යැපෙනු පිණිස  

Posted by නලිනි චන්දිමා in , ,

කෑම පාර්සලය ලිහා ගන්නා සුසන්ත ප්‍රවේශමෙන් බත් කටක් අනා, පසෙකින් තබයි. අනතුරුව බත්පත දෙස බලාගෙන කල්පනාවක නිමග්න වෙයි.


බත්පත දිගහරින්නටත් පෙර පපඩම අතට ගෙන කෑම අරඹන මයුරි හොරැහින් එදෙස බලන්නීය.


"සුසන්ත අය්යනම් කන්ඩ කලින් භාවනා කරනවා. මටනම් උදේට කන්නෙත් නැති හින්දා කනකම් ඉවසුම් නෑ."


"පුළුවන් වෙලේක හරි කන්ඩ ඉස්සෙල්ලා තමන්ටම මතක් කර ගන්ඩ, 'මේ ආහාරය හුදෙක් මාගේ යැපීම සඳහා පමණයි; රසය පිණිස නොවේ; මදය පිණිස නොවේ...'"


"ඔච්චරනම් කිය කිය ඉන්ඩ බෑ බං." සංජය කටේ කෑම පුරවාගෙනම හරස් කපයි. "ඕනෙනං 'මේ ආහාරය හු!' කියල විතරක් කියන්නං."


කෑම කටේ තියාගෙනම සිනාසෙන මයුරිට කැස්සක් එයි. සුසන්ත සිනාවට එක් වෙමින් බත් අනයි.


"කට්ටියම ඉන්නවා නේද?" අතුල කොහෙන්දෝ කඩා පාත් වී, දේශපාලන හිනාවක් පා, සගයන්ගේ පිටට තට්ටු දමයි. "මේ සැරේ අපි වෙනම ඉල්ලනවා, ආරංචි ඇතිනෙ?"


මයුරි පපඩම ටිකක් සද්දෙන් හපා, බත් අනාගෙන අනාගෙන යයි. ඇයට වෘත්තීය සමිතිකාරයන් පෙන්නන්නට බැරිය.


සුසන්ත නිවුණු මුහුණින් මයුරිගේ ක්‍රියාව නරඹා අදහස් දක්වයි.
"ඉස්සර ලංකාවෙ හාමුදුරුවරු ඉඳල තියෙනවා, දන් වළඳන ගමන් රහත් වුණු. දන්නවද මයුරි?"


"උඹ තාම නංගිලට බණ කියන එක නවත්තල නැද්ද බං?" අතුල අසල මේසයකින් පුටුවක් ඇදගෙන වාඩි වෙයි. අනතුරුව තවත් කාලය නාස්ති නොකර, අතැති ලිපිගොනුව මේසය මත තබා ප්‍රේක්ෂකයන් දෙස බලයි.
"මෙන්න තියෙනවා කට්ටිය කියවල බලන්ඩ."


"මොකද්ද? උඹේ ප්‍රතිපත්ති ප්‍රකාශනයද?" සංජය හොරැහින් එදෙස බලයි.


"කියවලම බලන්ඩ." අතුල ලිපිගොනුව විවර කර අතින් දක්වයි.


වෘත්තීය සමිති කටයුතු සහ ඉන් ලැබිය හැකි ප්‍රතිලාභ ගැන උනන්දු වන කීපදෙනෙක් ලිපිගොනුව වෙත ඇදෙති. හිතින් මැන ගත් ගණ පූරණය සම්පූර්ණ වූ කල අතුල කතාව අරඹයි.


"පහුගිය අවුරුදු දහය ඇතුළත, අපේ කණ්ඩායම මුල් වෙලා දිනා ගත්තු දේවල්.
මම පටන් ගන්නම් ගිය අවුරුද්දෙන්. ගිය අවුරුද්දෙ කාරක සභාවෙන් පස් දෙනෙක් මේ සැරේ අපිත් එක්ක වෙනම ඉල්ලනවා..."


"මට ප්‍රශ්නයක් තියෙනවා." චාමර කතාවට බාධා කරමින් එක එල්ලේ අතුල දෙස බලයි.


