මාෂ්මෙලෝස්  

Posted by නලිනි චන්දිමා in , ,

ඒ කාලෙ අපි පොඩි උන්. බාලදක්ෂිකා නිල ඇඳුම තමයි ඕනෑම රස්තියාදු ගමනකට ඇන්දෙ. මොකද, එතකොට ගෙවල්වල මිනිස්සු වගේම පාරතොටේ ඉන්න මිනිස්සුත් හිතන්නෙ අපි බාලදක්ෂ වැඩකට යනවා කියලා. එදා අපි ගියෙ රස්තියාදු ගමනක්ම නෙවෙයි, හොර ගමනක්. හිතේ තිබුණෙ බයක් සැකක් නෙවෙයි, දුකක්.

අපි ගියෙ බාරයක් ඔප්පු කරන්නට! බාර වුණේ මධුරි. බාර ගැන මට කිසිම අදහසක් තිබුණෙ නැහැ.  කුමුදුනිත් ඒ ගැන විශ්වාස කළා. මමත් නිලුත් එකතු වුණේ, ඒගොල්ලන්ට එහෙම බාරයක් වෙන තැනට වැඩ සිද්ද කළේ අපි දෙන්නා හින්දා.
********************


කඳවුර සංවිධානය කිරීමේ වගකීම පැවරිලා තිබුණෙ මධුරිටත් කුමුදුනිටත්. ඒත් ඒකෙ ලොකු බරක් මමත් කැමැත්තෙන්ම බාර ගත්තා. ආහාර වට්ටෝරු සැකසීම, නොයෙක් ක්‍රියාකාරකම් සංවිධානය කිරීම, පත්‍රිකා ආදිය සඳහා චිත්‍ර ඇඳිම වගේම, අපිට හිතවත්, අපේ ජාතියෙ බාලදක්ෂිකාවන් රංචුවක් එකතු කරගන්නත් මම දායක වුණා.
අපි සේරම දාහතර දෙනෙක්.

අපිට යම් මග පෙන්වීමක් අවශ්‍යයි කියලා අපේ බාලදක්ෂිකා ආචාර්යවරිය හිතුවා. එහෙම අනවශ්‍යයි කියලා අපි හිතුවා. ඒත් මේ ලෝකය හුඟක් කුරිරුයි. මග පෙන්වීම සඳහා අපට පෙන්නන්නට බැරි කෙල්ලන් දෙන්නෙක්ව ආචාර්යවරිය තෝරාගත්තා. එක් කෙල්ලෙක් ඒ වසරෙ විභාගය සඳහා සූදානම් වෙමින් හිටියෙ. අනෙක් කෙල්ල අපේ වයසෙම වුණත්, අපට වඩා බොහොම මෝරලා!

ඉතින් අපි කඳවුරු බැඳගත්තා. ඒ අපේ ආචාර්යවරියගෙම වත්තෙ.

එතන බොහොම ලස්සන තැනක්. ඇගේ නිවස පිහිටා තිබුණෙ කඳුකරයේ රක්ෂිත වනයකට මායිම්ව. භූමියේ බෑවුමට සරිලන පරිදි මට්ටම් කිහිපයකින් යුත් නිවසෙහි හැම මට්ටමකින්ම පිටතට දොරවල් තිබුණා. පහළම මට්ටමෙහි තිබුණේ කාමර දෙකකින් හා කුස්සියකින් සමන්විත කුඩා ඇනෙක්සියක්. එහි වාසය කළේ සුදු ජාතික කාන්තාවක්.

ඇනෙක්සියේ මිදුලේ ඉදිවුණු අපේ කඳවුරු භූමිය ප්‍රධාන නිවෙසට පහසුවෙන් පෙනෙන්නෙ නැහැ. අපව දැක ගැනීමටනම්, එක්කෝ නිවසේ ප්‍රධාන මිදුලෙහි කෙළවරට පැමිණ පහත බැලිය යුතුයි. එහෙමත් නැත්නම්, දෙවන මට්ටමෙහි ඇති කාමරවල කවුළුවෙන් බැලිය යුතුයි.
මේ කාමරවල සිටියේ අපේ ආචාර්යවරියගෙ පුත්‍රයා සහ ඔහුගේ මිතුරා. ඔවුන් වරින් වර කවුළුවෙන් පහළට එබුණා. සුදු ජාතික කාන්තාව සිය අත දරුවා රැගෙන දොරකඩට පැමිණියා; අපව පෙන්වා දරුවා නැළවූවා. අපිත්  වැඩ අතරතුරම දරුවා සුරතල් කළා: "කැරපොතු පැටියෝ...."

