර, ඔය තරුණයාගෙ පවුලෙ කතාව සම්පූර්ණ ඇත්තක්. ඒ පැතිවල ඔය විදිහෙ කතා කොපමණ තියෙනවද? ඒ දුක් වින්දෙ/විඳින්නෙ අපේම අය කියන එක ගැන, ඔය දේ තවත් දවසක අපටම වෙන්න පුළුවන් කියන එක ගැන, තවත් පිරිසකට හැඟීමක් නැහැ. එහෙ ගියාම මට හිතුණෙ නැගෙනහිර උදානය ඇවිත් තියෙන්නෙ එහෙ මිනිස්සුන්ට නෙවෙයි කියලයි.

March 8, 2011 at 6:36 PM

ඇත්තටම ලස්සන කතාවක්
අපිව ඒ කතාවෙ එන ලෝකෙට අරන්යන්න සමත් ලේඛකයෙක් සුභපතනව...!!!

August 6, 2011 at 3:02 PM

@ දබාන අඩවිය: බොහොම ස්තුතියි.

August 8, 2011 at 9:19 PM

Post a Comment

ඔබේ අදහස් අපිට ශක්තියක්