"හරි." අතුල පුටුව මඳක් පසුපසට ඇද, කකුලක් පිට කකුලක් දමා ගනී. දකුණත පහසුවෙන් කකුලක් මත රඳයි. වම් අත කතාවට අනුව ලෙළ දෙයි.
"මම ලෑස්තියි ඕනෙම ප්‍රශ්නෙකට උත්තර දෙන්ඩ. නමුත් මට ඕනෙ මුළින්ම පැහැදිලි කරන්ඩ....."


කතාව ඇදී යයි. ප්‍රතිවාදී පිලෙහි කිසිවෙකු භෝජනාගාරයෙහි නොමැත්තෙන් අතුලට රිසි පරිදි ප්‍රධාන නළු චරිතයට ආවේශ විය හැක.


"අය්යා කළු වෙලා..." කතාව තත්පර ගණනකට නිහඬ වු විටෙක සොනාලි ඇද පැද කියයි. පුරුෂ පක්ෂය කට කොණකින් සිනාසී ඈ දෙස බලත්.


"කළු වෙලා කියන්නෙ, පහුගිය ටිකේ හරියට කෑවෙත් නෑ. මට ඒකනම් ප්‍රශ්නයක් නෑ. හැබැයි එදා ඇමතිතුමා හම්බෙන්ඩ ගිය වෙලාවෙ..."


අතුල සොනාලිගේ සිත නොරිදවා නැවතත් නිවැරදි පීල්ලට කතාව මෙහෙයවයි. සුසන්ත අවසරයක් ලැබුණාක් මෙන් පුටුවෙන් නැගිටියි.


"උඹ යන්ඩද මචං?" අතුල හැම ඡන්දයක්ම තමාට වැදගත් බව හඟවන බැල්මකින් සුසන්තට සංග්‍රහ කරයි.


"වැඩ වගයක් තියනව, ඉවර කරල දැම්මනම් ලේසියි."


"කොළයක් ගත්තෙ නෑනෙ? මෙන්න. නිකං ඉන්න වෙලාවක කියවල බලන්ඩ." අතුල පත්‍රිකා කිහිපයක්ම සුසන්ත අත තබයි. මයුරිද නැගිටින බව දකින ඔහු ඇයට පත්‍රිකා කිහිපයක් දීම පිළිබඳව සිතෙන් සළකා බලා, ඒ අදහස බැහැර කරයි.




*****************************************


"මට දික්කරානං එහෙම එතෙන්දිම ඒකෙන් අත පිහින්ඩ හිටියෙ මං." මයුරි සුසන්ත සමග පවසන්නේ අත් සෝදන අතරතුරය.


"නිකං මිනිස්සු තරහ කරගන්ඩ ඕන නෑ. මොනව වුණත් අතුලයා හිතවත් අපිට."


"ඒ වුණාට මට අල්ලන්නෙ නෑ. ඉස්සරම මතකද, 'අපේ ඇමතිතුමා' කියා ගත්තු ගමන් හිටියෙ. ඊට පස්සෙ ඒ මිනිහටම පළු ගැලවෙන්ඩ බැන බැන හිටියා. දැන් ආයෙමත් මෙලෝ ලැජ්ජාවක් නැතුව ඇමතිගෙ ගෙදරට රිංගුව කතා කියනව."


"ආ, ඒ පාර මයුරි බණ කියනවද සුසන්තට?" චට පට ගා කියවන මයුරි දෙස බලමින් සංජය සිනාසෙයි. ඔහුද අතුලගේ කතාවෙන් මිදී පැමිණ ඇත.




"කට්ටිය ඔහේ අහගෙන ඉන්නව නේද?" මයුරි  පිරිස දෙස බලමින් භෝජනාගාරයෙන් පිටවෙයි.