අපට මග පෙන්වීම සඳහා පැමිණි කෙල්ලන් දෙදෙනා කඳවුරට පැමිණියේ ආහාර සඳහා පමණයි. මග පෙන්වීමට ආවානම් පහසු නොවන බව උන් දෙන්නා කලින්ම තේරුම් ගන්නට ඇති.
ආහාර සඳහා පැමිණෙනවිට උන්ගේ පිඟන්වලට කැඩුණු බිත්තර, හොදි ගංගා ආදිය බෙදා තැබීමට අප උත්සුක වුණත්, අනුනට මග පෙන්වීමට තමන් හොඳටම දක්ෂ බව පෙන්වමින් මේ කෙල්ලන් හිඳ ගත්තේ, හොඳ බිත්තර සහ යහමින් මාළු පිණි බෙදා තිබූ අනුන්ගේ පිඟන් ඉදිරියෙනුයි!

ඒ පළමු දිනයේ දිවා ආහාරය.
මධුරි කිසියම් කරුණක් නිසා ප්‍රධාන නිවස තුළට කිහිප වරක්ම දිව්වා. ගෘහපාලිකාව හා කිහිපවරක් මුණු මුණු ගෑවා. ආහාර වෙලාවෙ එකට හිඳ ආහාර නොගෙන එහෙ මෙහෙ කලබලයෙන් දුවන මධුරි දිහා ආචාර්යවරිය බැලුවෙ නොසතුටින්.

මමත් හිටියෙ නොසතුටින්. මොකද, අර හතුරු කෙල්ලන් සඳහා බෙදුව කැඩුණු බිත්තරයක් මට හම්බෙලා තිබුණ හින්දා...

මධුරි මට ඇහෙන් කතා කළා. ආහාර සපයන කණ්ඩායමේ නිසා, නැගිට එහෙ මෙහෙ යාමට මට නිදහස තිබුණා.

"හරි වැඩේ තමයි. අද දවල් අතුරුපසට ගෙනත් තිබුණු මාෂ්මෙලෝස් ටික අර වල් කොල්ලො දෙන්නා කාලා!"

ඒක මට එතරම් නරක ආරංචියක් වුණේ නෑ; මොකද මම මාෂ්මෙලෝස් කන්නෙ නැති හින්දා.

"කොහොමද උන් අතට ඒ ටික ගියෙ?"
"මෙහෙ තිබිලා කූඹි වැහුවොත් කියලා, මම ඒක ගේ ඇතුළෙන් අරන් තිබ්බා. ප්‍රේමා තමයි කිව්වෙ, පුංචි මහත්තයා ඒ ටික සේරම කෑවා කියලා."

කොල්ලාට පාඩමක් ඉගැන්විය යුතුයි. ඒත් ඊට ඉස්සර අතුරුපසට යමක් දිය යුතුයි. අපි කඩිනමින් කතා බහ කරගෙන, රාත්‍රී ආහාරය සඳහා ගෙනත් තිබුණු කෙසෙල් ඒ සඳහා ගත්තා.

දිවා ආහාරයෙන් ඉක්බිති ආචාර්යවරියත්, මග පෙන්වන කෙල්ලන් දෙදෙනාත් ප්‍රධාන නිවසට ගියා.

ඒ දිනවල අප අතේ අමතර මුදල් ගැවසුණේ නැහැ. ඒ හින්දා රාත්‍රී ආහාරය සඳහා අතුරුපස සපයා ගැනීම අපට ගැටළුවක් වුණා. ආහාරය සඳහා ආචාර්යවරිය පැමිණෙන නිසාත්, පදක්කමක් ලබා ගැනීම පිණිස සංවිධානය කෙරුණක් නිසාත්, අඩුපාඩු තබා ගැනීමට මධුරි කැමති වුණේ නැහැ. ඉතින් අපි රාත්‍රී ආහාරය සඳහා භාවිතා කළ කිරි මිරිකන ලද පොල් වලින් පොල් ටොෆී හදන්නට තීරණය කළා. අමතර සීනි නොතිබුණෙන්, අපේ තේ සඳහා වූ සීනි ඒ සඳහා භාවිතා කරන්නට වුණා.

සිද්ධිය දැනගත් අපේ කෙල්ලන් දාහතරම සීනි පරිත්‍යාගයට එකඟ වුණත්, අපි කවුරුත් නොසන්සුන්. අර කොල්ලාට පාඩමක් උගන්වන්නේ කොහොමද?
අපට පෙනෙන්නට බැරි කෙල්ලන් දෙන්නාත් මීට හවුල්යැයි අපි සැක කළා. එහෙම සැක හිතෙන්නට හේතුව කඳවුරේ කිසිම ක්‍රියාවකට සහභාගි නොවුණු උන් දෙන්නා ගෙතුළට වී අර කොල්ලන් සමග පාඩම් කිරීමයි.

අපේ කෙල්ලන් එකිනෙකා නොයෙක් වැඩ කටයුතුවල මුවාවෙන් වරින් වර ගෙතුළට රිංගුවා; ඔත්තු බැලුවා:
"අර සුදු කොල්ලගෙ නම නලින්."
"අනිකා රජීව."
"ඌනම් එච්චරම නරක පාටක් නැහැ."
"මම ශීතකරණෙ අරිනකොට නලින් හැරිලා බැලුවා. ඌ මොනවද කකා හිටියෙ..."
"අපේ මාෂ්මෙලෝස්!"
"මම යනකොට නලින් මේසෙ අස්සෙන් අනුෂ්කගෙ කකුල පාගනවා."
"ඊඊඊඊඊඊඊයා!"
"අනුෂ්කත් අනික් පැත්තට පයින් ගැහුවා!!"
"ඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊයාආ!!"
"අර මිදුලෙ තියෙන චොපර් එක නලින්ගෙ. ඌ ඒකෙ නැගලා කොහෙද ගියා."

ඉතින් එදා හැන්දෑව වෙනවිට අපි බොහොම තොරතුරු එක්‍ රැස් කරගෙන හිටියා:
ඒ කොල්ලන් දෙන්නා ඉතා වල්ය;
උන් දෙන්නා අපට පෙන්නන්නට බැරි කෙල්ලන් සමග මොකක්දෝ මොකක්දෝ එකක් ඇත;
නිවසේ සුළු සුළු වුවමනාවන් සඳහා නලින් බයිසිකලෙන් නගරයට යන්නේය;
අපේ ආචාර්යවරිය නිදන්නේ ඉහළම මාලයේ වන අතර ඇය ළමයින් පාඩම් කරන කාමර පැත්තට නොඑන්නීය;
ගෘහ පාලිකාව වන ප්‍රේමා අපේ පැත්තේය....

ඔය වගෙ.

ඒ අතරට අපි තවත් දෙයක් සැලසුම් කළා. අපේ මාෂ්මෙලෝස් කෑව එකට ඒ කොල්ලන්ට ලැජ්ජා කරවීමට.

එදා රාත්‍රියේ ආහාරයෙන් පසු ආචාර්යවරිය යම්කිසි අවශ්‍යතාවයක් හින්දා ඉක්මණින් ගියා. ඈ ගිය පසු කඳවුරු ගිණි මැලය වටා හිඳගෙන අපි ගී කිව්වා. ඉන් එක් අංගයක් කෑම කෝච්චිය:

"කිරි-බත්, කිරි-බත්, කිරි-බත්" එක් කණ්ඩායමක් ගයනවා;
"කැවුම්- කොකිස්, කැවුම්-කොකිස්, කැවුම්-කොකිස්" ඊලඟ කණ්ඩායම ගයනවා; 

"උඳු-වැල්, උඳු-වැල්, උඳු-වැල්" අන්තිම කණ්ඩායම ගයනවා.
වෙලාව බලලා, අපි සේරම එක හඬින් කෝච්චියේ හූව නැගුවා:
 

"මාෂ් මෙලෝ.....ස්!"