"මේකනෙ මයුරි, හැම මිනිහටම ඕනෙ තමන්ගෙ මොකක් හරි වැඩක් කරවගන්ඩ විදිහක්. එක්කො ළමයෙක් ඉස්කෝලෙ දාගන්ඩ. එක්කො කීයක් හරි වැඩියෙන් හම්බ කරගන්ඩ. එක්කො ශිෂ්‍යත්වයක්. මොකක් හරි දෙයක්. ඉතින් කාගෙන් හරි ඒ දේවල් කර ගන්ඩ පුළුවන්ද කියල බලනවා. ඒකට වැරැද්දක් කියන්ඩත් බෑ."සංජය දැනුම් තේරුම් ඇති විලසින් පැහැදිලි කරයි.


"මොකද බැරුව?"


"ඔයාට ඒ දේවල් ඕනෙ නැතුව ඇති දැන්. ඒත් අවශ්‍යතාවය තියෙන මිනිහ..."


"අය්යෝ, මේ, ඕක ගැන කතා කරන්ඩ ගියොත් දැන් අපි දෙන්න නිකං ගහ ගන්නවා." මයුරි කතාව නවත්වයි.


"මනුස්සයෙකුට වෙනස් වෙන්ඩ බැරිද?" සුසන්ත හදිසියේම පැණයක් නගයි.


"ඇයි බැරි? අර හිටියෙ කටුස්සෙක්, එහෙම්පිටින්."


"අපි හැමෝම කටුස්සො." සුසන්ත කල්පනාවෙන් කියයි.


"මම කටුස්සෙක් නෙවෙයි." මයුරි තදින් කියයි.


"නෑ නේන්නං. ඔයා කටුස්සියක්." සංජය පිළිතුරු දෙයි. මයුරි ඔහුගේ ඉලයට අනී.


"මම මෙතනින් යනවා." සුසන්ත කාර්යාලය දෙසට හැරෙයි.


"මම බැංකුවට යන්ඩ ඕන. ටාර් ගාල දුවල එන්නම්." මයුරි ගේට්ටුව දෙසට පිය මනී.




*****************************************




"හැම එකාටම මේ වෙලාවමද මන්ද තියෙන්නෙ මෙතනට එන්ඩ."


බැංකුවේ පෝළිමෙහි සිටින මයුරි ඔරලෝසුව  දෙස බලමින් කල්පනා කරයි. දැනටමත් ඇය පැය භාගයකට ආසන්න වේලාවක් සිට ඇත. අනෙක් පෝළිම් සියල්ල ඉදිරියට ඇදේ. මේ පෝළිමට පමණක් කුමක් වීද? ඈ පැත්තකින් එබී බලයි. නමුත් කවුන්ටරය නොපෙනේ.


"කාගෙද සල්ලි මිටි වගයක් ගනිනව.." මයුරි බලන්නේ කුමක්දැයි අනුමාන කළ ඉදිරියෙන් සිටින තැනැත්තා කියයි.


"මයුරි?"


අතුල ළඟට එනතුරුම නොදැකීම පිළිබඳව මයුරි තමන්ටම සාප කර ගනී.


"මොකක්ද වැඩේ?"


මූට මොකටද ඒක?


එහෙත් මයුරි වෙහෙසට පත් හඬින් තමන් ආ කාරණය කෙටියෙන් කියයි. නොඑසේනම් අහල පහළ සිටින මිනිසුන් යමක් හිතන්නට පුළුවන. අතුල තරමක් ඇයට කිට්ටු වී, අවට සිටින්නන්ට නෑසෙන පරිදි සෙමෙන් මුමුණයි.


"හදිසියක් නැත්නම්, මගෙ යාළුවෙක් ඉන්නවා බැංකුවෙ, එයා අතට දීලා ගිහෑකි. හවසට යන ගමන් රිසිට් එක අරගෙන, මම හෙට ඔයාට ගෙනත් දෙන්නම්."


මයුරිගේ සිත දෙපැත්තට වැනේ. දැනටමත් ඇයට වෙහෙසය; එසේම කාර්යාලයට යාමට ප්‍රමාද වේ. අතුලගෙන් උදව් ලබා ගැනීමටද ඇය අකමැතිය. එහෙත් හතුරෙක් වුණත්, උදව්වක් කිරීමට ඉදිරිපත් වූ මිනිහාගේ හිත රිදවිය නොහැක.