ටිකක් සද්දෙ අඩුවෙන් දෙවන මාලයෙන් හඬක් නැගුණා: 


"අපි තමයි කෑවේඒඒඒ!!"

අපිට යක්ෂ කේන්තියි. කෑවා මදිවට තව ලැජ්ජාවක් නැතුව එකට එක කියන්නටත් ඉදිරිපත් වෙලා. මුන්ව තියන්නට වටිනවද? ඒ මදිවට අපට පෙන්නන්නට බැරි කෙල්ලන් දෙන්නටත් ඒක හරිම හුරතලයක්. උනුත් හිනා වෙනවා.

බොහෝ දෙනා පිඹින කල්හි අළු ඉවත්ව ගින්න වඩා හොඳින් ඇවිළේ.

සිද්ධිය ගැන කතා කරන්නට කරන්නට අපේ තරහ තව තවත් ඇවිස්සුණා.
"මුන්ට පාඩමක් උගන්නන්නට ඕන." නිලූ අවසාන තීරණය දුන්නා.
"ඔව්, ඔව්."
"ආයෙ හොරා නොකන්නම පාඩමක්."

එදා රාත්‍රියේ අපි පලි ගැනීමේ නියම සැලසුම හැදුවා.
කූඩාරම් තුනක් තිබුණට, අපි දාහතර දෙනාම එදා නිදා ගත්තෙ එකම කූඩාරමක. තුන් හතර දෙනෙකුට පමණක් සෑහෙන ඒ කූඩාරමේ අපි වටේට හිස් දාලා, මැද්දෙන් කකුල් එක උඩ එක දාගෙනයි හිටියෙ. හෙල්ලෙන්නටවත් බැහැ. ඒ මදිවට අර වල් කොල්ලන් ගැන අනියත බියකින් මධුරි වප්පිහියකුත් උස්සන් ඇවිත් කූඩාරම තුළ තියන් හිටියා. වැඩිහිටියන් ගන්නා තීරණයකට එකඟ වන කුඩාවුන් මහන්සිය නිසාම ඉක්මණින් නින්දට වැටුණා. මමත්, මධුරිත්, කුමුදුනිත්, නිලුත් කුටු කුටු ගාමින් සාකච්ඡා කළා.

පහුවදාට එළි වුණා. සාමාන්‍ය කඳවුරු ජීවිතය ඇරඹුණා.

ඔත්තු බැලීම සඳහා වරින් වර එකා දෙන්නා ප්‍රධාන නිවසට ගියා. ශීතකරණයට යමක් දැමීමට, ඉන් යමක් ගැනීමට, හැලියකට පියනක් ප්‍රේමාගෙන් ඉල්ලාගැනීමට වැනි නොයෙක් හේතු දක්වමින් කුස්සිය පැත්තෙන් පිරිසක් ගියා.

එදිනට සැලසුම් කර තිබූ කඳවුරෙහි හදිසි ක්‍රියාදාමයට සූදානම් වීමේ මුහුණුවරින් තවත් පිරිසක් ප්‍රධාන මිදුල පැත්තෙන් පාරට ගියා. පාරෙහි සිට පහත බලනවිට ඒ නිවසේ විශාල කොටසක ඔත්තු බැලිය හැකියි.

දහවල් අපේ ආචාර්යවරිය නගරයට ගියා. ප්‍රේමා කුස්සියේ වැඩ. අපේ හතුරන් පිරිස දෙවන මහලේ පාඩම් කරමින් සිටියා.

මමත් නිලුත් පිහියකුත් රැගෙන, ප්‍රධාන මිදුල හරහා ඉස්තෝප්පුවට ගොඩ වුණා. එහි කෙළවරක නවතා තිබුණේ නලීන්ගෙ චොපර් බයිසිකලය. ගෙතුළින් යමෙක් එතිදැයි මම ඔත්තු බලන අතරතුර නිලූ බයිසිකලයට "සාත්තු" කළා.

දිගු විනාඩි කිහිපයක් ගෙවුණා.
"හරි." නිලූ කිව්වෙ ඇහෙන්.

එදා මුළු හැන්දෑ වරුවම අපි හිටියෙ උනන්දුවෙන්, ප්‍රවෘත්ති අපේක්ෂාවෙන්. වරින් වර එකිනෙකා ගෙතුළට රිංගා බැලුවා ඇයි නලින් කොහෙවත් නොයන්නෙ කියලා. හෙට උදෑසනින් කඳවුර ඉවරයි. අපේ ඇස් පනාපිටම "සාධාරනය" දැකීමට අපි පුල පුලා බලා සිටියා. නිලූ කිව් පරිදි, බයිසිකලය පැදගෙන මීටර සියයක් යන්නට ලැබෙන්නෙ නැහැ....

සවස් වුණා.

අපි හිටියේ තේ සාදමින්. හදිසියෙම කෑ ගසන හඬක් ඇසුණා. රිලවුන් රංචුවක් කඳවුරු භූමිය ආක්‍රමණය කරලා. සෝදා වේලෙන්නට නවා තිබුණු හැලියක් එකෙක් උස්සගෙන ගිහිල්ලා. තවත් කිහිපදෙනෙක් කූඩාරම් තුළට රිංගන්නට වෑයම් කරනවා. බියට පත් කෙල්ලන් හූ තියනවා. ඒ අතර අපේ යකා අවුස්සමින් අර වල් කොල්ලන් කවුළුවෙන් අප දෙස බලමින් විනෝද වෙනවා.
සුදු ජාතික කාන්තාව දරුවත් වඩාගෙන පිටතට අවුත් ඔහුට රිලවුන් පෙන්වනවා.

මේ කෝලාහලය අතරතුර, පිටතට ගොස් සිටි අපේ ආචාර්යවරියත් පැමිණුනා. ඇය කඳවුරු භූමියට ආවෙ රතිඤ්ඤා කරල් කිහිපයක් රැගත් ප්‍රේමාත් සමග. ප්‍රේමා රතිඤ්ඤා කරලක් දැල්වූවා.

"ඩෝං!"

රිලවුන් මොහොතකට වැඩ නතර කරලා බැලුවා.

 සුදු ජාතික කාන්තාව අපේ ආචාර්යවරිය සමග මොකක්දෝ කතාවක්. ඇය දරුවා ආචාර්යවරිය අතට දෙනවත් එක්කම ප්‍රේමා දෙවන රතිඤ්ඤා කරලත් දැල්වූවා.
"ඩෝං!"

රිලවුන් ළමයින් විතර ගැස්සුණේ නැහැ. උන් ටිකක් ඈතට පැනලා, ඒ අවටම ගස්වලට නැග ගත්තා. අනතුර පහ වූ වහාම, නැවත පහළට බසින සූදානමෙන් ඉවසීමෙන් බලා සිටියා.

ඇතැමෙක් කම්මැළිකමට වගේ තමන් හිටිය රඹුටන් ගහේ ගෙඩි ටික සූරා දාන්නට වුණා.

"ෂිහ්! ෂිහ්!!" ප්‍රේමා කෑ ගැහුවා. ඇය එක දිගට තමන් අතේ තිබුණු රතිඤ්ඤා දල්වමින් ගස් උඩට විසි කරන්නට උත්සාහ ගත්තා. රිලවුන් වඩාත් ඉහළට නැගගෙන ඉවසීමෙන් බලා සිටියා.

"එපා ප්‍රේමා. වැඩක් නැහැ." ආචාර්යවරිය කිව්වා. "අහස් කූරු යවන්නට ඕන."
"අහස් කූරු එහෙනම් කඩෙන් ගේන්ටය කියලා පුංචි මහත්තයට කියන්නට ඕන." ප්‍රේමා කිව්වා. "ගෙදර තිබුණු ඒවා ඉවරයි."