"නෑ, කමක් නෑ අතුල, තව ටික වෙලාවයිනෙ."


"දෙන්ඩකො..." අතුල අත දිගු කරයි. "දෙන්ඩ, දෙන්ඩ. ඕක පොඩි වැඩක්."
මයුරි අදාල කඩදාසි සහ මුදල් ඔහුට ගන්නට ඉඩ හරින්නේ පැකිළෙමිනි.


"අතනින් වාඩි වෙලා ඉන්ඩ."


පෝළිමේ සිටි මිනිසුන් තමන් දෙස බලන බව ඇයට පෙනේ. එහෙත් ඇය ඒ නොපෙනෙන්නාක් මෙන් අතුල බැංකුවේ සේවකයන්ට වෙන් වූ කොටසකට එබෙනු බලා සිටී.




*****************************************


"මාර දාඩියයි නෙහ්?" බැංකුවෙන් පිටතට බසින ගමන් අතුල විමසයි. "අයිස්ක්‍රීම් එකක් කාලා යමුද?"


මයුරි තීරණයකට එළඹෙන්නටත් පෙර අතුල බැංකුවට යාබද රසහල වෙත යයි. මයුරිද ඒ පිටුපස ඇදේ; මතක ඇති කාලෙකින් පලතුරු සලාද සමග හිමකිරම කා නැත.


මේ රසහලට මින් පෙර ඇය පැමිණ ඇත්තේ එක්වරකි. ආහාර පිණිස ගන්නා පලතුරු ආදිය වීදුරු අල්මාරියක් තුළ අඩුක් කර ඇත. කහ පැහැ නිල ඇඳුම් හැඳි සේවක සේවිකාවෝ කඩිසරව ඇනවුම් භාර ගනිති; ගනුදෙනුකරුවන්ට පෙනෙන්නටම පලතුරු කපා සූදානම් කරති. බිත්තියෙහි රේඛා සිතුවම් කිහිපයක් එල්ලා ඇත.


"කලින් නොකිව්වට, මට මයුරිව ඉස්කෝලෙ යන කාලෙ ඉඳලා මතකයි, දන්නවද?"


අතුල වෘත්තීය සමිති කතාබහ අරඹනු ඇතැයි බලාපොරොත්තුව සිටි මයුරිට, මේ අනපේක්ෂිත මාතෘකාවකි.


"ඔයා අපේ ඉස්කෝලෙමද?"


"නැහැ. ඒත් ඔයා නවෝදෙ පන්ති ආවා නේද?"


"ඔව්. ඒත් මට ඔයාව මතක නැහැ."


"මතක හිටින්නෙ කොහෙද? ඔයා ඔලුව උස්සල බලන්නෙ නෑනෙ ඒ කාලෙ."


නීරස ළමා කාලය සිහි කිරීම නිසා මයුරිට පාළු ගතියක් දැනේ. සේවකයා පලතුරු සලාදය පිළි ගැන්වීමට පැමිණීම නිසා තත්වය මඳක් සමනය වේ. උඩින් හිමකිරම දමා ඇති හෙයින් යටින් ඇති පලතුරු හරි හැටි නොපෙනේ.


"මේ දවස්වල ඉතින් පැණි කොමඩුම තමයි." පැත්තෙන් බඳුන පිරික්සන අතුල කියයි.


මයුරි හිමකිරම ටික කාගෙන කාගෙන යන්නීය. බොහෝ වේලා පෝළිමේ සිටි ඇයට දැඩි පිපාසයක් තිබුණු බව හරිහැටි තේරෙන්නේ, සීතල හිමකිරම කැටිති දිවෙහි දියවෙන විටය. ඇය කතාබහ නොකර සිටීම අතුලට අපහසුවකි. සංවාදයට රිසි ඔහු තවත් මාතෘකාවක් ඇද ගනී.


"සුසන්ත හුඟක් බණ දහම් දන්නවා නේද?"


එය ප්‍රවේශමෙන් ඉදිරිපත් කළ මුට්ටියකි; මයුරි බණට ලැදිද නැද්ද යන වග අතුලට හරියටම පැහැදිලි නැති නිසාවෙනි.


"ඔව්..." පැණිකොමඩු කෑල්ලක ඇටයක් හැන්දෙන් ඉවත් කිරීමට වෙර දරමින් මයුරි පිළිතුරු දෙයි. ඒ පිළිතුරෙන් සුසන්ත පිළිබඳව ඇගේ ස්ථාවරය පැහැදිලි නොවන මුත් මාතෘකාවට ඇගේ අකමැත්තක් නැති බව අතුල අනුමාන කරයි.


"සංජය ඒකෙ අනික් පැත්ත..." ඔහු තවත් අදහසක් ඉදිරිපත් කරයි.


"ඔව්..." මොට්ට හැන්දකින් කොමඩු ඇටයක් ඉවත් කිරීම පහසු නැත. කොමඩු කෑල්ල එහාට මෙහාට පනී. එය කටට ගෙන හපා, අනතුරුව ඇටය එළියට පිම්බහොත් අතුල තමන් ගොඩේ එකියකැයි සිතනු ඇත්ද? කොමඩු කෑල්ල ඉතිරි කිරීමටද ඇය අකමැතිය. රසහලෙහි වෙන සිටින්නේ කවුරුන්දැයි මයුරි අල්මාරියේ වීදුරුවෙන් පිරික්සයි. තරමක සෙනගක් එහි වෙත්. මයුරි කරන්නාක් මෙන්ම වීදුරුවෙන් මයුරිව පිරික්සන තවත් දෑස් කීපයක්ම ඇයට හමු වෙයි.


"ඔයා කොතනද එතකොට?" අතුල මයුරිගේ කොමඩු කෑල්ල දෙස විමසුම් බැල්මක් හෙළමින් අසයි.


මේ ඉලව් කොමඩු... හදිසියේම මයුරිට දහවල් සංජය කියූ කතාවක් සිහි වෙයි: මේ ආහාරය හු!


"ඇති යන්තං ඩිංගක් හිනා වුණා." අතුල කියයි. "මෙච්චර වෙලා රවාගෙන හිටියෙ. මට හීන් දාඩිය දාල හිටියෙ මගෙත් එක්ක තරහෙන්ද කියලා."


"නෑ, මේ දවල් සංජය කිව්ව කතාවක් මතක් වුණා."


"මොකක්ද?"


"සුසන්ත අය්යා කිව්වා කන්ඩ ඉස්සෙල්ල භාවනා කරන්ඩ කියල, මේ ආහාරය හුදෙක් යැපීම සඳහාය, අරක මේක පිණිස නෙවේය කියලා. දිග විස්තරයක්..."


"සුසන්තයනං කියයි; ඉතිං?"


"එතකොට සංජය කිව්වා, එච්චර කියන්ඩ බැරිය, ඕනෙමනං මේ ආහාරය හු! කියල කියන්නංය කියල."


මයුරිගෙන් දිගු පිළිතුරක් ලැබුණේ බොහෝ වේලාවකට පසුව නිසා, ඊට අනුග්‍රහ වශයෙන් අතුල ටිකක් වැඩිපුර සිනාසෙයි. ඒ සිනහව අමතර බව වැටහීම නිසා මයුරි අසන්තෝෂයට පත් වෙයි. තමන් දැන් මේ මිනිහාගෙන් උදව්වක් ලබාගෙන ඇත. ඒ නිසා ඔහුගේ හිත රිදෙන යමක් කිව නොහැක. ඇය ඉන් වඩාත් අසන්තෝෂයට පත් වෙයි. ඇගේ අසන්තෝෂය අතුලට ඉව වැටෙයි. ඔහු වහා කතාව අරඹයි.


"ඕවා ඔය පැවිද්දන්ට දෙසුව බණ..."


"ගිහියන්ට කියල වෙනම සාසනයක් නෑනෙ. ඔය බණම තමා."