අපි පස්වණක් ප්‍රීතියෙන් පිනා ගියා. මේ තමයි අපි බලාපොරොත්තුව සිටි ඒ සුන්දර මොහොත.

තව ටිකකින් නලීන් බයිසිකලයේ නැගී කඩේට යනු ඇති; තව ටිකකින් සලබලාං යනුවෙන් සද්දයක් එනු ඇති; තව ටිකකින්....

"එහෙනම් දැන් ඉතින් කරන්නට දෙයක් නැහැ." ආචාර්යවරිය දරුවාව ගෙට ගෙනයන්නට හැරුණා. 

"කේට් බයිසිකලෙත් අරන් ටවුමට යනවා කියලා ගියා!"

සලබලාං සද්දෙ ඇහුණෙ ඒත් එක්කමයි.
**************************

එදා හොඳටම රෑ වෙනතුරු අපි කේට්ගෙ දරුවා බලා ගත්තා. ආචාර්යවරිය අපේ තරහකාර කෙල්ලනුත් සමග කේට් රැගෙන රෝහලට ගිහින්. ප්‍රේමා දරුවාට කිරි හදා පහළට එව්වා. අපි කඳවුරෙහි කෑම ඉව්වෙ නැහැ. මධුරි දෙවියන්ට කන්නලව් කරන්නට වුණා:
"මෙහෙම දෙයක් වෙයි කියලා අපි හිතුවෙ නැහැ දෙය්යනේ. අනේ ඉක්මණට කේට්ව සනීප කරලා දෙන්න. අපි බුමුතුරුණක් පූජා කරන්නම්, මාළිගාවට...."

ඉන් පස්සෙ ඇයත් කුමුදුනිත් එකතු වෙලා නිලූටත් මටත් දොස් කියන්නට වුණා.
"තරහ ගිය පලියටම ඔහොමත් වැඩ කරනවද?"
නිලූ හොර පූසෙක් මෙන් බිම බලාගෙන හිටියා.

මම දරුවාගේ හිස අත ගෑවා.

නලීන් හා රජීව පහළට ආවෙ ඒ අතරතුර.
"ප්‍රේමා කට්ටියටම කෑම ඉව්වා. ඇවිත් කන්න."
"අපිට බඩගිනි නැහැ."
"එන්න. උයලා තියෙන්නෙ."
"අපි අරගොල්ලො එනකම් ඉන්නම්."
"නැහැ, අම්මා කිව්වා කට්ටියට කන්න කියන්න කියලා."
"අපි ගිහින් කමු නේද? නැත්නම් හරි නැහැ." කුමුදුනි කිව්වා.

අපි අදිමදි කරමින් නැගිට්ටා. රංචුවම එක ගුලියට වත්තෙ පඩිපෙළ ඔස්සේ මිදුලට නැගලා ඉස්තෝප්පුවට ගොඩ වුණා. දොර ළඟදි නලීන් ආපසු හැරිලා බිම බලාගෙන මිමිණුවා,

"අපි හිතුවෙ මාෂ්මෙලෝස් ප්‍රේමා හැදුව ඒවා කියලා. තරහ වෙන්න එපා."




This entry was posted on Monday, April 02, 2012 at Monday, April 02, 2012 and is filed under , , . You can follow any responses to this entry through the comments feed .

4 දෙනෙක් ගේ අදහස්

Anonymous  

බාල දක්ෂිකා කිවට මුන් ටික මාර දූතිකාවන් ටිකක්නේ..

April 2, 2012 at 11:54 AM

හරිම වැඩනෙ කරල තියෙන්නෙ? ඒ කොහොම උනත් ජීවිතේ ජයගත්ත එකට නම් මට හරිම සතුටුයි නංගී. ලස්සන කතාව.

June 8, 2012 at 5:56 PM

ස්තුතියි චාන්දි අක්කා

June 24, 2012 at 7:25 PM

its nice..keep writing....

February 9, 2013 at 12:08 AM

Post a Comment

ඔබේ අදහස් අපිට ශක්තියක්