මයුරිගේ හඬ සැර වෙන්නේ ඇයටත් නොදැනීමය. මොනවා කරත්, සුසන්ත මේ මිනිහාට වඩානම් හොඳය. ඔහුව හෙළා දැකීමට මෙවැනි මිනිහෙකුට ඉඩ දිය නොහැක.
අතුල ක්ෂණයකින් කතාව හරවයි.


"ඔව්, ඒක තමා මමත් කියන්නෙ. පැවිදි කෙනෙකුට ලේසියෙන් අනුගමනය කරන්ඩ පුළුවන්. ගිහියෙකුට අමාරුයි. මොකද, යැපීම විතරක් නෙවෙයිනෙ අපිට අනික්වත් වැදගත්, සමහරවිට යැපීමට වඩා..."


"හරී!"


මයුරි එකවරම තමන් සමග එකඟ වීම අදහා ගත නොහැකි නිසා අතුල මඳකට කතාව නවතයි.


මයුරි ලැජ්ජාවෙන් ඔහු දෙස බලයි.


"මං මේ කොමඩු ඇටේ ගලව ගන්ඩ බැරුව හිටියෙ මෙච්චෙල්ල. දැන් ගැලවුණා."




*****************************************


සවස තුනට ආසන්නය.
තේ පානය සඳහා හැම දෙනාම භෝජනාගාරයට නොඑනමුත් බොහෝ දෙනෙක් යමක් හපමින් විනාඩි පහළොවක් විස්සක් ගෙවීම පිණිස එහි එති. කල් යල් බලා, පත්‍රිකා මිටියක්ද රැගෙන අතුල එහි ඇදේ.


භෝජනාගාරයෙහි දොරකඩ සිට ඔහු ඇතුළත සිටින පිරිස පිරික්සයි. මැද හරියේ පුටුවක හිඳ චාමර අත වනයි. මඳ සිනහවකින් මුව සරසාගෙන අතුල ඔහු වෙත පිය නගයි. කෙළවර ආසනයක හිඳ සිටින ප්‍රතිවාදී පිලෙහි ආධාරකරුවකු වන ප්‍රනාන්දුව ඔහු දකින්නේ අහම්බෙනි. දැන් ඉතින් මගහැර යාම තත්වයට මදිකමකි. කාණු කටක් ඇති ප්‍රනාන්දු සමග හැප්පෙන්නට අතුල අකමැතිය.


"පත්‍රිකා ටික බෙදලා යනවා." ඔහු සිතා ගනී. "බය වෙන්නෙ මොකටද එක අතකට? මුකුත් කියාගෙන ආවොත් තව හොඳයි; මට ඒකම අවස්ථාවක් කරගන්ඩත් පුළුවන්." ඒ සමගම යළිත් සිතේ.


"උඹෙන් මං අහන්ඩ හිටියෙ." සුමිත් කතාව පටන් ගන්නේ අතුල වාඩිවීමටත් ප්‍රථමය. "අතිකාල ප්‍රශ්නෙට මොකද වෙන්නෙ?"


"මෙහෙමයි." අතුල කිහිපවරක් එකිනෙකාට පැහැදිලි කිරීමෙන්ම හිතේ පිළිවෙලකට සැකසුණු පිළිතුර අරඹයි.
"මුළින්ම, ඕකට හදිසි විසඳුමක් නෑ. එහෙම තියෙනවයි කියලා මම උඹලව රවට්ටන්නෙ නෑ."


ඈත කෙළවරෙහි ඇති සෙවණැල්ලක් නැගිට තමන් වෙත එනු අතුලට ඇස් කොණෙන් පෙනේ. ඔහු ඒ පිළිබඳව අවබෝධයෙන්ම කතාව ඉදිරියට ගෙන යයි.


"අපිට ඉලක්කයක් තියෙනවා. ඒක දැනට හම්බෙන ගාන වගේ පස් ගුණයක්. කිව්ව ගමන් ඕන කෙනෙක් හිතන්නෙ ඒ ගානනම් කවදාවත් ගන්ඩ වෙන්නෙ නෑ කියල. ඒකයි තත්වෙ. නමුත්..."


සෙවණැල්ල දැන් ළඟටම පැමිණ ඇත.


"උඹලට මොකක්ද තියෙනවය කිව්වෙ?"


ප්‍රනාන්දුගේ හඬ සැරපරුෂය. අතුල මේ දැන් දැක්කාක් මෙන් ඔහු දෙස බලයි.


"අපිට තියෙනව ඉලක්කයක්, උඹලට නැති." අතුල ප්‍රනාන්දුගේ ඇස් දෙස කෙළින් බලා හඬ උස් කර කියයි.


අවට රැස් වන්නන් තමන්ට හෝ ප්‍රනාන්දුට සහය නොදක්වන බවත්, සිද්ධිය පසුව වාර්තා කිරීම පිණිස පමණක් උනන්දුවෙන් බලා සිටින බවත් අතුල වටහා ගන්නේ අත්දැකීමෙනි.


"ඔව් තොපිට තියෙනව ඉලක්කයක්- මිනිස්සුන්ගෙ ප්‍රශ්න වවාගෙන කන්ඩ!" ප්‍රනාන්දු එකවරම ගුගුරයි.


"ප්‍රශ්න වවාගෙන කෑවෙ කවුද?" අතුල මේසයට මිටින් පහර දී විමසයි.


"කවුද?" ප්‍රනාන්දුද මේසයට මිටින් පහර දෙයි.


හදිසියේම අතුලට මෙතැනට කොහෙත්ම නොගැලපෙන සංජයගේ කීම සිහි වෙයි:
මේ ආහාරය හු!


සුළු මොහොතකට ඔහුගේ මුවග සිනහවක් ඇඳෙයි.




This entry was posted on Saturday, August 04, 2012 at Saturday, August 04, 2012 and is filed under , , . You can follow any responses to this entry through the comments feed .

9 දෙනෙක් ගේ අදහස්

ඉවරද කතාව ?

August 5, 2012 at 12:27 AM

අදට ඉවරයි. :)

August 5, 2012 at 8:47 AM

අපූරුයි මේ කතාව..

August 5, 2012 at 5:40 PM

ස්තුතියි දිනේෂ්.

August 5, 2012 at 8:37 PM

හරිම තාත්විකයි. කාර්යාලයක නිතරම වෙන සිද්ධියක් නෙ. ඒ අනුව එක එක්කෙනාගෙ මනස ක්‍රියා කරන අයුරු අපූරුවට ගොඩ නගලා තියෙනවා. ඇත්තටම එක සුස්මට කියවගෙන ගියා තව ටිකක් අවසානය තාත්විකව ඉවර උනා නම් හොඳයි කියල මට හිතනවා.
ඔය ආහාරය ප්‍රත්තිවේක්ෂා කරනවනෙ සිල් දවසට අපි. ඒ වාගේම ආගමේ අයත් දෙවියන්ට ස්තූති කරනවා නෙ. මේ දෙකේ පැහැදිලි වෙනසක් තියෙනවා නේ. ඉතින් බඩඟිනි උනාම ඔය මොකවත් නොකර හු! නොකියා වෙන මොනවා කරන්නද?

August 6, 2012 at 6:42 PM

බොහොම ස්තුතියි චාන්දි අක්කා අදහස් බෙදා ගත්තාට.

August 12, 2012 at 4:01 PM

ගැඹුරු අදහසක් නිර්මාණාත්මකව ඉදිරිපත්කොට තිබෙනවා.ඔබට මගේ ආශීර්වාදය.මගේ බ්ලොග් එක පැත්තෙත් ඇවිත් යන්න.
http://samakayawate.blogspot.com/

August 18, 2012 at 5:33 PM

ලස්සනයි කතාව

August 20, 2012 at 2:52 PM

බොහොම ස්තුතියි නලීන්ට සහ ධම්මිකටත්

December 9, 2012 at 6:36 PM

Post a Comment

ඔබේ අදහස් අපිට ශක්තියක්